පුරවැසි කොලම

රෝහණ විජේවීර නම් වූ ශ්‍රී ලංකාවේ දේශපාලන දේහයේ විශාලතම සලකුණ තැබූ මිනිසා ඔහුගේ දේශපාලන සතුරන් විසින් මිලේච්ඡ ලෙස ඝාතනය කොට අදවන විට වසර 32ක් ගෙවී ගොස් ඇත. එම කාලය තුළ ඔහුට ප්‍රේමකළ සහ වෛරකළ විවිධ පාර්ශ්ව බොහෝ දේ ඔහු ගැන ලියා ඇත. ඔහු ජීවිතය පුදා නිර්මාණය කළ සමාජ සන්නාමය, ජනතා විමුක්ති පෙරමුණ කොටස් කිහිපයකට කැඩී වෙන්වී වෙනස් දේශපාලනය ස්ථාවරයන් මත සිටිමින් ඔහු සමරති. ඒ අතරින් යම් පිරිස් එදා ඔහුගේ දේශපාලන භූමිකාවට මග පෙන්වූ “අධිරාජ්‍යවිරෝධී අරගලය තුලින් සමාජවාදයට” නම් වූ උපායමාර්ගික ප්‍රවේශය හෙවත් න්‍යායාත්මක පදනම ප්‍රතික්ෂේප කරති. තවත් පිරිස් ඔහු විසින් පෙන්වූ මාර්ගයේ මග සලකුණු සොයමින් හෝ හඳුනාගැනීමට උත්සාහ කරමින් දුෂ්කර ගමනක යෙදී සිටින බව පෙනේ.

ජවිපෙන් බිඳී ගිය පාර්ශ්ව තමා අතීත උරුමය හෙවත් විජේවීර භූමිකාව අමතක කිරීමට උත්සාහ කිරීම නිසා හෝ ඊට බියවීම නිසා ඔවුන්ගේ භාවිතාව තුල විජේවීර ලකුණ සොයා ගැනීම යනු ඉතා දුෂ්කර ව්‍යායාමයකි. බොහෝ පිරිස් නොවැම්බර් 13 දින විජේවීරයන්ගේ ඡායාරූපයක් අබියස ඉටි පහන් දැල් වුවද ඔහුගේ දෑසට එබී බැලීමට බියවෙති. එම උත්සව වලදී බොහෝ විට තම අතීත භූමිකාවේ අයිතිය  හෙවත් ඒ මගින් ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කළ ආකාරය පිළිබඳ කතාව හුවා දැක්වීමට හෝ එහි ගෞරවය නිහතමානීව භුක්ති විඳීමට ප්‍රමුඛතාවයක් හිමි වන්නේ නැත. අත්හරින ලද හෝ ප්‍රතික්ෂේප කළ භූමිකාවකට ගරු කරන්නේ කෙසේද? එසේ නැතහොත් ඔවුන් විජේවීර භූමිකාව අදාළ දේශපාලන සන්දර්භය තුළ කියවා ගැනීමට සහ ඒ දෙස නිවැරදි න්‍යායාත්මක ඇසකින් බැලීමට අසමත් වී ඇති බව පිළිගැනීමට සිදු වේ. කෙසේවෙතත් යම් පිරිස් විජේවීර සැමරීම සඳහා එසේ ඉටි පහන් දැල්වූයේ නැතත් ඔහුට ගෞරව කරමින් වර්තමාන දේශපාලන වේදිකාව මත ඔහුගේ භූමිකාව අපැහැදිලි සෙවණැලි ලෙස පින්තාරු කිරීමට යම් අවංක උත්සාහයක් ගන්නා බවද දක්නට ඇත.

කෙසේ වෙතත් විජේවීරයන් තම භූමිකාව රඟදැක්වූ අධිරාජ්‍ය විරෝධී අරගල වේදිකාව හෙවත් ජාතික විමුක්ති සටන් බිම එදා සේම අදත් ප්‍රේක්ෂකයෝ හෙවත් ජනතාව ඉදිරිපිට දක්නට ලැබේ. එම වේදිකාවේ පැවතී ආලෝකය හෝ ශබ්ද සහ පසුබිම් සංගීතය වෙනස් වී ඇතත් ඉතිහාසය විසින් ලියන ලද පිටපත් වෙනස් වී නැත. සමහරවිට දෙබස් පමණක් වෙනස් විය හැක. මෙම ලියුම්කරු පුද්ගලික අතීත ආවර්ජනයක් මගින් උත්සාහ කරන්නේ විජේවීරයන්ගේ භූමිකාව දෙස යම් ආලෝකයක් විහිදුවීමට ය. ඒ මගින් එම භූමිකාව රඟදැක්වූ අසමසම පුද්ගල චරිතයට ගෞරව කිරීම ද අපේක්ෂා කෙරේ. අප හදවත් තුළ එම ගෞරවය සදාකාලිකවම රිද්මගතව ඇත. නමුත් විජේවීර අධ්‍යාත්මය ස්පර්ෂ කිරීමට වාසනාව ලැබූවෙකු ලෙස ඔහුට සැබැවින්ම ගරු කළ හැක්කේ ඔහුගේ භූමිකාවට පණ දීම සඳහා ගනු ලබන අවංක උත්සාහයන් මගින් පමණක් බවද කිවයුතුය. මේ අතීත ආවර්ජනය ද එම උත්සාහයේ ම කොටසකි.

ධ්‍යානයට සමවදින අපූරු මිනිසා

එම අඳුරු යුගය තුළ 1984 දී සීතල කඳු මුදුනක පිහිටි පහසුකම් අඩු කුඩා නිවසක දී මේ ලියුම්කරුට රෝහණ විජේවීරයන් නැවත මුණගැසුණි. ඒ ඔහු තම පක්ෂය තුළින් මෙන්ම බාහිර බුද්ධිමතුන්ගේ ද දෙමළ ඊළාම් අරගලය පිළිබඳ පැනනැගුනු මතවාදී ගැටුම් වලට පිළිතුරු දීම සඳහා ශාස්ත්‍රීය නිබන්ධනයක් ලියමින් සිටි අවදියේ ය. ඔහු එක් අතකින් තම හුරුබුහුටි කුඩා දියණිය තුරුලු කරගෙන අනිත් අතින් පොත්පත් සහ කොළ කැබලි පිරි මේසයක් මත නොනවත්වා ලියමින් සිටියේය. මරණය අනුකම්පා විරහිතව තමා පසුපස හඹා එනවිට හිත සන්සුන් කොටගෙන ධ්‍යානයට සමවදින ඒ අපූරු මිනිසා ට බාධා කරමින් පැරණි ප්‍රශ්න අලුතින් ඇසීමට කෙනෙකුට සිතක් පහළ වෙන්නේ කෙසේද? නමුත් ප්‍රශ්න කිරීමකින් තොරව විටින් විට විවිධ දිනවල ඔහු දුන් නොදුන් පිළිතුරු සියල්ල උපායමාර්ග ශාස්ත්‍රීය සංග්‍රහයක් ලෙස 1985 දී රහසිගතව එළිදැක්විනි.

1979 දී දෙමළ ජානතාවගේ ඊනියා ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ලයනල් බෝපගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෙන්වා සම්මන්ත්‍රණ පැවැත්වූ මෙම ලියුම්කරුටද එම නිබන්ධනය නිසා තම මතවාදී වැරදි නිවැරදි කර ගැනීමට මොළය පෑදුණි. දෙමළ ඊළාම් බෙදුම්වාදයට එරෙහිව ඔහුගේ දේශපාලන උපාය මාර්ගික දැක්ම සහිත එම ග්‍රන්ථයේ අත් පිටපත මුද්‍රණය සඳහා ගෙන යාමේදී අස්ථානගත විය. එහෙත් එම ග්‍රන්ථය අකුරක් නෑර නැවත මතකයන් ලිවීමට හැකි වීම සහ එතැන් සිට තවත් වසර පහකට ආසන්න කාලයක් ඔහුට තම ජීවිතය බේරා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවේ වර්තමාන ඉරණම තීන්දු කළ ප්‍රධාන ඓතිහාසික සාධක දෙකකි. ඒ වනවිට දෙමළ ඊළාම් අරගලය පිළිබඳ පැවති සියලු මතවාදී ගැටළු ලිහා දමමින් ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් ජාතික මතවාදයක් මත දෙපයින් සිටුවීමට එම ග්‍රන්ථය මත පදනම් වූ ශ්‍රාස්ත්‍රීය සංවාදයට හැකි විය.

බෙදුම්වාදී යුද්ධය යනු අධිරාජ්‍යවාදී කොල්ලකෑම දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම සඳහා භාවිතා වන උපායමාර්ගික දේශපාලන මෙහෙයුමක් බව රෝහණ විජේවීරයන් එම ශ්‍රස්තීය සංවාදය තුළ තහවුරු කළේය. යටත්විජිතවාදයේ දීර්ඝ කාලීන උපාය මාර්ගයක් වන බෙදා වෙන්කර පාලනය කිරීමේ කූඨප්‍රාප්තිය රට බෙදා වෙන් කිරීම බව ඉතා තර්කානුකූලව එම ග්‍රන්ථය මඟින් පැහැදිලි කළේය. කොටි ත්‍රස්තවාදය යනු අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් බවත් දේශීය පාලකයින් විසින් සිදු කරන්නේ අධිරාජ්‍යවාදීන් විසින් තම මාර්ග සිතියමට අනුව අටවන උගුල් වලට පය තැබීම බවත් ඔහු තම සාමාජිකයාට පැහැදිලි කළේය. ඔහු තම ග්‍රන්ථය මගින් ඒ වන විට විශ්ව විද්‍යාල වල එන්.ජී.ඕ. ඒජන්තයින් විසින් නිර්මාණය කොට තිබූ මතවාදයන් වන ජනවාර්ගික අර්බුදය විසඳීම, දෙමළ ජනතාවට සුවිශේෂී වූ ගැටලුව විසඳීම, බලය බෙදීම හෙවත් දේශපාලන විසඳුම ආදී වශයෙන් වන මතවාදී උගුල් මගහැර දේශපාලන භූමිය තුළ පය තැබීමට තම සාමාජිකයන්ට ඉගැන්විය. අධිරාජ්‍ය විරෝධී අරගලය හෙවත් ජාතික නිදහස දිනාගැනීමේ අරගලයේ මූලික සටන් බිම බෙදුම්වාදී විරෝධී දේශපාලනය සහ ඒ ආශ්‍රිත යුද්ධය පරාජය කිරීම බව ඔහු ඉතා පැහැදිලිව ඔප්පු කළේය. ඒ නිසා එදා “අධිරාජ්‍යවිරෝධී අරගලය තුලින් සමාජවාදයට” යනුවෙන් විජේවීරයන් තේරූ උපාය මාර්ගික ප්‍රවේශය ජ.වි.පෙ විසින් දැඩි ලෙස ග්‍රහණය කරගනු ලබන්නේ බෙදුම්වාදී විරෝධී මතවාදී අරගලය සහ ඒ ආශ්‍රිත දේශපාලන ක්‍රියාකාරකම් ඔස්සේ ය.

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය ජනවාර්ගික අර්බුදයක් ලෙස අර්ථ ගැන්වීම

පැරණි වමේ දේශපාලන පක්ෂ සහ බලවේග විජේවීරයන් තෝරා දුන් සමාජවාදය සඳහා වන උපාය මාර්ගික ප්‍රවේශය පිළිගත්තේ නැත. ඊට එරෙහිව ප්‍රතිතර්ක ඔවුන් ඉදිරිපත් නොකළ අතර තම ස්ථාවරයන් වෙනස් කර ගත්තේද නැත. ඔවුන් අධිරාජ්‍යවාදී මහා බලපෑම් නොසලකා හරිමින් අධිරාජ්‍යවාදී දේශීය ඒජන්තයින් ට එරෙහිව පමණක් පන්ති බලවේගය මෙහෙය විය. ඔවුන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය ජනවාර්ගික අර්බුදයක් ලෙස අර්ථගැන්විය. එපමනක් නොව ඔවුන්ගේ පන්ති සටන තුළ ලෝක බැංකුව වැනි අධිරාජ්‍යවාදී ඒජන්සි ආයතන සහ බහුජාතික සමාගම්වල මහා ක්‍රියාකාරීත්වය නොසලකා හරිමින් එම ආයතනවල නිවට කීකරු ගෝලයන් සේ ක්‍රියාකරන පාලක පන්තියට එරෙහිව පමණක් සටන් දියත් විය.

වමේ බලවේග අධිරාජ්‍යවාදී ඛෙදුම්වාදී කුමන්ත්‍රණයට පක්ෂපාතී හෝ හිතවාදී ස්ථාවරයක සිටීමට අමතරව තම ඊනියා පංති සතුරන්වන අධිරාජ්‍යවාදී දේශීය ඒජන්තයින් වන පාලක පංතිය සමඟ ද එකට සිට ගන්නේ ඉහත සදහන් කළ න්‍යායාත්මක පටලවා ගැනීම් නිසා ය. ඔවුන්ගේ උපාය මාර්ගික පටලැවිල්ලට ප්‍රධානම හේතුව මාක්ස්වාදී ඉගැන්වීම් දේශීය ආර්ථික, සංස්කෘතික, සමාජීය හා ඓතිහාසික සාධක වලට සාපේක්ෂව නිර්මාණශීලීව අර්ථකතනය කර ගැනීමට අපොහොසත්වීම බව ඉතා පැහැදිලිය. විජේවීර නැමති දේශප්‍රේමියා, මාක්ස්වාදියා ඔවුන්ගෙන් වෙනස් වන්නේ ඔහු ඒ මූලික ප්‍රශ්නය බේරා ගැනීමට නිර්මාණශීලී වීම නිසාය. එදා පංති සටන්, අධිරාජ්‍ය විරෝධී අරගලය හෙවත් එහි දුෂ්ඨ ප්‍රකාශනය වන දෙමළ බෙදුම්වාදයට එරෙහි අරගලයට යටත් කිරීමට එදා ජනතා විමුක්ති පෙරමුණ සමත් විය. එසේ නැතහොත් පන්ති සටන මහා අධිරාජ්‍ය විරෝධි අරගලයේම කොටසක් මිස ඉන් වියුක්තව පවතින දෙයක් නොවන බව ඔවුහු  ක්‍රියාවෙන් ඔප්පු කළෝය. ඒ තුළ බෙදුම්වාදය පන්ති සටනට සහ සමාජවාදයට හතුරු ප්‍රවනතාවයක් ලෙස පිළිගනු ලැබීය.

ඒ නිසා එම නිරවුල් උපායමාර්ගික ස්ථාවරයන් තුළ සියලු ජාතිකවාදී අධිරාජ්‍ය විරෝධී බලවේග සමඟ නිශ්චිත අරමුණක් යටතේ සන්ධානගත වීම එදා යුගයේ ප්‍රධාන දේශපාලන ක්‍රියාමාර්ගය හෙවත් උපායමාර්ගික තේරීම බවට පත්විය. 1988 දී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ හරහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග සන්ධානගත වීමට විජේවීර නිර්භයව තීන්දු කරන්නේ ඒ අනුව ය. එම ක්‍රියාමාර්ගය හෙවත් උත්සාහය උපක්‍රමික ප්‍රවණතාවක් ලෙස පමණක් හැඳින්වීමට සමහරු උත්සාහ කලත් එය මූලික උපාය මාර්ගයට අදාළ ප්‍රධානතම උපක්‍රමික තීන්දුවක් බව පැහැදිලිය. එදා විවිධ පුද්ගල සාධක සහ සාකච්ඡා කියාවලිය තුළ සිදු වූ තාක්ෂණික දුර්වලතා නිසා එම සන්ධාන සාකච්ඡා බිඳ වැටුණු බව ප්‍රකාශ වුණත් ඇත්ත ඊට වඩා වෙනස් බව බොහෝ දෙනෙක් දන්නේ නැත. ඇත්ත වශයෙන්ම එදා ඒ සන්ධානය බිහි වීම වැළැක්වීමට මෑත කාලීනව ජනතා විමුක්ති පෙරමුණ තුළ විවිධ ගැටුම් නිර්මාණය කළ පිරිසට සමාන පිරිසක් එදා ද ක්‍රියාත්මක විය. එදා ශිෂ්‍ය මනසින් ක්‍රියා කළ යම් අතිධාවනකාරී නායකයන් පිරිසක් එම සාකච්ඡා කඩාකප්පල් කිරීමට ක්‍රියා කොට එම උපායමාර්ගික වරද උපක්‍රමික වරදක් නිවැරදි කිරීමේ උත්සාහයක් ලෙස අර්ථදැක්වීය. නමුත් ඇත්ත වශයෙන්ම එදා ඒ සන්ධානය පිහිටුවීමට අදාල සාකච්ඡා අවුල් කිරීම ඉතා පැහැදිලිවම උපාය උපායමාර්ගික පටලවා ගැනීමකි.

සිරිමාවෝ මැතිණිය සහ විජේවීරයන් පිටකොටුවේදී ආරම්භ කළ දේශපාලන සටන

එදා 1987 ජුලි මාසයේදී ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුව බෝධිය අසල ආරම්භ වූ විරෝධතා රැල්ලට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතා කැඳවා ගැනීමට විජේවීරයන් පුද්ගලිකවම උනන්දු වූයේ එය මූලික උපායමාර්ගික අවශ්‍යතාවයක් ලෙස සළකමිනි. ඉහත සඳහන් කළ ආකාරයට එම උපායමාර්ගික අවශ්‍යතාවය තහවුරු කරනු ලැබුවේ බෙදුම්වාදී විරෝධී සටන ජනතා විමුක්ති පෙරමුණේ සටනක් නොව ජාතික සටනක් හෙවත් ජාතික විමුක්ති අරගලයේ මූලික සටන් බිමක් ලෙස අර්ථකතනය කිරීම මගිනි. ඇත්ත වශයෙන්ම 2009දී මහින්ද රාජපක්‍ෂයන් සහ ගෝඨාභය රාජපක්ෂයන් විසින් නන්දිකඩාල්හි අයුධ සන්නද්ධ සටන් බිමක ජය ග්‍රහණයෙන් අවසන් කරනු ලබන්නේ සිරිමාවෝ මැතිණිය සහ විජේවීරයන් පිටකොටුවේදී ආරම්භ කළ දේශපාලන සටන බව පැවසීම අතිශ්‍යයෝක්තියක් නොවේ.

කෙසේ වෙතත් එදා 1988 දී සිදුවූ ඒ වරද තවදුරටත් පැහැදිලි කරන්නේනම් එදා සිදුවූයේ “අධිරාජ්‍ය විරෝධී අරගලය තුලින් සමාජවාදයට” යන උපාය මාර්ගික ප්‍රවේශය තුළ අධිරාජ්‍යවාදයට එරෙහිව සියලු ජාතික බලවේග එකතු කිරීම වෙනුවට පන්ති බලවේගය හෙවත් පක්ෂ බලවේගය තනිව සටනට තල්ලූ කිරීම ය. ඊට අමතරව ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස යන දේශීය ධනපති නායකයින් ක්‍රියාකරන්නේ අධිරාජ්‍යවාදී නියෝජිතයන් ලෙස නොව හුදෙකලා ධනපති පාලකයන් හෙවත් හුදු පන්ති සතුරන් ලෙස පමණක් බව තේරුම් ගැනීම ද මේ පටලවා ගැනීමට හේතු විය. එය එක්තරා ආකාරයකට පක්ෂයේ යම් බලවේගයක් විජේවීරයන්ගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීමක් ලෙසද අර්ථ දැක්විය හැක. ඒ ආකාරයට උපායමාර්ගික බෝඩ් ලෑල්ල එසේම තබා ගන්නා අතර හැසිරීම ඊට පටහැනිව සිදු කිරීමට බලපෑ හේතු අතර ප්‍රධාන එකක් වන්නේ අද මෙන්ම එදා ද ජනතා විමුක්ති පෙරමුණ තුළ අතිධාවනකාරී ශිෂ්‍ය නායකයින්ට අධි වේගයෙන් ඉහලට ඒම සඳහා පක්ෂ සංවිධාන ක්‍රමවේද සහ සංස්කෘතිය තුළ බරපතළ ඉඩකඩ විවර වී තිබීමය.

කෙසේ වෙතත් 1988 තීරණාත්මක කඩඉමක් වූ ජනාධිපතිවරණය වෙත පැමිණීමට පෙර 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේ සිට ඒ දක්වා පැමිණි ගමන තුළ විජේවීරයන් පක්ෂය තුළ තම උපායමාර්ගික ප්‍රවේශය තහවුරු කිරීමට සමත්විය. එදා පක්‍ෂය පුඵල් ජාතික බලවේග සමග විධිමත්ව සහ සංවිධානාත්මකව සන්ධාන ගත කිරීමේ “පෙර ක්‍රියාවලිය” තුළ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ඉහත සඳහන් කළ ආකාරයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සටනට කැඳවා ගැනීමට ඔහු සමත් විය. එම සුවිශේෂී සටන් එකතුව නිසා සමස්ත සමාජය තුළ බෙදුම්වාදී විරෝධී මතවාදී රැල්ලක් ගොඩනැගීමට ඔහුට හැකි විය. එහෙත් එය හරයෙන් පුළුල් අධිරාජ්‍යවිරෝධී ජනරැල්ලක් නොවූ බව පිළිගැනීමට සිදුවේ. කෙසේවෙතත් ජීවිත පරිත්‍යාගයෙන් ඉතා දැඩි ස්ථාවරයක සිට ඉන්දු ලංකා ගිවිසුමට සහ බලය බෙදීමේ ක්‍රියාවලියට විරුද්ධ වීම නිසා බෙදුම්වාදය නැමැති අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට එක් දශමයකින් හෝ යටත් නොවිය යුතුයි, ඉඩ නොදිය යුතුය යන ස්ථාවරය එදා ජනතා විමුක්ති පෙරමුණේ ඇට මිදුළු තුළට කා වැද්දවීමට විජේවීරයන් සමත් විය. එදා ඔහු එසේ කිරීමට සමත් වූයේ නැතිනම් ජනතා විමුක්ති පෙරමුණ නැවත නැගීසිටීමේදී ඒ මනෝභාවය පක්ෂය තුළ දැඩි ලෙස තහවුරු වන්නේ නැත.

ශ්‍රී ලංකාවට සහ සුඩානයට 99%කින් එක හා සමානවූ මාර්ග සිතියමක්

එදා 1994දී ජවිපෙ නැවත නැගිටීමෙන් පසුව බෙදුම්වාදයදයට එරෙහිව දැඩි ස්ථාවරයක සිට ක්‍රියාත්මක නො වූවා නම් ශ්‍රී ලාංකික ජාතියට ජාත්‍යන්තර බෙදුම්වාදි න්‍යාය පත්‍රය පරාජය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. නෝර්වේ රාජ්‍යය හරහා අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට සහ සුඩානයට සකස් කරන්නේ 99%කින් එක හා සමාන මාර්ග සිතියමකි. එහිදී දක්නට ලැබුණු එකම වෙනස වූයේ බටහිරයන් ශ්‍රී ලංකාව තුළ බේදය වැපිරවීමට යොදා ගන්නේ දෙමළ ජාතිවාදිය වුවත් සුඩානය තුළ ඒ සඳහා ක්‍රිස්තියානි ආගම්වාදය යොදා ගැනීම පමණි. කෙසේ වෙතත් ඒ මාර්ග සිතියම තුළ අද වන විට සුඩානය දෙකඩ වී ඇත. ඉන්පසු දිගින් දිගටම මරා ගැනීමට ඉඩ සැලසීම සහ සම්පත් කොල්ලය නව වටයකින් ආරම්භ වී ඇත. අද වන විට සුඩානය ඒ ආකාරයට බෙදුම්වාදයට ගොදුරු වුවත් ශ්‍රී ලංකාව බෙදුම්වාදී ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවන්නේ මූලික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ නැමති සාධකය සහ විජේවීරයන් විසින් නිරවුල් කළ උපායමාර්ගික ප්‍රවේශය නිසාය.

කෙසේ වෙතත් ජාතික බලවේගයේ විවිධ සුවිශේෂී මතවාදී නායකයින් (ආචාර්ය ගුණදාස අමරසේකර සහ නලින් ද සිල්වා වැනි බුද්ධිමතුන්) දෙමළ කොටි ත්‍රස්තවාදය මතවාදීව පරාජය කිරීම සඳහා දැවැන්ත බුද්ධිමය මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. එසේම හෙළ උරුමය වැනි දේශපාලන පක්ෂ සහ ඒවාට ගොනු වූ විවිධ ආගමික සංවිධාන සහ පුද්ගල චරිත ද එම මතවාදී පදනම මත පිහිටා සැළකිය යුතු භූමිකාවක් ඉටු කළෝය. එහෙත් ඒ සියළු බලවේග ප්‍රායෝගිකව සටන් බිමේදී එක් දිශාවකට මෙහෙයවීම සඳහා මහා භූමිකාව කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවට සමාජය තුළ විවාදයක් නැත. ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී මාර්ග සිතියමේ ප්‍රධාන සන්ධිස්ථානයන් වූ නෝර්වේජියන් සාම ක්‍රියාවලිය මෙන්ම ඊට පෙර “චන්ද්‍රිකා පැකේජය” පරාජය කළ හැකි වන්නේ බලය බෙදීම යනු රට බෙදීමේ ආරම්භය ලෙසට ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය මතවාදී මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් 2002දී සටන් විරාම ගිවිසුම සහ ඒ මත පදනම් වූ උතුරු නැගෙනහිර තාවකාලික ආණ්ඩුව දක්වා ජාතිය දක්කාගෙනයාම නැවැත්විය හැකිවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ සන්ධානගත වී එජාපය පරාජය කිරීමට තරම් දියුණු මනසක් ඇති කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්වීම නිසාය. එම ක්‍රියාවලිය තුළ එදා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හරහා පුළුල් ජාතික බලවේග එක මිටකට එකතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්විය. ඒ සියල්ල ජනතා විමුක්ති පෙරමුණට කළ හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ නැවත නැගිටීමෙන් පසුව විජේවීර උරුමය මත ශක්තිමත්ව දෙපා තබාගෙන සිටි බැවිනි.

එදා චන්ද්‍රිකා රජයේ ඇමතිකකම් දැරූ ජනතා විමුක්ති පෙරමුණ නෝර්වේජියන් න්‍යාය පත්‍රයේ තවත් ප්‍රධාන සන්ධිස්ථානයක් වූ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව තම ඇමතිකම් අත්හැරීමට ධෛර්යවත් වන්නෙත් ඒ උපායමාර්ගික ස්ථාවරය නිසාය. ඉන්පසු 2005 ඓතිහාසික ජනවරම නිර්මාණය කොට මහින්ද රාජපක්ෂ වටා බෙදුම්වාදී විරෝධී යුදවාදී බලවේගයක් නිර්මාණය කිරීමට මහා දායකත්වය සපයන්නේද එම ස්ථාවරය නිසාය. අවසානයේ සුඩානයට අත් වූ ඛේදජනක ඉරණම ශ්‍රී ලංකාවට අත් නොවන්නේ විජේවීරයන්ගේ උපායමාර්ගික තේරීම මත ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉටු කළ සමස්ත දේශපාලන භූමිකාව තුළ ය. එහිදී මහා ජාතික බලවේග තුල නියෝජනය වූ සෙසු ජාතිකවාදී බලවේග අවතක්සේරු කිරීමක් මෙයින් අදහස් නොකෙරේ. මෙහිදී අවධාරණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛතම සහ නිර්මාණාත්මක භූමිකාව ඉටු කළ බව පමණි. ඒ සියල්ල එසේ නොවූයේ නම් අද ශ්‍රී ලාංකික ජාතිය කිලෝ මීටර් 275ක දේශසීමාවේ දෙපස සිට මරාගන්නා අවාසනාවන්ත ජාතියක් ලෙස ඉතිහාසයට එක්වන බවට කිසිදු සැකයක් නැත. විජේවීර නාමය ඉතිහාසයට එක්වන්නේ එම ඉරණමෙන් ජාතිය ගලවා ගැනීම සඳහා මඟ පෙන්වූ විසල් දේශපාලන නායකයා ලෙසය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More