පුරවැසි කොලම

අදත් වැල්ලවායේ සිට බණ්‌ඩාරවෙල හරහා නුවරඑළිය දෙසට ගමන් කරන ඔබට පූඬලුඔය ඩන්සිනන් වතුයාය හමුවෙයි. 1984 පමණ කාලයේ එහි වතු වෛද්‍යවරයා ලෙස සේවය කළේ තරුණ ජයතිලක දොස්‌තර මහතා ය.
ඒ වසරේම අග භාගයේ එක්‌තරා දිනෙක දොස්‌තර මහතාගේ ඉතාම කිට්‌ටුවන්තයන් දෙදෙනකු වන ප්‍රේමසිරි හා සිසිර රන්දෙණිය මේ වතු බංගලාවට හදිසියේ ම පැමිණියේ ඔවුන්ගේ හිතවතකු වන එලියස්‌ ප්‍රනාන්දු නමැත්තාට එහි තාවකාලික නවාතැන් ඉල්ලීම පිණිසය. තිදෙනා ආවේ මෝටර් සයිකල් දෙකකිනි.

රැවුල හොඳින් කපා – කොටට කැපූ කොණ්‌ඩය පැත්තට පීරා සිනහමුසු මුහුණින් සිටි මේ අමුත්තා ඉතාම විනීත තැන්පත් පෙනුමකින් යුත් නිහඬ මිනිසකු බව පෙනිණ. සිත් ඇද බැඳ ගන්නා එහෙත් ඉතා සීමාසහිත ලෙස කතා කළ ඔහු තමන් හඳුන්වා දුන්නේ ඒ ප්‍රදේශයේ මැණික්‌ හා ලී සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවල නිරත වන කෙනකු ලෙසිනි. උපතින් ම ගෙනා සුහදශීලී හා මිත්‍රශීලී කාරුණික බවකින් හෙබි ජයතිලක දොස්‌තර මහතාත් ඔහුගේ බිරියත් හිතවතුන් දෙදෙනාගේ ඉල්ලීම ඉවත දැමුවේ නැත. අමුත්තාට මේ ගෙදර නවාතැන් ලැබිණ. දොස්‌තර බංගලාවේ සිට වතුයාය හොඳින් දර්ශනය වන උස්‌ වහළ සහිත නිහඬ විශාල කාමරයක්‌ අමුත්තා සඳහා වෙන්විය.

ගෙවී ගියේ මාස දෙකකටත් අඩු කාලයකි. අමුත්තා හා ජයතිලක යුවළ අතර ක්‍රමයෙන් දැඩි හිතවත්කමක්‌ ඇති වන්නට වූයේය. අව්‍යාජ සිනාවෙන් ද ළෙන්ගතු කතාවෙන් ද සෑම දෙයක්‌ ගැනම පුර්වාදර්ශ සම්පන්න පරිණත දැනුමකින් ද හෙබි අමුත්තා තරුණ යුවළගේ සිත් ගත්තේ ය.
මේ එක්‌තරා දිනය උදා වූයේ ඔය අතර ය. ජයතිලක දොස්‌තර මහතා එදින ගෙදර සිටියේ නැත. ජයතිලක මහත්මිය ගේ දොර අතුපතුගා අස්‌පස්‌ කරමින් සිටියාය. ඒ අතර අමුත්තාගේ කාමරයට ද ගිය ඇයට එහි මේසය මත කිසියම් ලිපියක්‌ ලියමින් සිට ඇති වගක්‌ පෙනිණ. මඳකට වත්තේ පහළට සක්‌මන් කළ අමුත්තා එහි සෙවණක කල්පනාවේ නිමග්නව සිටිනු ඇයට ඈතට ජනේලයෙන් පෙනිණ. පෑන මඳක්‌ මෑත් කළ ඇය ගැහැනු ගතියට මෙන් ලියුම දෙස හොරැහින් බැලුවාය. ලිපියෙන් ආමන්ත්‍රණය කර තිබුණේ එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට ය. කුතුහලයෙන් මෙළවුණු ඈ කඩදාසි කැබැලි කීපය පෙරළමින් හුස්‌මට දෙකට ලියුම කියවූවාය. එය ජනතා විමුක්‌ති පෙරමුණට පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් කරුණු දැක්‌වූ ලිපියක්‌ විය. දෙවියනේ… විශ්වාස කරන්න ලියුමට අත්සන ලෙසින් යටින් නම යොදා තිබුණේ ‘රෝහණ විජේවීර, සභාපති, ජනතා විමුක්‌ති පෙරමුණ’ යනුවෙනි.
තැති ගත් ජයතිලක මහත්මිය අඩියට දෙකට වහා කාමරයෙන් පිට වූවාය. ඇයට මහා භීතියක්‌ ද කුතුහලයක්‌ ද දැනිණ. මේ අමුත්තා කවුද? ව්‍යාපාරිකයකු යෑයි සිතා තම සැමියා නවාතැන් දී තිබෙන එලියස්‌ ප්‍රනාන්දු ඇත්තට ම ජේ. ආර්. ජයවර්ධන මරණ වරෙන්තු නිකුත් කර තිබෙන තහනම් ජවිපෙ නායකයාද? මේ සිදු වන්නේ කුමක්‌ද?
ටික වේලාවකින් නැවත නිවෙස දෙසට ආ අමුත්තා ජයතිලක මහත්මිය දෙස කාරුණික සිනාවක්‌ පා කාමරයට වැදුණේය. කිසිවක්‌ නොසිදුවූවා ලෙස ඇය ද මඳ සිනාවක්‌ සමග ඔහුගේ මුහුණ දෙස හොඳින් බැලුවාය.

ජයතිලක දොස්‌තර මහතා සවස ගෙදර පැමිණියේය. මඳක්‌ ගිමන් හැරි සැමියාට ජයතිලක මහත්මිය තමා දහවල් දුටු ජීවිතයේ බියකරු ම කතාව හිමිහිට මිමුණුවාය.
දෙදෙනාම පත් වූයේ වචනයෙන් කියා නිම කළ නොහැකි වික්‌ෂිප්ත භාවයකටය. ජයතිලක දොස්‌තර මහතා නිරායාසයෙන් අසල පුටුවක්‌ මත හිඳගත්තේ ය. කාත් කවුරුවත් නැති මහා ඝණඳුරු ගුහාවක්‌ තුළදී මාරාන්තික තුවාල සිදුව තම ශරීරයෙන් රුධිර ධාරා වැගිරෙන විට මිනිසකුට ඇති වන අන්දමේ භයංකාර සිතුවිලි සමුදායකින් ඒ දෙසිත් වෙලී යා නොයාද?
එහෙත් දොස්‌තර ජයතිලක කලබල වූයේ නැත. එදින රාත්‍රිය මඳක්‌ එළැඹෙන තෙක්‌ ඔහු ඉවසිල්ලෙන් සිටියේය. ඇතුළු වන්නට අසීරු ගල් ලෙනකට පිවිසෙන්නාක්‌ සේ ඔහු තම නිවෙසේ අර අමුත්තා සිටි කාමරයට පිවිසියේය.

නිසොල්මනේ සිටි අමුත්තා වෙත ඉතා සාවධානව තම ප්‍රශ්නය යොමු කළේය.
කිසිදු චකිතයක්‌ නොදැක්‌වූ අමුත්තා හිමින් හිස හරවමින් නැඟිට සිටියේය.
‘ඔව්… මා ඔබව විශ්වාස කරනවා… ඒත් ඔබට මාව ප්‍රශ්නයක්‌ වේවි නේද?’
ජයතිලක දොස්‌තර මහතා කොයි විදියේ තීරණයක්‌ ගත්තේ දැයි දැන් ඔබ සිතනු ඇත. සාමාන්‍ය මිනිසකු සිතන පරිදි නම් එදා රාත්‍රියේ ම ‘අනේ අපේ ගෙදරින් ඉක්‌මනට ම යන්න’ යෑයි ඔහු කියනු ඇතැයි ඔබ සිතනු ඇත.

‘නැහැ… එපා.. මම ඔබව ආරක්‍ෂා කරනවා. ඔබ මෙහෙ ඉන්න….’ ඔහු රෝහණ විජේවීරට නොපැකිළව කීවේය.
එක්‌දහස්‌ නවසිය අසූතුන ජේ. ආර්. ජයවර්ධනගේ අසාධාරණ අත්තනෝමතික පක්‍ෂ තහනමින් පසු කතරගම ගලහිටිය, තණමල්විල හා හම්බෙගමුව යන ප්‍රදේශවල වසරක පමණ කාලයක්‌ වනගතව සිටි විජේවීරගේ පළමු රහසිගත නවාතැන නිර්මාණය වූයේ ඔය විදියට ය.

එතැන් සිට වසර හතරකට ආසන්න කාලයක්‌ රෝහණ විජේවීරට රැකවරණ සැපයූ මේ දොස්‌තර මහතා කලක්‌ යන විට විජේවීරගේ බිරිය ශ්‍රීමතී හා එවකට සිටි සුපුන් චාගා හා දසුන් ඊෂා කුඩා දියණියන් දෙදෙනා ද ළඟට ගෙන්වා ගැනීමට තරම් කාරුණික හා එඩිතර වූයේ මේ ලෝකයේ කිසිවකුත් නොදන්නා රහස රකිමිනි. ඉතා ළෙන්ගතු ඇසුරකට පත් වුණු විජේවීර, දොස්‌තර යුවළ ඇමතුවේ නංගී හා මල්ලී යනුවෙනි. විජේවීරගේ උපදෙස්‌ මත මේ යුවළ විජේවීර ඇමතුවේ ‘ලොකු අයියා’ ලෙසිනි.
ඊට ටික කලකට පසු 1985 දී පමණ දොස්‌තර ජයතිලකට ඩන්සිනන් වතුයායෙන් බලංගොඩ මැද්දකන්ද වතුයායට රජයෙන් මාරුවීමක්‌ ආවේය. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ මේ අව්‍යාජ නිර්ධන පංති විප්ලවවාදියා දරු පවුල සමගින් එතැනට ද ගෙන ගොස්‌ ආරක්‍ෂා කිරීමේ අවදානම් තීරණය ගැනීමට මේ අපූරු මිනිසා පසුබට වූයේ නැත. විජේවීර බිරියට තුන්වැනි දරුවා ලැබුණේ ඒ මැද්දකන්ද වතුයායේදීය.

සිය නායකයා හල්දුම්මුල්ල ප්‍රදේශයේ විශේෂයෙන් සූදානම් කළ රහසිගත ආරක්‍ෂිත ස්‌ථානයකට ගෙන යන්නට එකල විජේවීරගේ කිට්‌ටුම සගයකු වූ සුමිත් අතුකෝරලගේ මූලිකත්වයෙන් 1986 දී_ පක්‍ෂය තීරණය කරන තෙක්‌ ම වසර තුනකට වැඩි කාලයක්‌ විජේවීර සිටියේ දොස්‌තර ජයතිලක සමගය. ඉතා ගැඹුරු කෘතඥතාවකින් හදවත පුරවා රෝහණ විජේවීර එදා මේ ආදරණීය මිනිසාගෙන් සමුගත්තේය. ඊට පසු කවදාවත් ඔවුනොවුන් මුණගැසුණේ නැත. එහෙත් හැම සිංහල අවුරුද්දකට පෙර ම මැද්දකන්ද වත්තට මෝටර් සයිකලයකින් පැමිණෙන සගයකු අත මී පැණි බෝතලයක්‌ එවීමට ‘ලොකු අයියා’ අමතක නොකළ බව ඔහු මා සමග කියා තිබිණ.
මේ පසුගිය මාර්තු 06 වැනි ඉරිදා හදිසියේ ම ජීවිතයෙන් සමුගෙන ගිය මාතර, මාකඳුර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ඒ ආදරණීය මිනිසා බව මම දැන් ඔබට ඉතා වේදනාවෙන් කියමි. ඔහු වෛද්‍ය අයි.ආර්.එම්.එච්. ජයතිලක ය.

ජයතිලක දොස්‌තර මහතා මේ ලියුම්කරුට හඳුනා ගන්නට ලැබුණේ මීට ටික කලකට ඉහතදීය. ඉඳහිට දුරකතනයෙන් කතා කරන තරමට පසුව මා සමග බොහෝ සෙයින් මිතුරු වූ ඔහු තහනම් ජවිපෙ නායකයා සමග ඉතා දිගු කාලයක්‌ එක වහළ යට ජීවත් වීමට තමන් ලද භාග්‍යය ගැන කතා කළේ ඉමහත් භක්‌තියකිනි. විජේවීර සමග එක වහළක්‌ යට ඔහු ලද සුවිශාල අත්දැකීම් ගැන කියන්නට තරමේ කිසිසේත් ප්‍රමාණවත් නොවන කොටසක්‌ 2009 මැයි 10 වැනි ඉරිදා මම දිවයින ඉරිදා සංග්‍රහයට ලියුවෙමි. එදා ජයතිලක දොස්‌තර මහතා ඉතා හැඟීම්බර ලෙස විජේවීර සිහි කළ අයුරු මට සම්පිණ්‌ඩනය කර ගත හැකි වූයේ මෙසේය.

”ලෝකයේ ඔහු වැනි මිනිසුන් ඉතා විරළ ඇතැයි මා සිතනවා. ඔහු හැම විෂයයක්‌ ගැන ම මනා ලෙස හදාරා තිබුණා. හැම දෙයක්‌ ගැන ම විද්‍යාත්මක විග්‍රහයක්‌ ඔහුට තිබුණා. පරිපාලනය ගැනත් වෛද්‍ය විද්‍යාව ගැනත් එකල තරුණ වෛද්‍යවරයකු වූ මට ඔහු කියා දුන්නා…
”පොදුවේ දරුවන් කෙරෙහි ඔහු තුළ තිබුණේ විශාල ආදරයක්‌. දැන් 24 වියෑති තිළිණි ජයතිලක මගේ දියණිය ලැබෙන්නට ආසන්නව සිටියදී මගේ බිරිඳ (පද්මිණි වික්‍රමසිංහ) සිටියේ ඉතා අපහසුවෙන්. ඇයට රාත්‍රියට නින්ද ගියේ නැහැ. ඔබ විශ්වාස කරනවද දහවල් කාලයේ සමහර විට දවස්‌ දෙක තුන දේශපාලන කටයුතු සඳහා මගේ නිවෙසින් බැහැර ගොස්‌ බරපතල දේශපාලන කාරණා ගැන වෙහෙසව එන මේ මිනිසා මගේ බිරිඳගේ මානසික තත්ත්වයත් අපහසුවත් තේරුම් ගෙන සමහර දිනවල බොහෝ රෑබෝ වන තෙක්‌ ඇයට සහනයක්‌ වන්නට ඇය සමග කතා කරමින් කැරම් ක්‍රීඩා කරනවා. කොටින් ම මගේ කුලුඳුල් දියණිය උපදින විට මගේ බිරියට උපදෙස්‌ දෙමින් උදව් උපකාර කළේ රෝහණ විජේවීර….
”පසුව මම ඔහුගේ කිට්‌ටු සගයින් දෙතුන් දෙනකු හඳුනා ගත්තා. ඔවුන් මගේ නිවසට ආවා ගියා. එහෙත් ඔහු කවදාවත් අපේ ගෙදර දේශපාලන සාකච්ඡා පැවැත්වූයේ නැහැ. ඔහු ඉතාම සංවේදී පුදුමාකාර සුහදශීලී මිනිසෙක්‌. කල් නොයවා අද කළ යුතු දේ අද ම කරන්නටත් විධිමත්ව වැඩ කරන්නටත් මම ඉගෙන ගත්තේ ඔහුගෙන්. මගේ ජීවිතයේ සාර්ථකත්වයට ඔහු බෙහෙවින් බලපෑවා….”

එක්‌දහස්‌ නවසිය අසූ නවය නොවැම්බරයේදී විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසු අගමුල සොයා යන මර්දන බළකායෙන් ජයතිලක යුවළට බොහෝ දුක්‌ ගැහැට සිදු විය. ඔහු අත්අඩංගුවේ වද වේදනා වින්දේය. මේ නිවෙසට එකල ආ ගිය දෙතුන් දෙනාගෙන් විජේවීරගේ ළෙන්ගතු ම සගයකු වූ සිසිර රන්දෙණිය තමා මරා දමන අවසන් මොහොත දක්‌වා ම ජයතිලක දොස්‌තර මහතා නිර්දෝෂී බවත් ඔහුට නිදහස දෙන ලෙසත් පුන පුනා පැවැසීම නිසා මර්දන වෘකයන්ගේ මරණයෙන් ඔහුට ගැලවීමට හැකි විය. බොහෝ වද වේදනා විඳ මිය ගිය ඒ ‘සිසිර මල්ලී’ පිළිබඳ ජයතිලක දොස්‌තර මහතා මා සමග පැවැසූයේ ඉතා හැඟීම්බර ස්‌වරයකිනි.

වසර තුනකට අධික කාලයක්‌ රහසිගත විජේවීර සමග තමන් සතු අපූරු මතකයන් සහ කිසිවකුට මෙතෙක්‌ හෙළිදරව් නොකළ කතාන්දර ගැන මේ වසරේ ‘ඉල් මාසයේදී’ ලියන්න යෑයි මේ විශ්වාසදායක සාක්‌ෂිකරුවා මට පසුගිය දිනෙක යෝජනා කළේය. එහෙත් අවුරුදු 55 ක්‌ වැනි ඉක්‌මනින් මේ සුන්දර මිනිසා ආනමඩුවෙන් එපිට නවගත්තේගමට නුදුරු තමා උපන් වෙලේවැව ගම්මානයේ පොදු සුසාන භූමියේදී පසුගිය 10 වැනිදා අවසන් ගමන් ගියේ අසමසම පෞරුෂයක්‌ දැරූ උතුම් මිනිසකු වශයෙන් අපේ හදවත් තුළ බොහෝ දේ ඉතිරි කර තබමිනි.
ඔහුගේ අවසන් ගමන දකින්නට එදින එහි යන්නට වළක්‌වා ගත නොහැකි හේතු නිසා ප්‍රමාද වූ මගේ හෘදය සාක්‌ෂිය ඊට පසුදා ම හිමිදිරි පාන්දර බොහෝ දුර බැහැර ගෙවා ඔහුගේ නිවෙස සොයා ගියේය. මේ අව්‍යාජ ගැමියා හැදී වැඩුණු චාම් මහ ගෙදර ඉදිරිපිට විශාල වැලි මිදුලේදී ඔහුගේ දිගු කාලීන පෙම්වතිය ද දයාබර බිරිය ද වූ ජයතිලක මහත්මිය මට බොහෝ දේ කීවාය.
මිනිසකුගේ මරණය පිළිබඳ මගේ සිතට ජීවිතයේ දැනුණු ගැඹුරුම වේදනාව පළ කළ මම ඇයට දණ නමා වැඳ ඒ කැළෑබද ගම්මානයෙන් නික්‌මුණේ මහා රූස්‌ස ගසක අලවා තිබුණු ඔහුගේ මෙම රුව සහිත ශෝක පණිවුඩය හීන් සීරුවේ ගලවා හදවතට තුරුලු කර ගෙනය.

නොදන්නා ගම සොයා ගෙන යන්නට පාර කියූ ආනමඩුව දිවයින මාධ්‍යවේදී ටෙරන්ස්‌ වනිගසිංහ සොයුරාට බොහොම ස්‌තුතියි.
– තිස්ස කොරතොට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More