පුරවැසි කොලම

ත්‍රිවිධ හමුදා නිළධාරින්ගේ අනිවාර්ය විශ්‍රාම ගන්වන වයස අවුරුදු 55 වේ. නමුත් සේවා කාලය වසර 20 සම්පූර්ණ වූ පසුව සිය කැමැත්ත මත විශ්‍රාම යාමට ඔවුනට පුලුවන. නමුත් නිත්‍ය හමුදාවෙ සෙසු නිළයන් ( සාමාන්‍ය සෙබල සිට බල ලත් නිළධාරි 1 දක්වා ) තම සේවා කාලය වසර 22 සම්පූර්ණ වූ පසුව අනිවාර්යයෙන්ම විශ්‍රාම යා යුතුය.
හමුදා ස්වෙච්ඡා බල සේනාවෙ සෙසු නිළයින්ට වයස අවුරුදු 55 තෙක් සේවය කිරීමට ඉඩ ලබා දී ඇත. අවශ්‍ය නම් වසර 22 ක සේවා කාලයකින් පසුව විශ්‍රාම යාමටත් නැති නම් සිය වයස අවුරුදු 55 පිරීමෙන් පසුව විශ්‍රාම යාමටත් ඔවුනට පුලුවන.

ගැටලුව මතු වන්නේ සිය සේවා කාලය වසර 22 පිරීමෙන් පසුව අනිවාර්යයෙන් විශ්‍රාම ගන්වන නිළධාරි නොවන සෙසු නිළයින් සම්බන්ධයෙනි. ඔවුහු බොහෝ විට වයස අවුරුදු 18ත් 22ත් අතර කාලයේදී දී සේවයට බැඳී සේවා කාලය වසර 22 ක් පිරීමෙන් අනතුරුව වයස අවුරුදු 40-44 අතර කාලයේදී අනිවාර්යයෙන්ම විශ්‍රාම ගන්වති.
සේවා කාලය අවුරුදු 22 නිසා ඔවුනට ලැබෙන විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නැත. එය බොහෝ විට රුපියල් 30000ත් 40000ත් අතර මුදලකි. දරුවන් දෙදෙනෙකු සහිත පවුලක වියදම් දැරීමට එය කිසිසේත් ප්‍රමාණවත් නැත. මේ නිසා ඔවුන්ට වෙනත් රැකියාවක නිරත වීමට සිදු වේ. බොහෝ විට සිදු වන්නේ පුද්ගලික ආරක්ෂක අංශ වල අඩු වැටුපට සේවය කිරීමටයි.

ඒ අනුව මම යෝජනා කරන්නේ මෙම සෙසු නිළ රණවිරුවන්ට සිය කැමැත්ත පරිදි සේවා කාලය වසර 22 පිරීමෙන් පසුව හෝ වයස අවුරුදු 55 පිරීමෙන් පසුව හෝ විශ්‍රාම යාමට අවස්ථාව ලබා දිය යුතුය යන්නයි. එවිට වයස අවුරුදු 55 න් විශ්‍රාම යන විට සේවා කාලය තුළ උසස් වීම් හා වාර්ෂික වැටුප් වැඩි කිරීම් ආදිය සමඟ ප්‍රමානවත් විශ්‍රාම වැටුපක් සහිතව ඔවුනටවිශ්‍රාම යාමට හැකියාව ලැබේ.එසේ නැතහොත් සේවා කාලය අවුරුදු 22 පිරීමෙන් පසු අනිවාර්ය විශ්‍රාම ගැන්වීම සිදු කරනවානම් වයස අවුරුදු 55 දී ලැබෙන විශ්‍රාම වැටුප ඔවුනට ලබා දිය යුතුය.

2009 මැයි 18 දින රටට නිදහස ලැබුණේ මෙම රණවිරුවන් කළ මහත් කැපවීම නිසාය. ඒ රණවිරුවන් බොහෝ දෙනෙක් අද වසර 22 ක සේවා කාලය සපුරා , අනිවාර්යයෙන් විශ්‍රාම ගන්වා සාමාන්‍යය සමාජයට අවශෝෂණය වී ඉතා කටුක රැකියාවල දීර්ඝ පැය ගණන් ගත කරති.

මෙම ගැටළුවට තවත් විසඳුමක් ලෙසට හමුදා සේවයේ නියුතු රණවිරුවන්ට වෙතත් කාර්මික වෘත්තීය පුහුණුවක් ලබා දී , විශ්‍රාම ගන්වන විටම පුද්ගලික අංශයේ රැකියා වලට හෝ විදේශ රැකියා වලට යොමු කරවන වැඩ පිළිවෙලක් සකස් කළ හැකිය.

වියට්නාම හමුදාවෙ මීට සමාන තත්වයක් කලින් තිබුණ නමුත් ඔවුන් පසුව හමුදා සාමාජිකයින් කාර්මික , කෘෂිකර්ම සහ සාමාන්‍ය හමුදා සේවය යන අංශ තුනටම හමුදා සාමාජිකයින් පුහුණු කොට ඔවුන්ව මාස කිහිපයකට වරක් එම සේවාවන් වලට මාරු කොට තම හමුදා රාජකාරින් හා ඊට අදාළ වැඩි දුර පුහුණුව ලැබීමට අමතරව කර්මාන්ත හා කෘෂිකර්ම අංශ දෙක තුළ සේවයේ යොදවන්නාහ.  එම නිසා ඔවුන් විශ්‍රාම යාමේදී කිසිදු ගැටලුවකින් තොරව වෙනත් රැකියා වල නිරත වීමට ඔවුනට අවස්ථාව සලසා දී ඇත.

ලංකාවේද මෙම ක්‍රමය පහසුවෙන් අනුගමනය කළ හැකිය. දැනටමත් කෘෂිකර්මාන්තය සඳහාම රෙජිමේන්තුවක් බිහි කර ඇත. ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ඒකක කිහිපයක්ම අලුතින් බිහි කර ඇත. වෘත්තීය පුහුණුව ලැබූ තරැණයන් ඒවාට බඳවා ගැනේ. රක්නා ලංකා ආරක්ෂක සමාගම හා ඇවන්ට්ගාඩ් ඒකාබද්ධව කලින් ක්‍රියාත්මක වූ සමුද්‍ර ආරක්ෂක සේවයද නැවත ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතී. ඒ මගින්ද ඉලක්කම් 4 ක වැටුපක් ලැබීමට යම් විශ්‍රාමික රණවිරුවන් පිරිසකට ඉදිරියේදි හැකියාව ලැබෙනු ඇත.

කරුණු එසේ හෙයින් සේවා කාලය වසර 22 පිරීමෙන් පසුව විශ්‍රාම ගන්වන රණවිරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වීමට රජය කටයුතු කළ යුතුය. එසේ නොවුනහොත් වැඩි මුදල් සෙවීමට ඔවුන් පාතාලයේ කුලීකරුවෝ වී සමාජයට අපරාධ බිහි කරන අපරාධ කරුවන් වීමට ඉඩ ඇති බව අප වටහා ගත යුතුය.

මෙහිදී මතක් කළ යුතු තවත් කාරණයක් වන්නේ, මෙවර අය වැයෙන් පුද්ගලික අංශයේ විශ්‍රාම ගන්වන වයස අවුරුදු 60 ක් කර තිබීමයි. පෞද්ගලික අංශයේ සේවකයන්ට එලෙස රාජකාරි කිරීමට හැකියාව ඇත් නම් හමුදා රණවිරුවන්ට වයස අවුරුදු 55 තෙක් රාජකාරි කිරීමට ජවයක් , ශක්තියක් නැතැයි කීම කාටනම් පිලිගත හැකිද?
– මේජර් අජිත් ප්‍රසන්න

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More