දේශීය පුවත්

ගුවන්විදුලි සහ රූපවාහිනී බලපත්‍ර වෙන්දේසි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා.

හැබැයි දැන්ටමත් රජය කියලා තියෙන විදිහට අලුතින් බෙදා දෙන්න තරංගමාලා/ බලපත්‍ර ඉතිරිවෙලා නැහැ . ඒ අර්ථයෙන් ගත්තම මේක බොරු යෝජනාවක්.

රූපවාහිනී සහ ගුවන් විදුලි තරංග මාලා වෙන්දේසි කරනවයි කියන්නේ ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථාන පටන් ගන්න බලපත්‍ර බෙදා දෙනවා කියන එක.

ගුවන්විදුලි සහ රූපවාහිනී තරංගමාලා කියන්නේ සීමිත දේපලක්. යම්කිසි රටක තියෙන සීමිත දේපල අයිති පොදු ජනතාවට. මහජනතාව වෙනුවෙන් මේ සීමිත දේපළ කළමනාකරණය කිරිමේ වගකීම පමණයි රජයට තියෙන්නේ.

මේ නිසා සීමිත පොදු දේපළ කළමනාකරණය කරද්දී උපරිම මහජන යහපතට ඉඩ ලැබෙන ආකාරයට ඒවා බෙදාහැරීම් වැදගත්. ලාංකීය සමාජයේ තියෙන බහුවිධ බව සහ විවිධත්වය සහ බහුවිධ ප්‍රජා කණ්ඩායම් වල වුවමනා සහ අවශ්‍යතා ඉටු වන ආකාරයට ගුවන්විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ බලපත්‍ර බෙදා දීම අත්‍යවශ්‍යයි.

මෙතෙක් කල් මේ තරංගමාලා, මේ බලපත්‍ර ලබා දුන්නේ රහසිගතව ආණ්ඩුවේ දේශපාලන හිතවතුන්ට සහ ඥාති මිත්‍රාදීන්ට. මේ නිසා සමාජයේ බහුතර විවිධ ප්‍රජා කණ්ඩායම් වලට විශාල අසාධාරණයක් සිදුවුණා. එහි ප්‍රතිඵලයක් විදිහට ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථානය හිමිකරුවන් තම දේශපාලන සහ වාණිජ වුවමනාවන් ඉටු කරන්න මේ සීමිත දේපල භාවිතා කළා.

මේ නිසා ගුවන් විදුලි සහ රූපවාහිනී අන්තර්ගතය තුළ සමාජීය බහුවිධ බව සහ විවිධත්වය දකින්න ලැබුණේ නැහැ. රටේ බහුතර ජනතාවට සිදුවුණේ නාගරික ප්‍රභූන් ගේ, උවමනාවන් මේ ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථානවලින් ඉටු වන ආකාරය සහ නාගරික ප්‍රභූන් ගේ වෘත්තිකයන්ගේ, දේශපාලනඥයින්ගේ නිලධාරීන්ගේ හඬට කන් දෙමින් නිෂ්ක්‍රියව බලා ඉන්න.

අයවැයෙන් යෝජනා කරන පරිදි ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමේ දී සිදුවන්නේ කැමති කෙනෙකුට ලංසු තියලා මේ බලපත්‍ර මිලදී ගන්න අවස්ථාව ලැබීම . මුදල් තියෙන අයට ඉහළ ලංසුවක් තියලා මේවා මිලදී අරගෙන තම දේශපාලන, වාණිජ හා පෞද්ගලික අරමුණු සඳහා මේ රූපවාහිනි සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන භාවිතා කරන්න පුළුවන්.

වෙනත් විදිහකට කියනවා නම් සල්ලි තියෙන දේශපාලනඥයින්ට, ව්‍යාපාරිකයින්ට, පාතාලයේ සාමාජිකයින්ට, කුඩු ව්‍යාපාරිකයින්ට, අන්තවාදී කණ්ඩායම් වලට ප්‍රසිද්ධ වෙන්දේසියේ දී වැඩි ලංසුවක් තියලා මේ බලපත්‍ර ලබාගෙන ලබාගන්න පුළුවන්.

ඊට පස්සේ ඒ බලපත්‍ර සමාජ විරෝධී සහ මානව සංහතියේ අයහපතට යොදවන්න පුළුවන්. දැනටමත් නිල නොවන විදිහට සිදුවෙමින් තියෙන්නෙත් එයයි. කෙනෙකුට සියලුම බලපත්‍ර මිලදී අරගෙන මාධ්‍ය ඒකාධිකාරයක් ගොඩනඟා ගන්නත් පුළුවන්.

මේ ක්‍රමයෙන් මාධ්‍ය හිමිකරුවන්ට කළු සල්ලි සුදු කරන්නත් පුළුවන්. දේශපාලඥයින් සහ දේශපාලන පක්ෂ තම රූකඩයක් කර ගන්නත් පුළුවන්. කැලණි නාගයා, වෛද්‍ය සාෆි, වඳ කොත්තු, කොරෝනා තෙල්, ගඟට මුට්ටිය දැමීම වගේ කතන්දර ගොතලා ජනතාව ගොනාට අන්දලා තමන් කැමති කෙනෙක් බලයට ගේන්නත් පුළුවන්.

මේක බලවත් සමාජයීය අසාධාරණයක් වගේම, රටේ අනාගතයට ප්‍රජාතන්ත්‍රවාදයට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බලපාන බරපතළ කාරණයක්. කරන්න තියෙන හොඳම දේ තමයි ගුවන් විදුලි සහ රූපවාහිනී බලපත්‍ර බෙදාදීම කෝටා ක්‍රමයක් යටතේ සිදු කිරීම. එනම් මහජන සහ ප්‍රජා ගුවන්විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථාන ආරම්භ කරන්න සියයට 50% ක කෝටාවක් නොමිලේ ලබාදීම.

විවිධ ප්‍රජා කණ්ඩායම් වලට, මහජන ව්‍යාපාර වලට ඒ බලපත්‍ර මහජන උවමනාවන් වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන්. එමගින් රටේ සමාජ, දේශපාලන, ආර්ථික කාරණා ගැන හඬ නගන්න මහජනතාවට වේදිකාවක් හදලා දෙන්න පුළුවන්. රටේ පොදු ජනතාවට ආණ්ඩුකරණ ක්‍රියාවලියට සහභාගි වෙන්න වේදිකාව්ක් හදලා දෙන්න මහජන සේවා සහ ප්‍රජා ගුවන් විදුලි, රූපවාහිනි මධ්‍යස්ථානවලට පුළුවන්.

ඉතිරි බලපත්‍ර 50% වාණිජ ගුවන්විදුලි රූපවාහිනී මධ්‍යස්ථානයය හිමිකාරත්වය ට සීමිත කාලයක් සඳහා ලබාගන්න විදියට විවෘත වෙළෙඳ පොළේ වෙන්දේසි කරන්න පුළුවන්.

හැබැයි වාණිජ ගුවන්විදුලි රූපවාහිනී බලපත්‍ර ලබාගැනීමට ලංසු තබන්නන් ට ලංසු තබන්නට තියෙන්න ඕන සුදුසුකම්, නිර්ණායක නීතිගත කර තිබීම මෙතනදි ඉතාම වැදගත්. නිදසුනක් වශයෙන් දේශපාලනඥයින්ට, නීතියෙන් වරදකරුවන් වූවන්ට, අන්තවාදී කණ්ඩායම් වලට, වෙනත් ව්‍යාපාර වල යෙදෙන්නන්ට මේ බලපත්‍ර ලබා ගන්න ඉල්ලුම් කිරීමට ඉඩ නොලැබෙන නීති තියෙන්න ඕන.

ඒ වගේම ලබාදෙන බලපත්‍ර වල කාලය සහ බලපත්‍ර කොන්දේසි පැහැදිලිව තියෙන්න ඕන. නිදසුනක් වශයෙන් මාධ්‍ය ආචාරධර්ම අනිවාර්යෙන් පිළිපැදීම රූපවාහිනී හා ගුවන්ව විදුලි බලපත්‍ර වල කොන්දේසියක් වෙන්න ඕන. මැතිවරණ සමයේ මැතිවරණ කොමිසම නිකුත් කරන මාධ්‍ය ආචාර ධර්ම පිළිපැදීම බලපත්‍ර වල තවත් කොන්දේසියක් වෙන්න ඕන.

මේ ආකාරයට රූපවාහිනී ගුවන්විදුලි බලපත්‍ර තරංග මාලා කළමනාකරණය කරන්න ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් පිහිටවන්න ඕන. දීලා තියෙන සියලුම රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර අහෝසි කරල මේ ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසම මගින් ඉහත නිර්ණායක යටතේ නැවත බෙදා දීමත් සලකා බලන එක වැදගත්.

එමගින් රටේ මාධ්‍ය හිමිකාරත්වය සහ මාධ්‍ය අන්තර්ගතයේ විවිධත්වයක් සහ බහුවිධ බවක් ඇතිවෙනවා. එමගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, විවෘතභාවය, වගවීම ශක්තිමත් වෙනවා. ක්‍රියාශීලී ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් රට තුළ ඇති වෙනවා.

මේ සියල්ලටම මේ අයවැය යෝජනාව හොඳ අවස්ථාවක්. දැනට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කෙටුම්පත් කර තිබෙන මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දැරූ කාලයේ කෙටුම්පත් කළ ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිස්ම් සභාව පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර මේක යථාර්ථයක් කරගන්න පුළුවන් .

(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More