පුරවැසි කොලම

ඉතිහාසය විසින් අපට විසදන්න බැරි ප්‍රශ්නයක් කවදාවත් දෙන්නේ නෑ.

ඒත් සමහරවිට මේ මොහොතේ අපිට උත්තරය නෙවෙයි ප්‍රශ්නයවත් තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඇත්තටම ඒ තරම් දැනුමක් අපට නැති වෙන්නත් පුළුවන්.

ඒ වගේම ඉතිහාසයේ අපි ඉන්න තැන ඒ ප්‍රශ්නයට උත්තර නැති තැනක් වෙන්නත් පුළුවන්.

ඒ වගේම ඒ ප්‍රශ්නයට උත්තර තියෙන්නේ අනාගතයේ වෙන්නත් පුළුවන්.

වර්තමානයේ ඉදන් අපට අතීතය විග්‍රහය කරන්න හරි ලේසියි. ඒත් වර්තමානයේ ඉදන් අනාගතය දකින්න හරි අමාරුයි.

අද අපි අවුරුදු 73 ක් තිස්සේ උත්තර නැති ප්‍රශ්නයකට උත්තරයක් හොයනවා. සමාජ සංවර්ධනය ගැන අබමල් රේණුවක දැනුමක් නැති වැඩවසම් පාලකයින්ගෙන් ධනේශ්වර ක්‍රමයේ අර්බුදයට උත්තර ඉල්ලනවා.

ඇත්තටම අපි බරපතල විදිහටම පාර වරද්ද ගත්ත ජාතියක්. හැබැයි අපි ප්‍රශ්නයට උත්තරයක් නැති මිනිස්සුන්ගෙන් උත්තරයක් ඉල්ලන්නේ ප්‍රශ්නයට උත්තරය තිබුණ මිනිහා මරලා දාලා. අපි උත්තරය මරලා ප්‍රශ්නය ඉතුරු කරගෙන.

ඒ වගේම තවමත් ඒ ඝාතනය සාධාරණීකරණය කරන මිනිස්සු ඉන්න පුළුවන්. ඝාතනයෙන් අවුරුදු 32 කට පස්සෙත් කියන්න තියෙන්නේ මෙච්චරයි එහෙම හිතුවට අපි උඹලා එකක් තරහා නෑ කියලා විතරයි.

ඒ මිලේච්ඡ ඝාතනය සිද්ධ වෙන්නේ අදින් හරියටම අවුරුදු 32 කට උඩදී අද වගේ කාලකණ්ණි දවසක මේ වගේ මූසල රාත්‍රියක.

අවුරුදු 32 කට උඩදී අපි මේ ගතකරමින් ඉන්නේ ඒ යක්ෂයාගේ හෝරාව. මේ වෙනකොටත් කොළඹ ගොල්ෆ් පිට්ටනියේ නිරායුද මිනිසුන් තුන්දෙනෙකුට රණසිංහ ප්‍රේමදාසගේ හා රන්ජන් විජේරත්නගේ මිනීමරු මස් වැද්දන් අපමණ වද දෙමින් ඉන්න වෙලාවක්. ඇති තරම් අතින් පයින් පහරදීලා. මදි හරියට තමන් බීපු අරක්කු බෝතල්වලිනුත් ගහලා. පෙට්‍රල් පොවලා. නියපොතු උගුල්ලපු මිනිස්සු තුන්දෙනෙක් ලේ පෙරමින් උන් ඉදිරියේ මහ පොලොවේ වේදනාවෙන් ඒ මේ අත පෙරලි පෙරලි ඉන්න වෙලාවක්.

තව ටික වෙලාවකින් බොරැල්ල කනත්තට ගෙනත් පනපිටින් පිච්චන්න අණ ලැබෙනකම් ඉන්න වෙලාවක්. ඒ වගේම තව පොඩ් වෙලාවකින් ඒ මූසල දුරකතනයේ Rings යන්න නියමිතයි.

ඇත්තටම අද අපි මේ ගෙවමින් ඉන්නේ ඒ ඝාතනයේ සාපය කියලා තමයි රටේ රාළට නං දැනෙන්නේ.

එදා 1971 කැරැල්ලේ මහ නඩුවෙන් වැරදිකාරයෙක් උන රෝහණ විජේවීර සහෝදරයා සිරගත කරලා තිබුණේ යාපනේ හැමන් හිල් බන්ධනාගාරයේ. මීට අවුරුදු තුනකට උඩදී රටේ රාළ එතනට ගියා. විජේවීර සහෝදරයාගේ හිර කුටියටත් ගියා. ඒ හිරකුටියේ බිත්ති මත තවමත් රෝහණ සහෝදරයා ලියපු අකුරු තියනවා. ඒ වචන අතර යන්තම් හදුනා ගන්න පුළුවන් වචන කීපයක් තවමත් තියනවා.

රෝහණ සහෝදරයා ලස්සන කවියක් බිත්තියේ ලියලා.

කොහොම උනත් විජේවීර සහෝදරයා අපට කියාදුන් එක් පරම සත්‍යයක් තියනවා. ඒ තමයි කිසිම කෙනෙකුට ඉතිහාසයේ විනිශ්චයෙන් බේරෙන්න බෑ කියන සත්‍යය. ඉතිහාසය තමයි මිනිස්සුන්ට දඩුවම් කරන්නේ. ඉතිහාසය තමයි නිවැරදි මිනිස්සු නිදොස් කොට නිදහස් කරන්නේ. අද ඒ ඉතිහාසය විසින් විජේවීර නිදොස් කොට නිදහස් කරලා ඉවරයි.

විජේවීර සහෝදරයා මරලා දාපු අය ඉතිහාසය ඉදිරියේ වරදකරුවන් වෙලා ඉවරයි. එදා විජේවීර ගැන හරියට කියවා ගන්න බැරි වෙච්චි ලාංකීය සමාජයේ මිනිස්සු අද ඒ වරදට වන්දි ගෙවමින් ඉන්නවා. මේ අපි ඉස්සරහා දිග හැරිලා තියෙන පරක් තෙරක් නොපෙනෙන අර්බුදයෙන් පෙන්නන්නේ ඒ වන්දියේ විශාලත්වයයි.

ඒ අර්බුදය විසින් මේ මොහොතෙත් ලාංකීය සමාජයට දෙන පණිවිඩය තවමත් තේරුම් ගන්න ලාංකීය සමාජය මනෝ මූලිකව වැඩිලා නෑ. අවුරුදු 73 ක් මේ රටට කරපු වැරදි ආදේශ කිරීම් වෙනුවට දැන්වත් විජේවීරගේ උත්තරය ආදේශ කරගනිල්ලා කියලා හිතන්න තරම් තවමත් අපේ සමාජය මනෝමය වශයෙන් දියුණු නෑ.

ඒ සමාජවාදය කියලා වරදවා වටහා ගන්න එපා. මේ රටේ ආර්ථික අර්බුදයට උත්තරය තියෙන්නේ විජේවීරගේ දර්ශනය ඇතුළේ. මේ රටේ ජාතික සමගියට, ප්‍රජාතන්ත්‍රවාදයට, යුක්තියය සාධාරණයට, පරිසරයේ ආරක්ෂාවට, ජාතික සංවර්ධනයට ඔය හැම එකටම කාටත් පිලිගන්න පුළුවන් උත්තරය කිව්වේ රෝහණ විජේවීර.

ඒත් ඒක ඒ විදිහට හිතන්න බැරි තරමට අපි තවමත් වහල් බැමිවලින් හිර කරලා. මේ වෙලාවට තමයි හිතෙන්නේ ඒක කියාදෙන්න විජේවීර සහෝදරයා හිටියා නම් කොච්චර වටිනවද කියලා.

අදත් විජේවීර නමින් හඩන මිනිස්සු දහස් ගනනක් මේ මේ පොලොව උඩ ජීවත් වෙනවා. තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ කිසිම දෙයක් පුද්ගලිකව ඉතුරු කර නොගනිමින් සියල්ල ජනසතු කරලා ගිය අසහාය විප්ලවවාදියා විජේවීර. ඒ අර්ථයෙන් විජේවීරට සමාන කරන්න පුඑවන් විප්ලවාදියෙක් සිටියා නම් ඒ ඒනස්ටෝ චේ ගුවේරා විතරයි.

ඒකෙන් කිසිසේත්ම අනෙක් විප්ලවවාදීන් හෑල්ලු කරන්න නං හීනෙන් වත් හිතුවේ නෑ. රටේ රාළට කියන්න තියෙන්නේ මෙච්චරයි චේ හරියට හදුනාගන්න ඕනිනම් ඉස්සෙල්ලා හරියට විජේවීර කියවා ගන්න. විජේවීර ඇතුළේ චේ ජීවත්වෙන බව එතකොට තේරුම් ගන්න පුළුවන්.

තමන් පිලිගත්ත දේශපාලන අරමුණ වෙනුවෙන් තමන්ට කියා කිසි දෙයක් ඉතුරු කරගන්නේ නැතිව සියල්ල තමන්ගේ අරමුණ වෙනුවෙන් පරිත්‍යාග කරලා ජීවිතයට වේදනාත්මකව සමුදුන් විජේවීර සහෝදරයා ඇතුළු සහෝදර සහෝදරියන් ශ්‍රේෂ්ඨයි.

ඇත්තටම ඒ විජේවීරලා ජීවිතය පරිත්‍යාග කළේ අනාගතය වෙනුවෙන්. එයාලා බලාපොරොත්තු වෙච්ච ලෝකය අනාගතයේදී ගොඩනැගෙනවා සත්තයි. සමහරවිට ඒක අපටත් බලන්න බැරිවෙයි.

විජේවීර කියන්නේ තවත් අවුරුදු සිය ගානක් ඉදිරියට අනාගය දැකපු මිනිහෙක්. ඇත්තටම ලෝකය ආයෙත් විජේවීරගේ පැත්තට නැඹුරුවෙමින් තියනවා.

යුරෝපයේ තරුණයාගේ අද ජනප්‍රියම මාතෘකාවලින් එකක් බවට සමාජවාදය පත්වෙලා. ආයෙත් යුරෝපය පුරා සමාජවාදයේ රැල්ලකට තරුණයා සුදානම් වෙනවා. ආයෙත් සමාජවාදය සම්බන්ධව කතිකාව පටන් අරන්. පහුගිය අවුරුද්දක කාලය ඇතුළත යුරෝපය පුරා වැඩියෙන්ම අලවි උන කෘතිය වෙලා තියෙන්නේ මාක්ස් – එංගල්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය. විජේවීර සහෝදයා අනාගතයේ ජීවත් වෙන්න වර්තමානයෙන් අපිව දාලා ගිහිල්ලා.

විජේවීර ඇතුළු සොහොන් කොත් ඉදිනොවු අමරණිය මිනිස්සුන්ට අපේ විප්ලවීය ආචාරය.

අනාගතයේදී හමුවෙමු.
මීට
රටේ රාළ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More