පුරවැසි කොලම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ ජාතික විද්‍යා දිනය හා ජාතික විද්‍යා සතියේ ආරම්භක දේශනය කරමින් හරි අපූරු කතාවක් කළා. ඇත්තටම රටේ රාළට හිතෙන්නේ ඒ කතාව තුළ ලොකු දේශපාලන රහසක් හැංගිලා තියනවා කියලා.ජනාධිපතිතුමාගේ ඒ කතාවේ ප්‍රධාන කාරණා කීපයක් ගැන රටේ රාළ අවධානය යොමු කරනවා.

එතනදී ජනාධිපතිතුමා කියන්නේ තමන් හෝ තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනතා බලාපොරොත්තු ඉටු කරන්නේ නැත්තනම් ඊට විකල්පය විදිහට අවුරුදු පහක් හිටපු පරණ කණ්ඩායම තෝරන්න එපා කියලා.ඒ වෙනුවට අලුත් කණ්ඩායමකට බාරදෙන්න කියලා.මේ ක්‍රමය වෙනස් කරන්න කියලා.හැබැයි ඒ කණ්ඩායම හොයා ගන්න විදිහ එතුමා දන්නේ නෑ ලු.ඒ වගේම එතුමා කියනවා අපේ රටට අවශ්‍ය ආයෝජන කිරීමට මුදල් අපට නැති නිසා මේ වගේ විදේශ ආයෝජන ගේන්න ගන්න වෙනවා කියලා(ඒ කියන්නේ යුගදනව් වගේ ආයෝජනද කියන එක පැහැදිලි නෑ) කතාවක් විදිහට ගත්තොත් ඒක සාර්ථක කතාවක්.ඒත් උපක්‍රමයක් විදිහට හිතුවොත් ඒක ඇත්තටම අසාර්ථක කතාවක්.මොකද ඒක ඇතුළ හැංගිලා තියෙන දේශපාලන උපක්‍රමය වහගන්න ජනාධිපතිතුමාට බැරි උනා.කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕකට වෙන්න ඕනි.රටේ රාළ මේ කරන අනුමානයන් නිසා රටේ රාළට පැති කීපයකින් ප්‍රහාරයක් එන්න පුළුවන්.ඒත් මේ දේශපාලන ප්‍රතිවිරෝධතා පෙළ ගැහෙන විදිහ සම්බන්ධව කතා කරන්න රටේ රාළට අයිතියක් තියනවා.ඒ අයතිය රටේ රාළ මෙතනදී උපරිම වශයෙන් පාවිච්චි කරනවා. පාව්ච්චි කිරිමෙන් එන ප්‍රතිඵලය නොසළකා හරිමින්.

මෙතනදි බලය නැවත දෙන්න එපා කියලා ජනාධිපතිවරයා කියන්නේ මීට කලින් අවුරුදු පහක් බලය හොබවලා අසාර්ථක වෙච්චි කට්ටියට.ඒ කියන්නේ එඡාපයටයි.සජබයටයි. පාඨළීත් ඇතුළත්ව.එතකොට ප්‍රශ්නය එන්නේ ජනාධිපති කියන අලුත් කණ්ඩායම කවුද කියන එකයි.ඒ වගේම දේශපාලනයේදී ක්ෂණික නූඩ්ල්ස් වගේ උත්තර නැති බව අපි කවුරුත් දන්නවා.ඒ අනුව හිතද්දී ජනාධිපති කියන මේ කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ කියලා ගොඩක් අයට හිතෙන්න පුළුවන්.ඒ කතාව අහගෙන හිටපු අයට විතරයක් නෙවෙයි කතාව කරපු ජනාධිපතිතුමාටත් ඒක දැනෙන්න ඕනි.අනික ජනාධිපතිවරයෙක් ඔය වගේ උත්සවයකදී කරන කතාව කලින් හදපු කතාවක්.එකපාරට හිතට එන ඒවා ජනාධිපතිවරයෙක් කියන්නේ නෑ.එතකොට මේ කතාව හදන අයටත් රටේ රාළ කියන මේ feeling එක දැනෙන්න ඕනි. නැත්තං කතාව හදපු අයගෙයි කතාව කියපු කෙනාගෙයි දේශපාලන අවබෝධ සමිබන්ධ බරපතල ප්‍රශ්නයක් එනවා.

එහෙමත් නැත්තං මේ දිග හැරෙන්න පටන් ගන්නේ කලින් තිර පිටපත ලියපු අලුත්ම දේශපාලන නාට්ටියක Coming කෑල්ලක් වෙන්නත් පුළුවන්.මොකද ඒකට ගොඩක් දුරට සමාන කොටසක් ඊයේ පාර්ලිමේන්තුවේදිත් රඟ දැක්වුණා.ජවිපෙ නායක අනුර දිසානායක ඊයේ ජනාධිපති පත්කරපු එක රටක් එක නීතියක් ගැන වන ජනාධිපති කාර්ය සාධක බලකාය ගැනත් ඒකට පුද්ගලයින් පත් කිරීම ගැනත් අගමැති මහින්දගෙන් ප්‍රශ්න කළා. එතනදී මහින්ද පට්ට Professional උත්තරයක් දුන්නා.ඒකට දිනේෂුත් උදව් කළා.ඇත්තටම එතනදී ගියේ හරිම ආදරණීය දේශපාලන සංවාදයක්.ඒකට පිටින් ගාල කඩාගෙන වගේ පැන්න සරත් වීරසේකර හින්දා රටේ රාළට අහගන්න තිබුණ තවත් කෑල්ලක් දෙකක් Miss උනා.අන්තිමට අනුර සරත් වීරසේකරට නෙලලා වැඩේ අවසන් උනා.ඇත්තටම අපරාදේ.අනුර ඒ තර්කයේ ඉළක්ක වෙන්න ඕනි අගමැතිව තවලා නිකං හිටියා. සාමාන්‍යයෙන් අනුර වගේ කෙනෙක් තමන් ගොඩනගන තර්කය දක්ෂ විදිහට ඉළක්කයට ගෙනියනවා.ඒත් මෙතනදී ඒක උනේ නෑ. තර්කය විසින් කට්ටියට එකට කළු කොපි එකක් බොන්න පුළුවන් Table එකක් Arrange වෙන මට්ටමක් තමයි රටේ රාළ නං පෙනුනේ.

දැන් ඊළඟට ඔයාලට එන ප්‍රශ්නය රටේ රාළ දන්නවා.ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය.ඇත්තටම රාජපක්ෂලා කියන්නේ බලය සම්බන්ධ කාරණයේදී යකා එක්ක උනත් ගනුදෙනු කරන්න ලෑස්ති ජීවින් කොට්ඨාශයක්.එයලා,එයලා අතර ප්‍රශ්න ගොඩක් තිබුණට එයලා කවදාවත් ඒක රාජපක්ෂවරුන් අතට බලය ගැනීමට බාධාවක් කරගන්නේ නෑ.ඉතිහාසයේ ඒකට ඕනි තරම් උදාහරණ තියනවා.මුලින්ම මහින්ද බලයට ආවේ ජවිපෙ හා එල්.ටී.ටී.යේ සහයෙන්.දකුණේදී ජවිපෙ සිංහල ඡන්ද පදනම ගෙඩි පිටින් මහින්දට දාලා දුන්නා.උතුරේදී ඡන්දය වර්ජනය කරවලා රනිල් ලැබෙන්න නියමිත දෙමළ ඡන්ද ටික එල්.ටී.ටී.ඊ එකෙන් වැලැක්වුවා.ඊළඟට යුද්ධ අවසන් වෙනවාත් එක්ක මහින්ද 2010 ජයග්‍රහණයට යොදා ගත්තේ ජාතික බලවේගය.ඊට පස්සේ යහපාලන ආණ්ඩුව කාලේ රනිල් – මහින්ද ඩීල් එක කියන්නේ ප්‍රසිද්ධ දේශපාලනය ගනුදෙපුවක්.ඒ ඩීල් එක විපක්ෂයේ හිටිය මහින්දලට ආශීර්වාදයක් උනා.අවසානයේ ඒකටත් පයින් ගහලා රාජපක්ෂලා ආයෙත් ශ්‍රීලනිපය එක්ක දේශපාලන දීගයකට ආවා.

ඇත්තටම මේ උදාහරණය කීහිපයෙන් බලය ගැනීම වෙනුවෙන් රාජපක්ෂලා යකා එක්ක උනත් ගනුදෙනු කරන්න කැමතී කියන රටේ රාළගේ තර්කය ඔප්පු වෙනවා.අදත් රාජපක්ෂලා මුහුණ දීලා තියෙන්නේ බලය සම්බන්ධ ප්‍රශ්නයකට.හැබැයි ඒ බලය ලබා ගැනීමේ ප්‍රශ්නයකට නෙවෙයි ලබාගත් බලය පවත්වාගෙන යෑමේ ප්‍රශ්නයට.ඒකට ප්‍රධාන අභියෝගය වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදය.ඒකට මෙයාලට උත්තර නෑ.ඒ ආර්ථික අර්බුදය විසින් දැවැන්ත ජනතා විරෝධයක් රට තුළ ගොඩනැගිලා තියෙනවා.ඒක ඇත්තටම එක වෙලාවක ජනතාව පාරට බැහැලා ආණ්ඩුව එළවන තරම් බලවත් එකක්. ඇත්තටම තියෙන ප්‍රශ්නය ඒ සටනට නායකත්වයක් නැති එක විතරයි.ඒ කියන්නේ ගෝඨාභය – මහින්ද – බැසිල් ආණ්ඩුව උත්තරයක් නැති බරපතල දේශපාලන අර්බුදයකට තල්ලු වෙමින් තියනවා.මේ තත්වයට රාජපක්ෂලාට තියෙන එකම උත්තරය මේ ජනතා බලවේගය කෑලි කෑලිවලට බොදලා දාන එක විතරයි.ඒක මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් හොඳම උපක්‍රමවලින් එකක්.

ඒකට ඇත්තටම විපක්ෂය ආණ්ඩුවට ඕනි විදිහට කලමණාකරණය කරන්න ඕනි.ඒකට අවශ්‍ය පස විපක්ෂය ඇතුළේ තියනවා. විපක්ෂයේ ප්‍රධාන බලවේග තුන හතර අතර තියෙන්නේ බරපතල දේශපාලන ගැටුමක්. ඇත්තටම මෝඩ බල ගැටුමක්.එජාපය,සජබේ අතර ගැටුම ගැන කවුරුත් දන්නවා.සජබය ඇතුළෙත් සජිත්,චම්පික,ෆොන්සේකා අතර ශීතල යුද්ධයක් තියනවා.දැන් ඒවා ප්‍රසිද්ධ රහස්.මෙතනදී ජවිපෙ ඔය හැම කණ්ඩායමක් එක්කම ගැටුමක ඉන්නවා.ඇත්තටම ජවිපෙ ඉන්නේ තමන් ගැන බරපතල වැරදි තක්සේරුවක.ඒත් ඒක එයාලට තේරෙන්නේ නෑ.එකම සටන ඇතුළේ බෙදීම් උග්‍රයි.ඊයේ ජවිපෙ ගුරු සංගම් ප්‍රධානියයි උලපනේ හාමුදුවන්ගේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර ඇතිවෙන ගැටුමෙන් ඒක පේනවා.දෙගොල්ලොම දෙගොල්ලන්ට පාවා දුන්නා කියලා චෝදනා කර ගන්නවා.ආණුවට නිකං විනෝද සමය බැලුවා වගේ ඇති. ඇත්තටම ඒ සිද්ධියේ විඩියෝ එක අන්තර් ජාලයේ තියනවා.ඒ කතාබහෙන් සුදු ඇදගෙන ආවට ඇත්තටම යකා කළුයි කියලා එක වසර ළමෙකුට උනත් තේරෙනවා.

ඊළඟට ජවිපෙට තියන තවත් බරපතල ප්‍රශ්නයක් තියනවා.ඒ රනිල් තරම් සජිත් Professional නොවීමේ ප්‍රශ්නය.ඇත්තටම ජවිපෙ දිහා පිටින් බලා ඉන්න අය දන්නේ නැති උනාට 2008 වගේ වෙනකොට ජවිපෙ නායක අනුර දිසානායක හිටියේ එජාපය නැවත බලයට ගේන්න ඕනි කියන ස්ථාවරයේ.ඒ ප්‍රකාශය අනුර රටේ රාළ ඉස්සරහා කළා.ඒකට තවත් සාක්ෂි පහක් තියනවා.එයලා තවමත් ජීවතුන් අතර.ඒකට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ,මධ්‍යම කාරක සභාවේ ඒ වගේම ජවිපෙ ඇතුළේ තිබුණ බොල්ෂෙවික් පක්ෂයේ සාමාජිකයිනුත් සාක්ෂි දරනවා ඇති.ඇත්තටම ජවිපෙ තුළ අනුර රනිල් වාදියෙක් උනා.අනුර කියයි ඒක උපක්‍රමයක් කියලා.ඒක නිසා තමයි එදා සෝමවංශ අනුර ඇතුළු කණ්ඩායමට රතු අලි පැටව් කියලා කිව්වේ.නමුත් අද එජාපයට දේශපාලන වශයෙන් බරපතල පරාජයක් අත් වෙලා.අද රතු අලි පැටවුන් විතරක් නෙවෙයි කොළ අලි පැටවුනුත් එජාපය දාලා ගිහිල්ලා. තව දුරටත් රනිල් සමග කරන ඩීල් අනුරලාට දේශපාලන වශයෙන් වැඩක් නෑ.නැත්තං ඒ රනිල් හරහාම අලුත් වත්තකට පය තියන්න අවස්ථාව අනුරට උදා වෙලා වෙන්නත් පුළුවන්.

ඒක පහුගිය දවස්වල සිද්ධ උන දේශපාලන සිදුවීම් දිහා හොඳට බැලුවොත් පේනවා.මේ කාලයේදී අවස්ථාව ගනනකදීම අනුර එකවර අතුරුදහන් වෙනවා.ඔයාලටත් ඇහිලා ඇති ජනතාව කෝ අනුර කියලා ප්‍රශ්න කරනවා. ආණ්ඩුවට ජවිපෙ එල්ල කළ සෘජු විවේචනය දැන් කාලෙක ඉදන් අවශ්‍ය බරෙන් එන්නේ නෑ. අද ඒක කරන්නේ වෘත්තීය සමිති.අනුර කරන්නේ පාර්ලිමේන්තුවේ බොහෝම වැදගත් කතාවක් කරන එක විතරයි.අරගලයට නායකත්වය දීම අනුර කරන්නේ නෑ.බැරි බැරි ඝාතෙන් හරි සජිත් ඒක කරන බව පේනවා. සජිත් කරන ඒකේ හොඳම ප්‍රතිපලය තියනවා කියලා රටේ රාළ කියන්නේ නෑ.ඇත්තටම අනුර ඉන්නේ පට්ට ආරක්ෂණවාදී දේශපාලන ස්ථාවරයක.අනුරගේ මේ වෙනස්වීම මොකද්ද?ජවිපෙ ඇතුළේ අනුර හිටිය ස්ථාවරයට සම්පුර්ණ වෙනස් තත්වයකට අනුර පත් උනේ කොහොමද?අද ජවිපෙ ඇතුළේ ඒ සාකච්ඡාවක් පටන් අරන් බව රටේ රාළ හොදටම දන්නවා.අනුර හිටියේ මේ ආණ්ඩුවට කුඩු වෙන්න ගහන්න ඕනි කියන තැන.ඒක වෙනුවෙන් තමයි ජවිපෙ මූලිකත්වයෙන් ජාතික ජන බලවේගය හැදෙන්නේ.

හැබැයි ඇත්තම කතාව ජාතික ජන බලවේගය කියන්නේ ජවිපෙ ගල් අච්චුවට දාලා ගත්ත උගතුන් කීපදෙනෙක් ඉන්න තැනක් විතරයි. කවදාවත් ඒකට බහුජන සංවිධානයක් වෙන්න බෑ.අදත් ජවිපෙ ඇතුළේ ලාල්කාන්තලා ඉන්නේ ඒ මතයේ.ඒ කියන්නේ ජාතික ජන බලවේගයට එහා ගිය ඇත්ත බහුජන ව්‍යාපාරයක් බවට ඡවිපෙ පත්වෙන්න ඕනි කියන ස්ථාවරයේ.ලාල් හැමදාම කිව්වේ ජනතාව කපුටෝ නං අපි මයිනෝ වෙලා හරියන්නේ නෑ කියලා.අපිත් වෙනස් ජාතියේ කපුටෝ වෙන්න ඕනි කියලා.ලාල්ගේ ඔය කතා නිසා අනුරලා ලාල් දිහා බැලුවේ ජවිපෙ ඇතුළේ ඉන්න ලෙඩ කපුටෙක් විදිහට.ඒත් දැන් තියන ප්‍රශ්නය ලාල්ගේ තැනට අනුර ඇවිත්ද කියන ප්‍රශ්නයයි.හැබැයි රටේ රාළට හිතෙන්නේ අනුර එතනට ආවා නම් ඒක ටිකක් හිතලා බලන්න ඕනි කාරණාවක්.මොකද ජවිපෙ ඒ තත්ත්වට එන්න තිබුණේ මීට ගොඩක් ඉස්සර.එහෙම ආපු හැම අවස්ථාවේම ඒකට පයින් ගැහුවේ අනුර ටිල්වින් ඇතුළු ජවිපෙ මූලධර්මවාදී කණ්ඩායම.ඒ නිසාම ජවිපෙ ගොඩක් සමාජ බලවේග මත දරපු ආධිපත්‍යය අද ජවිපෙන් ගිලිහිලා ගිහින්.

අද ගුරු බලයෙන් ජවිපෙ නියෝජනය කරන්නේ ඉතාම පොඩ් පංගුවක්.ඒක සජබය හා 43 අතර බෙදිලා.ඊළඟට ජවිපෙට විශ්ව විද්‍යාල තුල තියෙන බලය ඉතාම දුර්වලයි. ඒකේ වැඩි පංගුව තවම තියෙන්නේ පෙරටුගාමීන් අතේ.ඇත්තටම ජවිපෙ ගොවි බලයත් ඉතා සීමා සහිත වෙලා.කම්කරු බලයත් අද බෙදිලා.ස්වාධීන වෘත්තීය සමිති හතු පිපෙනවා වගේ හැදිලා.මේ කිසිම සටනක තීරකයෝ ජවිපෙ නෙවෙයි.ඇත්තටම ජවිපෙ කියලා එකක් රටේ තිබුණට අද ගමේ නං ජවිපෙ කියලා මයිල් ගහක්වත් නෑ.මේ තත්වය ඇතුළේ ඒක වර්ධනය කර ගන්න ජවිපෙ නායකයා සටන්වල ඉස්සරහා ඉන්න ඕනි උනත් එයා නෑ.ඇත්තටම ආණ්ඩුවේ මර්ධන යාන්ත්‍රණය අද ජවිපෙ දෙසට දියත් වෙනවා ගොඩක්ම අඩුයි.ඒක දික් වෙලා තියෙන්නේ විපක්ෂයේ ඉළක්ක ගත කීපදෙනෙකුට වගේම පොදුවේ ජනතාවට.ආණ්ඩුව ජවිපෙට නැති මර්දනයක් පෙරටුගාමීන්ට ගේනවා.ඒක බැලූ බැල්මටම පේන දෙයක්.ඇත්තටම මේ වගේ වෙලාවක ඇග බේරාගෙන සිටීම කියන තැනට ජවිපෙ නායකයා තල්ලු වෙන්න පුඵවන්.මිට කලින් එයා එජාපය බලයට ගේන්න ඕනි කියන තැනදී එයා අනුගමනය කළේ ඒ උපක්‍රමය.

එජාපය බලයට ආව ගමන් ශ්‍රීලනිපය ඉවරයි ඊට පස්සේ ඒ අවස්ථාව අපට එනවා කියන ස්ථාවරයේ තමයි අනුර හිටියේ.ඇත්තටම අනුරගේ ඒ උපක්‍රමය ෆේල් උනා.ජවිපෙ 3% දක්වා කඩා වැටුණා.අදත් අනුර මේ අත්හදා බලන්නේ ඒ උපක්‍රමයද කියන සැකය රටේ රාළට නං තියනවා?මොකද ආණ්ඩු විරෝධී බලවේග ආණ්ඩුව එක්ක ගැටෙන්න ඇරලා ඇග බේරගෙන පැත්කට වෙලා ඉන්නවා.ඊට පස්සේ සිද්ධ උන විනාශය තක්සේරු කරලා ඊට අනුව දේශපාලනය තෝරනවා.අනුර සම්බන්ධ ඉතිහාසය හැමදාම ලියවුණේ එහෙමයි.අනුර ජවිපෙ නායකත්වය කරා අවේ ශුද්ධවූ ගමනක නෙවෙයි.අනුර විශ්වාස කරන ඒත් කවදාවත් නොඑන ඒ අවස්ථාව එනකන් ආණ්ඩුවේ අවබෝධයෙන් පොඩි කඩයක් දාගෙන ඉන්න තැනට අනුර තල්ලු වෙන්න පුළුවන්.අනික රනිල්ට හීලෑ උනු අනුරට මේ ආණ්ඩුවට හීලෑ වෙන්න බැරිකමක් නෑ.පහුගිය කාලේ අනුරගේ දරුවන් ඉළක්ක කරලා පවා විවිධ හැඩයේ ප්‍රහාර එල්ල උනේ ඒ යටත් කර ගැනීමේ මෙහෙයුමේ එක කොටසක් වෙන්නත් පුළුවන්. ඊළඟට ආණ්ඩුව ඇතුළේ බලවේගය වේගයෙන් ආණ්ඩුවෙන් ගැලවී යන වෙලාවක අනුර වගේ කෙනෙක් ඒක්ක දේශපාලන ඩීල් එකක් දාන්න පුළුවන් නම් එක ආණ්ඩුව පැත්තෙන් ලබන ලොකු ජයග්‍රහණයක්.

රටේ රාළ කියන්නේ රනිල් ඉස්සරහා රතු අලි පැටව් උන අනුරලාට රාජපක්ෂලා ඉස්සරහා රතු සාටක පැටව් වෙන්න බැරි නෑ.මොකද සාටකේ රාජපක්ෂලා වගේ පිටට පේන්න දාගන්න ඕනි නෑ.එක තියෙන්නේ ජවිපෙ පෙට්ටගමේ දාලා වහලා.අපි වගේම ජවිපෙත් රාජපක්ෂ විරෝධීන් තමයි හැබැයි පෙට්ටගමේ රතු සාටකය තියනවා.එච්චරයි.බලමු හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනේ.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.

මීට
රටේ රාළ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More