පුරවැසි කොලම

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු විදේශ ලේකම්වරයා විසින් පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලැබීය. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස පිළිගත් සීමාවන් ඉක්මවා හැසිරුනු බව පැහැදිලිව පෙනුණි. ඉන්පසුව එකා පසු පස එකා බැගින් හමුදා අභ්‍යාසයක් සඳහා හමුදා ප්‍රධානියෙකු මෙන්ම නූතන ජෝන් ඩොයිලි කෙනෙකු ලෙස සැළකෙන සුබ්‍රමනියම් සාමිවරයාද ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂ තත්වයකි. ඒ සමඟම වර්තමාන ආණ්ඩුව විසින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරයකට පත්කරනු ඇතැයි කිසිසේත්ම අපෙක්ෂා කළ නොහැකි පුද්ගලයෙකු එම ධුරයට පත්කිරීම ඊට වඩා විශේෂ තත්වයකි. කෙසේ වෙතත් 1976 වඩුක්කොඩෙයි සමුළුවෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවට හිතවාදී සන්නද්ධ කණ්ඩායම් බිහිකිරීම, ඔවුන්ට අවි පුහුණුව ලබාදීම සහ 1983 ජාතිවාදී කෝලාහලය උසිගැන්වීම ආදියට අදාලව හෙළිදරව් වී ඇති ඉන්දියානු රහසිගත මැදිහත්වීම් ඊට වඩා බොහෝ බරපතළ බවට විවාදයක් නැත. ඒ සියල්ලේ කූඨප්‍රප්තිය ලෙස ඉන්දුලංකා ගිවිසුම මගින් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවට ඉන්දියානු හමුදාව ඇතුල්වීම ඒ සියල්ලටම වඩා ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීමට හේතු වූ බව රහසක් නොවේ.

මෑත කාලීනව එනම් 1990 වසරේ සිට බාහිර මැදිහත්වීම මත ලෝකයේ බෙදා වෙන් කෙරෙනු රටවල් ප්‍රමාණය 34කි. ඒ අතුරින් අතිබහුතරය ඓතිහාසිකව සහ ව්‍යවස්ථානුකූලව ෆෙඩරල් රාජ්‍යයන් ලෙස පැවති අතර අභ්‍යන්තර ගැටුම් සහ බාහිර මැදිහත්වීම් මත ඒවා වෙනම රාජ්‍යයන් ලෙස බබෙදී වෙන්විය. නැගෙනහිර ටිමෝරය ගත්විට පෘතුගීසි සහ ලන්දේසි යටත්විජිත පාලනයක් විසින් එම බෙදීමේ රේඛාවන් නිර්මාණය කරනු ලැබීය. අවසන් වශයෙන් ඒ සෑම රටක්ම බෙදී වෙන්වූ නව රාජ්‍යයන් ලෙස පිළිගැනීමට ලක්වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මතය. පැපුවානිව්ගිනියා දූපත් දෙකට බෙදා ඉරියන් ඡායා හෙවත් බටහිර පැපුවා නැමති වෙනම රාජ්‍යය නිර්මාණය කරනු ලබන්නේ 1962 එක්සත් ජාතීන්ගේ තාවකාලික අධිකාරියක් හෙවත් රාජ්‍යයක් ලෙසය. පසුව එය ඉන්දුනීසියාවට පවරා දෙනු ලැබීය.

ජාත්‍යන්තර මැදිහත්වීම සහ ඊනියා ජාත්‍යන්තර නීතිය

නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීම මත සුඩානයෙන් දකුණු සුඩානය බෙදා වෙන්කිරීමේදී එක්සත් ජාතීන්ගේ මැතිහත්වීම මත 2011දී ජනමත විචාරණයක් පවත්වනු ලැබීය. වසර 20කට අධික කාලයක් පැවති දකුණු සුඩානයේ අභ්‍යන්තර ගැටුම් ජාත්‍යන්තර මැදිහත්වීම මත මුස්ලිම් සහ ක්‍රිස්තියානි වශයෙන් කෘතිමව ඇතිකරනු ලැබූ බෙදීම මත නිර්මාණය කෙරුනු බව රහසක් නොවේ. ඉන්පසුව එම ගැටුම් සමනය කිරීමේ නාමයෙන් සාම දූතයෙකු ලෙස මැදිහත් වූ නෝර්වේ රාජ්‍යය ජාත්‍යන්තර ගිවිසුමක් මත පදනම්ව එම රාජ්‍යය බෙදා වෙනුකරනු ලැබීය. ජාත්‍යන්තර මැදිහත්වීම මත රටවල් බෙදා වෙන්කිරීමේදී සපුරාගනු ලබන මූලික පූර්ව කොන්දේසි දෙකක් හදුනාගත හැක. පළමුවැන්න ව්‍යවස්ථානුකූලව යම් භූමි ප්‍රදේශයකට හෙවත් ජනතාවකට ෆෙඩරල් පාලන බලතල ලබාදීමය. දෙවැන්න එම භූමිභාගය ජාත්‍යන්තර ගිවිසුමක් මගින් සුවිශේෂී පාලන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමය. ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීම සඳහා සිදු වූ ජාත්‍යන්තර මැදිහත්වීම් වලදී එම ක්‍රියාවලි දෙක හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් කරනු ලැබීය.

එනම් 1987 දී ඉන්දියානු මැදිහත්වීම මත ව්‍යවස්ථාව මගින් බෙදා වෙන්කිරීමට නියමිත භූගෝලීය ප්‍රදේශය ලකුණු කරනු ලැබීය. ඉන්පසුව 2002 දී නෝර්වේජියානු මැදිහත්වීම මත සටන් විරාම ගිවිසුම සහ ඒ සමඟ බැදුණු තාවකාලික ආණ්ඩු යෝජනාව මගින් එසේ සලකුණු කරනු ලැබූ භූමි ප්‍රදේශයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීමට උත්සාහ කරනු ලැබීය. එම ක්‍රියාවලිය අසාර්ථක වූ පසුව තවත් වටයකින් සුනාමි අපදාව යොදාගනිමින් සුනාමි සහන මණ්ඩලය හරහා උතුරු නැගෙනහිර පළාත් සභාවට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීමට උත්සාහ කළද ජාතික බලවේගවල මැදිහත්වීම මත එම උත්සාහයන් පරාජය කරනු ලැබීය. කෙසේ වෙතත් ලෝකයේ බෙදා වෙන්කරනු ලැබූ කිසිදු රාජ්‍යයක අභ්‍යන්තර ගැටුමක් යුද්ධයක් බවට පරිවර්ථනය කළද යුද්ධයක් මගින් දෙපාර්ශ්වයක් විසින් දේශසීමා සළකුණු කර නැත. ඒ සැම විටම ඉහත සඳහන් කළ ආකාරයට ව්‍යවස්ථාව හෝ ජාත්‍යන්තර ගිවිසුමක් මගින් හෝ ඒ දෙකම මගින් හඳුනාගත් දේශසීමාවලට ජාත්‍යන්තර මැදිහත්වීම මත පිළිගැනීම ලබාදී ඇත. එනම් අවසාන වශයෙන් රටක් බෙදා වෙන්කරනු ලබන්නේ ඊනියා ජාත්‍යන්තර නීතියට අනුකූලවය.

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර තත්වයන්ට අදාළ ඉහත සඳහන් දිර්ඝ පුර්විකාව අවශ්‍යවන්නේ පළාත් සභා මැතිවරණය සහ ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය එකට බැදී ඇති බැවිනි. ඉහත සඳහන් කළ ආකාරයට ජාත්‍යන්තර සාධක බොහෝමයක් ශ්‍රී ලංකාවට අදාල වන බව ඉතා පැහැදිළිව පෙනී යන කරුණකි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ආරම්භ වන්නේ ලන්දේසි සහ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදී පාලන සමයේදීය. ඒ වන විට ඓතිහාසිකව පැවති බෙදීමට මුල්වන යම් සමාජ සංස්කෘතික සාධක අධිරාජ්‍යවාදී පාලකයින් විසින් සිතා මතා සහ සැළසුම් සහගතව වර්ධනය කරනු ලැබීය. අවසානයේදී බෙදුම්වාදී යුද්ධයක් නිර්මාණය කරනු ලැබූ ඉන්දියානු අධිරාජ්‍යවාදය විසින්ම සාම දූතයාගේ භූමිකාව ද අතට ගනිමින් ව්‍යවස්ථානුකූල බෙදීම් රේඛාව නිර්මාණය කරනු ලැබීය. එය සාධාරණිකරණය කිරීම සඳහා ජනවාර්ගික ගැටළුව විසදීම නම් වූ කඩතුරාවද බටහිර සහ ඉන්දියානු දේශපාලන න්‍යායාචාර්යවරුන් විසින්ම නිර්මාණය කරනු ලැබීය. ඒ මගින් දේශියව විවිධ දේශපාලන බලවේගවල කරමතට බෙදුම්වාදී න්‍යාය පත්‍රය පටවනු ලැබීය.

සුළු ව්‍යවස්ථා සංශෝධයක් මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම

කෙසේ වෙතත් ජාතිවාදී බෙදුම්වාදී යුද්ධයට එරෙහිව දියත්වූ ජාතිකවාදී මතවාදී සටන් පෙරමුණ විසින් 2009දී බෙදුම්වාදී යුදමය සටන් පෙරමුණ යුදමය වශයෙන් පරාජය කරන තත්වයක් නිර්මාණය කරනු ලැබීය. ඒ අනුව 2009දී මහින්ද රාජපක්‍ෂයන් සහ ගෝඨාභය රාජපක්ෂයන් විසින් නන්දිකඩාල් කලපුවේදී යුදමය වශයෙන් අවසන් කරනු ලබන්නේ රෝහණ විජේවීරයන් සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් පිටකොටුවේදී ආරම්භ කළ දේශපාලන සටන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. දේශපාලන න්‍යායාත්මකව විග්‍රහ කිරිමේදී ශ්‍රී ලංකාවේදී බෙදුම්වාදී න්‍යාය පත්‍රය අවධි දෙකකට බෙදා වෙන්කළ හැක. නමුත් එම අවධි දෙක සහය දිවීමක පියවර දෙකක් ලෙස සැළකිය හැක. ඒ අනුව පශ්චාත් යුද අවධිය නව ඊළාම් න්‍යාය පත්‍රය හෙවත් සැළසුම ලෙස හැදින්විය හැක. එහිදී ආයුධ යොදා ගනිමින් දියත් කරනු ලැබූ ගමන ජාත්‍යන්තර මැදිහත්වීම හෙවත් මානව හිමිකම් කෙවිට සහ ප්‍රජාතන්ත්‍රවාදය, ජනවාර්ගික සංහිඳියාව ආදී ගැල්කවි යොදාගනිමින් ඉදිරියට යන ගමනක් බවට පරිවර්ථනය වේ. එහෙත් ඒ අවධි දෙකේදීම යොදාගනු ලබන දේශපාලන අවිය බවට පත්වන්නේ පළාත් සභාව නම් වූ දේශපාලන බල ඒකකය බව ඉතා පැහැදිලිය.

ඉහත සඳහන් කළ ජාත්‍යන්තර අත්දැකීම් අනුව අවසානයේදී ජාත්‍යන්තර මැදිහත්වීම මත බෙදා වෙන්කෙරෙන රාජ්‍යය බවට පත් වන්නේ පළාත් සභාවයි. එහිදී උතුර සහ නැගෙනහිර පළාත් සභා එක් බල ඒකකයක් බවට ප්‍රකාශයට පත්කිරීම සඳහා ද ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යොදාගත හැක. එනම් එම පළාත් සභා දෙක වෙන් වෙන්ව යෝජනා සම්මත කිරීම මගින් එක් බලව්‍යුහයක් ලෙස කටයුතු කිරීමට සහ ඊට ජාත්‍යන්තර පිළිගැනීම ලබාදීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යොදාගත හැක. පශ්චාත් යුද දේශපාලන ක්‍රියාන්විතය හෙවත් නව ඊළාම් සැළසුම තුළ බෙදුම්වාදී මාර්ග සිතියම ඔස්සේ අවසාන ඉලක්කය දක්වා ගමන් කිරීම සඳහා ව්‍යවස්ථානුකූල මාර්ග දෙකක් හඳුනාගත හැක. පළමු වැන්න සුළු ව්‍යවස්ථා සංශෝධයක් මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමය. එනම් ජාත්‍යන්තර නීතියට අනුව යම් භූගෝලීය ප්‍රදේශයක ජනතාවකට පරමාධිපත්‍යයේ බලය බෙදීයන බව නිර්ණය කිරීමේදී හෙවත් පරික්ෂාවට ලක්කිරිමේදී යොදාගන්නා ව්‍යවස්ථාමය සාධක සම්පූර්ණ කිරීමය.

අප රටේ ව්‍යවස්ථාව අනුව 13වැනි සංශෝධනය මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කරනු ලැබූවද ඊට එරෙහිව පනවා ඇති ව්‍යවස්ථාමය බාධක දළවශයෙන් 5ක් හඳුනාගත හැක. ඉන් පළමුවැන්න සමගාමී ලැයිස්තුව වන අතර ඒ මගින් පරමාධිපත්‍යයේ බලය නිශ්චිතව ඉරගසා බෙදා වෙන්කිරීමට බාධාවක් එල්ල වේ. දෙවැන්න පළාත් භාණ්ඩාගාරයක් පවත්වාගෙන යාම සහ ස්වාධීනව බදු පැනවීමට එරෙහිව පවතින බාධාවය. එනම් මූල්‍ය බලය අර්ධ වශයෙන් බෙදා වෙන්කිරීමය. එසේවුවත් පවතින බලතල යටතේ උතුරු පළාත් සභාව විසින් පළාත් මහ ඇමති අරමුදල් ප්‍රඥප්තියක් සම්මත කිරීමට උත්සාහ කරනු ලැබීය. එය වළක්වනු ලැබුවේ ආණ්ඩුකාරවරයාගේ බලතල යටතේය. ඒ අනුව ආණ්ඩුකාරවරයා පළාත් මහ ඇමතිවරයාගේ අණසකට යටත් නොකිරීම තුන්වන බාධකය ලෙස හඳුනාගත හැක. හතරවන බාධකය ප්‍රතිපත්ති සකස් කිරීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතු වීමය. එහෙත් පළාත් බලතල වලට අදාල ප්‍රඥප්ති මගින් ප්‍රතිපත්ති සකස් කිරීමේ බලය අත්පත් කර ගැනීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස පළාත්වලට ඉඩම් බලතල ලබාදී ඇති නිසා පළාත් ඉඩම් ප්‍රඥප්තියක් මගින් පළාත් ඉඩම් ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් පළාත් වලට ඉඩම් බලතල ලබාදීමේදී ඇත්තේ අවසාන වශයෙන් බැහැර කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවීම පස්වන ව්‍යවස්ථාමය බාධකය ලෙස සැළකිය හැක. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට ඉඩම් ප්‍රඥප්තියක් මගින් භාවිතය සඳහා ඉඩම්වල බුක්තිය පැවරීමේ බාධාවක් නැත.

දැඩි ඒකීය රාජ්‍යය අන්තය සහ ෆෙඩරල් රාජ්‍යය අන්තය දෙමළ ඩයස්පෝරාවේ ග්‍රහනයට

මෙම බාධක 5 ඉවත් කිරීම එනම් “දහතුන ප්ලස්” කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ නැත. අප රටේ 19 වැනි සංශෝධනය සිදුකළ ආකාරය අනුව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක පිටකවරයක් හෝ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැනි වෙනත් සංශෝධනයක ආවරණය යටතේ කාරක සභා අවස්ථාවේදී එම ඊනියා සුළු සංශෝධන සිදුකිරීමේ හැකියාව ඇත. එදා 2015 දී 19 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී පැය 2ක් ඇතුළත කෙටුම්පතේ නොතිබූ සංශෝධන 40කට වැඩි ප්‍රමාණයක් ඇතුල් කරනු ලැබීය. ඒ නිසා බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අනුව නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම කිසිසේත් අවශ්‍ය නොවේ. ඇත්ත වශයෙන්ම 13 වැනි සංශෝධනය නමින් සුවිශේෂී ව්‍යවස්ථාමය බලතල හඳුනාගැනීම සහ ඒවා ඉන්දු ලංකා ගිවිසුමට සම්බන්ධ කිරීමේ උපායමාර්ගික උවමනාව නව ව්‍යවස්ථාවක් මගින් අනතුරට ලක්වේ. ඒ අනුව බෙදුම්වාදී බලවේග නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටිනු ලබන්නේ ඉහත සඳහන් කළ බාධක 5 ඉවත් කරන ඊනියා සුළු සංශෝධන සාධාරණිකරණය කිරීම සඳහා පමණක් බව ඉතා පැහැදිළිය.

නමුත් බෙදුම්වාදී පැත්තෙන් ගත්විට වර්තමාන අෘණ්ඩුව ගමන් කරන දිශාව අනුව නව ව්‍යවස්ථාවක් කෙසේ වෙතත් බෙදුම්වාදයට පක්‍ෂපාතී ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා තල්ලු කිරීම පහසු නැත. විශේෂයෙන්ම ආණ්ඩුවේ ජනවරම නිර්මාණය කළ ජාතික බලවේග විසින් නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටින තත්වයක් යටතේ සහ ජනාධිපතිවරයා විසින් ඊට අනුකූලතාවය ප්‍රකාශ කරන තත්වයක් යටතේ නව ව්‍යවස්ථාවක් මගින් 13 වැනි සංශෝධනයට අදාළ ප්‍රතිපාදන ශක්තිමත් කිරීම වෙනුවට ඒවා කුමන හෝ ආකාරයකට දුර්වල කිරීමක් සිදුවීමේ ඉඩකඩ වැඩිවේ. ඒ නිසා දැන් ජාත්‍යන්තර සහ දේශීය බෙදුම්වාදී බලවේග විසින් තොරනු ලබන්නේ ඉහත සඳහන් කළ මාවත් දෙකෙන් දෙවන මාවත එනම් ව්‍යවස්ථාමය බාධක 5 අතුරින් ප්‍රබලතම බාධකය ඉවත්කර ගැනීම මගින් ඉදිරියට ගමන් කිරීමය. චන්ද්‍රසෝම එදිරිව සේනාධිරාජා නඩු තීන්දුව අනුව 13 වැනි සංශෝධනය මගින් ශ්‍රී ලංකාව දැනටමත් ෆෙඩරල් ලක්‍ෂණ සහිත රාජ්‍යයකි.

එම නඩු තීන්දුවට අනුව ව්‍යවස්ථාවේ ඒකීය වචනය තිබුනද ඒ තුළ අන්ත දෙකකින් එකක් පැවතිය හැක. එනම් දැඩි ඒකීය රාජ්‍යය එක් අන්තයකත් ෆෙඩරල් රාජ්‍යය අනෙක් අන්තයේත් තිබිය හැක. දැනටමත් ඉඩම් සහ පොලිස් බලතල ලබාදී තිබීම තුළින් 13 වැනි සංශෝධනය මගින් යම් බාධක සහිත ෆෙඩරල් ව්‍යවස්ථාවක් නිර්මාණය වූ බව පිළිගැනීමට සිදුවේ. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට ආණ්ඩුකාරවරයා විසින් පනවනු ලබන බාධක ඉවත් කළ විට එනම් දෙවන මාවත තුළ පොලිස් සහ ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රඥප්ති සම්මත කිරීමේ හැකියාව ලැබේ. ඉහත සඳහන් කළ ආකාරයට සුවිශේෂි ආණ්ඩුකාරවරයෙකු පත්කිරීම විශේෂයෙන් සැළකිල්ලට ලක්වන්නේ එම සංදර්භය තුළය. වසරක කාලයක් ඉක්මයාමට පෙර ඉතා හොඳින් තම වගකීම් ඉටුකළ බවට ප්‍රසිද්ධියට පත්වූ චාල්ස් මැතිණිය වෙනුවට පත්කරනු ලැබූ නව ආණ්ඩුකාරවරයාගේ පැටිකිරිය විමසා බැලීමේදී දෙවන මාවත ඔස්සේ ඉදිරියට යාම සඳහා ඔහුට වඩා සුදුස්සෙකු සොයාගත නොහැකි බව පැහැදිලි වේ. නිලන් තිරුචෙල්වම් මහතාගේ දේශපාලන භූමිකාවේ දිගුවක් වන ඔහු දෙමළ ඩයස්පෝරාවේ මානව හිමිකම් ඡාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

ඊළාම් මාර්ග සිතියමේ අවසන් සැතපුම් කණුව: ජාත්‍යන්තර මැදිහත්වීම

එම තත්වය තුළ නව නීතියක් සම්මත කිරීමෙන් පසුව පැරණි හෝ නව යන කුමන ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වුවද එය බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ පශ්චාත් යුද සැළසුම් හෙවත් නව ඊළාම් සැළසුමේ උච්චතම අවස්ථාවකට මඟ පාදනු ඇත. කෙසේ වෙතත් පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්වීම ජාතිවාදී ආගම්වාදී සුළු ජන පක්ෂවලට වැඩි වාසිසහගත වන බැවින් ඔවුන් ඒ සඳහා පෙනීිසිටන බවට සැකයක් නැත. ඊට අමතරව ආණ්ඩුවට පක්‍ෂ සහ විපක්‍ෂ යන බලවේග දෙකේම යම් පාර්ශව නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා එකඟතාවය පළකර ඇත. එහෙත් ආණ්ඩුවේ ජනවරම අනුව නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම යනු මූලික සහ පරම වගකීම වුවද ඊට එරෙහිව අභ්‍යන්තරයෙන් පවා විරෝධයන් පවතින බව පෙනේ. විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් තුළ “ද්විත්ව පුරවැසි විරෝධය” මතුවන බැවින් ආණ්ඩුවේ පාර්ශ්ව ඊට විරුද්ධ විය හැක. බෙදුම්වාදී සහ ෆෙඩරල්වාදී වාමවාදී බලවේග 13 වැනි සංශෝධනය තිබෙන ආකාරයෙන්ම පවත්වාගැනීම සඳහාවන උවමනාව නිසා යටි සිතින් ඊට විරුද්ධ වනු ඇත. කෙසේ වෙතත් පළාත් සභා පිහිට වූ සැනින් මේ වන විටත් සකස් කර තිබෙන ඉඩම්, පොලිස් සහ මහ ඇමති අරමුදල් වැනි ප්‍රඥප්ති නව අෘණ්ඩුකාරවරයා යටතේ එක පිට එක සම්මත කිරීමේ හැකියාව ඇත. ඒ මගින් නව ව්‍යවස්ථාවක අපේක්ෂා බරපතළ ලෙස අනතුරට ලක්වන බවට කිසිදු සැකයක් නැත.

ඒ අනුව පශ්චාත් යුද ඊළාම් මාර්ග සිතියමේ අවසන් සැතපුම් කණුව වන ජාත්‍යන්තර මැදිහත්වීමට අවශ්‍ය මහජන ගැටුම් නිර්මාණය කිරීම සඳහා එම ප්‍රඥප්ති යොදාගැනීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස ඉඩම් ප්‍රඥප්තිය මගින් මහජනයාට ඉඩම් බෙදාදීම සඳහා ගනු ලබන උත්සාහයට මධ්‍යම ආණ්ඩුව විරෝධය පළකරන අවස්ථාවකදී ඊට එරෙහිව මහජනයා පාරට බැස්සවීමට සහ ආරක්ෂක හමුදා සමඟ ගැටුමට තල්ලු කිරීමට අවස්ථාව නිර්මාණය වේ. එවැනි තත්වයකදී මළමිනී මතින් ජාත්‍යන්තර මැදිහත්මක් කැදවීමට හැකි බව කොසෝවෝ බෙදා වෙන්කිරීමේ උපාය මාර්ගික ප්‍රවේශය අධ්‍යයනය කිරීමේදී පැහැදිළි වේ. ඊට අමතරව ජාත්‍යන්තර අධිකරණය හමුවේ විභාග කළ පෘතුගාලයට එදිරිව ඔස්ට්‍රේලියාව නඩු තීන්දුව එනම් නැගෙනහිර ටිමෝරය බෙදාවෙන්කිරීමේ ක්‍රියාවලියට අදාළ නඩු තීන්දුව ඉතා බරපතළ වේ. ඊට අනුව ජනතාවට ලබාදී ඇති පරිමාධිපත්‍යයේ බලය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම ආණ්ඩුව බාධාකරනු ලබයි නම් එම ජනතාවට වෙන්ව යාමේ අයිතිය ඇත. ඉන්දු ලංකා ගිවිසුම අනුව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කිරීමේ බලයක් ඉන්දියාවට ලැබී ඇත. එම තත්වය යටතේ ජාත්‍යන්තර මැදිහත්මක් මගින් නව ඊළාම් සැළසුමේ අවසන් සැතපුම නිම කිරීමේ හැකියාව ඇත. ඒ නිසා නව ආණ්ඩුකාරවරයා යටතේ නව පළාත් සභාවක් මගින් උතුරේ තත්වය සම්පූරණයෙන් වෙනස්වීමේ ප්‍රබල හැකියාවක් ඇත.

ඊට සමගාමීව එදා යුද ජයග්‍රහණයෙන් දින 3කට පසුව බන්කි මූන් ශ්‍රී ලංකාවට කඩා පැන ආරම්භ කළ ජාත්‍යන්තර බලපෑම් ක්‍රියාවලිය මේ වන විට උච්ඡතම අවස්ථාවකට ළඟා වෙමින් ඇත. මානව හිමිකම් සමුළුවේ 46/1 යෝජනාව මගින් පිහිට වූ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීම සඳහා පිහිට වූ ජාත්‍යන්තර යාන්ත්‍රණයේ වාර්තාව ලබන පෙබරවාරි මස නිකුත්වනු ඇත. ඉන් පසුව එම නිලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම ආරම්භවනු ඇත. ඒ තුළ නව ඊළාම් සැළසුමේ අවසන් අදියරට මුහුණදීමේ අභ්‍යන්තර ශක්තිය හීන වන බවට විවාදයක් නැත. ඒ අනුව මේ ආරම්භ වන්නේ යුද ජයග්‍රහණයෙන් අනතුරුව 2013 දී පළාත් සභා නැවත ආරම්භ කිරීමෙන් පසුව අප අත්විදි තත්වය නොවන බව ඉතා කෙටිකලකින් සියළු පාර්ශව විසින් වටහාගනු ඇත. නමුත් ඒ වන විට බොහෝ පමාවී වැඩිවනු ඇති බවද මේ වරදට දායක වන පිරිස් විසින් තවදුරටත් වටහාගනු ඇත. එම වරද නිවැරදි කළ හැක්කේ නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසුව ඒ මගින් නිර්මාණය වන ආකාරයට නව පළාත් හෝ දිස්ත්‍රික් බලව්‍යුහයක් සඳහා නව මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණ කැදවීම මගිනි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනය වනතෙක් ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලබා දුන්නේ නැහැ-හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු...


Read More

ආණ්ඩුව සමඟ කිසිදු කළකිරීමක් නැහැ-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීඉමට කිසිදු තීරණයක් ගෙන...


Read More