පුරවැසි කොලම

ජනාධිපතිතුමා විසින් කෘෂි රසායනික ද්‍රව්‍යය ආනයනය අත්හිටුවීම සඳහා ගනු ලැබූ හදිසි තීන්දුව සමඟ සමාජයේ විවිධ පාර්ශව වලින් ඊට පක්ෂව සහ විරුද්ධව විශාල ඝෝෂාවක් පැණ නැගුනි. දැන් ඒ තුළ වසංගත තත්වය පවා නොසළකා ගොවි සටන් කැඳවා ආණ්ඩුවට ගල් ගැසීමට විපක්‍ෂයට අවස්ථාව ලැබී ඇත. එම තීන්දුව හදිසි තීන්දුවක් ලෙස සැලකීමට සිදු වන්නේ හේතු දෙකක් නිසාය. පළමු වැන්න සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් පොහොර සහනාධාරය තවදුරටත් පවත්වාගෙන යාමට සහ කෘෂි රසායන භාවිතය ක්‍රමානුකූලව අඩු කළ යුතු බව ප්‍රකාශ වීමය. එහිදී පොහොර සහනාධාරය පොහොර වෙනුවට මුදල් ලෙස ලබාදෙන බවක් සඳහන් වූයේ නැත. දෙවනුව 2020-09-02 දින අමාත්‍ය මණ්ඩල තීන්දුව අනුවද වී ගොවීන්ට නොමිලේ පොහොර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. ඊට මාස 6 කට පසුව කෘෂි රසායනික ද්‍රව්‍යය ආනයනයට දැඩි සීමා පැනවීමකින් තොරව ඒවායේ භාවිතය අවම කළ නොහැකි බවට ජනාධිපතිතුමා විසින් තීන්දු කිරීම විශේෂ තත්වයකි.

එතුමාට එවැනි දැඩි තීන්දුවක් ගැනීමට ඇති වූ පෙළඹවීම කුමක්දැයි පැහැදිළි නැතත් එම තීන්දුව ඉතා නිවැරදි බව ඉතිහාසය විසින් යම් දිනක පෙන්වා දෙනු ඇත. මීට වසර 40කට පමණ පෙර සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ දියුණු විද්වතුන්ගේ මැදිහත්වීම මත රසායනික පොහොර සහ පළිභෝධනාශක භාවිතය අඩු කිරීම සඳහා විවිධ වැඩසටහන් දියත් කළ බව රහසක් නොවේ. එනම් ඒකාබද්ධ පළිභෝධ පාළන වැඩසටහන, ඒකාබද්ධ ශාක පෝෂක කළමණාකරන වැඩසටහන, යහපත් කාෂිකර්ම පුරුදු හඳුන්වා දීම ආදී වශයෙන් කාෂි රසායන භාවිතය අවම කිරීම සඳහා උත්සහායන් ගැනුණි. නමුත් ගත වූ සෑම වර්ෂයකම ක්‍රමයෙන් කෘෂි රසායනික ද්‍රව්‍යය ආනයනය සහ භාවිතය ඉහළ ගිය බව සත්‍යයකි. යම් කාලවලදී කෙටි කාලීනව ආනයන සුළු අඩුවීමක් ද දක්නට ලැබුණි.

කෙසේ වෙතත් ගොවියාට ලබාදිය යුතු සහනාධාර මුදලින් ලබාදීම වෙනුවට ඒවා ද්‍රව්‍යමය වශයෙන් ලබාදීම මගින් එම ද්‍රව්‍යය අවභාවිතය සහ අධික භාවිතය දිරි ගැන්වෙන බව සරල සත්‍යයකි. ඒ අනුව යම් දැඩි සීමාවක් පැනවීමෙන් තොරව සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම එනම් භාවිතය අඩු කිරීම කළ නොහැකි දෙයක් බව ජනාධිපතිතුමා විසින් තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. එය සාක්ෂි මත පදනම් වී ඇති බව ද පිළිගත හැක. එහෙත් එම සීමා කිරීම ප්‍රායෝගික යථාර්තයක් බවට පත් කිරීම සදහා වැදගත් වන උපායමාර්ගික ප්‍රවේශය පැහැදිළිව ඉදිරිපත් නොවීම නිසා විවිධ පාර්ශව වලට ඊට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හැකි වී ඇත. “පොහොර දියව්” යනුවෙන් නියරවල් උඩ උද්ඝෝෂණය කරන ගොවීන් සමඟ පෙනී සිටින දේශපාලන නායකයින් අධික කාෂි රසායනික භාවිතය නිසා පරිසරයට සහ මහජන සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව තම අතීත ප්‍රතිපත්ති ප්‍රකාශ මඟින් කරුණු දැක්වූ පිරිසකි. එසේ නම් දැන් “වස දියව්” යන සටන් පාඨය පටු දේශපාලන උවමනාවක් මත ඉදිරිපත් කෙරෙන්නක් බව පැහැදිළි වේ.

යුද්ධය නිර්මාණය කරන්නන් විසින්ම සාමයද අලෙවි කිරීම

එහෙත් එම පටු දේශපාලන විරෝධයට වඩා බරපතල මතවාදී හානියක් ජනාධිපතිතුමාගේ තීන්දුවට පක්ෂපාතීව අදහස් දක්වන්නන් නිසා සිදුවේ. යම් විද්වතුන්ද ඇතුළත් වන එම පිරිසට අනුව කෘෂි රසායනික මත පදනම් වූ පරාධීන ගොවිතැන් ක්‍රමවලට විකල්පය කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමය. ඔවුනට අනුව කාබනික ගොවිතැන්ද බාහිර යෙදවුම් මත එනම් කොම්පෝස්ට් ඇතුළු කාබනික ද්‍රව්‍යය බාහිරින් එකතු කිරීම මත පදනම්වන ගොවිතැනකි. එනම් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදන වගා ක්‍රමයකි. ඒ අනුව කාබනික පොහොර දේශීය සහ විදේශීය වෙළඳපොළින් මිලදී ගෙන ගොවියාට ලබාදිය යුතු බවට මතයක් ඔවුන් විසින් නිර්මාණය කරමින් ඇත. එනම් රජය විසින් කාබනික පොහොර මධ්‍යගතව මිලදීගෙන ගොවියාට ලබාදිය යුතු බවට මතයක් ඔවුන් විසින් නිර්මාණය කරමින් ඇත. එම මතවාදය අනුව රජය විසින් කාබනික පොහොර මධ්‍යගතව මිලදීගෙන සහනාධාර යටතේ ගොවියාට ලබාදිය යුතු බවටද යෝජනා ඉදිරිපත් වේ. ඒ අනුව යම් පිරිසක් කාබනික පොහොර ආනයනය කිරීමේ ජාවාරමකට සහ ඒ මඟින් පොහොර සහනාධාරය හෙවත් ජනතාවගේ බදු මුදල් ගසා කෑමේ උවමනාවකින් කටයුතු කරන බවක්ද පෙනේ.

ඇත්ත වශයෙන්ම කෘෂි රසායන මත පදනම් වූ වගා ක්‍රමයට විකල්පයක් ලෙස කාබනික වගාව යන තාක්ෂණික වචනය හඳුන්වා දෙනු ලබන්නේ කාෂි රසායනික ප්‍රචලිත කරන ඊනියා හරිත විප්ලවයේ පියවරුන් විසින්මය. එය සමාන කළ හැක්කේ යුද්ධය නිර්මාණය කරන්නන් විසින්ම සාමයද අලෙවි කිරීමය. හරිත විප්ලවය නමින් හඳුන්වන සමස්ථ ලෝකයේම ආහාර නිෂ්පාදන පද්ධතිය මහා සමාගම් විසින් පරාධීනත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තුළ සිදුවන පාරිසරික විනාශය සහ විශේෂයෙන්ම මහජන සෞඛ්‍යයට එරෙහිව එල්ල වන තර්ජනය පිළිබඳ ලෝකය පුරා ප්‍රභල කථිකාවක් ආරම්භ විය. එහිදී බීජ, කෘෂි රසායනික සහ නවීන ගොවිතැන් ක්‍රම හෙවත් තාක්ෂණය යොදා ගනිමින් සැතපුම් දහස් ගණනක් ඈත රටක සිටින ගොවියෙකු ගෝලීය මහා සමාගමක වැඩ වසම් කුලී කාරයෙකු බවට පත් කිරීම පිළිබඳ දේශපාලන කථිකාවට වඩා පරිසරවාදී උද්ඝෝෂණ ඉහළට එසවිණි. ඒ නිසා යුද්ධයට පසුබිම් වන සැබෑ හේතු නොසලකා හරිමින් ඊනියා හරිත විප්ලව යුද්ධය එසේම පවතින තත්වයක් තුළ සාමය පිළිබඳ බලාපොරොත්තු දල්වනු ලැබූවේ කාබනික වගාව නැමැති නව සොයා ගැනීම මඟිනි. එනම් අධික රසායනික භාවිතය, ආනයනික බීජ සහ වැඩි අස්වනු හඹා යාමේ තාක්ෂණික තරඟය එසේම පවතින අතර ඉන් පරිබාහිර ක්ෂේම භූමියක් හෙවත් වෙඩි නොවදින භූමියක් කාබනික වගාව නම් වූ සංකල්පය තුළින් පෙන්වාදෙනු ලැබීය.

ඒ අනුව කෘෂි රසායනික භාවිතයෙන් තොරව නිපදවන ආහාර හෙවත් කාබනික ආහාර වලට වෙළඳපොළ තුළ ඉහළ මිලක් ලබා ගැනීමේ හැකියාව ලැබුණි. බොහෝ විට එම වෙළඳපොළ නිර්මාණය වූයේ රසායනික ද්‍රව්‍ය ප්‍රචලිත කරන මහා සමාගම්වල මව් රට වලය. ඒ නිසා කාබනික ගොවිතැන, කාබනික ගොවින් සහ කාබනික ආහාර නමින් වෙනස් කුලකයන් නිර්මාණය වූ අතර බොහෝ රටවල ඊට අයත් වූයේ වගා බිම් වලින් 10% ට අඩු ප්‍රමාණයකි. යම් රටවල එම ප්‍රමාණය 1% මට්ටමේ පැවති අතර සමස්ථ ලෝක ආහාර නිෂ්පාදනයේ කාබනික කොටස 10% ට අඩු මට්ටමක පවතී. එම වෙළඳපොළ තුළ ඉතා සුළු වශයෙන් ඉහළ මිලක් ලැබෙන බැවින් ඒමගින් අස්වනු අඩු වීම් පිළිබඳ ගැටළුවත් කතා බහට ලක් නොවීය. නමුත් රසායනික පොහොර භාවිතය අත්හිටුවන තත්වයක් යටතේ සමස්ථ ආහාර නිෂ්පාදනය ඊනියා කාබනික ක්‍රමවේද නිසා පහත වැටෙන බවට තර්ක ඉදිරිපත් විය. අන්තර් ජාලය මඟින් “කාබනික වගාව” පිළිබඳ තොරතුරු විමසන අයට පෙනෙන්නේ කාබනික වගා ක්‍රම 10% අඩු මට්ටමක පවතින බැවින් එය සමස්ථය බවට පත් කිරීම ප්‍රයෝගික නොවන බවය. ඒ අනුව කාබනික වගා සංකල්පය අද වන විට රසායනික වගා සංකල්පය වක්‍රව සාධාරණිකරණය කිරීම සදහා සේවය කරන බව පැහැදිළිව පෙනේ. එනම් ව්‍යාජ සාමය මගින් යුද්ධය සාධාරණිකරණය කෙරෙමින් ඇත.

ජනාධිපති කාර්යාලය වටේ කැරකෙන කෘෂිකර්ම විද්වතුන්

එම ක්‍රියාවලිය තුළ කාබනික පොහොර ජාවරමකටද ඉඩ සැලසී ඇත. විශේෂයෙන් ම කාබනික දියර පොහොර ආනයනය කිරීමේදී අදාළ ප්‍රමිතියට අනුව පෝෂක ද්‍රව්‍ය ප්‍රතිශතය තහවුරු කිරීම සඳහා රසායනික පොහොර එකතු කරන බව කුඩා දරුවෙකුට පවා තේරුම්ගත හැක. ඊට අමතරව කොම්පෝස්ට් පොහොර ජාතික මට්ටමින් මිලදී ගැනීම සඳහා ප්‍රමිතිය පරික්ෂා කිරීමේදී ද ඒ ආකාරයටම අදාළ ප්‍රමිතිය පෙන්වන බවට කිසිඳු සැකයක් නැත. සමාගම් කිහිපයක් රසායනික පොහොර සඟවා තබා ගැනීමේ චෝදනාවට එම චෝදනාවද එකතු වන බවට කිසිදු සැකයක් නැත. ආණ්ඩුව විසින් කාබනික පොහොර සඳහා ටෙන්ඩර් කැඳවීමේදී පොටෑසියම් ක්ලෝරයිඩ් දියර සඳහාද මිල ගණන් කැඳවා ඇත. රසායනික පොහොර ලෙස මියුරිසෙට් ඔෆ් පොටෑස් යනුවෙන් හඳුන්වන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් බව සාමාන්‍ය පෙළ සිසුවෙකු වුවද දන්නා කරුණකි. ඒ අනුව ස්වාභාවික මූලාශ්‍රයකින් ලබා ගන්නා බව සඳහන් කළද එසේ හඳුන්වන්නේ දියර බවට පත්කරන රසායනික පොහොර බවට කිසිදු සැකයක් නැත. එම පොහොර යම් රටවල ස්වභාවික ඛනිජ නිධි වලින් ලබාගත්තද ඒවා රසායනික පොහොර ලෙස වර්ගීකරණය වේ. එසේ ඛනිජ නිධි වලින් ලබාගෙන සකස් කරන රසායනික පොහොර වල කෘතිමව නිෂ්පාදනය කරන යූරියා පොහොර වලට වඩා මහජන සෞඛ්‍යයට අහිතකර බැර ලෝහ අඩංගුවීමේ සම්භාවිතාව වැඩි බව ප්‍රකට කරුණකි.

එසේම විදේශීය රටවලින් ජෛව පොහොර හෙවත් සජීවී ක්‍ෂ්ද්‍ර ජීවින් අඩංගු කාබනික පොහොර ආනයනය කිරීමට ඉඩදීම මඟින් සමස්ථ රටම ජෛව ආපදාවකට ගොදුරුවීමේ අනතුරක් මතුවනු ඇත. එම ඊනියා ජෛව පොහොර වල ප්‍රමිතිය පරික්ෂා කිරීමේදී බරපතල ප්‍රායෝගික ගැටළු මතු වන අතර රෝග කාරක ක්‍ෂ්ද්‍ර ජීවින් පරිසරයට මුදා හැරීමේ බරපතල අනතුරක් මතුවේ. ඊට අමතරව මිනිස් මළ අපද්‍රව්‍ය වලින් සකස් කරන කළු පස් හෙවත් බ්ලැක් සොයිල් ලෙස හඳුන්වන කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීමේ ජාවාරමක අනතුරක් ද මතුවේ. එසේ මිනිස් මළ වලින් කොම්පෝස්ට් නිපදවීමේදී ඒවාට “පොලිමර්” රසායනික එකතු කරනු ලැබේ. එම පොලිමර් පසට එකතු වූ විට ඒවා දිරායාමක් සිදු නොවන අතර ඒ මඟින් ශාඛ වල මූල පද්ධතියට මෙන්ම පරිසර හිතවාදී පාංශු ක්‍ෂ්ද්‍ර ජීවින්ගේ පැවැත්මටද හානි සිදුවේ. ඒ සියල්ලටම වඩා එම මළ අපද්‍රව්‍ය කොම්පෝස්ට් වලින්ද රෝග කාරක ක්‍ෂ්ද්‍ර ජීවීන් පරිසරයට එකතු විය හැක. ඒ නිසා කිසිඳු ආකාරයකින් කාබනික පොහොර ලෙස හඳුන්වන ද්‍රව්‍ය කිසිවක් ආනයන කිරීමට ඉඩ නොදිය යුතු බව සාමාන්‍ය බුද්ධිය ඇති ඕනෑම ගොවියකුට තේරුම් කරදිය හැක. නමුත් දැන් ශ්‍රී ලංකාව වටේ කැරකෙන චීන නැවේ තිබෙන ඊනියා කාබනික පොහොර තොගය ඒවැනි පොහොර තොගයක් බවට සැකයක් නැත. නමුත් එම සාත්‍යය ජනාධිපති කාර්යාලය වටේ කැරකෙන කෘෂිකර්ම විද්වතුන්ටනම් පහදාදීම පහසු නැත.

ඒ ආකාරයට කාබනික පොහොර දේශීයව මහා පරිමාණයෙන් වාණිජ වශයෙන් නිපදවා මධ්‍යගතව රජය විසින් මිලදීගෙන බෙදා හැරීම සදහා හෝ ඒවා ආනයනය කිරීම සඳහා පෙළඹවීමක් ඇති කෙරෙන්නේ කාබනික පොහොර හෙවත් පසේ කාබනික ද්‍රව්‍යය සංයුතිය පිළිබඳව මහජනයා තුළ වැරදි අවබෝධයක් ඇති කිරීම මඟිනි. මූලික වශයෙන් කාබනික ද්‍රව්‍ය යනු බාහිරින් පසට එකතු කළ යුතු දෙයක් ලෙස මතයක් ඇති කිරීම මඟින් ඒ ආකාරයට ජාවාරමකට මඟ පාදා ගන්නා බව පැහැදිළිව පෙනේ. නමුත් පසේ අඩංගු විය යුතු කාබනික ද්‍රව්‍යය ප්‍රමාණය පවත්වාගෙන යාම යනු පස රැක ගැනීම මුල්කරගත් ගොවිතැන් ක්‍රම පිළිබඳව ප්‍රශ්නයකි. ඉතා බරපතල ලෙස ඛාදනයට ලක් වූ පසකට මුල් අවස්ථාවේදී යම් කාබනික ද්‍රව්‍යය ප්‍රමාණයක් බාහිරින් එකතු කිරීමට සිදුවිය හැක. එසේ වුවත් එම කාබනික ද්‍රව්‍ය ගොවිබිම් ආශ්‍රිතව සකසා ගැනීම මූලික වශයෙන් වැදගත් වේ. එසේ ගොවිබිම ආශ්‍රිතව කාබනික ද්‍රව්‍ය සකසා ගැනීමේදී බාහිරින් එකතු කරන කොම්පෝස්ට් වලට වඩා පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බවට සාක්ෂි ඇත. කුඹුරකින් ගොවියා පිටතට ගනු ලබන්නේ සහල් පමණි. දහයියා ඇතුළු ගොයම් ගසේ සමස්ථ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය 96% ක් පමණ වේ. ඒ අනුව ඒවා කුඹුරට නැවත එකතු කරන්නේ නම් බාහිරින් එකතු කළ යුත්තේ 4% ක් යැයි තර්ක කළ හැක.

පාංශු පෝෂණය සහ පාංශු සංරක්ෂණය

ප්‍රමාණාත්මකව එවැනි කුමන තර්ක ඉදිරිපත් කළද අවසානයේදී පස සංරක්ෂණය කෙරෙන ගොවිතැන් ක්‍රම භාවිතා නොකරන්නේ නම් බාහිරින් රසායනික හෝ කාබනික යන කුමන යෙදුම් එකතු කළද පසේ සරුබව රැකගත නොහැක. පස රැකීම යන මූලික වගකීම පිළිබඳ අවධාරණය කිරීමෙන් තොරව බාහිර යෙදවුම් පිළිබඳව කථා කිරීම මඟින් බරපතල නොමඟ යැවීමක් සිදුවේ. මේ දිනවල ගොවියාට කොම්පොස්ට් හැදීම පිළිබදව පුහුණු වැඩසටහන් දියත් කළද සමස්තයක් ලෙස පස රැකගැනීම පිළිබවද අවධාරණය කෙරෙන්නේ නැත අප රටේ පාංශු වෙනස්කම් අනුව මූලික පාංශු කාණ්ඩ 28ක් සහ උප කාණ්ඩ 150 ක පමණ මහා විවිධත්වයක් ඇත. ඒ අනුව ගොවියාට උපදෙස් ලැබිය යුත්තේ තම ගොවිබිමේ පාංශු විවිධත්වයට අනුවය. එනම් පසේ භෞතික සහ රසායනික සංයුතිය අනුව බාහිරින් එකතු කළ යුත්තේ මොනවාද සහ කුමන ප්‍රමාණයක්ද යන්න මෙන්ම වගා කළ යුත්තේ මොනවාද යන්න තීරණය විය යුතුය. ගොවිබිම් වල පාංශු පරීක්ෂණ මඟින් අදාළ උපදෙස් ලබාදීම වැදගත් වන්නේ ඒ නිසාය. කාබනික සංකල්ප පසෙක තැබුවද රසායනික පොහොර භාවිතයේදී පවා එවැනි ප්‍රවේශයක් ගන්නේ නම් පොහොර අවභාවිතය සහ අධි භාවිතය අවම කිරීමේ හැකියාව ඇත. නමුත් අප රටේ පාංශු පෝෂණය සහ පාංශු සංරක්ෂණය එකට බැඳී ඇති බව පිළිගන්නා බවක් ක්‍රියාවෙන් පෙනෙන්නේ නැත.
එසේ වුවත් අප රටේ පාංශු සංරක්ෂණ පනත ඉතා දියුණු පනතකි. ඊට අනුව පස යනු පොදු දේපලක් ලෙස පිළිගැනේ. එනම් යමෙකුට ඉඩම් සඳහා පුද්ගලික අයිතිය තිබුණද පස ආරක්ෂා කිරීම පොදු මහජන වගකීමක් බවට පත් වේ. එම පනතට අනුව ගොවි බිමක පස හායනය වන අයුරින් කටයුතු කරන්නේ නම් එය නිවැරදි කිරීම සඳහා අදාළ ගොවියාට උපදෙස් ලබාදීමේ වගකීම කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට පැවරේ. එම උපදෙස් පිළිනොගන්නා තත්වයක් යටතේ එම ඉඩම රජයට පවරා ගැනීමේ හැකියාව ඇත. නීතිය ඒ ආකාරයට බලවත් වුවත්, කාෂි කර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමණාකරණය සඳහා වූ විශේෂිත අංශයක් පිහිටුවා තිබුනද අපේක්ෂිත අරමුණු ඉටු වන්නේ නැත.

එම නිසා මෙම මහා පින්තූරය සැලකිල්ලට ගෙන කළයුතු දේ පැතිකඩ දෙකකින් අවධාරණය කළ හැක. පළමු වැන්න බාහිර යෙදවුම් මත යැපෙන දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීම යන මූලික අරමුණ පිළිබඳව ගොවියා දැනුම්වත් කිරීම සහ ඊට අදාළ පියවර සාධාරණීකරණය කිරීමය. ඒ අනුව බාහිරින් ආනයනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය මෙන්ම කාබනික ද්‍රව්‍යයද සීමා කළ යුතු බව සාධාරණීකරණය කළ යුතුය. එම අරමුණෙහි අවංකභාවය ගොවියාට ඒත්තු ගැන්වීම සඳහා දේශීය බීජ නිෂ්පාදන වැඩ සටහනට නැවත පණ දිය යුතුය. ඒ අතර පාංශු සංරක්ෂණ අවශ්‍යතාවය මත ඌණතාවයන් ප්‍රතිපූර්ණය කිරීම යන මූලධර්මය මත කෙටි කාලීනව අවම වශයෙන් වසර 2 ක කාලය තුළ රාසායනික යෙදවුම් ක්‍රමයෙන් අවම කිරීම සඳහා කාල රාමුවක් ගොවියාට ලබා දිය යුතුය. එම කාලය තුළ බාහිර රසායනික යෙදවුම් අවම කිරීම දිරිගැන්වීම සඳහා පොහොර සහනාධාරය මුදලින් ගොවියාට ගෙවිය යුතු අතර එම කාලය තුළ අවශ්‍යතාවය මත පාලන මිලකට නිර්දේශ මත රසායනික පොහොර ලබා ගැනීමේ ඉඩ ලබාදිය යුතුය. එවිට රසායනික යෙදවුම් අවම කිරීම මඟින් පොහොර සහනාධාරය මුදල් ලෙස ගොවියා අත ඉතිරිවන බැවින් එය ගොවිතැන් ක්‍රම වෙනස් කිරීම සඳහා වන දිරිගැන්වීමක් බවට පත් වේ.

පරිවර්ථනීය කාලය තුළ අස්වනු අඩුවීම

එසේම කෘෂිරසායනික මත පාරාධීන වූ ගොවිතැන් ක්‍රම ස්වභාවික ගොවිතැන් ක්‍රම දක්වා වෙනස් කිරීමේ පරිවර්ථනීය කාලය තුළ අස්වනු අඩුවීමක් නිසා ගොවියාට යම් පාඩුවක් සිදුවීමේ ඉඩක් ඇත. එම නිසා එම පාඩුව ප්‍රතිපූර්ණය කිරීම සදහා රජය මගින් පිරිවැය දරමින් රක්ෂණ ක්‍රමවේදයක් හදුන්වාදිය යුතුය. ගොවියා මානසික බාධකවලින් තොරව ගොවිතැන්ක්‍රම වෙනස් කිරීමට දිරිමත් කළ හැක්කේ ඒ මගින් ඔහුගේ ආදායම් මට්ටම යහපත්වන බවට සහතිකයක් ලැබේනම් පමණි. නමුත් මූලික පූර්ව කොන්දේසිය වන්නේ බාහිර යෙදවුම් දැඩි ලෙස සීමා කිරීමය. ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ දැඩි තීන්දුවට උපාය මාර්ගික වැදගත් කමක් හිමි වන්නේ එම අවශ්‍යතාවයට සාපේක්ෂවය.

ඇත්ත වශයෙන්ම ස්වභාවික පරිසර පද්ධතියට සහ මහජන සෞඛ්‍යයන්ට බරපතළම හානිය සිදුවන්නේ පොහොරවලට වඩා පළිබෝධනාශක අවභාවිතය මගිනි. අප රටේ බරපතළ ගැටළුවක් බවට හදුනාගෙන ඇති පළිබෝධ ඇත්තේ 10ක පමණ ප්‍රමාණයකි. නමුත් පළිබෝධනාශක සක්‍රීය රසායනික 200කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත. නමුත් ඒවා ලියාපදිංචි කිරීමේදී දේශියව පරීක්ෂාවට ලක්කරනු ලබන්නේ එම රසායනික වර්ගවලින් 10%ක් පමණ ප්‍රමාණයකි. ඒ අනුව එසේ කෘෂිරසායනික දේශිය වොළදපොළට ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගනු ලබන්නේ සැබෑ විද්‍යාත්මක අවශ්‍යතාවයට වඩා සමාගම්වල වානිජ අවශ්‍යතාවයන් බව ඉතා පැහැදිළිය. එම තත්වය යම් පමණකට හෝ පාලනය කළ හැක්කේ අවම පළිබෝධනාශක ලැයිස්තුවක් හඳුන්වාදීම මගිනි. නමුත් සමාගම්වලට කුළීකාරකම් කරන අප රටේ බොහෝ විද්වතුන් ඒ පිළිබඳව වචනයක් හෝ කථාකරන්නේ නැත.

දෙවනුව වැදගත් වන්නේ පාංශු සංරක්ෂණය මුල් කර ගත් ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමය. ඒ අනුව කාබනික වගාව යන වචනය තහනම් වචනයක් බවට පත් කළ යුතු වේ. නමුත් මෙතෙක් කාලයක් කාබනික වගාව නමින් වස විෂ පිරුණු ලෝකයක ඉතා සුළු ප්‍රමාණයෙන් වස විෂ නැති දේට වැඩි මිලක් ලබා ගැනීමේ කෘෂි ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාමේ වරදක් නැත. එනම් ජනාධිපතිතුමා විසින් එල්ල කරනු ලැබූ මතවාදී ගරිල්ලා ප්‍රහාරයෙන් පසුව දැන් කළ යුතු පළමු දේ වන්නේ ඉදිරි ක්‍රියාමාර්ග වලට අදාළ හැඳින්වීම හෙවත් ලේබලය පැහැදිළි කර ගැනීමය. ඒ අනුව කෙටි කාලීනව එනම් වසර 2 ක පමණ කාලය තුළ කළයුතු දේ හැඳින්විය යුත්තේ පුනර්ජනන ගොවිතැන ලෙසය. එනම් මරා දමා ඇති පසට නැවත පණ දීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමය. එතැනින් පසුව ආරම්භ වන්නේ පාරිසරික ගොවිතැන හෙවත් ස්වභාවික ගොවිතැන ප්‍රචලිත කිරීමය. මරා දමා ඇති ස්වභාවික නොවන පරිසරයක ස්වභාවික ගොවිතැනක් පිළිබඳ කථාකළ නොහැක.

පසුගිය යල සහ මාස් කන්නය අතර තිස්සමහාරාම ප්‍රදේශයේ අන්තර් කන්නයක් ලෙස ඉපනැල්ලට මුං ඇට ඉසීම මගින් ස්වභාවික ගොවිතැන් ක්‍රමයක් වශයෙන් ප්‍රචලිත කෙරෙන එක් සුවිශේෂී ක්‍රමයක් යම් නිලධාරීන් පිරිසක් විසින් හදුන්වාදී ඇති බව වාර්තාවේ. ඒ මගින් මුං අස්වැන්නට අමතරව ඊළග කන්නය සඳහා කුඹුරට අවශ්‍ය යූරියා ප්‍රමාණයද ලබාගත හැක. එසේම ඉන්දියාවේ සුභාෂ් පලේකාර් විසින් හඳුන්වාදී ඇති “ශුන්‍ය අය වැය“ ගොවිතැන් ක්‍රමය ලෙස හදුන්වන ස්වභාවික ගොවිතැන් ක්‍රමය තුළ ගොම සහ ගව මුත්‍ර යොදාගනිමින් රසායනික පොහොර නොමැතිව අදාළ අස්වනු මට්ටම පවත්වාගත හැකි බව සාක්ෂි සහිතව ඔප්පු කර ඇත. ඒ මගින් බෝග වගාව සහ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම හාරහා රටේ කිරි නිෂ්පාදනය වැඩිකිරීමට මෙන්ම ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කිරීමට ද හැකි වී ඇත. නමුත් අප රටේ එවැනි වටිනා අත්දැකීම්වලට වටිනා කමක් නැත.

පට්ටපල් බොරු

ඊට අමතරව ඊනියා කාබනික වගාව නැමති මානසික සීමා බන්ධන වලින් ගැලවීම මගින් දේශියව නිපදවිය හැකි රසායනික පොස්පරස් පොහොර භූමියේ අවශ්‍යතාවය අනුව පමණක් යොදා ගැනීම මගින් ස්වභාවික ගොවිතැන් සංකල්පයට හානියක් සිදුනොවේ. එසේම රසායනික යූරියා යෙදීමේදී ශාඛයට අවශෝෂණය කර ගැනීමේ කාර්යක්ෂතාවය වැඩිකර ගැනීම සඳහා ආනයනික නැනෝ නයිට්‍රජන් භාවිතා කළ හැකිනම් යම් පාලිත තත්වයන් යටතේ අප රටේදී නිපදවන නැනෝ නයිට්‍රජන් භාවිතා කිරීමේ වරද කුමක්ද? එවිට ඒ සඳහා යූරියා යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවුවද භාවිතයේදී පළදායිතාවය 50%කින් වැඩි වන නිසා ආනයනය 50%කින් අඩු වන බව ඉතා පැහැදිළිය. එම ප්‍රකාශය මගින් ආනයනික රසායනික පොහොර මත යැපීම සාධාරණිකරණය කිරීමක් සිදු නොවේ. අප රටේ විද්‍යඥවරියකගේ සොයා ගැනීම අනුව ඉන්දියාවේ නිපදවන ලද දියර ලෙස කොළවලට ඉසින නැනෝ නයිට්‍රජන් වඩා අප රටේ දී නිපදවිය හැකි පසට එකතු කරන නැනෝ නයිට්‍රජන්වල නයිට්‍රජන් ප්‍රමාණය දස ගුණයකින් ඉහළ මට්ටමක තිබෙන බව කියවේ. කෙසේවෙතත් දේශීය නිෂ්පාදන පද්ධතිය භාහිර යෙදවුම් මත යැපීම වැළැක්වීම සදහා මෙන්ම මහජන සෞඛ්‍ය සහ පරිසරය ආරක්ෂා කිරීම සදහා ගොවිතැන් ක්‍රම වෙනස් කිරීමේදී අස්වනු අඩුවීමේ යම් ප්‍රශ්නයක් මතුවේනම් දිර්ඝකාලීනව ඊට මුහුණ දිය හැක්කේ බෝග විවිධත්වය සහ ආහාර විවිධත්වය වැඩි කිරීම මගිනි.

ඒ සියළු තත්වයන් එසේ තිබියදී දැන් අභිනව මුදල් අමාත්‍යතුමා විසින් ජනාධිපතිතුමාගේ තීන්දුවට අභියෝග කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. එතුමා විසින් ආනයන අපනයන පාලන පනත යටතේ අංක 11 ලෙස නිකුත් කර ඇති රෙගුලාසින් මගින් නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පරස් සහ එම මූලද්‍රව්‍ය ත්‍රිත්තවය අඩංගු රසායනික පොහොර ආනයනය නැවත ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදී ඇත. එම බලපත්‍රය ක්‍රමය මගින් ආනයනය අනවශ්‍ය ප්‍රමාණයට සීමා කරන බව පැවසුනද සත්‍ය වශයෙන්ම එම ප්‍රමාණය තීන්දු කරනු ලබන්නේ මහජනයාගේ දැනුවත් භාවයකින් තොරව යම් නිලධාරීන් කිහිපදෙනෙකු විසිනි. එම තත්වය තුළ එම නිලධාරීන් සමඟ ගනුදෙනු කිරීම මගින් සමාගම් වලට අවශ්‍යවන රසායනික පොහොර ප්‍රමාණය ආනයනය කිරීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ එසේ ආනයනය කරනු ලබන්නේ කාබනික මූලයන් සහිත රසායනික පොහොර බවය. එය පට්ටපල් බොරුවකි. කාබනික මූලයන් සහිත පොහොර වර්ග ආනයනය කළ හැක්කේ එච්.එස්.අංක 31.01 යටතේය. නමුත් මුදල් ඇමතිවරයාගේ ගැසට්ටුව අනුව ආනයනය කළ හැක්කේ 31.02 සිට 31.05 දක්වා වන රසායනික පොහොර වර්ග පමණි. එසේ වුවත් එම අංකවල උපකාණ්ඩ යටතේ රසායනික පොහොර සහ වෙනත් ද්‍රව්‍ය මිශ්‍රකළ පොහොර වර්ග ආනයනය කිරීමේ හැකියාව ඇත.

නමුත් එවැනි පොහොර වර්ග කාබනික පොහොර ලෙස හැදින්විය නොහැක. ඒවා එක්තරා ආකාරයකට යම් කාබනික ද්‍රව්‍යයවලට රසායනික පොහොර මිශ්‍රරි කිරීමෙන් සකස් කරන ව්‍යාජ කාබනික පොහොර වර්ගයක් මිස සැබෑ කාබනික පොහොර ලෙස හැදින්විය නොහැක. එසේවුවත් ජනාධිපති මාධ්‍යක ඒකකය විසින් නිකුත්කළ නිවේදනයකට අනුව ආනයනය කිරීමට ඉඩ දෙන්නේ කාබනික පොහොර පමණකි. ඒ නිසා අවසානයේදී කාබනික ද්‍රව්‍යකය මිශ්‍රකළ රසායනික පොහොර හෙවත් ව්‍යාජ කාබනික පොහොර සහ රසායනික පොහොර යන වර්ග දෙකම අනයනය කිරීමේ හැකියාව ලැබේ. මෙම පැටලිල්ල යම් කූඨ ජාවාරම්කරුවන්ගේ උවමනාවන්ට අනුව සිතා මතා සිදුකෙරෙන බවටද චෝදනා එල්ල වේ. ඊට හේතුව දැනටමත් යම් ව්‍යාපරිකයින් කාබනික පොහොර නමින් රසායනික පොහොර දියකර නිෂ්පාදනය කරන ව්‍යාජ කාබනික පොහොර තොගයක් ආනයනය කොට රේගුව මගින් රදවාගෙන තබාගැනීමය. ඒ අනුව නව ගැසට්ටුව මගින් එවැනි ජාවාරම්කරුවන්ට අවස්ථාව සැලසෙන බවට සැකයක් නැත. ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්‍රජන් පොහොරවලට පුද්ගලික ගිණුමක් හරහා මුදල් ගෙවීම මගින් සිදුකළ වංචාව නිසා කාබනික වගාව යනු ලාභදායී ඡාවාරමක්ද යන සැකය බරපතළ ලෙස මතුවේ. නැනෝ පොහොර වර්ග භාවිතා කිරීමේදී මහජන සෞඛ්‍යයට සිදුවිය හැකි හානිය පිළිබඳව නිසි පර්යේෂණ සාක්ෂි නොමැතිව ඒවා ප්‍රචලිත් කිරීම බරපතල වරදකි. මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති සාක්ෂි අනුව නිසි ආරක්ෂණ ක්‍රමවේද නොමැතිව නැනෝ පොහොර වර්ග භාවිතා කිරීම මගින් සාමාන්‍යය රසායනික පොහොර භාවිතා කිරීමට වඩා මහජන සෞඛ්‍යයට අහිතකර බව ඔප්පු වී ඇත.එසේම ,ඒ සියල්ලටම වඩා දේශියව නිපදවන සජීවී බැක්ටිරියා යොදාගනිමින් පස පෝෂණය කෙරෙන දියර පොහොර වර්ග ප්‍රචලිත කිරීමට බලධාරීන්ට උනන්දුවක් ඇති නොවන්නේ ඒ මගින් කොමිස් නොලැබෙන නිසාද යන ප්‍රශ්නය ද මතුවේ. එවැනි ඡාවාරම් නිසා මහජන විශ්වාසය බිඳවැටීම තුළ ජනාධිපතිතුමාගේ මූලික අරමුණට බරපතළ අගතියක් සිදුවේ. ඒවා නිවැරදි කිරීමෙන් තොරව ජනාධිපතිතුමා සද්භාවයෙන් ගනුලැබූ තීන්දුව මහ පොළාවේ යථාර්ථයක් බවට පත්කළ නොහැකි බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More