පුරවැසි කොලම

පසුගියදා රූපවාහිනි නාළිකාවක ජනප්‍රිය වැඩසටහනකට සහභාගිවූ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඩොලර් උපයා ගැනීමට නොහැකි වුවහොත් මිනිසුන්ට බඩගින්නේ මිය යාමට සිදුවිය හැකි බවය. එතුමා විසින් මීට පෙර කරනු ලැබූ ප්‍රකාශ සහ පළ කරනු ලැබූ ගැසට් පත්‍ර වලට සිදු වූ දේ අනුව මෙම ප්‍රකාශය පිළිබඳව ද එතරම් කලබල විය යුතු නැතැයි යමෙකුට සිතිය හැක. සහල් මිල රුපියල් දෙකකින් වැඩි කළහොත් ලක්ෂයක් දඩ ගසන බවට එතුමා විසින් කරනු ලැබූ තර්ජන එසේම තිබියදී මහජනයා නාඩු සහල් මිලදී ගන්නේ රුපියල් 110 සිට රුපියල් 120 දක්වා මිලගණන් වලටය. ඊට පෙර එතුමා විසින් තොග වෙළදුන් සමග ගිවිසුම්වලට එළඹීම සහ විශාල ඇණවුම් ලබාදීම මගින් එම වෙළදුන්ගේ ලාභයෙන් ප්‍රතිශතයක් මිල අඩුවීමක් ලෙස පාරිභෝගිකයාට ලබාදීමට උත්සාහයක් ගනු ලැබීය. එම එකගතාව අනුව සමුපකාර වලට නිකුත් කළ චක්‍රලේඛනය අනුව එසේ තොග වෙළඳුන් විසින් කෙටිකාලීනව ලබාදෙන මිල අඩුවීම පාරිභෝගිකයාට ලබා දිය යුතුය. එම ප්‍රවේශය වෙනත් කෙිසිවෙකුගේ මොළයට වැටෙන්නේ නැති බව සහ එය ඉතා නිර්මාණශිලී විසදුමක් ලෙස එතුමා විසින්ම හදුන්වනු ලැබීය.නමුත් දැන් පාරිභෝගිකයාට ලැබුණා යැයි කියන එම ඊනියා වාසිය වාෂ්පවී යාමෙන් පසුව එතුමා ඒ පිළිබඳව කතා කරන්නේ නැත.

කෙසේ වෙතත් එතුමාගේ චක්‍රලේඛය මගින් සහල් පිළිබඳව සහ රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව එතුමාගේ ආකල්පය පැහැදිලි විය. ඊට අනුව සහල් කිලෝ ග්‍රෑම් 1ක් සඳහා සමුපකාර විසින් තබා ගතයුතු ලාභය රුපියල් 2ක් වන අතර තිරිඟු පිටි සඳහා රුපියල් 10ක ලාභයක් තබාගත හැක. ඒ මගින් ඔහු වක්‍රව සමුපකාර වලට ලබාදෙන පණිවිඩය වන්නේ සහල් විකිණීමට උනන්දු නොවන ලෙසය. එතුමා විසින් සහල් පමණක් අඩු මිලට විකිණිය යුතු බවට පනවන නියෝගය නිසා එනම් වෙළදපොලේ යථාර්ථයට අනුව පැවතිය නොහැකි පාළන මිලක් පනවා සිල්ලර වෙළඳපොලේ ගෙල සිරකිරීම නිසා අවසානයේදී කුඩා මෝල හිමියන්ගේ සහ ගොවියාගේ හුස්ම හිර වන බව කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු වන එතුමා දන්නේ නැත. එතුමා විසින් ඒ සියල්ල කරනු ලබන්නේ මහා සහල් මෝල් හිමියන් මට්ටුකිරීමට බව සඳහන් කළ ද සැබෑ ලෙසම සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දේ බව ඔහුගේ ආර්ථික විද්‍යා දැනුම ට හසු වන්නේ නැත.

වෙළෙඳ ඇමැති ලෙස එතුමා සෑම විටම පාරිභෝගිකයාගේ හෙවත් කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයා ඉලක්ක කරමින් තීන්දු ගන්නා බව පැහැදිලිව පෙනේ. එසේ පාරිභෝගිකයා කෙටි කලකට සතුටු කිරීම සඳහා දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වට්ටමින් සහ ගොවියා අධෛර්යමත් කරමින් ආනයන දිරිමත් කිරීමේ දීර්ඝකාලීන ප්‍රතිඵලය චක්‍රීයව මිල වැඩිවීම බව එතුමාගේ ආර්ථික විද්‍යා දැණුමට ඇතුළත් වන්නේ නැත. දැන් එතුමා කියන්නේ එම ක්‍රියාවලිය එනම් දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වට්ටමින් ආනයන දිරිමත් කිරීමේ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යෑම සඳහා ඩොලර් සොයාගත නොහැකි නම් බඩගින්නේ මිය යාමට සිදුවන බව ය. එහෙත් එතුමා විසින් ඩාලර් සොයාගන්නා ආකාරය හෝ ඩොලර් ඉතිරි කරගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි සැලැස්මක් රටට ඉදිරිපත් කරන්නේ නැත. එතුමාගේ න්‍යායන්ට අනුව ඩොලර් ඉතිරි කිරීම පිළිබඳව කතා කිරීමට හැකියාවක් නැත. දේශීයව නිපදවිය හැකි දේ සහ නිපදවිය යුතු දේ ආනයනය කිරීමේ වරද පිළිනොගන්නා අයකුට ඩොලර් ඉතිරි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකිද?

දේශීය නිෂ්පාදන වලට ප්‍රමුඛතාවය ලබාදීමේ ප්‍රතිපත්තිය අනිවාර්ය නොකිරීම

අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග ලේ, කඳුළු, දහඩිය හෙළමින් වසරකට මළ මිනි 300ක් සමග රටට එවන ඩොලර් ඒ ආකාරයට තිරිඟු පිටි හෝ කිරි පිටි ආනයනයට යෙදවීම පිළිබඳව සෙසු පාලකයින්ට මෙන්ම එතුමාට ද හෘද සාක්ෂියේ ගැටුමක් නොමැත. එතුමාගේ න්‍යාය අනුව රටේ ගෙවුම් ශේෂ හිඟයක් නොමැති නිසා වෙළඳ හිඟය ගැටලුවක් නොවේ. එහි දී මෙතෙක් කාලයක් වෙළෙඳ හිඟය පියවූ ආකාරය පිළිබඳව එතුමාට ගැටලුවක් නොමැති වුවත් දැන් ණය වාරික ගෙවීමට නොහැකි තත්ත්වයක් යටතේ ප්‍රශ්නය මතු වී ඇත. එවැනි තත්ත්වයකදී හෝ ආනයන සීමා කිරීම හෝ දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීම සහ ජනතාවගේ පරීභෝජන සංස්කෘතිය වෙනස් කිර ගැනීම පිළිබඳව ජනතාවට කරුණු කීම වෙනුවට ආනයනයට ඩොලර් නොමැති නිසා ජනතාවට බඩගින්නේ සිටීමට සිදු විය හැකි බවට අනතුරු ඇඟවීම එතුමා වැනි විද්වතුන්ගෙන් බලාපොරොත්තු විය හැකි දෙයක් නොවේ. රට වසා තැබීම මගින් වෙළඳාම සීමා වීම නිසා ආර්ථිකය කඩා වැටෙන බවට කරුණු ඉදිරිපත් කරන පිරිස් ආර්ථික කළමනාකරණයේ මූලික වැරදි නිසා දීර්ඝ කාලයක් තිස්සේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන ආකාරය දකින්නේ නැත. දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවට අඩු මිලට ආනයනය කිරීම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් බවට මේ දුෂ්කර මොහොතේදී පවා එතුමා විසින් අදහස් දැක්වීම ඉතා කණගාටුදායකය.

මෑත කාලීනව එතුමා විසින් එසේ අඩු මිලට විදේශීය නිෂ්පාදන ආනයනය කිරීම සඳහා රජයේ වාණිජ නීතිගත සංස්ථාව යොදාගෙන තිබේ. ඒ අනුව ඩොලර් මිලියනයකට වැඩි වටිනාකමක් සහිත වෙඩි නොවදින හෙල්මට් 10,000ක් යුධ හමුදා සඳහා ආනයනය කිරීමට එම ආයතනය ඉදිරිපත් වන්නේ ඒවා දේශියව සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයෙකු ඉදිරිපත් ව සිටියදී ය. මීට පෙර යුද්ධය පැවති සමයේ දී පවා උසස් තත්වයේ වෙඩිනොවදින හෙල්මට් 75,000ක් පමණ ආරක්ෂක හමුදාවලට සැපයීමට එම දේශීය සමාගම සමත්වී ඇත. ඩොලර් හිගයක් ගැන කතා කරන එතුමා ක්‍රියාවෙන් ලබා දෙන්නේ එවැනි ආදර්ශයයන්ය. රාජ්‍ය වානිජ ආයතනයක පැවැත්ම සඳහා දේශීය නිෂ්පාදන වලට තරග කළ නොහැකි ආකාරයට ආනයනික නිෂ්පාදන ප්‍රචලිත කිරීම එතුමාගේ න්‍යායට අනුව වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නොවේ. වෙළඳාම මුල්කරගත් ආර්ථිකයක දේශීය නිෂ්පාදන පද්ධතියට හිමි වන්නේ අඩු වටිනාකමකි. රටේ රාජ්‍ය ආයතනවලට එතුමාගේ රාජ්‍ය ආයතනයෙන් රුපියල් මිලියන 50 ක් දක්වා ටෙන්ඩර් කැඳවීමකින් තොරව භාණ්ඩ මිලදී ගැනීමට එතුමා විසින් අවසර ලබා ගෙන ඇති බැවින් දැන් දේශීය නිෂ්පාදන වෙනුවට වැඩි මිලට පවා ආනයනික නිෂ්පාදන ප්‍රචලිත කිරීමට අවස්ථාව ලැබී ඇත.

අප රටේ භාණ්ඩාගාරය විසින් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වල දේශීය නිෂ්පාදන වලට ප්‍රමුඛතාවය ලබාදීමේ ප්‍රතිපත්තිය අනිවාර්ය නොකිරීම නිසා ටෙන්ඩර් කැඳවීමේදී එම ප්‍රමුඛතාවය සඳහන් නොකිරීම මගින් දේශීය නිෂ්පාදකයා පාගා දැමීමට රාජ්‍ය ආයතන වලට හැකියාව ලැබී ඇත. රාජ්‍ය, රටේ විශාලතම මිලදී ගන්නා ලෙස දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛතාවය ලබාදීම අනිවාර්ය කරන්නේ නම් දේශීය කර්මාන්තකරුවන්ට විශාල වෙළඳපොළක් හිමි වනු ඇත. ඒ මගින් ලැබෙන අතිරික්ත ලාභය නැවත ආයෝජනය කිරීම මගින් නිෂ්පාදනය විවිධාංගීකරණය කිරීමට මෙන්ම ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වර්ධනය කිරීමට ද හැකියාව ලැබේ. ඒ මගින් ආපනයන වර්ධනය කිරීමට සහ වැඩි වශයෙන් විදේශ විනිමය ඉපැයීමට ද අවස්ථාව ලැබේ. නමුත් නිරෝධායන නීති නිසා වෙළඳාම අඩු වූ විට රට වැටෙන බව කියන අය මෙවැනි වැරදි ප්‍රතිපත්ති නිසා රටට සිදුවී ඇති දේ ගැන කතාකරන්නේ නැත. මහා වැරදී නිවැරදි නොකොට සුළු අඩු පාඩු නිවැරදි කිරීමට උත්සාහ කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකිද?

“හොම්බෙන් යාම“ වළක්වා ගැනීම සඳහා දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීම

ඒ ආකාරයට ආර්ථිකයේ මූලික හෙවත් මූලධාර්මික වැරදි නිවැරදි නොකර එනම් ආර්ථිකයේ පදනම ශක්තිමත් නොකර බිත්ති බැදීමට නොහැකි බව අප රටේ පාලකයින් වටහා ගන්නේ කවදාද? බොහෝවිට මෑතකාලීනව ඇමරිකාවේ යටිතල පහසුකම් දකින ඔවුන් එසේ උස් බිත්ති බැදීමට පෙර ආර්ථිකයේ අත්තිවාරම් ශක්තිමත් කළ යුතු බව තේරුම් ගන්නෙ නැත. ඊට හේතුව අත්තිවාරම පොළොව යට තිබීම විය හැක. දෙවන ලෝක යුද්ධයට පෙර සිටිම බටහිර රටවල් තම නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම මුල් කරගෙන ආනයන අධෛර්යමත් කිරීම සඳහා පනවා තිබූ බදු ප්‍රමාණයන් අධ්‍යනය කළ හොත් එම අත්තිවාරම කුමක්දැයි වටහා ගත හැක. මහාචාර්ය හෝජුන් චැන්ග් මහතාගේ “ඉනිමගට පයින් ගැසීම” නම් ග්‍රන්ථය මගින් අද දියුණු යැයි කියන රටවල් ආර්ථික සංවර්ධනයේ මුල් යුගයේදී භාවිත කළ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති පිළිබඳ ඉතා විස්තීරණ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර ඇත. බටහිර රටවල් දැන් අප වැනි රටවලට ආරක්ෂණවාදී නොවී එනම් දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා කටයුතු නොකර වෙළඳාම ප්‍රවර්ධනය කරන ලෙසට උපදෙස් ලබා දෙන්නේ ඔවුන් ආරක්ෂණවාදීව තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් පසුවය. බන්දුල ගුණවර්ධන මහතාගේ පුස්තකාලයේ එවැනි පොත් තිබෙනවා ද යන්න සැක සහිතය.

ඒ නිසා නිදහසින් පසුව දීර්ඝකාලීනව කොරගසමින් පැමිණ දැන් කොරෝනාවෙන් පස්ස බිම ඇනී ඇති අවස්ථාවක ඉදිරියේදී “හොම්බෙන් යාම“ වළක්වා ගැනීම සඳහා දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මහජන සංවාදයක් අවශ්‍ය වී ඇත. බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා තමාගේ ආර්ථික විද්‍යා ගුරුකම පෙන්වා ඒවාට පහර දීමට ඉඩ ඇත. එහෙත් එතුමාගේ පහන් සංවේගය සඳහා රටේ නිෂ්පාදන පද්ධතිය සහ ආහාර සුරක්ෂිතතාව සමග එකට බැඳී ඇති වෙළඳපල ත්‍රිත්වයට අදාළව පමණක් යම් ඉදිරිපත් කිරීමක් කළ හැක. එහි ගැඹුර තේරුම් ගත හැකි නම් එතුමාට තම පැරණි සටහන් වෙනස් කර ගැනීමටද අවස්ථාව ලැබේ. ඒ අතරින් පළමුවැන්න සහල් සහ තිරිඟු පිටි තරගකාරී වෙළඳපොල තුළ මිල විකෘතීන් නිවැරදි කර දේශීය සහල් නිෂ්පාදන පද්ධතිය සහ ගොවියා ආරක්ෂා කිරීමයි.ඒ මගින් එතුමාට වැදගත් නොවුවද මේ රටේ ගොවි පවුල් ලක්ෂ විස්සකට අයත් අවම වශයෙන් ග්‍රාමීය ඡන්ද ලක්ෂ 40ක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබේ.

ඒ සඳහා ගත යුත්තේ ප්‍රතිපත්තිම ය තීන්දු දෙකක් සහ දීර්ඝකාලීනව මහජන සහාය ලබා ගැනීමේ ක්‍රියාමාර්ග පමණි. පළමු තීන්දුව වන්නේ නාඩු වී සඳහා ක්‍රිලෝ ග්‍රෑම් එහෙකට රුපියල් 60 ක සහතික මිලක් නියම කර වී ගොවිතැන ආකර්ෂණීය ආර්ථික ක්‍රියාකාරකමක් බවට පත් කිරීම සහ ඊට අනුව නාඩු සහල් ක්‍රිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 115ක් ලෙස මිල නියම කිරීමය. ඒ මගින් කුඩා පරිමාණ සහල් නිෂ්පාදකයාට සාධාරණ මිලක් ලැබෙන බැවින් ඔවුන්ට මහ මෝල් සමඟ තරග කිරීමේ හැකියාව ලැබේ. සහල් කිලෝ ග්‍රෑම් 1ක් 8 දෙනෙකුට ආහාරයට ගත හැකි බැවින් ඒ මගින් එක් වේලකට වැඩි වන්නේ රුපියල් එකයි ශත 50 ක් වැනි සෝචචම් මුදලකි. සිගරැට්ටුවක් රුපියල් 75කට, බුලත්විටක් රුපියල් 40 හෝ 50කට මිලදී ගන්නා අයෙකුට හෝ සාමාන්‍ය පාන් ගෙඩියක් රුපියල් 60ක් වන විට රුපියල් 40ක් වැඩිපුර ගෙවා පෙති පාන් ගෙඩියක් රුපියල් 100ට මිලදී ගන්නා අයෙකු ඒ පිළිබඳව පැමිණිලි කරන්නේ කෙසේද? එසේම මේ දිනවල රුපියල් 150කට අධික මිලකට කිරි සම්බා මිලදී ගන්නා අය ඊට විරුද්ධ වන්නේ කෙසේද? වතු කම්කරුවෙකුට දිනකට රුපියල් 1000ක් ලැබෙන විට වී ගොවියාට වසරකදී කන්න දෙකක් වැඩ කළ විට දිනකට ලැබෙන්නේ රුපියල් 500 සහ රුපියල් 750 අතර මුදලකි. මේ සියල්ල මහජනයාට පැහැදිලි කර රටේ ආහාර සුරක්ෂිතතාවය සහ දීර්ඝකාලීනව පාරිභෝගිකයාගේ යහපත සහ ගොවියා යම් පමණකට දුකින් මුදවා ගැනීම සඳහා එසේ කළ යුතු බව අවංකව මහජනයාට පැහැදිලි කළහොත් ඊට අදාලව ජනමත විචාරණයකින් වුවද ජය ගත හැක. නමුත් දැන් මිල පාලනය ඉවත් කිරීම මගින් තිබූ තත්වය තවදුරටත් නරක අතට හැරී ඇත.

රටේ ආහාර සුරක්ෂිතතාවය සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම

ඊට අමතරව සහල් සහ තිරිඟු පිටි වෙළෙඳපොළ තුළ පවතින මිල විකෘතිය නිවැරදි කිරීම සඳහා පසුගිය රජය විසින් තිරිඟු ඇට ආනයනකරුවන්ට ලබා දුන් කිලෝග්‍රෑම් 1කට රුපියල් 20ක බදු සහනය සහ වර්තමාන රජය විසින් තිරිඟු පිටි ආනයනකරුවන්ට ලබා දුන් ක්‍රිලෝග්‍රෑම් 1කට රුපියල් 28 ක බදු සහනය අහෝසි කර එම බදු නැවත පැනවිය යුතුය. ඒ මගින් රජයට ලැබෙන බදු ආදායම රුපියල් මිලියන 30,000 ඉක්මවා යනු ඇත. එම අරමුදල් යොදවා අඩු ආදායම්ලාභීන්ට සහන ලබාදිය හැක. ඒ වෙනුවට සමාගම් වලට සහන ලබාදීම නිසා එම අතිරික්ත ලාභය අයුතු ලෙස යොදවා තිරිඟු පිටි ප්‍රචලිත කිරීම නිසා පසුගිය වසර කිහිපය තුළ රටේ තිරිඟු පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 13 සිට මෙට්‍රික් ටොන් ලක්ෂ 18 දක්වා වැඩි විය. එම තත්ත්වය මහජන සෞඛ්‍යයට බරපතළ තර්ජනයකි. මෙවැනි බදු සහන ලබා ගනිමින් බනිස් ගෙඩියක මිල රුපියල් 10කින් වැඩි කර ඇති තත්වයක් යටතේ බදු සහන නැතිව එසේ කරන ලෙස බේකරි හිමියන්ට උපදෙස් දිය හැක. නමුත් සහල් කිලෝවකට රුපියල් 2කින් මිල වැඩිකරීමට එරෙහිව තර්ජනය කරන අමාත්‍යවරයා බනිස් ගෙඩියක් රුපියල් 10කින් වැඩිකරන විට නිහඬ වතක් අනුගමණය කිරීම පුදුම සහගතය. ඊට අමතරව සීනි ආනයනකරුවන්ට ක්‍රිලෝ ග්‍රෑම් එකකට රුපියල් 49.75ක අයුතු බදු සහනයක් ලබාදීමෙන් පසුව එම බදු සහනය යොදා ගනිමින් මිල අඩු කිරීම වෙනුවට තවත් රුපියල් 100කින් මිල වැඩි කර ඇත. ඒ මගින් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් මිලියන 25000කට ආසන්න වේ. නමුත් එම බදු වංචාව සහ පාරිභෝගිකයා ගසා කෑමට එරෙහිව අප රටේ ඇමතිවරුන් සිහින් කෙදිරියක් හෝ නගන්නේ නැත. එහෙත් සීනි බදු වංචාව බැදුම්කර වංචාවට වඩා බරපතළ වංචාවක් බව අනාගතයේදී ඔප්පු වනු ඇත.

කොසේවෙතත් රටේ නිෂ්පාදන පද්ධතිය සහ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම මෙන්ම ගොවියාගේ ආදායම් වැඩිකිරීම සහ ග්‍රාමීය ආර්ථිකය උද්දීපනය කිරීම සඳහා මැදිහත් විය යුතු දෙවන වෙළඳපල කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳ පොළයි. එහි මිල විකෘතිය නිවැරදි කිරීම සඳහා ගත යුත්තේ ප්‍රතිපත්තිමය තීන්දු දෙකක් පමණි. පළමුවැන්න මිල සූත්‍රයක් හඳුන්වා දී ආනයනික කිරිපිටි මිල දේශීය කිරිපිටි මිලට වඩා 10%කින් ඉහළ මට්ටමකින් පවතින ලෙස ආනයන බදු පැනවීම ය. දෙවැන්න ආනයනික කිරිපිටි බාල කිරීම හෙවත් සංයුතිය වෙනස් කිරීම මගින් මිල අඩු කිරීම හරහා වෙළඳපොල තුළ මිල විකෘතියක් ඇති කිරීම වැලක්වීමය. ඒ අනුව මේදය ඉවත් කළ කිරිපිටි සහ මේදය ඉවත් කර ඒ වෙනුවට ෆාම් තෙල් මිශ්‍ර කළ කිරි පිටි ආනයනය, “ආනයන අපනයන පාලන පනත” යටතේ අත්හිටුවිය යුතුය. එවිට ගොවියාට අමු කිරි ලීටරයකට රැපියල් 100ක් ලබාදිය හැකි බැවින් බෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම සඳහා ගොවියා දිරිමත් වේ. ආනයනික කිරිපිටිවලට බදු සහන ලබාදී දේශිය කිරි කර්මාන්තය අමාරුවේ දැමූ විට කිරි මිලදී ගැනීම අඩුවන අතර මිලද පහත වැටේ. ඒ ආකාරයට ක්‍රියාකිරීමෙන් කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සහ ගොවියාගේ ආදායම්  මට්ටම වැඩි කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

රටේ ආහාර සුරක්ෂිතතාවය සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාලව උපායමාර්ගිකව මැදිහත් විය යුතු තුන්වන වෙළෙඳපොළ ආහාරයට ගන්නා තෙල් වෙළඳපොළයි. ඒ සඳහා ද ප්‍රතිපත්තිමය තීන්දු දෙකක් ගැනීමට සිදුවේ. පළමුවැන්න පිරිපහදු නොකළ කිසිදු තෙල් වර්ගයක් ආනයනය කිරීම අත්හිටුවීම සහ ඒවා පිරිසිදු පොල්තෙල් වලට මිශ්‍ර කිරීම පාරිභෝගික අධිකාරී පනත යටතේ අත්හිටුවීමය. දෙවැන්න පොල්තෙල් ආනයනය වෙනුවට අමුද්‍රව්‍ය ආනයනය කර දේශීය පොල් තෙල් අවශ්‍යතාවය සපුරා ගැනීම මගින් දේශීයව පොල් තෙල් කර්මාන්ත පද්ධතිය මෙන්ම පොල් වගාවද ආරක්ෂා කිරීමයි. ඒ අනුව දේශීය පොල් වලට ස්ථාවර මිලක් ලැබෙන ආකාරයට පොල්තෙල් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දී ආහාරයට ගන්නා ආනයනික තෙල් වර්ගවල මිල දේශීය පොල්තෙල් මිලට වඩා 10% කින් ඉහළ මට්ටමක පවතින ලෙස ආනයන බදු පැනවීමට සිදුවේ.

බන්දුල ගුණවර්ධනගේ ඩොලර් හිඟයට පිළිතුර

අවසාන වශයෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍යයවරයාගේ ආර්ථික මධ්‍යස්ථාන න්‍යාය මගින් ගොවියා සහ පාරිභෝගිකයා යන පාර්ශ්ව දෙකම ප්‍රාණ ඇපයට ගන්නා තත්වය වෙනස් කළ යුතු බවද සදහන් කළ යුතුය. ඒ අනුව වෙළෙඳුන් සහ නාඩිකාරයින්ගේ බලයට යටත්කළ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙනුවට ගොවියාට බලය සහිත විකිණිමේ මධ්‍යස්ථාන පිහිටුවිය යුතුය. එනම් ගොවි සංවිධාන විසින් මෙහෙයවනු ලබන විකිණිමේ මධ්‍යස්ථානවලට තොග වෙළදුන් පැමිණ එළවළු තොග මිලදී ගැනීමේ තත්වය නිර්මාණය කළ යුතුය තුය. එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා අතීතයේ පැවති අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉටු කළ භූමිකාව ප්‍රතිනිර්මාණය කිරීමට සමත් තොග සහ සිල්ලර වෙළදාම මෙන්ම වටිනාකම් එකතු කිරීම, ගබඩා කිරීම සහ කල්තබා ගැනීම ආදී වෙළදපොළ උවමනාවන් සැපිරිය හැකි සමූපකාර ඡාලයක්ද පිහිටුවිය යුතුය.

ඉහත සඳහන් කළ තීන්දු කිහිපය මගින් පමණක් වුවද ග්‍රාමීය ආර්ථිකය ආශ්‍රිත නිෂ්පාදන පද්ධතිය සහ රටේ ආහාර සුරක්ෂිතතාවය මෙන්ම මහජන සෞඛ්‍යයට අදාළ බරපතළ වෙනසක් සිදුවන අතර ආර්ථිකයේ පදනම ශක්තිමත් වේ. කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියන ඩොලර් හිඟයටද එමගින් යම් පිළිතුරක් ලැබේ. අප රටේ ආහාර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 2500 පමණ වැයවේ. දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීම සහ මහජනයාගේ ආහාර පුරුදු වෙනස් කර ගැනීම මගින් පමණක් දළ වශයෙන් ඩොලර් මිලියන 1000ක් වාර්ෂිකව   ඉතිරි කරගත හැකි බව ඉතා පැහැදිලිය. එම ඉතිරි කිරීම සමස්ත අපනයන ආදායමෙන් 10%කි. ඒ නිසා සහල් මිල රුපියල් 2ක් අඩු කිරීම පිළිබඳව ඝෝෂා කිරීම වෙනුවට උසස් පෙළ සිසුන්ට උගන්වන ආර්ථික විද්‍යා මූලධර්ම වලින් ඔබ්බට ගොස් දේශපාලන ආර්ථික විද්‍යාවට අදාල උපායමාර්ග පිළිබඳව අධ්‍යනය කිරීමට යම් කාලයක් යොදවීම ඉතා වැදගත්වනු ඇත. ඒ සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමයේ දී අනුගමනය කළ ආරක්ෂණවාදී උපාය මාර්ගික ප්‍රතිපත්ති පිළිබඳව අධ්‍යයනය කිරීම වුවද ප්‍රමාණවත් වනු ඇත. කොවිඩ් වසංගතයෙන් පසු නැගී සිටීම සඳහා පාලකයින් පළමුව ඉගෙන ගත යුත්තේ එම අතීත අත්දැකීම් වලින් බව ද අවධාරණය කළ යුතුය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ නැහැ!. දෙමළ ඩයස්පෝරාවේ සහය ලබා ගැනීමට ඩය්ස්පෝරා කාර්යාලයක් පිහිටවීමට කටයුතු කරනවා- ජනපති රනිල්

මේ සතිය අවසන් වන විට අවසන් වීමට නියමිත හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. "රටේ තත්ත්වය ...


Read More

ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි; ගැටුමේ සාගර කලාපයක් – සතුරු කඳවුරුවල සාගර කලාපයක් නොවිය යුතුයි; – විමල් වීරවංශ

"ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි; යන දැඩි ස්ථාවරයක අප සිටිනවා. ඒ නිසයි චීන සන්නිවේදන නෞකාවට අවසර දුන් පරිදිම හම්බන්තොට...


Read More

IMF යනවට විමල්ලා එකඟද ? දෙරණට ගියපු විමල් දීපු සැර පිළිතුර මෙන්න (වීඩියෝ)

ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වූ 360 දෙශපාලන වැඩසටහනට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන්  එය මෙහෙයවූ මාධ්‍යවේදිය...


Read More