පුරවැසි කොලම

“යුග පිරිහෙන විට සියලු ආකල්ප පුද්ගල බද්ධ වේ. එහෙත් අනෙක් අතට නව යුගයක් සඳහා තත්ත්වය මෝරන විට සියලු ආකල්ප විෂය බද්ධ වේ” යැයි කියුවේ කීර්තිමත් ජර්මානු චින්තකයෙකු වූ ගර්තේ ය (Johann Wolfgang von Goethe).සමාජයක හෝ රාජ්‍යයක බිඳවැටීම් හෝ පිරිහීම් අවදියකදී මිනිසුන් විසින් තෝරාගනු ලබන්නේ තම ආත්මාර්ථයට බෙහෙවින් බර වූ විසඳුම්ය. විෂම තත්ත්වයකදී මිනිසා සියතට ගනු ලබනුයේ විෂම විසඳුම්ය. ඒ විෂම විසඳුම්වල ගාමක බලය තනි ආත්මාර්ථයයි. එහෙත් පරිහානියේ සිට සෞභාග්‍යය කරා වූ ගමනට අවශ්‍ය නව තත්ත්වයන් වර්ධනය වන විට මිනිසා මෙහෙයවනු ලබන ගාමක බලවේගය වනුයේ එම නව තත්ත්වයන් විසින් අපේක්ෂිත සාමූහික විඥානයයි. සරලව කිවතොත් මෙමගින් පවසනුයේ රටක් අර්බුද වෙතින් ගහන වන විට තමන් බේරීමේ විසඳුම අනුව ක්‍රියාකරන මිනිසා ප්‍රගතියේ උද්වේගකර මාවත කරා ගමන් කරන බව දැනගත් විට “එක්ව ජයගමු” යන තේමා පාඨයට අනුව ක්‍රියාකරන තත්ත්වයට පරිවර්තනය වන බවයි.

දෙමළ ඊළාම් බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් ලංකාව බරපතළ ලෙස බැටකන අවදියේදී “ඔන්න ඔය කෑල්ල දීලා හරි කමක් නෑ, යුද්දේ ඉවර වෙනවා නම්” කියන තෝරාගැනීමට දකුණේ මධ්‍යම පාන්තිකයා පත්වූයේ අප ඉහත පෙන්වා දුන් සත්‍යයට අනුවය. එනම් පිරිහීමේ හෝ කඩාවැටීම් තත්ත්වයකදී මිනිසා සාමාන්‍ය තත්ත්වයකදී තෝරාගනු ලබන තේරීම්වලට වඩා විෂම තෝරාගැනීම් කරා ගමන් කරන බවය. එම තෝරා ගැනීම්වල ගාමක බලය ආත්මාර්ථය වන බවය. එහෙත් කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයග්‍රාහී අපේක්ෂා සහගතව ඉදිරියට යන විට ලාංකේය ජනයා බඩු මිල ගැන ප්‍රශ්න කළේ නැත. ජවිපෙ කැඳවූ වැඩ වර්ජන සඳහා එක්වූයේ නැත. නව යුගයක් සඳහා තත්ත්වය මෝරන විට සියලු ආකල්ප විෂය බද්ධ වේ යැයි කියන්නේ ඒ හැසිරීමටය. ඒ තත්ත්වය තුළ මෙරට ජනයාගේ ආකල්ප තීරණය කරන ලද්දේ තම දෑස් ඉදිරිපිට ජයග්‍රාහීව ඉදිරියට යන ත්‍රස්ත විරෝධී සටනේ විෂය බද්ධ අවශ්‍යතාව විසිනි. මෙම සත්‍යය හොඳින් වටහා ගෙන ඇත්තේ ලොව බලගතු අධිරාජ්‍යවාදී රටවල්ය. ඊටත් වඩා නිවැරදිව පවසතොත් එම අධිරාජ්‍යවාදී රටවල්ද මෙහෙයවනු ලබන ඊට ඉහළින් ඇති බලගතු සමාගම් අධිරාජ්‍යවාදයය. එම සමාගම් අධිරාජ්‍යවාදයට මුළු මහත් ලොවම පෙනෙනේනේ වෙළෙඳපොළක් වශයෙනි. සූරාකෑම සඳහා ඇති අවස්ථා විවර කරන දඩබිමක් ලෙස පමණි. මිලදී ගැනීමේ හැකියාව අහිමි මිනිසුන් වූකලී සත්තුන්ටත් වඩා අන්ත පිරිසකි. ලෝකය නමැති වෙළෙඳපොළ තුළ මිලදී ගැනීමේ හැකියාව අහිමි මිනිසුන් ජීවත් වීමේ තේරුමක් නැත. ඔවුන් එක් හෝ වෙනත් ආකාරයකින් මිය යා යුතුය. එය ඉබේ නොවන්නේ නම් ඇති කළ යුතුය. තම සූරාකෑමට සරිලන නව ලෝක යථාර්ථයක් නිර්මාණය කරගත යුතුය. සමාගම් අධිරාජ්‍යවාදයට ඉදිරියට ගමන් කළ හැක්කේ එපරිද්දෙන් මිස මානුෂීය හෝ සාධාරණ ආකාරයකින් නොවේ.

සමාගම් අධිරාජ්‍යවාදයට අවස්ථාව

ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඇතුළු ගොඩනැගිලි කීපයක් ඉලක්ක කරගෙන බින් ලාඩ්න්ලා විසින් එල්ල කරනු ලැබූ හෝ එල්ල කරගනු ලැබූ ප්‍රහාර දාමය විසින් ලෝකය ඉදිරිපිට නව යථාර්ථයක් නිපදවනු ලැබීය. එම නව යථාර්ථය විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණයට අවශ්‍ය වීසා බලපත්‍රය කිසිදු ලෝක වාසියකුගේ විරෝධයකින් තොරව ලබාගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් විය. එය අවසානයේ ඉරාකය, ලිබියාව හා සිරියාව ආක්‍රමණය කිරීම දක්වාම ඉදිරියට මෙහෙයවනු ලැබූ හා ඒ සඳහා වන මිනීමරු ප්‍රහාර දාමයක් සාධාරණීකරණය කරනු ලැබූ නව යථාර්ථයක් වූ බව අප අමතක නොකළ යුතුය. මෙම නව යථාර්ථය බොහෝ විට ඉබේ ඇති ක්‍රියාදාමයක බිහිවීමක් නොවේ. එය බොහෝ විට කෘත්‍රිමව බිහිකරනු ලබන්නකි. සැප්තැම්බර් 11 ප්‍රහාර දාමය පිළිබඳ අද හෙළිදරව් වී ඇති ඇතැම් කරුණු අනුව එය සමාගම් අධිරාජ්‍යවාදය විසින්ම එල්ල කරගනු ලැබූ ප්‍රහාර දාමයකැයි යන නිගමනය බලවත් වී තිබේ. එය එසේ නම් (අපට අනුව එය එසේමය) සමාගම් අධිරාජ්‍යවාදයට එම ප්‍රහාර ඔස්සේ ඇමරිකානු ජනතාව ගොදුරු වනු ඇති මරණ ප්‍රමාණය හෝ වෙනත් පීඩනයක් පිළිබඳ ප්‍රශ්නය අදාළ වන්නේ නැත. වැදගත් වන්නේ එම සිදුවීම් දාමයේ ප්‍රකම්පනය තුළින් බිහිවන නව ලෝක යථාර්ථය විසින් නව සතුරෙකු තමා ඉදිරිපිට බිහිකර දී තිබීමත්, එම නව සතුරා පැරදවීම පිණිස එම සතුරා යෙහෙන් වැජඹේ යැයි තමන් සිතන උපාය මාර්ගික හා සූරාකෑම අතින් වැදගත් රටවල් ආක්‍රමණය කිරීමට හා අත්පත් කරගැනීමට නව අවස්ථාවක් උදා කර දී තිබීමත් පමණි.

එමගින් ඇමරිකානු හා සෙසු අධිරාජ්‍යවාදී ගජ මිතුරන්ගේ රටවල ආර්ථිකයන් බොහොමයක් යුද අවි හා ඒ ආශ්‍රිත අවශ්‍යතා වෙනුවෙන් විශාල ලෙස මුදල් යෙදවීමට මාර්ගය පාදා දේ. අධිරාජ්‍යවාදී රටවල හමුදාවන්ගේ ප්‍රහාරයට ගොදුරු වන රටවලටද බැරි මරගාතෙන් හෝ අවි ආයුධ මිලදී ගැනීමට පෙළඹෙන වාතාවරණයක් උපදවා දෙනු ලබයි. මේ සියල්ලම සමාගම් අධිරාජ්‍යවාදයේ යහපත පිණිස වේ.

ආක්‍රමණය කෙළවර තෙල් නිධි ඇතුළු බොහෝ සම්පත් කුණු කොල්ලයට කොල්ල කෑමේ අවස්ථාව මේ සමාගම් අධිරාජ්‍යවාදයට හිමි කරදේ. අනෙක් අතට එම රටවල ජනසමාජයන් තම නව ප්‍රාග්ධන ගොදුරු බවට පත් කර ගැනීමටද එමගින් සමාගම් අධිරාජ්‍යවාදයට අවස්ථාව හිමි කරදෙනු ලැබේ. එවන් වූ ලෝකයක වසංගත යනු ඉබේ පහළ වන්නක් විය හැකිද? සීතල යුද්ධයද පැරණි අර්ථයෙන් නොපවතින ලෝකයක තෙවැනි ලෝක යුද්ධය ඇති කරනවාට වඩා ජෛව අවි ප්‍රහාරයකින් සිදුකරන බලපෑම නව ලෝක යථාර්ථයක් බිහිකර ගැනුම පිණිස උපකාරී නොවනු ඇද්ද? යුද අවි, ඖෂධ, රසායනික පොහොර හා බීජ, තෙල්, තාක්ෂණය, ආදී ක්ෂේත්‍ර ඔස්සේ ලොව පුරා සිය ආධිපත්‍ය පතුරුවා හැර තිබෙන මෙම සමාගම් අධිරාජ්‍යවාදයට ඉදිරියට යෑමට හැකි අලුත් තත්ත්වය උපදවා ගැනීම සාමාකාමීව සිදුවිය හැකි නොවේ.

පුද්ගල බද්ධ ආකල්ප විසින් සමාජය මෙහෙයවනු ලබන තත්ත්වය

එම අලුත් තත්ත්වය ඇති වන්නේ එක්කෝ සැප්තැම්බර් 11 ප්‍රහාරය වැනි සීමාසහිත යුද්ධ හරහාය. නැති නම් ලෝක පරිමාණව සීඝ්‍රව පැතිරෙන වසංගත ආදී ජෛව අවි ප්‍රහාර හරහාය. එබඳු වසංගත තත්ත්වයකදී වැඩිපුරම මියැදෙනු ඇත්තේ දුගියන්ය. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක නම් කළු ජාතිකයන්ය. සුදු ජාතිකයන් වුවද ජීවන තත්ත්වයෙන් පහළ සිටින පිරිස්ය. (ජීවන තත්ත්වයෙන් ඉහළ සිටින පිරිස් යම් පමණකින් ඊට ගොදුරු නොවන බවක් මින් අදහස් නොවේ.)

මිලදී ගැනීමේ හැකියාව හොඳින් නොපවතින උන් මියයාම කොතනකදී වුවත් සිදුවිය යුතුය. ඒ සමාගම් අධිරාජ්‍යවාදය හිතන විදිහ මිස අප සිතන විදිහ නොවේ. වසංගතය විසින් දුබල ආර්ථිකයන් සහිත රටවල කඩාවැටීම ඉක්මන් කෙරේ. එමගින් අත්පත් කරගැනීමට ඇති අවස්ථා විවර කෙරේ. සාමාන්‍ය ලෝක යථාර්ථය තුළ අගුල විවර කිරීමට යතුර නොලැබෙන දොරවල්වල අගුල විවර කිරීමට යතුර ලබාදෙන තත්ත්වයක් එමගින් උදා කර දේ.

පැරණි ලෝක යථාර්ථය තුළදී නොලැබෙන “චාන්ස්” නව ලෝක යථාර්ථය තුළ දී සමාගම් අධිරාජ්‍යවාදය වෙත හිමි කරදේ. අද අප ඉදිරිපිට ලෝක පරිමාණව මෙන් ජාතික පරිමාණව දිග හැරෙමින් තිබෙනුයේ මෙකී ක්‍රියාදාමයයි.

ලෝක පරිමාණව ගත් කළ මෙම වසංගතය විසින් ලෝකයේ ආර්ථිකය අඩාල කර දමනු ලැබ තිබේ. එහෙත් බලවත් රටවලට ඊට ඔරොත්තු දීමේ හැකියාව හිමිව තිබේ. කියුබාව වැනි තෙවැනි ලොව රටකට ඒ හැකියාව දීර්ඝ කාලීනව හිමි නැත. කියුබාව තමන්ගේ පැවැත්මට අවශ්‍ය ඇමරිකානු ඩොලර් සොයාගනුයේ (සම්බාධක තිබියදී) ප්‍රධාන වශයෙන් සංචාරක ව්‍යාපාරයෙනි. වසංගත තත්ත්වය තුළ සංචාරක ව්‍යාපාරය බිඳ වැටී තිබේ. එමගින් ඇමරිකානු ඩොලර් ආදායම හීන වී තිබේ. ඒ අනුව ආහාර හා ඖෂධ ආදී බොහෝ අවශ්‍යතාවන්හි හිඟයක් ඇතිව තිබේ. එම නව තත්ත්වය විසින් සියලු ආකල්ප පුද්ගල බද්ධ වේ. එනම් “අපට කන්න නෑ… බේත් නෑ… සමාජවාදය කන්නද… සුබසාධනවාදී රාජ්‍යය මොකටද…” යනුවෙන් ප්‍රශ්න කරමින් පාරට බහින තත්ත්වයට කියුබානු ජනතාවගේ ආකල්ප පුද්ගල බද්ධ වේ. වසංගතය සමග ඇති වී තිබෙන නව යථාර්ථය තුළ කියුබානු ජනයා (සැවොම නොවුණත්) පුද්ගල බද්ධව සිතන හා ඒ අනුව ක්‍රියාකරන විෂම තත්ත්වයකට ඇද හෙලනු ලැබ තිබේ. යුද්ධය ත්‍රීව වූ කාලයේ “කොටියාට ඔය කෑල්ල දීලා හරි කමක් නෑ… මේ යුද්ධය ඉවර කරමු.” යනුවෙන් පැවසුයේද මේ ආකරයේම පුද්ගල බද්ධ ආකල්ප විසින් සමාජය මෙහෙයවනු ලබන තත්ත්වයක හැසිරීම කවරේදැයි පෙන්නුම් කරමිනි.

ඊනියා යහපාලන සමයේ මෙරට ආර්ථිකයට සිදු කළ හානිය වටහා ගැනීම

කියුබාව පමණක් නොව අද වෙනත් රටවල අභ්‍යන්තර ආර්ථික තත්ත්වය බෙහෙවින් අවිනිශ්චිතය. සමාජීය තත්ත්වයද බෙහෙවින් අස්ථාවරය. සමාගම් අධිරාජ්‍යවාදයේ අලුත් ගොදුරු බිම් බොහොමයක් මේ මගින් විවෘත කරගනිමින් තිබේ. ඒ වෙඩි උණ්ඩ පත්තු කිරීමකින් තොරවය. ශ්‍රී ලංකාවද අද ආර්ථික වශයෙන් සිටින්නේ වෙනස් තත්ත්වයක නොවේ. බෙහෙවින් අවදානම් තත්ත්වයකය.

ඊනියා යහපාලන ආණ්ඩුව විසින් මෙරට ආර්ථිකයට ඇති කරන ලද විනාශකාරී බලපෑම හේතුකොට ගෙන මෙම අවදානම් තත්ත්වය බෙහෙවින් තීව්ර කොට තිබේ. වසංගතය වූ කලී හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා පාත්වීමක් මිස අන් යමක් නොවේ.

ඊනියා යහපාලන සමයේ මෙරට ආර්ථිකයට සිදු කළ හානිය වටහා ගැනීමට නම් සංසන්දනාත්මකව මේ තත්ත්වය කියවා ගැනීමට හැකි විය යුතුය.

ආර්ථික මිණුම් දඬු                                                                    2010 – 2014                               2010 – 2014  
ආර්ථික වර්ධන වේගය                                                                7.4%                                              2.3%
කෘෂිකර්මාන්තයේ වාර්ෂික වර්ධන වේගය                           4.6%                                             0.6%
කාර්මික අංශයේ වාර්ෂික වර්ධන වේගය                               4.7%                                             2.7%
දළ ජාතික ආදායමේ වාර්ෂික වර්ධන වේගය                        5.1%                                              2.2%

7.4%ක ආර්ථික වර්ධන වේගයකට හිමිකම් කියන ලද රටක් එම වේගය 2.3%ට පහළ වැට්ටවීම සුළුපටු බිඳවැට්ටවීමක් නොවේ. එසේ බිඳවැටුණු ආර්ථිකයක් සහිත රටකට (හිඟන්නාගේ පාත්තරයට) දැන් ලෝක වසංගතයක්ද (හෙනහුරා) කඩාපාත් වී තිබේ. එමගින් සාම්ප්‍රදායික ඩොලර් ආදායම මෙන්ම සාමාන්‍ය රාජ්‍ය ආදායමද ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා හීන කර දමනු ලැබ තිබේ. ආර්ථික වර්ධන වේගයද සෘණ අගයකට පහත වට්ටවනු ලැබ තිබේ.

ෆ්‍රිච් රේටින්ස් (Fitch ratings) යන කුප්‍රකට රේටින්ස් ආයතනය විසින් පසුගිය නොවැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව ට්‍රිපල් සී (CCC) යන වර්ගීකරණයට අයත් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කරනු ලැබුවේ මේ නව යථාර්ථය තුළය. කවුරුත් දන්නා පරිදි කවර රටක වුවද ආර්ථිකය ටි්‍රපල් සී මට්ටමට ඇද වැටුණු පසු කිසිදු විදේශ ආයෝජයකු ඒ රට වෙත නොපැමිණේ. එකී රටේ බැංකු වෙත ඩොලර් ණය ලබාදීමට සෙසු රටවල්වල බැංකු පැකිලේ. බැඳුම්කර අලෙවියෙන් ගත් වෙනත් ණය ලබාගැනීම් හරහා හදිසි අවශ්‍යතා පියවාගැනීමට උත්සාහ කළද එබඳු තත්ත්වයට ඇද වැටුණු රටකට එම උත්සාහයන් සාර්ථක කර ගැනීම පහසු නොවේ.

අසීරු තත්ත්වයක්

තිබෙන ඇමරිකානු ඩොලර් ප්‍රමාණයද වසරකට ඩොලර් බිලියන හතරකට වැඩි විදේශීය ණය වාරික පියවා ගැනීමට ලංකාවට සිදුව තිබේ. ඒ අතරතුර වැක්සීන්වලටද වැය වන්නේ තිබෙන ඩොලර් සොච්චමය. ඩොලර් හිඟය නිසා බැංකු ණයවර ලිපි නිකුත් කිරීම බොහෝ දුරට සීමා කර තිබේ. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශයකින් ගෙන ඒමට පවා අසීරු තත්ත්වයක් එමගින් උද්ගත කර තිබේ. එහි ප්‍රතිඵලය විය හැක්කේ කර්මාන්ත ශාලා වැසී යාමය. ඒ ආශ්‍රිත රැකියා අහිමි වීමය. විදේශ රටවල රැකියාවන්හි නිරත වූ ලක්ෂයකට අධික පිරිසක් රැකියා විරහිතයන්ව දැනටමත් ලංකාවට පැමිණ සිටිති. ඒ ගොඩට ඉහත කී ගොඩත් එක් වූ විට තත්ත්වය තවත් බරපතළ වේ. කඩිනමින් ට්‍රිපල් සී වර්ගීකරණයෙන් ගැලවී ඉහළ වර්ගීකරණයකට ශ්‍රී ලංකා ආර්ථිකය ගෙන යාමට අසමත් වුවහොත් ඊළඟට සිදුවන්නේ තවත් එකකින් ෆ්‍රිච් වර්ගීකරණය පහළට ඇදවැටීමය. ඒ වූකලී ආර්ථිකයේ බුන්වත් බව (Bankruptcy) හෙවත් නැවත ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයයි.

අද ලෙබනනය ඇද වැටී ඇත්තේ ඒ ඉරණමටය. එවිට සිදුවන්නේ එකී තත්ත්වයට ඇද වැටුණු රටේ කිසිදු ණයවර ලිපියක් කිසිදු පාර්ශ්වයක් විසින් පිළිනොගැනීමයි. සියලු ගනුදෙනු කළ යුත්තේ අත්පිට මුදලට පමණි. අත්පිට මුදලට ගනුදෙනු කිරීමට නොහැකි නම් එකී රට ඉන්ධන, ඖෂධ, ආනයනික ආහාර ආදී බොහෝ අත්‍යවශ්‍ය දේවල්වල අහේනියක් ඇති වීම වැළකිය හැකි නොවේ. එවිට ඇති වන්නේ අප පෙර කී පරිදි පුද්ගල බද්ධව තීරණ ගන්නා තැනට ලාංකේය ජන සමාජය පත්වීමයි. එනම් රට හෝ ජාතිය මුල් කොට ගෙන විෂය බද්ධව තීරණ ගැනීම පසෙක ලා තනි ආත්මාර්ථකාමී පුද්ගල කේන්ද්‍රියව (කන්න දියවු… රට බෙදලා හරි කමක් නෑ… කන බොන ටික දියව්…) තීරණ ගන්නා තත්ත්වයකට පොදු ජන සමාජය පත්වීමයි. නව යථාර්ථය යනු මෙම විෂම වාතාවරණය බිහිකිරීමත් සමග ඇති වන්නකි. එම නව යථාර්ථය විසින් ජන සමාජය මෙහෙයවනු ලබන්නේ ප්‍රශස්ථ තෝරාගැනීම් කරා නොවේ. විෂම තෝරාගැනීම් කරාය. සමාගම් අධිරාජ්‍යවාදයට අවශ්‍ය විෂම තෝරාගැනීම් කරා ජනසමාජයන් රැගෙන යන නව යථාර්ථය උපදවා ගැනීමටය. එය වෙඩි උණ්ඩවලින් තොරව සිදුකරගත හැක්කේ නම් කෙතරම් ලාභදායී වනු ඇත්තේද?

ශ්‍රී ලංකාව දැන් මුහුණ දී සිටින්නේ මේ තියුණු ඉරණමටය. සමාගම් අධිරාජ්‍යවාදය විසින් මෙවැනි විෂම තත්ත්වයකදී ගැලවුම්කරුවාණෝද අප අතරින්ම බිහිකරගනු ලබයි. සාමාන්‍ය තත්ත්වයකදී මිනිසුන් පිළිනොගන්නා මේ ඊනියා ගැලවුම්කරුවා විෂම තත්ත්වයකදී (වෙනස් කරන්න කිසිවක් නැතැයි සිතන තත්ත්වයකදී) මිනිසුන් විසින් පිළිගනු ලබයි. සමාගම් අධිරාජ්‍යවාදය විසින්ම අප වෙත හිමිකරදෙන ගැලවුම්කරුවා සිය අභිප්‍රාය සාර්ථක කර ගතහොත් සියල්ල කෙලවර කරනු ඇත්තේ සමාගම් අධිරාජ්‍යවාදයට අවශ්‍ය සියලු අත්පත් කරගැනීම් සඳහා රාජ්‍යය ගොදුරු කරගනිමින්ය. අප දැන් පසුවන්නේ එම ඉරණමට ගොදුරු වීමට පෙර අවස්ථාව තුළය.

අනිවාර්ය හා අහම්බය

එහෙත් අප සර්ව අශුභවාදී විය යුතු නැත. ඉතිහාසය අනිවාර්ය හා අහම්බය යන දෙකෙහිම බලපෑම මත ඉදිරියට ගලායනු ලබන්නකි. මේ අහම්බය ගැන කාල් මාක්ස් පවසා ඇත්තේ මෙසේය.
“ලෝක ඉතිහාසය තුළ අහම්බයට තැනක් නැති නම් එය ගූඪ ගතියකින් යුක්ත වනු ඇත. මේ අහම්බයමද ස්වභාවයෙන්ම වර්ධනයේ පොදු ප්‍රවණතාවෙහිම කොටසක් වන අතර, වෙනත් ආකාරයේ අහම්බ මගින් එය පිරිමැසේ. එහෙත් වේගවත් වීම හා පසුබැසීම රැඳෙන්නේ මුලදීම ව්‍යාපාරයක පෙරමුණේ සිටින පුද්ගලයන්ගේ අහම්බ ලක්ෂණයද ඇතුළත් එවැනි ආකාස්මික උඩය.”

(Marks – Engels works (russian ed) xxvi, p. 108)

වී. අයි. ලෙනින් පනස් හතර වැනි වියේදී මිය යාම අහම්බයකි. එහෙත් ඔහු කවදා හෝ දිනක මියයාම අනිවාර්යයකි. ලෙනින් පනස් හතර වැනි වියේදී මියයාම නමැති අහම්බය සෝවියට් සමාජවාදයේ දිගුකාලීන පැවැත්ම කෙරේ බලපා ඇත්තේ අහිතකරවය. මෙබඳු උදාහරණ ලෝක ඉතිහාසයෙන් කොතෙක් සොයාගත හැකි වේද? ක්ලියෝපැට්රාගේ නාසයේ හැඩය, බජසෙට්ගේ වාත රුදාව, ඇලෙක්සැන්ඩර් රජු මරණයට පත් කෙරුණු රිලා සපාකෑම, ලෙනින්ගේ මරණය, මේවා ඉතිහාසයේ මාර්ගය වෙනස් කළ අහම්බයන්ය. ඒවා ගසා දමන්නට තැත් කිරීම හෝ මොන යම් විදිහකින් හෝ ඒවායේ බලපෑමක් නොතිබූ බවක් පෙන්වන්නට උත්සාහ කිරීම නිශ්ඵලය.

තේරුම් ගත යුතු වැදගත්ම දේ වනුයේ යුග පිරිහීම වනාහී නව යුගයක ගර්භාෂය වනු ඇති බවය. එනම් පුද්ගල බද්ධව තීරණ ගන්නා සමාජයක් ඊළඟට ගමන් කරනුයේ විෂය බද්ධව තීරණ ගන්නා අවදියකට බවය. දැන් අප සිටින්නේ පුද්ගල බද්ධව හා විෂය බද්ධව මිනිසුන් තීරණ ගන්නා එකක් පසුපස එකක් පැමිණෙන වෙනස් වාතාවරණයන්හි බිහිවීම අභිමුඛවය. යතුර ඇත්තේ ඔබ අතහිය. අගුල විවෘත කළ හැකිය. එහෙත් ඒ සඳහා ඔබ සෑම අතකින්ම සූදානම්ව සිටිය යුතුය.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍යය විමල් වීරවංශ මහතා

( තෙවැනි මග සඟරාවෙන් උපුටා ගන්නා ලදී..)

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More