පුරවැසි කොලම

මාසයකට අධික කාලයක් පැවති නිරෝධායන ඇදිරිනීතිය දැන් අවසන් වී ඇත. ඉන් පසුව නිකුත් වූ මාර්ගෝපදේශ අනුව සංචරණ සීමා සහ මහජන දුරස්ථ භාවය පවත්වාගෙන යාම පිළිබඳ විවිධ පරස්පර මතවාද සාකච්ඡාවට ලක්වන බවක් ද දක්නට ඇත. එසේම කොරෝනා වසංගතයේ පැතිරීමට අදාල දත්ත පිළිබඳව මහජනයා අතර පමණක් නොව වගකිවයුතු දේශපාලන නායකයින් සහ නිලධාරීන් අතර ද බරපතළ වාද විවාද පැන නැගී ඇත. එම තත්ත්වය තුළ නිල වශයෙන් ඉදිරිපත් කරන දත්ත සහ සැබෑ තත්ත්වය අතර බරපතළ වෙනසක් තිබිය හැකි බවට සැකයක් නැත. යම් විද්වතුන්ගේ ගණනය කිරීම් වලට අනුව දිනකට පරීක්ෂණ මගින් තහවුරු වන රෝගීන් ප්‍රමාණය මෙන් අවම වශයෙන් පස් ගුණයක් රෝගීන් සමාජය තුළ සිටිය හැක. එසෙු වුවත් නිරෝධායන ඇදිරිනීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවට එල්ලවන චෝදනා එසේම තිබියදී වාර්තාවන රෝගීන් ප්‍රමාණය සහ මරණ සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමකින් අඩුවූ බව සත්‍යයකි.කෙසේ වෙතත් කිසිවෙකුට නොදන්වා නිවෙස් වල ප්‍රතිකාර ගනිමින් සිටින රෝගීන් ප්‍රමාණය සහ එසේ දන්වා සිටීමෙන් පසුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු නොකළ සහ නිවාස ආශ්‍රිතව ප්‍රතිකාර ගන්නා රෝගීන් ප්‍රමාණය පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් හෝ නිවැරදි තක්සේරුවක් නොමැත. වසංගත රෝග අංශයේ ප්‍රධානියා දත්තවල සුළු වෙනසක් නිසා ධුරයෙන් ඉවත් කළ ද තත්ත්වය වෙනස් වී නැත.

මේ වන විට දිනකට වාර්තා වන රෝගීන් සහ මරණ ප්‍රමාණය පහළ බැස තිබුණද රෝගය සමාජගත වී ඇති බව තේරුම් ගැනීමට වෛද්‍ය විද්‍යා දැනුමක් අවශ්‍ය නැත. එහෙත් යම් නිලධාරීන් මේ මොහොතේ දී පවා පොකුරු පිළිබඳව කතා කරති. එහෙත් පොකුරු කළමනාකරණයේදී සිදුකළ යුතු ආශ්‍රිතයින් හබායෑමක් ප්‍රායෝගිකව දක්නට නැත. කෙසේවෙතත් යම් සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන්ට අනුව දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය විශාල වශයෙන් අඩු කිරීමද එසේ රෝගීන් ප්‍රමාණය අඩු වීම සඳහා හේතු වී ඇත. යම් රෝහල්වල දත්ත අනුව දැනට සිදුකරනු ලබන ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණවලින් 25% – 35% අතර රෝගීන් හදුනාගැනේ. එවැනි තත්ත්වයක් තුළ රෝග පාළනයේ පළමු, දෙවන සහ තෙවන රැලිවලට වඩා පරීක්ෂණ වැඩි කිරීම ඉතා වැදගත් වන අතර වහාම පරීක්ෂණ ප්‍රමාණය උපරිම මට්ටමට වැඩි කළ යුතු බව ඉතා පැහැදිළිය. නමුත් මේ වනවිට රජයේ ආයතන පද්ධතිය මගින් සිදුකල පරීක්ෂණ ප්‍රමාණය 50% කින් අඩු වී ඇති බව ද වාර්තා වේ. එම තත්ත්වය එසේම තිබියදී පුද්ගලික අංශයේ පරීක්ෂණ වලට රජය විසින් ම ඉහළ මිලක් නියම කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි තත්වයකි. පුද්ගලික අංශයේ දී රුපියල් 500කට සිදු කළ හැකි ක්‍ෂණික ප්‍රතිදේහ ජාන පරීක්ෂණයකට රුපියල් 2000ක් අය කිරීමට ඉඩදීම සහ රුපියල් 3000කට සිදු කළ හැකි දේශීය පී.සී.ආර් පරීක්ෂණයක් රුපියල් 6500ක් අය කිරීමට ඉඩ දීම බලවත් වරදකි. කෙසේ වෙතත් එන්නත්කරණය යම් පමණකට සාර්ථකව ඉදිරියට ගමන් කිරීම තුළ රජය තුළ මෙන්ම මහජනයා අතරද යම් සුභවාදී මනෝභාවයක් ඇති වී තිබෙන බව පිළිගැනීමට සිදුවේ.එසේම මෙවර ඉතා අකමැත්තෙන් පනවනු ලැබූ නිරෝධායන ඇදිරිනීතිය අවුරුදු පොකුර පැන නැගුණු අවස්ථාවේදී ඊට වඩා අඩු කාලයකට හෝ පැනවූවා නම් අද තත්වය මීට වඩා සුබදායක වන බවටද මතයක් ඇත.

ඒ අනුව සිදුවූ වැරදි පිළිබඳව නිහතමානීව ආපසු හැරී බැලීමක් සිදුකිරීමෙන් තොරව ඉදිරි තත්වයන්ට මුහුණ දිය හැකිද යන ප්‍රශ්නය මහජනයා අතර සාකච්ඡාවට ලක්වෙමින් ඇත. විශේෂයෙන්ම වෛරසයේ ප්‍රබලත්වය ක්‍රමයෙන් අඩුවී යන තත්වයක් පෙන්නුම් කළද නව ප්‍රභේදයක් මතුවී සීග්‍රයෙන් පැතිරී යන නව රැල්ලක් ඇතිවීමේ අවධානම බැහැර කළ නොහැක. සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා යම් සීමා ලිහිල් කිරීම නිසා මෙම අවධානම වැඩිවන බවද පිළිගත යුතුය. එම නිසා “නව සාමාන්‍ය තත්වය” ලෙස සංකල්පීය ලෙස හදුන්වන තත්වය ප්‍රයෝගික යථාර්ථයක් බවට පත්කිරීම සඳහා වැරදි නිවැරදි කරගැනීම අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් බවට පත්වේ. විවිධ අවස්ථාවල ඉතා විශිෂ්ට ආකාරයට සහ බොහෝ අවස්ථාවල ඉතා දුර්වල සහ අහඹු ආකාරයටත් බලධාරීන් ක්‍රියාකරනු ලබන්නේ සමස්තය නිසි උපායමාර්ගික රාමුවක් තුළ ස්ථානගත නොකිරීම නිසා බව ඉතා පැහැදිලියි. මේ වන විට එසේ උපායමාර්ගික රාමුවක් තුළ අඛණ්ඩව කටයුතු නොකිරීම නිසා මහජනයා අතර පවත්වාගෙන යා යුතු මානසීක බලපෑම ලිහිල් වී තිබෙන බව රහසක් නොවේ. එය ඉතා භායානක තත්වයක් බව පිළිගැනීමට සිදුවේ.

සුපිරි අළෙවිසැල් වසා තිබියදී හදිසියේම මත්පැන්හල් විවෘත කිරීම

ඒ අනුව නව සාමාන්‍ය තත්වය තුළ, එනම් ඇදිරිනීතිය ලිහිල් කිරීමෙන් පසුව නිවැරදි කරගතයුතු දස වැදෑරුම් උපාය උපායමාර්ගික වැරදි මාලාවක් හඳුනාගත හැක. ඒ අතුරින් පළමුවැන්න, පවතින සෞඛ්‍ය සේවා පද්ධතිය මත සමපාත කළ හැකි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත නොකිරීමය. එනම් රෝගය පැතිරීමේ සීඝ්‍රතාවය අනුව අනතුරු හැඟවීමේ මට්ටම් නියම කර එම එක් එක් මට්ටම ප්‍රකාශනයට පත් කිරීම සඳහා වන නිර්ණායක සහ පද්ධතියේ ප්‍රධාන භූමිකාවන් ට අදාළ වගකීම් සහ මහජනයාගේ වගකීම් නිශ්චිතව ප්‍රකාශයට පත් නොකිරීමය. ලෝකයේ ඉතා සාර්ථකව අත්හදා බලා ඇති අනතුරු ඇඟවීම් පද්ධති අතුරින් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක වන නවසීලන්තයේ අනතුරු ඇඟවීම් පද්ධතිය තුළ මට්ටම් හතරක් ඇති අතර වර්තමානයේ අප පසු කරන මට්ටම 4 වෙනි මට්ටම ලෙස හදුනාගත හැක. ඒ අනුව අදාළ මට්ටම ප්‍රකාශයට පත් කිරීම සඳහා වන නිර්ණායක සම්පූර්ණ වූ විට එම මට්ටම ප්‍රකාශයට පත් කළ යුතුය. එවිට එම මට්ටමට අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම, සංචරණ සීමා ඇතුළු නිරෝධායන ක්‍රියාවලියට අදාල මහජන වගකිම් නිශ්චිතව ලිඛිතව ප්‍රකාශයට පත්වේ. ඒ අනුව වරින් වර තත්ත්වයන්ට අනුව මාර්ගෝදේශ වෙනස් කරමින් මහජනයා වික්ෂිප්ත කිරීමට අවශ්‍ය වන්නේ නැත. එසේම විවිධ පාර්ශවවලට අහඹු ලෙස මැදිහත් වීම් සිදු කර මාර්ගෝපදේශ වෙනස් කිරීමට හැකිවන්නේ ද නැත.

එවැනි පද්ධතියක් නිවැරදිව ක්‍රියාත්මක වූවානම් හෝටල් කරුවන් හෝ සංගීත කණ්ඩායම්වල යහපත සඳහා මංගල උත්සවවලට අවසර දීමට හැකි වන්නේ නැත. එසේම සුපිරි අළෙවිසැල් වසා තිබියදී හදිසියේම මත්පැන්හල් විවෘත කිරීම සඳහා නියෝග දීමට හැකිවන්නේ නැත. එවැනි පද්ධතියක් ස්ථාපිත කර තිබුණේ නම් සෞඛ්‍ය පද්ධතියේ සම්පත් සහ පිරිස් බලය සමග ආරක්ෂක හමුදා සතු සම්පත් සහ පිරිස් බලය වඩා කාර්යක්ෂම සහ ප්‍රතිඵලදායක ලෙස යොදා ගැනීමට හැකියාව ලැබේ. එනම් සෞඛ්‍ය අංශවල උපායමාර්ග සහ තාක්ෂණික නායකත්වය යටතේ මෙහෙයුම් සඳහා ආරක්ෂක හමුදා වඩාත් පලදායි ලෙස යොදා ගැනීමේ හැකියාව ලැබේ.

උපායමාර්ගය වැරදි අතුරින් දෙවැන්න බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් රෝග පාලනය සඳහා මහජන සහභාගිත්වය සංවිධානාත්මකව සහ සක්‍රීයවඋපරිම මට්ටමින් ලබා ගැනීමට කටයුතු නොකිරීමය. උදාහරණයක් ලෙස එම වරද නිවැරදි කිරීම සඳහා ග්‍රාම නිලධාරීවරයාගේ නායකත්වය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණය සහ ප්‍රජා පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ලබා ගනිමින් බිම් මට්ටමේ නිලධාරින්ගේ සහ ප්‍රජා නායකයින්ගෙන් සමන්විත මහජන ක්‍රියාකාරි කමිටු සෑම වසමකට අදාලව පිහිටුවීමේ හැකියාව ඇත. එම කමිටු මගින් අනතුරුදායක ප්‍රදේශ, ස්ථාන සහ මහජන හැසිරීම් පාලනය කිරීමට සහ එන්නත්කරණය ඇතුළු රෝග පාලන ක්‍රියාවලියට මෙන්ම නිරෝධායන ක්‍රියාවලියේදී දුෂ්කරතාවයන්ට පත්වන පවුල්වලට සහන ලබාදීමේ වගකීමද ඉටුකරගැනීමට හැකිවේ.එම ක්‍රියාවලියට භූගෝලීයව නායකත්වය ලබාදීම සඳහා නගර සභා ඇතුළු පළාත් පාලන පද්ධතිය සහ මහජන නියෝජිතයන් යොදාගත හැක. එය එක්තරා ආකාරයකට සර්ව පාක්ෂික මැදිහත්වීමක් බවට පත්කිරීම මගින් සෑම පාර්ශ්වයකම තම සමාජ වගකීම ඉටුකරන තත්වයක් නිර්මාණය කළ හැක.

ඉලක්ක සහගත සීමාකිරීම් වෙනුවට පොදු සීමා කිරීම්

තුන්වන වරද රාජ්‍ය සේවය සහ බිම් මට්ටමේ සමාජ ක්‍රියාකාරකයින් අතර ස්වෙච්ඡාවෙන් සේවය කිරීමේ මනෝභාවය ඇති නොකිරීමය. එහි ඉතාම නරක ප්‍රකාශනයක් වන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ අතිකාල දීමනා වැඩි කිරීමය. ඒ මගින් සමස්ත රටේම රාජ්‍ය සේවකයින්ගේ ගේ මනෝභාවය වෙනස් වූ බව රහසක් නොවේ. ගුරුවරුන් මෙන්ම සෙසු සෞඛ්‍ය සේවකයින්ද මේ මොහොතේදී වැටුප් ප්‍රශ්නය මත වීදි බැසීමට පෙළඹවීමක් ඇති වන්නේ මේ දුෂ්කර මොහොතේදී මහජනයා වෙනුවෙන් සෑම රටවැසියෙකුම තමාට කළ හැකි උපරිම මට්ටමෙන් යුතුකම සහ වගකීම ඉටු කළ යුතු බවට ආදර්ශයක් ලබා නොදීම නිසාය. එවැනි යහපත් සමාජ මනෝභාවයක් තුළ පටු දේශපාලන උවමනාවන් සඳහා මහජනයා පෙළඹවීමට කිසිවෙකුට හැකිවන්නේ නැත. හතරවන උපායමාර්ග වරද තීන්දු ගැනීමේ ක්‍රියාවලිය විමධ්‍යගත නොකිරීමය. එනම් දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දේශපාලන නායකත්වය ද ඇතුළත් වන පරිදි වගකිවයුතු නිලධාරීන්ගෙන් සමන්විත තීන්දු ගැනීමේ කමිටුවක් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මෙහෙයුම් කමිටු පිහිටුවීමට කටයුතු නොකිරීමය. එම පරිපාලන පද්ධතිය ඉතා පහසුවෙන් ඉහත සඳහන් කළ ආකාරයට පළාත් පාලන මට්ටමෙන්  බිම් මට්ටමේ ක්‍රියාකාරකම්වලට තාක්ෂණික සහ පරිපාලන නායකත්වය ලබාදීම සඳහා යොදාගත හැක.

පස්වන උපාය මාර්ගික වරද මහජනයා අතර එන්නත පිළිබඳව පමණක් විශ්වාසය සෑදීම මගින් නිරෝධායන සහ රෝග නිවාරණ ක්‍රමවේද මෙන්ම ශරීරයේ ප්‍රතිශක්ති වර්ධනය කෙරෙන දේශීය ඖෂධ, ආහාර සහ වත්පිළිවෙත් අවතක්සේරු කිරීම ය. එන්නත් නිපදවන චීනයේ පවා එන්නත් සඳහා බර තබා ඇත්තේ 20% ක් පමණි. ඔවුන් නිරෝධායන ක්‍රියාමාර්ග සහ දේශීය ඖෂධ භාවිතය සඳහා 80% ක් බරක් තබා ඇත. චීනය රෝග පාලන යසඳහා දේශීය ඖෂධ වර්ග 28 භාවිතා කරයි. දැන් යම් පිරිසක් මධ්‍යගතව නිවාස වලට ඖෂධ මංජුසා බෙදා හැරීමට උත්සාහ කරන්නේ එම වරද නිවැරදි කිරීමට වඩා රාජ්‍ය අරමුදල් යටිමඩි ගැසීමේ උවමනාව නිසා දැයි ප්‍රශ්න කිරීමට සිදුවේ. එවැන්නක් කළ යුත්තේ ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරීන් විසින් සෘජුව මහජනයා සමඟ සම්බන්ධ වීම මගින් මිස “චුන්පාන්“ බෙදන ආකාරයට හෝ එසේ නැතහොත් බොන හෝ නොබොන සැමට බෙදන දේශපාලන සන්තෝසමක් ලෙස නොවේ. ඒ සඳහා රුපියල් මිලියන 6000ක් පමණ මුදලක් වැය කිරීමට සූදානම් වන බවට පළ වන වාර්තා අනුව යම් ජාවාරම්කරුවන් ඒ පිටුපස සිටිය හැක. හයවන උපායමාර්ගික වරද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ආයුර්වේද රෝහල් පද්ධතිය සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම විධිමත්ව භාවිතා කිරීමට යාන්ත්‍රණයක් සකස් නොකිරීමය. ඊට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ටී. වීරරත්න මහතා ප්‍රමුඛ විශේෂඥ කණ්ඩායමක් විසින් යෝජනාවක් භාරදී ඇත්තේ 2020 මාර්තු මාසයේදීය. එහෙත් රෝහල් පද්ධතිය තුළ ධාරිතාව ඉක්මවා යන විට ප්‍රාදේශීය මට්ටමේ දී යම් වෛද්‍යවරුන්ගේ පුද්ගලික මැදිහත්වීම් මත එම ක්‍රියාවලිය ආරම්භ වන තෙක් ඊට අදාලව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සෞඛ්‍ය බලධාරීන් අසමත් විය.

හත්වන උපාය උපායමාර්ගික වරද ආර්ථිකය පිළිබඳ වැරදි උපකල්පන සහ අර්ථකථන මත දැඩි අවදානමක් පැනනගින අවස්ථාවල විශේෂඥ  උපදෙස් නොසලකා සංචාර සීමා ලිහිල් කිරීම ය. ඉහත සඳහන් කළ ආකාරයට අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබුණා නම් විවිධ පාර්ශවවල පුද්ගලිකව වුවමනාවන් සඳහා එවැනිදේ කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. පරීක්ෂණ අඩු කිරීමේ වරද පවා සිදුවන්නේ ඒ ආකාරයට වසංගත පාලන මූලධර්ම නොතකා කටයුතු කරන තත්ත්වයක් තුළය. එහිදී රට වැසීම හෝ ඇඳිරි නීතිය දැමීම වැනි දැඩි සංචරණ සීමා පිළිබඳව පවතින මානසික බාධක නිසා සීමා ඇති සහ සීමා නැති යන අන්ත දෙක අතර ගත හැකි ක්‍රියාමාර්ග එනම් ඉලක්ක සහගත සීමා කිරීම් පිළිබඳව අවධානය යොමු නොකිරීම බරපතල ප්‍රශ්නයකි. ඒ නිසා ඉලක්ක සහගත සීමාකිරීම් වෙනුවට පොදු සීමා කිරීම් හෙවත් රට වසා දැමීම හෝ ඇදිරිනීතිය පැනවීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය. දැන් සීමා කිරීම් ලිහිල් කරන තත්වයක් තුළ පොදු සීමා පැනවීම වෙනුවට ඉලක්ක සහගත සීමා කිරීම් සළකා බැලීමට සිදුවේ.

පර්යේෂණවල සාක්ෂි පිළිබඳව අප රටේ වෛද්‍යවරුන් පවා සැළකිලිමත් නොවීම

ඇඳිරි නීතිය පැනවිය යුත්තේ සියල්ල සිදු වනු ඇතැයි බලා සිටීමට නොවේ. එම කාලය තුළ එක් පැත්තකින් සංචරණ සීමා මගින් රෝගය පැතිරීම පාලනය කිරීමට ඉඩ ලැබේ. නමුත් නිසි අධීක්ෂණයක් නොමැති තත්වයක් යටතේ ඒ මගින් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වේ. අනෙක් පැත්තෙන් ඒ මගින් රෝගීන් සොයා ගැනීම සඳහා පරීක්ෂණ වැඩි කිරීම සහ සක්‍රීයව හඹායාම මගින් රෝගය පැතිරීම පාලනය කරන අතර රෝගීන්ට කඩිනමින් නිසි ප්‍රතිකාර ලබාදීම මගින් මරණ අඩු කිරීමට හැකියාව ලැබේ. ඉලක්ක සහගත සීමාකිරීම් නිසි ලෙස සිදු නොවන විට එනම් “ලොක්අප්“ කිරීම නිසි ලෙස සිදු නොවන විට ලොක්ඩවුන් හෙවත් රට වසා දැමීම වැඩි වශයෙන් කිරීමට සිදුවේ. අටවන උපායමාර්ගික වරද ලෙස හඳුනාගත හැක්කේ පර්යේෂණ අවස්ථාවලින් නිසි ප්‍රයෝජන නොගැනීම සහ ගෝලීය මට්ටමින් යොදා ගන්නා සාක්ෂි සහිත ප්‍රතිකාර සහ රෝග නිවාරණ ක්‍රමවේද යොදා නොගැනීමය. රෝගීන් බහුලව හමුවන වසංගත තත්වයකදී වර්තමානය මෙන්ම අනාගතය සඳහා දැනුම් පද්ධතිය වර්ධනය කිරීමට මහඟු අවස්ථාවක් නිර්මාණය වේ.

නමුත් අවාසනාවකට අප රටේ එන්නත් ලබාදුන් රෝගීන්ගේ සහ රෝගයට ගොදුරුවූ මහජනයාගේ ප්‍රතිදේහ වර්ධනය වීමේ ආකාරය සහ තත්වය දැන ගැනීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස හෝ ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකරන්නේ නැත. එවැනි ක්‍ෂ්ණික පරීක්ෂණයක් සඳහා වැය වන්නේ රුපියල් 400ක් වැනි සුළු මුදලකි. එසේම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදවල ප්‍රතිඵල දායකත්වය පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මහඟු අවස්ථාවක් ලැබී ඇතත් ඉතා අඩු වියදමකින් සිදු කළ හැකි එවැනි පර්යේෂණ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වී නැත. එවැනි තත්ත්වයක් තිබියදී පිළිගත හැකි සාක්ෂි නොමැතිව තුන් වන මාත්‍රාවක අවශ්‍යතාවය පිළිබඳව කතා කිරීම යනු ඉතා හාස්‍යජනක තත්වයකි. ඊට අමතරව අසල්වැසි ඉන්දියාවේ “අයිවර්මෙක්ටීන්“ නැමති පරපෝෂිත නාශක ඖෂධය භාවිතා කිරීම මගින් රෝග නිවාරණය සහ ප්‍රතිකාරවලදී සංඛ්‍යානමය වශයෙන් විශේෂිතව දැක්විය හැකි ප්‍රතිඵල ලබාගෙන ඇත. නමුත් අප රටේ සෞඛ්‍ය බලධාරීන් එම දැනුම පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරනවා පමණක් නොව යොදාගත යුතු ප්‍රතිකාර පන්තිය පිළිබඳව විශේෂඥයින් අතර සම්මුතියක් ඇතිකරගැනීමට පවා කටයුතු කර නැත. ඊට අමතරව පශ්චාත් කොවිඩ් රුධිර කැටැගැසීම් සහ ආසාත්මිකතාවයන් සායනිකව කළමණාකරනය කිරීම බටහිර රටවල් පමණක් නොව ඉන්දියාව පවා සිදුකළ පර්යේෂණවල සාක්ෂි පිළිබඳව අප රටේ වෛද්‍යවරුන් පවා සැළකිලිමත් නොමැති බව පෙනේ.

නමවන උපායමාර්ගික වරද ගෘහආශ්‍රිත ප්‍රතිකාර යාන්ත්‍රණය මධ්‍යගත පණිවිඩ මධ්‍යස්ථානයක් මගින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමය. නමුත් ඒ ආකාරයට මධ්‍යගත ක්‍රමවේදයක් මහජනයාට පිළිගත් හැකි ආකාරයට සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම ගැටලු සහගත බව මේ වන විටත් අවබෝධ වී තිබිය යුතුය. රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ධාරිතාව ඉක්මවා යන තත්ත්වයක් තුළ සහ මරණ ප්‍රතිශතය වැඩි වන තත්ත්වයක් තුළ ගෘහාශ්‍රිත ප්‍රතිකාර ක්‍රියාවලිය කාර්යක්ෂමව සහ ප්‍රතිඵලදායක ලෙස පවත්වාගෙන යාම මූලික උපායමාර්ගික අවශ්‍යතාවයකි. ඒ නිසා ගෘහාශ්‍රිත ප්‍රතිකාර සඳහා වඩා සුදුසුම ක්‍රමවේදය වන්නේ මූලික රෝහල් පද්ධතිය ආශ්‍රිත පණිවිඩ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ රෝගීන් සෘජුව වෛද්‍යවරුන්ට අනුයුක්ත කිරීමයි. එවිට රෝගියා සුවපත් වන තෙක් එක් වෛද්‍යවරයකු රෝගියා පිළිබඳව දුරකථනය මගින් සම්බන්ධ වීමට හැකියාව ලැබේ. ඒ සඳහා මූලික රෝහල් සහ දිසා රෝහල්වල වෛද්‍යවරුන් තාවකාලිකව නැවත ස්ථානගත කිරීම සහ ප්‍රදේශයේ විශ්‍රාමික වෛද්‍යවරුන් ස්ච්චාවෙන් නිවසේ සිට සේවය ලබාදීම සඳහා කැඳවීම අවශ්‍ය විය හැක. ඒ අතර එම රෝගීන් සඳහා දිස්ත්‍රික් රෝහල් සහ මූලික රෝහල් ආශ්‍රිතව ඇදන් ප්‍රමාණයක් වෙන්කළ යුතු අතර අවශ්‍යතාවය අනුව ආයුර්වේද රෝහල් යොදාගනිමින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමද කළ හැක. ඒ අතර ඒ සදහා ගිලන් රථ ප්‍රමාණයක් වෙන්කර තැබීම සහ අවශ්‍යවුවහොත් නිවාස වෙත යවා රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැන බැලීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යෙදවීමද අවශ්‍ය විය හැක.

පසුවිපරම් සහ ස්වයං විවේචන සංස්කෘතිය

දසවන උපායමාර්ගික වරද සමස්ත ක්‍රියාවලිය තුළ සිදු වූ වැරැදි සහ අඩු පාඩු පිළිබඳ සාකච්ඡාවකින් හෝ ස්වයංවිවේචනයකින් තොරව ඉදිරියට යාමට උත්සාහ කිරීමය. රෝගිය පැතිරීම ආරම්භ වූ මුල් කාලයේදී විශාල බලයක් සහ සම්පත් ප්‍රමාණයක් යොදවා රෝග පාලන කටයුතු සාර්ථකව සිදු කළ ද එම යුගයේදී පවා යම් වැරදි සිදුවිය. උදාහරණයක් ලෙස වෛද්‍ය අංශ විසින් ආරක්ෂක හමුදාවලට නිසි උපදෙස් ලබා නොදීම නිසා වැලිසර නාවික හමුදා පොකුර ඇතිවිය. ආරක්ෂක හමුදා සතු මහා බලය යොදා තත්ත්වය පාලනය කළ ද වැරැද්ද පිළිබඳව පසු විපරම් සිදු නොවූ නිසා ගම්පහ බ්‍රැන්ඩෙක්ස් පොකුර ඇතිවිය. එහිදී ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට සහ ආයතනයේ බලධාරීන්ට ඉතා නොසැලකිලිමත් ආකාරයට සහ කිසිදු වගවකීමකින් තොරව කටයුතු කිරීමට ධෛර්යය ලැබෙන්නේ එසේ පසුවිපරම් සහ ස්වයං විවේචන සංස්කෘතියක් ඇති නොකිරීම නිසාය. ඉන්පසු අවුරුදු පොකුර සහ ඊටත් පසුව හජ්ජි පොකුර වශයෙන් වරින්වර වසංගත තත්ත්වය වර්ධනය වීමට හේතු සාධක විශේෂයෙන්ම පුද්ගල සාධක හඳුනා ගත හැක. ඒවා නිවැරදි කළ හැක්කේ නිහතමානීව ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බැලීම මගිනි.

අවසාන වශයෙන් කිව යුත්තේ නැවත වටයකින් හතර වන හෝ පස්වන රැල්ලක් ද ඇතිවිය හැකි බවය. රුසියානු ජනාධිපති වැල්ද්මීර් පුටින් මහතාගේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු වන ලියෝනිඩ් රොෂාල්ඩ් ට අනුව වර්තමානයේ පවතින තත්වය ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් සේ සළකා කටයුතු කිරීම වඩාත් ප්‍රඥාගෝචර වේ. ඔහුට අනුව නව ප්‍රභේද සහ නව රැලි වරින් වර පැනනැගීමේ හැකියාව ඇත. ඒ නිසා දීර්ඝකාලීනව එම තත්වයට මුහුණ දීම සඳහා නිසි උපායමාර්ගික ප්‍රවේශයක් මත පදනම්ව පද්ධතියක් ලෙස ක්‍රියාත්මකවීම ඉතා වැදගත් වේ.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More