ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා හර්දයාංගම මතක් කිරීම් සහිත ලිපියක් යොමු කරමින් සාහිත්‍ය සූරිය ආචාර ගුණදාස අමරසේකර මහතා විසින් ප්‍රබල වරදක් නිවැරදි කළ යුතු බව පෙන්වා දී ඇත.
නව ව්‍යවස්ථාවක් පිළිබඳව ජනාධිපතිතුමා විසින් ම ජනිත කළ අපේක්ෂාව ඉටු කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යෝජනා කිරීම බලවත් වරදක් බව ඔහු පෙන්වා දී ඇත.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනපතිතුමන්ට යැවූ සම්පූර්ණ ලිපිය පහත පරිදි වේ.
අතිගරු ජනාධිපතිතුමනි,
නව ව්‍යවස්ථාවක් පිළිබඳ ජනතා අපේක්ෂාව ඉටු කිරීමට පෙර
පළාත් සභා මැතිවරණ පැවැත්වීමට යෝජනා කිරීමේ වරද පෙන්වාදීම
ජාතික බලවේග විසින් රට වෙනස් කරන නව ව්‍යවස්ථාවක් පිළිබඳ ජනතා අපේක්ෂාව ජනිත කරනු ලැබුවේ ඔබතුමා බලයට පත්කිරීම සඳහා දියත් කළ මෙහෙයුමේ මූලික උපාය මාර්ගික ප්‍රවේශයක් අනුව බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. ඉන්පසුව සාධාරණ, යුක්ති සහගත, ආරක්ෂිත සහ සෞභාග්‍යමත් රටක් සහ රාජ්‍ය පාලනයක් පිළිබඳව ඔබතුමා විසින් රුවන්වැලි මහ සෑය අභියසදී ජනතාවට ලබාදුන් පොරොන්දුව මගින් අප විසින් ජනිත කළ අපෙක්ෂාව මහා අලෝකයක් බවට දල්වනු ලැබීය. එම ආලෝක ධාරාවෙන් උද්දාමයට පත්වූ අප රටේ තරුණ තරුණියන් රට පුරා මඟ දෙපස බිතු සිතුවම් නිර්මාණය කළ ආකාරය, පුරන් කුඹුරු අස්වැද්දූ ආකාරය, වන වගා ව්‍යාපෘති දියත් කළ ආකාරය ඔබතුමාට මතකයට නඟා ගත හැක.
එහෙත් පසුගිය ආණ්ඩුව විසින් සම්මත කිරීමට උත්සාහ කළ රට පාවා දෙන නව ව්‍යවස්ථාව මෙන්ම ඊට විකල්ප ලෙස පසුගිය අෘණ්ඩුව ගෙන එනු ලැබූ 20 වැනි සංශෝධනය පරාජය කිරීම සඳහා ජාතික බලවේග විසින් කරනු ලැබූ කැප කිරීම් ඔබතුමා නොදන්නවා විය හැක. අවසාන වශයෙන් එම අෘණ්ඩුව පරාජයවීමට එම පාවාදීමේ ක්‍රියාවලිය මූලික වූ බව ඔබතුමා පිළිගන්නවා ඇත. එම තත්වය තේරුම් ගනිමින් සෞභාග්‍යයේ දැක්ම මගින් රට දිනවන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඔබතුමාගේ මූලික දස වැදැරූම් ප්‍රතිපත්තිමය රාමුවට ඇතුල් කිරීම අපි ඉතා ඉහළින් අඟය කළෙමු.
මහජනයාගේ අවධාරණය පිණිස ඔබතුමාගේ වචන පුනරුච්චාරණය කිරීමට අපි කැමැත්තෙමු. “දේශපාලන පක්‍ෂවල සහ ඒවායේ නායකයින්ගේ උවමනා එපාකම් සහ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුකර තිබෙන ව්‍යාකූලතාවය පිටු දකිමින් ජනතාවගේ පරමාධිපත්‍යය ප්‍රමුඛත්වයේ තබා ක්‍රියාත්මක කරන නව ව්‍යවස්ථාවක් අපි නොපමාව ඉදිරිපත් කරමු”
ඒ අනුව ඔබතුමා විසින් පත්කළ ව්‍යවස්ථා සම්පාදක කමිටුව මේ වන විට නව ව්‍යවස්ථාවේ කෙටුම්පත සකස් කර අවසන් බව සහ එය නිතිපතිවරයාට යොමුකළ බව ගරු ජී.එල්. පීරිස් අමාත්‍යවරයා විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කරන්නට යෙදුනි. කෙසේ වෙතත් අපගේ මතය අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත නීතිපතිවරයාට යොමුකළ යුත්තේ එහි මූලික සංකල්පීය සහ උපායමාර්ගික රාමුව මහජනයා අතර සංවාදයට ලක්කිරිමෙන් පසුව බව අපි විශ්වාස කරමු. නීතිපතිවරයාගේ වගකීම වන්නේ එම නව ව්‍යවස්ථාව පවතින ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරිපත් කරනු ලබන බව සහතික කිරීම පමණි. දේශපාලන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව මහජනයා සහ මහජන
නියෝජිතයන් අතර සංවාදයක් ඇතිකරීම වැදගත්වේ. බෙදුම්වාදී, ජාතිවාදී සහ ආගම්වාදී බලවේග ඊට විරුද්ධ විය හැකි වුවත් ඔවුන් රටේ බහුතරය නොවේ. ඒ නිසා නව ව්‍යවස්ථාව පිළිබඳව විවෘතව අදහස් දැක්වීමට ඔබතුමා නිර්භිත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
එසේම මැතිවරණ නීති සහ මැතිවරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ ලබාගැනීම පිණිස 2021.04.05 දින පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලැබූ තේරීම් කාරක සභාව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එම කාරක සභාවේ සභාපති ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් මේ දිනවල දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීම සඳහා ආරාධනා කරන බවද දැනගන්නට ඇත. එවැනි තත්වයක් තුළ එක් පැත්තකින් මැතිවරණ පැවැත්වීමට අදාල නිර්දේශ ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුල් කිරීමට පෙර එය නීතිපතිවරයාගේ මතය විමසීම සඳහා ඉදිරිපත් කිරීම වරදක් බව පෙනේ. ඊට අමතරව ඒ සියල්ලට ප්‍රථම පළාත්සභා මැතිවරණ පැවැත්විය යුතු බවට විවිධ විදේශිය සහ දේශිය බලවේග විසින් ප්‍රකාශ නිකුත් කිරීම මගින් ඔබතුමාට බලපෑම් කිරීම අපගේ විමතියට හේතු වී ඇත. එසේම ඒ මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ ඔබතුමාගේ අපේක්ෂාව සහ පොරොන්දුව පමණක් නොව ඔබතුමාගේ ජනවරමද අභියෝගයට ලක්වන බැවින් ඒ සියළු උත්සාහයන් අපි නිර්ධය ලෙස හෙළා දකිමු. ඊට හේතුව පවතින පළාත් රාජ්‍ය පාලන ව්‍යුහයන් යටතේ සහ පවතින මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටෙන අතර ඔබතුමා විසින් සද්භාවයෙන් යුතුව ආරම්භකළ නව ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය අනතුරට ලක්වීමය.
ඒ නිසා නව ව්‍යවස්ථාවක ප්‍රතිපාදන යටතේ පිහිටුවනු ලබන නව පළාත් හෝ දිස්ත්‍රික් පාලන ව්‍යුහයන්ට අනුව සහ නව මැතිවරණ ක්‍රමය යටතේ පමණක් කුමන හෝ ඉදිරි මැතිවරණ පවත්වන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. එසේම පළාත් සභා මැතිවරණය කල්දමනු ලැබුවේ පසුගිය රජය විසිනි. නමුත් ඒ පිළිබඳව උතුරේ හෝ දකුණේ ජනතාව විසින් කිසිදු විරෝධයක් දක්වා නැත. එවැනි තත්වයක් යටතේ ඔබගේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සඳහා ඉතිහාසය විසින් උදා කළ මනරම් දේශපාලන අවකාශය මඟහැරීම පිළිබඳව ඔබතුමා දේශපාලන අපවාදයකට ලක්වීම සාධාරණ නොවන බවද පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ නිසා ඔබතුමන් මෑතකදී ඉතා නිවැරදිව සඳහන් කළ පරිදි ජනතා විශ්වාසය නැවත දිනා ගැනීම සඳහා දැනට සිදුවෙමින් පවතින වැරද නිවැරදි කළ යුතු බවට නව ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ක්‍රියානොකරන බවට ස්ථිරසාර ප්‍රතිඥාවක් මහජනයාට ලබාදෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
මේ වගට
ආචාර්ය ගුණදාස අමරසේකර
කැදවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2021-10-20
0717 258 665

පිටපත්:-
1. සියලු දේශපාලන පක්‍ෂ
2. සියලු ජනමාධ්‍ය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...