පුරවැසි කොලම

(නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ 137 වැනි ජන්ම දිනය වෙනුවෙනි)

නිදහස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ පිළිබඳවත් එය හඳුන්වාදීමට පුරෝගාමී වූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන් පිළිබඳවත් අන් කවරදාටත් වඩා මේ දිනවල කතාබහට ලක්වෙයි. කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් අධ්‍යාපනය ඇණහිට ඇති ලාංකීය ශිෂ්‍ය ප‍්‍රජාව මුහුණදෙන ගැටලූ පිළිබඳ සාකච්ඡා කරන බොහෝ පිරිස් නිතර මුමුණන්නේ කන්නන්ගර අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳවයි. වැටුප් අරගලයේ නිරත ගුරු විදුහල්පති ප‍්‍රජාව සිය සටන් පාඨයක් ලෙස කන්නන්ගර අධ්‍යාන සංකල්ප පිළිබඳ කතාබහ කරති. එය විසඳීමට වගකීම් දරන රාජ්‍ය තන්ත‍්‍රය මෙහෙයවන ඇත්තෝ ද කන්නන්ගර අධ්‍යාපන ක‍්‍රමයේ ඵලදායී යෝජනා හා ඒවා ක‍්‍රියාත්මක නොවීම පිළිබඳ සාකච්ඡා කරති. විශ්වවිද්‍යාල පෞද්ගලීකරණයට එරෙහිව හඬනගන සරසවි සිසුහු සිය උද්ඝෝෂණවලදී කන්නන්ගර චින්තනයෙන් ඔපගැන්වුණු ලාංකීය නිදහස් අධ්‍යාපනයේ හෙට දවස පිළිබඳ හඬ නගති. මෙනයින් බැලූ කළ ලාංකීය අධ්‍යාපන ක්ෂේත‍්‍රය පිළිබඳ සාකච්ඡා කරන සෑම පුද්ගලයකුම පාහේ කන්නන්ගර මහතාගේ යුග මෙහෙවරත් නිදහස් අධ්‍යාපන ක‍්‍රමයේ සාධනීය පියවර පිළිබඳවත් සාකච්ඡා කරති. එහෙත් ප‍්‍රායෝගික අධ්‍යාපන ක‍්‍රමයේ කන්නන්ගර සංකල්ප ක‍්‍රියාත්මක වනවාද යන්න ගැටලූවකි. එබැවින් අන් සෑම කලකටත් වඩා කන්නන්ගර අධ්‍යාපන සංකල්ප හා නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්ති පිළිබඳ ගැඹුරින් සාකච්ඡාවට ලක්විය යුතු යුගයක් අද නිර්මාණය වී තිබේ. මේ ලිපියෙන් උත්සාහ දරන්නේ එකී නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හඳුන්වාදුන් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ අත්‍යුදාර සේවය පිළිබඳව ආවර්ජනයක යෙදීමටයි.

1884 ඔක්තෝම්බර් මස 13 වැනිදා මතුගමට නුදුරු ලූල්බද්දුව නම් සුන්දර ගම් පියසේ උපන් ජෝන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර හා හික්කඩුව වීබදු වලව්වේ එමලි විජේසිංහ යුවළට දාව මෙළොව එළිය දුටු ක‍්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර මහතා මෙරට අධ්‍යාපන ක‍්‍රමයේ විප්ලවීය වෙනසක් ඇති කළ බව ලාංකීය ප‍්‍රජාවට අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවේ.

1931 රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ අධ්‍යාපනය පිළිබඳ විධායක කාරක සභාවේ සභාපති පදවියට පත් එතුමන් සිය නිදහස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීම සඳහා වසර පහළොවකට ආසන්න කාලයක් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් නොසැලී කටයුතු කළේය.

1945 වසරේ සම්මත කර ගත් නිදහස් අධ්‍යාපන ක‍්‍රමයෙන් තමන් බලාපොරොත්තු වූයේ කුමක් දැයි ජීවිතයේ සැඳෑ සමයේ ලංකා ගුවන් විදුලියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කන්නන්ගර මහතා අදහස් පල කළේය.

”නිදහස් අධ්‍යාපනය ගැන යමක් කියනවා නම්, මෙය මම රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කළේ බොහෝ දෙනකුගේ විරුද්ධතාවයන් මධ්‍යයේයි. සමහරු තර්ක කළා නිදහස් අධ්‍යාපන ක‍්‍රමය අපේ රටට ඔරොත්තු දෙන්නෙ නෑ කියලා. තවත් සමහරු අවඥාවට ලක් කරලා කිව්වා කන්නන්ගර මහත්තයා අපට ගහක ගෙඩියක් කඩා ගන්නවත් කොල්ලෙක් නැතිකරන වැඩක් මේක කියලා. මම නිදහස් අධ්‍යාපන ක‍්‍රමය ඉදිරිපත් කළේ දුප්පත් පෙහොසත් භේදයක් නොසලකා සෑම දෙනාගේම දස්කම්වලට අධ්‍යාපනයෙන් සමානතාවක් ලබා දෙන්නටයි. ඒ කාලේ උසස් අධ්‍යාපනය සකස් වෙලා තිබුණේ ධනවත් අයටත් ආණ්ඩුවේ බලගතු අයගේ වැඩපිළිවෙල සාර්ථක කර ගන්නටත් නිලධාරි පුහුණු කරන්නටත් පමණයි. සිංහලට පළමු තැන ලැබුණේ මාගේ නිදහස් අධ්‍යාපන ක‍්‍රමය නිසයි. ක‍්‍රීඩා ගාස්තුව හැර වෙනත් කිසිම ගාස්තුවක් අය නොකළ යුතුයි යන නීතිය මම පාසල්වලට පැනෙව්වා. ඒවාට අමතරව සිංහලට මුල් තැනක් දීමත් පහළ බාලාංශයේ සිට ඉහළ පන්තිවලට ඉගැන්වීමේ මාධ්‍ය ඔවුන්ගේ මව්බසින් සිදු කිරීමටත් තුන්වැනි පන්තියේ සිට ඉංග‍්‍රීසි භාෂාව අනිවාර්ය දෙවැනි භාෂාවක් ලෙස ඉගැනීමත් කළ යුතුයි කියලා නීති හැඳුවා. සිංහල භාෂාවටත් මම මුල් තැනක් දුන්නාය කියලා කිව්වේ ඒ නිසයි. නිදහස් අධ්‍යාපන ක‍්‍රමයෙන් රටේ දුප්පත් අයටත් මධ්‍යම පාන්තිකයන්ටත් හොඳ ප‍්‍රතිඵලයක් අත්වුනාය කියලා මම දන්නවා.”

(සමරසිංහ, පාලිත; අමතක නොවන මතක සටහන්: 38 පිටුව)

කන්නන්ගර මහතාගේ දැක්ම හා නිදහස් අධ්‍යාපන ක‍්‍රමය හඳුන්වා දීමෙන් අපේක්ෂා කළ අරමුණු ඉහත සටහනෙන් මනාව පැහැදිලි වෙයි.

අධ්‍යාපනය පිළිබඳ (විශේෂ කාරක සභාවේ) විධායක සභාව විසින් 1943 දී නිකුත් කරන ලද XXIV සැසි වාර්තාව 1945 සිට ක‍්‍රියාත්මක වීමත් සමග මෙරටට නිදහස් අධ්‍යාපනය හිමි විය.

එහි නිදහස් අධ්‍යාපනය යන්න හඳුන්වා ඇත්තේ මෙසේය.

”බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය තෙක්ම (එය ද ඇතුළත් වන සේ) අධ්‍යාපනයේ වියදම රජයේ අරමුදල්වලින් සහ නොහොත් පළාත් පාලන මණ්ඩලවල අරමුදල්වලින් දැරිය යුතු යැයි අපි අදහස් කරමු.”

(අ) පෝෂිත වූ ප‍්‍රාථමික හා කාරක පාඨශාලා සම්බන්ධයෙන් යෝග්‍ය ගුරු මණ්ඩලයක මුළු වැටුප් ද, ශිෂ්‍යයන්ට පොත් හා ලිවීමේ උපකරණ ආදිය සඳහා යන වියදම ද පාඨශාලා උපකරණ සඳහා ආධාර මුදලක් ද,

(ආ) පෝෂිත වූ ද්විතීයික සහ ජ්‍යෙෂ්ඨ පාඨශාලා සම්බන්ධයෙන් යෝග්‍ය ගුරු මණ්ඩලයක මුළු වැටුප් ද, ශිෂ්‍යයන්ට ලිවීමේ උපකරණ ආදිය සඳහා යන වියදම ද, උපකරණ ගාස්තුවෙන් අය නොකරතොත් උපකරණ සඳහා ආධාර මුදලක් ද,

(ඉ) පෝෂිත අභ්‍යාස විද්‍යාලයක් සම්බන්ධයෙන් යෝග්‍ය ගුරු මණ්ඩලයක මුළු වැටුප් ද උපකරණ සඳහා ආධාර මුදලක් ද,

(ඊ) විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් එහි පිවිසෙන සියලූ දෙනාටම නිදහස් අධ්‍යාපනයක් දීමට ආධාර මුදලක් ද යනුය.

මේ හැර නිදහස් අධ්‍යාපනය තුළ රජය දරන අධ්‍යාපන වියදමට සුදුසු තැන්වලදී දුප්පත් ශිෂ්‍යයන්ට ඉඳුම් හිටුම් හා කෑමබීම සැපයීමේ වියදම ද ඇතුළත් විය යුතුය. සැලකිය යුත්තක් ඇත.

(i) ඉහත සඳහන් කුමන ආකාරයේ අධ්‍යාපනයක් සම්බන්ධයෙන් වුව ද කුමන ඉගැන්වීම් ගාස්තුවක්වත් අය නොකළ යුතුය.

(ii) උපකරණයන් පිළිබඳ වියදම දැරීම සඳහා උපකරණ ගාස්තුවක් අය කිරීමට ද්විතීයික හා ජ්‍යෙෂ්ඨ පාඨශාලාවලට බලය දෙනු ලැබේ.

ඉහත නිර්දේශය අනුව නිදහස් අධ්‍යාපනය ලෙස සම්මත කර ඇත්තේ ගුරු මණ්ඩලවල වැටුප් ද ශිෂ්‍යයන්ගේ ලිවීමේ උපකරණ සඳහා වියදම ද වේ. මේ අනුව මවුපියන්ගෙන් මුදලක් අය නොකර රජය ඉගැන්වීමේ ගාස්තු දැරිය යුතු වේ. ගුරු වැටුප් ද නිදහස් අධ්‍යාපනය යන්නෙන් අරුත් ගැන්වී තිබේ.

මේ හැර විශේෂ කමිටු වාර්තාව අනුව විශ්වවිද්‍යාලයට පිවිසෙන සියලූ දෙනාටම නිදහස් අධ්‍යාපනයක් දීම හෙවත් එම වියදම ද රජය දැරිය යුතු ය යනුවෙන් සඳහන් කර තිබේ.

නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට අදාළ තවත් බොහෝ කරුණු අන්තර්ගත වුවත් ඉහත සඳහන් කරුණු ස්වල්පය උපුටා දක්වනු ලැබුවේ එහි තිබූ ඵලදායි බව පසක් කිරීමටය. පාසලට පැමිණෙන සිසුවාට අවශ්‍ය සියලූ පහසුකම් කන්නන්ගර අධ්‍යාපන ක‍්‍රමය මගින් සැපයීම සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කර ඇති බවත් එමගින් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා සඳහා පැවති බාධා ඉවත් කිරීමට කන්නන්ගරතුමන් තුළ තිබූ දූරදර්ශී ඥානයත් මේ තුළින් මනාව පැහැදිලි වෙයි.

කන්නන්ගර මහතා විසින් මධ්‍ය විද්‍යාල සංකල්පය හරහා සෑම ප‍්‍රදේශයකට සියලූ පහසුකම්වලින් සමන් විත මධ්‍ය විද්‍යාලයක් හඳුන්වාදුන් අතර එවැනි මධ්‍ය විද්‍යාල 54 ක් තම ධුර කාලය තුළ ආරම්භ කිරීමට ද හෙතෙම ක‍්‍රියා කළේය.
නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හඳුන්වා දී මේ වනවිට දශක හතකට අධික කාලයක් ගතවී තිබේ. එම කාලය තුළ රටේ ඇති වූ ආර්ථික හා සමාජ වෙනස්කම් සමඟ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියෙන් ඵල ලබා ගැනීමට තිබූ අවකාශය ලාංකීය දූ දරුවන්ට සීමා වෙමින් තිබේ. විශේෂයෙන් ජනගහන වර්ධනයට සමානුපාතිකව රැකියා අවස්ථා වර්ධනය වී නැති හෙයින් තරගය උග‍්‍ර වී ඇත. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන ක‍්‍රමය හඳුන්වාදෙමින් උත්සාහ කළේ සමාජයේ දුප්පත් පෙහොසත් භේදයකින් තොරව සම අධ්‍යාපන අවස්ථා ඇති කිරීමයි. නමුත් එය එලෙස සිදුවී ඇති බවක් නොපෙනෙයි. ඇති හැකි දෙමාපියෝ හය වසරේ සිටම දරුවන් උපකාරක පන්තිවලට යවති. උපකාරක ගුරුවරුන් නිවෙස්වලට ගෙන්වා ගනිති. එහෙත් ආර්ථික දුෂ්කරතාවලින් පෙළන ලක්‍ෂ සංඛ්‍යාත පවුල්වල දූ දරුවන්ට එම පහසුකම් නොලැබීම හේතුවෙන් පසුගිය දශක හතරක පමණ කාලය තුළ අධ්‍යාපනයේ ඇති නැති පරතරය දැඩිව වර්ධනය වී ඇති බව පෙනී යයි.

අධ්‍යාපනයේ මුල් පුටු හොබවන ඇත්තෝ ද ඔවුන්ට උපදෙස් දෙන පිරිසද ඒ පිළිබඳ වගේ වගක් නොමැතිව සිටීම හේතුවෙන් ළමුන් අතර අනවශ්‍ය තරගකාරීත්වයක් ගොඩනැගී ඇති බව නොරහසකි. කන්නන්ගර මැතිතුමා අපේක්ෂා කළ අධ්‍යාපනයේ නිදහස මේ වනවිට ක‍්‍රමයෙන් දියවී යමින් පවතී. එබැවින් වත්මන් සමාජයේ වගකීම විය යුත්තේ එකී නිදහස් අධ්‍යාපනයේ හරයන් ආරක්ෂා කරමින් දරුවන්ගේ කුසලතා මත පදනම් වූ අධ්‍යාපන ක‍්‍රමයක් තුළින් රටට ගැළපෙන සුහුරු මිනිසෙකු ගොඩනැගීමය.

”අනාගතයේදී ඇති වන කොයි විදියේ ප‍්‍රසිද්ධ අධ්‍යාපනයක් වුවද සම්පූර්ණයෙන් නිදහස් වූද මහජනයාගේ පාලනයට යටත් වූද එනම් රජයේ පාලනය යටතේ සහ හෝ පළාත් ආණ්ඩුව යටතේ පාලනය වන්නා වූ එකක් විය යුතු යැයි මාගේ අදහසයි” යනුවෙන් කන්නන්ගර මහතා ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ කාරක සභා වාර්තාවේ පසු සටහනක් තබමින් පවසයි. ඉන් කන්නන්ගර දැක්ම මනාව පසක් වෙයි. මන්ද එතුමන් කිසි දිනක මෙරට අධ්‍යාපන ක‍්‍රියාවලියට පෞද්ගලික මැදිහත්වීමක් අපේක්ෂා නොකළ බැවිනි. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රඳා පවතින්නේ රාජ්‍ය මැදිහත්වීම තුළින් පමණක් බව කන්නන්ගරතුමන් තදින් විශ්වාස කළේය. එම විශ්වාසය කෙතරම් දුරට සාර්ථක දැයි මේ වනවිට අධ්‍යාපන ක්ෂේත‍්‍රය වසා පැතිරෙන පෞද්ගලික උපකාර පන්ති වැනි විලෝපනයන් හේතුවෙන් පැහැදිලි වෙයි.

කන්නන්ගර මැතිතුමා ගුරුවරුන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප‍්‍රතිපත්තියද සඳහන් කළ යුතු වේ. කන්නන්ගරතුමන් තම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවල අවසන් පියවර ලෙස සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කළේ නිපුණතාවයෙන් සන්නද්ධ ගුරු ප‍්‍රජාවකි. ඒ අනුව උපාධිධාරී ගුරුවරුන් විශ්වවිද්‍යාලවලදී හා සාමාන්‍ය ගුරුවරුන් ගුරු විද්‍යාලවලදී පුහුණු කර සේවයේ යෙදවීමට එතුමන් යෝජනා කළේය. ගුරුවරුන්ගේ ආචාර ධර්ම පිළිබඳවද කන්නන්ගර මහතා ප‍්‍රමුඛ අවධානයක් යොමු කළේය. එහෙත් දශක හතක් ඇවෑමෙන් කන්නන්ගරයන් දුටු මේ සුබ සිහිනය සැබෑ වීදැයි අප විමසා බැලිය යුතු නොවේද? ගුරු වැටුප් සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හඳුන්වා දෙමින් කන්නන්ගර මහතා කරුණු ඉදිරිපත් කර තිබේ.

කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියෙන් අපේක්ෂා කළේ නිපුණතාවයෙන් යුත් සිසු පරපුරකි. පොතට සීමා වූ සිසු පරපුරක් බිහිවනු දැකීම එතුමන්ගේ අපේක්ෂාව නොවීය. හන්දෙස්ස අධ්‍යාපන සැලැස්ම ඊට කදිම උදාහරණයකි. මේ තුළින් කන්නන්ගරයන් උත්සාහ කළේ විෂය අන්තර්ගත විෂය මාලාව ඉවත් කර ජනතාවගේ ජීවිත හා ජීවනෝපායන් සමග පාසල් කටයුතු බද්ධ කරමින් කෘෂිකර්මාන්තය හා විවිධ ශිල්ප ඉගෙනීමට දරුවන් පෙළඹවීමයි. රැකියා ලෝකය ඉල්ලක්ක කර ගනිමින් හඳුන්වා දුන් මෙම අධ්‍යාපන සැලැස්ම පසු කාලීනව විවිධ තීන්දු තීරණ හේතුවෙන් අත්හැර දැමුණු අතර ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන සමයේ මීට සමාන වූ යම් ක‍්‍රමවේදයක් තාක්ෂණ විෂයධාරා සංකල්පය යටතේ උසස් පෙළ විභාගයට හඳුන්වා දුන්නද එහි සාර්ථකත්වය හා ප‍්‍රායෝගික තලයේ එය ක‍්‍රියාත්මක වීම පිළිබඳ සමාලෝචනයක් කිරීම අත්‍යවශ්‍ය වෙයි.

මේ අනුව බලන කල කන්නන්ගරතුමන් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන ක‍්‍රමවේදය ගෙවී ගිය කාලයේ දැඩි විපර්යාසයන්ට ලක්ව තිබේ. එහි ඇති සාධනීය දෑ උකහා ගනිමින් වත්මන් වැඩ ලොවට ගැළපෙන අධ්‍යාපන ක‍්‍රමයක් බිහි කිරීම පාලකයන් සතු වගකීමකි. එය නිදහස් අධ්‍යාපනයේ පියාණන්ට කළ හැකි ජාතියේ උපහාරය වන්නේය.

එල්. ඩබ්ලිව්. ගුණවර්ධන

සභාපති, ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ගුණානුස්මරණ පදනම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More