පුරවැසි කොලම

මැක්ඩොනල්ඩ් බබාට චීන නමක්

October 16, 2021 11:58 am | Lanka Lead News

ජනතාවට තේරුම්ගන්න බැරි සන්නිවේදනයකින් වෙළෙඳපොළ ජයගන්න බෑ. ලෝකයේ ලොකුම වෙළෙඳපොළට (චීන වෙළෙඳපොළට) ඇතුළුවන විදේශ සමාගම් මේ දේ දන්නවා. ඒ අය තමන්ගේ සන්නාම චීන භාෂාවට පෙරළන්නේ ඒ දැනුම මත පදනම්වෙලා. මේ ගැන මම කලින් ලිපියකින් කිව්වා.

මේ නම් පෙරැළීම ආවාට ගියාට කරන්න බෑ. නමක් වෙනත් භාෂාවකින් කියනවා කියන්නේ මතුපිටින් කරන පරිවර්තනයක් නෙවෙයි. අදාළ සමාජයේ සම්ප්‍රදායයන් සහ සංස්කෘතික කාරණා ගැනත් හිතලා තමයි මේ වැඩේ කරන්න ඕන. එහෙම නැති සෘජු පරිවර්තනවලට වටිනාකමක්, පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. එහෙම වුනොත් තමන් අපේක්‍ෂාකරන ලාභය උපයාගන්න අදාළ නිෂ්පාදකයාට බැරිවෙනවා.

කලින් ලිපියෙන් මම කියපු විදිහට “මැක්ඩොනල්ඩ්” කියන නම චීන භාෂාවට පෙරළලා තියෙන්නේ 麦当劳 – Màidāngláo (මැයි-තං-ලාඕ) කියලා. “මැයි-තං-ලාඕ” කියන්නේ අදාළ සමාගමට අයිති ලියාපදිංචි සන්නාමයක්.

මේ නම් පෙරැළියට අදාළ කරුණු කාරණා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.

“මැක්ඩොනල්ඩ්” කියන්නේ පුද්ගල නාමයක්. චීන සංස්කෘතිය සහ සම්ප්‍රදාය ඇතුළේ කිසිම ව්‍යාපාරයක් පුද්ගලික නම්වලින් පවත්වාගෙන යන්නේ නෑ. මේක කොමියුනිස්ට් පාලනයට අදාළ කාරණයක් නෙවෙයි. ඈත අතීතයේ ඉඳලාම මෙහෙම තමයි. අවුරුදු දෙතුන් සීය පැරැණි ව්‍යාපාර අදටත් චීනයේ තියෙනවා. ඒවාට වුනත් නම් දාලා තියෙන්නේ මේ සම්ප්‍රදාය ඇතුළේ.

ඉතින් චීනයේ දී “මැක්ඩොනල්ඩ්” ව්‍යාපාරයට පුද්ගල නාමයක් ගන්න බෑ. එහෙම නම් අදාළ අනන්‍යතාවත් රැකගෙන, චීන මිනිස්සුන්ට තේරෙන නමක් පටබැඳගන්නේ කොහොම ද? මේ කාරණය ගැන හොඳින් ම දන්න ඇමෙරිකානු මැක්ඩොනල්ඩ් සමාගම අදාළ භාෂා සහ සංස්කෘතික විශේෂඥයන්ගේ උදව්වෙන් 麦当劳 (මැයි-තං-ලාඕ) කියන නම හදාගෙන තියෙනවා.

අදාළ ව්‍යාපාරයට මේ නම ඉතාමත් හොඳින් ගැලපෙනවා.

මූලිකවම, අදාළ සන්නාමයේ මූලික ස්වරූපය රැකගන්න ඒකට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි මේක නිකම් ම නිකම් ශබ්ද අනුයෝගයක් නෙවෙයි. එහෙම සද්දේට විතරක් ගැලපෙන නමක් දාගත්තා නම් අදාළ ආකර්ෂණය සහ සමාජ පිළිගැනීම ලබාගන්න බෑ. ඉතින් ඒ සද්දය රැකගන්න ගමන්ම තවත් දේවල් ගැනත් හිතන්න වෙනවා. මේ නමින් ඒ වැඩෙත් වෙලා තියෙනවා.

麦 (මැයි) කියන්නේ තිරුඟුවලට. ඇත්තෙන්ම මේ වචනයේ ඒ ආශ්‍රිත අදහස් ගොඩක් ගබඩාවෙලා තියෙනවා. අවුරුදු දාස් ගානක් තිස්සේ විවිධ විදිහට වචනයක් පාවිච්චිකරද්දි ඒක සරුවෙන්නේ කොහොම ද කියලා අමුතුවෙන් පැහැදිළිකරන්න ඕන නෑ. වාග්විද්‍යාව ඉගෙනගත්ත අය නම් මේ කාරණය ගැන හොඳින් ම දන්නවා. ඉතින් මේ 麦 (මැයි) කියන නම දැක්ක ගමන් ම මිනිස්සුන්ගේ හිතේ මැවෙන්නේ ආහාරවලට අදාළ රූප. මැක්ඩොනල්ඩ් කියන්නේ ආහාර විකුණන තැනක්නේ. ඉතින් මේ 麦 (මැයි) කියන යෙදුමෙන් ඒක හොඳින් ම නිරූපණය වෙනවා.

当劳 (තං-ලාඕ) කියන එක වෙනත් දීර්ඝ යෙදුමකින් ඉපැදිච්ච එකක්. “හොඳ රස දෙයක් භුක්ති විඳින්න ඕන නම් වෙහෙසවෙලා වැඩකරන්න ඕන” කියන යෙදුමෙන් තමයි ඒක ඇරගෙන තියෙන්නේ. මෙතැන මහන්සිවෙනවා (劳, ලාඕ) කියන වචනය ආකාර දෙකක අර්ථයක් දෙනවා. එකක් තමයි අදාළ ආහාරය හදන්න ගන්න වෙහෙස. අනිත් එක තමයි අදාළ ආහාරය භුක්තිවිඳීම සඳහා අවශ්‍ය මුදල් උපයාගැනීමේ වෙහෙස.

මේ වගේ යෙදුම් තැන්පත්වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ඔළුවේ. අදාළ සංස්කෘතියෙන් පිටට ඇරගෙන ඒවා අකුරින් අකුර විග්‍රහකරන්න බෑ. “බත් තියෙන තැනටම කොස්” කියන අපේ යෙදුම ගැන හිතන්න. මේක “බත්” සහ “කොස්” දෙකට විතරක් අදාළ කාරණයක් නෙවෙයි. හොඳට ආදායම් තියෙන කෙනෙක්ට තවත් වරප්‍රසාදත් ලැබෙනවා නම් ඒ වගේ තැනක දී මේක යොදන්න පුළුවන්.

යෙදුම් කෙටි වෙද්දි ඒවාට අදාළ තේරුම් රැකගන්නවා. චීන භාෂාවෙන් 北 (Bei, පෙයි) කියන්නේ “උතුර” කියන එක. 大 (Da, තා) කියන්නේ “ලොකු” කියන එක. හැබැයි 北大(Beida, පෙයි-තා) කිව්වාම ඒකෙන් කියැවෙන්නේ “උතුර ලොකු” කියලා නෙවෙයි. ඒකෙන් කියැවෙන්නේ “පෙයි-චිං විශ්වවිද්‍යාලය” කියන එක. මේක චීනයේ ඕන කෙනෙක් දන්නවා. මේ අකුරු දෙක බිඳිලා තියෙන්නේ 北京大学 (Beijing Daxue, පෙයි-චිං තා-ශුවේ) කියන එකෙන්. ඉතින් උඩින් කියපු 当劳 (තං-ලාඕ) කියන එකත් එහෙම හැදිච්ච එකක්.

අවසාන වශයෙන් මේ නමේ පොඩි “රට” ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් චීන සම්ප්‍රදායටත් ගැලපිලා තමන්ගේ විදේශීය මුහුණුවරත් රැකගන්නත් මේ නමට පුළුවන් වෙලා.

තවත් කාරණයක් කියන්න ඕන. චීන මිනිස්සු (අදාළ සමාගම නෙවෙයි) මැක්ඩොනල්ඩ් එකට තවත් නමක් පටබැඳලා තියෙනවා. ඒ තමයි 金拱门 (Jingongmen, චින්-කුං-මන්) කියන නම. මේ නමේ තේරුම “රන් ආරුක්කුව” කියන එක. එහෙම කියන්නේ ඇයි කියලා තේරුම්කරන්න ඕන නෑනේ.

ඉතින් මැක්ඩොනල්ඩ් බබාට චීන නම් දෙකක් ලැබිලා. එකක් දීලා තියෙන්නේ එයාගේ තාත්තා. ඒ කියන්නේ මැක්ඩොනල්ඩ් සමාගම. අනිත් එක දීලා තියෙන්නේ චීන මිනිස්සු. මේ මොන නම පාවිච්චි කළත් ඒකෙන් කියැවෙන්නේ මොකක්ද කියලා චීන මිනිස්සු දන්නවා.

ලෝකයේ ලොකුම වෙළෙඳපොළට ගිහිල්ලා යමක් කමක් හොයාගන්න ඕන නම් මේ කරුණු ගැන හිතන්න, ඒ වෙළෙඳපොළ ගැන තව තවත් පර්යේෂණ කරන්න සිද්දවෙනවා. “හොඳ රස දෙයක් භුක්ති විඳින්න ඕන නම් වෙහෙසවෙලා වැඩකරන්න ඕන” කැමැති කෙනෙක්ට ඒ වැඩේ කරන්න පුළුවන්. අකැමැති අයට චීනාට බැන බැන ඉන්න පුළුවන්.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More