පුරවැසි කොලම

වීරවංශගේ පරිකතාව

October 13, 2021 6:37 pm | Lanka Lead News

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් සාලියපුර හමුදා කඳවුරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ස්වයං විවේචනාත්මක කතාව ගැන අපි ඊයේ මේ තීරුව ඔස්සේ සඳහන් කළෙමු. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෝ අනුන් විවේචනය කරනවාක් මිස තමන් විවේචනය කරගන්නේ නැත. තමන් විවේචනය කර ගැනීමේ සම්ප‍්‍රදාය තිබුනේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් රාජ්‍ය හෝ ජාතික සමාජවාදී කොමියුනිස්ට් රාජ්‍ය තුළ පමණි. එනම් ජාත්‍යන්තර දේශපාලනය තුළ සෝවියට් පිල සහ චීන පිල නියෝජනය කරන රටවල පමණි. මෙවැනි රටවල තරගකාරී දේශපාලන පක්ෂ නැත. එබැවින් තමන්ට කෙළින්නට බලාගෙන සිටින විපක්ෂය අතට අමුද්‍රව්‍ය යතැයි බියෙන් කතා නොකර සිටිය යුතුය යන බියක් එම රටවල රාජ්‍ය නායකයන්ට තිබුනේ නැත.

ඒ නිසා රාජ්‍ය පාලනයේ පස්වෙනි අවුරුද්දේ හෝ දහවෙනි අවුරුද්දේදී යෝධ සමුළුවක් පවත්වා එයට පස්වෙනි ජාත්‍යන්තරය, හයවෙනි ජාත්‍යන්තරය හෝ හත්වැනි ජාත්‍යන්තරය යනාදී වශයෙන් නමක් තබා ස්වයං විවේචනයක යෙදීමටද ඒ රටවල රාජ්‍ය නායකයන්ට හැකිවිය. ඒ ප‍්‍රකාශ අල්ලාගෙන කවරකු හෝ විවේචනයක් කළොත් ඊළඟ දවසේදී ඔහු අතුරුදන්ය. අවසාන කාලයේදී ස්ටාලින් කෙරෙහි මහත් සේ නොමනාපයෙන්ද විවේචනශීලීවද හැසිරුණු රෝගී වී. අයි. ලෙනින් ගේ මරණය අදටත් අභිරහසකි. ස්ටාලින් විසින් මරවන ලද ප‍්‍රතිවාදීන් ගණන බොහෝය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය පවත්නා ලංකාව වැනි රටක එවැනි තර්ජන නැත. මේ රටේ දේශපාලන අධිකාරිය පිළිබඳ විවේචන සිදුකළ අයකුට මරණය අත්වූ අවසාන කාලය 88, 89 භීෂණ යුගයයි.

එකළ රට පාලනය කළේ ජනාධිපති ආර්. පේ‍්‍රමදාස නමුදු භීෂණය පාලනය කළේ රන්ජන් විජේරත්නය. විජේවීර ඝාතනය කරන ලද්දේ ජනාධිපති පේ‍්‍රමදාසගේ කිසිදු අනුමැතියක් සහිතව නොවේ. ඒවා ඉතිහාසයට අයත් කළු පාට කතන්දරය. අපි නැවතත් වර්තමානය දෙසට හැරෙමු. මෙකළ සිටින නායකයන් ස්වයං විවේචනයක් කරන්නේම නැත. අවසන් වතාවට එවැනි ස්වයං විවේචනයක් කළේ ඇමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන් පමණි. එයද මොනිකා ලූවින්ස්කිට අදාළ ීැං කේස් එකක් ගැනය. එතැන ඇත්තේ ජනාධිපති කාර්යාලය තුළට නිදන කාමරය ගෙනඒමේ වරදකි. ඒ සියල්ල අමතක කරමු.

ජනාධිපති ගෝඨාභයගේ කතාවට දස අතේ පහරදීම දැන් ඇරඹී ඇත. එම පහරදීම් පිටුපස සිටින්නෝ යුග පුරුෂයෝ නොව හඩු පුරුෂයෝය. මේ කතාවල කිසිදු විභවයක් නැති බැවින් ඒ ගැන ජනාධිපතිතුමා කලබල විය යුතු නැත. අද අපේ කතු වැකියට නිමිත්ත වන්නේ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ විසින් කටුබැද්දේ ලංකා කාර්මික සංවර්ධන පරිශ‍්‍රයේදී කරන ලද කතාවකි.

ආණ්ඩුවට තවත් තුන් අවුරුද්දක කාලයක් ඉතිරිව ඇති බැවින් සිදුව ඇති අඩුපාඩු සහ සිදුනොකළ යුතුව තිබූ දේවල් ගැන තක්සේරු කරමින් ඉදිරියට ගියොත් රටට මෙන්ම ගෝඨාභය පාලනයටද පැහැදිලි අනාගතයක් තිබෙන බව විමල් වීරවංශ සිය කතාව මගින් පැහැදිලි කරදී තිබේ. එසේම පොදු ජනතාවගේ අපේක්ෂාව වූයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් හෝ වෙනත් ඕනෑම ජාතික වුවමනාවක් වෙනුවෙන් ගතයුතු තීරණ කර අරින්නේ නැති පාලන තන්ත‍්‍රයක් බවද ඇමැතිවරයා කියා තිබේ. ජනතා ප‍්‍රශ්න ඉදිරියේදී කර නොඇර වැඩ කරන ආණ්ඩුවක් යනු මහත් ධනයකි. මේ රටේ ජනයා හැම ආණ්ඩුවකින්ම අපේක්ෂා කළේ එම ගුණයයි.

විමල් වීරවංශ ඇතුළු පිරිස ගෝඨාභය බලයට පත්කිරීමේ ක‍්‍රියාවලිය තුළ මහින්ද සුළඟ නමැති සංකල්පය ගොනුකර උදය ගම්මන්පිල, කුමාර වෙල්ගම වැනි දේශපාලනඥයන් සමග දැඩි කැපවීමක් කරන්නේ ඉහත සඳහන් මග නොහැරීමේ ගුණාංගය සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණෙනි. එහෙත් මේ අවුරුදු පහ අවසානයේදී එවැනි ආණ්ඩුවක් තිබී නැති බව ඒ කැපකිරීම් කළ අයට දැනුනොත් එය මහත් අවාසනාවකි. ජාතිකවාදී වාමාංශිකයකු වූ විමල් කැපකිරීමේ සහ කැපවීමේ ගුණාංගයෙහි වැදගත්කම ඉතා හොඳින් දනී.

මේ ආණ්ඩුව කිසිවිටකත් ජාතික ආරක්ෂාව කේවල් කරන්නේ නැත. එහෙත් ජීවන වියදම නමැති සාධකය ඉදිරියේදී මේ ආණ්ඩුව සටන අත්හැර දමන බව පෙනේ. මෙය මගහැරීමක් ලෙසද අර්ථකථනය කළ හැකිය. පසුගියදා සහල් සම්බන්ධයෙන් ද ගෑස්, කිරි පිටි සහ තිරිඟු පිටි සම්බන්ධයෙන් ද මේ ආණ්ඩුව කටයුතු කර ඇති ආකාරය මානුෂික නැත. කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1250 කින් මිල වැඩිකිරීම මාරම අවුලකි. පස් දෙනකුගෙන් යුතු පවුලක් ගෑස් සිලින්ඩරයක් මිලට ගන්නේ මාසයකට වතාවක් වෙන්නට පුළුවන.

එබැවින් ගෑස් අංශයෙන් ජීවන වියදම වැඩිවන්නේ මසකට වතාවකි. එහෙත් සහල් මිල වැඩිවීම ජීවන වියදමට දෛනිකව බලපායි. ඇතැම් මධ්‍යම පාංතික පවුල්වල තාත්තා හවසට ගෙදර යනවිට එළවලූ තුනකුත් හාල් කිලෝවකුත් මිලට ගනී. ඒ පසුදින පරිහරණය කිරීම සඳහා ය. ආණ්ඩුව කොයි තරම් බණ දේශනා කළත් කිරි පිටි වලින් දියර කිරි වලට මාරුවීම කළ නොහැකිය. දියර කිරි ලීටරයක් රුපියල් තුන්සීයකට ආසන්නය. කිරි පිටි ග‍්‍රෑම් 400 ක් රුපියල් 480 ක් පමණ වේ. අරපරිස්සමින් වැඩකරන ගෘහනියකට කිරි පිටි ග‍්‍රෑම් 400 න් කිරි පිටි බැරල් එකක් සෑදීමට පුළුවන. මෙය සමාන වන්නේ මේ රටේ ඇතැම් රා කඩවල මුදලාලි රා ලීටර් 25 න් රා ලීටර් 500 ක් පමණ සෑදීමට ය. ඒ සඳහා ඊසට් සහ වතුර පාවිච්චි කරන හෙතෙම උදේ අරින රා කඬේ රැ වනතුරුත් නොවසයි. එහෙත් ගෙදර අම්මා රා මුදලාලි වැනි නීච කෙනෙක් නොවේ. නැති බැරිකම ඉදිරියේදී කිරි පිටි තේ හැන්දකට වෙනදාට වඩා වතුර එකතු කිරීමට ඇයට සිදුවේ. මෙවැනි ප‍්‍රශ්න සිය ගණනක් ජනතාව ඉදිරිපිට තිබේ. ඉදිරි අවුරුදු තුන තුළ ආණ්ඩුව ජීවන වියදම් ප‍්‍රශ්නයත් ඉන්ධන මිලත් පහළට නොගෙනාවොත් ඊළඟ අවුරුදු පහේදී පොහොට්ටුවට සිදුවන්නේ විපක්ෂයේ ලැගීමටය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More