පුරවැසි කොලම

මගේ පුවත්පත්කලා ජීවිතයේ ලද මහඟු අවස්ථාවක් වූයේ විවිධ විද්වතුන් සමග විවිධ විෂය ක්ෂේත්‍ර සම්බන්ධව සම්මුඛ සාකච්ඡා පවත්වන්නට ලැබීමය. ‘මුරගල’ සඟරාවේ කටයුතු කරමින් සිටි අවධියේ එබඳු අවස්ථා ගණනාවක් උදා වූ අතර, ඒ අනුව එබඳු සුවිශේෂ සම්මුඛ සාකච්ඡාවක් 2007 නොවැම්බර් 25 වන දා පැවැත්වීමට ලැබුණේ කුරුවිට එක්නැලිගොඩ වලව්වේදීය. ඒ දැනට දින කිහිපයකට ඉහත ජීවිතයෙන් සමුගත්, ලෝ ප්‍රකට විද්වතකු වූ ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා සමගය. ඔහු සිය පුරා විද්‍යා කැණීම් මගින් අනාවරණය කරගත් කාරණා ප්‍රාග් ඓතිහාසික මානවයා සම්බන්ධව ලෝක පරිමාණ වැදගත්කමක් උසුලයි. එසේම, ලංකාවේ ඉතිහාසය පිළිබඳ පිළිගත් මති මතාන්තර අභියෝගයට ලක්කරන පුරා විද්‍යාත්මක සාධක රැසක් ඔහුගේ පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන තිබේ. ආචාර්ය දැරණියගල මහතා සමග සිදු කෙරුණු මෙම සම්මුඛ සාකච්ඡාවෙන් ප්‍රාග් ඉතිහාසය පිළිබඳව එබඳු සුවිශේෂ කරුණු රැසක් අනාවරණය කරගත විණි.
පැයකට ආසන්න කාලයක් එතුමන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව නිමවා නික්ම එන්නට සූදානම් වෙද්දී සිහිවටනයක් ලෙස මා වෙත පිරිනැමුණේ එතුමන් විසින් රචිත” Pre-historic basis for the rise of Civilization in Sri Lanka and Southern India” ග්‍රන්ථයේ පිටපතකි.
මෙම සම්මුඛ සාකච්ඡාව ‘මුරගල’ (2007 දෙසැම්බර්/2008 ජනවාරි) කලාපයේ පළ වූ අතර, එය නැවත උපුටා පළ කරන්නේ මෙම ශ්‍රේෂ්ඨ විද්වතාට උපහාරයක් වශයෙනි.

ලංකාව තමන්ගේ නිජභූමිය බව කියන්නට අයිතිය තිබෙන්නේ වැදි ජනතාවට පමණයි.
ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසකරණයේ ආරම්භය හා ව්‍යාප්තිය සිදු වී ඇති ආකාරය කෙබඳු ද?
නවීන මානවයාගේ මුල තිබුණේ අවුරුදු 150,000කට පමණ ඉහතදී අප්‍රිකාවේ බවට ශාස්ත්‍රීය මට්ටමේ අලුත් ම මතයක් දැන් බිහි වී තිබෙනවා. මේ මානවයා අප්‍රිකාවෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ අවුරුදු 80,000කට පමණ පෙර. මේ මානවයා එක ශාඛාවක් ලෙස නැඟෙනහිර අප්‍රිකාවෙන් උතුරට හා යුරෝපයටත් අනෙක් ශාඛාව ආසියාවටත් ව්‍යාප්ත වී තිබෙන බව ජාන විද්‍යාව අනුව විශේෂඥයින් පවසන අලුත් ම මතයයි. ආසියාවට පිටවුණු පිරිස නැඟෙනහිර අප්‍රිකාවෙන් ඔරුවලින් හෝ පාරුවලින් මුහුද හරහා අරාබියට ගොස් අරාබි වෙරළ ඔස්සේ ඉන්දියාවට එන තුරු පැමිණ එතැනින් ඉන්දියාවට හා අග්නිදිග ආසියාවටත් ව්‍යාප්ත වී, ඕස්ට්‍රේලියාව දක්වා ව්‍යාප්ත වුණු බව මේ මතයේ කියැවෙනවා. ඒ අතරතුරම ලංකාවටත් මේ මානවයින් ව්‍යාප්ත වුණු බවට අදහසක් තිබෙනවා. නවීන මානවයා ඉන්දියාවට ව්‍යාප්ත වුණේ කුමන කාල වකවානුවේ ද කියල හරියාකාර ව කියන්නට අමාරුයි. එහෙත් අවුරුදු 50,000- 60,000 කට පෙර බවයි හිතන්නේ. අවුරුදු 75,000 වෙන්නත් පුළුවන්. ලංකාවටත් ඒ කාල වකවානුවේ ම ව්‍යාප්ත වෙන්නට ඇති. ලංකාව හා ඉන්දියාව ලෙස අද හඳුන්වන ගොඩබිම් ප්‍රදේශ ඒ කාලයේ එක ම ගොඩබිම් ප්‍රදේශයක් ලෙස පැවතුණු නිසා ‘ඉන්දියාවෙන්’ ‘ලංකාවට’ ව්‍යාප්ත වෙන්නට කිසිම බාධකයක් තිබුණේ නැහැ. ඒ වගේ ම මුහුදු මට්ටමත් දැනට වඩා පහතින් තිබුණේ. එවක මේ ගොඩබිම් දෙක අතරෙ මුහුදක් තිබුණේ නැහැ. තිබුනත් ඒ මානවයින්ට හැකියාවක් තිබෙන්නට ඇති කෙටි ගමන්වලදී මුහුදෙන් යන්න.
ඉතිං අවුරුදු 75,000කට ඉහත දී පටන් ලංකාවේ නවීන මානවයින් සිටින්නට ඇති බවයි අපි සිතන්නේ. නමුත් බුන්දල පතිරාජවෙල කළ කැණීම්වලින් අපට හමු වී තිබෙන ශිලා මෙවලම් අවුරුදු 125,000ක් පැරණි බවට කාල නිර්ණය කර තිබෙනවා. මේ ජනාවාස කැණීමේදී එතැන මානවයින් සිටි බව තහවුරු කරමින් ලැබුණු මේ ශිලා මෙවලම් විශ්ලේෂණය කිරීමේදී ඒවා ඉතාමත් දියුණු බව හඳුනාගත හැකි වුණා. ඒ අනුව මේ ශිලා මෙවලම් නිෂ්පාදනය කරන්නට ඇත්තේ නවීන මානවයා බවට අපේ අදහසක් තිබෙනවා. ඒ අනුව අවුරුදු 125,000කට ඉහතදී නවීන මානවයා ලංකාවේ සිටි බව කියන්නට අපට හැකියාව තිබේවි කියා අප බලාපොරොත්තු වෙනවා. මේ බුන්දල කැණීම්වලින් අප සොයාගෙන තිබෙන සාධක නිසා, ජාන විද්‍යාව ඇසුරෙන් දැනට ගොඩනඟාගෙන තිබෙන මතය වන අවුරුදු 75,000කට පෙර නවීන මානවයෙක් අප්‍රිකාවෙන් පිටත සිටියේ නැහැ කියන මතය වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා. ඉතිං ඒ කැණීම් තවදුරටත් පවත්වාගෙන යන්නට ඕන. නමුත් ඊට අවශ්‍ය නවීන ක්‍රමවේද, නවීන තාක්ෂණය අපේ රටේ නොමැති නිසා අපේ විශේෂඥයෝ සහ පුරාවිද්‍යාඥයෝ ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායමක් එක්රැස් කරගෙන මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා යුතු ව තිබෙනවා.
අපේ රටේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස තිබී ඇති බවට දැනට පුරා විද්‍යාත්මක ව හඳුනාගෙන තිබෙන ප්‍රදේශ මොනවා ද ?
බුන්දල අවුරුදු 125,000කට ඉහත මානවයින් සිටි බවට කාල නිර්ණය කර තිබෙනවා. ඒ වගේ ම, අවුරුදු 75,000කට ඉහත දී බුන්දල පතිරාජවෙල සිටි බවටත්, නැවත අවුරුදු 28,000කට ඉහතදී බුන්දල සිටි බවටත් කාල නිර්ණය කර තිබෙනවා. ඊට අමතර ව, අවුරුදු 40,000කට පමණ ඉහත දී පාහියන් ලෙනෙහි මානවයින් සිටි බව ඔප්පු වී තිබෙනවා. එතැනින් මානවයින්ගේ ඇටකටුත් හමු වී තිබෙනවා. කුරුවිට බට දොඹ ලෙනේ අවුරුදු 30,000කට ඉහතදී මානවයින් සිටි බව ඔප්පු වී තිබෙනවා. මේවා තමයි ප්‍රධාන ස්ථාන. ඒ වගේ ම, රට පුරා තවත් ස්ථාන කිහිපයක් ම තිබෙනවා. ඒවායේ මූලික පර්යේෂණ පමණයි මෙතෙක් පවත්වා තිබෙන්නේ. ඉදිරියට ක්‍රමානුකූල ව පර්යේෂණ පවත්වන්නට දශක දෙක තුනකට ඇති වෙන්නට තරම් ස්ථාන තිබෙනවා.
මෙම ප්‍රදේශවල සිය ජනාවාස ගොඩනඟා ගන්නට සුවිශේෂ කාරණා බලපා තිබෙන බවත් පුරා විද්‍යාත්මක ව හඳුනාගෙන තිබෙනවා ද ?
නැහැ. රට පුරා ම මෙවැනි ස්ථාන තිබෙනවා. විශේෂයෙන් ම බුන්දල වගේ ස්ථානවල පුරාණ වැලි කඳුවලින් අපට හමු වී තිබෙනවා, වෙරළබඩ එළිමහන් වැලිකඳුවල ප්‍රාග් ඓතිහාසික මානවයින් වාසය කර තිබෙන බවට සාධක. ඒ කියන්නේ ඒ මානවයින් පාවිච්චි කළ ශිලා මෙවලම්වල අවශේෂ හමු වී තිබෙනවා. නමුත් එළිමහන් වැලි කඳුවල පැවැත්ම හොඳ නැති නිසා ශිලා මෙවලම් සමඟ මිනිසුන්ගේ හා සතුන්ගේ ඇටකටු සෝදාපාලුවට ලක් වී දිරාපත් වෙලයි තිබෙන්නේ. මෙවැනි අවශේෂවල පැවැත්ම හොඳින් ආරක්ෂා වෙන විදියට තැන්පත් වී තිබෙන්නේ ගල් ලෙන්වලයි. කුමන හේතුවක් නිසා ද කියා නිශ්චිත ව දන්නේ නැහැ, තෙත් කලාපයේ ගල්ලෙන්වලින් තමයි වැඩි ප්‍රමාණයක් හමු වී තිබෙන්නේ. එවැනි වැදගත් ම ස්ථාන තමයි, කුරුවිට බටදොඹ ලෙන, බුලත්සිංහල පාහියන් ලෙන සහ කිතුල්ගල බෙලි ලෙන. ඒ ලෙන් තුළින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා සම්බන්ධ ඉතා වැදගත් සාධක හමු වී තිබෙනවා. මේ වගේ තවත් ලෙන් කිහිපයක් තිබෙන්නට ඉඩ තිබෙනවා. මෙතෙක් පරීක්ෂණ පවත්වා තිබෙන්නේ ඒ ලෙන් තුනේ පමණයි. වියළි කලාපයට අයත් කුඩුම්බිගල හා බඹරගස්තලාවේ තිබෙන ලෙන්වල අපි 1970දි අත්හදා බැලීම් කැණීම් පැවැත්වුවා. නමුත් මේ තෙත් කලාපයේ ලෙන්වල වගේ ඒ කැණීම් ප්‍රතිඵල සාර්ථක වුණේ නැහැ.
අපේ රටේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ තාක්ෂණික මෙවලම් භාවිතය සම්බන්ධ ව අනාවරණය වී තිබෙන කාරණා කෙබඳු ද ?
එය ඉතා ම වැදගත්. මම කිව්වනෙ බුන්දල පතිරාජවෙල ස්ථානයේ අවුරුදු 125,000ක් පැරණි ශිලා මෙවලම් හමු වී තිබෙන බව. ඒ සාධක, හරියාකාර ව කියන්නට ප්‍රමාණවත් නො වුනත් මූලික සාධක අනුව, ලෝක මට්ටමින් ගෙන සංසන්දනය කර බැලුවා ම එවක ලංකාවේ මානවයින් සතු ව ඉතා දියුණු තාක්ෂණයක් තිබුණු බව කියන්නට පුළුවන්. කෙසේ වෙතත් අවුරුදු 36,000 වන විට ඉතාමත් ම දියුණු තාක්ෂණයක් ලංකාවේ බිහි වී තිබුණා. එය හඳුන්වන්නේ ‘ජ්‍යාමිතික ක්ෂුද්‍ර මෙවලම් තාක්ෂණය’ ලෙසයි. මෙය මධ්‍ය ශිලා යුගයට අයත් වෙනවා. ලෝකයේ රටවලින් ගත් විට බටහිර අයර්ලන්තයේ, ස්වීඩනයේ පටන් දකුණු අප්‍රිකාව, දකුණු ආසියාව හරහා ඕස්ට්‍රේලියාව දක්වා මේ ජ්‍යාමිතික ක්ෂුද්‍ර මෙවලම් තාක්ෂණයට සාධක ලැබී තිබෙනවා. නමුත් ලංකාවේ තමයි මේ තාක්ෂණයට අදාළ පැරණි ම සාධක මෙතෙක් ලැබී තිබෙන්නේ. අපේ රටේ ජ්‍යාමිතික ක්ෂුද්‍ර මෙවලම් තාක්ෂණය අවුරුදු 36,000ක් පැරණියි. අප්‍රිකාවෙත් මීට සමානයි. සමහරවිට මීට වඩා පැරණි වෙන්නත් ඉඩ තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ අපට වඩා මෑත කාලීන තාක්ෂණය තිබෙන්නේ. යුරෝපයේ අවුරුදු 12,000කට වඩා පැරණි නැහැ. ලංකාවෙයි, අප්‍රිකාවෙයි තමයි, ජ්‍යාමිතික ක්ෂුද්‍ර මෙවලම් තාක්ෂණයට පැරණි ම සාක්ෂ්‍ය මෙතෙක් ලැබී තිබෙන්නේ. මේ ශිලා මෙවලම් විශාලත්වයෙන් නියපොත්තක පමණ ප්‍රමාණයක, ඉතාමත් සියුම් තාක්ෂණයක්. බොහොම දියුණුයි.
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ සංස්කෘතික ජීවිතය හෙළි කරන කෙබඳු සාධක ද හමු වී තිබෙන්නේ?
ඔවුන් විසින් ආහාරයට ගත් සතුන්ගේ ඇට කටු හමු වී තිබෙනවා. වාසය කළ ස්ථානවල ලිප් වැනි දෑ හමු වී තිබෙනවා. ඊළඟට කෙනෙකු මිය ගියා ම වල ලා දැමීම සම්බන්ධ සුසාන චාරිත්‍ර හඳුනාගන්නට පුළුවන්. ශිලා මෙවලම් හා සත්ත්ව ඇට කටුවලින් නිපද වූ මෙවලම් තිබෙනවා. මේවායින් තාක්ෂණය කොයි ආකාරයට දියුණු වුණා ද කියා කියන්නට විශේෂ හැකියාවක් තිබෙනවා. ඒ වගේ ම, පබළු හමු වී තිබෙනවා. පැරණි ම පබළු ඇටය හමු වී තිබෙන්නේ කුරුවිට බටදොඹ ලෙනෙන්. එය අවුරුදු 36,000ක් පැරණියි. මේ පබළුව දිය බෙල්ලන්ගේ කටුවලින් ඉතා අලංකාර ලෙස නිපදවා තිබෙනවා.
ප්‍රාග් ඓතිහාසික මානවයින් අඳින ලද ලෙන් සිතුවම් ලංකාවේ හමු වී තිබෙනවා ද ?
කිසි දෙයක් නැහැ. මෙතෙක් හමු වී තිබෙන ලෙන් සිතුවම් වැද්දන් ඇන්ද ඒවා ද, ප්‍රාග් ඓතිහාසික මානවයින් ඇන්ද ඒවා ද කියා නිශ්චිත ව කියන්නට බැහැ. අපි බොහෝ දුරට හිතන්නේ ඒ ලෙන් සිතුවම් වැද්දන් විසින් අඳින ලද ඒවා බවයි. මොකද, සෙලිග්මාන් 1911 පමණ මේ රටේ වැඩ කරන විට, වැද්දන් මෙවැනි චිත්‍ර ලෙන්වල ඇන්ද බව සටහන් කොට තිබෙනවා.
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස ඒකක රටේ විවිධ ප්‍රදේශවල පැතිර තිබූ තත්ත්වයක මේ ජනාවාස ඒකක අතර යම් සම්බන්ධතාවක් පැවතුණු බවට සාධක තිබෙනවා ද? නැතිනම් මේ ජනාවාස ඒකක හුදෙකලා ඒකක ලෙස ද පැවතී තිබෙන්නේ?
ජනාවාස ඒකක අතර සම්බන්ධතාවක් තිබෙන්නට ඇතැයි අප සිතනවා. මොකද, උදාහරණයක් වශයෙන් ගත්තොත් කිතුල්ගල බෙලි ලෙනට වෙරළබඩ ප්‍රදේශවල සිට ලුණු ගෙන ආ බවට සාධක හමු වී තිබෙනවා. ඒ කියන්නේ කලපුවල සිටින ඉතා කුඩා බෙල්ලන් වර්ගයක් හමු වී තිබෙනවා, කිතුල්ගල බෙලි ලෙනෙන්. මේවා අවුරුදු 24,000කට වඩා පැරණියි. එය ඉතා වැදගත් සාධකයක්. ඒ වගේ ම, මුහුදු බෙල්ලන්, මෝරුන්ගේ ඇට කැබලි හමු වී තිබෙනවා. මේ කලාපයේ මානවයින් හා වෙරළබඩ කලාපයේ මානවයින් අතර සම්බන්ධතාවක් පැවතී ඇති බව පෙනෙනවා. සමහර විට මානවයින් එහා මෙහා යන්නත් ඇති. සැතපුම් 80ක් විතර දුරක්නේ ඇවිදින්නට තිබෙන්නේ.
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා හඳුන්වන්නට පොදුවේ ‘බලංගොඩ මානවයා’ යන යෙදුම ව්‍යවහාර වෙනවා. මෙය කෙතරම් දුරට නිවැරදි ද?
එය නිවැරදියි කියන්නට අමාරුයි. මොකද, ලංකාව ඉන්දියාවට සම්බන්ධ වී තිබුනේ අන්තිම අවුරුදු ලක්ෂය තුළදියි. අන්තිම වරට ගොඩබිම් දෙකක්/රටවල් දෙකක් විදියට බෙදී තිබෙන්නේ අවුරුදු 7,000කට විතර ඉහතදී. ඊට පෙර තනි ගොඩබිමක් තිබුණෙ. ඒ කියන්නේ දිගට ම ජාන හුවමාරුවක් සිදු වෙන්නට ඇති. ඒ නිසා එකම මානව වර්ගයක් මේ රටේ සිටියා කියන්නට අමාරුයි. ඉන්දියාවෙත් නොයෙකුත් ජාන සංචිත තිබෙන්නට ඇති නිසා විශාල මිශ්‍රණයක් සිදු වෙන්නට ඇති. ඒ නිසා මේ පිරිස තනි වර්ගයක් කියල මම හිතන්නේ නැහැ. ‘බලංගොඩ මානවයා’ නමින් පොදුවේ ජනවහරේ හැඳින්වුවාට ඒ අදහස වැරදියි.
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ ශාරීරික ව්‍යුහාත්මක ස්වභාවයන් ලංකාවේ පසුකාලීන ජනතාවට සම්බන්ධ වී ඇති ආකාරය කෙබඳු ද?
විශේෂඥයින් ඒ සම්බන්ධ ව පර්යේෂණ බොහොමයක් පවත්වා තිබෙනවා. දැන් ඔවුන් පැහැදිලි ව ම කියන්නේ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයින්, අපේ ආදි වාසීන් වන වැද්දන්ට බොහෝ සමාන බවයි. ඒ කියන්නේ කිට්ටු ම සම්බන්ධතාව තිබෙන්නේ වැද්දන්ට බවයි. ඒ වගේ ම, ලංකාවෙන් පිට මෙලනීසියාවේ සිටින ආදිවාසීන්ට සමාන බවත් කියනවා. ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින්වරුන්ටත් සමානත්වයක් තිබුනත් ඊට වඩා මෙලනීසියාවේ ආදිවාසීන්ට සමාන බව කියනවා.
අපේ රටේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන කතා කරන විට ‘නීට්ටෑවන්’ හා ‘සබරයින්’ යනුවෙන් මානව කණ්ඩායම් දෙකක් ගැන ඇතැමුන් සඳහන් කරනවා. මෙම මානවයින් ලංකාවේ වාසය කර තිබෙන බව තහවුරු වී තිබෙනවා ද?
‘නීට්ටෑවන්’ ගැන නම් මෙතෙක් කිසිම සාධකයක් ලැබී නැහැ. ‘සබරයො’ කියන්නේ ආදි වාසීන් කොටසක් වෙන්නට ඇති. නමුත් හරියාකාර ව කියන්නට අමාරුයි. ඒ කියන්නේ දැන් සිටින වැද්දන්ට කොයිතරම් සමීප ද, නැතිනම් වෙන ම පිරිසක් ද කියා කියන්නට අමාරුයි. මේ සබරගමු පළාතේ සිටි ඒ ‘සබරයින්’ කියන ජන කොටස දැන් අපේ සිංහලයින්ට මිශ්‍ර වී ඉවරයි. දැන් සිංහලයින් වශයෙනුයි හැඳින්වෙන්නේ. ඒ නිසා ජාන විශ්ලේෂණයක් සිදු කර අනාගතයේදී එවැනි විද්‍යාත්මක පර්යේෂණ මාලාවක් පවත්වන්නේ නැති ව දැනට නම් කියන්නට හැකියාවක් නැහැ. එවැනි පර්යේෂණ මාලාවක් කෙරෙන්නට ම ඕන දෙයක්.
ලංකාවේ නව ශිලා යුගයක් නො තිබුණු බවට මතයක් තිබෙනවා. මේ සම්බන්ධ ව ඔබගේ අදහස කුමක් ද ?
ඔව්. ලංකාවේ නව ශිලා යුගයක් තිබුණු බවක් තව ම හරියට ඔප්පු වී නැහැ. මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ පැවැත්වූ කාලයේ මේ සම්බන්ධ ව යාන්තම්වත් සාධක තිබෙන බවට එක තැනයි සොයා ගත්තේ. ඒ, දොරවක් ලෙන. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ කැණීම් අධ්‍යක්ෂ හා පසු ව අධ්‍යක්ෂ ජනරාල් වුණු ඩබ්ලිව්.එච්. විජේපාල මහතා දොරවක් ලෙන කැණීම් සිදු කළා. එහිදී ඔහුට ශිලා මෙවලම්, මැටි බඳුන් කැබලි හා ධාන්‍ය වර්ගයක් ලෙස සැක කරන ඇට වර්ගයක් හමු වී තිබෙනවා. ඒ ධාන්‍ය වර්ගය තව ම හරියාකාර ව හඳුනාගෙන නැහැ. ශිලා මෙවලම් සහ මැටි බඳුන් එකට හමු වීමයි විශේෂ කාරණය. විජේපාල මහතා කියන්නේ එය හරි කියලයි. එහෙම නම් එය නව ශිලා යුගය වෙන්නට පුළුවන්. මට ඒ ගැන සියයට සියයක් ස්ථිර වශයෙන් අදහසක් පළ කරන්නට විදියක් නැහැ. ඒ ගැන තවදුරටත් පර්යේෂණ පවත්වන්නට අවශ්‍යයි.
ඊට අමතරව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ගාමිණී අධිකාරි මහතා මෑතකදී වාරණ ගල්ලෙනක කළ කැණීම්වලින් ශිලා මෙවලම් හා මැටි බඳුන් එකට හමු වී තිබෙනවා. ධාන්‍ය හමු වී නැහැ. මේවා සම්බන්ධ ව කාබන් 14 කාල නිර්ණය කරනකම් හරියට ම කියන්නට බැහැ මේවා නව ශිලා යුගයේ ද, නැතිනම් වෙනත් යුගයක ද කියලා. නැතිනම්, කැළෑවල සිටි පැරණි ශිලා යුගයේ ශිලා තාක්ෂණයේ පැවැත්මක් සිදු වුණා ද කියල ඓතිහාසික යුගය වන තුරු ම. ඒ ප්‍රශ්නය විසඳා ගන්නට නම් මේ පස් ස්ථර හරියට ම කාල නිර්ණය කරන්නට ඕන.
ඒ වගේ ම, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ රාජ් සෝමදේව මහතා ඇඹිලිපිටියේ රංචාමඩම නමැති ස්ථානයේ මෑතකදී කළ කැණීමකදී සොහොන් භූමියක් මතු වී තිබෙනවා. මේ සොහොන්වල තිබී ශිලා මෙවලම් සහ මැටි බඳුන් එකට හමු වී තිබෙනවා. මමත් ඒ ස්ථානය බැලුවා. එතැනත් හරියාකාර කාල නිර්ණයක් එනතුරු කියන්නට බැහැ මෙය නව ශිලා යුගයක් ද, නැතිනම් ඓතිහාසික යුගයේ තිබුණු පැවැත්මක් ද කියල. මේ ස්ථාන දෙකේ ම ප්‍රශ්නය විසඳා ගන්න ඒ කාල නිර්ණයන් එන්නට ඕන.
පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ ටී.ආර්.ප්‍රේමතිලක මහතා ඇතුළු කණ්ඩායමක් හෝටන් තැන්නේ කළ පර්යේෂණවලදී නව ශිලා යුගයට අදාළ සාධක සොයාගත් බව දැනට වසර කිහිපයකට ඉහතදී සඳහන් වුණා…
මෙහෙමයි. අසූගණන්වල ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්ව විද්‍යාලයෙන් කණ්ඩායමක් අපේ රටට ආවා, සීගිරි දිය අගලේ පරාග පිළිබඳ ව පර්යේෂණ කරන්න. එහිදී අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට යෝජනා කළා සීගිරිය විතරක් නෙවෙයි හෝටන් තැන්නෙත් මඩ වගුරු තිබෙනවා, ඒවායේ තිබෙන පරාග ගැනත් විශ්ලේෂණයක් කරන්න, මේ අන්තිම අවුරුදු 20,000 -10,000 කාලය තුළ මේ රටේ දේශගුණය කොයි ආකාරයට වෙනස් වුණා ද කියල ඒවායින් දැනගන්න පුළුවන් වේවි කියල. ඒ පර්යේෂණය කරද්දි ප්‍රේමතිලක මහතාත් එයට සම්බන්ධ වී එම පර්යේෂණයේ දත්ත විශ්ලේෂණය කර ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කළා. ඔහුගේ ඒ විශ්ලේෂණයෙන් කියන්නේ අවුරුදු 20,000කට ඉහත සිට මේ රටේ බාර්ලි හා ඕට්ස් යන ධාන්‍ය වර්ග ගෘහස්ථකරණය කිරීමක ආරම්භක සාධක තිබෙන බවයි. අවුරුදු 17,000ක සිට ක්‍රම ක්‍රමයෙන් සිදු වී අවුරුදු 10,000 වන විට මේ බාර්ලි හා ඕට්ස් යන ධාන්‍ය වර්ග දෙක සම්පූර්ණයෙන් ම ගෘහස්ථකරණය සිදු කර ඇති බවට පැහැදිලි සාධක තිබෙන බව ඔහු කියනවා. ඒ සමග ම එවක සතුන් ඇති කර තිබෙන බව මේ පරාග විශ්ලේෂණවලින් ඔහු ඔප්පු කර තිබෙනවා. ඒ කියන්නේ ගවයින් වැනි සතුන් ඇති කළොත් ඒ අවට තිබෙන පැළෑටි වර්ග වෙනස් වෙනවා. ඒ මගිනුත් ඔහු කියා සිටින්නේ සතුන් ඇති කිරීම සහ ගොවිතැන යන දෙක ම අවුරුදු 10,000 වන විට එනම්, ක්‍රි.පූ. 8,000 වන විට පැහැදිලි ව ම මේ රටේ තිබුණු බවයි. තවදුරටත් ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීම අත්‍යවශ්‍යයි. මොකද, මෙය ඉතා ම වැදගත්. මෙය හරි බව තහවුරු වුනොත් ලංකාව පැළෑටි ගෘහස්ථකරණය කිරීම හා සතුන් ඇති කිරීම සිදු කළ ලෝකයේ පැරණිත ම ස්ථානයක් වෙනවා. අග්නිදිග ආසියාවේ එනම්, දකුණු චීනයේ සහ මැද පෙරදිග හැර ලංකාව තමයි පැරණි ම. ඒ ප්‍රදේශ තුනේ තමයි මුලින් ම පැළෑටි ගෘහස්ථකරණය ඇති වී තිබෙන්නේ. ඒ සම්බන්ධ ව මගේ නම් සැකයක් නැහැ. සමහරුන් කියනවා මේ ගැන තවදුරටත් පර්යේෂණ කළ යුතුයි කියලා. මොනවා වුනත් මම කියන්නේ ලංකාවේ ධාන්‍ය ගෘහස්ථකරණයක් ඇති වී තිබෙන බව සොයා ගැනීම ඉතාමත් ම වැදගත් සොයා ගැනීමක්.
මේ සාකච්ඡාව තරමක් මෑත කාලවකවානුවක් වෙත යොමු කරගන්නට අප කැමතියි. අනුරාධපුර ඇතුළුනුවර ඔබ කළ කැණීම්වලදී ලංකාවේ ඉතිහාසයේ ඉතා සුවිශේෂී කාරණා අනාවරණය කර ගන්නට ඔබ සමත් වුණා…
ඔව්. අනුරාධපුරයේ ඇතුළුනුවර කළ කැණීම්වලදී, ක්‍රි.පූ. 900 පටන්, ඒ කියන්නේ විජයාගමනයට අවුරුදු 400කට පෙර සිට ලංකාවේ යකඩ තාක්ෂණය (එය ඉන්දියාවෙන් තමයි එන්නට ඇත්තේ…), දියුණු කුඹල් තාක්ෂණය, වී වගාව, ගවයින් – අශ්වයින් ඇති කිරීම තිබුණු බවට පැහැදිලි සාධක ලැබී තිබෙනවා. ඒ කියන්නේ විජයාගමනයට වසර 400කට පෙර සිට ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් පැවතී තිබෙනවා. එහි කර්තෘන් වන මානවයින්ගේ ශාරීරික ලක්ෂණ බලංගොඩ මානවයාට කොච්චර වෙනස් ද කියා කියන්නට අමාරුයි. විල්පත්තුවේ පොම්පරිප්පු සොහොන් භූමියේ පමණයි මෙතෙක් එවැනි පර්යේෂණ පවත්වා තිබෙන්නේ. පොම්පරිප්පු සොහොන් භූමියෙන් ලැබුණු මානව අවශේෂ අනුව පොම්පරිප්පුවෙ මානවයා බලංගොඩ මානවයාට වඩා වෙනස් බවත්, සිංහලයාට වඩාත් ම සමාන බවත් අලුත් ම වාර්තාවල කියැවෙනවා. හැබැයි පොම්පරිප්පුවෙත් කාල නිර්ණය කර නැහැ. ඒ නිසා ඒ කාල නිර්ණය කරන තුරු මේවා ක්‍රි.පූ. 200 ද, ක්‍රි.පූ.500 ද, ක්‍රි.පූ. 1,000 ද කියා කියන්නට බැහැ.
කෙසේ වෙතත් පණ්ඩුකාභය රජුට පෙර අනුරාධපුර ඇතුළු නගරයේ ක්‍රි.පූ. 700 පමණ වන විට නගරයක ප්‍රමාණයට ව්‍යාප්ත වී තිබුණා. එය අක්කර 150ක් ඉක්මවා තිබුණා. එනම්, ක්‍රි.පූ. 200 වන විට නගරයක් තිබුණා. පණ්ඩුකාභය රජුගේ කාලේ ඒ නගරය තවදුරටත් දියුණු කරන්නට ඇති. හැබැයි ඊට පෙර ඔතැන නගරයක් තිබුණු බවට සාධක ලැබී තිබෙනවා, අනුරාධපුරයේ ඇතුළු නගරයෙන්. එය ඉතා ම වැදගත්.
ඒ වගේ ම, අපේ රටේ බ්‍රාහ්මීය අක්ෂර භාවිතය ක්‍රි.පූ. 600 – ක්‍රි.පූ. 500 පමණ වන විට මේ රටේ තිබුණු බව දැන් ඔප්පු වී තිබෙනවා. වළං කැබලිවල ආර්ය ප්‍රාකෘත අක්ෂරවලින් ලියා තිබෙන ‘අ නු ර ද’ යන වචනයෙන් ඒ බව ඔප්පු වෙනවා. අපේ කැණීම්වලින් පමණක් නෙවෙයි, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් පැමිණි පිරිසක් ක්‍රි.පූ. 400 වන විට පැහැදිලි ව ම බ්‍රාහ්මීය අක්ෂර භාවිතය මේ රටේ තිබුණු බව ඔප්පු කර තිබෙනවා. අපේ කාල නිර්ණය ඊට වඩා සීයක් හමාරක් පැරණියි. ඒ වළං කටුවේ ලියා තිබෙන අක්ෂර සම්පූර්ණයෙන් ම ආර්ය ප්‍රාකෘත. කොහෙවත් ද්‍රවිඩ, දෙමළ අක්ෂර ගෑවිලාවත් නැහැ.
මෙවැනි පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් ලංකාවේ වංශකතා සාහිත්‍ය ඉතිහාසය තහවුරු වෙනවා ද? නැතිනම් එකිනෙක ගැටෙනවා ද?
ගැටෙන්නේ නැහැ. තහවුරු වෙනවා. ඉතිහාසඥයො කාලයක් තිස්සේ කියා සිටියෙ මේ වංශකතා විශ්වාස කරන්න බැහැ, ක්‍රිස්තු පූර්ව සියවස්වල භික්ෂූන් වහන්සේ ඕන ඕන විදියට ලියා තිබෙනවා කියලනෙ. නමුත් දැන් එය එහෙම නෙවෙයි. පැහැදිලි ව ම පෙනෙන්නට තිබෙනවා. ක්‍රි.පූ. 500 වන විට අක්ෂර භාවිතය අපේ රටේ ඇති වී තිබෙනවා. තවත් සංස්කෘතිකාංග වෙනස් වීම ඇති වී තිබෙනවා. හරියට ම විජයාගමනය කියන ඒ යුගයට ම ගැලපෙනවා. ඉතිං ඒ වංශකතා සම්පූර්ණයෙන් ම බොරු ය කියා කියන්නට බැහැ. කුමක් හෝ වී තිබෙනවා. උතුරු ඉන්දියාවෙත් එක්ක ම ආර්ය භාෂාවක් තිබුණා. ඊට පෙර මේ රටේ කුමන භාෂාවක් තිබුන ද කියා කවුරුවත් දන්නේ නැහැ. මොකද, මේ රටේ ක්‍රි.පූ. 500 – 600ට පෙර ලිඛිත සාධක නැහැ, අක්ෂර භාවිතයක් නො තිබුණු නිසා.
ලිඛිත මූලාශ්‍ර පදනම් කරගෙන ගොඩනඟන ඉතිහාසය හා භෞතික සාධක මත පදනම් ව ගොඩනඟන ඉතිහාසය සම්බන්ධ ව ඔබගේ අදහස කුමක් ද ?
මම නම් කියන්නේ මේ දෙක එකට ම යා යුතුයි. ලිඛිත ඒවා සමහර විට කිසියම් එක් පාර්ශ්වයකට නැඹුරු වෙන්නට ඉඩ තිබෙනවා. නමුත් භෞතික සාධකවලින් එක්තරා දුරකට අනෙක් පැත්තත් අල්ලා ගන්නට පුළුවන්. එහෙත් ලිඛිත මූලාශ්‍ර භාවිතය වගේ නෙවේ, භෞතික සාධකවලින් ගත හැකි අර්ථකථන සීමිතයි. ලිඛිත මූලාශ්‍රවලින් ඊට වඩා බොහොමයක් විස්තර අපට සොයා ගන්නට පුළුවන්. ඒ නිසා මේ දෙක එක්වයි ගමන් කළ යුත්තේ.
දෙමළ ජාතිවාදී උගතුන් ඉදිරිපත් කර ඇති ‘දෙමළ නිජබිම’ කියන කාරණය ඔබ දකින්නේ කොහොම ද?
මොන නිජභූමියක් ද ? මේ රට අපට සිංහලයින්ගේ නිජභූමිය කියන්නත් බැහැ. මොකද, ඒ පිටුපසින් මේ රටේ ආදිවාසීන් වන වැද්දෝ සිටිනවනෙ. ඒ කියන්නේ මේ රට තමන්ගේ නිජභූමිය කියා කියන්න හිමිකරුවන් සිටිනවා නම්, ඒ ආදි වාසීන් වන වැද්දන් පමණයි. කාරණය තිබෙන්නේ, මේ රටට අවුරුදු ලක්ෂ ගණනාවක් තිස්සේ විවිධ ජාතීන් ව්‍යාප්ත වී තිබෙනවා. ඉතිං කවුද මේ රටේ අයිතිකාරයො? දෙමළ මිනිසුන්ට කියන්න බැහැ මේ රට ඒ අයගෙ නිජභූමිය කියලා. ඒ වගේ ම, සිංහලයින්ට පෙර මේ රටේ වාසය කළේ කවුද කියන එක අපි දැන් හඳුනාගෙන තිබෙනවා. බලංගොඩ මානවයා වාසය කළ බවට භෞතික සාධක පුරාවිද්‍යාවේ තිබෙනවා. ඉතිං මේ රටේ කාට හෝ අයිතියක් තිබෙනවා නම් ඒ අයිතිය තිබෙන්නේ වැද්දන්ටයි. මොකද, බලංගොඩ මානවයාගේ කිට්ටු ම ඥාතීන් වන්නේ මේ වැද්දන් නිසා. ඒ නිසා වැදි පරපුරටයි මේ රට නිජභූමිය කියා කියන්න අයිතිය තිබෙන්නේ. අපි ඊට පසු ව පැමිණි අයනෙ.
ලංකාවේ පුරාවිද්‍යාත්මක ගවේෂණ, පර්යේෂණ පිළිබඳ ව ඔබ අවසාන වශයෙන් අවධාරණය කරන යමක් තිබෙනවා ද?
පළමුවෙන් ම මේ පුරාවිද්‍යා පර්යේෂණ ඉදිරියට ගෙන යා යුතුයි. මුලින් ම, දැනට සොයාගෙන තිබෙන මූලික දත්ත සනාථ කරගන්නට ඕන. උදාහරණයක් විදියට, හෝටන් තැන්නෙන් සොයාගත් ගොවිතැන සම්බන්ධ සාධක. එය ඉතා ම වැදගත්. එය එක පුද්ගලයකුට කරන්නත් බැරි මට්ටමක තිබෙන්නේ. ඊළඟට, මම කලින් සඳහන් කළ වැලිකඳු. ඒවායේ පර්යේෂණත් දිගටම කරගෙන යන්නට ඕන. ඒවාට අතගහලවත් නැහැ හරියාකාර ව. අපි 1970 එවක තිබුණු කැණීම් අනුව කැණීම් කළේ දළ වශයෙන්. නමුත් දැන් නවීන ක්‍රමවේද තිබෙනවා. ඒවා භාවිත කර පර්යේෂණ තව ඉදිරියට ගෙන යා යුතු වෙනවා. ආචාර්ය රාජ් සෝමදේව සහ ආචාර්ය ගාමිණී අධිකාරී යන මහත්වරු කරගෙන යන පර්යේෂණ ඉතා ම වැදගත්. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගයට පරිවර්තනය වූ අවස්ථාව ගැන පර්යේෂණ ඉතා ම අවශ්‍යයි. මොකද, ඒ ගැන අපේ දැනුම ඉතාමත් ම ස්වල්පයයි. රංචාමඩම සහ වාරණ ලැබී තිබෙන සාධක සම්බන්ධ ව කාබන් 14 කාල නිර්ණය කළ යුතුයි. ඒ සම්බන්ධ නිශ්චිත අදහසකට ආ හැක්කේ ඒ කාල නිර්ණයෙන් පසුවයි.

ප්‍රභාත් චින්තක මීගොඩගේ  



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවේ සෑම මැති ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය අල්ලගන්නේ වලිගයෙන් – ජාතික ගොවි ව්‍යාපාරය.

ජාතික ගොවි ව්‍යාපාරය නම් වූ සංවිධානයක ලේකම්වරයා ලෙස හඳුන්වන ගොවි මහත්මයෙකු ලංකා ලීඩ් නිවුස් අමතා සඳහන් කළේ අප රටේ සෑම ඇමතිවරයෙක්ම ...


Read More

රටට උවමනා – ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට

📌රටට උවමනා - ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට 📌202...


Read More

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බළකාය ගැසට් කෙරේ

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජ...


Read More