පුරවැසි කොලම

පසුගිය ඉරු දින ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පැවති මැතිවරණයෙන් කොමියුනිස්ට් පක්ෂය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජයග්‍රහණය අත්පත් කර ගත්තේය. පක්ෂය නගරයේ රතු බලකොටුවක් ගොඩ නැගුවේ කෙසේදැයි එහි ජයග්‍රාහී අපේක්ෂකයෙකුගෙන් ‘ජැකොබින්’ සඟරාව විමසීය.

“රතු වියානා නගරයේ” සමාජ අත් හදා බැලීම් හේතුවෙන් බොහෝ කලක් තිස්සේ ඔස්ට්‍රියාව සම කරනු ලැබුවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඓතිහාසික උච්චස්ථාන සමගය;

නමුත්, ඒ වෙනුවට මෑත දශකවලදී මෙම ඇල්පයින් පෙදෙසේ ජනරජය දක්ෂිණාංශික ජනතාවාදයේ පරීක්ෂණාගාරයක් බවට පත් වනු දක්නා ලදී.

නමුත්, වියානාවට පසුව රටේ විශාලතම නගරය වන ග්‍රාස්හි එකී ප්‍රතිගාමී ප්‍රවණතාවට විකල්පයක් ඇත. මේ ඉරු දින පැවති මැතිවරණයේදී ඔස්ට්‍රියාවේ කොමියුනිස්ට් පක්ෂය (KPO) සියයට විසි නමයක් ජන්ද දිනා ගනිමින් පෙර නොවූ විරූ ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේය.

ගතානුගතිකවාදී ඔස්ට්‍රියානු ජනතා පක්ෂයේ (OVP) පරාජයත් සමග දැන් කොමියුනිස්ට්වාදී එල්කා කා නගරාධිපති ධූරයට පත් වීමට නියමිතය.

ඔස්ට්‍රියානු කොමියුනිස්ට් පක්ෂය ජාතික දේශපාලනය තුළ දරන ආන්තික තත්ත්වයට වෙනස්ව එය මෙම නගරය තුළ ලැබූ කැපී පෙනෙන සාර්ථකත්වයට හේතු වන්නේ එය වසර ගණනාවක් පුරා ස්ථිරසාර පන්ති දේශපාලනයක් තුළට මුල් විහිඳුණු ප්‍රජාමය ක්‍රියාකාරීත්වයන්හි යෙදීමයි.

මෙවර මැතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂ ලැයිස්තුවේ දෙවන තැන දිනා ගත් තිස් හතර වියැති රොබර්ට් ක්‍රොට්සර් වැනි කැප වූ ක්‍රියාකාරීන් නොසිටියේ නම් එහි ප්‍රගතිය සැබෑවක් නොවන්නට ඉඩ තිබිණ. ඔහු 2017 වසරේදී ග්‍රාස් නගරයේ මන්ත්‍රී මණ්ඩලයට මෙතෙක් තේරී පත් වූ තරුණම පුද්ගලයා බවට පත් විය; එතැන් පටන් ඔහු සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සහ රැක බලා ගැනීම් අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළේය.

ඉරු දින ජන්දයෙන් පසුව ක්‍රොට්සර් ඔස්ට්‍රියානු කොමියුනිස්ට් පක්ෂය මෙම අසාමාන්‍ය “රතු බලකොටුව” ගොඩ නගන ලද්දේ කෙසේදැයි ‘ජැකොබින්’ සඟරාවේ ඇඩම් බෝල්ට්නර් හට පැහැදිලි කළේය.

ඇඩම් බෝල්ට්නර්:
සාමාන්‍යයෙන් ඔස්ට්‍රියාවේ ජාතික මැතිවරණවලදී කොමියුනිස්ට් පක්ෂයට ලැබෙන්නේ ජන්ද සීයට එකක් විතර ප්‍රමාණයක්. ඒ උනත්, ස්ටයිරියා ප්‍රාන්තයේ අගනුවර වන ග්‍රාස් නගරයේ පක්ෂය සැලකිය යුතු සාර්ථකත්වයක් පෙන්වනවා; 2000 ගණන්වල මුල ඉඳලම සීයට විස්සක් වගේ ජන්ද ගන්නවා.
කොමියුනිස්ට් පක්ෂය ග්‍රාස් නගරයේ විශේෂයෙන්ම මේ තරම් සාර්ථක වෙන්නේ ඇයි?

රොබර්ට් ක්‍රොට්සර්:
මේ කාරණය 1990 ගණන්වල ආරම්භය, ඒ කියන්නේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ දැවැන්ත අර්බුද යක් වුන කාලය, දක්වා ගලා යන දේශපාලන නැමියාවක් එක්ක සම්බන්ධයි. ඒ කාලයේ ඉඳන්ම ස්ටයිරියා ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂයේ උදාන වාක්‍යයක් උනේ “දෛනික ජීවිතය තුළත් කම්කරු ව්‍යාපාරයේ ශ්‍රේෂ්ට අරමුණු සඳහාත් ප්‍රයෝජනවත් පක්ෂයක් වෙමු” කියන එකයි.

පක්ෂය මේ ආප්තෝපදේශය අනුගමනය කරමින් ඉතාම සංයුක්ත දේශපාලනයක නිරත උනා. විශේෂයෙන්ම කුලී නිවාසවල හිටිය මිනිස්සු වෙනුවෙන්.

විශේෂයෙන්ම මෙහිදී ඔස්ට්‍රියානු කොමියුනිස්ට් පක්ෂයේ හිටපු දේශපාලනඥයෙකු වුනු ඒ වගේම ග්‍රාස් ප්‍රාන්තයේ පක්ෂ සභාපතිවරයා වුනු අර්නෙස්ට් කල්ටෙනෙගර් අද්විතීය කාර්ය භාරයක් ඉටු කළා. නගරයේ ජනයා අතර ඔහුට ඉතාම හොඳ කීර්තියක් ලැබුණා.

කල්ටෙනෙගර් හැමවෙලේම අනෙක් අයට උදව් කරන්න ඉදිරිපත් උනා. ඒ වගේම ඔවුන්ගේ ප්‍රශ්නවලට සවන් දුන්නා. අද වන තුරුත් මිනිස්සු තවම එයා ගැන කතා කරනවා. ඔවුන්ගේ මහල් නිවාසවල ප්‍රශ්න විසඳපු විදිය ගැන පවා කියනවා. ඒත් ඔහු නිවාස පිළිබඳ ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමත් කළා.

1990 ගණන්වල මුලදී ගොඩක් දේපළ ප්‍රවර්ධකයෝ උත්සාහ කළා මිනිස්සු කුළියට හිටපු නිවාස සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්න. ඔවුන් සමහර වෙලාවට ඉතාමත් මෘග ක්‍රම ඒ වෙනුවෙන් යොදා ගත්තා. ජනවාරි මාසේදී (ශිශිර සෘතුවේදී) නිවාස සංකීර්ණවල ජනේල රෙපයාර් කරන්න කියලා ගලවගෙන ගියා.

කොමියුනිස්ට් පක්ෂය 1991 දී නිවාස හිමියන්ගේ කරදරවලට ගොදුරු වුනු මිනිස්සුන්ට මුලින්ම සම්බන්ධ වෙන්න හදිසි ඇමතුම් සේවයක් පටන් ගත්තා. කල්ටෙනෙගර්ගේ මූලිකත්වයෙන් “ගිණි පොලීකාරයින්ට ගොදුරු වූවන්” කියලා ඒ කාලේ හඳුන්වපු අය වෙනුවෙන් නීති උපදේශක සේවාවක් ආරම්භ කළා.

මෙහෙම ජනතාවට ඉතාම සංයුක්තව උදව් කිරීම සහ නීති උපකාර ලබා දීම කියන දේවල් එකට ක්‍රියාත්මක කිරීමෙන් කොමියුනිස්ට් පක්ෂයට මිනිස්සු අතර නමක් දිනා ගන්න පුළුවන් උනා.

එයින් අවුරුදු කීපයකට පස්සේ පොදු නිවාසවල අය කරපු අධික කුළී මිළ ගණන්වලට විරුද්ධව ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ වෙනකොට පොදු නිවාසවල පවා මිනිස්සු තමන්ගේ ආදායමෙන් සීයට 55 දක්වා මුදලක් කුළී විදියට ගෙවන එක අසාමාන්‍ය කාරණයක් වුනේ නැහැ. ඉතින්, පොදු නිවාසවල ජීවත් වෙන කිසිම පුද්ගලයෙක් තමන්ගේ ආදායමෙන් තුනෙන් එකකට වඩා කුළී විදියට ගෙවන්න ඕන නැහැ කියලා යෝජනාවක් කොමියුනිස්ට් පක්ෂය නාගරික සභාවට ඉදිරිපත් කළා.

කොමියුනිස්ට් පක්ෂයේ අනෙක් බොහොමයක් යෝජනා වගේම මේ යෝජනාවත් අනෙක් සියළුම පක්ෂ ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ කොමියුනිස්ට් පක්ෂය පොදු නිවාසවල විශේෂයෙන්ම කුළී නිවැසියන් සම්බන්ධ කරගෙන අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඉන්පස්සේ පක්ෂය “ස්ටයිරියානු ජනතා නීතියට” අනුව අත්සන් දාහත් දාහක පෙත්සමක් එක්ක අර පණත් කෙටුම්පත නාගරික සභාවට ආපහු ඉදිරිපත් කළා. මෙදා පොටේ ඒක ඒකමතිකව සම්මත උනා.

ඊට පස්සේ 1998 දී තිබ්බ මැතිවරණයෙන් කොමියුනිස්ට් පක්ෂයේ පළවෙනි ලොකුම පිම්ම සලකුණු උනා. සීයට 7.9 ක ජන්දයක් පක්ෂයට ලැබුණා. පාලක පක්ෂය කල්ටෙනෙගර්ට නිවාස දෙපාර්තමේන්තුව දුන්නා. එයාල හිතුවේ ඔහු අසාර්ථක වෙයි කියලයි. හැබැයි ඒක අනිත් පැත්ත හැරුණා. මොකද එයා සෑහෙන දේවල් කරන්න සමත් උනා.

හැම පොදු නිවාස ඒකකයකටම වෙනම වැසිකිලි සහ නාන කාමර ලබා දෙන්න ඔහු වග බලා ගත්තා. ඉන්පස්සේ 2003 මැතිවරණයෙදි පක්ෂය සීයට 20.8 ක ජන්ද ප්‍රමාණයක් දිනා ගත්තා.

මේකෙන් පෙන්නේ වාමාංශික දේශපාලනයට ඉවසීම සහ බිම් මට්ටමේ වැඩ කිරීම අවශ්‍යයි කියන එකයි. ඒකෙන් පේන තව දෙයක් තමයි පවතින බල සම්බන්ධතා යටතේ කරන්න බැරි දේවල් කරගැනීම සඳහා පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වයන්ට පාර්ලිමේන්තු-නොවන දේශපාලනයේ තෙරපුමක් යොදන්න ඕනයි කියන එක.

ඇඩම් බෝල්ට්නර්:
කොමියුනිස්ට් පක්ෂය ග්‍රාස් නගරයේ ජනතා සහයෝගය දිනා ගත්තේ කොහොමද කියන එක විතරක් නෙමෙයි එය විපක්ෂයක් විදියට නාගරික දේශපාලනයේ ඉටු කරපු කාර්යභාරය ගැනත් ඔයා විස්තර කළා. ඒ ගැන තියෙන වෙන උදාහරණ මොනවද?

රොබර්ට් ක්‍රොට්සර්:
ඔස්ට්‍රියානු කොමියුනිස්ට් පක්ෂය ලබපු චිරස්ථායී ජයග්‍රහණයක් 2004 වර්ෂයේදී දිනා ගත්තා. ඒ තමයි ග්‍රාස් නගරයේ පොදු නිවාස සංකීර්ණය පෞද්ගලීකරණය කිරීම වැලැක්වීම. ඒ කාලයේ කොන්සර්වේටිව් පක්ෂය (OVP), ඔස්ට්‍රියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SPO) සහ ඇත්තෙන්ම නාගරික සභාවේ අනෙක් හැම පක්ෂයක්ම පෞද්ගලීකරණයට එකඟ වුනා.

කණගාටුවකට, ඊට ආසන්න කාලයේ බර්ලින් (ජර්මනියේ) “රතු-රතු ආණ්ඩුව” එනම්, ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ Die Linke පක්ෂයේ (2007 දී ආරම්භ වූ ජර්මානු දේශපාලන පක්ෂයකි. Die Linke යන්නෙහි අරුත වාමාංශය යන්නයි – පරිවර්තක) පූර්වගාමීයා අතර සන්ධානය, නගරය සතු නිවාස සංකීර්ණ පෞද්ගලීකරණය කළා.

අපි ඒ වෙනකොට තවම පොඩි පක්ෂයක් උනත් අපිට පුළුවන් උනා පෞද්ගලීකරණයට එරෙහි පෙත්සමකට අත්සන් දහදාහකට වඩා එකතු කර ගන්න. ස්ටයිරියානු නීතියට අනුව නගරය විසින් සංවිධානය කරන නිල ජනමත විචාරණයක් සඳහා ඒ අත්සන් ගණන ප්‍රමාණවත්. ඒ ජන්දයේදී සීයට අනූ හයකට ආසන්න ගණනක් පොදු නිවාස විකිණීමට විරුද්ධව ජන්දය දුන්නා.

අද දක්වා කිසිම පක්ෂයක් පොදු නිවාසවලට අත තියන්න යන්නේ නැහැ. ඒවා පෞද්ගලීකරණය කිරීම පිළිබඳ ප්‍රශ්නය ආපහු කවදාවත් මතු උනේ නැහැ.

අපි කවදාවත් පාලක පක්ෂ සන්ධානයේ කොටස්කරුවෙක් නොවුනට අපි 1998 ඉඳන්ම නගරයේ විධායකය තුළ තනතුරු දරලා තිබුණා. ඒ සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව, දේශපාලන පක්ෂ ලබා ගත් ජන්ද අනුපාතය පදනම් කරගෙන නගරයේ මන්ත්‍රී මණ්ඩලයේ ආසන වෙන් කෙරෙන නිසයි.

දැනට අපේ පක්ෂ සභාපති එල්කා කා මාර්ග දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන සැලසුම් දෙපාර්තමේන්තුව භාරව ඉන්නවා. මම සෞඛ්‍ය සහ රැක බලා ගැනීම් ගැන වගකීම දරනවා. අපි මේ අංශ දෙකේම සාර්ථකත්වයන් අත්පත් කරගෙන තියෙනවා.

පහුගිය අවුරුදු හතර හමාර තුළ කොන්සර්වේටිව් පක්ෂයේ සහ අන්ත-දක්ෂිණාංශික ඔස්ට්‍රියානු නිදහස් පක්ෂයේ (FPO) සන්ධාන ආණ්ඩු යටතේ තිබුණු දුෂ්කර කොන්දේසි නොතකා ඒ සාර්ථකත්වයන් අත්පත් කර ගන්න පුළුවන් උනා.

අපි අලුත් බයිසිකල් මං තීරු හදලා තියෙනවා. ට්‍රෑම් ජාලය පුළුල් කරලා අලුත් බස් මාර්ග නිර්මාණය කරලා පොදු ප්‍රවාහණය දියුණු කරලා තියෙනවා. ඒ වගේම අපි “ග්‍රාස් රැක බලා ගැනීම් මොඩලය” කියලා හඳුන්වන ක්‍රමය හඳුන්වා දීල තියෙනවා. ඒ අනුව, රැක බලා ගැනීම් වුවමනා වන මහළු අයට නර්සින් හෝම්වලට නොයා ගෙදර ඉඳන්ම ඒ සේවය ලබා ගන්න පුළුවන් වෙන විදියට ඔවුන්ට නගරයෙන් දීමනාවක් ලැබෙනවා.

ඇඩම් බෝල්ට්නර්:
2017 දී සෞඛ්‍ය හා රැක බලා ගැනීම් පිළිබඳ වගකීම ඔයාට බාර දෙනකොට කව්රුවත් බලාපොරොත්තු උනේ නැහැ කොවිඩ්-19 අර්බුදයක් එයි කියලා. ප්‍රාදේශීය තලයේදී මේ අර්බුදයට මුහුණ දෙන්න ඔයාගේ කාර්යාලය යොදා ගන්න ඔයාට පුළුවන් උනේ කොහොමද?

රොබර්ට් ක්‍රොට්සර්:
ග්‍රාස් නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සාපේක්ෂව පුංචි එකක්. ඒත් වැදගත් දෙපාර්තමේන්තුවක්. වියානා කියන්නේ නගරයක් වෙන අතරෙම රාජ්‍යයකුත් වගේ. ඒත් ග්‍රාස් කියන්නේ නගරයක් විතරයි. මේ හේතුව නිසා වියානා නගරේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේ නෙමෙයි අපට සමහර වගකීම් බාර වෙලා නැහැ.

ඒ කියන්නේ රෝහල් සංගම් කළමනාකරණය කිරීම වගේ දේවල්. මම මේ දෙපාර්තමේන්තුව බාර ගන්නකොට “තරුණ ජනතාවගේ පක්ෂයේ” (ගතානුගතිකවාදී OVP පක්ෂයේ තරුණ සංවිධානය) අය කිව්වේ ක්‍රොට්සර්ට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දුන්නේ ඔහුට ඒකට තවදුරටත් කරන්න හානියක් නැති නිසා” කියලයි.

මේකෙන් පේනවා OVP පක්ෂය සෞඛ්‍යය සහ රැක බලා ගැනීම් පිළිබඳ ප්‍රශ්න සීරියස්ව ගත්ත තරම. ඊට සාපේක්ෂව ගත්තම, කොමියුනිස්ට් පක්ෂයේ අපට ඒවා තීරණාත්මක වැදගත්කමක් තියෙන දේවල්.

කෝවිඩ් අර්බුදයට අදාළව නාගරික සෞඛ්‍ය ප්‍රතිපත්තියේ මූලික දේවල් වෙන්නේ ආශ්‍රිතයින් හඳුනා ගැනීම, නැතිනම් වයිරසය පැතිරීමේ චක්‍රය ලුහු බැඳ ගොස් බිඳ දැමීමයි. මේක ඇත්තෙන්ම ඕනෑම සෞඛ්‍ය ආයතනයකට ඉතාම භාර ධූර අභියෝගයක්. 2020 පෙබරවාරි මාසේදී ග්‍රාස් නගරයේ වසංගත රෝග කාර්යාලයේ තිබුණේ තනතුරු දෙක හමාරයි. 2020 නොවැම්බර් වෙනකොට එතන දෙසීයක පිරිසක් වැඩ කරනවා.

කොහොම උනත්, අපි නිකම්ම අපේ පරිපාලන වගකීම් ඉටු කරා විතරක් නෙමෙයි. 2020 මාර්තු වෙනකොට අපි තොරතුරු ලබා දීමට වගේම මිනිස්සු දන්නා දේවල් මොනවද ඔවුන්ට ඒ වෙලාවේ වුවමනා මොනවාද කියල සොයා බලන්න සංක්‍රමණික සංවිධාන සහ වැඩිහිටි සුභසාධක සංවිධාන එක්ක සම්බන්ධ වෙලා දුරකථන ජාලයක් ආරම්භ කළා.

අපි ඊට පස්සේ එයාලට සංයුක්ත ආකාරයට උදව් කළා. ඒ කියන්නේ එයාලට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගන්න ක්‍රම සොයා දීම නැතිනම් එයාලට ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් වවුචර් ලබා දීම වගේ.

ජාතික ආණ්ඩුව වගේම ප්‍රාන්ත ආණ්ඩුත් පොදු ජනයාට ඉක්මන් ඇන්ටිජන් පරීක්ෂණ කරනවා කියලා පොරොන්දු ගොඩක් ලබා දුන්නා. ඒත්, 2020 ශීත සෘතුවෙදි අපට අපේ අතින් ගෙවලා මිනිස්සුන්ව නර්සින් හෝම්වලට, ජංගම සෞඛ්‍ය සේවා සපයන්නන් ලඟට නැතිනම් සුභසාධක ආයතනවලට යවන්න සිද්ධ උනා. ජනතාවට එන්නත් ලබා දීම සඳහා අපි විශේෂ එන්නත්කරණ ව්‍යාපාර පවත්වාගෙන ගියා.

ඒ කියන්නේ Megafon කියන වීදි පුවත්පත් විකුණන අයට වගේම ග්‍රාස් දේවස්ථානයේ, පල්ලිවල, පුස්තකාලවල සහ නගරයේ විවිධ තැන්වල…

මේ හැම දෙයකින්ම කියවෙන්නේ මිනිස්සුන්ට දෛනික ජීවිතයේදී ප්‍රයෝජනවත් පක්ෂයක් වීමේ අපේ ඉලක්කය රැක ගැනීමයි.

ඇඩම් බෝල්ට්නර්:
මැතිවරණය ගැන කෙරුණු මාධ්‍ය ආවරණවලදී වැඩියෙන්ම කතා වුනේ ඉදිරි ආණ්ඩු පක්ෂ සන්ධානයට මොන මොන පක්ෂ එකතු වෙයිද කියන අනාවැකි. ඔයා හිතන විදියට මොනවද ගොඩක්ම තීරණාත්මක ප්‍රශ්න?

රොබර්ට් ක්‍රොට්සර්:
මට අනුව, ජන්දදායකයෝ මොන වගේ සන්ධාන ඇතිවෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතු කළේ ඉතාම කලාතුරකින්. ඒ වෙනුවට, තොරතුරු ලබා ගන්න සාකච්ජාවල දිගටම තිබුණු නැඹුරුව වුනේ මිනිස්සුන්ට ඉතාම සංයුක්ත විදියට අපෙන් ලැබුණු උදව් මොන වගේද කියන එකයි. ඒ වගේම අපට ඕස්ට්‍රියානු කොමියුනිස්ට් පක්ෂය විදියට ලොකුම බෝනස් එක උනෙත් ඇත්තටම ඒකයි.

හැම අවුරුද්දකම මිනිස්සු දාස් ගාණක් අපේ කාර්යාල වෙලාවල්වල එල්කාවයි මාවයි මුණ ගැහෙනවා. එතැනදී අපිට එයාලට හොඳින්ම උදව් කරන්න පුළුවන් කොහොමද කියලා අපි හොයල බලනවා. එයාලට නීති උපදේශ ලබා දීමෙන්ද, එයාලට අයැදුම්පත් පුරවල දෙන එකෙන්ද නැත්නම් කෙලින්ම මූල්‍ය ආධාර ලබා දීමෙන්ද වගේ…

නාගරික සභාවේ සහ ස්ටයිරියානු පාර්ලිමේන්තුවේ ඉන්න කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රීවරුන් තමන්ගේ පඩියෙන් තුනෙන් දෙකක් මූල්‍ය උපකාර වුවමනා ජනතාව වෙනුවෙන් ස්වේච්ජාවෙන් පරිත්‍යාග කරනවා.

අපිට අනුව, මේක කිසිසේත්ම පුණ්‍ය කටයුත්තක් (charity) නෙමෙයි. ඒ වෙනුවට මෙය පැරිස් කොමියුනය දක්වා දුරට විහිඳෙන මූලික සමාජවාදී-කොමියුනිස්ට්වාදී මූලධර්මයක් සමග සම්බන්ධ වුනු දේශපාලන ආකෘතියක්.

මම හිතන්නේ මාසෙකට යුරෝ 1200 වගේ මුදලකට පූර්ණ කාලීනව වැඩ කරන කෙනෙක් එක්ක ඔයාට අව්‍යාජ සහකම්පනයක් ඇතිව කතා කරන එක හරිම අමාරුයි, ඔයා ඊට වඩා තුන්, හතර, පස් ගුණයක ආදායමක් ලබන කොට. අන්තිමේදී, මාක්ස් කිව්ව විදියට පැවැත්ම විඥානය නිශ්චය කරනවා.

දක්ෂිණාංශික සන්ධානයේ සමාජ ප්‍රතිපත්තියේ අසාර්ථකත්වයට අමතරව වේගයෙන් වර්ධනය වෙන නාගරික අක්‍රමවත් බව තවත් ප්‍රධාන ප්‍රශ්නයක් විදියට නම් කරන්න මම කැමතියි. ග්‍රාස් නගරයේ ඉදිකිරීම් සැලසුම් අනුමත කරලා ගහ කොළ තියෙන තැන් කිසිම වැදගැම්මකට නැති විදියට විනාශ කරලා දානවා.

මොකද, මේ ඉරිදා ඉල්ලා අස් වුන ÖVP පක්ෂයේ නගරාධිපති සීග්ෆ්‍රීඩ් නග්ල් ආයෝජකයින්ට හිතවත් කෙනෙක්. ගොඩක් මිනිස්සු මේ ගැන බරපතල විදියට කලකිරිලයි ඉන්නේ. ගිය අවුරුද්දේ ගොඩනැගිලි හැදීමේ උමතුව නිසා මට ගොඩක් දෙනෙක් මෙහෙම කියල තියෙනවා: “මගේ මුළු ජීවිතේම මම OVP පක්ෂෙට හැර වෙන කාටවත් ජන්දේ දීල නැහැ, ඒත් දැන්නම් හොඳටම ඇති.”

ඇඩම් බෝල්ට්නර්:
ස්ටයිරියාවල කොමියුනිස්ට් පක්ෂයේ වැඩ පිළිවෙල තුළ මාක්ස්ගේ, එංගල්ස්ගේ සහ ලෙනින්ගේ උරුමය අවධාරණය වෙනවා. කොමියුනිස්ට් පක්ෂය රැඩිකල් දේශපාලනයට මෙහෙම විවෘතව කැප වීම නිසා කොන්සර්වේටිව් ÖVP පක්ෂය දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඔබට අන්තවාදී ලේබලය ගහනවා. පේන විදියට ඒක ඒ තරම් සාර්ථක වෙලා නැහැ. ඔයාල කොහොමද කොමියුනිස්ට්-විරෝධී මඩ ප්‍රහාරවලට මූණ දෙන්නේ?

රොබර්ට් ක්‍රොට්සර්:
මේ අවුරුද්දේ වසන්තයේදී අපි මිනිසාගේ පළමු අභ්‍යාවකාශ තරණයේ හැට වන සංවත්සරය සමරමින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා. ඇත්තෙන්ම අභ්‍යාවකාශයට ගිය පළමු පුද්ගලයා වුනේ සෝවියට් අජටාකාශගාමී යූරි ගගාරින්.

හැම පක්ෂයක්ම සෝවියට් කොමියුනිස්ට්වාදය ඇතුළු සියලුම සමස්තතාවාදී දෘෂ්ටිවාදයන්ගෙන් ඈත් විය යුතුයි කියලා නාගරික සභාවට හදිසි යෝජනාවක් ගෙන ඒමෙන් අපට වෙට්ටුවක් දාන්න OVP පක්ෂය උත්සාහ කළා. ඕස්ට්‍රියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ හරිත පක්ෂය ඇතුළු අනෙක් හැම පක්ෂයක්ම මේ යෝජනාවට පක්ෂව ජන්දය දුන්නා. ඊට පස්සේ OVP පක්ෂය අපි ඒක ප්‍රතික්ෂේප කිරීම ගැන කෝපය ප්‍රකාශ කළා.

අපේ ප්‍රතිචාරය අන්තිමේදී හොඳට කිරල මැනලා දුන්න එකක්. ÖVP පක්ෂයට මේ වගේ යෝජනාවක් ගෙන ඒමෙන් අත්පත් කරගන්න ඕන උනේ මොකද්ද කියලා ඔවුන් හොඳින්ම තේරුම් අරන් හිටපු බව අපි දැනගෙන හිටියා.

නාගරික සභාවේ අපේ මන්ත්‍රීවරියක් වන එල්කා හෙයින්රිච්, කොමියුනිස්ට් පක්ෂය මේ තාක් කල් දිගින් දිගටම ඕස්ට්‍රියාවේ ෆැසිස්ට්වාදයට විරුද්ධ ඉදිරිගාමී බලවේගයක් උනේ කොහොමද කියන එකයි යුද්ධයෙන් පසුකාලීනව පැවතුණු අනෙක් පක්ෂවලට වෙනස්ව අපේ පක්ෂයේ කිසිම කාලෙක ෆැසිස්ට්වාදී ඉතිහාසයක් තියෙන ක්‍රියාකාරීන් කිසිම කෙනෙක් නැහැ කියන එකයි සභාව අමතමින් විස්තර කළා.

වෙන වචනවලින් කිව්වොත් සමස්තතාවාදයෙන් දුරස් වීමේ ප්‍රශ්නයේදී ÖVP පක්ෂය ඉස්සෙල්ලා තමන්ව නිවැරදි කරගත යුතුයි.

ඇත්තටම පැවතුනු සමාජවාදයේ ඉතිහාසයට අදාළව කොමියුනිස්ට්වාදීන් සහ මාක්ස්වාදීන් වන අපි සාකච්ජා කරන්න ඕන පැතිමාන ගණනාවක් තියෙන බව ඇත්ත. ඒත් අපි ඒක OVP පක්ෂයේ නියෝගයකට අනුව සහ විශේෂයෙන්ම ඔවුන් ඉතිහාසය දකින දෘෂ්ටියට අනුව කරන්න ඕන දෙයක් නෙමෙයි.

OVP පක්ෂයේ කොමියුනිස්ට්-විරෝධී දාම් ඇදීම කවදාවත් අපේ කිසිම මහජන සාකච්ජාවක මාතෘකාවක් උනේ නැහැ. මම හිතන්නේ ඒක පොදු ජනතාව ඇස ගැටුණු දෙයක් නෙමෙයි. මොකද, මිනිස්සු යම් ප්‍රමාණයක් දැනටමත් කොමියුනිස්ට් පක්ෂය එක්ක ඉතාම සංයුක්ත සම්බන්ධයක් පවත්වනවා. එක්කෝ එයාල අපි කාව හරි අඳුරනවා, නැත්නම් අපිව මහ පාරෙදි දකිනවා, නැත්නම් කුලී නිවැසියන්ගේ හදිසි ඇමතුම් සේවාව ඇති වෙන්න හේතුව අපියි කියලා එයාල දන්නවා. මිනිස්සුන්ට මේ දේවල් ගොඩක්ම වැදගත්.

ඇඩම් බෝල්ට්නර්:
මේ වනතුරු ග්‍රාස් නගරයේ කොමියුනිස්ට් පක්ෂය ලබපු ජයග්‍රහණය ඕස්ට්‍රියාවේ අනෙක් නගරවලට පැතිරිලා නැහැ. ඒත් ඔයා හිතනවද නගර සභා දේශපාලනයක් ඔස්සේ ජාතික නැත්නම් ජාත්‍යන්තර දේශපාලන ව්‍යාපාරයක් පවා ගොඩ නගන්න පුළුවන් කියලා?

රොබර්ට් ක්‍රොට්සර්:
අපි කොහෙත්ම එක නගරයක සමාජවාදයක් හෝ නගර සභා ඔස්සේ සමාජවාදී පරිවර්තනයක් වගේ දෙයක් දේශනා කරන්නේ නැහැ. ඒත් පොදුවේ මට ඒත්තු ගිහින් තියෙනවා වාමාංශික දේශපාලනය පහළ ඉඳන් ගොඩ නගන්න ඕන කියන එක.

ඒකෙන් අදහස් වෙන්නේ නගර සභා මට්ටමේ නැත්නම් කඩ මන්ඩි මට්ටමේ පවා මුල් බැහැ ගන්න ඕන, ඒ වගේම නිරන්තරයෙන්ම මිනිස්සු එක්ක සම්බන්ධතා පවත්වා ගන්න ඕන කියන එකයි. ඔයාලා ප්‍රයෝජනවත් බලවේගයක් කියල සංයුක්තව පෙන්නන්න පුළුවන් ක්ෂේත්‍රවල මැදිහත් වීම ඉතාම වැදගත්. ඒ වගේම මේ ආකාරයේ මැදිහත් වීම්වලින් කම්කරු පක්ෂවලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

මෑත දශකවලදී වම කිසියම් දුරකට මේ දැක්ම නොතකා හැරල තිබුණා වෙන්න පුළුවන්. කට්ටිය හිතුවා අපට ඉතාම දියුණු පොත් තියෙනවා, අපට මාක්ස්ගේ එංගල්ස්ගේ සහ ලෙනින්ගේ වෙළුම් තියෙනවා, ඉතින් මේවත් එක්ක අපට ලෝකය සමග ගණුදෙණු කරන්න පුළුවන් වෙයි කියලා.

ඒත් ඇත්ත ගැටළු තියෙන්නේ කොහෙද කියලා ඔයාට දැන ගන්න පුළුවන් වෙන්නේ ජනතාව එක්ක නිරන්තරයෙන් අදහස් හුවමාරු කර ගැනීමෙනුයි. ඔයාටයි ඔයාගේ සගයන්ටයි ජනතාවගේ තත්ත්වය වෙනස් කරන්න සහ දියුණු කරන්න වුවමනා නම්, මේ දැනුම කේන්ද්‍රීයයි.

වාමාංශය නගර සභා සහ කඩ මන්ඩි මට්ටමේ සාර්ථක දේශපාලනයක යෙදීමේ උදාහරණ ගණනාවක් තියෙනවා. පෘතුගාලයේ 1974 “කානේෂන් විප්ලවයේ” ඉඳන්ම ඇලෙන්තෙයෝ ප්‍රදේශයේ ප්‍රජාවන් සිටින්නේ පෘතුගාල කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේයි. ග්‍රීසියේ කොමියුනිස්ට් සම්බන්ධයක් තියෙන වෘත්තීය සමිති සංවිධානයක් වන PAME තවත් උදාහරණයක්.

බෙල්ජියමේ කම්කරු පක්ෂයේ සාර්ථකත්වය ගැම්මක් ඇති කරන තවත් අළුත් වර්ධනයක්. මේ පක්ෂය 2019 දී ජාතික තලයේ ලොකු පිම්මක් පනින්න කලින් කඩ මන්ඩි තලයේ සංවිධාන වැඩ තුළින් කාලාන්තරයක් තිස්සේ හදා ගත්ත මුල් මත පදනම් වෙලා නගර සභා දේශපාලනයේ බලවේගයක් බවට පත් වෙන්න සමත් උනා.

මේ ජයග්‍රහණය ඇත්තෙන්ම හිතට කාවදින එකක්. ඒත් ඒක වර්ධනය උනේ කුඩා පරිමාණයෙන්. ප්‍රාදේශීය තලයේ මුල් විහිඳා ගත්තේ නැත්නම් ඒක කොහෙත්ම සාර්ථක නොවෙන්න තිබුණා.

(සිංහල පරිවර්තනය:සුමිත් චාමින්ද)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවේ සෑම මැති ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය අල්ලගන්නේ වලිගයෙන් – ජාතික ගොවි ව්‍යාපාරය.

ජාතික ගොවි ව්‍යාපාරය නම් වූ සංවිධානයක ලේකම්වරයා ලෙස හඳුන්වන ගොවි මහත්මයෙකු ලංකා ලීඩ් නිවුස් අමතා සඳහන් කළේ අප රටේ සෑම ඇමතිවරයෙක්ම ...


Read More

රටට උවමනා – ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට

📌රටට උවමනා - ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට 📌202...


Read More

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බළකාය ගැසට් කෙරේ

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජ...


Read More