පුරවැසි කොලම

නෙදර්ලන්තයේ හේග් නුවර ජනතා අධිකරණ මණ්ඩලය හමුවේ ලබන නොවැම්බර් මස පලමුවනදා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳව නඩුවේ චෝදනා ගොනු කිරීමට නියමිත බව හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වන අවස්ථාවේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල අතර ඔහු විසින් මෙහෙයවන ලද විශේෂ හමුදා අණු කණ්ඩයක් කෙරෙහි මෙම ඝාතනය පිළිබඳව සැකය සහ චෝදනා එල්ලවී තිබෙන බව පසුගිය දිනක වෙබ් අඩවියක වාර්තාකර තිබුණි. එනම් ලෝකයේ කුමණම හෝ අධිකරණයක ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව නඩු කටයුත්තක් ඇවිලෙමින් ඇති බව පෙනෙන්නට ඇත. මෙම කරුණ ගැන මෙහි සඳහන් කිරීමට හේතුව පිළිබඳව පසුව සඳහන් කරන්නෙමු.

අවුරුදු 30 ක් පැවති දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ඊළම වෙනුවෙන් වූ ආයුද සන්නද්ධ ත්‍රස්ථවාදී අරගලය මැඩ පැවැත්වීමට 2009 මැයි මස 19 වන දින නන්දිකඩාල් කලපුවේදී අපේ වීරෝධාර හමුදාවලට හැකිවුනි. ඉන් නොබෝ දිනකට පසුව, එනම් 2009 මැයි මස 27 වන දින, එවක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ධූරය හෙබවූ බැන්කී මූන් මහතා ලංකාවට පැමිණීමෙන් පසුව, තිස් වසරක් පැවති කොටි සංවිධානයේ ත්‍රස්ථවාදය නිම කල අපගේ රනවිරුවන් දඩයම් කිරීම සඳහාවූ රණවිරු දඩයම අනීතිකව ආරම්භ කරන ලදී. ආයුද සන්නද්ධව ත්‍රස්ථවාදීන් කරගෙන ගිය ත්‍රස්ථවාදී අරගලය පැරදවීමට අපට වසර තිහක් ගතවුනිද රණවිරු දඩයම නිම කිරීමට ජාත්‍යන්තරයට එතරම් කාලයක් අවශ්‍ය නොවන බවක් පෙනෙන්නට ඇත.

මෙම සමස්ත රණවිරු දඩයම කොටස් දෙකකින් සමන්විත වේ. පලමුවන කොටස වන්නේ කෙටි කාලීන ආදීනව දෙන අපගේ වීරෝදාර රණවිරුවන් 57 දෙනෙකුට, යම්හෙයකින්, භෞතිකව විඳීමට සිදුවෙන අපහසුතාවය වේ. එය පුද්ගලයින් කීහිප දෙනෙකුට ශාරීරිකව හා මානසිකව සිදුවෙන, එහි ඔවුන් ලබන විපාකය ඔවුන්ගේ මරණයෙන්, ස්වභාවික හෝ අන් ක්‍රමයකින්, කෙළවරවේ. (සමහර විට චෝදනා පැවතියද වෙනයම් ක්‍රමයකින් මෙම ඳඬුවම් මග හැර ගත හැකි වෙනු ඇත). දෙවන කොටස හෙවත් දීර්ඝකාලීන ආදීනව වන්නේ බෙදුම්වාදයට සියළුම අවස්ථා ඉන් ලබාදීමයි.

ඒ පිළිබඳව අවබෝධය 2015 වසරේදී කුප්‍රකට ශ්‍රී ලංකාව පිළිබඳව මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලය මගින් කරන ලද විමර්ශනයේ වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයෙන් දැනගත හැක. යුද අපරාධ චෝදනා ලැබ සිටින රණවිරුවන් පවා එවන් අපරාධ චෝදනා ඇතැයි ගනන් නොගෙන සිටින වාතාවරණයක උන්ට හොඳනම් අපට මොකද න්‍යායෙන් අපහට අපගේ දෑත් රණවිරු දඩයමේ නාටකයෙන් ඉවත් කර ගත නොහැක්කේ රණවිරු දඩයම හා බැඳුණ ඉහත දෙවන කාරණය නිසා වෙනි. රණවිරු දඩයම පළමුවන කොටස හෙවත් යුද අපරාධ කරුවන්ට භෞතිකව ඳඬුවම් කිරීම සාර්ථකව කිරීමේ ක්‍රියාව සිදුවෙන විටම ක්ෂණයකින් රණවිරු දඩයමේ දෙවන කොටස හෙවත් බෙදුම්වාදය ක්‍රියාත්මක වීම හෙවත් එල්ටීටීඊය තිස් වසරක් ආයුද සන්නධව කළ අරගලයේ ප්‍රථිඵල ලබාදීම හෙවත් 13ප්ලස් ලබාදීම අනිවාර්යයෙන් සිදුවෙනු ඇත. එබැවින් යුද අපරාධ චෝදනාලාභී රණවිරුවන් සඳහා ස්වාභාවික යුක්තිය ඉටුකරන ලෙස මානව හිමිකම් කොමිසමෙන් කඩිනම්ව ඉල්ලා සිටීම සහ ඒ සඳහා කඩිනම්ව කටයුතු කිරීමේ වැදගත්කම රජය වහා අවබෝධ කර ගත යුතුවේ.

මෙහිදී රණවිරු දඩයම පිළිබඳව සැකෙවින් මතකය අවදිකර ගැනීම වැදගත් වේයැයි සළකමි. අදියර කිහිපයකින් ක්‍රියාත්මක වුන රණවිරු දඩයම සාර්ථක වීම සඳහා 2009 වසරේ සිට මේ දක්වා පැවති සහ පවතින රජයන් තුනම අඩු වැඩි වශයෙන් දායක වී ඇති බව පෙනෙන්නට ඇත. එයින් වැඩිම සහ අති සක්‍රීයම දායකත්වය ලබාදී ඇත්තේ පසුගිය අසාර්ථක යහපාලන රජය වන අතර එහි උච්ඡතම අවස්ථාවට පැමිණීම ලෙස 2015 වසරේ එවකට විදේශ ඇමතිව සිටි දිවංගත මංගල සමරවීර සහ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ යන දෙපලගේ නායකත්වය හා මග පෙන්වීමෙන් රණවිරු දඩයමේ මහා කෙටුම්පත අනුමත කිරීම දැක්විය හැක.

මෙම කුප්‍රකට කෙටුම්පත සම්මත කරගැනීමේදී එවකට විධායක ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මතාවත් කැබිනට් මණ්ඩලයවත් මංගල හා රනිල් ප්‍රමුඛ කණ්ඩායම මගින් දැනුවත් කර නොතිබුණ බව සහ අනුමැතිය පවා ලබාගෙන නොතිබුන බව විවිධ අවස්ථාවල විවිධ මාධ්‍යවල පසුව වාර්තාවිය. මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කුප්‍රකට කෙටුම්පතේ අන්තර්ගතය කුමක්ද යන්න පිළිබඳව නොදැන සිටි බවට ප්‍රභල සාක්ෂිය වන්නේ මෙම කුප්‍රකට කෙටුම්පත සම්මත කර වසර තුනක් ගතවන තුරුත් එතුමා එම කුප්‍රකට කෙටුම්පතේ යුද අපරාධ චෝදනා තිබුන බව නොදැන සිටීමයි. එතුමාට උපදෙස් දුන් නීති විශාරදයින් විසින් හිතා මතා එතුමාගෙන් කුප්‍රකට කෙටුම්පතේ සැබෑ සංයුතිය කුමක්ද කියා සඟවා තැබීමට කටයුතු කර තිබුන බව පැහැදිලිව පෙනෙන්නට තිබුනි. 2018 වසරේදී ජාතික සංවිධාන එකමුතුව සහ ජාතික විද්වද් භික්ෂු සංසදය වෙත මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුනේ කුප්‍රකට කෙටුම්පතේ යුද අපරාධ චෝදනා නොමැති බවයි. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ ආරාධනයෙන් මෙම ලියුම්කරු හට කුප්‍රකට කෙටුම්පතේ පවතින්නාවූ යුද අපරාධ චෝදනා ගොනුකර වාර්තාවක් සෑදීමට අවස්ථාව ලැබුණි. ඒ අනුව කුප්‍රකට වාර්තාවේ යුද අපරාධ යන්නෙන් ස්ථාන 37 ක පවතින බවත් යුද අපරාධ යන්නෙන් වෙනම පරිච්ඡේදයක් පවතින බවත් පැහැදිලි කර දීමට අවස්ථාව ලැබුණි.

මෙම කුප්‍රකට වාර්තාවේ කෙටිකාලීන අරමුණ හෙවත් යුද අපරාධ කරුවන් හට ඳඬුවම් කිරීම පිළිබඳව සඳහන් වන්නේ එම විමර්ශනයේ ප්‍රධාන සොයා ගැනීම් සත්තකින්ම අධිකරණයක් හමුවේ තහවුරු වුවහොත් මෙම බොහෝ චෝදනාවන් තත්ත්වයන්ට යටත්ව යුද අපරාධ හා/හෝ මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ ලෙස සැලකිය හැකිවනු ඇති බවයි. තවද මෙම චෝදනා සියල්ල අප්‍රමාදව, සම්පූර්ණයෙන් හා ස්වාධීනව විමර්ශනය කළ යුතු අතර සෘජුව හෝ ආඥාපතීන් හෝ ඉහළම ප්‍රධානීන් ලෙස හෝ වගකිව යුත්තන් යුක්තිය හමුවට ගෙන ආ යුතුය වශයෙන්ද යන්නයි.

දූෂිතයින් හෝ යුද අපරාධකරුවන් හෝ රැක ගැනීම අපේගේ අරමුණ නොවේ. යම් යම් සිදුවීම් සිදුව ඇති අවස්ථාවල හමුදාවේ ඒ සඳහා ඳඬුවම් ලබාදී ඇති අවස්ථා ඔනෑතරම් දැක්විය හැකියි. ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසම නොව කුමනම ආයතනයක් සමගවත් අපට ගැටළුවක් නොමැත. එහෙත් මෙම කුප්‍රකට වාර්තාවේ ඉහත සඳහන් කොටසේ ප්‍රධාන වශයෙන් සැළකිය යුතු ගැටළු සහගත අංග දෙකක් පවතින බව පෙනෙන්නට ඇත. පළමු ගැටළුසහගත අංගය නම් මෙම යුද අපරාධ චෝදනා තහවුරු කර ගත යුත්තේ කුමන මාදිලියේ අධිකරණයකින්ද යන්නයි.

එම අධිකරණ දෙමුහුන් අධිකරණද? නොඑසේනම් සම්පූර්ණයෙන්ම රටින් පිට විදේශ අධිකරණද?. ඇමරිකාවේ හෝ එංගලන්තයේ මෙන් එරට හමුදාවන් යුද අපරාධ හෝ වෙනයම් අපරාධ සම්බන්ධයෙන් රටින් පිට ප්‍රශ්න කිරීමෙන් ආරක්ෂා කිරීමේ පනත් අප රටේ නැත. ඒ වෙනුවට අපේ කුමනම හෝ තැනැත්තෙක් හට එදිරිව කුමනම හෝ රටක කුමනම හෝ නඩුවක් ඇසීමට යහපාලන රජය පනත් හතරක් සම්මත කර අනුමැතිය දී ඇත. වත්මන් රජය පවා එම පනත් අවලංගු කර නැත. එවන් පරිසරයක් තුල අපගේ රණවිරුවන් හට අත්වන ඉරණම පිළිබඳව අතිශෝක්තියෙන් පැවසිය යුතු නොවේ. මෙයට හොඳම උදාහරණය වන්නේ යස්මින් සූකා විසින් ලන්ඩනයේ වෙසෙන ජයරාජ් පලිහවඩන මහතාට එරෙහිව ගොනුකර ඇති අපහාස නඩුවයි. යස්මින් සූකා කොටි හිතවාදිනියෙක් යැයි තම ෆේස් බුක් ගිනුමක පල කිරීමෙන් ජයරාජ් විසින් යස්මින් සූකාට අපහාස කරන ලැදැයි පවසා මෙම නඩුව ගොනු කර ඇත. මෙම නඩුව සඳහා ජයරාජ් පලිහවඩන මහතා හට පවුම් පනස්දාහකට වැඩිය වියදම් වීමට නියමිත අතර යම් හෙයකින් එම මුදල් එතුමා හට සොයා ගැනීමට නොහැකි වුන හොත් යස්මින් සූකාගෙන් සමාවගෙන හෝ ඇයට වන්දියක් ගෙවා නඩුව සමථයකට පත්කර ගැනිමට සිදුවෙනු ඇත. එසේ කිරීමෙන් යස්මින් සූකාහට ඉදිරියටත් අප රටට විරුද්ධව කටයුතු කිරීමට ඉඩ ලැබෙන අතර වඩා අන්තරායකාරී තත්ත්වය වන්නේ මානව හිමිකම් කොමිසමේ 46/1 සමුළුවේදී සම්මත කරගන්නා ලද දොළොස් දෙනෙකුගෙන් යුත් බාහිර ක්‍රියාකාරකම් කමිටුවේ සැළකියයුතු තනතුරකට පත්වීමේ හැකියාව ඇය ලබා ගැනීමයි.

දෙවන ගැටළු සහගත අංගය වන්නේ තත්ත්වයන්ට යටත්ව යුද අපරාධ චෝදනාවන්ට ලක්වූවන් චෝදනාවන්ට මුහුණ දිය යුතු බව සඳහන්ව තිබීමයි. එනම් චෝදනා කරුවා කවරෙක්ද, සාක්ෂි කරුවන් කවරෙක්ද යන්න කුප්‍රකට වාර්තාකරුවන් වසර තිහක් යනතෙක් හෙලි නොකරන තත්ත්වයක් තුල කුප්‍රකට වාර්තාව නිගමනය කරන වර්ගයේ අධිකරණයක් ඉදිරියේ යුද අපරාධ චෝදනාවට ලක්වූ අපේ රණවිරුවන් නිර්වස්ත්‍රව හිටගත යුතු බවක් නිර්දේශ කර පිළිගෙන ඇත. මේ අනුව, රණවිරුවන්ගේ අනාගත පැවැත්ම පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක් බව මනාව පැහැදිලිවේ. රණවිරුවන්ට පවතින යුද අපරාධකරු යන චෝදනාව තවම අධිකරණයක් මගින් තහවුරු නොවුනද යුද අපරාධ සිදුවුණි නම් නැවත ඒවා සිදුනොවීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න කුප්‍රකට වාර්තාවෙන් නිර්දේශ කර තිබුණි. නමුත් එම නිර්දේශ යුද අපරාධ සිදුවුණිද නොවුණිද යන්න පිළිබඳව නොසලකා හැර කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පැවතුනි. එහි ප්‍රථිඵලය සාලාව අවි ගබඩාව පුපුරවා හැරීම පමණක් නොව 19/4/21 පාස්කු ප්‍රහාරය දක්වාම විහිදුනි.

ජාතික සංවිධාන සහ ජාතික විද්වද් භික්ෂු සංසදය නොවන්න ඒ වන විට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතද කුප්‍රකට වාර්තාවේ නිර්දේශ අනුව වෙනස් වන්නට ඉඩ තිබුණි. එසේ වෙනස් කර තිබුණි නම් ඊළඟ ප්‍රහාර එල්ල කිරීම සඳහා ගොස් සැඟව සිටි ඉතිරි ත්‍රස්ත කැළ කොටුකර ගැනීමටද බුද්ධි අංශ වලට හැකි නොවනු ඇත. එයට හේතුව වන්නේ යෝජිත නව ත්‍රස්ත පනත අනුව මානව හිමිකම් කොමිසමේ අවසරයකින් තොරව ත්‍රස්ථයන් මැඩලීමට පියවර ගැනීමට ආරක්ෂක අංශ වලට නොහැකි වීමයි. මෑතකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකද තවත් ආරක්ෂක අංශ අඩපණ කරණ පනතක් පෞද්ගලික මංත්‍රී පනතක් ලෙස පාර්ලිමේන්තුවට රැගෙන ආවද දේශයේ මුරදේවතාවුන් රැක ගැනීමට ඇස් ඇරන් සිටින ජාතික සංවිධාන වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් එම කුමන්ත්‍රණයද පරාජය කිරීමට හැකියාව ලැබුණි.

රණවිරු දඩයමට රණවිරුවන් කෙසේ මුහුණදේද යන්න බලා ඉන්නවා විනා මේ වන විට වෙන කළ හැකි දෙයක් නොමැති තත්ත්වයකට කලකදී ජිනීවාගොස් කලබැගැනි කළ සියළු දේශප්‍රේමී කොටස් පත්ව තිබේ. සමහර විට යුද අපරාධ චෝදනා එසේ තිබියදී වෙනත් ගනුදෙනු මගින් දඬුවම් මගහැර ගැනුමට රණවිරුවන්ට හැකිවේවි යන්නෙන් යම් යම් දිරිගැන්වීම රණවිරුවන් හට ලැබෙනවා විය හැක. ඒවාද හුදු පොරොන්දු විය හැකියි. නැතහොත් ලෝබෙන්ගුලා වර්ගයේ වරදානද විය හැකිය. එසේ නොවුණහොත් කුප්‍රකට වාර්තාවේ සඳහන් ආඥාපතීන් හෝ ඉහළම ප්‍රධානීන් ලෙස හෝ වගකිව යුත්තන් යුක්තිය හමුවට ගෙන ආ යුතුය යන්න සනාථ කරමින් මෙම ලිපියේ ආරම්භයේ සඳහන් කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය නැවත මතුවී ඇති ආකාරයට කෙදිනක හෝ මතුවිය හැකිලෙස වරෙක හිටපු විදේශ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා පැවසූ පරිදි හිස උඩින් කෙස් ගසකින් එල්ලා තිබෙන තියුණු අසිපතක් ලෙස පවතිනු ඇත.

කුප්‍රකට වාර්තාව පිළිබඳව ඒ ආකාරයට විවිධ පැති ඔස්සේ විශේෂත්ව ඇති නමුදු වත්මන් රජයට සහ පසුගිය රජයටද පොදු විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා වටා සිටි සහ සිටින උපදේශකයින් කුප්‍රකට වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව නිවැරදි තොරතුරක් ජනාධිපතිවරයා හට ලබා නොදී තිබීම හෝ ලබා නොදෙන බවයි. එදා ජනාධිපතිතුමාට කුප්‍රකට කෙටුම්පතේ යුද අපරාධ චෝදනා තිබෙන බව අපිට පැහැදිලි කර දීමට හැකි වුණිද අද වනතුරුත් සමහර ප්‍රභල රණවිරුවන් තමුන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා ඇති බවක් දන්නා බවක් පෙනෙන්නට නැත.

එසේම රටේ ජනතාවගෙන් සෑහෙන ප්‍රමාණයක්ද රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා ඇති බවක් නොදන්නා බව පෙනෙන්නට ඇත. එසේම යුද අපරාධ චෝදනා ඇති නමුදු ඒ කුමන චෝදනාද යන්නද නොදන්න බවත් පෙනෙන්නට ඇත. එබැවින්, රණවිරු දඩයෙමේ නැවත හැරවිය නොහැකි අවස්ථාව පසු කිරීමට අද සිට දින 180 කටත් නොඅඩු කාලයක් පවතින මෙම අවස්ථාව කුප්‍රකට මහා කෙටුම්පතේ සඳහන් යුද අපරාධ චෝදනා මොනවද යන්න පැහැදිලි කිරීමට යොදා ගැනීමට අප බලාපොරොත්තු වන්නෙමු. එම චෝදනා කොටස් වශයෙන් ඉදිරියේදී ලංකා ලීඩ් නිවුස් මගින් ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු.

යසස් ධර්මදාස,
ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව
සභාපති, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය



One thought on “කිසිවෙකුටත් මග හැරිය නොහැකි යුද අපරාධ චෝදනා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවේ සෑම මැති ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය අල්ලගන්නේ වලිගයෙන් – ජාතික ගොවි ව්‍යාපාරය.

ජාතික ගොවි ව්‍යාපාරය නම් වූ සංවිධානයක ලේකම්වරයා ලෙස හඳුන්වන ගොවි මහත්මයෙකු ලංකා ලීඩ් නිවුස් අමතා සඳහන් කළේ අප රටේ සෑම ඇමතිවරයෙක්ම ...


Read More

රටට උවමනා – ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට

📌රටට උවමනා - ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට 📌202...


Read More

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බළකාය ගැසට් කෙරේ

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජ...


Read More