පුරවැසි කොලම

මීට වසර තුනකට පෙර, එනම් 09/08/2019 දින අංක 2035/61 යටතේ ගැසට් කරන ලද ශ්‍රී ලංකාවේ බලශක්ති ප‍්‍රතිපත්තිය දස වැදෑරුම් උපායමාර්ගික රාමුවක් මත පදනම්ව ඉදිරිපත් කර ඇත. ඒ අතුරින් තුන්වැන්න ජාතික ආර්ථිකයට ප‍්‍රශස්ත පිරිවැය සහිතව බල ශක්තිය යොදා ගැනීම වන අතර අටවැන්න බලශක්ති ක්ෂේත‍්‍රය තුළ යහපාලනය ශක්තිමත් කිරීමය. ඒ අනුව එම ප‍්‍රතිපත්තියේ අංක 3.8.2 වගන්තිය ප‍්‍රකාරව බලශක්තියට අදාළ සෑම ගණුදෙනුවකදීම තරගකාරී ලංසු වලට අනුව මිලදී ගැනීම් සහ ආයෝජන සිදු කළ යුතුය. එම ප‍්‍රතිපත්තියේ හතරවැනි උපාය මාර්ගික ප‍්‍රවේශය වන බලශක්ති කාර්යක්ෂමතාව සහ පරිසර ආරක්ෂණය අනුව දැනට පවතින ඩීසල් බලාගාර ද්‍රවිකෘත ස්වභාවික ගෑස් බලාගාර බවට පරිවර්තනය කිරීම සඳහා මීට වසර තුනකට පමණ පෙර පරිපාලන ක‍්‍රියාමාර්ග ආරම්භවිය. ඒ අනුව කෙරවලපිටිය යුගදනවි බලාගාරය ආශ‍්‍රිතව මෙගා වොට් 300ක ද්‍රවිකෘත ස්වභාවික ගෑස් හෙවත් LNG බලාගාරයක් අභිනවයෙන් ඉදි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබීය‘ එම පාටි පාටියේ අක‍්‍රමිකතාවයක් හේතුවෙන් රජයට අයත් ලක්දනවි සමාගම අධිකරණය ක‍්‍රියාවලියකට යොමු වූ අතර එම ක‍්‍රියාදාමය ඇනහිටින ලදී.

ඉන්පසුව 12/2/2020 දිනඅමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් මගින් එවකට විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා අත්හිටුවන ලද නව ගෑස් බලාගාරය කඩිනමින් ඉදි කළ යුතු බවට ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගනු ලැබීය. ඉන්පසුව 2020 ජුනි සහ ජූලි මාසවල දී තවත් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා දෙකක් මගින් එම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවීම සඳහා උපාය මාර්ගික ප‍්‍රවේශයක් අනුමත කර ගනු ලැබීය. ඊට අනුව ස්වාධීන බලශක්ති නිෂ්පාදකයකු ලෙස ආයෝජකයෙකු ජාත්‍යන්තර තරගකාරී මිලගණන් කැඳවීම මගින් සොයාගතත යුතු බවට තීරණය විය. ඒ අනුව පාවෙන ගෑස් ගබඩාවක්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ කෙරවලපිටිය සිට කැළණිතිස්ස දක්වා ගෑස් නල පද්ධතියක් ඉදි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට තීන්දු කළ අතර ඊට අදාළ සාකච්ඡා ක‍්‍රියාවලිය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා කමිටුවක්ද පත් කරනු ලැබීය. නමුත් එහිදී ගෑස් සැපයීමේ කොන්ත‍්‍රාත්තුව සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකලේ නැත. විදුලි ඉංජිනේරු සංගමයට අනුව යටිතල පහසුකම් සහ ගෑස් සැපයීම එක් පාර්ශවයකට ලබාදීම මගින් තරගකාරී මිලට ගෑස් ලබා ගැනීමට බාධාවකි. එබැවින් එසේ නොකළ යුතු බවට ජාතික බලශක්ති ප‍්‍රතිපත්තියට අනුව විදුලිබල මණ්ඩලය විසින් තීන්දුවක් ගෙන ඇත.

එහෙත් මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් 2020ජුලි මාසයේ දී ඇමෙරිකානු තානාපතිනිය විසින් ඉහත ටෙන්ඩර් කැඳවනු ලැබූ යටිතල පහසුකම් ව්‍යාපෘති ත‍්‍රිත්වයට අමතරව ගෑස් සැපයීමද ඇතුළත් යෝජනාවක් තමාට ඉදිරිපත් කළ බව අමාත්‍ය මණ්ඩලයට දන්වා ඇත. නමුත් එහිදී පවා ඔහු විසින් සඳහන් කර ඇත්තේ ආයෝජකයා ජාත්‍යන්තර තරගකාරී ටෙන්ඩර් කැඳවීම මගින් තෝරා ගත යුතු බව ය. ඉන්පසුව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් 19/10/2020 දින අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව ක් ඉදිරිපත් කර ඇත.ඒ මගින් ඇමරිකානු තානාපතිනියගේ මැදිහත්වීම මත නිව්ෆෝට‍්‍රස් එනර්ජි(NFE) නම් සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව සමඟ ඊට අදාළව වෙනත් ආයෝජකයන් විසින් ඉදිරිපත් කරන ප‍්‍රති යෝජනා සියල්ල ඇගයීමට ලක් කළ යුතු බවට යෝජනා කරනු ලැබීය. ඒ අනුව එම ඇගයීම් කටයුතු සහ ඉදිරි ක‍්‍රියාමාර්ග සඳහා ව්‍යාපෘති කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ඇගයීම් කමිටුවක් පත් කරනු ලැබීය.

පළමු වරද සහ දෙවන වරද

ඉන් පසුව ඉහත සඳහන් කළ ව්‍යාපෘති ත‍්‍රිත්වය සඳහා පමණක් එනම් ගෑස් සැපයීමේ කොන්ත‍්‍රාත්තුව නොමැතිව 18/2/2021දින ටෙන්ඩර් කැඳවනු ලැබීය. එම ටෙන්ඩර් විවෘත කලයුතු දිනය 18/06/2021 වුවද තවත් සතියකින් එනම් 25/06/2021 දක්වා කාලය දීර්ඝ කරනු ලැබීය. නමුත් එම කාලය තුළනිව්ෆෝටෙ‍්‍රස් එනර්ජි (NFE) නම් වූ ඇමරිකානු සමාගම ටෙන්ඩර් ක‍්‍රියාවලියට සහභාගී නොවීය. ඒ වෙනුවට එම සමාගම විසින් අපේ‍්‍රල් මාසයේදී තරගකාරී නොවන යෝජනාවක්(Unsolicited Proposal)  මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කළ බව මුදල් අමාත්‍යවරයා විසින් තම 1/7/2021 දින දරණ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකවා මගින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙනු ලැබීය. එම පත‍්‍රිකාව 5/7/2021 දින සම්මත වූ අතර ඒ මගින් නිව්ෆෝටෙ‍්‍රස් එනර්ජි සමාගම ගෑස් සැපයීම ඇතුලත්වන අකාරයට ආයෝජන ක‍්‍රියාවලින් 5ක් සඳහා එකඟ වූ බව අමාත්‍ය මණ්ඩලයට දන්වා ඇත. ඒ අනුව දැනට ඩීසල් මගින් ක‍්‍රියාත්මක වන යුගදනවි බලාගාරය ගෑස් බලාගාරයක් බවට පරිවර්තනය කිරීම සහ එම බලාගාරය පාලනය කරන වෙස්ට් කෝස්ට් පුද්ගලික සමාගම(WCPL)  නම් වූ රජයට අයත් සමාගමේ කොටස් වලින් 40% මිලදී ගැනීමට නිව්ෆෝට්‍රොස් සමාගම එකඟ වී ඇත. ඊට අමතරව එම සමාගම ඉහත ටෙන්ඩර් කැඳවන ලද ව්‍යාපෘති ත‍්‍රිත්වයට අදාළ ආයෝජන මෙන්ම මෙගාවොට් 350ක නව ගෑස් බලාගාරය ඇතුළු බලාගාර පද්ධතියට LNG ගෑස් සැපයීමට එකඟ ඇත.

කෙසේ වෙතත් පුදුමයට කාරණයක් වන්නේ පළමු වරට අදාළ ආයෝජන පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරනු ලබන්නේ එම අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව මගින් වුවත් නිව්ෆෝට්‍රොස් සමාගමේ යෝජනාඇගයීම් සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් විශේෂඥ තාක්ෂණික කමිටුවක් පත් කිරීමය. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් එවැන්නක් සිදු කළ බව අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවේ සඳහන් වුවද එවැනි කමිටුවක් පත් කිරීම සඳහා ඔහු විසින් මුදල් අමාත්‍යවරයා හරහා ඊට පෙර ඉදිරිපත් කරන ලද පත‍්‍රිකාවක් මගින් අවසර ලබාගෙන නැත. විදේශීය ආයෝජකයෙකු සමඟ ව්‍යාපෘති යෝජනාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සහ ව්‍යාපෘතිය ඇගයීම සඳහා කමිටුවක් පත් කළ යුත්තේ අමාත්‍ය මණ්ඩලය විසිනි. ඒ අනුව අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව සකස්කළ මුදල් අමාත්‍යංශයේ සහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා චේතනාන්විතව වරදක් සිදුකර ඇති බව පැහැදිලි වේ. එම වරද ඔහු විසින් සිදුකළ පළමු වරද නම් එම කමිටුවට මහජන උපයෝගිතා කොමිසමේ නියෝජිතයකු පත් නොකිරීම දෙවන වරද ලෙස සැලකිය හැක.

තුන්වන සහ හතරවන වරද

ඊට පසුව 6/9/2021 දින ඉදිරිපත් කළඅමාත්‍යවරුන් අතර ආන්දෝලනයට ලක්වූ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව මගින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පත්කළතාක්ෂණික කමිටුවට භාණ්ඩාගාර නිළධාරින්, බලශක්තිය අමාත්‍යංශයේ සහ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම විදුලිය සහ ගෑස් පිළිබඳ විශේෂඥයින් ඇතුළත් වූ බව පිළිගෙන ඇත. මහජන උපයෝගීතා කොමිසම් පනත අනුව ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ට අදාළ කොන්දේසි අනුමත කිරීමේ බලය ඇත්තේ එම කොමිසමට ය. ඒ අනුව එම දෙවන වරදද චේතනාන්විත බව පැහැදිලි වේ. කෙසේ වෙතත් එම විශේෂඥ තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත මූලික ගිවිසුම් රාමුවක් (Frame Work Agreement)  අත්සන් කිරීම සඳහා ඊට පෙර ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව මගින් අවසර ඉල්ලා තිබූ අතර අදාළ ගිවිසුම ද පත‍්‍රිකාවට අමුණා තිබුණි. එහෙත් 1/7/2021 දින දරණ එම පත‍්‍රිකාව 5/7/2021දින පැවැත්වීමට නියමිත වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර නොතිබුණි. ඒ අනුව එම පත‍්‍රිකාව සහ අදාළ ගිවිසුම කල්වේලා ඇතිව අමාත්‍යවරුන්ට ලබාදී නොමැති අතර එය සාකච්ඡාවට ගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව අතරතුර ය.

ඒ අනුව එසේ අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර පූර්ව අවබෝධයක් ලබාගත නොහැකි වන ආකාරයට පත‍්‍රිකාව ඉදිරිපත් කිරීම තුන්වන චේතනාන්විත වරද ලෙස සැලකිය හැක. එම වරද නැවත වරක් 6/9/2021 දින දරන ආන්දෝලනයට ලක්වූ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව ට අදාළව ද සිදු කළ බැවින් එම වරද චේතනාන්විත වරදක් ලෙස සැලකීම සාධාරණ වේ. එම දෙවන අවස්ථාවේදී අදාල පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවා සාකච්ඡාවටට ලක් නොවූ බව යම් අමාත්‍යවරුන් විසින් මාධ්‍ය වෙත පවසනු ලැබීය.එම අමාත්‍යවරුන්ට අනුව ඔවුන් එවැනි පත‍්‍රිකාවක් සම්මත වූ බව දැන ගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ වාර්තාව නිකුත් වීමෙන් පසුවය. කෙසේ වෙතත් ඊට පෙර 5/7/2021 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීම මගින් 1/7/2021 දින පත‍්‍රිකාව සමග අමුණා තිබූ මූලික ගිවිසුම් රාමුව අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පවරනු ලැබීය.ඒ අනුව දින දෙකක් ඇතුළත එනම් අදාල අමාත්‍ය මණ්ඩල රැස්වීමේ වාර්තාව නිකුත් වීමට පෙර 7/7/2021 දින අදාළ ගිවිසුම අත්සන් කරනු ලැබීය.නමුත් ලේකම්වරයාට සැබෑ ලෙසම බලය ලැබෙන්නේ අදාල රැස්වීම වාර්තාව සම්මතවීමෙන් පසුව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් ඒ බව දැනුම් දීමෙන් පසුවය. ඒ අනුව එම වරද හෙවත් හදිසිවීම හතරවන චේතනාන්විත වරද ලෙස සැලකිය හැක.

පස්වන වරද සහ හයවැනි වරද

ඊට අමතරව6/9/2021 දින දරන සහ එදිනම සාකච්ඡාවට ලක්වූ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවට අනුව නව ගෑස් බලාගාරයක් ඉදිකිරීම සඳහා පිහිටුවනු ලැබූ ‘‘සොභාදනවි’’ නම් වූරාජ්‍ය සමාගම සමග භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ක‍්‍රියාත්මක කිරීමේ ගිවිසුමක්(Implementation Agreement)අත්සන් කර ඇත. නමුත් මෛගාවෝට් 350ක් එම බලාගාරයට අදාළව එවැනි ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගෙන නැත. එසේවුවත් අදාල පත‍්‍රිකාව අනුව ඔහු විසින් ඊට අත්සන් තබා ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් පසුවය. ඒ අනුව5/7/2021 දින සිට 6/9/2021 දින දක්වා පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීම් 8ක න්‍යාය පත‍්‍ර පිරික්සීමේ දී පෙනී යන්නේ එම විෂයට අදාළව අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් මුදල් අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර නොමැති බවය. එසේනම් එසේ අමාත්‍ය මණ්ඩලය නොමග යැවීම පස්වන චේතනාන්විත වරද බවට පත්වේ. එවැනි පත‍්‍රිකාවක් න්‍යාය පත‍්‍රයට ඇතුළත් නොකරසාකච්ඡාවට ගැනීම ද ඉහත සඳහන් කළ ආකාරයට චේතනාන්විත වරදකි.

ඊට අමතරව ඇමරිකාවේ නිව්ෆෝටෙ‍්‍රස් සමාගම විසින් 13/7/2021 දින නිකුත් කළ නිවේදනයකට අනුව එම සමාගම විසින් ශ්‍රී ලංකාවේ ලක්දනවි සමාගම සමඟ මෙගාවොට්350 නව ගෑස් බලාගාරයක් ඉදි ඉදිකිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. එසේම එම සමාගම 8/7/2021 දින ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර ලේකම් සමඟ මූලික ගිවිසුම් රාමුවක් අත්සන් කළ බව එම නිවේදනයේම සඳහන් වේ. ඒ අනුව 7/7/ 2021මූලික ගිවිසුම් රාමුවක් අත්සන් කිරීම සත්‍යක් වන බැවින් අවබෝධතා ගිවිසුම පිළිබඳ නිවේදනය ද සත්‍යයක් ලෙස පිළිගත හැක. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට 1/7/2021අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව මගින් හෝ ඊට පසුව 6/9/2021 පත‍්‍රිකාව මගින් එවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව පිළිගෙන නැත. ඒඅනුව එම තොරතුරු අමාත්‍ය මණ්ඩලයට වසන් කිරීම හයවැනි චේතනාන්විත වරද ලෙස සැලකිය හැක. කෙසේ වෙතත් අවසානයට ඉදිරිපත් කළඅමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව, එනම් 6/9/2021 දින පත‍්‍රිකාව මගින් ඇමරිකාවේ නිව්ෆෝටෙ‍්‍රස් සමාගම සමඟ වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස් විකිණීම සහ මිලදී ගැනීමට අදාළ ගිවිසුමක් (SSPA )අත්සන් කිරීමට බලය ලබා දී ඇත.

හත්වන , අට වන, නව වන  සහ දස වන වරද

එසේවුවත් එවැනි ගිවිසුමක අඩංගු වන්නේ කුමක්දැයි අමාත්‍යවරුන් ගේ දැන ගැනීම සඳහා අදාළ ගිවිසුමේ පිටපතක් 6/9/2021 දින අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව සමග ඉදිරිපත් කර නොතිබුණි. නමුත් අදාළ සමාගම සමඟ ගෑස් විකිණීමට අදාළ කොන්දේසි අඩංගු ගිවිසුම(GSTS) අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවට අමුණා තිබුණි. ඒ අනුව කොටස් විකිණීමට අදාළ ගිවිසුම ඉදිරිපත් නොකිරීම හත්වන චේතනාන්විත වරද ලෙස සැලකිය හැක. ඊට අමතරව එසේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ලක්නොවූ ගිවිසුමක් අත්සන් කිරීම මගින් බැඳීම් ඇති කර ගැනීම අට වන චේතනාන්විත වරද බවට පත්වේ. නමුත් එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලයේ පසු අනුමැතියට(Ratification)ඉදිරිපත් කරන බව අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවේ සඳහන් කර ඇත. ඒ ආකාරයට අමාත්‍ය මණ්ඩලයට මහජනයා විසින් ලබා දී ඇති පරමාධිපත්‍ය බලය හාස්‍යයට ලක් කිරීම නව වන චේතනාන්විත වරද බවට පත්වේ. එය චේතනාන්විත වරදක් බවට පත්වෙන්නේ අමාත්‍ය මණ්ඩලය සතු පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කිරීම සඳහා බලය පවරනු ලබන ඉහළම නිලධාරියා භාණ්ඩාගාර සහ මුදල් ලේකම්වරයා වන බැවිනි. මෙම සමස්ථ ක‍්‍රියාවලිය තුළ තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආයෝජකයා තෝරා ගැනීම මගින් 2019දී ගැසට් කරන ලද බලශක්ති ප‍්‍රතිපත්තිය වරපතළ ලෙස උල්ලංගණය වේ. එය දස වන චේතනාන්විත වරද ලෙස හැදින්විය හැක.

අල්ලස් සහ දූෂණ පනත යටතේ අපරාධ වරදක් වන එකොළොස්වන වරද

අවසන වශයෙන් මෙම ක‍්‍රියාවලිය තුළ එකොළොස්වන වරදක් ද සිදු වී ඇත.එය සියලූ වැරදිවලට වඩා ප‍්‍රබලතම වරදක් වුවද එය චේතනාන්විතව සිදු නොකළ බවට යම් තර්ක ඉදිරිපත් කළ හැක. එසේ වුවත් නිලධාරියෙකු විසින් රජයට පාඩු සිදුවන වරදක් චේතාන්විතව හෝ එසේ නැතිව හෝ නොසැලකිලිමත් භාවය නිසා සිදුකළහොත්එය අල්ලස් සහ දූෂණ පනත යටතේ අපරාධ වරදක් බවට පත්වේ. එම වරදේ පැතිකඩ දෙකක් ඇත. පළමුවැන්න විදුලිබල මණ්ඩලය විසින් නොකළ යුතු බවට ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබියදී ගෑස් සැපයීමට අදාළ යටිතල පහසුකම් සහ ගෑස් සැපයීමේ කොන්ත‍්‍රාත්තුව එකට සම්බන්ධ කිරිම මගින් තරගකාරී මිලට ගෑස් ලබාගැනීමේ අවස්ථාව අහිමි වීමය. එ් අනුව ඊට අදාලව කුමන හෝ බැඳීම් සහිත ගිවිසුමක් අත්සන් කිරීම මගින් රජයට පාඩු සිදුවන බැවින් දූෂණයට අදාළ වරදක් සිදු වේ.

දොළොස්වන  සහ දහතුන්වන  වරද

එසේම ඒ මගින් තවත් බරපතළ දේශපාලන ප‍්‍රතිපත්තිමය වරදක් ද සිදු වේ. එනම් රටේ බලශක්ති සුරක්ෂිතතාවය අනතුරට ලක්වීමය. එය ජාතික බලශක්ති ප‍්‍රතිපත්තියටපටහැනි වන අතර ඒ පිළිබඳව වරද මුදල් අමාත්‍යවරයාට ද පැවරේ. කෙසේවෙතත් විදුලිබල සහ බලශක්ති යන අමාත්‍යවරුන් දෙදෙනාටද එම වගකීමෙන් නිදහස් විය නොහැක. නමුත් මුදල් අමාත්‍යවරයා විසින් අදාල අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරුන් සමග ඒකාබද්ධ පත‍්‍රිකා ලෙස ඉදිරිපත් නොකිරීම පටිපාටියට සහ සදාචාරයට අනුකූල නොවේ. එසේ වුවත් මුදල් අමාත්‍යවරයා හෝ මුදල් ලේකම්වරයා වරදක් කළ පමණින් අදාළ අනෙකුත් අමාත්‍යවරුන්ට තම වගකීමෙන් නිදහස් විය නොහැක. ඊට හේතුව අමාත්‍ය මණ්ඩලයේදී පළමු වටයේදීම ප‍්‍රශ්න කිරීම මගින් එම වරද නිවැරදි කිරීමට ඉඩ තිබීමය. කෙසේ වෙතත් එම වරද දොළොස්වන බවට පත් වේ.ඉහත සඳහන් කළ රජයට පාඩු සිදුවන වරදට අදාල දෙවන පැතිකඩ වන්නේ දීර්ඝකාලීනව ගෑස් මිළදී ගැනීමේදී අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් අනිවාර්යයෙන් මිලදී ගන්නා බවට එකඟ වීම ය. එනම් පාවිච්චියට නොගන්නා ගෑස්වලට ද මුදල් ගෙවීමට එකඟ වීමය. එම වරද වඩාත් බරපතළ දූෂණ වරදක් වන්නේ සෑම මාසයකම ගෑස් වලට ගෙවීම් සිදු කිරීමේ දී ඊට පෙර මාසයේ දී භාවිතා නොකළ ගෑස් ප‍්‍රමාණය නැවත විකිණීම මගින් අධික ලාභයක් ලැබීමට විදේශීය සමාගමකට අවස්ථාව ලැබීමය. එම වරද දහතුන්වන චේතනාන්විත වරද ලෙස හැදින්විය හැක. මෙම වැරදි සියල්ලට අදාළව ගනු ලබන පියවර අනුව රටේ බලශක්ති සුරක්ෂිතතාවය පමණක් නොව ආණ්ඩුවේ පැවැත්ම ද තීරණය විය හැක.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවේ සෑම මැති ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය අල්ලගන්නේ වලිගයෙන් – ජාතික ගොවි ව්‍යාපාරය.

ජාතික ගොවි ව්‍යාපාරය නම් වූ සංවිධානයක ලේකම්වරයා ලෙස හඳුන්වන ගොවි මහත්මයෙකු ලංකා ලීඩ් නිවුස් අමතා සඳහන් කළේ අප රටේ සෑම ඇමතිවරයෙක්ම ...


Read More

රටට උවමනා – ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට

📌රටට උවමනා - ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට 📌202...


Read More

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බළකාය ගැසට් කෙරේ

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජ...


Read More