දේශීය පුවත්

මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ හෙලීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට   හසුනොවී  සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා සහාය වන්නැයි  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  ජනතාවගෙන් ඉල්ලයි.

අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක කර්මාන්තය තුලින්  කොවිඩ්  වසංගතය ව්‍යාප්ත වන බවට ජනතාව තුළ අනිසි බියක් ඇති කිරීමට ඇතැමුන් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි.

එවන් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට සහය දැක්වීම වෙනුවට සංචාරක ව්‍යාපාරය දෙස වපර ඇසින් නොබලා සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම තුළින් මෙරට ආර්ථිකය  ශක්තිමත් කිරීමට එක්වන්නැයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (28) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී මෙම අදහස් පළ කළේය. සාකච්ඡාව පැවැත්වූණේ මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදවයි.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.

“පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට වඩාත් අභියෝගයන්ට ලක් වූ ක්ෂේත්‍ර දෙක වන්නේ සංචාරක හා ගුවන් ක්ෂේත්‍ර යයි. ගෝලීය කොවිඩ්  වසංගතය මෙරට සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් ඇති කලත් රජය විසින් ක්‍රියාත්මක කරන වේගවත් එන්නත් කරන වැඩසටහන සහ සංචාරක සේවා සැපයුම්කරුවන්ගේ ආරක්ෂිත සහ සුරක්ෂිත භාවය සහතික කිරීමේ වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා සුරක්ෂිත රටක් ලෙස  ලෝකයට තහවුරු කිරීමට අපට හැකි වී තිබෙනවා. මේ වන විට මෙරට සමස්ත ජනගහනයෙන්  සියයට හැටකට (60%) කට වැඩි පිරිසකට එන්නත් කරනය කර ඇති අතර ජනාධිපතිතුමාගේ සහ වත්මන් ආණ්ඩුවේ කැපවීම මත අපට ඒ කටයුත්ත සිදු කිරීමට හැකි වුණා.

කොවිඩ් වසංගතය නිසා  බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මේ වන විට ලෝකය නැවත සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත කෙරෙමින් පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවත් කොවිඩ්  වසංගතය සමඟ සංචාරක ව්‍යාපාරය යළි නංවාලීමේ අසීරු අභියෝගාත්මක ඉලක්කය වෙත යාමට  වෙහෙස මහන්සි වෙනවා. පසුගිය දෙසැම්බර් 26 වෙනිදා අපි සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතිය ආරම්භ කළා. පසුගිය ජනවාරි 21 වෙනිදා අපි රට සංචාරකයින්ට නිල වශයෙන් විවෘත කළා. ලක්ෂ තිහක පමණ යැපෙන මේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම දෙස ඇතැමුන් බලන්නේ වපර ඇහෙන්. ඔවුන් සංචාරකයන්ට රට යළි විවෘත කිරීමට එරෙහිව විවිධ දුර්මත ජනතාව තුළ මතු කරනවා. සංචාරකයන් නිසා රටේ කොවිඩ්  වසංගතය  ව්‍යාප්ත වූ බවට තිබෙන චෝදනාව ඉන් ප්‍රධානයි. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයින් පනස් දහසකට වැඩි පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. එයින් කොවිඩ්  ආසාදිතයින් ලෙස වාර්තා වන්නේ 270ක් පමණයි. සංචාරක ව්‍යාපාරය සාර්ථක මට්ටමකට පැමිණිය හොත්  රට ආර්ථික වශයෙන් ශක්තිමත් වන බවත් මෙම කුමන්ත්‍රණ කරුවන් දන්නවා. ඔවුනට අවශ්‍ය වන්නේ සංචාරකයන්ට හැමදාම රට වහල තියන්නයි. කොවිඩ්  නිසා හැමදාම රට වහන්න බැහැ. කොවිඩ්  නිසා සංචාරකයින්ට රට වහලා තියන්නත් බැහැ.ඒ නිසයි අපි තීරණය කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයින්ට රට විවෘත කරන්න. පූර්ණ එන්නත් කරනයට ලක් වූ සංචාරකයකුට ගුවන් තොටුපළේ දී සිදුකෙරෙන පී.සී.ආර් වාර්තාව නෙගිටිව් නම් ඔහුට රටේ ඕනෑම තැනක සංචාරය කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. අපි මේ වන විටත් කොවිඩ් පූර්ණ එන්නත් කරනයට ලක් වූ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කොට තිබෙනවා. අපේ ඉලක්කය ඉදිරි මාස තුන තුළදී 20,000- 30,000 ත් අතර සංචාරකයින් පිරිසක් අපේ රටට ගෙන්වා ගැනීමයි. ලබන වසරේ දී ලක්ෂ පහමාරක් සංචාරකයින් දිවයිනට පැමිණෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. අපේ ඉලක්කය ඊටත් වඩා වැඩි පිරිසක් රට තුළට ගෙන්වා ගැනීමයි.

මේ වන විට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ගුවන්තොටුපල සහ ගුවන් සේවා වර්ධනය කිරීමටත් අප කටයුතු කර තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවට ගුවන් සමාගම් විස්සක් පමණ සෘජු ගුවන් ගමන් ආරම්භ කර මගින් රැගෙන එනවා. තවත් ගුවන් සමාගම් හතක් ඉදිරියේ දී ශ්‍රී ලංකාව සමඟ සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. රුසියානු ප්‍රංශ,ඉතාලි, ඊශ්‍රායල් ගුවන් සමාගම් ඒ අතර වෙනවා. ඒ වගේම කටුනායක මත්තල සහ යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමටත් අප දැනටමත් කටයුතු කරගෙන යනවා. එලෙසම සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනයට අප කටයුතු කරගෙන යනවා. ඒ සදහා අන්තර් අමාත්‍යංශ කමිටුවක් පත්කළා. ඒ කමිටුව මේ වන විට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගී වුහ.

– ප්‍රදීප් අනුර කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More