පුරවැසි කොලම

ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වෙලාද?

ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මුල සිටම දෙතුන් විදිහකට මත දැරූ එකතුවක්. ඒ වගේම දේශපාලන පක්ෂ ගණනාවක එකතුවක්. ඒක නිසා ඒකාබද්ධ විපක්ෂයේ විවිධ මතිමතාන්තර තියෙන්න පුළුවන්.

නමුත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය රහස් ඡන්දයෙන් තෝරන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය තුළ පැහැදිලිවම බෙදීමක් දක්නට ලැබුණා නේද?

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙලා, ඒකමතික තීන්දුවක් ගත්තා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පත් කරන්න. එහෙම ඒකමතික තීන්දුවක් ගෙන තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනකු පමණ මැතිසබයේ ඉඳලා ඡන්දය ප්‍රකාශ කිරීමට නම අඬගසන වෙලාවේ මැතිසබයේ සිටියේ නැහැ. ඒක ප්‍රශ්නයක්.

මේ ත්ත්ත්වය ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ගමනට බලපාන්නේ කොහොමද?

ඒක අපිට පසුබෑමක්. යූ.ඇන්.පී.යේ බලය නැති කරන්නයි අපට වුවමනා වෙලා තියෙන්නේ. යූ.එන්.පී. අපේක්ෂකයාට වැඩිම හොඳ තරගයක් ලබාදීමේ වුවමනාව අවම වශයෙන්වත් ලබාදීමේ අවස්ථාව අපට තිබුණා. ඒ වුවමනාවට පිටුපාමින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට වඩා පහසු ජයග්‍රහණයක් ලබාදීම මේ අයගේ වැළකී සිටීම නිසා හැකිවුණා. අපේ කෙනකු නොදා ජයග්‍රහණය ගැන සිතාමයි සුදර්ශනී දැම්මේ.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් මෙසේ ඡන්දය ප්‍රකාශ නොකිරීමේ අරමුණ වෙන්නට ඇත්තේ කුමක්ද?

සැබෑ අරමුණ මොකක්ද කියලා මං දන්නේ නැහැ. ඒක අහන්න වෙන්නේ ඡන්දය නොදීමට පැමිණි අයගෙන්. එම අරමුණ ගැන මට හිතෙන දේ මං කියන්නම්. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අගමැතිවරයාට එරෙහිව අපි ගෙනා විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදීලා ආණ්ඩුවෙන් එළියට ආවත් එයා අපේ කෙනෙක් නෙවී යන හැඟීම සමහරවිට තිබුණා වෙන්න ඇති. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඉන්න කෙනෙක්. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට සහයෝගය ලබාදීම නිසා එක්සත් ජාතික පක්ෂයට සිදුවන පරාජය එතරම් වැදගත් එකක් ලෙස නොසලකා මෙවැනි තීරණයක් ගත්තාද කියන සැකයත් මතු වෙනවා.

එවැනි පුළුල් බලවේගයක් ගොඩනඟන්නේ කෙසේද?

මෙවැනි තත්ත්වයක් ඉදිරියටත් පැවතුණොත් ඒක යම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ක්‍රියාමාර්ග ගත යුතුයි. එහෙම තීරණ ගන්න හදන විට ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් තමයි නියෝජ්‍ය කතානායක තෝරන ඡන්ද විමසීමේදී සිදුවුණේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් යම් ඒකමතික තීන්දුවක් ගත්තා නම් එම තීරණය පසුව වෙනස් වන්නේ කොහොමද?

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජනය කරන ප්‍රදේශයේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් යම් යම් කරුණු ඉදිරිපත් කරලා තිබුණා. නමුත් එම ගැටලු නිරාකරණය කරගන්නාතුරු එම ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් දෙතුන් දෙනකුට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාවක් තිබෙන බවට එම රැස්වීමේදී තීරණය වුණා. ඡන්දය දෙන්නම බැරි නම් විරුද්ධ නොවී නිහඬව ඉන්න කියා අවසරය තිදෙනකුට පමණ ලබාදීලා තිබුණා.

ඔබ දන්න විදියට එම ප්‍රදේශවල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත් සමඟ තිබෙන ගැටලුව මොකක්ද.

මම නම් දන්නේ නැහැ. ඒක ප්‍රාදේශීය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

ඔබ කියන ආකාරයට ප්‍රාදේශීය ගැටලු තියාගෙන දිස්ත්‍රික්කවල තිබෙන ගැටලු සමඟ ඔය කියන එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් ජාතික සන්ධානය ගොඩනඟන්නේ කෙසේද?
ඔව්. එහෙම ගැටලුවක් තිබෙනවා.

ජේ‍යෂ්ඨ දේශපාලනඥයකු විදියට ඔබ මෙම ගැටලුවට ලබාදෙන විසඳුම කුමක්ද?

ඒකාබද්ධ විපක්ෂය ඒකමතිකව එක් ඉලක්කයක් වෙත යා යුතුයි. අර භේද මේ භේද අත්හැරලා එකාවන්ව ඉදිරියට ගත යුතුයි. එක් එක් පුද්ගලයන්ගේ ප්‍රාදේශීය ප්‍රශ්න, දිස්ත්‍රික්කවල ප්‍රශ්න, විවිධ න්‍යාය පත්‍ර තියෙනවා නම් ඒවා ක්‍රියාත්මක කරමින් ඒකාබද්ධ විපක්ෂයට අදාළ ඉලක්කය වෙත යන්න ලැබෙන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් ඇති වෙනවාට නම් එක්සත් ජාතික පක්ෂය හුඟාක් සතුටු වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟද ඒකාබද්ධ විපක්ෂයේ මෙම මත ගැටුම් කරළියට ඇවිල්ලා තියෙන්නේ.

ඔව්. එහෙම කියන්න පුළුවන්. මේ 16 දෙනා සමඟ එකට වැඩ කිරීමේ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා වගේ පේනවා.

නමුත් 16 දෙනාගේ කණ්ඩායම ජාතික ආණ්ඩුවෙන් ඉවත්වෙලා විපක්ෂයේ අසුන් ගන්නා විට ඒකාබද්ධ විපක්ෂය ඔවුන්ව මහ ඉහළින් පිළිගත්තා නේද?

පිළිගත්තා පමණක් නොවෙයි, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට එන ලෙසට ආරාධනාත් කළා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අපි ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙනකොට ඒක හොඳයි. නමුත් සුදර්ශනී මහත්මිය නියෝජ්‍ය කතානායක වෙන එක නරකයි.

මේ 16 දෙනාගේ පැමිණීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ සංඛ්‍යාව 54 සිට 70 දක්වා වැඩිවුණා කියලත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා නේද?

ඔව්. ඒ ආඩම්බරයනේ නියෝජ්‍ය කථානායක තෝරන රහස් ඡන්දයේදී අපි නැති කරගත්තේ. මේ තත්ත්වය එක්සත් ජාතික පක්ෂයේ සතුටට කරුණක් වෙන්න පුළුවන්.

පසුගිය දිනවල නිතරම කතාකරපු දෙයක් තමයි පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි වෙනසකින් හරි වර්තමාන ආණ්ඩුව වෙනස් කරන්න ඕන කියන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳවත් කතා වුණා. නමුත් මෙහෙම මතභේද තියාගෙන ඒ කියන ආකාරයට මේ ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන්ද?

වර්තමාන ආණ්ඩුව වෙනස් කිරීමට සරල බහුතරයක් තිබුණොත් ප්‍රමාණවත්. ඒ කියන්නේ අවමය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 113 දෙනෙක්. ඒක සංඛ්‍යාත්මකව සිදුකරන්න පුළුවන් උපාය, උපක්‍රම තියෙනවා. මේ රටේ පොදු මහ ජනතාවගේ ආශීර්වාදයත් තියෙනවා. නමුත් මෙහෙම ප්‍රශ්න ඇති කරගෙන ගියොත් ආණ්ඩු පෙරළන්න ලැබෙන්නේ නැහැ. 16 දෙනාගේ කණ්ඩායම සමඟ ගැටලු තියෙන අය සහ ඒකාබද්ධ විපක්ෂය තුළ එකට වැඩ කිරීමේදී ගැටලුව මතුකරගෙන තියෙන අය අතරේ තවත් අදහසක් තියෙනවා. මේ ගැටලුවලට එම අදහසත් යම් ආකාරයකින් බලපාන්න ඇති.

මොකක්ද එම අදහස කියලා දැනගන්න කැමැතියි?

ඒ අදහස තමයි, මේ ආණ්ඩුව කඩන්න ඕන නැහැ කියන අදහස. මීළඟ ප්‍රධාන මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට හැකියාව තිබියදී මේ වෙලාවේ ආණ්ඩු පෙරළන්නේ නැතිව ඉඳලා මැතිවරණයෙන් ආණ්ඩුව පෙරළලා නව ආණ්ඩුවක් බිහි කරමු යන අදහස යටතේත් පිරිසක් ඉන්නවා. ඒක නිසා ආණ්ඩුව පෙරළලා නව ආණ්ඩුවක් බිහිකිරීමේ අරමුණෙනුත් කොටසක් ඉන්නවා.

ජනතාව මත බදුබර පැටවීම සහ රාජ්‍ය දේපළ විකිණීම වැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව පෙරළා දැමිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා. දැන්ම ආණ්ඩුවක් පිහිටුවන අදහසක් නැද්ද?

නියමිත අවස්ථාව එනතුරු අපි බලාගෙන ඉන්නවා.

කොහොමහරි වත්මන් ආණ්ඩුව පෙරළා දමා භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරි ප්‍රධාන මැතිවරණ පැවැත්වූවා නම් ඒකාබද්ධ විපක්ෂයට යම් වාසියක් අත්වීමට ඉඩ තිබුණා නේද?
වාසියක් පමණක් නෙවෙයි ඒක අවශ්‍යතාවක්. භාරකාර ආණ්ඩුවක් පත්කරනු ලබන්නේ අපිත් ඇතුළෙත් කමිටුවකින්. සමහරවිට අපේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරපු ආණ්ඩුවක් යටතේ ඡන්දය තියෙනවා. එවිට සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අවස්ථාවක් තියෙනවා. ඒක අපිට ලොකු වාසිදායක තත්ත්වයක්. එම වාසිදායක තත්ත්වය අපි ගන්නේ නැතිද කියන එක තමයි ප්‍රශ්නය.

මේ ගැටලුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරලා විසඳීමට බලාපොරොත්තු වන්නේ නැද්ද?

ඉතා ඉක්මනින් මෙම කාරණය ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර විස¼දාගන්නවා. මෙතැන තියෙන්නේ ඉතා පැහැදිලි මතවාද දෙකක්. කොටසක් කියන්නේ 2019 ජාතික මැතිවරණ පැවැත්වෙනතුරු මේ ආණ්ඩුවට ඔහොමම ඉන්න දෙමු කියලයි. අනෙක් කොටස කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මෙම ආණ්ඩුව පෙරළමු කියලයි. අපි ඉන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ ආණ්ඩුව පෙරළමු කියන මතවාදය සමඟයි. මේ ආණ්ඩුව පෙරළීම සඳහා හෝ මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට එරෙහිව පළල්ම සන්ධානය අප ගොඩනැඟිය යුතුයි. ඒ සඳහා ඒ අවස්ථාවට අදාළ උපාය, උපක්‍රම භාවිත කළ යුතුයි. කොහොමහරි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රටේ අගමැති බවට පත්කරන මෙහෙයුම ඉක්මනටම සිදුවිය යුතුයි.

2019 හෝ 2020 වෙනකම් බලාගෙන ඉඳලා තවදුරටත් මේ ආණ්ඩුව පිරිහුණාට පසුව ඔබලාට මැතිවරණයෙන් නව ජනවරමක් ලබාගෙන පැහැදිලි ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාව තිබියදී මේ අතරමඟදී ආණ්ඩුවලට කරගහන්න ඕන නැහැ කියලා මතයක් තිබෙනවා නේද?

ඔව්. මේ ආණ්ඩුව කුණුවෙලා, කුණුවෙලා හොඳටම කුණුවෙලා ගියාම වැඩි බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියලා මතයකුත් තියෙනවා. නමුත් මේ ආණ්ඩුව දිනෙන් දින රටට කරනු ලබන විනාශයන් එක්ක මිළඟට බලයට පැමිණෙන කණ්ඩායමට පාලනය කරන්න රටක් ඉතුරු වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ තරම්ම භයානක ගමනක් මේ ආණ්ඩුව ගමන් කරන්නේ. ඒකයි අපි කියන්නේ ලැබෙන පළමු අවස්ථාවේදීම මෙම යහපාලන ආණ්ඩුව පෙරළා දැමිය යුතුයි කියලා.

මේ වගේ ආසනවල දිස්ත්‍රික්කවලට යම් යම් ප්‍රශ්න තියාගෙන ඔබ කියන පුළුල් සන්ධානය ගොඩනඟලා ආණ්ඩුව පෙරළන්නේ කාහොමද?

මෙහෙම ගැටුම් එක්ක ගියොත් අපේ ප්‍රධාන ඉලක්කයට යෑමේ යම් පසුබෑමක් සිදුවෙන්න පුළුවන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නියෝජ්‍ය කතානායක ධුරය හිමිවීමද? එසේත් නොමැති නම් යම් ප්‍රදේශයක ප්‍රශ්නයක්ද? මෙම අර්බුදයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ?

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වුණු අවස්ථාවේදී අපි ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා එහාට ගිය ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම තමයි නියෝජ්‍ය කතානායක තෝරා පත්කර ගන්න අවස්ථාවේදී අපේ අරමුණ වෙලා තිබුණේ. අපිට ඕනවෙලා තිබුණේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයාට හොඳ තරගයක් ලබා දීම.

නමුත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැහැ. ඒ වගේම 16 කණ්ඩායම නියෝජනය කරන සමහරුනුත් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැහැ. එතකොට ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට පමණක් ‍ෙදාස් කියන්න බැහැ නේද?

ඔව්. එහි යම් සත්‍යතාවක් තියෙනවා. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැහැ. 16 කණ්ඩායමේ කිහිප දෙනෙක්ම විදේශගත වෙලා. නමුත් මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී කොහේ හිටියත් පැමිණිය යුතුයි. එම කටයුතු නිසියාකාරව සම්බන්ධීකරණය නොකිරීම ගැටලුවක්. ඒ වගේම දුර්වලතාවක්. නමුත් මැතිසබයේ ඉඳලා නම කියවන්න කලින් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් මැතිසබයෙන් එළියට යෑම ගැටලුවක්.

ඒකාබද්ධ විපක්ෂය සහ 16 දෙනාගේ කණ්ඩායම විපක්ෂයක් ලෙස ආණ්ඩුවට එරෙහිව කෙසේද වැඩ කරන්නේ කියන එකඟතාවකට ඇවිල්ලාද තිබුණේ?

ඔව්. එකඟතාවකට ඇවිල්ලා තිබුණේ. 16 දෙනාගේ කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ආණ්ඩුවට එරෙහිව එක්ව වැඩ කිරීමට තීරණය කළා. ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමඟ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් පැවැති සාකච්ඡාවකදීත් ආණ්ඩුවට එරෙහිව එකට වැඩ කිරීමේ තීරණය අනුමත කළා.

මේ ආණ්ඩුවට මින් ඉදිරියට කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබා නොදීමට ක්‍රියා කළ යුතුයි කියන කාරණය ගැනත් යම් එකඟතාවකට පැමිණියා නේද?

ඔව් 2/3 ක බලයක් මේ ආණ්ඩුවට නැති කිරීමේ කාරණය සාර්ථක කරගන්න අපි අතරේ එකඟතාවක් ඇතිවෙලා තිබුණේ. අපිට තව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 6 දෙනකුගේ අඩුවක් තිබුණේ. තව 6 දෙනකු විපක්ෂයට පැමිණි ගමන්ම මේ ආණ්ඩුවට 2/3ක බලයක් අහිමි වෙනවා. කොහොමත් මේ වන විට මේ ආණ්ඩුවේ 2/3ක බහුතර බලය අභියෝගයට ලක්වෙලා ඉවරයි. 2/3 ක බහුතරයක් නොමැති නිසා පසුගිය කාලයේ ඇතැම් අණපනත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට ආණ්ඩුවට සිදුවුණා.

නියෝජ්‍ය කතානායක තෝරාගැනීමේ රහස් ඡන්දයේදී ඇතිවුණු සිද්ධියත් සමඟ ඒකාබද්ධ විපක්ෂයට සහ 16 කණ්ඩායමට මින් ඉදිරියට එකට එක් වී වැඩ කිරීමට හැකි වේවිද?

එකඟතාවකට අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. එහෙම එක් නොවී අපේ අරමුණුවලට යන්න බැහැ. ඒක නිසා මේ සම්බන්ධයෙන් පූර්ණ සංගායනාවක් ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකළ යුතුයි. එසේ එකඟතාවකට නොපැමිණියහොත් ආණ්ඩු විරෝධී පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට අපිත් එක්ක එකතු වෙන්න සූදානමින් ඉන්න ආණ්ඩුවේ ඇතැමුන් අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. ඒක අපිට අවාසියක් වෙන්න පුළුවන්.

වර්තමාන ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනකු ඉන්නවා. ඔවුන්ගෙන් කිහිපදෙනකු විපක්ෂයට එකතු වෙන්න ඉන්නේ කියලා 16 කණ්ඩායම කියනවා. මෙවැනි මත ගැටුම් දිගටම තිබුණොත් ඔවුන් ඉවත් නොවී දිගටම ජාතික ආණ්ඩුවේ ඉන්න පුළුවන් කියලද ඔබ කියන්නේ?.

සමහර විට. මේ ඇතිවුණු සිද්ධි එක්ක ජාතික ආණ්ඩුවේ ඉන්න 23 දෙනාගෙන් කොටසක් විපක්ෂයට පැමිණීම යම් ආකාරයක ගැටලුවක් වෙන්න පුළුවන්. ඔවුන්ට යම් සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒක මේ ආණ්ඩුව ඉක්මනින් පෙරළීමට යම් බාධාවක් වෙන්නත් පුළුවන්. එම තත්ත්වය නැතිව ජාතික ආණ්ඩුවෙන් මේ පැත්තට එන්න ඉන්න අයගේ සැකය දුරු කිරීමට ක්‍රියාකළ යුත්තේ ඒකාබද්ධ විපක්ෂය විසින්.

මෙම ගැටලුව විසඳීම සඳහා ඔබ කරන යෝජනාව කුමක්ද?

මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සාකච්ඡා කරනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් ගනු ලබන තීරණ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් එතැන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක නිසා තමන්ගේ තීරණ අනුව ක්‍රියාත්මක නොවන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මීට වඩා තදින් ඉන්න ඕන. එහෙම තදින් ඉන්න කියලා අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඉදිරිපත් කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙත් ආශිර්වාදය ඇතිවයි.

එතකොට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් නැහැ කියන එක පෙන්වන්න ඡන්දය නොදුන් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස කටයුතු කළා වෙන්න බැරිද?

එම චේතනාවමද කියලා මට හරියට කියන්න බැහැ. මේ වෙලාවේ වැදගත්ම දේ විය යුත්තේ පළල්ම එකමුතුවකින් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කිරීමයි. මං කලින් කිව්වා වගේ මත දෙක තමයි ගැටෙන්නේ. 2019යේ 2020දී මැතිවරණයකින් ආණ්ඩුව පිහිටුවනතුරු මෙහෙම යමු කියලා කොටසක් කියනවා. අපි නම් කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ ආණ්ඩුව පෙරළලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති කරමු කියලයි. මෙහෙම වැනෙන්න දෙන්න බැහැ. ඒක නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සියලුම බලවේග එකතුවෙලා කඩිනමින් නිවැරැදිම තීන්දුව ගත යුතුයි.

16 කණ්ඩායම පිළිබඳ කුමක් හෝ සැකයක් පවතින නිසා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඡන්දය ප්‍රකාශ නොකර සිටියා වෙන්න බැරිද?

ඕනැම සැකයක් ඇතිවෙන්න ඕන යම් ක්‍රියාවක් හෝ යම් තොරතුරක් පදනම් කරගෙනයි. එවැනි තහවුරු කිරීමක් නොකරගෙන ඇති කරගන්නා සැකයෙන් වැඩක් නැහැ. එවැනි අනවශ්‍ය සැකයක් ඇති කරගැනීමෙන් සිදුවන්නේ අපට ගන්න පුළුවන් දේශපාලන වාසිය ලබාගැනීමට නොහැකි වීමයි.

නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීම අවසන් වූ පසුව එදිනම රාත්‍රි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඔබ සහභාගි වුණාද?

මං සහභාගි වුණේ නැහැ. ඒ තරමටම මං හිටියේ ඡන්ද විමසීමේදී ඇතිවූ තත්ත්වයත් සමඟ යම් කම්පනයකින්. නමුත් ඉදිරියේදී තිබෙන සාකච්ඡාවලට ගිහිල්ලා මෙම ගැටලුව විස¼දාගන්නවා.

විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා කිව්වා ඔවුන්ගේ මනාපය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට කියලා. එහෙම කියපු දෙමළ ජාතික සන්ධානය ඡන්දය විමසන අවස්ථාවේදී හිමිහිට මාරුවෙලා ගියේ ඇයි?

ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් එයාගේ තියෙන නම්බුකාරකම පෙන්වන්නයි ආර්. සම්පන්දන් මහතා එවැනි ප්‍රකාශයක් සිදු කළේ. තිබෙන එකඟත්වය අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය හිමිවෙන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. නමුත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන බැඳීම නිසා ඒගොල්ලන් අපට ඡන්දය නොදී මඟහැරලාගියා. යූ.ඇන්.පීයත් එක්ක කතා කරගෙන තමයි දෙමළ ජාතික සන්ධානය නැඟිටලා ගියේ. ඒ විතරක් නොවේ, විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණත් යූ.ඇන්.පී.ය සමඟ තියෙන බැඳීම නිසා මඟඇරලා එළියට ගියා. යූ.ඇන්.පී., ටී.එන්.ඒ., ජේ.වී.පී. අනේ‍යාන්‍ය අවබෝධයෙන් කටයුතු කරනවා. එම අවබෝධයවත් ඒකාබද්ධ විපක්ෂය තුළ නොතිබීමයි කනගාටුවට කරුණ. තවත් දෙයක් කියන්න ඕන. ටී.එන්.ඒ. එකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය, ජේ.වී.පී. එකට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දීලා තියෙන්නේ යූ.ඇන්.පී. එකයි. ඒ කෙළෙහිගුණ තමයි ටී.එන්.ඒ. එකයි, ජේ.වී.පී. එකයි දක්වන්නේ.

ටී.එන්.ඒ. එක ඡන්දය නොදී පිටව ගියා. ඒකාබද්ධ විපක්ෂයේ 54 දෙනාම ඡන්දය දුන්නත් දිනන්න බැහැ. පරාජය දැක දැක ඡන්දය දෙන්නේ මොකද කියලා ඡන්දය නොදී හිටියා වෙන්න බැරිද?

ඒ ගැන මට හරියට කියන්න බැහැ. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ 54 දෙනාම ඡන්දය ප්‍රකාශ කළා නම් තියුණු තරගයක් ඇති වෙන්න තිබුණා. සමහරවිට එවැනි තත්ත්වයක් ඇති වුණා නම් රනිල් වික්‍රමසිංහ මහතා විරෝධී එජාපයේ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නෑවිත් ඉන්න යම් ඉඩක් තිබුණා.

මෙහෙම ගියොත් 2019, 2020 වෙනකම්ම මේ ආණ්ඩුව යයි නේද?

මෙහෙම ගියොත් නම් යයි. නමුත් අපිට ඕන ඊට කලින් මේ ආණ්ඩුව පෙරළන්න. හොඳට මතක තියාගන්න ඕන දේ තමයි කිසිම දෙයක් ඉබේ ලැබෙන්නේ නැහැ. ඕනෑම දෙයක් ලබාගන්න යම් අරගල කළ යුතු වෙනවා.

2019, 2020 වෙනකම්ම විපක්ෂයේ ඉන්න වුණොත් පළාත් පාලන මැතිවරණයෙන් ලැබුණු ජවය ඒ දක්වා පවත්වාගෙන යන්න පුළුවන්ද?

පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් පළාත් පාලන මැතිවරණයේදී මෙම ආණ්ඩුවට කනේ පහරක් ගහපු මේ රටේ පොදු මහජනතාව ඒකාබද්ධ විපක්ෂයෙන් යමක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ ආණ්ඩුව ඉක්මනින් ගෙදර යැවීම. ඒ ජනතා අරමුණ වෙනුවෙන් අපි එක් මතයක සිටිය යුතුයි.

ඔබ එක් මතයකට එන්න ඕන කියලා කිව්වට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ධුරයට පත් කරනවාට ඔබ අකැමැතියි. එතකොටත් මත ගැටුමක් ඇති වෙනවා නේද?

තවම අපේ පැත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කරලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයෙක් ලෙස තවම නම් කරලා නැහැ. ඒ මහතා අපේක්ෂකත්වයට සුදුසුද නැද්ද කියලා යම් යම් අය අදහස් ප්‍රකාශ කරනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කළාට පසුව අපට ඒ මහතාව විවේචනය කරන්න බැහැ.
මොකද අපි එතකොට ඉන්නේ එකම පෙරමුණක.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More