පුරවැසි කොලම

මේ වන විට සීනි ආනයනකරුවන් විසින් තොග සඟවමින් සහ පාලන මිලට වඩා දෙගුණයකට අධික ප්‍රමාණයකින් මිල වැඩි කරමින් කරනු ලබන අයුතු සහගත සහ නීති විරෝධී ක්‍රියාව මැඩපැවැත්වීම සඳහා හදිසි නීතිය පවා පැනවීමට සිදුවී ඇත. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා විසින් ලියාපදිංචි නොකල ගබඩාවල සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයකට සීල් තබා ඇත. එම තොග වල වටිනාකම අයිතිකරුවන්ට ගෙවා ඒවා ස.තො.ස ආයතනය මගින් බෙදා හරින බව සඳහන් වේ. එම සමස්ත ක්‍රියාවලිය සඳහා රජයට දැරීමට සිදුවන අමතර පිරිවැය අදාල තොග වෙළෙන්දන්ගෙන් අය කරගන්නවාද යන්න පිළිබඳව රජය පැත්තෙන් ප්‍රකාශයක් සිදුකර සිදු කර නැත. ඊට අමතරව නීත්‍යානුකූල එනම් ලියාපදිංචි ගබඩාවල නීත්‍යානුකූල නොවන ආකාරයට තබාගෙන සිටින තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 4කට අධික සීනි තොගයට අදාලව ගනු ලබන පියවර පිළිබඳව රජය විසින් කිසිවක් සඳහන් කර නැත. රට තුළ මෙවැනි තත්ත්වයක් ඇති වූ පළමු වතාව බවටද සැකයක් නැත. රජය විසින් ගනු ලැබූ මෙම සුවිශේෂී ක්‍රියාමාර්ගය නිසා රට තුළ ආහාර හිඟයක් ඇති වී තිබෙන බැවින් හදිසි නීතිය පනවා ඇති බවට යම් විදේශීය පාර්ශව විසින් ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් රජය අපහසුතාවයට පත්කරන බවක්ද දක්නට හැක.

මෙම ආනයනකරුවන් සහ තොග වෙළදුන් ඒ ආකාරයට කූට වානිජ ක්‍රියාවලියක නිරත වන්නේ රජය විසින් ඔවුන්ට ඉතිහාසයේ ලබාදී ඇති විශාලතම බදු සහනය ලබාදීමෙන් පසුවය. ඒ අනුව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව යම් ගැඹුරු අධ්‍යයනයක් සිදු කිරීම විශේෂයෙන්ම ජනාධිපති කොමිසමක් පත්කර පරීක්ෂණයක් සිදුකිරීම වැදගත් වනු ඇත. ඒ මගින් වැරදි නිවැරදි කිරීම සහ එවැනි දේ මතු අනාගතයේ දී සිදු නොවීම සඳහා මෙන්ම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ද හැකිවනු ඇත. එම නිසා ඊට අදාලව යම් මහජන සංවාදයක් ඇති කිරීම සඳහා දැනට වාර්තාවන තොරතුරු අනුව අන්දරේලාගේ සීනි කතාව පිළිබඳව යමක් ලිවීම මහජන වගකීමකි. මෙම කතාව ආරම්භ වන්නේ 2020 ඔක්තෝබර් මාසයේ දීය. ඒ වන විට සීනි වලට පනවා තිබූ කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 50ක් වූ ආනයන බද්ද සත 25 දක්වා එනම් රුපියල් 49.75 කින් අඩු කිරීමට 2020.10.14 දින රජය විසින් තීරණයක් ගනු ලැබීය. එම තීරණය මගින් රජයට අවම වශයෙන් වසරකට රුපියල් මිලියන 25000 ක් අහිමි වන බව ඉතා පැහැදිලිය. ඊට හේතුව සෘජුව ආහාර සඳහා සහ කර්මාන්ත සඳහා මෙන්ම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා වසරකට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් පමණ ආනයනය කිරීම ය.

බලධාරීන් විසින් එසේ මහජන බදු මුදලින් ආනයනකරුවන්ට සහන ලබාදෙන තීන්දුව සාධාරණීකරණය කරනු ලැබුවේ ඒ වන විට වෙළඳපලේ රුපියල් 135කට අලෙවි කළ සීනි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 85 දක්වා පහත් දැමිය යුතු බවට ස්වයං නියමයක් පනවා ගනිමිනි. නමුත් සීනිවල පමණක් එසේ මිල අඩුකරන ලෙස මහජනයාගෙන් හෝ කර්මාන්තකරුවන්ගේ පැත්තෙන් කිසිදු ඉල්ලීමක් පැන නැගී තිබුනේ නැත. ශ්‍රී ලංකාවට ආනයනය කරන සීනි ප්‍රමානයෙන් මහජනයා විසින් සෘජුව පරිභෝජනයට ගනු ලබන්නේ 15% ක් පමණි. ඉතිරි 85% යොදාගනු ලබන්නේ නීති විරෝධී කසිප්පු කර්මාන්තය සහ නීත්‍යානුකූල සෙසු කර්මාන්ත සඳහාය. සීනි මිල වැඩි නොකලහොත් රසකැවිලි මිල වැඩි කරන බවට හෝ සීනි බදු අඩු කර මිල අඩු කළහොත් ඒවායේ මිළ අඩු කරන බවට කර්මාන්තකරුවන් ගෙන් කිසිදු බලපෑමක් සිදු නොවීය. සීනි මිල අඩු වූ පමණින් ඔවුන් තම නිෂ්පාදන වල මිල අඩු නොකරන බවට මහජනයාට නම් ප්‍රායෝගිකව බොහෝ අත්දැකීම් ලැබී ඇත. සමහර විට ප්‍රායෝගිකව ආනයනකරුවන් හෝ ඔවුන්ගේ තැරැව්කරුවන් විසින් රහසිගතව රජයට යම් බලපෑමක් සිදු කළා විය හැක. ඒ වන විට ස.තො.ස ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ පුද්ගලයෙකු විසින් එසේ කළ බවට යම් ප්‍රවෘත්ති පළ විය.

සහල්  පැකට් කිරීමට රු 2ක් දීම වරදක්,සීනි පැකට් කිරීමට රු 10 නීත්‍යානුකූලයි

ඒ ආකාරයට සීනි ආනයනකරුවන්ට බදු සහන ලබාදීමෙන් පසුව 2020 -10-21 දින නිකුත් කළ ගැසට් නිවේදනය මගින් පැකට් නොකළ සීනි කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 85ක් සහ පැකට් කළ සීනි කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 90ක් බවට නියම කරනු ලැබීය. ඉන්පසුව සීනි මිල අඩු නොවන තත්ත්වයක් යටතේ අදාළ පුද්ගලයාට චෝදනා එල්ලවන විට ඔහු ස.තො.ස. සභාපති ධූරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධූරයට පත් කිරීම නිසා ඔහුට යම් චෝදනාවක් එල්ල වී ඇති බව සනාථ විය. ඊට අමතරව එසේ බදු සහන ලබා ගැනීමෙන් පසුව ආනයනකරුවන් විසින් සීනි මිල අඩු නොකරන තත්ත්වයක් යටතේ ස.තො.ස. ආයතනය විසින් ඔවුන්ගෙන් වැඩි මිලට සීනි මිල දී ගෙන පාලන මිලට විකිණීම නිසා එම ආයතනයට විශාල පාඩුවක් සිදු කළ බවටද අදාළ පුද්ගලයාට චෝදනා එල්ල විය. නමුත් එම පාඩුව කොපමණ ද යන්න නිශ්චිතව එළිදරව් වූයේ නැත. සීනිවලට පාලන මිල පැනවීමේදී පැකට් නොකල සීනි සඳහා රුපියල් 85ක් සහ පැකට් කළ සීනි සඳහා රුපියල් 95ක් වශයෙන් පැකට් කිරීම සඳහා රුපියල් 10ක් වැඩිපුර ලබාදීම තුළින් අදාළ නිලධාරීන්ට සීනි ආනයනකරුවන් පිළිබඳව තිබෙන ඇල්ම පැහැදිලි විය. ඔවුන් සහල් කර්මාන්තකරුවන්ට විශේෂයෙන්ම කුඩා මෝල් හිමියන්ට සහල් මිල නියම කිරීමේ දී කිලෝ ග්‍රෑම් 5ක පැකට්ටුවක් සඳහා රුපියල් 10ක් එනම් පැකට් කිරීම සදහා කිලෝග්‍රෑම් එකකට රුපියල් 2ක් මිලට එකතු කිරීම සදහා අවසර ලබා දෙන්නේ නැත

කෙසේවෙතත් බදු සහනය ලබා දුන් දින සිට සීනි තොග රට තුළට පැමිණි ආකාරය තුළ විශේෂත්වයක් දක්නට ඇත. එම බදු සහනය නිවේදනය කළ 2020.10.14 දින වන විට යම් සමාගම් විසින් බදු සහන යටතේ වරායේ ගුදම් වල ගබඩා කර තබාගෙන සිටි සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8000ක් බව වාර්තා විය. බදු සහනය ලබා දුන් සැනින් එම සීනී තොග සහන යටතේ නිදහස් කරගනු ලැබීය. ඊට අමතරව බදු සහනය ලබා දී සති දෙකක් ඇතුළත සීනි මෙ.ටො. ලක්ෂ 2ක් පමණ රට තුළට ආනයනය කළ බවද වාර්තා විය. ඒ අනුව පැහැදිලි වන්නේ බදු සහනය ලබාදෙන අවස්ථාව වන විටත් එම සීනි තොග ඇනවුම් කර හෝ නැව්ගත කර තිබූ බවය. ඉන්පසුව ගත වූ මාස අටක කාලය තුළ රට තුළට බදු සහන යටතේ සීනි මෙ.ටො. ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ආනයනය කළ බවට සාක්ෂි ඇත. පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශ අනුව ඒ වන විට රට තුළ සීනි මෙ.ටො. 85000 සීනි තොගයක් ගබඩා කර තිබී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ බදු සහනය නිසා ඉතා කෙටි කාලයක් තුල රටට වාර්ෂිකව අවශ්‍ය වන සීනී ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට ආනයනයකරුවන් උනන්දු වූ බවය.

ශ්‍රී ලංකාවට සීනි ආනයනය කරන මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ආනයනකරුවන් හෙවත් සමාගම් 9ක් පමණ තිබෙන බව  දැන ගැනීමට ලැබෙන තොරතුරු අනුව පැහැදිලි වේ. ඒ අතරින් ප්‍රධානතම සමාගමක් වන්නේ පිරමීඩ් විල්මා (Pyramid Wilmar) නැමැති සමාගම බවද කියැවේ. නීති විරෝධී ගබඩාවල සීනි සඟවා තබා ගැනීම පිළිබඳව එම සමාගමට ද චෝදනා එල්ල වී ඇත. දැනට සමාගම් හතරක් විසින් එම බරපතළ වරද සිදු කර ඇති බව පාරිභෝගික අධිකාරියේ නිවේදනය අනුව පැහැදිලි වේ. කෙසේ වෙතත් වරාය තුළ සහ වරාය ආශ්‍රිතව මහා මුහුදේ විශාල සීනි තොග තිබෙන අවස්ථාවක සීනි බදු අඩු කිරීම සඳහා උපදෙස් ලබා දුන් නිලධාරින් කවුරුන්ද යන්න  පැහැදිලි නැතත් එසේ බදු අඩුකරන බව ආනයනකරුවන් දැන සිටි බව ඉතා පැහැදිලිය. ඉහත සඳහන් කළ ආකාරයට බදු අඩුකළ සැනින් සීනි රට තුළට පැමිණි ආකාරය දෙස බලන විට කුඩා දරුවකුට වුවද ඒ බව අවබෝධ කරගත හැක. ඒ වන විට බදු සහන ලබා දී සීනි මිල අඩු කිරීම සඳහා ලෝක වෙළදපොලේ තත්ත්වයක් නිර්මාණය වී නොතිබූ බවද සත්‍යයකි. ඒ වන විට ලෝක වෙළෙඳ පොළේ සීනි මිල කිලෝග්‍රෑම් එකක් සදහා ඩොලර් ශත 30ක් වූ අතර අද වන විට එය ඩොලර් ශත 40කි. ඒ අනුව එදා පැවැති මිල අදට වඩා අඩු මට්ටමක් බව පැහැදිලිය. ඊට අමතරව ඉන්දියාවේ සීනි අස්වැන්න මෙ.ටො මිලියන 5 කින් වැඩි වූ නිසා ඉන්දියානු බලධාරීන් සීනි අපනයනකරුවන්ට විශේෂ සහන ලබා දෙන තත්ත්වයක් ද දක්නට ලැබුණි.

 වසරකට රුපියල් මිලියන 20000ක බදු ආදායමක් අහිමි වෙනවා

බදු සහන ලබා ගැනීමෙන් පසුව ආනයනකරුවන් විසින් සීනි මිල එදා පැනවූ පාලන මිල දක්වා අඩු නොකරන තත්වයක් තුළ එනම් පසුගිය මාස 10ක පමණ කාලය තුළ ඊට එරෙහිව රජය විසින් නිසි පියවර නොගත් බව ඉතා පැහැදිලිය. එවැනි තත්ත්වයක් තුළ හදිසි නීතිය යටතේ බරපතළ දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර පාරිභෝගික අධිකාරි පනත යටතේ මෙන්ම අවශ්‍ය නම් දැනට නිසි ලෙස ක්‍රියාත්මක නොවෙන ආහාර පාලන පනත යටතේ කළ හැකි බොහෝ දේ ඇත. පළමුවෙන්ම ඕනෑම අහිංසක ව්‍යාපාරිකයෙකුට කරන දේ එනම් පාළන මිලට වඩා රුපියලක් හෝ වැඩි මිලට සීනි විකුණන වෙළඳුන් ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමය. එහිදී පවතින දඩ මුදල ප්‍රමාණවත් නොවන බව වෙනම කරුණකි. එම ක්‍රියාමාර්ග මගින් සිල්ලර වෙළඳුන් හරහා තොග වෙළෙඳුන්ට සහ ආනයනකරුවන්ට මිල අඩු කිරීම සඳහා පීඩනයක් එල්ල වෙයි. නමුත් ඒ මගින් වෙළඳුන් සීනි විකිණීම නවතා දැමීම නිසා වෙළඳපලේ සීනි හිගයක් ඇතිවිය හැකි බවට ද තර්ක කළ හැක. එය වැළැක්වීම සඳහා කළ යුත්තේ සීනි සඳහා මිල සූත්‍රයක් පැනවීම සහ තොග මිල ද පාලනයට යටත් කිරීමයි. එවැනි තත්ත්වයක් තුළ සීනි වෙළෙඳපොළට නිකුත් නොකිරීමට ආනයනකරුවන් ක්‍රියා කරන්නේ නම් එම ගබඩා පරික්ෂා කිරීම සහ අදාළ ආයතන වලට අවවාද කිරීමට මෙන්ම එම ආයතන අසාදු ලේඛන ගත කිරීමට හැකියාව ඇත.

කෙසේවෙතත් ලියාපදිංචි කළ හෝ නොකළ ගබඩා වල සීනි තොග සැඟවීම පිළිබඳවද පාරිභෝගික අධිකාරි පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් නැත. නමුත් ඒ වෙනුවට රජය විසින් කිසිදු මිල සූත්‍රයකින් තොරව එනම් මහාජනයාට අදාළ මිල තොරතුරු දැනගැනීමට නොහැකි වන ආකාරයට නැවත පාලන මිල සංශෝධනය කරනු ලැබීය. ඒ අනුව ස.තො.ස මගින් රුපියල් 130ක පාලන මිලක් පණවන ලැබීය. එම මිල දළ වශයෙන් සීනි වලට බදු සහන ලබා දීමට පෙර පැවති මිල බව රහසක් නොවේ. ඒ අනුව ආනයනකරුවන්ට ලබාදෙන පණිවුඩය වන්නේ නුඹලාට ලබාදුන් රුපියල් මිලියන 29000ක බදු සහනය සම්පූර්ණයෙන්ම සාක්කුවට දමා ගනීව් යන්න නොවේ ද? එපමණ විශාල ලාභයක් පිනට ලැබුණු විට ඉන් යම් කොටසක් කුමන අයට කුමන ආකාරවලින් දන් දෙනවා ද යන්න පැහැදිලි නැත. ඒ ආකාරයට සියලු සහන ලබාදීමෙන් සහ මිල නැවත ඉහළ දැමීමෙන් පසුවද එම මිලට වෙළඳපලට සීනි නිකුත් කිරීමට ආනයනකරුවන් ක්‍රියා නොකරන්නේ නම් භාවිතා කිරීම සඳහා ආණ්ඩුව සතුව තවත් කෙවිටක් ඇත. ඒ ආනයන අපනයන පාලන පනත යටතේ ආනයන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදී අසාදු ලේඛනගත ආයතන වලට බලපත්‍ර නිකුත් නොකිරීමය. එවිට අනාගතයේ දී ව්‍යාපාරය අහිමි වන බැවින් ඔවුන්ට යුක්තිගරුක වීමට යම් මානසික බලපෑමක් ඇතිවන බවට සැකයක් නැත.

ක්‍රමානුකූලව ගත හැකි සහ වෙළඳුන්ට මානසික බලපෑමක් එල්ල වන එවැනි ක්‍රියාමාර්ග කිසිවක් නොගැනීම නිසා වෙළඳුන් විසින් තමා ආණ්ඩුවට ඉහළින් සිටින බව පෙන්වන තත්ත්වයක් ඇතිවිය. ඔවුන්ට එවැනි බලයක් ලැබෙන්නේ තම සාක්කුවට වැටෙන මහජන බදු මුදල් වලින් යම් නිලධාරීන්ට හෝ දේශපාලඥයන්ට දානමය පිංකම් සිදු සිදුකිරීම නිසා විය හැක. මෙම ප්‍රබල සමාගම් පසුගිය කාලයේ දී පොල් තෙල් ආනයනය සඳහා කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 170ක බදු සහනයක් ලබා ගැනීමෙන් පසුවද ද මිල අඩු කිරීම වෙනුවට මිල වැඩි කිරීමට ධෛර්යමත් වූයේ ඒ නිසාම විය හැක. ඇෆ්ල ටොක්සින් නම් වූ පිළිකාකාරක විෂ අඩංගු පොල්තෙල් ආනයනය කිරීමේ දී ද ප්‍රමුඛ වශයෙන් චෝදනා එල්ල වූයේ මෙම සීනි ආනයනය කරන සමාගම් වලටමය. ඔවුන් එසේ පොල් තෙල් ආනයනය සඳහා බදු සහන ලබා ගැනීම මගින්ද රජයට වසරකට රුපියල් මිලියන 20000කට ආසන්න බදු ආදායමක් අහිමි විය.

මහ බැංකු මංකොල්ලය රුපියල් මිලියන 15,000යි සීනි බදු මංකොල්ලය රුපියල් මිලියන 30000යි

මෙම ව්‍යාපාරිකයින් එසේ බදු සහන ලබා ගැනීමෙන් පසුව මිල පහත දැමීම වෙනුවට මිල ඉහළ දැමීමෙන් පසුව නැවත මිල පහත දැමීමට නම් ඉතිරි බදු ප්‍රමාණය එනම් කිලෝග්‍රෑම් එකකට රුපියල් 100ක් ලෙස ඉතිරි වී තිබූ බද්ද අඩු කරන ලෙස බලපෑම් කරනු ලැබීය. දේශීය පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ දැඩි විරෝධය නිසා එම උත්සාහය අසාර්ථකවිය. ඒ අනුව පෙනී යන්නේ මෙම ව්‍යාපාරිකයින් සහ යම් රාජ්‍ය නිලධාරීන් හෝ ආණ්ඩුවට හිතවාදී පිරිස් එකට එක්ව බදු සහන කර්මාන්තයක් පවත්වාගෙන යන බවය. ඊට අමතරව මෙම ව්‍යාපාරිකයින් අයුතු ලාභය සදහා මහජන සෞඛ්‍ය සමග සෙල්ලම් කරන බවද රහසක් නොවේ. ඇෆ්ල ටොක්සින් සහිත බාල තෙල් වර්ග ආනයනය කිරීමේදී ඔවුන් කොටු කරගැනීමට යම් නිලධාරීන් සමත් වුවද ඔවුන් විසින් නමන ලද නීතියට අනුව පිරිපහදු නොකළ බාල තෙල් වර්ග සහ පාම් තෙල් මිශ්‍ර කළ පොල් තෙල් ආනයනය කිරීම මගින්ද බදු සහනයට අමතරව තවත් අමතර වාසියක්ද ලබාගනීයි. ඊට පහසුකම් සැලසීම සඳහා හිටපු පාරිභෝගික කටයුතු සහ කර්මාන්ත අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදුර්දීන් මහතා විසින් පොල්තෙල්වලට වෙනත් තෙල්වර්ග මිශ්‍රකර විකිණිය හැකි බවට ගැසට්ටුවක් ද නිකුත් කරනු ලැබීය.

ඒ සියලු බදු සහන බදු වංචාවන් බවට විවාදයක් නැත. ඊට හේතුව බදු සහනයට අනුකූල වන ලෙස වෙළද පොළ මිල අඩු නොකිරීමය. එහෙත් ඒවා නීතිය නමා නීත්‍යානුකූලව සිදුකරන වංචා ලෙස ද හැඳින්වීමට සිදුවෙයි. එසේ වුවත් මෙවර සීනි වලට බදු සහන සහන ලබා දීමේදී සිදුවී ඇති වංචාව බරපතළ නීති විරෝධී මංකොල්ලයක් බවට චෝදනා කළ හැක. ඊට හේතුව එම බදු සහනය පිළිබඳව ආනයනකරුවන්ට පූර්ව අවබෝධයක් තිබූ බව සහ එම අවබෝධය යම් රාජ්‍ය නිලධාරියෙකු හෝ කිහිපදෙනෙකු විසින් ලබාදුන් බව පෙනී යාම ය. ඉහත සඳහන් කළ ආකාරයටට බදු සහනය ලැබෙන තෙක් වරායේ ගුදම්වල රඳවා තබාගත් බවට සහ සහනය ලැබෙන විට විශාල තොග ප්‍රමාණයක් ආනයනය කරමින් තිබූ බවට පැහැදිලි සාක්ෂි ඇත. බදු සහන ලබා දීම නීත්‍යානුකූල වුවද එම රහස්‍ය තොරතුරු පිළිබඳ පූර්ව අවබෝධයක් මගින් වානිජ වාසියක් ලබා ගැනීම නීති විරෝධී බවට බැදුම්කර වංචාවට අදාල පරීක්ෂණවලදී ඔප්පු විය. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව නඩු නිමිත්ත පහළ වන්නේ එම තර්කය මතය. එහිදී විවෘත ටෙන්ඩර් කැඳවීම වෙනුවට සංවෘත අවස්ථා ලබාදීම නීත්‍යානුකූල වුවද රහස්‍ය තොරතුරු ලබා දීම සහ ගැනීම මගින් අයුතු වාණිජ වාසියක් ලබා ගැනීම අපරාධ වරදකි. මහබැංකු කොල්ලය මගින් රජයට සිදු වූ සෘජු මූල්‍යමය පාඩුව මිලියන 15000ක් බවට සඳහන් වුවද සීනි බදු කොල්ලය මගින් සිදු වූ පාඩුව එමෙන් දෙගුණයකි. ඊට අමතරව මහ බැංකු කොල්ලකරුවන් උපයාගත් අයුතු ලාභයෙන් මිලියන 12000ක් පමණ ආණ්ඩුව විසින් ගිණුම්වල රදවාගෙන ඇත. නමුත් සීනි කොල්ලකරුවෝ නිදැල්ලේ තම නීති විරෝධී ලාභය භුක්තිවිදන අතර තවත් අමතර ලාභයක් සඳහා තොග සැඟවීම මගින් මිල වැඩිකිරීමක්ද ඉල්ලා සිටිති. මේ වන විට හදිසි නීතිය යටතේ ප්‍රශ්නය කෙටිකාලීන විසඳීමට උත්සාහ කිරීම සහ ඒ වෙනුවට වෙනත් කළ හැකි දෙයක් නැති බවට ඉදිරිපත් වන තර්ක කෙටිකාලීනව පිළිගත හැක්කේ දීර්ඝ කාලීනව මෙවැනි දේ සිදු නොවන ලෙස වග බලා ගන්නා බවට සහතිකයක් ලැබේ නම් පමණි. ඊට අමතරව අත්අඩංගුවට ගන්නා සීනි තොග සඳහා මුදල් ගෙවීමේදී බදු සහනය නොමැතිව සැබෑ පිරිවැය පමණක් ගෙවීමටද රජය විසින් කටයුතු කළ යුතුය.

නමුත් සඟවා තබාගෙන සිටින ලද සීනි තොග රජය විසින් අත්අඩංගුවට ගැනීමේදී වැරදිකරුවන්ට ගෙවන මිල රුපියල් 116කි. රජය විසින් අත්අඩංගුවට ගැනීම සහ විකිණීම සදහා වන පිරිවැය ලෙස කිලෝ ග්‍රෑම් 1කකට රුපියල් 6ක් එකතු කොට සීනි කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 122ට විකුණන බව කියවේ. ඒ අනුව බදු සහන ලබාදීමෙන් පසුව නියම කරන ලද විකුණුම් මිල වූ රුපියල් 85ට වඩා දළ වශයෙන් රුපියල් 30කට වඩා වැඩි මිලක් මෙම ජාවාරම්කරුවන්ට ලැබේ. එසේ නම් සීනි තොග අත්අඩංගුවට ගැනීම මගින් සිදුවන්නේ ජාවාරම්කරුවන්ට බදු සහනවලට පසුව පාළන මිලට වඩා රුපියල් 30ක අමතර ලාභයක් ලැබෙන ලෙස ආණ්ඩුවේ වියදමින් සීනි විකුණා ලාභය ජාවරම්කරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමය. ඒ මගින් ජාවාරම්කරුවන් අතට පත්වන අයුතු ලාභය මිලියන 15000කි. මෙවැනි කැකිල්ලේ හෝ අන්දරේ පන්නයේ විසදුම් ලබාදෙන වෙනත් රටක් ලෝකයේ කුමන හෝ කොනක තිබිය හැකිද? කෙසේ වෙතත් මේ සියලු වැරදි අනාගතයේ දී නිවැරදි කළ හැක්කේ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් මගින් සියල්ල ගැඹුරින් අධ්‍යයනය කිරීම මගින් සහ වැරදි කරුවන්ට දඩුවම් කිරීම මගිනි. ඊට අමතරව බදු සහන මගින් වරින් වර මිල අඩුකිරිමේ වැරදි ප්‍රතිපත්තිය සහමුලින්ම වෙනස්කර ඹ්නෑම ආනයනික ද්‍රව්‍යයක මිල තරගකාරී දේශීය නිෂ්පාදනයේ මිලට වඩා අවමවශයෙන් 5%කින් ඉහළ මට්ටමකින් පැවතිය යුතු බවට පොදු ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More