කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ මාධ්‍යය ලේකම් ජයසූරිය උඩුකුඹුර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ 2024 වර්ෂය වන විට කිරි පිටි ආනයනය සහ බීජ ආනයනය නතර කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම ඇමති වරයා පැවසූ බවයි.
සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්…
කිරි ගොවියා,හේන් ගොවියා හා කුඹුරු ගොවියා රැක ගෙන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ඉකුත් වසරක කාලය තුළ ප්‍රතිපත්ති තීරණ මත වැඩසටහන් 22ක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. විවිධ අභියෝගයන් සමඟ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වසරක් තුළ මෙතරම් වැඩ කොටසක් ඉටු කර ඇති ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් හා කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු හා ආයතන ප්‍රධානීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
“කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඊට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු හා නිලධාරීන්ගේ කැපවීම මත ඉකුත් වසරක කාලය තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා . නමුත් එයින් අපිට සෑහිමකට පත් වෙන්න බෑ. විශේෂයෙන් කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය සකස් කීරිම හා ජාතික කෘෂිකර්ම දත්ත ගබඩාව ස්ථාපිත කිරීමේ කටයුතු ඉදිරි තෙමස තුළ නිම කරන්න ඕනෑ. එමෙන්ම 2024 වන විට මෙරටට බීජ ආනයනය නතර කර රටට අවශ්‍ය බීජ රටතුල නිපදවා ගැනීමටත්, කිරිපිටි ආනයනය නතර කර ජනතාව දියර කිරි සදහා හුරු කරවීමේ ඉලක්කය සපුරා ගැනීමටත් කටයුතු කරන්න ඕනෑ. බහුජාතික සමාගම්වල බලපෑම්වලට හසුනොවී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනිමට කැපවී කටයතු කීරීම අපි සියලු දෙනාගේ වගකීමක් බව ද අමාත්‍යවරයා කීවේය. මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර අල, ලූණු ආනයනය 35% ක් දක්වා අඩු කර ගැනීමටත්, මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඊට අයත් ආයතනවලට අදාළ යල් පැනගිය අණපනත් නැවත සංශෝධනය කර, යාවත්කාලීන කිරිම කඩිනම් කළයුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. එළවළු ප්‍රවාහනයේදී සිදුවන නාස්තිය අවම කර ගැනීම හා අතරමැදියන්ගේ අයුතු ඉපයීම් නතර කර ගොවියාට සිය නිෂ්පාදන සඳහා හොඳ මිලක් ගෙවා, ඒවා දුම්රියෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරිමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට යොමු විය.
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඉකුත් පාලන සමයේ බංකොලොත් තත්ත්වයට ඇද දමා තිබුණද, ඉකුත් වසරක කාලය තුළ ලාභ උපයන තත්ත්වයට ප්‍රගතියක් ලබා ගත හැකි බවද මෙහිදී අනාවරණය විය. පොස්පේට් සමාගමද සිය නිෂ්පාදන ධාරිතාවය මෙ.ටොන් 4000 සිට 7000 දක්වා වර්ධනය කර ගෙන ඇති බවද මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ජේ.එම්.උදිත් කේ. ජයසිංහ මහතා පෙන්වා දුන්නේ කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ කමිටුව එහි කටයුතු බොහොමයක් නිම කර ඇති බවයි. ඉදිරි සති කිහිපය තුළ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවද ලේකම්වරයා කීවේය. රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ අලුත් වැඩපිළිවෙලක් යටතේ ඒ ඒ ආයතන ඔවුන්ගේ කටයුතු සැලසුම් කරගෙන යන බවත් ඉදිරි තෙමස තුළ ඒ සෑම ආයතනයකම සැලකිය යුතු ප්‍රගතියක් දැක ගැනීමට හැකිවනු ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය.
ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...