පුරවැසි කොලම

සුගිය කාලය තුල ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් එළි දැක්වූ අතුරු වාර්තා සහ ඊට දායක වන විවිධ උපදේශකයින්ගේ පැටිකිරිය පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේග වලින් ප්‍රබල විරෝධයක් එල්ල විය. එමනිසා බැඳුම්කර වංචාව, පෙබරවාරි 10 මැතිවරණ ප්‍රතිඵලය සහ පොදුවේ ආණ්ඩුවට එරෙහිව පවතින ප්‍රබල මහජන විරෝධය නිසා ආණ්ඩුව විසින් සෘජුව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් රටට ඉදිරිපත් කළහොත් එම විරෝධය තවදුරටත් උත්සන්න වන බවට විවාදයක් නැත. ඊට මුහුණදීම සඳහා ආණ්ඩුව සහ ආණ්ඩුවට සහාය දෙන ඊනියා විපක්ෂ නායක සහ විපක්ෂයේ සංවිධායක වරයා එක්ව ඉතා දියුණු ක්‍රමවේදය තෝරා ඇත. ඒ අනුව දැන් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසිනි. පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව හරහා ගැසට් කොට අග්‍රාමාත්‍යවරයා හරහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

ඉන් පසුව යම් වෙනස්කම් වලට යටත්ව හෝ එසේ නො නොමැතිව එම කෙටුම්පත නැවත ගැසට් කරනු ඇත. එසේ ගැසට් කිරීමෙන් සති දෙකකට පසුව එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ හැක. පළමු වර කියැවීම යනුවෙන් හැඳින්වෙන එම පියවරෙන් පසුව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා මහජනයාට සතියක කාලයක් ලැබෙනු ඇත. ඉන් පසුව එම පනත් කෙටුම්පත ඕනෑම දිනක විවාද කොට සම්මත කිරීමට ආණ්ඩුවට අවස්ථාව ලැබේ. එම ක්‍රියාවලිය තුළ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ අයිතිය දේශපාලනිකව ජනතා විමුක්ති පෙරමුණට ලැබුනද තාක්ෂණිකව එය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පත කි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේ අමාත්‍ය මණ්ඩලයට පමණි. එසේම 82( 2 ) වගන්තිය අනුව එවැනි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන විට දී සංශෝධනය කරන්නේ කුමක්ද යන්න එහි දීර්ඝ නාමයෙහි සඳහන් කළ යුතුය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙහි දීර්ඝ නාමයක් හෝ සංශෝධනය කරනු ලබන වගන්ති ලැයිස්තුවක් සහ ඒ එක් එක් සංශෝධනය මගින් අපේක්ෂා කරන ප්‍රතිඵලය කුමක් දැයි සඳහන් වන්නේ නැත. පවතින කුමන හෝ පනතක් සංශෝධනය කිරීමේදී එවැනි පූර්විකාවක් යෙදීම අවශ්‍ය වේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත්පත් කරන 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතෙහි එවැනි හිදැස් තබා ඇත්තේ යම් අරමුණක් සහිතව බව පෙනේ. ඔවුන් විසින්ම ප්‍රකාශ කරන ආකාරයට ‘‘ත්‍රාඩයින්“ නොවන පාර්ශව විසින් ඉදිරිපත් කරන සංශෝධන භාර ගැනීමට ඔවුන් සූදානම්ය. ඒ ආකාරයට මහජනයා හෝ දේශපාලන නායකයින් අතරින් යම් පිරිසක් ‘‘ ත්‍රාඩයින්“ ලෙස බැහැර කිරීම සඳහා විනිශ්චයන් ලබාදීම ඔවුන් කතා කරන ශිෂ්ට සම්පන්න භාවයට පටහැනි බව ඔවුන්ට තේරෙන්නේ නැත. කෙසේ වෙතත් මහජනයාගේ පැත්තෙන් යෝජනා ඉදිරිපත් කළ හැක්කේ අදාළ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් ගැසට් කිරීමට පෙර පමණි. නමුත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමට අයිතිය ඇත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් පාලන මැතිවරණ පනත් සංශෝධනය කළ අවස්ථාවේදී පනත් කෙටුම්පතේ අඩංගු නොවූ සංශෝධන කාරක සභා අවස්ථාවේදී තොග වශයෙන් ඇතුල් කරනු ලැබීය. 19වෙනි සංශෝධනයට අදාළ කාරකසභා අවස්ථා විවාදයේ දී පැය තුනක පමණ කාලයක් තුළ පනත් කෙටුම්පතේ අඩංගු නොවන ප්‍රධාන සංශෝධන 28 ක් ආණ්ඩුව විසින් කලබලකාරි තත්ත්වයක් යටතේ සහ විපක්ෂයේ විරෝධය නොතකා බලහත්කාරයෙන් ඇතුළු කරනු ලැබීය.

දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශ කොට ඇත්තේ තමා මැතිවරණ ක්‍රමයට අදාළ සංශෝධන භාර ගැනීමට සූදානම් බවය. ආණ්ඩුව විසින් 20වැනි සංශෝධනය පළමු වටයේ දී ඉදිරිපත් කිරීමට සූදානම් වූයේ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම සඳහාය. 19 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුව විසින් එවැනි පොරොන්දුවක් ලබා දුන්න ද පසුව එය අතහැර දැමීය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ලේබලයට අමතරව මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමේ ලේබලය ඇලවූ විට එම සංශෝධනයේ සැබෑ අරමුණ හෙවත් යටි අරමුණු සැඟවීම සඳහා වැඩි ඉඩක් ලැබේ. විශේෂයෙන්ම මීට පෙර ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට විරෝධයක් නොමැති බවට මහා සංඝරත්නය විසින් ප්‍රකාශයක් කරන්නට යෙදුනු බැවින් එම ලේබලය ඔවුනට ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලා සිටින දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේග වලට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම්ට සැබෑ උවමනාවක් නැත. එම ප්‍රතිපාදන දෙක බෙදුම්වාදීන්ගේ කේවල් කිරීමේ බලය රැක දීම සඳහා ඉතිහාසය පුරා සුවිශේෂී මෙහෙවරක් ඉටුකර ඇත. දැන් ඔවුන් පැමිණ සිටින තැන අනුව ඒවා වෙනස් වුවද, නොවුවද ඔවුනට ගැටළුවක් නැත.

දැන් බෙදුම්වාදී බලවේග වලට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි. ඒ ඔවුන් ඉතිහාසය පුරාම ඉල්ලා සිටි ආකාරයට 13වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීම පමණි. ඉන්දියානු නිලධාරීන් විසින් සකස් කළ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික රාමුව අනුව ඒ මගින් ඉන්දියාවටත් වඩා බරපතළ ෆෙඩරල් රාජ්‍යයක් බිහි වේ. විධායක ජනාධිපති ක්‍රමය එහි ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවේ. ඉන්දියානු නිලධාරීන් විසින් එම සංශෝධනය සකස් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය එසේම තිබියදී රට ෆෙඩරල් කිරීමටය. යම් බරපතල බලතල ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නේ ඊට එරෙහිව යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඇතුල් කිරීම නිසාය. එවැනි බාධක 5 පමණ මූලික වශයෙන් හඳුනාගත හැකි අතර ඒවා ඉවත් කිරීම සදහා අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දී සුළු සංශෝධන ලෙස ඇතුල් කිරීමේ හැකියාව ඇත.ජනතා විමුක්ති පෙරමුණට එය නැවැත්විය නොහැක.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආකාරයට ටී.එන්.ඒ පක්ෂය ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ඉදිරිපිට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග 2015 ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී සම්මත කළ 30/ 1 යෝජනාව පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇත. ඔවුන් එසේ එකඟ වූ 30 /1 යෝජනාවේ16 වැනි වගන්තිය අනුව ටී.එන්.ඒ පක්ෂයට අවශ්‍ය වන්නේ දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම පමණි. එහිදී ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට හෝ පවතින ව්‍යවස්ථාවේ තිබෙන ඒකීය වචනය හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමට ඉල්ලා සිටින්නේ නැත. ඉහත සඳහන් කළ ආකාරයට බෙදුම්වාදීන්ගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඊනියා සුළු සංශෝධන කිහිපයක් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුල් කිරීම ය. නමුත් එම සංශෝධන පමණක් සෘජුව පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළහොත් එල්ලවන මහජන විරෝධය හමුවේ ඔවුන්ගේ සියලු අපේක්ෂා බිඳී යනු ඇත. බෙදුම්වාදී බලවේග විසින් ඉතා විවෘතව ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් විසින් යහපාලන ආණ්ඩුව බලයට ගෙන එන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ය. ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය වුවහොත් ඔවුන්ගේ සියලු අපේක්ෂා බිඳ වැටෙනු ඇත. ඒ නිසා ඔවුනට අවශ්‍ය සුළු සංශෝධන ප්‍රමාණය සම්මත කරගැනීම සඳහා යම්කිසි ආවරණයක් අවශ්‍යවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරීම වැනි ලේබල් අවශ්‍ය වන්නේ එම සංශෝධන ප්‍රමාණය කාරක සභා අවස්ථාවේදී ඇතුල් කිරීම සඳහා අවශ්‍යවන මූලික සැකිල්ලක් ලෙස සැලකිය හැකි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව තුළට ගෙන යාම සඳහාය.

එය සමාන කළ හැක්කේ දුර්ස්ථ පාලකයකින් පත්තු කිරීම සඳහා බෝම්බයක් යම් ස්ථානයක් තුළට රැගෙන යාමටය. එදා සරත් ෆොන්සේකා මහතා මරා දැමීම සඳහා හමුදා කඳවුරට බෝම්බය රැගෙන ගියේ ගර්භණී කාන්තාවක් විසිනි. දැන් ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළට රැගෙන යාම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හෝ සුමන්තිරන් මහතා යොදාගත නොහැක. ඔවුන්ගේ ආකල්ප සහ උවමනාවන් මහජනයා ඉතා හොඳින් දන්නා බැවින් ව්‍යවස්ථා බෝම්බය පිළිබඳව සැක පහළ කරනු ඇත. නමුත් ජනතා විමුක්ති පෙරමුණ බෙදුම්වාදී මර උගුලට රට තල්ලු කරන ව්‍යවස්ථා බෝම්බයක් ප්‍රවාහනනය කිරීමට උදව් කරනු ඇතැයි මහජනයා එක්වරම පිළිගන්නේ නැත. ඊට හේතුව අද එම පක්ෂයේ සිටින නායකයින්ගේ පුරෝගාමීන් බෙදුම්වාදයට විරුද්ධව බොහෝ කැපකිරීම් සිදු කොට තිබීමය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ විසින් තමා බාරගත් කොන්ත්‍රාත්තුව ඉටු කිරීමෙන් පසුව එම ව්‍යවස්ථා සංශෝධනය සක්‍රිය කිරීම සඳහා අදාල බොත්තම ඔබන්නේ වෙනත් මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි. ඒ නිසා එම වගකීමෙන් තමා නිදහස් වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරනු ඇත.

එම බොත්තම් එබූ සැනින් හෙවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නමැති ලේබලය යටතේ ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට බෙදුම්වාදී සංශෝධන ඇතුළත් කළ සැනින් එය පුපුරා යන්නේ නැත. එය කාල බෝම්බයක් වන අතර පුපුරා යාමට හෙවත් බෙදුම්වාදී ගැටුම් ඇවිලවීම ට යම් කාලයක් ගතවනු ඇත. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉටුකරන කොන්ත්‍රාත්තුවේ භයානකම සමාජයට දැනෙන්න පටන් ගන්නේ බෙදුම්වාදී බලවේග එම ව්‍යවස්ථා සංශෝධනය යොදා ගනිමින් ගැටුම් කාරී ලෙස බෙදුම්වාදී මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට ගමන් කරන විටය. ආර් සම්බන්ධන් මහතා 2012 මැයි 25 වන දින මඩකළපුවේ පැවැත්වූ ටී.එන්.ඒ පක්ෂයේ මහා සමුළුවේදී ප්‍රකාශ කළ ආකාරයට ඔවුන් ඊළාම් අරමුණු අත්හැර නැත. නමුත් ඒ කරා ළඟාවන උපායමාර්ගය වෙනස් කරනු ඇත. එනම් යුද්ධය වෙනුවට අවිහිංසාවාදී ගාන්ධිවාදී මහජන වීදි සටන් යොදා ගනු ඇත. ඉන් කියවෙන්නේ ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ග වෙනුවට නිරායුධ මහාජනයා වීදි බැස්සවීමේ උපක්‍රමය ඔවුන් විසින් යොදා ගන්නා බවය. නිරායුධ ජනයා ආණ්ඩුවේ හමුදා සමඟ ගැටෙන විට හෙවත් එම ජනතාව මරා දමන විට මැදිහත් වන ලෙස එම සමුළුවේදී සම්බන්ධන් මහතා විසින් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින ලදී.

ආයුධ සන්නද්ධ බෙදුම්වාදී ගැටුම්ක දී එය මැඩ පැවැත්වීම සඳහා රජයට නීත්‍යානුකූලව බලයක් ඇත. එහෙත් නිරායුධ ජනයා මරා දමන බවට ව්‍යාජ මතයක් පතුරුවා ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩකඩ පාදා ගත හැක.කොසෝවෝ රාජ්‍යය බෙදා වෙන්කිරීමේදී අහිංසක සිවිල් ජනතාව මරා දමන බවට චෝදනා එල්ල කොට සර්බියාවට පහරදීම සඳහා නේටෝ හමුදා යොදා ගැනුනි. ඉන්පසුව නේටෝ – සර්බියා ගැටුම් සමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය. එම දෙවන මැදිහත්වීම අවසන් වන්නේ කොසෝවෝ බෙදා වෙන් කිරීමෙනි. ඒ සියලු විනාශයන්ට පසුව හෙළිදරව් වූයේ ඊනියා සිවිල් ජන සංහාරයට වගකිව යුත්තේ කොසෝවෝ බෙදුම්වාදී ගරිල්ලන් බවය.

කොසෝවෝ බෙදුම්වාදී මාර්ග සිතියමේ නිල් පිටපත ශ්‍රී ලංකාව සඳහා යොදා ගන්නා බව සම්බන්ධන් මහතාගේ මඩකලපු දේශනයෙන් පැහැදිලි වේ. ඊට අනුව එදා වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිවරයා සිදු කළ ආකාරයට දෙමළ ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කරන්නේ නැත. එසේ කළහොත් විධායක ජනාධිපති බලතල යොදා ගනිමින් පළාත් සභාව පවරා ගෙන එම ක්‍රියාවලිය මැඩ පැවැත්වීමේ නීත්‍යානුකූල බලය ශ්‍රී ලංකා රජයට ඇත. නමුත් එසේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් නොකර මධ්‍යම ආණ්ඩුව සමඟ ඇතිකරගන්නා ගැටුම් තුළින් ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කැපීමේදී විධායක ජනාධිපතිට කළ හැකි දෙයක් නැත. ඒ අනුව ඒ නව ඊළාම් මාර්ග සිතියම තුළ විධායක ජනාධිපති ක්‍රමයට විශේෂ භූමිකාවක් නැත. ඒ නිසා එය එසේම තිබීම හෝ අහෝසි කිරීම යන දෙකෙන් කුමක් සිදු වුවද බෙදුම්වාදීන්ට ගැටලුවක් නැත.

එහිදී ගැටලුවක් පැනනගින්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අවශ්‍ය බලතල ලබා ගැනීමට පෙර ගැටුම් ඇති කර ගතහොත් පමණි. ඒ නිසා ඔවුහු එතෙක් වාචික ගැටුම් පමණක් ඇති කර ගනිමින් තම බලවේගවල උද්යෝගය පවත්වාගෙන යති. නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමේදී පෘතුගාලය විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ පැවරූ නඩු තීන්දුව අනුව බෙදුම්වාදී ගැටුමක නියැලී සිටින ජනතාවකට වෙන්වී යාම සඳහා කොන්දේසි තුනකින් එකක් හෝ තුනම සම්පූර්ණ විය යුතුය.එහිදී එම නඩු තීන්දු අනුව අභ්‍යන්තර ස්වයං පාලනය ලබාදී ඇති යම් ජනතාවකට හෙවත් ජනකොටසකට මධ්‍යම ආණ්ඩුව විසින් එසේ ලබා දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ නම් එම ජනතාවට වෙන්ව යාමේ අයිතිය නීත්‍යානුකූලව ලැබේ. ඊට අමතරව මධ්‍යම රජය විසින් එම ජනතාවට පීඩාකාරීය සහ අවමන් සහගත ලෙස සලකන්නේ නම් හෝ එම ජනතාව ජන සමූල ඝාතනයකට ලක් ව සිටී නම් ඔවුනට වෙන්ව යාමේ අයිතිය ඇත.

ඒ අනුව බෙදුම්වාදීන් විසින් තිම්පු සංකල්පය ලෙස දෙමළ ජනතාව වෙනම ජන කොටසක් බව සහ ඔවුන්ට අනන්‍ය වූ භාෂාවක් මෙන්ම සංස්කෘතියක් තිබෙන බව සහ උතුරු නැගෙනහිර ප්‍රදේශය ඔවුන්ගේ නිජ භූමිය ලෙස පිළිගත යුතු බවට ඉල්ලා සිටියේ කුමක් නිසා ද යන්න පැහැදිලි වේ. 13වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් එම පිළිගැනීම යථාර්තයක් කිරීම සදහා අවශ්‍ය මූලික අඩිතාලම දමා ඇත. දැන් අවශ්‍ය වන්නේ ස්වයංපාලනය හෙවත් මධ්‍යම රජය සහ පළාත් සභාව අතර පරමාධිපත්‍ය බලය නිශ්චිතව බෙදී වෙන්වී ඇති බව තහවුරු කිරීමය. ජේ.ආර්. ජයවර්ධන මහතා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක වීම වැළැක්වීම සඳහා පැන වූ ව්‍යස්ථාමය බාධක ඉවත් කිරීම අවශ්‍ය වන්නේ එසේ පරමාධිපත්‍ය බලය බෙදී ඇති බව ජාත්‍යන්තර නීතිය හමුවේ ඔප්පු කිරීම සඳහාය. ඒ ආකාරයට එසේ ලබා දෙන බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවට ගැටුමක් නිර්මාණය කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඒ පූර්ව කොන්දේසිය ඉටුකර ගැනීමෙන් පසුවය. ඊට අමතරව විග්නේෂ්වරන් මහ ඇමතිවරයා විසින් දිගින් දිගටම සමූල ඝාතන චෝදනා එල්ල කරන්නේ කුමක් නිසාද යන්න ඉහත සඳහන් කළ නඩු තීන්දුවෙන් පැහැදිලි වේ.

20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීම මගින් ජනතා විමුක්ති පෙරමුණ විසින් දායක වන්නේ ඒ බෙදුම්වාදී මාර්ග සිතියම දිග හැරීමට ය. නමුත් ඔවුන් තම පාවාදීම සාධාරණීයකරණය කරන්නේ ශ්‍රී ලංකාවේදී එසේ නොවන බවට තර්ක කරමිනි. ඔවුන්ට අනුව ඉන්දියාව විසින් බලය බෙදීම සඳහා ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කළත් රට බෙදීමට ඉන්දියාව ඉඩ දෙන්නේ නැත. නමුත් ඉන්දියාව විසින් බෙදුම්වාදය පෝෂණය කරන්නේ අවසානයේදී බෙදී වෙන් වූ රට සිකීමය මෙන් අර්ධ කොලනියක් ලෙස ඈදාගැනීමට බව ඔප්පු කිරීම සඳහා ප්‍රබල සාක්ෂි ඇත. නමුත් එම ක්‍රියාවලිය අවසන් වීම සඳහා යම් කාලයක් ගතවනු ඇත. එම කාලය තුල ජනතාව රැවටීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට යම් අවකාශයක් ලැබේ.

ඒ අවකාශයය යොදා ගනිමින් ඔවුන් ප්‍රධාන වශයෙන් දේශපාලන වාසි 4 ක් අත්පත් කර කර ගැනීමට අපේක්ෂා කරන බව පෙනේ. පළමුවැන්න සුළු ජාතික ඡන්ද පදනම වැඩි කර ගැනීමය. එවැන්නකට ඉඩ තිබෙන බවට සුමන්තිරන් මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණට සහතිකයක් ලබා දුන්නේ යාපනයේ දී පැවැත්වූ ඔවුන්ගේ මැයි රැළියට දෙමළ ජනතාව සමඟ සහභාගි වීමෙනි. දෙවැන්න 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරයකින් සම්මත වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය වන ජනමතවිචාරණ සටන තම අතට ගැනීමය. බෙදුම්වාදී සංශෝධන සඳහා අවශ්‍යවන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය පමණි. එමනිසා ජනමත විචාරණයක් බෙදුම්වාදීන්ට වැදගත් වන්නේ නැත. එය පැවැත් වුවත්, නැතත් ජයග්‍රහණය කළත්, පරාජය වුවත් ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු වේ. නමුත් ජනමත විචාරණයක් පවත්වා ජයග්‍රහණය කළහොත් ජනතා විමුක්ති පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල දේශපාලන වාසියක් ලැබේ.

තුන්වැන්න ජනමතවිචාරණයක් පැවැත්වීමට දේශපාලන සක්‍යතාවයක් නොමැති නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය ඉදිරි ජනාධිපතිවරණය දක්වා රැගෙන යාමය. එවිට ඉදිරි ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා වන පොදු අපේක්ෂකයා තේරීමේ සදාචාර බලය ජනතා විමුක්ති පෙරමුණට ලැබේ. හතරවනව ඒ සියලු සදාචාර බලයන් දේශපාලන බලයක් බවට පෙරළා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීවරු 20ක් දිනාගත හැකි යැයි ඔවුන් විසින් තක්සේර්සේරු කිරීම වරදක් නොවේ. ඒ සඳහා අවශ්‍ය මූලික මූල්‍ය පහසුකම් ද ඔවුන් විසින් ඉටුකරන අමාරු කාර්යය සඳහා තුටුපඬුරු ලෙස ලැබෙනු ඇත. නමුත් ජනතා විමුක්ති පෙරමුණ විසින් බාරගෙන ඇත්තේ ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් බව තව නොබෝ දිනකින් ඔවුන් විසින්ම තේරුම්ගනු ඇත. ඒ පාවාදීමේ අපවාදයෙන් ඔවුනට යම් පමණකට හෝ ගැලවිය හැක්කේ විසිවැනි සංශෝධනය ඉල්ලා අස්කරගැනීම මගින් පමණි. ඊට අමතරව ඒ පවු සෝදා ගැනීම සදහා 1989දී බෙදම්වාදයට විරැද්ධව ජීවිත පරිත්‍යාග කළ දරැවන්ගේ දෙමව්පියන්ගෙන් ඔවුන් සමාව ගත යුතය. එසේම රට බෙදුම්වාදී යුද්ධයෙන් නිහස්කර ගැනීම සදහා දිවි පිදූ 29,000ක් රණවිරැවන්ගේ සහ අදටත් ආබාධිතව දිවි ගෙවන 14,000 රණවිරැවන්ගේ ද්‍මොපියන්ගෙන් ඔවුන් සමාව ගත යුතුය.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More