මුහුණු පොතෙන්

රටේ රාළ දිගටම ගුරු විදුහල්පති වැටුප් සටන ගැන කතා කරපු කෙනෙක්.ඇත්තටම රටේ රාළට ඒ ගැන ස්වාධීන විග්‍රහයක් තියනවා. ඒක වෘත්තීය සමිතිවලට ඕනි විග්‍රහය නෙවෙයි.ඒ වගේම ආණ්ඩුවට ඕනි විග්‍රහයත් නෙවෙයි.ඒක නිසා ඔය දෙපැත්තෙන්ම රටේ රාළට ගැහුවා.ඒ ගල් පාරවල් කාගෙන රටේ රාළත් තමන්ගේ මතය වෙනුවෙන් හරි කෙලින් පෙනී හිටියා.හැබැයි අද රටේ රාළ හරි කියලා ඔප්පු වෙලා ඉවරයි.ඒත් රටේ රාළ ඒ ගැන හිතලා කාලකණ්ණි සතුටක් නං ගන්නේ නෑ. ඒකට හේතුව තමයි මේ ප්‍රශ්නය නිසා තවමත් අපේ රටේ අහිංසක පාසැල් දරුවෝ ටික ඉන්නේ පැරදිලා.

ඇත්තටම රටේ රාළ දිගටම කිව්වේ ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් සාධාරණයි කියලා.රටේ රාළ ප්‍රතිපත්තියක් විදිහට ඒ ස්ථාවරයේ හිටියා.පළවෙනි එක තමයි අනෙකුත් වැටුප් ශ්‍රේණිත් එක්ක සංසන්දනය කරද්දී ගුරු හා විදුහල්පති ශ්‍රේණිවල ලොකු වැටුප් විෂමතාවයක් තියනවා.ඒ ප්‍රශ්නයට වසර 24 කින් උත්තර ලැබිලා නෑ.ඒක විසදන්න ඕනි.ඊළඟ කාරණය තමයි ගුරු විදුහල්පති සේවය සංවෘත සේවයක් වෙන්න ඕනි.අනිත් කාරණය ගුරු විදුහල්පති ගැටළු විසදීමේදී පදනම විදිහට ගන්න ඕනි ගරුවරුනුත් පිලිගන්න සුබෝධනී කමිටු වාර්තාව.එදත් අදත් රටේ රාළ හිටියේ ඒ ස්ථාවරයේ.රටේ රාළ දිගටම කිව්වේ ඉල්ලීම සාධාරණයි හැබැයි අරගලය කරපු වෙලාව වැරදී කියලා.ලෝකයම වෙලාගත්ත වසංගතයක් ඉස්සරහා ගුරුවරු පාරට ගැනීම වැරදී.අනික මේ අවස්ථාව කියන්නේ වැටුප් සටනක් කරන වෙලාව නෙවෙයි.ඒක නිසා එතන වැටුප් සටනකට ඉඩක් තිබුණේ නෑ.ඇත්තටම ඒක තක්කඩි දේශපාලන සටනක්.දේශපාලන උවමනාව වෙනුවෙන් ගුරුවරුන් පාවිච්චි කරගත්ත නින්දිත අවස්ථාවක්.

ඇත්තටම වැටුප් සටන් ඉස්සරහට දාගෙන දේශපාලනය කිරීම රටේ රාළ නං අනුමත කරන්නේ නෑ.ඊළඟට වෘත්තීය සමිති නායකයන්ගේ පදයට නැටවෙන දේශපාලන පක්ෂවලට කවදාවත් මේ රටේ අනාගතයක් නෑ.මේ වගේ වෘත්තීය සමිති නායකයන්ට සටනක් දිනන්න අමාරුයි.ඒකට හේතු ගොඩක් තියනවා.පළවෙනි එක තමයි එයාලට තමන්ගේ අඩුව පේන්නේ නැති එක.ඒ අඩුව පෙන්නලා දෙන කෙනා පේන්නේ හතුරෙක් විදිහට.කිසි කෙනෙක් කියන කිසිම දෙයක් අහන්න එයාලා ලෑස්ති නෑ.ඇත්තටම ඒ ගතිය ගුරුවරුන්ටත් තියනවා.එයාලා දරුවන්ට උගන්නන පිරිසක්.ඒක නිසාම එයාල හිතනවා සියලුදේ තමන් දන්නවා කියලා.තමන්ගෙන් ඉගෙන ගන්නවා මිසක් තමන්ට උගන්නන්න කාටවත් බෑ කියලා.කාගෙන්වත් ඉගෙන ගන්න දෙයක් තමන්ට නෑ කියලා.ඒක අපේ රටේ ගුරුවරු අතර තියෙන පොදු මනෝභාවයක්. ඒත් ඒ තර්කය විෂය මාලාවට අදාළව හරි වෙන්න පුළුවන්.හැබයි හැමදේටම සාපේක්ෂව එහෙම වෙන්නේ නෑ.විශේෂයෙන්ම සමාජ චලිතයක් ඇතුළේ වලංගු වෙන්නේ නිවැරදි දේශපාලන තීරණ මිසක ගුරු ගෝල සම්බන්ධය නෙවෙයි.

අනික මේ සටනට නායකත්වය දුන්න එක ප්‍රධාන කණ්ඩායමක් තමයි ජවිපෙ.ජවිපෙ කියන්නේ වෙනත් කිසිම මතයකට කන් දෙන්න ලෑස්ති ව්‍යාපාරයක් නෙවෙයි.ඒක ජවිපෙ ඇතුළේ තියන ජාති ලක්ෂණයක්.ජවිපෙ මේ දක්වා හිමිකර ගත්ත හැම පරාජයක් පිටිපස්සෙම තියෙන එක ප්‍රධාන කාරණයක් තමයි ඇහුන්කන් නොදීම.ස්ටාලින් කියන්නෙත් ජවිපෙටම හරියන මනෝභාවයක්.ඇත්තටම මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඇතුළේ අඩුපාඩු ගොඩක් තිබ්බා.වෘත්තිය අරගලයක් ඇතුළේ කියාගන්න ඕනි ශක්‍යතාව මේ සටන ඇතුළේ තිබුනේ නෑ.වෘත්තීය සමිති නායකයෝ දැන ගන්න ඕනි තමන්ගේ සටන ආදේශ කරන්නේ කොතෙන්ටද,කොයි වෙලාවටද කියලා.මේ සටනේ වෙලාව සහ ආදේශය සම්පූර්ණයෙන්ම වැරදී.ඊළඟට වෘත්තීය සමිති නායකයෝ දක්ෂ වෙන්න ඕනි මේ සටනේ උපරිමය හා අවමය තීරණය කරගන්න.එකවර සියලු ඉල්ලීම් දිනපු වෘත්තීය අරගලයක් ලෝකයේ කොහේවත් නෑ. ඒ වගේ සීමාව බේරගන්නේ නැතිව අරගලය මෙහෙයවනවා නම් ඒක පිටිපස්සේ අනිවාර්යෙන්ම දේශපාලන උවමනාවක් තියනවා.ගරුවරුන්ට ඒක තේරෙන්නේ නැති උනාට රටේ රාළට ඒ දේශපාලන ඉව හොඳට තියනවා.

අනිත් කාරණය තමයි හැම අරගලයකම සද්භාවය පවත්වා ගැනීම වැදගත්.හැමවිටම සද්භාවය තියෙන්න ඕනි අරගලකරුවන්ගේ පැත්තේ.ආණ්ඩුව පැත්තේ සද්භාවය කොහොමත් නෑ.එහෙම සද්භාවයෙන් කරන අරගලයක් ලේසියෙන් බිමට සමතලා කරන්න බෑ.ලේසියෙන් පරද්දන්නත් බෑ.එයාලා සතු වැදගත්ම අවිය තමයි සද්භාවය.ඒකට හොදම උදාහරණය තමයි KDU පනතට එරෙහිව කරපු සටන.ඒක ඇතුළේ ජවිපෙත් හිටියා.ස්ටාලිනුත් හිටියා.ඒ විතරක් නෙවෙයි පෙරටුගාමීන්, අන්තරේ.විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,43 සේනාංකය,බහුජන සංවිධාන,උගතුන්,මහා සංඝරත්නය හෙමත් හිටියා.ඒ අය අතර පුද්ගලයෝ විදිහට පරාජයන් ඇති.අදත් අන්තරේ හා පෙරටුගාමීන් කීපදෙනෙක් ඉන්නේ හිරේ.එයාලට Covid වෛරසයත් බෝ වෙලා. ඒත් අරගලය දිනුම්.කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරාගැනීමේ සටනත් එහෙම එකක්.වෙන එකක් තියා පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කැඩීමට එරෙහි සටනත් එහෙම එකක්.ඒයාලා හැම වෙලේම සදාචාර බලය තමන්ගේ පැත්තේ තියා ගන්න දක්ෂ වුණා.ඒක නිසා අරගලයේ ලොකු පුංචිකම බලන්නේ නැතිව බහුතර සමාජය එයාලත් එක්ක හිට ගත්තා.ඒ හැම ජයග්‍රහණයක් පිටිපස්සේ තියෙන්නේ අන්න ඒ ජනතා සහයෝගය.

හැබැයි ගුරු විදුහල්පති සටන ආරම්භයේ සිටම ෆේල්.මොකද එයාලා ආවේ සද්භාවය ගෙදර තියලා,සමාජ සාධාරණය ගැන ඒක පාක්ෂික විග්‍රහයකුත් එක්ක.මේ රටේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය කඩාකප්පල් කරලා.එක නිසා සමාජ මනොභාවය එයාලට වාසිදායක විදිහට හැසිරෙන්නේ නෑ.ඒ සමාජ මනෝභාවය කෘතීමව හදන්නත් බෑ.ජවිපෙ ඇතුළු වෘත්තීය සමිති නායකයන්ට තේරෙන්නේ නැති ප්‍රධාන කාරණය තමයි ඕක. එයාලාගේ තක්සේරුව වැරදී.එයාලා හිතනවා එයාලා ඉන්න තැනට සමාජය එන්න ඕනි කියලා.එයාලා සමාජය ඇතුළට යන්න කැමති නෑ.කැමති නෑ නෙවෙයි.ඇත්තටම බයයි.සටන පැරදුනාට පස්සේ අන්තිමට ජවිපෙ බනින්නේ සමාජයට.එයාලා දෙන උත්තරය තමයි අපේ සමාජයේ මිනිස්සුන්ට තියෙන්නේ වැඩවසම් මනසක් කියලා.හැබැයි ජවිපෙට තියෙන්නේ ඊටත් එහා ගිය ප්‍රාග් කොමියුනිස්ට් යුගයේ මනසක්.ඊළඟට ආණ්ඩු විරෝධය කියන එක දේශපාලනයේදී හැමවිටම පාවිච්චි කරන්න පුළුවන් උනාට,ඒක හැම වැටුප් සටනකදීම පාවිච්චි කරන්න බෑ.ඒක සාධාරණ උනත් සටන් කරන අවස්ථාවත් නිවැරදි වෙන්න ඕනි.

ගුරු විදුහල්පති සටනේ තිබුණ මේ දුර්වලකම හරියටම ආණ්ඩුව තේරුම් ගත්තා.රටේ රාළ දිගටම ආණ්ඩුවට යෝජනා කළේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා එකවර ඉවත් කරන්න බැරි උනත් කරන්න පුළුවන් ටික සද්භාවයෙන් කරන්න කියලා.විශේෂයෙන් සුබෝධනී කමිටු වාර්තාව පිලි අරගෙන ඒක මත පදනම් වෙලා ගුරු විදුහල්පති ගැටළුව විසදන්න කියලා.මොකද ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයෝ මොනතරම් පිස්සු කෙලියත් මේ රටේ ලක්ෂ දෙක හමාරකට වැඩි ගුරු විදුහල්පතිවරු වෙනුවෙන් ආණ්ඩුවට ඒ විදියට හැසිරෙන්න බෑ.හැබැයි මේ ආණ්ඩුව ගුරු විදුහල්පතිවරුන්ටත් සැළකුවේ අර වෘත්තීය සමිතිවලට සළකන විදිහට තමයි. අඩුම වශයෙන් සුබෝධනී කමිටු වාර්තාව පිලිගන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න තිබුණා.ඒක වෘත්තීය සමිතිවලට ලිඛිතව දෙන්න තිබුණා.ගුරු විදුහල්පති වැටුප් සටන පටන් ගන්න මොහොතේ ආණ්ඩුව හිටිය ස්ථාවරයෙන් එයාලා එක අඩියක් පස්සට ගියේ නෑ.එයාලා කළේ තවත් ඉස්සරහට ඇවිත් ගුරු විදුහල්පති ඉල්ලීම් තවත් ඈතට තල්ලු කරපු එක.

අද එයාලා ගුරුවරුන්ගේ ඉල්ලීම්වලින්ම ගුරුවරුන්ට දමලා ගහලා ඉවරයි.ඒ උවමනාව ඉෂ්ඨ කරන්න තමයි අර කැබිනට් අනුකමිටුව පත් කළේ.ඒ කමිටුවට යෝජනා කළ නම් ටික දැක්ක ගමන් රටේ රාළට නං හිතුනා රාජපක්ෂලට ඕනි විදිහට වැඩේ දෙනවා දෙනවාමයි කියලා.ඒ කමිටුවේ හිටිය කිසිම කෙනෙක් ස්වාධීන මතයක් නියෝජනය කරන අය නෙවෙයි.එයාලගේ මතය තමයි රාජපක්ෂලාගේ මතය.රාජපක්ෂලාගෙන් කැපෙමින් ඉන්න එයාලටත් ඕනි ගුරු ප්‍රශ්නය විසදන්න නෙවෙයි.රාජපක්ෂලට ඕනි විදිහට කමිටු වාර්තාව හදලා එයාලගේ ප්‍රශ්න විසදගන්න.ඒක නිසා රටේ රාළ වෘත්තීය සමිති නායකයන්ගෙන් අහනවා,ඇමති අනුකමිටුවත් එක්ක ඔයාලා කළ සාකච්ඡාවලට අදාළව එයාලා කැබිනට් වාර්තාව ඉදිරිපත් කළාද කියලා?අනු කමිටුව එයාලගේ වැඩේ කරගැනීම වෙනුවෙන් ස්ටාලින්ලා,මහින්ද ජයසිංහලා කඩේ ඇරියා.අනු කමිටුව රාජපක්ෂලාට කඩේ යන ගමන් මහ ලොකු වෘත්තීය සමිති නායකයෝ එයාලා වෙනුවෙන් කඩේ ගියා.අර ස්ටාලින් කියන්නේ,ඇමති අනුකමිටුවේ ඉල්ලීමට අපි අඩිය පස්සට ගත්තා කියලා.

ඇත්තටම ආණ්ඩුව දුන්න උත්තරය වෘත්තීය සමිති විතරක් නෙවෙයි රටේ රාළත් පිලිගන්නේ නෑ.ඒක ඇත්තටම පිස්සු උත්තරයක්.ඒ වගේම ගුරු විදුහල්පතිවරු තුට්ටු දෙකට දාපු උත්තරයක්.ඔය කියන විදිහට ගුරු විදුහල්පතිවරුන්ට තව අවුරුදු හතරක් බලා ඉන්න වෙනවා.ඒත් ඇත්ත වැටුප් විෂමතාවයට උත්තරයක් ඒ යෝජනා ඇතුළේ නෑ.ඊළඟට නොවැම්බර් 20 ට ඉස්සෙල්ලා ගුරු,විදුහල්පති සේවය සංවෘත සේවයක් විදිහට ගැසට් කරනවලු.ඔක්කොම දෙන්නං කාසි වැඩ තමයි. ඇත්තටම මෙතන තියන නරකම යෝජනා තමයි අර සැප්තැම්බර්,ඔක්තොම්බර් මාසවලට දෙනවා කියන 5000 දීමනාව.ඒක දෙන්නෙත් ඔන්ලයින් කරන අයට විතරයි. ඇත්තටම ඒක හරියට අර අඩු ආදායම් ලාභීන්ට දෙන රුපියල් 2000 දීමනාව වගේ. ආණ්ඩුව හිතනවා ඇති ගුරුවරු රුපියල් 5000 ගන්න පෝලිමේ එයි කියලා.ගුරු විදුහල්පති වැටුප් සටනේ ඇතැම් තැන්වලට රටේ රාළ විරුද්ධ වුණාට ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න එපා කියලා රටේ රාළ ආණ්ඩුවට බල කරලා කියනවා.

කොහොම හරි මේ සටනෙදී ගුරුවරු ගත්ත වැරදි ප්‍රවේශය නිසා වගේම ආණ්ඩුවේ තක්කඩි මැදිහත්වීම නිසා අද කනකොකා හඩලා තියෙන්නේ මේ රටේ අහිංසක දුවා දරුවන්ගේ අධ්‍යාපනයට.ඒක නිසා මේ දෙපිරිසම පලිගන්නේ රටේ අනාගතයෙන්.ගුරු සටන දිනන්න සටන් කරනවා නම් කරන්න තිබුණේ ඔහොම නෙවෙයි.ගුරුවරු සටන් කරන්න තිබුණේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන්.සටනේ ආරම්භය තිබුණේ එතන.වසංගතය අස්සේ අපි දරුවන්ට උගන්වන්නම් උඹලා ඒ පහසුකම දීපල්ලා කියලා.එහෙම සටන් කළා නම් ඒක මුළු සමාජයම වෙලාගත්ත සටනක් වෙනවා. සමස්ථ සමාජයේම ආශීර්වාදය ඊට හම්බ වෙනවා.සමස්ථ ගුරු විදුහල්පති ඉතිහාසයේ විශිෂ්ඨම සටන ඒක වෙනවා.ගුරුවරුන්ගේ ඒ මහන්සියට දීමනාවක් ලබාදෙන්න කියන සටන එහෙනම් සමාජය ඇතුළෙන්ම මතුවෙනවා.මේ විදිහට හිගන්නන්ට සල්ලි දෙනවා වගේ 5000 ගන්නේ නැතිව.වසංගත කාලේ ඒ වැඩේ කරලා ඊළඟට පටන් ගන්න තිබුණු සටන තමයි ගුරු විදුහල්පති වැටුප් සටන.එහෙනම් ඒ සටනට දෙමාපියොත් එනවා.ගුරු සටන ජාතික සටනනක් කරන්න තිබුනා.ගෞරවණිය විදිහට ඒ සටන අවසන් කරන්න තිබුනා.

ආණ්ඩුව ඒ අවස්ථාව ගුරු විදුහල්පතිවරුන්ගෙන් දැන් උදුරගෙන ඉවරයි. ආණ්ඩුව ලස්සනට ප්‍රතිවිරෝධය කළමණාකරණය කළා.ආණ්ඩුව දැන් කියයි අපි ඔන්ලයින් කරන්න ගුරුවරුන්ට 5000 ක් දෙනවා.පටන් ගන්න නොගන්න එක එයාලගේ වැඩක් කියලා.ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවලට දැන් සටන මඟ නවත්තන්න බෑ. ඒක නිසා මේ සමාජය ඇතුළේ ගුරුවරයාට ඉතුරු වෙන්නේ දෙමාපියන් එක්ක ප්‍රතිවිරෝධයක් විතරයි.ආණ්ඩුව එතනට උගුල ඇටෙව්වා.කොහොම උනත් රටේ රාළ එක්ක දන්නවා.මේ ආණ්ඩුවට ගුරුවරුන්ගේ ප්‍රශ්න විසදන්න බෑ.මෙයාලා කරන්නේ තවත් ඔයාලා රැවටීම විතරයි.ඒක රැවටීමක් බව දැන දැනම වෘත්තීය සමිතිකාරයොත් සටන් තෝරනවා.ඒ එයාලගේ පැවැත්ම වෙනුවෙන්.ඒක නිසා ගුරු විදුහල්පති සටනට විසදුම මේ ආණ්ඩුව ඇතුළේ නෑ.ඒක තියෙන්නේ 2024 දී රටේ රාළලා හදන ජනතාවාදී ආණ්ඩුව ඇතුළේ.එහෙනම් ගිහින් එන්නම්.බුදු සරණයි. ජයවේවා.

මීට
රටේ රාළ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More