මුහුණු පොතෙන්

රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ තමන්ට ලබාදිය හැකි, ගුරු විදුහල්පතිවරුන්ට පිළිගත හැකි හොඳම විසඳුම ලබාදීමට තමන් කටයුතු කළ බවත් එය පිළිගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට පෙරට එන ලෙස ඉතා කාරුණිකව, ඉතාමත් බැගෑපත්ව මෙරට සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට දෙපා නමැද ඇරයුම් කරන බවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට පත් කළ අමාත්‍ය අනු කමිටු සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (01) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ zoom තාක්ෂණය ඔස්සේ පැවැති රජයේ මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් නිරෝධායනයට ලක්වීමට සිදු වී ඇති නිසා අනු කමිටුවේ සාමාජිකයන් වන මෙම කටයුත්තේදී පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළ වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වන්නේ නැහැ. ඔවුන් දෙදෙනාත් ඇතුළුව මෙම කැබිනට් අනු කමිටුවේ සාමූහික වගකීම ඇතිවයි මම සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම මාධ්‍ය හමුව නියෝජනය කරන්නේ.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින්ම පෙන්වා දෙන ආකාරයට මෙම ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය වසර 24ක් තිස්සේ බලපැවැත්වූ ප්‍රශ්නයක්. ජනාධිපතිවරණය සඳහා අප විසින් ඉදිරිපත් කරන ලද ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ද මෙම ප්‍රශ්නය විසඳන වට අප ප්‍රතිඥා දී තිබෙනවා. ඒ වගේම මෙම අනුකමිටුවේ මූලිකත්වය ගෙන කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මැතිතුමන් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ කෙටි කාලය තුළ ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවල ප්‍රධාන ඉල්ලීමක් වූ ගුරු සේවය, ගුරු උපදේශක සේවය හා විදුහල්පති සේවය යන සේවා තුන ඒකාබද්ධ කොට සංවෘත සේවාවක් හඳුන්වා දීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ද ලැබී තිබුණා. නමුත් අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධුරයට පත් වී මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට පමණක් නොව මුළුමහත් ලෝකයටම අපේ ජීවිත කාලය තුළ අපි අත්විඳින භයානකම වසංගත අභියෝගයට මුහුණ දීමට සිදු වූ බව. එම වසංගත අභියෝගයත් සමගම රජයේ ප්‍රමුඛතා ලැයිස්තුව වෙනස් වීමට පටන් ගත්තා. අපට බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය තීව්‍ර වූ අවස්ථාවේදී ඊට අනුරූපව හැඩගැසීමට සිදුවුණා වගේම මෙම සෞඛ්‍යමය ප්‍රශ්නය කේන්ද්‍රීයම ප්‍රශ්නයක් බවට පත්වුණා. ඒ අනුව තීරණ ගෙන කටයුතු කිරීමේදී අපේ රටේ ආර්ථිකයට නොසිතූවිරූ බලපෑමක් ඇති වුණා. මේ වනවිට ඩොලර් ආදායම ද රුපියල්වලින් ලැබෙන ආදායම ද හීන වී තිබෙනවා. මෙවැනි බැරෑරුම් තත්වයකට අපි රටක් ලෙස මුහුණ දී සිටිනවා.

කෙසේවෙතත් ජී. එල්. පීරිස් ඇමතිතුමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ දී විවාදයට ලක් වී තිබෙන සුබෝධිනී වාර්තාව පදනම් කරගෙන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණා. නමුත් එම සුබෝධිනී වාර්තාව පදනම් කර ගත් කැබිනට් පත්‍රිකාව පිළිගැනීමට කැබිනට් මණ්ඩලයට හැකියාවක් තිබුණේ නැහැ. එය වැටුප් කොමිෂන් සභාව විසින් ද වැටුප් වැඩි වීම පිළිබඳව ප්‍රතික්ෂේප කරන ලද නිර්දේශයන් ඇතුළත් වාර්තාවක්. එය සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් ඉදිරිපත් කරන ලද සුබෝධිනී වාර්තාව පිළිගත නොහැකි වූ නිසයි අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ, මෙම ප්‍රශ්නයට සාධාරණ, ඒ වගේම රජයට දරා ගන්න පුළුවන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට පිළිගත හැකි, වෙනත් රාජ්‍ය සේවාවන්ටත් අහිතකර උත්තේජනයක් ඇති නොවන යෝජනාවන් ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට. ඒ නිසා මෙම කැබිනට් අනු කමිටුව ලෙස අපේ වගකීම වූයේ ඉහත කී සියලු තත්ත්වයන්ට අනුකූල වන අතරමැදි ස්ථානයක් නිර්මාණය කිරීම. එහිදී අපි ගුරු විදුහල්පති වෘත්තීය සමිති බොහෝ සංඛ්‍යාවක් සමඟ සාකච්ඡා කරමින්, අනුකමිටුව ලෙස විශාල වාර ගණනක් රැස්වී, ඉහත සාකච්ඡාවල දී මතු වූ සාධනීය කරුණු සමාලෝචනය කරමින් සති දෙකක් තුළ අනුකමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

ගුරු සේවය, ගුරු උපදේශක සේවය හා විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවාවක් බවට…

අප ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ ඇතුළත් වාර්තාව පදනම් කරගනිමින් අමාත්‍ය මණ්ඩලය මෙම ප්‍රශ්නය විසඳීමට අදාළව තීරණ රැසක් පසුගිය සදුඳා ගනු ලැබුවා. පළමුවැන්න ‘අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් ලෙස අනුමත කිරීම’ යන්නයි. දෙවැන්න ‘ගුරු සේවය, ගුරු උපදේශක සේවය හා විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් 2021 නොවැම්බර් 20 වැනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම’ යන්නයි. ඔබ දන්නවා, මෙම සේවාවන් තුන ඒකාබද්ධ කොට එක සේවාවක් බවට පත් කිරීමේදී නව සේවා ව්‍යවස්ථාවක් සැකසිය යුතුයි. මෙම සේවාවන් තුන ඒකාබද්ධ කොට හදන සංවෘත සේවාවට, අධ්‍යාපන පරිපාලන සේවයට යාමට ‘පාලමක් ‘ සාදා දිය යුතුයි. ඊට ගැළපෙන පරිදි අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. මෙවැනි ක්‍රියාකාරකම් ජාලයක් තිබෙන නිසා තමයි අපි නිර්දේශ කළේ 2021 නොවැම්බර් 20ට පෙර මේ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කළ යුතු බවට. අමාත්‍ය මණ්ඩලය ද එම නිර්දේශය ඉතා නිවැරදිව පිළිගෙන තිබෙනවා. ගුරු විදුහල්පතිවරුන් බොහෝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි මෙම ඉල්ලීම ඉටුවන අතරේ අමාත්‍ය මණ්ඩලය ඊළඟට අනුමත කළා ‘අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් ඉවත් කිරීම’ සඳහා නිර්දේශිත වැටුප් සංශෝධනයන් 2022 අය-වැය යෝජනාවක් මගින් අදියරගතව ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම’ යන්න.

මොනවාද මේ ‘නිර්දේශිත වැටුප් සංශෝධනයන්’ කියන්නේ?

මොනවාද මේ ‘නිර්දේශිත වැටුප් සංශෝධනයන්’ කියන්නේ? මේ තිබෙන්නේ අප කැබිනට් මණ්ඩලයට ඉදිරපත් කළ අනු කමිටු වාර්තාව.(පෙන්වයි). එහි පළමු ඇමුණුමේ තිබෙනවා වැටුප් වර්ධනය වන අන්දම. ඒ අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට(SLPS III) වැටුප් වැඩි වෙනවා 19.54% කින්. එනම් 35,280, 42,175 දක්වා වැඩි වෙනවා. ඒ වගේම විදුහල්පති සේවයේ දෙවන ශ්‍රේණියට(SLPS II) වැටුප් වැඩි වෙනවා 21.59% කින්. එනම් 40,040, 48,685 , දක්වා වැඩි වෙනවා. විදුහල්පති සේවයේ පළමුවැනි ශ්‍රේණියට(SLPS I) වැටුප් වැඩි වෙනවා 25.95% කින්. එනම් 46,325 , 58,345 දක්වා වැඩි වෙනවා. ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමත් මෙලෙසමයි. SLTS 3 – II ශ්‍රේණියට වැටුප් වැඩි වෙනවා 13.52% කින්. SLTS 3 – I C ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 15.64% ක්. SLTS 3 – I B ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 18.48% ක්. එලෙසම SLTS 3 – I A ශ්‍රේණියට 20.43% කින් වැටුප් වැඩි වෙනවා. මෙම වැටුප් වැඩිවීම් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා.

වැටුප් වැඩිවීම් නොවැම්බරයේදී ඉදිරිපත් කරන අය-වැයත් සමග

මෙම වැටුප් වැඩිවීම් නොවැම්බරයේදී ඉදිරිපත් කරන අය-වැයත් සමග ක්‍රියාත්මක වෙනවා. රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව මහා භාණ්ඩාගාරයට දරා ගත හැකි ආකාරයට මෙම වැටුප් වැඩිවීම ලබාදීමට අපි අනුකමිටුව ලෙස විවෘත ඉඩකඩක් තබනු ලැබුවා. මහා භාණ්ඩාගාරයට පෙනෙනවා නම්, ‘අපට මෙම ගෙවීම් එකවර කළ හැකියි’ කියා මුදල් ඇමතිතුමා ඒ අදහස අයවැය කතාවේදී කියයි. මහා භාණ්ඩාගාරයට පෙනෙනවා නම් ‘මෙය අදියර දෙකකින් ලබාදිය යුතුයි’ කියා එය මුදල් ඇමතිතුමා අයවැය කතාවේදී සඳහන් කරයි. එයයි අපි අතර ඇතිවී තිබෙන එකඟතාව.

ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු ප්‍රජාව උපාධිධාරීන් බවට…

මීට අමතරව අපි තවත් ගුරු විදුහල්පති සේවාවන්ට අදාළ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියල්ල පළාත් සභාවන්හි අධ්‍යාපනයට අදාළ බලධාරීන් සමග එක්ව මාස 06ක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙස ද කැබිනට් මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා. ‘ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු ප්‍රජාව උපාධිධාරීන් බවට පත් කිරීම අපගේ විශේෂිත අරමුණක් වේ. ඒ සඳහා අධ්‍යාපන විද්‍යාපීඨ ලෙස පවත්වාගෙන යන පීඨ 18ම විශ්ව විද්‍යාල පීඨ බවට පත් කළ යුතුය’ යන්න එම නිර්දේශ අතර තිබෙනවා. විදුහල්පතිවරුන්ට වෙනම කාර්ය මණ්ඩලයක් ලබාදීම, අනෙකුත් රජයේ මාණ්ඩලික නිලධාරීන්ට මෙන් ඉන්ධන දීමනාවක් ලබාදීම ආදී පහසුකම් ලබාදීමටත් අපි ඉදිරිපත් කළ අනෙකුත් නිර්දේශවලට ඇතුළත් වේ. ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අභිමානය පිළිගැනීම, අනන්‍යතාව පිළිගැනෙන පරිදි කාර්යාල පරිසරය සැකසීම, රටෙහි පවතින තත්වය හමුවේ කාර්යක්ෂමව මාර්ගගතව ඉගෙනීම් කටයුතු පවත්වාගෙන යාමට තාක්ෂණ උපකරණ සපයා ගැනීමට සහනදායී ක්‍රමවේදයන් හඳුන්වා දීම ආදිය ද අපේ නිර්දේශවලට එක්කොට තිබෙනවා.

‘මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා’

මෙවැනි වසංගත අභියෝගයක් පවතින මොහොතක රජයක් විදියට දෙන්න පුළුවන් සාධාරණම විසඳුම තමා මේ දීලා තිබෙන්නේ. කවුරුහරි මේ නිර්දේශවල ‘සුබෝධිනීගේ නම නැහැ’ කියා කෑගසනවා නම් ඒ ‘මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා’ මිස වෙන කවුරුවත් නොවෙයි. අපි අනුකමිටුව ලෙස නිර්දේශ කළේ නැහැ ‘අය – වැය ගෙන එනතුරු මාස 02ක් රුපියල් 5000 බැගින් දෙනවා’ කියා. ඒක වැඩි හොඳක් ලෙස දැකලා කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍යතුමන් තමා යෝජනා කළේ. එය ඇත්තටම සද්භාවයෙන් කළ යෝජනාවක්. වෘත්තීය සමිති කියනවානම් ‘ඒක එපා. ඒකත් තියාගෙන අයවැය යෝජනාවෙන් වැටුප් වැඩිවීම් ලබාදෙන විට එම මුදලුත් යොදාගන්න’ කියා එය ද ප්‍රශ්නයක් නැහැ. ඒක විවාද කරන්න කරුණක් නොවෙයි. ‘5000 කතාව’ පැත්තකට දමලා මේ පොදු විසදුම පිළිගන්න, කියා අපි මේ රටේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

“අපි කාගේත් දරුවන්ගේ නාමයෙන් මේ විසඳුම් පිළිගෙන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීම සඳහා ඉදිරියට එන්න”

අපි දන්නා විදිහට උතුරේ දරුවෝ, කොළඹ ප්‍රධාන පාසල්වල දරුවෝ, පෞද්ගලික පාසල්වල ඉගෙනගන්න දරුවෝ මාර්ගගත අධ්‍යාපනය ලබනවා. එතකොට අද මේ මාර්ගගත අධ්‍යාපනය ලබන්න බැරි වෙලා තිබෙන්නේ එක්තරා සැලකිය යුතු දරුවන් පිරිසකට පමණයි. ඒ දරුවන්ට පමණයි මේ අසාධාරණය සිදු වන්නේ. ඒ දරුවනුත් මේ රටේ දරුවෝ. ගුරු වෘත්තියේ තිබෙන ශ්‍රේෂ්ඨත්වය, අභිමානය කවුරුත් අලුතෙන් පැහැදිළි කළ යුතු නැහැ.’මෙවැනි වසංගත තත්වයකදී ගෙදරට හිර වෙලා ඉන්න, තමන්ගේ සමවයස් පිරිස් සමග කෙළිදෙලෙන් ගත කිරීමට බැරිව ඉන්න අපි කාගේත් දරුවන්ගේ නාමයෙන් මේ විසඳුම් පිළිගෙන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීම සඳහා ඉදිරියට එන්න කියා ඉතා කරුණාවෙන්, ඉතාමත්ම බැගෑපත්ව මේ රටේ සියලුම විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ දෙපා නැමද ආරාධනා කරනවා.’රජයක් විදිහට මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ අපට දිය හැකි, ඔබට පිළිගත හැකි හොඳම විසඳුම අප ලබාදී තිබෙනවා. මීට වඩා වැඩි දෙයක් ඉල්ලමින් මේ ප්‍රශ්නය තවදුරටත් දිග්ගැසීම නොකළ යුතු දෙයක් බව ද සඳහන් කළ යුතුයි ”

මෙම මාධ්‍ය හමුවේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද අදහස් දැක්වීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය,
2021.09.01



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More