දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බද්යුද්දීන් මහතා නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ පසුගිය අප්‍රේල් 24 වනදා අත් අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි මන්ත්‍රිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරුණේ දින 111කට පසුව වීම විශේෂත්වයකි.

මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන අතර අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝගයකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයා රඳවාගෙන ප්‍රශ්න කළේය.

කෙසේ වුවද ඊයේ(10) පෙරවරුවේ සෞඛ්‍ය තත්ත්ව පරික්ෂාවක් සඳහා සැකකාර මන්ත්‍රිවරයාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

සැකකාර රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයා කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඊයේ පස්වරුවේ ඉදිරිපත්කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර සිටියේ පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් ඉන්ෂාෆ් අහමඩ් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව රිෂාඩ් බදියුදින් නැමැති මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත්කරන බවය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණයට වාර්තා කර සිටියේ ඉන්ෂාෆ් අහමඩ් නැමැති ස්වයං ඝාතන බෝම්බකරුට අයත්ව තිබු “කොලෝසස්” නැමැති තඹ කර්මාන්ත ශාලාව හරහා තඹ අපනයනය කිරීමෙන් උපයාගත් මුදල් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට උපයෝගී කරගෙන ඇතැයි විමර්ශනවලදි හෙළිවී ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින්ට අනුව කොළඹ පෞද්ගලික බැංකුවක පිහිටි, එම සමාගමට අයත් ගිණුමකින් නිකුත් කළ රුපියල් ලක්ෂ 20ක මුදලක් ප්‍රහාරයෙන් පසු බෝම්බකරුවෙකුගේ එක් බිරිඳක් සන්තකයේ තිබි සොයා ගෙන ඇත.

මහෙස්ත්‍රාත්වරයා එම විමර්ශනය හා ඊයේ අධිකරණයට ඉදිරිපත්කර ඇති සැකකරු අතර පවතින සම්බන්ධය කුමක්දැයි විමසූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් පැවසුවේ සැකකාර මන්ත්‍රිවරයා කර්මාන්ත අමාත්‍යවරයාව සිටි සමයේ ඉහත කී තඹ කර්මාන්ත ශාලාවට නෛතික රාමුවෙන් බැහැරව විශාල ප්‍රමාණයෙන් තඹ නිකුත් කිරීමක් සිදුව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අධිකරණය  හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවසා සිටියේ රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා යටතේ සිටි අතිරේක ලේකම්වරයෙකු වූ බාලසුබ්‍රමනියම් නැමැත්තෙකු ඊට අවසර දී ඇති බවත් ඒ සඳහා අමාත්‍යවරයා ද මැදිහත්වීමක් සිදුකර ඇතැයි විමර්ශනවලදි හෙළි වූ බවයි.

තවද ප්‍රශ්නගත තඹ නිකුත් කිරීම සිදුව ඇති කාලය තුළ අදාළ අතිරේක ලේකම්වරයා, ස්වයං ඝාතක බෝම්බකරු සහ අමාත්‍යවරයා අතර පැවති දුරකථතන සම්බන්ධතා පිළිබඳ තොරතුරු ද විමර්ශනවලදි හෙළිවූ බවත් වාර්තා කර සිටියේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් වාර්තා කර සිටියේ එක් අවස්ථාවකදී “කොලෝසස්” සමාගමට තඹ ලබාදීමට එවක ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා විරෝධය පළකළ බවත් එහිදි ඔහු මුණගැසුණු එවකට අමාත්‍ය රිෂාඩ් බදියුදින් “ඇයි අපේ කට්ටියට කරදර කරන්නේ” යනුවෙන් විමසු බවත් සෙනෙවිරත්න මහතා ප්‍රකාශයක් දී ඇති බවයි.

ඒ අනුව කරුණු සලකා බැලු කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකාර රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

නඩුව මේ මස 18 වනදා යළි කැඳවීමට නියෝග කෙරුණු අතර රක්ෂිත බන්ධනාගාරගත කළ මන්ත්‍රිවරයා පසුව කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More