හිටපු විගණන අධිකාරීවරයෙක් වුණු ලලිත් අඹන්වල මහත්තයා (13) අභාවප්‍රාප්ත වුණා. ඒ අද පෙරවරුවේ ඇති වූ හදිසි හෘදයාබාධයකින්. ලලිත් අඹන්වල මහතා සිය සේවයෙන් විශ්‍රාම යනවිට අතිරේක විගණකාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටියා. රස්සාවට ණය නොවුණු, ඇස්, ලේ මස් පවා තමන්ගේ රැකියාවේ ස්වාධීනත්වය වෙනුවෙන් දන්දීපු මේ උතුම් රාජ්‍ය සේවකයාගේ නම, අපේ රටේ බොහෝ දෙනා දැනගත්තේ, ඔහු ඇසිඩ් ප්‍රහාරයකට ලක්වීමත් එක්කයි.
ඇසිඩ් ප්‍රහාරයේ පසුබිම
ලලිත් අඹන්වල කියන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ විගණන අධිකාරීවරයා. රාජකාරිය අකුරටම කරපු අඹන්වල මහත්තයට සතුරෝ හරියට හිටියා. මේ අයගෙන් ඔහුට තර්ජන තිබුණත්, ලලිත් අඹන්වල කියන්නේ ඒවට බයේ රාජකාරි පැහැර හැරපු කෙනෙක් නම් නෙමෙයි.
දූෂිතයන් පිරුණු මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය
ඒ කාලේ වෙනකොට මහනුවර පිහිටි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දූෂණ අක්‍රමිකතාවලින් පිරුණු තැනක් වෙලා තිබුණේ. මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් කිහිප දෙනෙක් අසීමාන්තිකව රජයේ මුදල් අවභාවිතා කරමින් සිටියා. එවකට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයා වූ ආනන්ද වීරසිංහත් පළාත් අධ්‍යාපන අධ්‍යක්‌ෂ වරයා ලෙස කටයුතු කරමින් හිටපු ආනන්ද මුණසිංහත් මේ වැඩේ මුලටම හිටියා. ඔවුන්ට සහ ඔවුන්ගේ ගෝලබාලයන්ට රාජකාරිය අකුරටම කරන සරත් අඹන්වල විගණන අධිකාරීවරයා ලොකු හිසරදයක් වෙන්න වැඩි කලක් ගියේ නැහැ. මේ සොරකම් ලිඛිත සාක්ෂි ඇතිව හෙළිදරව් කරගන්න, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විගණනය කළ මෙම ආයතන විගණනය කළ ලලිත් අඹන්වල මහත්තයට සහ ඔහුගේ පිරිසට හැකි වුණා.
සොරකම්වල තරම
අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ගුණාත්මක බව වැඩි දියුණු කරන්න ගුරුවරුන් හා අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ සම්පත් දායකයන් ඉලක්‌ක කරගෙන රජය මගින් වාර්ෂිකව පුහුණු සැසිවලට මුදල් වෙන් කරවා. හැබැයි 1999, 2000 සහ 2001 වසරවලදී මේ සැසි පවත්වන්න මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ නැහැ. හැබැයි ඒ සැසි පවත්වපු බවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරලා රුපියල් පනස් හතර ලක්‌ෂ අසූ හය දහස් හාරසිය හතලිස් තුනක් මේ අය සොරකම් කරලා තිබුණා.
මීට අමතරව නිවැරදි නොවූ ටෙන්ඩර් පටිපාටි හරහා මධ්‍යම පළාතේ පාසල්වලට අනුමතව තිබූ පරිගණක හා උපාංග වෙනුවෙන් රුපියල් එක්‌කෝටි හැත්තෑ දෙලක්‌ෂ හැටදාස් එකසිය හතළිස් පහක් පුද්ගලික ආයතනයකට හොර පාරෙන් ගෙවන්නත් මේ පිරිස කටයුතු කර තිබුණා. අබලන් තත්ත්වයේ තිබුණු ඒ පරිගණක සඳහා අනුමත මිලට වඩා රුපියල් තිස් හය ලක්‌ෂ දාසය දහසක මුදලක් එම ආයතනයට ගෙවීමට මොවුන් කටයුතු කර තිබූ බව වාර්තා වුණා.
ඒ වගේම වතාවක්, රුපියල් දාහත් ලක්‌ෂ අනූ එක් දහසක් ගෙවල මිලදීගෙන තිබුණු මැග්නටික් බෝඩ් හයසිය අනූවක් පාවිච්චි කළ නොහැකි තත්ත්වයේ තිබුණේ. ඒ වගේම පාවිච්චි කරන්න බැරි තරම් ප්‍රමිතියෙන් තොර ළමා ඩෙස් පුටු තොගයක් සඳහා තිස් හතර ලක්‌ෂ තිස් දහස් අටසියයක් මේ පිරිසට හිතවත් කෙනෙකුගේ ආයතනයකට ගෙවා තිබුණා.
මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මිලදී ගත් තවත් පරිගණක තොගයක් වෙනුවෙන් රුපියල් පනස් ලක්‌ෂ හැට තුන් දහස් හයසිය හතළිහක් වැය කර තිබුණා. මේ පරිගණක තොගය අබලන් තත්ත්වය නිසා භාවිතයෙන් ඉවත් කර තිබියදී මිලට ගෙන ඇති බවයි පසුව වාර්තා වුණේ. ඒ වගේම ටෙන්ඩර මණ්‌ඩලය විසින් අනුමත කළ ඉලෙක්‌ට්‍රොනික් ගණක යන්ත්‍ර තොගයක් මිලදී ගැනීමට බව පවසමින්, ඒ සඳහා රුපියල් නවලක්‌ෂ හැත්තෑදහස් හයසිය හතලිහක් වෙන්කරගෙන, ඒ සම්පූර්ණ මුදලම වැය කරමින් කිසිදු ප්‍රමිතියකින් තොර ගණක යන්ත්‍ර මිලදීගන්නටත් කටයුතු කර තිබුණා. මේ සියල්ලම ලලිත් අඹන්වල මහතා ඇතුළු පිරිස සොයාගත්තා. මේ මහා පරිමාණ හොරකම්වලට තවත් – තව තවත් හොරකම් රාශියක්ම එකතුවෙලා තිබුණා.
හොරුන්ට වැඩ වරදියි
ලලිත් අඹන්වල සහ පිරිස සියළු ලිඛිත සාක්ෂිත් එක්ක මේ නිර්ලජ්ජිත සොරකම් හෙළිදරව් කිරීමත් එක්ක, මේ නිලධාරින් වැටුණේ ලොකු අමාරුවක. ලලිත් අඹන්වල සියලු සාක්ෂි සහිත මේ වාර්තාව එවකට මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම්ට, මධ්‍යම පළාතේ අධ්‍යාපන අධ්‍යක්‌ෂවරයාට, මෙන්ම විගණකාධිපතිවරයා හරහා පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවටත් දැනුම් දුන්නා. අවසානයේදී මේ පිළිබඳව සොයාබලන්න, මේ පිරිසට පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවට පැමිණෙන ලෙස දැනුම් දෙනවා.
දවස ගානේ තර්ජන
මේ සිදුවීමත් එක්කම, ලලිත් අඹන්වල මහත්තයට මරණ තර්ජන එනවා. ඒ දුරකථන මාර්ගයෙන්. දවස ගානේ මේ එන දුරකථන ඇමතුම්වලින් සමහරක් ඔහුට ඇසිඩ් ගසා මරණ බවට තර්ජනය කරනවා.
ලලිත් අඹන්වල මහත්තයා මේ ගැන පොලීසියට පැමිණිලි කරනවා.
ඇසිඩ් ප්‍රහාරය
2002 මැයි මස 20 වැනිදා හවස් වරුවේ, තමන්ගේ වාහනයෙන් ගමන් කරමින් හිටපු ලලිත් අඹන්වල මහත්තයට මහනුවර නගර මධ්‍යයේදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වෙනව. මේ ප්‍රහාරය එල්ල කරන්නේ ලලිත් අඹන්වල මහත්තයව මරන්න හිතාගනම වුණත්, ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේ ප්‍රහාරයෙන් අඹන්වල මහත්තයගේ එක ඇහැක් අන්ධ වෙනවා. අනෙක් ඇහැ අන්ධ නොවුණත්, ඊට සැළකිය යුතු තරමේ හානියක් වෙනව. ඉතා දරුණු විදිහට ඔහුගේ මුහුණ පුළුස්සා විකෘති කරන්නත් මේ ඇසිඩ් ප්‍රහාරය සමත් වෙනව. හැබැයි, ලලිත් අඹන්වල කියන කෙළින් රාජ්‍ය නිලධාරියාව දිය කරන්න මේ ඇසිඩ්වලට බැරිවෙනවා. ජීවිතය බේරගන්න සැත්කම් මහ ගොඩකට ඔහු මුහුණ දෙනවා. ඔහුගේ ආදරණීය බිරිඳත්, දියණියන් දෙදෙනාත් මේ අසීරු කාලයේ ඔහු ළඟින්ම ඉන්නවා. වසර කිහිපයක ප්‍රතිකාරවලින්පසු අඹන්වල මහතා යළි සේවයට එක්වුණා.
නඩුව
2002 පෙබරවාරි 01 සිට 2002 මැයි 20 අතර කාලය තුළදී විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට බරපතළ තුවාල සිදු කිරීම සඳහා හෝ එකී වරද සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, එම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා තුවාල සිදුකිරීම යන වැරදිවලට, දණ්‌ඩ නීති සංග්‍රහයේ 113 (ආ) සහ 102 වැනි වගන්තීන් සමඟ කියවිය යුතු 317 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා 8 ක් යටතේ සැකකරුවන් හත්දෙනෙකු එරෙහිව, මහනුවර මහාධිකරණයේදී නීතිපතිවරයා විසින් 2006 ජනවාරි 27 දින අධිචෝදනා පත්‍ර ගොනු කළා.
තීන්දුව ලැබෙයි
අවුරුදු හයකුත් මාස අටකට වැඩි කාලයක් ඇහුණු මේ නඩුවේ තීන්දුව 2012 ඔක්තෝම්බර් 24 ප්‍රකාශයට පත් වුණා. මහනුවර පළාත්බද අධිකරණයේ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් මේ චූදිතයන් හත් දෙනා මේ චෝදනා අට සඳහා වැරදිකරුවන් කරමින් ඔවුන්ට දඬුවම් නියම කළා.
හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද මුණසිංහටත් ප්‍රධාන ගණනාධිකාරී ආනන්ද වීරසිංහටත් බරපතල වැඩ සහිතව දස වසර බැඟින් සිර දඬුවම් ද, රුපියල් දෙලක්ෂය බැගින් දඩද නියම වුණා. ඉතිරි පස් දෙනාට වසර 20 බැගින් ද සිරදඬුවම් නියම වුණා.
ඇසිඩ් ගැසූ ව්‍යාපාරික මොහොමඩ් රාපික් මොහොමඞ් රියාස් 3, 4, 5 සහ චෝදනාවලට වැරදිකරු වුණා. ඔහුට එක් චෝදනාකට අවුරුදු 20 බැගින් අවුරුදු 80 සිරදඬුවම් නියම වුණා. එහෙත් ඒ සිරදඬුවම් එකවර ගෙවී යන පරිදී විසි වසරින් ගෙවී යන ලෙසටයි.එක් වරදකට රුපියල් රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ අටක දඩයක් ද ඔහුට නියම වී තිබුණා. මේ දඩය නොගෙවන්නේ නම් අවුරුදු දෙක බැඟින් අවුරුදු අටකින් සිර දඬුවම දික්වෙන බවත් මේ තීන්දුවේ සඳහන්. මීට අමතරව ලලිත් අඹන්වල මහතාට රුපියල් ලක්ෂ 50 ක වන්දි ගෙවන ලෙස මොහොමඩ් රාසික් මොහොමඩ් රියාස්ට නියෝග කළ විනිසුරු සූරසේන, වන්දිය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිතව වසර අවුරුදු තුනක් ඒ වෙනුවෙන් ගෙවීමට නියම කළා.
හුසේන් සෙයියදු මොහොමඩ් සාපිට 7 වැනි සහ 8 වැනි චෝදනා වලට වැරදිකරු කරමින් අවුරුද් 20 බැගින් සිර දඬුවම් ද රුපියල් ලක්ෂ දෙක බැඟින් දඩ ද නියම වුණා. ඒ එම දඩ නොගෙවන්නේ නම් වසර දෙක බැගින් වසර හතරක සිර දඬුවම් ගෙවීමට සිදුවන අයුරින්.
ඔමාර් ලෙබ්බේ මරික්කාර් මොහොමඞ් නිව්ෆර්, එම්.ජේ. මොහොමඩ් රියාල් ඉස්රූම් රාමන් දෙ වැනි චෝදනාවන්ට වැරදිකරු කරමින් වසර 20 සිර දඬුවම් ද, රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම විය. දඩ නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් ගෙවීමට සිදුවන අයුරින්.
මොහොමඩ් හනිෆා මොහොමඞ් ඉමිටියාස් දෙවැනි චෝදනාවට සහ හත්වැනි චෝදනාවට වැරදිකරු වුණා. ඒ එක් චෝදනාවකට වසර විස්ස බැඟින් වසර හතළිහක බරපතල වැඩ සහිතව සිරදඬුවම විසි වසරකින් ගෙවි යන පරිද්දෙන්. එක් චෝදනාවකට ලක්ෂ දෙක බැඟින් ලක්ෂ හතරක දඩ ද දඩ නොගෙවන්නේ නම් අවුරුද හතරක සිරදඬුවමක් ද මෙහිදී ඔහුට නියම කෙරුණා.
අඹන්වලට ඇසිඩ් ගැසීමට කුමන්ත්‍රණය කිරීම, ඇසිඩ් ගසා මරණයට පත් කිරීමට තැත් කිරීම ඇසිඩ් ගැසීම ඇතුළු චෝදනා අටකට මේ පිරිස වැරදිකරුවෝ වුණා. 3, 4, 5, 6, 7 විත්තිකරුවන්ට ඉහත දඬුවම් වලට අමතරව පළමු චෝදනාව යටතේ වසර 10 බැගින් වූ සිර දඬුවම් ද සහ එම චෝදනාවට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ද දඩ මුදල නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් ද නියම කෙරුණා.
ඇසිඩ්වලට නැති නොවන දේ
නඩු තීන්දුව ලැබීමෙන් පස්සේ උසාවි භූමියේදීම ලලිත් අඹන්වල කියන මේ නොසැලෙන රජයේ නිලධාරියා මාධ්‍ය අමතමින් ප්‍රකාශයක් ලබා දුන්නා. රජයේ මුදල් රැක දීමට ගොස් ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ තමාට මේ ආකාරයෙන් යුක්තිය ඉටුවීම ගැන සතුටු වන බවත් එක ඇසක් පමණක් හිමි තමා ඉදිරියේදීත් මේ ආකාරයෙන්ම යුක්තිය උදෙසා තමන්ගේ රාජකාරිය ඉටු කරන බවත් ඔහු එහිදී කියා සිටියා. ඒ වෙනුවෙන් ඔහුට මේ ඉතිරි වී ඇති තනි ඇස, ඇස් හයකට සමාන බවත් ලලිත් අඹන්වල මහතා මෙහිදී ප්‍රකාශ කළා.
මේ රටේ ඉහළ සිට පහළටම පැතිරුණු වංචාව සහ දූෂණය, නොයෙක් හේතු මත සාධාරණීකරණය කරන අය, ඒ වංචාවලින් පාඩු ලබන ජනතාව අතරින්ම බිහිවෙලා ඉන්න අවාසනාවන්ත කාලෙක, හරි විදිහට තමන්ගේ රස්සාව කරලා ඇසිඩ් ප්‍රහාරයකට ලක්වුණු ලලිත් අඹන්වල මහත්තයා රටට ණය නැති කෙනෙක් විදිහට අපෙන් සමුගෙන යනවා.
පැතූ සුගතියකින් සැනසීම ලැබේවා යයි ප්‍රාර්ථනා කරන ගමන්ම, රටේ ඉන්න, වංචාවට දූෂණයට විරුද්ධ හැම කෙනෙකු වෙනුවෙන්ම ලලිත් අඹන්වල මහතාට අපේ ආචාරය මෙසේ පුදකර සිටිනවා. ඔබට සුබ සහ සුවබර සංසාර ගමනක් වේවා!
(දිවයින, සිළුමිණ, ලංකාදීප ඇතුළු පුවත්පත්වලිනුත්, ලලිත් අඹන්වල මහතාගේ හිතවතුන්ගෙනුත් තොරතුරු රැස්කර මෙම ලිපිය සකස් කර තිබූ SANDINI PRARTHANAට ස්තුතියි. නොවිමසාම උපුටාගැනීම ගැන සමාවන්න.)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Obeta Apege prenamaya