මුහුණු පොතෙන්

> පළමු වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීම ගැන සලකා බැලිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කළ ප්‍රකාශය ගැන අද කිසියම් සංවාදයක් ඇති වෙමින් තිබේ.
> නොදැනුවත්කම නිසාත්, ඉංග්‍රීසි හීනමානය නිසාත්, සිංහල බෞද්ධ වෛරය නිසාත් අද ඇතැම් පිරිස් මේ අදහස ඉහළින් අගය කරන අතර, ඔවුන්ට අනුව ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය යනු නූතන ලෝකයම ඉත සිතින් වැළඳගත්, අනාගතයට ගැලපෙන, ඉතා දියුණු ක්‍රමවේදයකි.
> විශේෂයෙන්ම ලංකාව වැනි ජනගහනය අඩු, භූමි ප්‍රමාණයෙන් කුඩා රටවලට තම භාෂා උරුමය මරා දමා පරබසක් වැළඳගැනීම හැර වෙන මඟක් නැති බව ඔවුහු පෙන්වා දෙති.
> මේ මතය කෙතරම් සාධාරණ එකක්දැයි ලෝක අත්දැකීම් ඇසුරෙන් මඳක් විමසා බලමු.
> ද්විතීක අධ්‍යාපනය කෙසේ වෙතත් ප්‍රාථමික අධ්‍යාපනය, මූලික අධ්‍යාපනය මව්බසින් ලබාදිය යුතුය යන්න අධ්‍යාපනය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය, අධ්‍යාපන විශේෂඥයන් ඇතුළුව ලෝකයම පිළිගත් ප්‍රධාන මූලධර්මයකි.
> ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ඉංග්‍රීසියෙන් පමණක් උගන්වන රටවල් දහයක්වත් ලෝකයේ නැති අතර ලොව සෑම රටක්ම පාහේ මූලික අධ්‍යාපනය සඳහා මව්භාෂාවන් භාවිත කරති.
> ලංකාව කුඩා රටක් නිසා තම භාෂා උරුමය අත් හළ යුතු යැයි ඇතමුන් පවසන නමුදු ලංකාවට වඩා කුඩා රටවල් 74ක් ලෝකය පුරා ඇත. මේ රටවල් අතරින් 13ක්ම ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය, බෙල්ජියම, සයිප්‍රසය, නෙදර්ලන්තය, ලැට්වියාව, ස්ලෝවැකියාව වැනි දියුණු යුරෝපා රටවල්ය. ඊශ්‍රායලය වැනි ප්‍රබල රටවල්ද මේ අතර වන අතර, ඒ සෑම රටකම ජනගහනයද ලංකාවට වඩා අඩුය. එහෙත් මේ කිසිම රටක් කුඩා බව හෝ ජනගහනය ගැන සිතා තම භාෂා උරුමය අතහැර නැත. ඔවුහු ස්වභාෂාවන් තම නිල රාජ්‍ය භාෂා සහ අධ්‍යාපන මාධ්‍ය ලෙස සලකති.
> එසේම ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, රුසියාව, චීනය, ඉන්දියාව, යුරෝපා රටවල් ඇතුළු ලංකාවට වඩා විශාල හෝ කුඩා කිසිදු රටක් තම භාෂා උරුමය අතහැර ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් ලබා නොදෙති. ඊනියා ජාත්‍යන්තරය ජය ගැනීමට එම රටවලට භාෂාව කිසිදු බාධාවක් වී නැති අතර, ඔවුහු ඉංග්‍රීසිය හුදු දෙවන බසක් ලෙස පමණක් හදාරති.
> තම භාෂා උරුමය අතහැර ඉංග්‍රීසි, ප්‍රංශ වැනි යටත්විජිතවාදීන්ගේ භාෂා අධ්‍යාපන මාධ්‍ය බවට පත් කරගත් රටවල් ප්‍රමාණයක් ලෝකයේ ඇති බව සැබෑය. එහෙත් එවැනි තීරණ ගෙන ඇත්තේ දියුණු ජාතික භාෂාවක් නැති, අක්ෂර මාලා ආදියෙන් තොර, නොදියුණු ගෝත්‍රික භාෂා සිය ගණනක් සහිත සමහර අප්‍රිකානු රටවල පමණි. සැම්බියාව, කැමරූන්, බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකාව, ගැම්බියාව, ගැබෝන්, කෙන්යාව, ඝානාව වැනි රටවල් තම ප්‍රධාන භාෂා හා අධ්‍යාපන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි, ප්‍රංශ වැනි භාෂා තෝරාගෙන ඇත්තේ ඒ අනුවය.
> ඊශ්‍රායලය පිහිටුවීමෙන් පසු යුදෙව්වන් මළ භාෂාවක් වී තිබූ හිබෲ භාෂාවට පවා නැවත පණ දෙමින් එය තම ජාතික භාෂාව හා අධ්‍යාපන මාධ්‍ය ලෙස තෝරාගත්තේය. එහෙත් ලංකාවේ නිවට නිලධාරීන්ගේ පිළිවෙත වී ඇත්තේ අපේ සජීවී බස මරාදැමීමේ යෝජනා ගෙන ඒමය.
> සිංගප්පූරුව ඉංග්‍රීසි අධ්‍යාපනයට වැඩි තැනක් ලබාදී තිබුණද, ඔවුන් පවා තම ස්වභාෂා සපුරා අතහැර නැත. අනෙක් අතින් සිංගප්පූරුව යනු ඉතා මෑත කාලීනව ජනාවාස වූ කුඩා භූමි ප්‍රදේශයක් මිස ලංකාව වැනි ඓතිහාසික භාෂා උරුමයක් සහිත රාජ්‍යයක් නොවේ.
> එහෙත් ලංකාව යනු සිංගප්පූරුවක් නොව, සියවස් ගණනාවක කාලයක් තිස්සේ පරිණාමය වූ, ප්‍රබල ප්‍රකාශන ශක්තියකින් සමන්විත, ලෝකයේ ඉතා දියුණු භාෂාවකට උරුමකම් කියන රටකි. සියවස් ගණනාවකට පෙර සිට තම භාෂාවෙන් ඉතා දියුණු ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයක් නිර්මාණය කළ රටකි.
> අපගේ සංස්කෘතිය, ඉතිහාසය, සාහිත්‍ය, ජනශ්‍රැතිය ආදිය සහ ඒ සියල්ල මත පදනම්ව ගොඩනැගෙන අපේ චින්තනය ප්‍රධාන වශයෙන්ම පදනම් වී ඇත්තේ අපේ බස වූ සිංහලය මතය. අපේ භාව ලෝකය මෙන්ම ඥාන ලෝකයද අවදි කළ හැක්කේ, ඒ බස මගින් පමණි. ගුත්තිලය හෝ සැලලිහිණිය ඉංග්‍රීසියට හැරවිය හැකි කිසිදු ජගතෙක් ලෝකයේ කොතැනවත් සිටීද?
> එසේ නම් ලංකාව වැනි රටක ඓතිහාසික භාෂා උරුමය විනාශ කිරීම යනු එම ජාතියේ සාමූහික මනස, සභ්‍යත්ව විඥානය දුර්වල කොට ඔවුන් අක්මුල් නැති, සිත් පිත් නැති, නන්නත්තාර පරම්පරාවක් බවට පත් කිරීමකි.
> අනිවාර්යෙන්ම අපේ අධ්‍යාපන මාධ්‍යය, විශේෂයෙන්ම මූලික අධ්‍යාපනය සිංහල විය යුතු අතර, දෙවන බසක් ලෙස ඉංග්‍රීසි සාර්ථකව ඉගැන්විය යුතුය. ඒ වෙනුවෙන් මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනයේ ඇති දුර්වලතා නිවැරදි කළ යුතුය.
> එසේ වුවද ඉංග්‍රීසි බැරිකමේ රෝගයට පිළියම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමට යෝජනා කිරීම යනු ඉංග්‍රීසියවත් සිංහලයවත් හරි හැටි නොදන්නා පුස්සන් පිරිසක් බිහිකිරීමේ මාවතක් මිස ලෝකය ජය ගැනීමේ මාවත නොවේ. එය ලෝකයේ කිසි තැනක සිදුනොකරන, ලංකාවේ සමහර හීනමාන උගතුන් සිහිනයෙන් පමණක් දකින විසඳුමක් පමණි.
> අද ජනාධිපතිවරයාගේ අගේ ඉදන් කණ කන මේ අධ්‍යාපන බලධාරියා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු සාමාජිකයෙක් බවද එතුමාගේ දැනගැනීම පිණිස සටහන් කළ යුතුය.
ඉසුරු ප්‍රසංග
අනාගතය අපි තරුණ ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More