මුහුණු පොතෙන්

මේ මොහොත වන විට ලංකාව කරකැවෙන්නේ පියුමි හංසමාලි නැමති අක්ෂය වටාය. තාවකාලිකව හෝ ඇය අද ලංකාවේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇත.
> මේසා බලවත් හංසමාලි යනු කවුද?
> ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙක් වුවද ඇයට ඇත්තේ කලාත්මක අනන්‍යතාවකට වඩා ලිංගික අනන්‍යතාවක් ඔස්සේ නිර්මාණය වූ ප්‍රසිද්ධියක් බව අමුතුවෙන් කිව යුතු නැත.
> එවැනි තැනැත්තියක් අද වන විට සියලු කාරණා අභිබවා රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්වී ඇත්තේ කෙසේද?
> මේ වනාහී ප්‍රධාන පෙළේ මාධ්‍යවල සිට දුප්පත්ම යූටියුබ්කරුවා දක්වා වූ සියලු දෙනා හංසමාලිගේ මාකට් කළ හැකි කෑල්ල කුමක්දැයි සොයන මොහොතකි.
> හංසමාලීට අකමැති අය දැන් චමුදිත මාර වීරයෙක් යැයි කියමින් සතුටක් ලබති.
> චමුදිතට අකමැති අය හංසමාලීගේ ගෝරනාඩුව අසා තුටුවී චමුදිත හා හිරු ටීවී සමග ඇති තරහ නිවා ගැනීමට උත්සාහ කරති.
> මේ දෙකටම නැති අය තමන්ගේ වෙනත් විවිධ අදහස් සමග හෝ හංසමාලිගේ සිදුවීම සම්බන්ධ කරති.
> ඒ අතරේ ඕනෑම පිදුරු ගසක එල්ලී තම බෞද්ධ විරෝධය මුදා හැරීමට මගක් සොයමින් සිටින ලංකාවේ සමහර රැඩිකල් වීරයන් අද හංසමාලිගේ ලිංගික නවීනත්වය ගැන කතා කරමින් ගෝත්‍රික ලංකාවට සාප කරති.
> කෙසේ හෝ වේවා මේ බනින, නොබනින, උගත්, නූගත්, ප්‍රබුද්ධ, පීචං, බාල, මහළු බොහෝදෙනා අද කැරකෙන්නේ හංසමාලී වටාය. ඒ බොහෝ දෙනා රසායනික පොහොර තහනමේ හොඳ නරක ගැන කතා කරන වීඩියෝවකට වඩා හංසමාලිගේ ලයිව් වීඩියෝව බලන්නට කැමතිය. අකැමැත්තෙන් වුණත් කැමතිය.
> මෙය ලංකාව වැනි පසුගාමී දූපත්වාසී මජර මෝඩයන් සහිත රටක ස්වභාවය බව කියමින් ඇතමුන් මෙහිදී මැසිවිලි නැගීමට ඉඩ ඇත.
> එහෙත් කලබල නොවන්න. ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල හංසමාලි වැනි කාන්තාවෝ සිටිති. එපමණක් නොව බැන බැන හෝ එවැනි අයගේ ඕපාදූප බලන්නට කැමති පිරිස්ද ඇති තරම් සිටිති.
> ලෝකයේ බොහෝ රටවල විද්‍යාඥයන්, සාහිත්‍යධරයන්, ලේඛකයන්, විද්වතුන්, විශිෂ්ට ව්‍යවසායකයන්, ආදී පිරිස්වලට වඩා හංසමාලිලා ප්‍රසිද්ධය. ජනප්‍රියය.
> ඉන්දියාවේ බෙන්කි රාමක්‍රිෂ්ණන් ගැන හාංකවිසියක් නොදන්නා අය සනී ලියෝන් ගැන දනිති.
> එංගලන්තයේ සොපී ඩීගේ ෆේස්බුක් පිටුවේ ඇති ලයික් සංඛ්‍යාව එරට අගමැති බොරිස් ජොන්සන්ටවත් හිමිවී නැත.
> ජපානයේ හජිමේ නකමුරට වඩා මාරියා ටකාජි බෙහෙවින් ප්‍රසිද්ධය.
> චේ ගුවේරා හා එක්ව සටන් වැදුණු ආජන්ටිනාවේ විප්ලවකාරයන් ගැන අසා නැති අය ඉසබෙල් සාර්ලි ගැන දනිති.
> කරූ ජයසූරියට වඩා මනාප ලබාගනිමින් පබා පාර්ලිමේන්තු යන්නේ ලංකාවේ පමණක් යැයි සිතන අය ලෝකය ගැනද සොයා බැලිය යුතුය.
> චීනය තම ජාතික අභිමානය හා මිල්ටරි බලය විදහා පෙන්වන වීඩියෝ දර්ශන තුළ දහදිය වැගිරෙන සුකොමල ලලනා මුහුණුවල සමීප
රූපවලට සෑහෙන ඉඩක් වෙන් කරනුයේ අහම්බෙන්ද?
> එංගලන්තයේ ඩයනා කුමරිය වැනි කාන්තාවක් ගැන සලකා බලන්න. දේශපාලනයේ විශේෂ භූමිකාවක් ඉටු නොකළ, ඇය ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ කෙසේද? ඇගේ ආදරය, විවාහය, දික්කසාදය වැනි දේවල් එකල ලෝක ජනමාධ්‍යවල ඕපාදූප වැහි වැස්සවීමට සමත් විය. වරෙක ඇය අඩ නිරුවතින් ව්‍යායාම කරන දසුන් පෙළක් රහසිගතව ඡායාරූප ගත කොට සඟරාවක පළ කෙරුණු අතර එය මහත් ආන්දෝලනයකට ලක්විය. මේවා මෙසේ සිදුවූයේ ගෝත්‍රික යැයි කියන ලංකාවේ නොව ශිෂ්ට යැයි කියන එංගලන්තයේ බව ඔබට මතකද?
> මේ සෑම දෙයකින්ම පෙනෙන්නේ බලය, ධනය, දේශපාලනය, ජනමතය, සමාජ මතවාද ආදී බොහෝ දේවල හැඩරුව තීරණය කිරීමේ ලා ලිංගිකත්වය හා ස්ත්‍රී ශරීර සතු ප්‍රබලතාව පිළිබඳ කාරණය මිස අන් කුමක්ද?
> බුද්ධිමත්, තර්කානුකූල, විචාරශීලී සත්ත්වයෙක් යැයි කියන නූතන මිනිසාගේ ඇතුළාන්තය වනාහී බොහෝ දුරට අවිචාරවත් ප්‍රාථමික තිරස්චීන ආශාවන් විසින් හසුරුවන්නක් බව තේරුම් ගැනීමට හංසමාලිලා අපට උපකාර කරති.
> මේ තත්ත්වය පටු ආකාරයෙන් අර්ථ දක්වනවාට වඩා වැදගත් වන්නේ එය ලෝකයේ හා මිනිසාගේ ස්වභාවයක් බව වටහා ගනිමින්ම, එය හැකිතාක් වෙනස් කිරීමට උත්සාහ ගැනීමය.
> අප කළ යුත්තේ මිනිසා තුළ ඇති යක්ෂයා වෙනුවට දෙවියා පුබුදු කළ හැකි සමාජ, දේශපාලන සංස්කෘතික, මැදිහත්වීමක් වෙනුවෙන් පෙනී සිටීමය.
මේ වගේ තවත් අදහස් බෙදාගන්න. අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න.
ඉසුරු ප්‍රසංග
අනාගතය අපි තරුණ ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More