මුහුණු පොතෙන්

හිවල් දඩයම්

September 15, 2020 3:36 pm | Lanka Lead News

ඊයේ ප්‍රවෘත්ති වල දැක්කා මිල්ලනිය, මූපට්ටිය කියන ගමේ ඇතිවෙලා තියෙන හිවල් ප්‍රශ්නයක් ගැන. පහුගිය මාස කිහිපයේදි ගම්වැසියෙක්ව සහ කුඩා දරුවෙක්ව හිවලුන් විසින් මරණයට පත්කර ඇතිබව ඒකෙ කියවෙනවා. ගම්වැසියන්ට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් ඇතිවෙලා පොලු මුගුරු මන්නා අරගෙන එලියට බහින්නෙ හිවලුන්ගෙන් බේරෙන්න. හිවල්ලු කොහෙන්ද ආවේ අහසින් කඩා පාත් වෙනවා වගේ ? අනේ ජනාධිපති තුමාට කියන්න හිවල්ලු අහක් කොරලා දෙන්න කියලා, වගේ කමෙන්ට් පේලියයි ඒ පොස්ට් යට.

හිවලා/නරියා කියන පදයෙන් මේ හඳුන්වන සත්වයා විද්‍යාත්මකව Canis aureus naria ලෙස හඳුන්වන්නේ. ඉන්දියානු උප මහද්වීපයේ ඉන්න විශේයෙන් වෙනස් උප විශේශයක් ලෙස ලංකාවේ හාදයව නම් කරලා තියෙන නිසා තමයි තෙවන නාමය naria විදිහට ලැබිලා තියෙන්නේ. ඉංග්‍රීසීයෙන් මේ සතාව හඳුන්වන්නේ Jackal (ජැකෝල්) කියලා. බොහෝ දෙනා Fox කියන ඉංග්‍රීසී නමත්, Fox = නරියා/හිවලා ලෙසත් භාවිතා කරනවා. ඒක වැරදියි. Fox කියන සතා ලංකාවේ නෑ. Fox කියන සත්වයාට සිංහල නමකුත් නෑ. පරිවර්තන වල fox කියන සත්වයාට නරියා/හිවලා ලෙස භාවිතා කිරීම තාක්ෂණිකව වැරදි භාවිතාවක්.

දැන් මේ නරි එහෙම නැත්තන් හිවල් ගැටලුවේ අක්මුල් තියෙන්නේ ලංකාවේ දේශගුණික කලාප එක්ක බැඳිලා. දැන් සාමාන්‍යපෙළ වත් ලියලා තියෙන කෙනෙක් දන්නවා ලංකාවේ තියෙන දේශගුණික කලාප. වියළි කලාපය, අතරමැදි එහෙමත් නැත්තන් අන්තර් කලාපය, තෙත් කලාපය ප්‍රධාන වශයෙනුත් ඊට අමතරව ශුශ්ක සහ අර්ධ ශුශ්ක ලෙස විහිද යන ප්‍රදේශත් අපිට හඳුනගන්න පුළුවන්. දැන් මේ වෙද්දි ඔය අවුරුදු හැට හැත්තෑවකට කලින් සිතියමේ බෙදපු කලාප මායිම් සෑහෙන විස්ථාපනය වෙලා තියෙන්නෙ. දේශගුණික විපර්යාසවල බලපෑම යම් ආකාරයකින් තිබුනත් ලංකාව කියන දූපත ගත්තම ඔය සීමා විස්ථාපනයට මූලිකවම බලපාන්නේ කැලෑ එලි කිරීම්. බොහොමයක් දුරදිග නොබලා සිදුකරන අසාර්ථක ව්‍යාපෘතිවල එකතුව මේවට ප්‍රධාන වශයෙන් බලපානවා.

දැන් ඔය වියළි කලාපය,තෙත් කලාපය අපි එච්චර ගනන් ගත්තෙ නැති වුනාට ඕවයේ උශ්ණත්ව විචලනයන්ට ඉතාමත් සංවේදි සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනාවා. පාරිසරික කලාපයක විචලනය ඉතාමත් ඉක්මනින් දර්ශනය වන මිනුමක් තමයි මේ සතුන්ගෙ පැතිරීමේ ස්වභාවය. උදාහරණයකට වියළි කලාපය විසින් තෙත් කලාපය ආක්‍රමණය කරන්න පටන් අරන් නම් අපිට ඉතාමත් ඉක්මනින් දකින්න පුළුවන් වෙනවා වියළි කලාපයේ සතුන්ගෙ ව්‍යප්තියේ සීමා මායිම් පැතිරී යන ආකාරය.
පහුගිය අවුරුදු 20 ඇතුලත කැලැ එලිකිරීම් වලින් වියළි කලාපයේ සිට තෙත් කලාපය තුලට වියළි බිම්කඩවල් පැතිරීම සිදුවුනා. හොඳම උදාහරණයක් තමයි දක්ශින අධිවේගි මාර්ගය. මේ මාර්ගය අපිට දකින්න පුළුවන් වියළි කලාපයේ ඉඳන් තෙත් කලාපය පෙනිට්‍රෙට් කරන ඩ්‍රයි පැච් එකක් විදියට. මාර්ගයේ ඉඳන් දෙපසට විහිදෙන ඉමිඩියට් වපසරියත් ඒ අනුව වියළි බිම්කඩවල් බවට පත්වෙනවා. ප්‍රතිඵලය තමයි වියළි කලාපයේ ඇතැම් විශේෂ තෙත් කලාපයට රිංගා ඒම. මොණරු කියන්නෙ එහෙම උදාහරණයක්.

මීට අවුරුදු 30 විතර කලින් වියළි කලාපය තුල පවා මොණරු කියන්නෙ සුලබ දසුනක් නෙමෙයි. එහෙමනන් කොහොමද මොණරු තෙත් කලාපයට එන්න තරම් වැඩිවෙන්නෙ. ඒකට හේතුව තමයි මොණර ව්‍යප්තියේ ප්‍රධානම බාධකයක් වන හිවලා/නරියාගෙ සංඛ්‍යාවන් පහත වැටීම. ගෘහාශ්‍රිත සුනඛයන්ගෙ පැතිරීමත් එක්කම මේ වන සතුන්ට රෝග වහනය වීමත්, ගොවිපල පැතිරීමත් එක්කම මේ සතුන්ව මරා දැමීමත් එක්ක නරි ගහනය අඩු වෙනවා. ප්‍රතිඵලය තමයි මොණරු වැඩිවෙන එක. ඉස්සර කියමනක් තියෙනවා හිවලුන් උඩු බුරද්දි මොණර බිත්තර පිපිරෙනවා කියලා. ඇත්තටම මේකෙදි වෙන්නෙ හිවල්ලු මොණර බිත්තර ආහාරයට ගැනීම මිසක් සද්දෙට බිත්තර පිපිරීමක් නෙමෙයි. මොණර ගහනය ස්වාභාවිකව පාලනය කරපු හිවලුන් පද්ධතියේන් ඉවත් වීමත් එක්කම මොණර ගහනය වැඩිවෙනවා. ගහනය වැඩිවෙද්දි පැතිරීම ක්‍රමයෙන් වැඩිවෙනවා. ඒකට හේතුව පවතින භූමි ප්‍රමාණය සහ ආහාර ප්‍රමාණය වැඩිවෙන ගහනයට ප්‍රමාණවත් නැති නිසා.

රයිට්.. දැන් වියළි කලාපයේ මෙහෙම මොණර ගහනය වැඩිවෙද්දි (population boom) එකක් වෙද්දි ඔවුන්ට යන්න තැන් තියෙන්න ඕන. කලින් කිව්වා මතක ඇති මොණරා කියන්නෙ වියලි කලාපෙ සතෙක්. එතකොට පැතිරිම වෙන්න වියළි දේශගුණයක් තිබිය යුතුයි. ගහනය වැඩි වුනාට භුමිය වැඩිවෙන්නෙ නෑ. මෙතනදි තමයි අර කලින් කිව්ව ඩ්‍රයි සෝන් එකේ ඉඳන් වෙට් සෝන් එක පෙනිට්‍රේට් කරන ඩ්‍රයි පැචස් වැදගත් වෙන්නෙ. අපි කොළඹ ඉඳන් මාතර ගියාට අධිවේගයේ මොණරැ එන්න ගත්තා ඒ පැත්තෙ ඉඳන් කොළඹට. වියළි කලාපයේ ඉඳන් තෙත් කලාපේ ආක්‍රමණය පටන් ගන්නෙ එහෙම.

දැන් ඔය පොඩි පැච් එහෙක ගහනයක් ව්‍යප්ත් වෙලා ස්ටැබිලයිස් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ එනවා. අධිවේගය හැදුනා වගේම ඒ අවට බැලුවොත් දකින්න පුළුවන් කටුපොල් වගාව ව්‍යප්ත වුනා. කටුපොල් සඳහා භූමිය සකස් වෙද්දි වෙන්නෙත් තෙත් බිම් වියළි බිම්කඩවල් බවට පරිවර්තනය වීම. මොණරු කටුපොල් වගා භූමි තුල වැඩිවශයෙන් දකින්න පුළුවන් වෙන්නෙ ඒකයි. ඔවුන්ට ප්‍රශස්ථ තත්වයන් ඒ බිම්කඩවල් තුල තිබෙනවා.

හරි දැන් කතාව හිවල්ලු වුනාට මොණරු ගැන මෙච්චර වෙලා මම කතා කරේ. ආයේ එමු කතාවට. මුලටියන, මූපට්ටිය තියෙන්නෙ දක්ෂිණ අධිවේගයෙන් දකුණු පැත්තෙ ඊට යාබදව. මේ ප්‍රදේශය තුල කටුපොල් පැතිරිලා තියෙනවා. මොණරු මේ බිම්කඩවල් තුල ගැවසෙනවා. යම්කිසි හිවල් ගහනයක් මොණර ව්‍යප්තියත් එක්කම මේ ප්‍රදේශය තුල ස්ථාපිත වෙලා තියෙනවා. හිවල්ලු කියන්නෙ රංචු පිටින් ඉන්න සතෙක් නෙමෙයි. සාමාන්‍යය චර්යාව ගැහැනු සහ පිරිමි සත්වයා එක්ව සිටීම. නමුත් මෑතකදි මම දැකපු වාර්තාවල මේ හිවලුන් රංචු ගැසී පහරදීම නැගෙනහිර ඉන්දියාව තුලිනුත් දකින්න ලැබුන නව ප්‍රවනතාවක්. මුර්සිදාබාද් ප්‍රදේශයේදි මෙහෙම රංචුවක් කුඩා දරුවෙකුට පහරදී මරා දමා තිබුනා 2019 ජුනි මාසයේදි. ඒ සිද්දිය මගේ උපන්දිනය දවසේ වෙලා තිබුන නිසා ඒ ගැන දිනය සහ වර්ශය සමඟ මතකයේ තිබුනා.

මේ රංචු ගැසී පහරදීමේ ප්‍රවනතාවම තමයි මුලටියන ප්‍රදේශය තුලත් තිබෙන්නෙ. හේතුව විදිහට සම්පත් හිඟකම නිසා පැවැත්මේ අභියෝගය ජය ගැනීම උදෙසා මේ සතුන් රංචු ගැසීම උපක්‍රමයක් විදියට වර්ධනය කරගෙන තිබෙන සෙයක් දකින්න පුළුවන්. මොණරු පසුපස පැමිණියත් Canid පවුලේ සාමාජිකයේක් විදියට සහ opportunistic feeding ආහාර රටාවේ කෙල පැමිණි විශේශයක් විදියට මේ සතුන් ගෘහාශ්‍රිතව තමන්ගෙ ආහාර අවශ්‍යතා සපුරා ගන්න ක්‍රමයකට අනුවර්තනය වෙලා. දඩයම් හිඟවන විට පහසුම ගොදුර තමයි මිනිසුන්. ස්වාභාවයෙන් අපි වනයෙදි අන්ත අසරණ ජීවින් කොට්ඨාසයක්. හිවලුන් රැලක ආහාරය බවට පත්වෙන්න පවා පුළුවන් කියලා මේ සිද්දිය මතක් කරලා දෙනවා නැවතත්. Canid පවුලෙ සතුන් වනයේ සිට මනුෂ්‍ය වාසස්ථාන සඳහා අනුවර්තනය වුන පලවෙනි හෝ අවසාන අවස්ථාව මෙය නොවෙයි. ඒකට පලවෙනි උදාහරණය තමයි මේක ලියන මොහොතෙදිත් මගේ ලඟ ඉන්න සුනඛයන්. වෘකයන්ගෙන් මනුෂ්‍ය වාසයට පැමිණි කාණ්ඩය තමයි ඒ. ඊට අමතරව සිල්වර් ෆොක්ස්, උතුරු අමරිකාවේ කයෝටීන් මෙහෙම ටිකෙන් ටික මනුෂ්‍ය වාසස්ථාන වලට ලන්වෙලා කරදරයක් වෙච්ච අවස්ථා ඕනතරම් තියෙනවා.

අපි මේ පෘථෘවිය වෙනස් කරගෙන යන සීඝ්‍රතාව එක්ක පවතින සමතුලිතතාවන් බිඳ දමමින් යන්නෙ. ඉතින් පවතින, පැවතුන සම්මත තත්වයන්ගෙන් අපගමනය වෙන සිදුවීම් අපිට අසන්නට දකින්නට ලැබෙයි. ඒවා හොඳද නරකද කියන්න නොදනිමි. හැබැයි මේ බොහෝ දෑ සිදුවීමට නියමිත ක්‍රියාවලියක ආරම්භය පමණක් බවනම් ඉන්තේරුවටම කිව හැකිය. ඒවා වසරෙන් දෙකෙන් ප්‍රතිඵල ගෙන එන ක්‍රියාවලි නොව දීර්ඝකාලීන බලපෑම් ලෙස ඇතිවන ප්‍රතිඵල වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More