මුහුණු පොතෙන්

විවාහ ගිවිසගත් තරුණ තරුණියන් තම විවාහ උත්සවයට පෙර මංගල දිනයේ මෙන් සැරසී ලබා ගන්නා ඡායාරූප හඳුන්වන්නේ free shoot නමිනි. බොහෝ පෙම්වතුන් ඒ සඳහා ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් රිවස්ටන් හා නකල්ස් භූමියේ පිහිටි සේර ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය තෝරා ගන්නේ එහි ඇති සුන්දරත්වය නිසාවෙනි.

නමුත් බොහෝ දෙනකු මෙම සේර ඇල්ලේ සුන්දරත්වය විනා එහි අවදානම නොතකති. ඒ හේතුවෙන් අනාරක්ෂිත ලෙස ඡායාරූප ගැනීමට ගොස් මින් පෙරද අනතුරුවලට පත්ව තිබේ.

පෙරේදා (28දා) පස්වරුවේ සේර ඇල්ලේ ඡායාරූප ගැනීමට ගිය පෙම් යුවළක් පය ලිස්සා සේර ඇල්ලට වැටී තිබුණේ එදින පස්වරු 4.00ට පමණය. මොවුන් සේර ඇල්ලට වැටුණු විගස ඔවුන් අසල සිටි පුද්ගලයකු විසින් තරුණිය බේරා ගෙන තිබුණද තරුණයා සොයා ගැනීමට නොහැකිව තිබේ.

එදිනම පස්වරුවේ ලග්ගල පොලිස් නිලධාරීන්, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි කිරීම් සිදු කළද අතුරුදන් වූ තරුණයා සොයා ගැනීමට නොහැකි නිසා ලග්ගල පොලිසිය නාවික හමුදා කිමිදුම් අංශයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබිණි.

පසුව එහි පැමිණි නාවික හමුදාවේ කිමිදුම්කරුවන් අතුරුදන් වූ තරුණයාගේ සිරුර ගොඩ ගනු ලැබූයේ ඊයේ (29දා) පෙරවරු 11.45ට පමණය.

මෙලෙස මියගොස් තිබුණේ කුරුණෑගල කිරිවත්ත පන්සියගම ප්‍රදේශයේ පදිංචි කේතුවාගේ කට්ටඩියාලාගේ ශිරන්ත සංජය රත්නසූරිය නමැති 27 හැවිරිදි තරුණයෙකි.

ජූලි මාසයේ දී විවාහ වීමට සිටි මෙම යුවළ සිය දෙමව්පියන් ද සමග කුරුණෑගල සිට ලග්ගල රිවස්ටන්, ප්‍රදේශයට පැමිණ තිබුණේ පෙරේදා (28දා) පෙරවරුවේය.

රිවස්ටන් හි ඡායාරූප ගත කිරීම් අවසන් කර කිලෝ මීටර් 12ක් පමණ දුරින් පිහිටි ඉලුක්කුඹුර සේරඇල්ලට ඔවුන් පැමිණ තිබේ.

එහිදී මෙම යුවළ ඡායාරූප ගනිමින් සිටින අතරතුර එක්වරම පය ලිස්සා තරුණයා සහ තරුණිය ජලයට ඇද වැටී ඇති බව ලග්ගල පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

මිය ගිය තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණය ලග්ගල ප්‍රාදේශීය රෝහලේ දී සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල මූලික රෝහල වෙත මෘත දේහය ඊයේ (29දා) පස්වරුවේ රැගෙන එන ලදී.

මියගිය ශිරන්ත විවාහ වීමට සිටි පෙම්වතිය දිල්මී මධුෂිකා හඬා වැලපෙමින් සිද්ධිය මෙසේ විස්තර කළාය.

‘‘අපි ඇල්ල ළඟට ගියා ෆොටෝ ගන්න. ගිහින් ඇල්ල උඩ ෆොටෝ ටිකක් අරගෙන අවසාන ෆොටෝ එක ගන්න වතුරට බැස්සා. එතකොට අපි දෙන්නම ලිස්සලා වතුරට වැටුණා. අපි දෙන්නම යට ගියා මට එච්චරයි මතක. මගේ අයියව බේරගන්න කවුරුත් බැස්සෙ නෑ.’’

දිලීප් මධුෂාන්ගේ මව වන ප්‍රියංකා චන්ද්‍රකාන්ති මහත්මිය සිද්ධිය මෙසේ විස්තර කළාය.

‘‘දුවයි පුතයි වතුරට බහින්න යද්දී එක පාරටම වතුරට වැටුණා. ඊට පස්සේ මම පැන්නා බේරගන්න එතකොට මගේ අතින් දුවත් වතුරට පැන්නා. අපි දෙන්නත් වතුරට ඇදිලා ගියා. ඊට පස්සේ කැමරා කරන පුතෙක් ඇවිල්ලා ලීයක් වගේ එකක් දැම්මා. බේරගන්න පැන්න මමයි දුවයි ගොඩට ආවා.

ඊට පස්සේ එතනට ආපු කෙනෙක් වතුරට පැනලා දුව අරගෙන ගොඩ ආවා. පුතා එහෙමම යට ගියා. ඒ නැතිවුණේ මගේ දුව බඳින්න ඉන්න පුතා, ලබන මාසේ 17 වැනිදා වෙඩින් එක ගන්න හිටියේ. ෆ්‍රී ෂූට් එකට ෆොටෝ ගහන්න තමයි මේ ආවේ.’’

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More