දේශීය පුවත්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත්ව තිබූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම මගින් අමාත්‍ය ධුර වැඩිකිරීමේ අවස්ථාව මෙම සංශෝධනයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය මෙමගින් වෙනස් කර නොමැති අතර යම් අවස්ථාවකදී ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ලබාදී තිබූ අභිමත බලය මෙමගින් අහෝසි කර ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාය.

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිපත් කළ ස්වාධීන කොමිෂන් සභා ඇතුළු මූලික කරුණු රැසක් අන්තර්ගතය.

ඒ අනුව දැනට ක්‍රියාත්මක කොමිෂන් සභාවලට අමතරව 19 සංශෝධනයේ පැවති විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම යළිත් ස්ථාපිත කර තිබේ.

එම ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයින් මෙන්ම නීතිපතිවරයා, විගණකාධිපතිවරයා වැනි පාර්ලිමේන්තුවෙන් පත්කරන උසස් නිලධාරීන් පත් කිරීම හා ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතු වුවද ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අවශ්‍ය වෙයි.

දැනට පාර්ලිමේන්තු සභාව ලෙස හඳුන්වන එම සභාව 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස ස්ථාපිතය.

එහි ප්‍රධානත්වය කථානායකවරයා දරණු ලබන අතර අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය යුතු එක් මන්ත්‍රීවරයෙක් ඊට ඇතුළත්ය.

ඊට අමතරව ජනාධිපතිවරයා පත්කරනු ලබන මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ඇතුළත් නමුත් ඔවුන් පත් කළ යුත්තේ මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා අනුවය.

එනම් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ බහුතර එකඟත්වයෙන් පත් කරන එක් මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකවරයා අයත්වන දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ බහුතර එකඟත්වයෙන් පත් කරන අතරින් එක් මන්ත්‍රීවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විමසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතර එකඟත්වය මත කථානායකවරයා විසින් නම් කරනු ලබන තිදෙනෙක් ඊට අයත්ය.

ආණ්ඩුව සහ විපක්ෂනායකවරයා අයත් මන්ත්‍රී කණ්ඩායම් නියෝජනය නොකරන මන්ත්‍රීවරුන්ගේ බහුතර එකඟත්වය මත පත්කරන මන්ත්‍රීවරයෙකුද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඇතුළත්ය.

ද්විත්ව පුරවැසිභාවය දරණ පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත්ව තිබූ ප්‍රතිපාදනයද මෙම සංශෝධනයෙන් යළි බලාත්මක වෙයි.

එම ප්‍රතිපාදනය අවසන් වරට ගෙන එනු ලැබුවේ 20 වන සංශෝධනය මගිනි.

එමෙන්ම මහබැංකු අධිපතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයාට තිබූ බලය සීමාවකට ලක් කර ඇති අතර ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අවශ්‍ය වෙයි.

යම් අවස්ථාවකදී ස්වකීය අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හිමිව තිබූ බලය නව සංශෝධනයෙන් අහෝසි කර ඇත.

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව තිහක් සහ කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල එකතුව 40ක් විය යුතු බවට සඳහන් වගන්තියද මෙම ව්‍යවස්ථාවේ එලෙසම ඇතුළත්ව ඇත.

කෙසේවෙතත් 19 වන සංශෝධනයේ ඇතුළත් වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවකදී අමාත්‍ය ධුර සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ අභිමතය පරිදි වැඩි කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනය මෙම සංශෝධනයට ඇතුළත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුව ආරම්භක දිනයේ සිට වසර දෙකහමාරකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ඇති බලය නව සංශෝධනයෙන් වෙනසකට ලක්කර නොමැත .

22 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට දැරිය හැකි වන්නේ ආරක්ෂක අමාත්‍ය ධුරය පමණය.

නමුත් යම් විෂයයක් අමාත්‍යවරයෙකුට පවරා නොමැති කාල පරිච්ඡේදය තුළ දින 14ක් නොඉක්මවන කාලයක් සඳහා එම කාර්යයන් හා කර්තව්‍යයන් ජනාධිපතිවරයාට ඉටුකළ හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More