මුහුණු පොතෙන්

මොන්ඩාල් “ව මතකද? 

September 5, 2021 1:12 pm | Lanka Lead News

1960 ඉපදිලා , අඩු වයසෙන් කසාද දෙක තුනක්ම බැඳලා සැමියාගෙන් අනන්තවත් ගුටි කකා දරුවොත් හදලා තනිවෙලා පාරට වැටෙන රනූ මොන්ඩාල් කියන දුගී ගැහැණිය අන්තිමට බෙන්ගාල් වල රනාගට් දුම්රිය වේදිකාවේ හිඟන්නියක් වෙලා තමයි නැවතුනේ .

කුණු පිරුණු සාරි කබලක් ඇඳගෙන , ඇවිස්සුනු කෙස් වැටියක් සහිත මේ සිඟන්නිය උපන්දා සිට මේ දක්වාම ඇය ව අත් නොහැර ලඟින් හිටියේ කටහඬ විතරයි.

හේතුවක් ,ඇතුවත් , නැතුවත් දුකට සතුටට , බඩගින්නට මේ හැමදේකටම ඔහේ සිංදු මුමුණන රනූ අවුරුදූ දෙකකට විතර කලින් දවසක හවසක දුම්රිය මැදිරියේ රේඩියෝවක වාදනය උන මොහමඩ් රාෆි ගේ ගීතයක් රේඩියෝවේ සද්දෙටත් වඩා හයියෙන් ගායනා කරමින් මැදිරියේ බිමක ඉඳගෙන හිටියා .

නිතරම ඒ හරියේ ඉන්න අයට මේ ගායනය විශේෂ දෙයක් නොවුනට , එතනින් යමින් සිටි චක්‍රබෝර්ති කියන තරුණයට මේ සුමිහිරි කටහඬක් හිමි යාචිකාව ගැන මොකක්දෝ අමුතු දෙයක් දැනුනා .ඔහු ඇයගේ ගායනය වීඩියෝ කරලා එවලේම ෆේස් බූක් දැම්මා.

විනාඩි ගානකින් ඉන්දියාවේ විතරක් නෙමෙයි ආසියාවේ අස්සක් මුල්ලක් නෑර
රනූ මොන්ඩාල් ගේ මේ වීඩියෝව බැලුවා.

ඒකෙන් පස්සේ ,

පාරේ නිදාගෙන හිටපු මොන්ඩාල් අන්තිමට නැවතුනේ හිමේෂ් රෙශ්මියා කියන දැවැන්ත නිර්මාණකරුවා ළඟ .එක රැයකින් රනූ මොන්ඩාල් නම් වූ හිඟන්නිය , රනූ මොන්ඩාල් නම් වූ තාරකාව බවට පත් වුනා , සල්මන් ඛාන් ගෙන් ලක්ෂ ගානක ගෙයක් හම්බුනා , ජනප්‍රිය වුනා , ධනවත් වුනා ,ප්‍රසිද්ධ උනා .කොහොම කොහොම හරි ඇගේ දෛවය උඩු යටිකුරු උනා .

ඔන්න දැන් ඉතින් රනූ මොන්ඩාල් සුප්‍රසිද්ධ ගායිකාවක් බවට පත් උනා .

මාස දෙක තුනකට පස්සේ දවසක මොන්ඩාල් එයාගේ ආරක්ෂකයෝ එක්ක “සුපර් මාකට්” එකකට යනවා , එතනදී අහම්බෙන් මොන්ඩාල් ව දැකපු කාන්තාවක් එයාගේ පුංචි දුවත් එක්ක හරිම ආසාවෙන් “සෙල්ෆියක්” ගහන්න මොන්ඩාල් ලඟට එනවා , පිටිපස්සෙන් ආපු ඇය ඉස්සරහ හැරිලා හිටපු මොන්ඩාල්ගේ අතට හිමීට තට්ටුවක් දාලා ෆෝන් එකත් අරන් “සෙල්ෆියක්” ගහන්න පුලුවන්ද අහනවා..

මොනවා වෙන්න ඇති කියලද හිතෙන්නේ,
( හැබැයි හීනෙකින් වත් හිතපු දෙයක් නම් නෙමෙයි වෙන්නේ .)

මොකද මේ මාව අල්ලන්නේ?? මේ.. මේ.. මාව අල්ලන්න එන්න එපා , මම දැන් celebrity කෙනෙක් ,
කියලා තරහෙන් පුපුර පුපුර මොන්ඩාල් කියන කොට අර කාන්තාවට කට උත්තරත් නැති වෙනවා ,ඒ විතරක් නෙමෙයි ඒ පොඩි ළමයත් බය වෙනවා .

ඔලුව ඉදිමිච්ච මෝඩ ගෑණියෙක් ,හිඟන්නන්ට රත්තරන් හම්බුනහම ඔහොම තමයි කිය කිය මුළු ඉන්දියාවම ඇයට බනින්න ගත්තා.

මොන්ඩාල්ව තරුවක් කරපු මාධ්‍යට පවා මේ සිද්ධිය නිසා ඇය ගැන කළකිරෙනවා , ඒ වගේම බොහෝ තැන්වලින් මොන්ඩාල් ව ප්‍රතික්ෂේප වෙන්න පටන් ගන්නවා .

කතාව ඇහුවම මොන්ඩාල් ට මොංගල් ද කියල හිතුනට, මේක, ” *අනුගත වීම* “කියන න්‍යාය මත පදනම් වෙච්ච, අපි කාටත් සිද්ධ වෙන්න පුළුවන් පොදුම පොදු තියරියක් .

…………………………………..

සිංහල වෙලා ඉපදිලා සිංහලෙන් ම ඉගෙනගෙන ඉංග්‍රීසි වචන දෙක තුනක් ඉගන ගත්තට පස්සේ , සිංහලෙන් කතා කරන අයට ඔරව ඔරවා” බලෙන් පොෂ් ” වෙන්න හදන කට්ටිය ,

සතේ අතේ නැතුව ඉඳලා පනම් දෙකක් අතට ආවට පස්සේ අඟහරු ලෝකෙන් බැස්සා වගේ හැසිරෙන කට්ටිය ,

විනාඩි පහක ටීවී ඇඩ් එකක සෙනග අස්සෙන් යන්තම් මූණ පෙනුනහම නළු ඔස්තාර් ලා වගේ හැසිරෙන කට්ටිය ,

ජීවිතේට ඉස්කෝලෙක පන්ති නායකයෙක්වත් වෙලා නැති කෙනෙක්ට සමිතියක කාරක සභික තනතුරක් ලැබුනහම තියන පවර් එක
දැක්කම,

අපිට හිතෙන්නේ ,

අම්මෝ මුගේ ඔලුව ඉදිමිච්ච හැටි , යකෝ මැස්සෙක් ගිය උඩ ,මූට ගිය කලක් , කියල නේද ?

හැබැයි ඔතන වෙන්නෙ වෙන දෙයක් ,
දැන් මෙහෙම හිතන්නකො ,

කහටගස්දිගිලිය හොරොව්පතාන, කුඹුක් ගැටේ වගේ හද්දා පිටිසර පැත්තක ඉපදිලා කොළඹ මොනපාටද කියලවත් නොදැකපු අහිංසක ගැහැණු ළමයෙක් ලස්සන බෝරිච්චි අත් දාපු චීත්ත ගවුමක් ඇඳන් කොළොම්තොටට ගොඩ බහිනවා .

මේ දැරිවි එහෙදි කොන්ඩ පාට කරලා , ටැටූ ගහලා මිනි ගවුම් , ඉරිච්ච ඩෙනිම් ඇඳගෙන
“බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා” එක්ක ෆන් එකේ ඉන්න ගෑණු ළමයි හැමතැනම ඉන්නවා දකිනවා .

තමන් මෙච්චර කල් ජීවත් වෙච්ච ලෝකෙයි මේ සර්වපිත්තල ලෝකෙයි අතර තියන “ලයිෆ්ස්ටයිල් ගැප්” එක එයාට තදින්ම දැනෙන්න පටන් ගන්නවා .
ඉතින් අමාරුවෙන් මහන්සියෙන් තමනුත් මේ සමාජෙට අනුව අනුගත වෙන්න ඕනේ නේද කියල හිතාගෙන එහෙම අනුගත වෙන්න හෙන ගේමක් දෙනවා .

ඉතින් ගැලපෙන දේ නොගැලපෙන දේ හරි දේ වැරදි දේ මොකක්ද කියල අවබෝධයක් නැහැ ,කොළඹ ඉන්නවනම් මේන්ටේන් වෙන්න ඕනේ කියල හිතාගෙන දකින දකින හැමදේම කරන්න පටන් ගන්නවා .

ඒකෙ ප්‍රථිපලයක් විදිහට කොළඹ තියන නයිට් ක්ලබ් වල 99% ම ඉන්නෙ බලෙන් මොඩ් වෙච්ච ගම් වල අහිංසක කෙල්ලෝ , ස්පා වල ඉන්නෙත් දිස්ත්‍රික්කේ කිව්වොත් මිසක ගමේ නම කිව්වට අහලවත් නැති ඈත ගම් වලින් කොළඹ ට ගොඩබැහැපු කොල්ලො .

මහ තද අව්වේ ටයි කෝට් දාගෙන චීන බඩු ගෙවල් ගානෙ ගිහින් විකුණන පිරිමි ළමයෙක්ගෙන් නිකමට අහල බලන්න ගම කොහෙද කියලා කොළඹ , කළුතර,ගාල්ල,
කොල්ලෙක් බෙහෙතකටවත් නැහැ ,ඔක්කොම ගොඩක් පිටිසර ගම වල ළමයි .

කොළඹ ලොකු රස්සාවල් කරන අය ටයි දානවා, ඔයාලා මේ රස්සාව කරන්නෙත් ටයි දාලා ,ඒ කියන්නේ ඔයාලත් පොරවල් කියලා ඒ ළමයි ටික අන්දනවා.
කොළඹ ජීවිතේ හරියට නොදන්න කොල්ලෝ ටික කොළඹට සෙට් වෙන්න කියලා හිතාගෙන ටයි පොල්ලක් දාගෙන ගිනි අව්වේ ගෙවල් ගානේ සෙල්ලම් බඩු විකුණනවා , නගරේ මිනිස්සුන්ට ඒ ළමයි දැකලා අනේ පව් කියලා අනුකම්පා හිතුනට ඒ ළමයි ඉන්නේ හෙන මොරාල් එකේ පොර මානසිකත්වය උඩටම ගහලා .

ස්පා එකක වැඩ කරන එක මෙහෙ හරිම සාමාන්‍යයි , ක්ලබ් නොගියපු කෙල්ලෙක් කොලඹ නැහැ කියලා හිතාගෙන කෙල්ලෝ ටිකත් නරකාදී අපායටම වැටිලා අන්තිමට තාත්තා කවුද කියලවත් නොදන්නා ළමයි ටොයිලට් වල පවා උපද්දන තත්වෙට වැටෙනවා .

ඒකම තමයි මොන්ඩාල් ටත් උනේ , ජීවිතේට ප්‍රසිද්ධ පුද්ගලයෙක් නළුවෙක් ගායකයෙක් ඇහැට නොදැකපු , දන්නා කාලෙක මේසෙක ඉඳගෙන හොඳ කෑම වේලක් නොකාපු ,ග්‍රැනයිට් පොළවක පය නොගහපු මොන්ඩාල් ට එක පාරටම ලැබිච්ච සල්ලි වස්තුව ජනප්‍රියත්වය කියන දේවල් වලට මූණ දෙන්න ඕනේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා ,

ඉස්සර හිඟා කන කාලේ කාගෙහරි අතින් අල්ලලා සල්ලි ඉල්ලුවහම බැනුම් අහපු විදිහ විතරයි එයාට මතක ,

ඉතිං ජනප්‍රිය කෙනෙක්ගේ චරිතෙට ආරූඩ වෙලා ඒක හරියටම ප්ලේ කරන්න පුරුදු වෙන්න එයා ට්‍රයි කළා , ඉන්දියාවේ දේවත්වයෙන් සලකන අමිතාබ් භච්චන් උනත් ඕන තරම් මිනිස්සු එක්ක සෙල්ෆි ගන්න බව එයා දැකලා තිබ්බේ නැහැ ,

මුකුත්ම නැතුව ඉඳලා මොනවහරි ලැබිච්ච මිනිස්සු ඒ තත්වෙට අනුගත වෙන්න සහ ඒ ලැබිච්ච පවර් එක ලෝකෙට පෙන්නන්න
මාරම උත්සාහයක් ගන්නවා .

හිටපු තැනයි ඉන්න තැනයි අතර ගැප් එක වැඩිවෙන්න වැඩිවෙන්න තත්වය තව තවත් භයානක වෙනවා. (උගත්කම සහ බුද්ධිමත් කමත් යම් තාක් දුරට බලපානවා )

ජීවිතේට බ්‍රෑන්ඩඩ් බෑග් එකක් පාවිච්චි නොකරපු කෙනෙක් ලුවී විටෝන් බෑග් එකක් ගත්තම , එයා තේ බොන්නත් යන්නෙ හිල්ටන් එකට , මොකද බෑග් එකට අනුගත වෙන්න ඕනේ නිසා .

මොන්ඩාල් ට බැන්නට එයාගේ උත්සාහය සාදාරණයි . කූඩෑල්ලන්ට මෙට්ටේ සෙට් වෙන්න ටිකක් කල් යනවා , සල්ලි නැති අයට සල්ලි ලැබුනත් , බලය නැති අයට බලය ලැබුනත් වෙන්නේ එච්චරම තමයි .

හෙට උදේ වෙනකොට මට ලෝකෙ වටිනාම මැණික හම්බෙලා අම්බානිලගේ ලිස්ට් එකට වැටුනොත්, මේ ඉන්න තත්වෙන් පොඩ්ඩක් වෙනස් වෙලා මුකේෂ් අම්බානිලා වගේ හැසිරෙන්න ට්‍රයි කරන්න ඕනෙ කියලා මටත් හිතෙන්න පුළුවන්.

රනූ මොන්ඩාල් ගෙ ඔලුව ඉදිමිලා කියලා බැන්නට, ඔයාට මට අපි කාටත්, අද අපි ළඟ නැති හිතා ගන්නත් බැරි වටිනා දෙයක්, තනතුරක් හෙට ලැබුනොත් ඒකට අනුගත වෙන්න ටිකක් කල් යනවා .

ඒ සංක්‍රාන්ති කාලේ වටේ ඉන්න ඒ දේවල් දැකපු විඳපු මිනිස්සුන්ට අපිව විහිළුවක් විදිහට පේන්න පටන් ගන්නවා තමයි
ඉතින් , ඒකට කරන්න දෙයක් නැහැ .

අපි ඕකට ඔලුව ඉදිමිලා , ලොකු කම ඉහට ගහලා කියලා කිව්වට ඇත්තටම වෙන්නෙ තනතුරට අනුගත වීමට උත්සාහ කරන එක මිසක් වෙන දෙයක් නෙමයි .

බුකියේ උඩ පහල යනකොට රෑටත් සංග්ලාස් දාගෙන එක එක අලුත් දේවල් වලට අනුගත වෙන්න ලොකු ට්‍රයි එකක් දෙන ජීවියෝ ඕනතරම් ඔයාලට හම්බෙනවා ඇති ,

යකෝ මුගේ ලොකුකම , පිස්සුද මුට,මැස්සෙක් ගිය උඩ ,ඔලුව ඉදිමිලා , අරවා මෙව්වා කියලා ඒ අහිංසකයින්ට කෝචෝක් කරන්න යන්න එපා , ඒක හරි සාමාන්‍යයි ,
ටික කාලෙකින් ඔය තත්වය යථාතත්වෙට පත්වෙනවා..

උපුටාගැනීමකි

…තිසා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More