ව්‍යාපාරික පුවත්

ජනාධිපතිතුමා විසින් මෑතකදී පවසා සිටියේ රටේ ආර්ථිකයට අහිතකර, දේශීය නිෂ්පාදකයන්ට තර්ජනයක්‌ වන වෙළෙඳ ගිවිසුම් සඳහා තමන් නොඑළැඹෙන බවයි. නමුත් ගැටලුව වන්නේ දැනට සාකච්ඡා වන ගිවිසුම් රටට හිතකරද අහිතකරද යන්න පිළිබඳව නිරවුල් අදහසක්‌ රටේ නායකත්වයට තවමත් නොමැති වීමයි. රටේ සේවා ක්‌ෂේත්‍රය විවර කරමින් එළැඹි පළමු ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම අත්සන් තබන විට වේදිකාවේ ඉහළින්ම සිටියේ ජනාධිපතිතුමායි. එසේ නම් ජනාධිපතිතුමාට අනුව සිංගප්පූරු ගිවිසුම රටට හිතකර ගිවිසුමක්‌ විය යුතුය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම “මෝඩ” ගිවිසුමකි.

සිංගප්පුරු ගිවිසුමෙන් ලංකාවට ලැබුණු වාසිය ලෙස රජය පවසන එකම දෙය නම් වත්මන් රජය ජාත්‍යන්තර වෙළඳාම කෙරෙහි දක්‌වන විවෘතභාවය පිළිබඳව පණිවුඩයක්‌ ලෝකයට ලබා දීමට හැකි වීමයි. නමුත් ඒ සමඟම රජයේ ආර්ථික ප්‍රතිපත්තිය රටේ බහුතර ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කළ බවට පණිවුඩයක්‌ පසුගිය පළාත් පාලන මැතිවරණය මඟින් ලෝකයාට ලැබුණු නිසා, එම ඊනියා එකම වාසියේද ගත යුත්තක්‌ නැත. මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට හිමි වූයේ අවාසි පමණි.

මෙම ගිවිසුම නිසා සිංගප්පූරුවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක බදු මුදලක්‌ ඉතිරි වන බව සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රකාශයක සඳහන් විය. එහි අර්ථය වන්නේ, සිංගප්පූරු භාණ්‌ඩ සඳහා ආනයනික බදු වශයෙන් ලංකාවට ලැබෙන මුදලින් අවම වශයෙන් රුපියල් මිලියන 1500 ක බදු ආදායමක්‌ වාර්ෂිකව මෙම ගිවිසුම නිසා රජයට අහිමි වූ බවයි. ඒ වෙනුවට ලංකාවෙන් සිංගප්පූරුවට අපනයනය සඳහා ලැබුණේ මොනවාද යන්න සලකා බලන විට මෙම නිලධාරීන් කෙතරම් බරපතළ පාවා දීමක නිරත වූයේ දැයි පැහැදිලි වේ. සිංගප්පූරුව ආනයනික බදු ඒකපාර්ශවිකවම ඉතා අවම මට්‌ටමක පවත්වා ගන්නා රටකි. නව ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට බදු සහන ලැබුණු භාණ්‌ඩ වලින් 99%ක්‌ම සියලුම රටවල් සඳහා සිංගප්පූරුව විසින් මින් පෙරත් ආනයනික බද්දෙන් නිදහස්‌ කර තිබූ භාණ්‌ඩමය. එසේම මෙම ගිවිසුම තුළ, යම් භාණ්‌ඩයක අගයට සිංගප්පූරුව තුළදී එකතු කළ අගය මැන බැලීම (Rule of Origin) සඳහා වන කොන්දේසිය ඉතාම දුර්වල ලෙස අන්තර්ගත කර ඇති බව අපට දැනගන්නට ලැබී ඇත. ඒ අනුව සිදුවන්නේ වෙනත් රටවල නිපදවන භාණ්‌ඩද සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට බදු රහිතව ඇතුළු වීමයි. මෙය දේශීය කර්මාන්තකරුවාට එල්ලවන මරු පහරක්‌ වනු ඇත.

වෙළෙඳ හිඟයේ අර්බුදය උත්සන්න කරන එට්‌කා

මීළඟට අපට වැදගත් වන්නේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දරන ස්‌ථාවරයයි. දේශීය නිෂ්පාදකයා ආරක්‌ෂා කර ගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරන අතරතුර එට්‌කා සාකච්ඡා කණ්‌ඩායම සිය අටවන සාකච්ඡා වටයද සම්පූර්ණ කරමින් එට්‌කා ගිවිසුම වෙත තවත් පියවරකින් ළඟා විය. එනිසා රටේ නායකත්වය මෙම ගිවිසුම මඟින් ඇති වන බලපෑම පිළිබඳව නිවැරදිව දැනුවත් කිරීම ඉතාම කාලෝචිත කර්තව්‍යයකි.

සාමාන්‍යයෙන් භාණ්‌ඩ වෙළෙඳාම මඟින්, ඇමරිකානු ඩොලර් බිලියන 9 ක පමණ වැඩිපුර මුදලක්‌ වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළින් පිටවේ. එනම් ශ්‍රී ලංකාවේ වාර්ෂික වෙළෙඳ හිඟය (අපනයන ආනයන පරතරය) ඇමරිකානු ඩොලර් බිලියන 9 ක්‌ පමණ වේ. එයින් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක පමණ ද්විපාර්ශවික වෙළෙඳ පරතරයක්‌ සකස්‌ වන්නේ ඉන්දියාව සමඟ වෙළෙඳාමෙනි. එනම් හම්බන්තොට වරාය වසර 99 කට විකුණා ලබා ගත් මුදල මෙන් සිවු ගුණයක්‌ ඉන්දියාව සමඟ භාණ්‌ඩ වෙළෙඳාම නිසා එක වසරක්‌ තුළදී රටින් පිටවේ.

ශ්‍රී ලංකා රජය විසින් සිදු කළ යුත්තේ වාර්ෂිකව වර්ධනය වෙමින් පවතින ඉන්දියාව සමඟ පවතින මෙම දැවැන්ත වෙළෙඳ හිඟය අඩු කර ගන්නට පියවර සෙවීමයි. ඉන්දියාව තමන්ට චීනය සමඟ පවතින වෙළෙඳ හිඟය අවම කර ගැනීමට උත්සාහ කරන ආකාරය ශ්‍රී ලංකාව විසින් ආදර්ශයට ගත යුතුය. නමුත් ඒ වෙනුවට එට්‌කා ගිවිසුම තුළ යෝජනා කෙරෙන්නේ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන භාණ්‌ඩවලින් 90%ක්‌ම ආනයනික බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස්‌ කරන්නය. අඩු නිෂ්පාදන පිරිවැයක්‌ සහ ඉහළ නිෂ්පාදන ධාරිතාවයක්‌ ඇති ඉන්දියාවේ සිට ගෙන්වනු ලබන භාණ්‌ඩ ආනයනික බද්දෙන් නිදහස්‌ කළ විට ශ්‍රී ලංකා වෙළෙඳපොළ ඉන්දියානු භාණ්‌ඩ සඳහා තෝතැන්නක්‌ බවට පත්වී, ඉන්දියානු ආනයන අධික ලෙස ඉහළ යනු ඇත.

ඉන්දියාවට ආනයනික බදු සහන ලබාදෙන විට එවැනිම සහනයක්‌ චීනය වෙත ද ලබා දෙන්නට සිදුවන බව අප අමතක නොකළ යුතුය. චීනය සමඟ ද මෙවැනිම වෙළෙඳ ගිවිසුමක්‌ සඳහා සාකච්ඡා පැවැත්වේ. එනිසා ඉදිරියේදී ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ ඉන්දියානු සහ චීන භාණ්‌ඩ තරඟ වදින විට දේශීය කර්මාන්ත ආරක්‌ෂා කර ගැනීමේ ජනාධිපතිතුමාගේ අහිංසක ප්‍රාර්ථනාව, දේශීය කර්මාන්ත සමඟම වැළලී යනු ඇත. එවිට අපනයනයන්ද පහත වැටෙනු ඇත. ආනයන අපනයන පරතරය වැඩි වී වෙළෙඳ හිගයේ අර්බුදය උත්සන්න වනු ඇත.

ඉන්දියානු සේවා සහ අපේ සල්ලි

එට්‌කා අත්සන් කරන්නට පෙරම ශ්‍රී ලංකාවෙන් ඵල නෙලා ගැනීමට ඉන්දියාව ක්‍රියා කරමින් සිටියි. මෑතකදී බස්‌නාහිර පළාතේ රෝහල්වල රෙදි සේදීම ඉන්දියානු සමාගමකට පවරාදුනි. මේ එට්‌කා සාකච්ඡාවල වක්‍ර ප්‍රතිඵලය. රෙදි සේදීම මඟින් පවා අපේ රටේ ධනය ඉන්දියාව වෙත ඇදී යයි. ඉදිරියේදී ඉන්දියානු ගිලන් රථයක නැගී, ඉන්දියානු රෝහල වෙත ගොස්‌, ඉන්දියානු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගෙන, ඉන්දියානු කේටරිං සේවාවකින් සපයන ආහාර අනුභව කොට, ඉන්දියානු සමාගමකින් සෝදා දෙන ඇඳ ඇතිරිලි මත සැතපී, ඉන්දියානු හෙදියකගෙන් එන්නත් විදගන්නා රෝහලක්‌ අපට උරුමවනු ඇත. අපේ කියා දෙයකට ඉතිරිවන්නේ රෝගය සහ රෝගියා පමණි. රෝගියාගේ රෝගය සුවවන විට ඒ සඳහා වැයකළ සම්පූර්ණ මුදල ඉන්දියාවේය.

මේ බලපෑම අධ්‍යාපනය, ප්‍රවාහනය, මුල්‍ය සේවා, සනීපාරක්‌ෂක සේවා, බලශක්‌තිය, දුරකථන සේවා, විනෝදාස්‌වාද, තොරතුරු තාක්‌ෂණ, සංචාරක ආදී සියලුම ක්‌ෂේත්‍රයන්හි ව්‍යාප්ත වූ විට රටින් පිටවන විදේශ විනිමය ප්‍රමාණය අති විශාල වනු ඇත. එසේම ශ්‍රී ලාංකිකයන්ට අයත් විය යුතු රැකියා අවස්‌ථා කීයක්‌ නම් ඉන්දියානුවන් අතට පත්වනු ඇතිද?

ඉන්දියානු සමාගම් ශ්‍රී ලංකාව තුළ සේවා ව්‍යාප්ත කිරීමට සූදානමින් පසු වුවද ලාංකීය සේවා සපයන සමාගම්වලට ඉන්දියාව තුළ තරගකාරී වීම ඉතාම අපහසුය. ශ්‍රී ලංකාව වර්තමානයේදී සංචාරක, තොරතුරු තාක්‌ෂණ, ගුවන්, නාවුක ආදී සේවා සපයමින් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න ශුද්ධ ඉපයීමක්‌ සේවා අංශය තුළින් සිදු කරයි. නමුත් එට්‌කා ගිවිසුමෙන් පසුව සේවා අංශයෙන් අධික මුදලක්‌ ඉන්දියාව වෙත ඇදී යැම නිසා සේවා අංශය ද ගෙවුම් තුලනය තුළ හිඟයක්‌ වාර්තා කිරීමට ඉඩ ඇත.

සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ

වර්තමාන තත්ත්වය අනුව, වාර්ෂිකව භාණ්‌ඩ වෙළෙඳාමෙන් ඇමරිකානු ඩොලර් බිලියන නවයක පමණ මුදලක්‌ වැඩිපුර අපේ රටින් පිටවන විට, විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක පමණ මුදලක්‌ රට තුළට වැඩිපුර ඇතුළු වේ. එය සැකසෙන්නේ ලාංකිකයන් විසින් වෙනත් රටවල සේවය කර වාර්ෂිකව මෙරටට එවන ඇමරිකානු ඩොලර් බිලියන හතකට මදක්‌ වැඩි මුදලකින්, විදේශිකයන් ලංකාවේ සේවය කර පිට කරන ඇමරිකානු ඩොලර් මිලියන 800 ක පමණ මුදලක්‌ අඩු කිරීම මගිනි.

එට්‌කා ගිවිසුමෙන් පසුව විශාල ඉන්දියානුවන් පිරිසක්‌ ශ්‍රී ලංකාව තුළ සේවය කරනු ඇත. ඒ නිසා ශ්‍රී ලංකාවෙන් සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ ලෙස පිට වන මුදල ඉහළ යනු ඇත. එවිට ඉහත කී භාණ්‌ඩ වෙළෙඳාමෙන් රට තුළින් වැඩිපුර පිටවන මුදලට දැනට පිළියමක්‌ ලෙස පවතින විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගය ද පහත යනු ඇත.

කබලෙන් ළිපට තල්ලු කිරීම

මේ අනුව එට්‌කා ගිවිසුම නිසා භාණ්‌ඩ, සේවා, මෙන්ම සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව මුදල් පිටවන ප්‍රමාණය උත්සන්න වේ. එහි ප්‍රතිඵලය වන්නේ ගෙවුම් තුලනයෙහි ජංගම ගිණුමේ හිඟය ඉහළ යැමයි. ඉතා කුඩා ප්‍රාග්ධන ගිණුමක්‌ හිමි ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම තුළ පවතින හිඟය, මුල්‍ය ගිණුම තුළින් තුලනය කර ගැනීමට සිදුවේ. එනම් අපගේ ණය බර වැඩි වීම සහ විදෙස්‌ සංචිත පහළ යැම ජංගම ගිණුමේ සෘන අගයක්‌ වාර්තාවීමේ සෘජු ප්‍රතිඵල වේ.

ඵලදායී විදෙස්‌ ආයෝජන ගෙන්වාගත හැකි නම් විදෙස්‌ සංචිත පහළ යැම සහ ණය බර වැඩි වීම යම්තාක්‌ දුරට පාලනය කළ හැකිය. නමුත් මුදල් රැගෙන ආ පමණින් සියලුම විදේශ ආයෝජනයන් රටට හිතකර වන්නේ නැත. දේශීය ආයෝජකයාට ඇති අවස්‌ථාව අහිමි කරමින් මෙරට පාරිභෝගික ජනතාවගේ මුදල් හෝ රජයේ ගෙවීම් හෝ ලාභාංශ ලෙස යළි මෙරටින් පිටකරන, අපනයන වර්ධනයට ඉවහල් නොවන, රෝහල්වල රෙදි සේදීම වැනි ඉතා අඩු ප්‍රාග්ධනයක්‌ රට තුළට ගෙනෙන විදේශ ආයෝජන මගින් සිදු වන්නේ අනර්ථයකි. ජංගම ගිණුමේ හිඟය අවම කර ගැනීමට අප අපොහොසත් වුවහොත් රටින් වැඩිපුර පිටවන මුදල සොයා ගැනීමට අප සතුව ඇති වටිනා සම්පත් කුණු කොල්ලයට විදේශිකයන්ට විකුණා දමන්නට රජය පෙළඹෙණු ඇත.

එට්‌කා ගිවිසුම ශ්‍රී ලංකාවේ ආර්ථිකය කබලෙන් ළිපට ඇද දමා මේ කුණු කොල්ලයට පාර කපනු ඇත. 2001-2004 රනිල් වික්‍රමසිංහ අගමැති වූ සමයේ එවක ආයෝජන මණ්‌ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් මුල්වී එදා සීපා නමින් ආරම්භ කළ මෙම ක්‍රියාදාමය අද ඉතා වේගවත් කිරීමට මලික්‌ සමරවික්‍රම අමාත්‍යවරයාගේ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳාම අමාත්‍යාංශය ක්‍රියා කරමින් සිටියි. අවංක පුද්ගලයකුට නම් එට්‌කා ගිවිසුම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස අහිතකර බව තේරුම් ගැනීමට මාස ගණන් ගත කිරීමට අවශ්‍ය වන්නේ නැත. එනිසා නවවැනි එට්‌කා සාකච්ඡා වටය පැවැත්වීමට පෙර ජනාධිපතිතුමා විසින් එට්‌කා සාකච්ඡා අත්හිටුවා, එට්‌කා සාකච්ඡා කණ්‌ඩායම විසුරුවා හැරිය යුතුය. නැතහොත් අපකීර්තිමත් එට්‌කා ගිවිසුම අත්සන් කරන දිනයේද වේදිකාවේ ඉහළින්ම අසුන් ගෙන සිටීමට සිදු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය.

ලසන්ත වික්‍රමසිංහ
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

චම්පික – විජයදාස ජනපතිට එකග වෙද්දී රාජිත – මංගල විරුද්ධ වෙයි..යහපාලනය උණුසුම් කළ විශේෂ කැබිනට් ගෝරියේ නොකී රහස් මෙන්න..

13 වැනිදා රැස්වූ විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රධාන කාරණ කිහිපයක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විනාඩි 45ක පමණ දීර්ඝ විස්තරයක් ක...


Read More

බුදුදහමට එල්ල වී ඇති බලපෑම් ගැන මහනුවරදි සාකච්ඡාවක්

වර්තමානයේ බුදුදහමට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව අස්ගිරි - මල්වතු උභය විහාරීය මහා සංඝරත්නය අද විශේෂ සාකච්ඡාවක නිරත විය. ඒ මල්වතු මහාවිහාර...


Read More

‘මහින්ද රාජපක්‍ෂ බුදුවේවා..’ කැබිතිගොල්ලෑවේදී නාහිමියෝ මහින්දට ආශිර්වාද කරති..[Video]

‘ත්‍රස්තවාදීන් පැරදවූ ඔබතුමන්ට බුදු වෙන්න කියා කියන්න දෙයක් නෑ’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් අනුරාධපුර කැබිතිග...


Read More