මුහුණු පොතෙන්

කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ සිසුවකුට පහර දුන්නේ යැයි ගොනුකල නඩුවක තීන්දුව ලෙස එම විද්‍යාලයේ 55 හැවිරිදි ගුරුවරියකට බරපතල වැඩ සහිත වසර 02 ක සිර දඩුවමක් සමග රුපියල් දස දහසක දඩ මුදලක්ද එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවමක් නියම කොට ඇත්තේය. ඊට අමතරව අගතියට පත් සිසුවාගේ පාර්ශවයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමටත් නියම කර ඇත්තේය. වසර ගණනාවක් දරුවන්ට ශිල්ප දුන් ගුරුවරියක් ලෙස මෙම සිදුවීම ඇගේ ගුරු ඉතිහාසයෙන්ම මහත් කම්පනයක් ඇති කළ අමිහිරිම අද්දැකීම වෙන්නට ඇති බව නොඅනුමානය. එය එම ගුරුවරියට පමණක් නොව මුළු මහත් සමාජයම තිගැස්මට ලක් කළ ප්‍රවෘත්තියක් වී ඇති බව පෙනෙයි.

මෙම සිදුවීම සිදුවන්නේ 2012 ජූලි 09 දායි. ඒ වෙනවිට මේ කියන සිසුවා කුඩා දරුවකු නොව අවුරුදු 16 ක තරම් තලතුනා වියෙහි සිටි දරුවෙකි. ඔහු තවත් මාස පහකින් එළඹෙන දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සුදානමින් සිටියේය. මෙම ගුරුවරිය තමාගේ මුහුණට සහ ඔලුවට අතින් පහර දුන්නේ යැයි ප්‍රතිකාර ලබා ගැනීමට කුරුණෑගල රෝහලට ඇතුලත් වන්නේ ජූලි 10 දාය. කුඩාම දරුවකු නොවෙන අවුරුදු 16 කොල්ලෙකුට කාන්තාවක් අතින් පහර දීමෙන් බරපතල තුවාල සිදුවිය හැකි ද? දැනට අපි කන වැනි සියුම් ඉන්ද්‍රියක් කුඩා පහරකින් වුණත් කම්පනය විය හැකි යැයි සිතමු. හැදුනුම්කම් මත මෙඩිකල් වාර්තා ලියවා නිවාඩු ගන්න මිනිසුන් ඉන්න රටේ වැඩි මාත්‍රාවෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළා දැයි නොදනිමු. මහාධිකරණ විනිසුරුතුමිය තීන්දුව දී තිබෙන්නේ ඒ සියලු සාක්ෂි සලකාබලා බව පැහැදිලියි. එහෙත් අප යෝජනා කරන්නේ මෙවන් දඩුවමක් දෙද්දී නීතිමය වගන්ති වල‍ට එපිටින් මනුෂත්වයත් සලකා මීට අඩු දඩුවමක් දිය නොහැකිද යන්නයි. ගුරුවරිය පහර කීපයක් ගැසුවේ නම් ඒ වරදකට දඩුවමක් ලෙස විනා මිනි මැරීමේ චේතනාවකින් විය නොහැකියි.

මීට වසර කිහිපයකට ඉහත හරියටම විශ්වවිද්‍යාලයට ප්‍රවේශවීමට සතියකට පෙර මගේ ජාතික හැදුනුම්පත අස්ථානගත විය.අවශ්‍ය ලියකියවිලි සමග පු.ලි.දෙපාර්තමේන්තුවට ගියේ එක්දින සේවාව මගින් නව හදුම්පතක් ලබා ගැනීමටයි. එදින කොළඹින් පිට ඈත ප්‍රදේශයක පියෙක් සියලු ලියකියවිලි රැගෙන පැමිණ සිටියේ තම පුතුගේ නැතිවූ හැදුම්පත එක් දිනකින් රැගෙන යාමටයි. නීති රෙගුලාසි අනුව එක්දින සේවය මගින් හැදුම්පත් නිකුත් කරන්නේ හැදුම්පත අදාළම පුද්ගලයාට පමණයි. පවුලේ වෙනත් අයෙකුටවත් හැදුනුම්පතක් නිකුත් නොකිරීම දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාටත් පොදු නීතියයි. නමුත් මෙම පියා පැමිණ සිටියේ දින දෙකකට පසුව තම පුතුට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට ඇති බැවින් ඊට පෙර හැදුනුම්පත රැගෙන යාමටයි. එදින පුතුට පැමිණීමට නොහැකි වී ඇත්තේ හදිසි අනතුරකට ප්‍රතිකාර කිරීමට රෝහල් ගත කිරීමට සිදුව ඇති නිසයි. එනිසයි මේ පියා පුතු රෝහල් ගතව ඇති බවට සනාථ කරන ලිපි ලේඛනද සමග පුතාගේ හැදුනුම්පත රැගෙන යාමට පැමිණියේ. එම ලේඛන පරික්ෂා කළ මැදිවයස් නිලධාරියා හැදුනුම්පත අදාළ පුද්ගලයා තමා නොවන නිසා මේ පියාට හැදුම්පත නිකුත් කිරීමට නොහැකි බව ප්‍රකාශ කළේය. ඔහු කොතරම් පුතුගේ හා තමාගේ දුක්ගැනවිල්ල කියමින් කන්නලව් කරත් ඊට සවන්දීමට අර නිලධාරීයා සුදානම් වූයේ නැත. ඔහු පෙන්නුවේ නිති රීති අනුව තමා අකුරට වැඩ කරන පුද්ගලයෙක් යන්නයි. මේ සංවාදය වෙනත් කවුන්ටරේක සිටි වැඩිහිටි නිලධාරියකුට ඇසී ඔහු වෙත පියා කැදවා ලියකියවිලි පරික්ෂා කර බැලුවේය. ඔහු ඊට අදාළ හැදුනුම්පත සකස් කිරීමට උපදෙස් දී මේ පියා එළියෙ රැදී සිටින ලෙස පිටත් කර යැවීය. දෙවනුව හැදුනුම්පත නිකුත් කිරීමට බැහැයි කියා නීතියට අකුරට වැඩ පෙන්වූ නිලධාරියාට වටිනා උපදේශයක් දුන්නේය. සාධාරණ හේතු මත දුර බැහැර සිට ඉතා අපහසුවෙන් කොළඹට එන මිනිස්සු හිස් අතින් නොයවා ලිපි ලේඛන නිවැරදි නම්, ග්‍රාම සේවක , ප්‍රාදේශීය ලේකම්, සනාත කර ඇත්නම්, වෛද්‍යවරු රෝගියාගේ තත්ත්වය සනාත කර ඇත්නම්, අවශ්‍යතාවය ඉක්මන් නම් නිතිය පමණක්ම නොව මනුෂත්වයද සැලකිල්ලට ගෙන තීරණ ගැනීමට මානුෂික වෙන්නැයි උපදෙස් දුන්නේය. කවර ආයතනයක කවර තරාතිරමේ නිලධාරියකුට වුවත් පොතේ නිතිය පමණක්ම නොව මනුෂ්‍යත්වය ගැනද සලකා බැලීමට සිදුවෙන අවස්ථා ඇති බව මෙයින් උගත හැකි පාඩමයි.

කොළඹ ජාත්‍යන්තර පාසලක දරුවෙක්ට බිම වැටී ඇති කඩදාසියක් අහුලා කුණු බක්කියට දමන ලෙස උපදෙස් දුන් විට එම සිසුවා ගුරුවරයාට පවසා ඇත්තේ ” අපේ තාත්තා ඕවටත් එක්කම තමයි ගෙවන්නේ” යනුවෙනි. තර්කයක් හැටියට සිසුවා නිවැරදි බව ඇත්ත. ඒත් අපේ ගුරු ගෞරවය, සිරිත් විරිත්, සාර ධර්ම ඊනියා නුතනත්වයට යටවී නැද්ද ? නුතනත්වයේම ඵලයක් වූ සුදු මහත්වරුන්ගේ නීතිත් මේ ජාත්‍යන්තර පාසල් සිසුවා හිතන ආකාරයට සමානයි. කඩදාසියක් ඉවත් කිරීමට උපදෙස් දුන් ගුරුවරයා සිසුවාගේ තර්කයට පරාජය වූවා සේ ජෝන් කොතලාවල විද්‍යාලයේ (රම්‍යා ද සිල්වා) ගුරුවරිය නුතනත්වයේ ළමා ප්‍රඥප්තිවල එන සිසුවාගේ තර්කයට පරාජය වී තිබේ. ගුරු දඩුවමක් ගැන අගනා පාඩමක් කියාදෙන තිලමුට්ටි ජාතකයේ දිසාපාමොක් ඇදුරු පවා අද සිටියේ නම් බරපතල වැඩ සහිත දෙවසරක සිර දඩුවමක් ලබනු නියතයි.එම කතා පුවතට අනුව තුන් දවසක් තල අහුර බැගින් සොරාගත් කුමාරයාට දඩුවම් කළ වෛරය පිරිමසා ගැනීමට කල්පනා කලේ රාජ්‍යත්වයට පත්වූ පසුවයි. රජතුමා දිසාපාමොක් කැඳවා රාජපුරුෂයන් ලවා හිස ගසා දැමීමට තීරණය කළ විට දිසාපාමොක් පැවසුවේ එදා සොරකමට දඩුවම් නොකළා නම් සොරකමෙන්ම මරණයට පත්වීමට ඉඩ තිබූ බවයි.එසේ නම් අද රාජ්‍ය විචාරන්න ඔබ ඔතැන නැති බවයි. මේ තමයි බෞද්ධ සංස්කෘතියෙන් සමාජ යහපැවැත්මට උරුම කළ චින්තනය. සිගාලෝවාද සුත්‍රයේ යුතුකම් ද විශිෂ්ට ගුරු සිසු සබඳතාවකට මග පෙන්වයි. වේවැල් කෝටු නාරං සියඹලා අතු, කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතුවලට බියව පමා නොවී අකුරට ගිය ළමුන් අද මානව හිමිකම් සමග පමා නොවී උසාවි යන තැනට නම් සමාජය තල්ලු වී තිබේ. එදා වරදකදී අත්ල රතු පැහැ ගැන්වෙන තරමට වදින වේවැල් පහරින් වරද නිවැරැදි කරගත්තා මිස ගුරුවරයා පිළිබඳ වෛරයක් ඇති කර ගත්තේ නැත. දඬුවම මැදහත් සිතින් ඉවසුවා මිස ගුරුවරයාට පෙරළා පහර දුන්නේද නැත. එහෙත් අද ඊනියා නූතනත්වය සමග අපි වල්මත් වී හසරක් නොදකින ජාතියක්.

රත්තනදෙණියේ මේධානන්ද හිමි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාතික ආණ්ඩු යෝජනා විවාදය අදත් නෑ

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...


Read More

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More

පොදුජන පෙරමුණේ ගිණුම් වාර්තා හෙළිදරව් කිරීම් හොඳ දෙයක්.. ඒ සමග කළ දේ කුමක්දැයි රටට කියනවා නම් ඉතා වැදගත් – නියෝජ්‍ය ඇමතිවරයෙක්

පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...


Read More