GOSSIP

නියෝජ්‍ය කථානායක ධුරයට නම් කිරීම සම්බන්ධයෙන් පැතිර යන ආරංචි ගැන විමසූ කටාන ප්‍රදේශයේ සිය ආධාරකරුවන්ට සුදර්ශනී පවසා තිබුණේ මහින්ද මහත්තයාගේ ඉල්ලීම පරිදි තමන් ඉදිරිපත් වන බවය. “මම නම් කැමැති නැහැ. ඒත් මහින්ද මහත්තයා මට ඉල්ලන්න කිව්වා” සුදර්ශනී පවසා තිබුණි.

කටාන ප්‍රදේශයේ පැතිර යන මෙම ආරංචිය ඒකාබද්ධ විපක්‌ෂයට සම්බන්ධ දේශපාලනඥයන් විසින් ප්‍රසන්නට දැනුම් දී තිබුණි. ප්‍රසන්න ඔවුන්ට කියා තිබුණේ සුදර්ශනී නියෝජ්‍ය කථානායක ධුරයට නම් කිරීම ජනාධිපතිවරයාගේ වුවමනාවක්‌ මිස ඒකාබද්ධ විපක්‌ෂයේ වැඩක්‌ නොවන බවය.

ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 4 දී පැවැත්වුණි. එහිදී විශේෂයෙන් අවධානයට ලක්‌ වූයේ නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙනි. එම යෝජනාව ඉදිරිපත් කළේ දිනේෂ් ගුණවර්ධනය.

“පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ නම යෝජනා වෙලා තියෙනවා. සුදර්ශනී නියෝජනය කරන්නේ 16 දෙනාගේ කණ්‌ඩායමයි. එයා දැන් ඉන්නේ විපක්‌ෂයේ. අපි ඒ ගැන සාකච්ඡා කරලා තීන්දුවක්‌ ගන්න ඕනේ” දිනේෂ් පැවසීය.

“අපි මේ වෙලාවේ සුදර්ශනීට සහයෝගය දෙන්න ඕනේ කියන එකයි මගේ මතය. මේ වෙලාවේ මෛත්‍රී සහ රනිල් අතර බෙදීමක්‌ තියෙනවා. ඒ බෙදීම වැඩි කරන්න පුළුවන් සුදර්ශනීයට සහයෝගය දෙන එකෙන්” මහින්දානන්ද පෙන්වා දුන්නේය.

“මේ තියෙන තත්ත්වය උඩ අපිට මේ සටන දිනන්න පුළුවන්ද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. එදා රනිල්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගේන වෙලාවෙත් කියෑවුණේ මේ වගේම කතා ටිකක්‌ තමයි. හැබැයි විශ්වාසභංගය පැරදුණා. අන්තිමට අපිත් එක්‌ක ඡන්දය දෙනවයි කියපු නිදහස්‌ පක්‌ෂයේ බහුතරයත් ඡන්දය නොදී මඟඇරියා. මේ පාරත් ඒ වගේ එකක්‌ නොවෙයි කියලා තියෙන සහතිකය මොකක්‌ද? ප්‍රසන්න ඇසුවේය.

“ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සියලු දෙනා මේකට ඡන්දය දෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. 16 කණ්‌ඩායම වගේම ඇමැතිකම් දරන අයත් ඡන්දය දෙනවා” දිනේෂ් පැවසීය.

“අපිට මේක දිනන්න පුළුවන් කියලා විශ්වාස නම් ඇයි අපි ඒකාබද්ධ විපක්‌ෂයෙන් කෙනෙක්‌ ඉදිරිපත් නොකරන්නේ? ඇයි අපි 16 දෙනාගේ කණ්‌ඩායමට මේක ගන්න උදව් කරන්නේ? එදා පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක තෝරන වෙලාවේ අපි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකිලා හිටියා. ඇයි මේ වතාවේ අපි පක්‌ෂව ඡන්දය ප්‍රකාශ කරන්නේ? ප්‍රසන්න විමසුවේය.

“ඒ අවස්‌ථාවේ සහ මේ අවස්‌ථාවේ තියෙන්නේ වෙනස්‌ තත්ත්වයන් දෙකක්‌” මහින්දානන්ද පැවසීය.

“මම සුදර්ශනී එක්‌ක තරහක්‌ නැහැ. හැබැයි එතුමිය ඉන්න තැන ගැන මගේ පැහැදීමකුත් නැහැ. සුදර්ශනී මන්ත්‍රීතුමිය නියෝජනය කරන්නේ මෛත්‍රී පාර්ශ්වය. අන්න ඒ ප්‍රතිපත්තිමය විරුද්ධත්වය විතරයි මට තියෙන්නේ. ජෙයරාඡ් කියන්නේ අපි ගරු කරන නායකයෙක්‌. එතුමා ගම්පහ දිස්‌ත්‍රික්‌ නායකයා විදියට මේ පක්‌ෂයට විශාල සේවාවක්‌ කරපු කෙනෙක්‌. අපි හැමෝම ආදරය කරන කෙනෙක්‌.

අද එතුමා ජීවතුන් අතර හිටියා නම් කිසිම සැකයක්‌ නැතුව හිටගන්නේ මහින්ද මහත්තයා ගාවයි. එහෙම බලනකොට සුදර්ශනී නෝනා අඩු ගාණේ ජෙයරා- මහත්තයාගේ ප්‍රතිපත්තිවත් ආරක්‌ෂා කරලා නැහැ. අන්න ඒ මතවාදය තමයි අපිට තියෙන ගැටලුව. අවුරුදු තුනක්‌ තිස්‌සේ අපේ මන්ත්‍රීවරුන් වෙහෙස මහන්සි වෙලා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පොහොට්‌ටුව ජයග්‍රාහී පසුබිමකට ගෙනාවට පස්‌සේ සුදර්ශනී නෝනලා පිල් මාරු කරපු එක තමයි දිස්‌ත්‍රික්‌කයක්‌ වශයෙන් අපට තියෙන ගැටලුව ප්‍රසන්න දීර්ඝ පැහැදිලි කිරීමක්‌ කළේය.

“ඒ කතාව ඇත්ත. මම වුණත් එදා හිටියේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ළඟ. හැබැයි මම තීන්දුවක්‌ ගත්තට පස්‌සේ කෙළින්ම ආවේ මහින්ද මහත්තයා ගාවට. මම හිටගත්තේ ඒකාබද්ධ විපක්‌ෂය තුළ. එහෙම නැතුව මේ පැත්තෙයි ඒ පැත්තෙයි කකුල් දෙක තියාගෙන ගේම් ගැහුවේ නැහැ. හැබැයි මේ අය එහෙම නැහැ. එයාලා කියන්නේ එකක්‌. කරන්නේ තව එකක්‌” ලන්සා පැවසීය.

“මමත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ කෙනෙක්‌ විදියට මේකට කැමැති නැහැ. මොකද අවුරුදු තුනක්‌ තිස්‌සේ අපි ඒකාබද්ධ විපක්‌ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් දර දිය ඇද්දා. අපේ පාක්‌ෂිකයෝ මේ වැඩවලින් කලකිරෙනවා. පාක්‌ෂිකයෝ නැතුව අපිට ගමනක්‌ නැහැ. ඒ හින්දා මම මේකට විරුද්ධයි” රණවීර කීවේය.

“මම තමයි කටාන ආසනයට ළඟින්ම තියෙන ආසනයේ ඉන්නේ. මම පැහැදිලිව දන්නවා අපේ ආසනවල වගේම කටාන ආසනයේ අපේ පාක්‌ෂිකයනුත් සුදර්ශනීට කැමැති නැහැ. එයාලගේ හිත්වල තියෙන්නෙම මහින්ද මහත්තයාව අමාරු අවස්‌ථාවේ අතහැරපු කාටවත් ආයේ චාන්ස්‌ එකක්‌ දෙන්න හොඳ නැහැ කියලයි. බැරි අවස්‌ථාවේ නොහිටපු අය පුළුවන් වෙනකොට එපා කියලයි ඒ අය කියන්නේ” ඉන්දික පැවසීය.

“මෙතන තියෙන්නේ සුදර්ශනී එක්‌ක පුද්ගලික තරහක්‌ නෙමෙයි. අපි ජෙයරාඡ් ඇමැතිතුමාට ගරු කරනවා. හැබැයි සුදර්ශනී නෝනා ජෙයරාඡ් මහත්තයාගේ පාරේ නෙමෙයි ගියේ. එයාට ලොකු වුණේ ඇමැතිකම මිසක්‌ රටවත් පක්‌ෂයවත් නෙමෙයි. එහෙම කෙනෙක්‌ දිනවන්න අපි මහන්සි වෙන්න ඕනේ නැහැ” ලාන්සා යළි කීවේය.

“මට තේරෙනවා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ මන්ත්‍රීවරුන්ට මේක ගැන ප්‍රශ්නයක්‌ තියෙනවා කියලා. ප්‍රසන්නලා කියන කතාවත් එක පැත්තකින් හරි. ඒ නිසා මම ඔයාලට කැමැති තීන්දුවක්‌ ගන්න ඉඩ දෙනවා” මහින්ද පැවසීය.

“අපි ඒ ගැන සර්ට ස්‌තුතිවන්ත වෙනවා. අපිට පුද්ගලික ආරෝවක්‌ නැහැ. හැබැයි මේ වගේ අය නිසා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පොහොට්‌ටුව දිනවන්න මහන්සි වෙච්ච කාට හරි අසාධාරණයක්‌ වෙනවට මම කැමැති නැහැ. මොකද අපි අද කොන්ද කෙළින් තියාගෙන ඉන්නේ අපි වෙනුවෙන් මහන්සි වෙච්ච පාක්‌ෂිකයන් නිසයි. හැමෝම වරදාන, වරප්‍රසාද වෙනුවෙන් මහින්ද මහත්තයා අතහරිද්දි ඒ අය ආණ්‌ඩුවෙන් ගුටි කකා හරි මහින්ද මහත්තයා එක්‌ක හිටියා. ඒ අය ආරක්‌ෂා කරන එක අපේ යුතුකම” ප්‍රසන්න පෙන්වා දුන්නේය.

මහින්දගෙන් ප්‍රසන්නට හදිසියේ ආ ඇමතුවක්‌

ඒ අනුව ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම අවසන් විය. සිසිර ජයකොඩි හැර ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් ගම්පහ දිස්‌ත්‍රික්‌ ඒකාබද්ධ විපක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම නෙළුම් මාවත බලා ගියේ බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකට සහභාගී වීම සඳහාය. එය කැඳවා තිබුණේ පොදුජන පෙරමුණේ ගම්පහ දිස්‌ත්‍රික්‌ ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

රැස්‌වීම අවසන්ව පාර්ලිමේන්තුව බලා එන විට ප්‍රසන්නට මහින්දගෙන් දුරකථන ඇමතුමක්‌ ලැබුණි.

“කොහෙද ප්‍රසන්න ඉන්නේ?” මහින්ද ඇසුවේය.

“මම සර් මේ නෙළුම් මාවතේ ඉඳන් පාර්ලිමේන්තුවට එන ගමන්” ප්‍රසන්න පිළිතුරු දුන්නේය.

“ඉක්‌මනට එන්නකෝ එහෙනම්. අද ඡන්දය දෙන එකේ ප්‍රශ්නයක්‌ ඇති වෙලා තියෙනවා. අපේ අය පාර්ලිමේන්තුවේ නැහැ” මහින්ද පැවසීය.

“මම එන්නම් සර්. හැබැයි මට නම් ඕකට පක්‌ෂව ඡන්දය දෙන්න බැහැ” ප්‍රසන්න පැවසීය.

“ඒකට කමක්‌ නැහැ. මම ඔයාලට කැමැති තීන්දුවක්‌ ගන්න දුන්නානේ. හැබැයි ඔයා ඇවිත් අනික්‌ අය කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්න” මහින්ද කීවේය.

ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණි ප්‍රසන්නට ද දැකගන්නට ලැබුණේ ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ පාර්ලිමේන්තුවේ නොමැති බවය. ඔවුන් තම තමන්ගේ කටයුතු සඳහා පිටත්ව ගොස්‌ ඇති බව ප්‍රසන්නට දැනගන්නට ලැබුණේ දුරකථන ඇමතුම් මඟින් මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහයේදීය.

කෙසේ නමුත් නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීමේ දී එක්‌සත් ජාතික පක්‌ෂයේ අපේක්‌ෂකයා ඡන්ද 97 ක්‌ ලබමින් ජයග්‍රහණය කළ අතර සුදර්ශනීට හිමි වූයේ ඡන්ද 53ක්‌ පමණි.

වෙලාව නොවරදින්න කුමාරසිරිට තෑග්ගක්‌

නියෝජ්‍ය කථානායකවරයා තෝරා පත්කර ගැනීමේ මෙහෙයුම එක්‌සත් ජාතික පක්‍ෂයට වාසිදායක අන්දමින් අවසන් කිරීමට ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා තිරය පිටුපස සිට කළ කාර්යභාරය කැපී පෙනෙන එකක්‌ විය. ඔහු දුරකථන ඇමතුම් ලබා දෙමින් මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් මැති ඇමැතිවරුන් මෙහෙයවමින් එදා සවස වන විට ආණ්‌ඩු පක්‍ෂයේ එජාප මන්ත්‍රීවරු සියලුම දෙනා සභා ගැබේ ඉන්දවා තැබීමට විශේෂ වෙහෙසක්‌ දරා තිබිණි. එය සාර්ථක විය. ඡන්දයට පැමිණ නොසිටියේ අසනීපව සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්‌ පමණි.

ඡන්දය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය තුළ ලොකු බෙදීමක්‌ පවතින බව එදා දහවල් වන විට එජාප නායකයෝ දැන සිටියහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක්‌ නිසැකවම ඡන්දය දෙන්නට නොපැමිණෙන බව කල්තියා දැනගත් සමහර එජාප නායකයෝ ඒ සම්බන්ධයෙන් වැඩි කලබලයක්‌ පෙන්නන්නට ගියේ නැත.

කෙසේ වෙතත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙනුවෙන් ඡන්දය දීමට පාර්ලිමේන්තුවේ සිටින රාජපක්‍ෂවරු තිදෙනාම පැමිණ නොසිටීම කැපී පෙනෙන සිදුවීමක්‌ විය. නම් කියවන විට මේ තිදෙනාම නැති තැන සජිත් ප්‍රේමදාස කෑ ගැසුවේ මොකද ප්‍රනාන්දුපුල්ලේලාට රාජපක්‍ෂලා කැමැති නැද්දැයි කියාය.

අගමැති රනිල් ඡන්දය ප්‍රකාශ කරන්නට පැමිණියේ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද ශබ්ද ඝෝෂාව අතරය. කාන්තා අයිතිවාසිකම් රකින අගමැති නිසැකවම සුදර්ශනීට කතිරය ගසන බව විපක්‍ෂය කියන්නට විය. මේ අයුරින් ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු පැමිණෙද්දී විපක්‍ෂයේ සමහරු දැක්‌වූ අදහස්‌ කැපීපෙනෙන ඒවා විය.

කෙසේ වෙතත් අවසානයේ මෙම පාර්ලිමේන්තුවේ දෙවන නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්වීම ලැබුවේ ඡන්ද 97 ක්‌ ලබා වැඩි ඡන්ද 44 කින් ජයගත් මොනරාගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරිය.

නියෝජ්‍ය කථානායකයා තම ධුරයේ වැඩ භාර ගැනීම බදාදා පෙරවරුවේ කරනු ලැබුවේය. එය තමන්ට මහත් අස්‌වැසිල්ලට කාරණාවක්‌ බව කථානායක කරු ජයසූරිය කීවේය. ඊට හේතුව පසුගියදා පැවති අගමැතිට එරෙහි විශ්වාසභංගයේදී මුලසුන ගන්නට තිලංග සුමතිපාල නොපැමිණි නිසා නොකඩවා පැය 10 ක කාලයක්‌ මුලසුණේ රැඳී සිටින්නට කරු ජයසූරියට සිදුව තිබීමයි.

කරු ජයසූරිය නව නියෝජ්‍ය කථානායක වරයා වැඩ බාරගන්නා මොහොතේ ඔහුට සුබ පතන්නට ගියේ හොඳ තෑග්ගක්‌a අරගෙනය. තෑග්ග බිත්ති ඔරලෝසුවකි.

මම වෙලාවට වැඩ කරන කෙනෙක්‌. ඔබත් එහෙම බව මම දන්නවා. මේක ඔබට ඊට උදව් වේවි. මෙය සුදුසු තැනකින් එල්ලගන්න. ඊට පස්‌සේ අපි දෙන්නම වෙලාවට වැඩ කරල පාර්ලිමේන්තුවත් වෙලාවට වැඩකරන තැනක්‌ බවට පත්කරලා පාර්ලිමේන්තුවෙන් රටටම ආදර්ශයක්‌ දෙමු. කරු තම නියෝජ්‍ය කථානායකවරයාට කීවේය.

අන්තිමේ කරු හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ඉතාමත්ම හොඳින් පසුගිය කාලයේ තම රාජකාරිය ඉටු කරමින් තමන්ට සවියක්‌ වූ ආකාරය සිහිපත් කරමින් කතා කළේය.

මුස්‌ලිම් විශ්වාසය රනිල් දිනුවලු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සුපුරුදු පරිදි පසුගිය සතියේ විශේෂ උත්සව ගණනාවකටම සහභාගි විය. ඒ අතර අරලියගහ මන්දිරයේදී සතිය ආරම්භයේ පැවැත්වුණ ඉෆ්තාර් උත්සවය කැපී පෙනෙන එකක්‌ විය. ඒ සඳහා පක්‍ෂ විපක්‍ෂ මුස්‌ලිම් නායකයන්, මුස්‌ලිම් ආගමික නායකයන් රැසක්‌ම සහභාගිවී සිටියහ. විදේශ නියෝජිතයන්ද මේ සඳහා පැමිණ සිටීම විශේෂත්වයකි.

සමහර මුස්‌ලිම් නායකයෝ පැමිණ අගමැති රනිල් වික්‍රමසිංහට ස්‌තුති කළේ රනිල් සෑමදාම මුස්‌ලිම්වරුන්ගේ විශ්වාසය දිනාගෙන මුස්‌ලිම්වරුන් වෙනුවෙන් විශ්වාසවන්ත සේවයක්‌ කරන නායකයෙක්‌ බව තමන් දන්නා බව කියමිනි.

ඔව්… මේ රටේ සමහර නායකයන්ට මුස්‌ලිම් සහයෝගය සහෝදරත්වය දෙමළ සහෝදරත්වය වුවමනා ඡන්ද කාලෙදී විතරයි. එක්‌සත් ජාතික පක්‍ෂයේ අපි මුස්‌ලිම්වරුන්ට එහෙම කරල නැහැ. අපි මේ හැමෝටම සලකන්නේ ශ්‍රී ලාංකිකයෝ ලෙසයි….. අගමැති රනිල් කීවේය.

මේ අතර පසුගිය බ්‍රහස්‌පතින්දා දිනයේ යුද හමුදාපති මහේෂ් සේනානායක අගමැති රනිල් හමුවන්නට අරලියගහ මන්දිරයට පැමිණ ඔහුට විශේෂ ආරාධනාවක්‌ කළේය.

ඒ ලබන අගෝස්‌තු මස පැවැත්වෙන ජාත්‍යන්තර හමුදා දිනයට අදාළව මෙහි පවත්වන උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වී ප්‍රධාන දේශනය කරන්නටය.

මෙච්චර කාලයක්‌ මේ ප්‍රධාන දේශනය කරල තියෙන්නේ විදේශික අමුත්තෙක්‌. මෙවර අපි ඔබතුමාව තෝරා ගත්තේ විශේෂ හේතුවක්‌ නිසා. ඔබතුමා තරම් ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්න කැපවුණ නායකයෙක්‌ තවත් මේ රටේ නැති නිසයි.

හමුදාපතිවරයා කළ ආරාධනාව පිළිගත් අගමැතිවරයා ඉන් පසුව හමුදාපතිවරයා සමඟ උතුර – නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳ සැලකියයුතු වේලාවක්‌ විශේෂ සාකච්ඡාවක්‌ ද කරනු ලැබීය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් මුදල් ලබාගත් බව කියන මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් ලැයිස්‌තුව පිළිබඳ කතිකාව පසුගිය සතියෙත් අපේ දේශපාලන කරලියට කදිම මාතෘකාවක්‌ විය. මේ නම් 118 කවරක්‌ ද කියා දැන ගන්නට මුළු රටම බලා සිටියදී දේශපාලන පොරපිටිය පැත්තෙන් පෙනෙන්නට වූ කාරණාව වූයේ මේ මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක්‌ නිසැකවම වගකිව යුතු බවයි.

මෙම සංවාදය මෙසේ සමාජයේ උණුසුම්ව ඇදී යමින් තිබිය දී, විවිධ පාර්ශව තව තවත් විවිධ පුද්ගලයන් වෙත ඇඟිල්ල දිගු කරමින් තිබියදී සමාජ මාධ්‍ය ජාලවලින්ද විවිධ නම් ලැයිස්‌තු එළියට දමන්නට පටන් ගෙන තිබිණි. සමහර හිතන්නේ නැති පුද්ගලයන්ගේ පවා නම් එම ලැයිස්‌තුවල තිබුණේ දේශපාලන කතිකාව තුළ කතාබහට ලක්‌කරන්නට විවිධ මාතෘකා සපයා දෙමිනි. එහෙත් ඒවා එකක්‌ වත් ඔප්පු කරන්නට සාධක නොවූ බැවින් සමාජයේ කතාබහ වූයේ හොර රහසේ ලැබුණු ආරංචියක්‌ රස කරමින් දෙතුන් දෙනා කතාබහ කරන්නාක්‌ මෙනි…

කිරි හොද්දක රසය කථානායක පහදයි…

මෙම නම් ලැයිස්‌තුව ගැන කතාබහක්‌ පසුගිය සතියේ කථානායක නිල නිවසේ පැවති සාදයකදී ද ඇදී ගියේ කථානායකවරයා ද එහිදී මාධ්‍යවේදීන් සමඟ කතා බහ කරමින් සතුටු සාමීචියෙහි යෙදී සිටි අවස්‌ථාවකදීය.

පසුගිය සති අන්තයේ කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේ වාර්තාකරණය සඳහා සහභාගීවන ජනමාධ්‍යවේදීන්ට හා අනෙකුත් මාධ්‍යවේදී මිතුරු මිතුරියන් වෙනුවෙන් තම නිල නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක්‌ පවත්වනු ලැබුවේ ය. මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට රාජ්‍ය මෙන්ම පුද්ගලික මාධ්‍ය ආයතනවල ද මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ප්‍රධානීන්ට හා ආයතන ප්‍රධානීන්ට ආරාධනා කර තිබිණි. මාධ්‍යවේදීන් හා ආයතන ප්‍රධානීන් විශාල ප්‍රමාණයක්‌ මෙම භෝජන සංග්‍රහය සඳහා පැමිණ සිටීම විශේෂත්වයකි.

කථානායක කරු ජයසූරිය මේ හැම දෙනෙක්‌ සමගම ළඟටම ගොස්‌ කතාබහ කරමින් සතුටු සාමීචියේ යෙදී සිටියේ තම නිවසට ආ ළඟ හිතවතුන් පිරිසක්‌ ලෙස සලකාය. එහිදී බොහෝ පුද්ගලික කාරණා මෙන්ම රටේ දේශපාලනය සම්බන්ධයෙන් ද ලොකු ලොකු කරුණු කාරණා සාකච්ඡාවට බඳුන් විය.

කථානායකවරයා මාධ්‍යවේදීන් ළඟට ගොස්‌ සාකච්ඡා කරද්දී මාධ්‍යවේදීන් සාකච්ඡාවට බඳුන් කළ කරුණු අතර ප්‍රධාන කාරණයක්‌ වූයේ මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් ලයිස්‌තුවයි.

කථානායකවරයා එහිදී පෙන්වා දුන්නේ තමන් එම නම් 118 සම්බන්ධයෙන් උනන්දු වෙමින් කටයුතු කරන බවය. එබඳු 118ක්‌ ඇති බවට ලත් ආරංචි නිසා තමන් ඒ ගැන ලිතව විමසීමක්‌ කරමින් ජනාධිපති ලේකම්වරයාගෙන් සහ අදාළ අංශවලින් එම 118 තමන් වෙත ලබා දෙන්නට කටයුතු කරන මෙන් ඉල්ලා සිටි බව ප්‍රකාශ කළේය. තමන් එසේ කළේ මේ වන විට වැරදි කළ බවට චෝදනා ලත් අයටත් නිදොස්‌ අයටත් දෙගොල්ලන්ටම පාරේ බැස යන්නට බැරි අන්දමේ තත්ත්වයක්‌ රටේ උදාවී තිබෙන නිසා යෑයි කථානායකවරයා කීවේය….

කරුණු කාරණා එසේ නමුත් එබඳු නම් 118 ක ලැයිස්‌තුවක්‌ පිළිබඳව කිසිදු අයුරකින් තමන් වෙත කරුණු වාර්තා වී නැතැයි කථානායකවරයා පෙන්වා දුන්නේ එම ප්‍රබන්ධය සමාජය පුරා යම්කිසි කණ්‌ඩායමක්‌ විසින් උවමනාවෙන් පතුරුවා හරින බව පෙන්වා දෙමිනි…

කථානායක කරු ජයසූරිය මෙබඳු දේශපාලනීය කරුණක්‌ සාකච්ඡාවට බඳුන් කළේ එම මේසයේ දේශපාලන ලිපි ලියන මාධ්‍යවේදීන් රැසක්‌ ද සිටි නිසාය. මාධ්‍යවේදී බෙනට්‌ රූපසිංහ, අනුර බණ්‌ඩාර රාජගුරු, සම්පත් දේශප්‍රිය, බුලිත ප්‍රදීප් කුමාර, ලසන්ත වික්‍රමසිංහ, සංජය නල්ලපෙරුම ප්‍රියන්ත කොඩිප්පිලි ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක්‌ එතැන වූහ..

ඉන්පසුව මාධ්‍යවේදීන් හා කථානායකවරයා දේශීය ගැමි ආහාර ගැන සාකච්ඡාවක්‌ කළහ… නිසි ආකාරයට නිවැරදිව ගමේ ක්‍රමයට කිරි හොද්දක්‌ හදන අකාරය මෙතැනදී මාතෘකාවක්‌ බවට පත් විය. දර ලිපක පොල් කොලපු පමණක්‌ යොදා මැටි හට්‌ටියක තම මව හැඳිගාමින් හදන කිරි හොද්දේ රසය කථානායකවරයා මෙහිදී සංවේදීව මතක්‌ කළේ කාට කාටත් තම මව ගෙදර පිසින ආහාර පිළිබඳ මතකයන් අවදි වන ලෙසය…

යන යන තැන බෙදෙනවා අනුර ඩිලාන්ට කියලා…

නියෝජ්‍ය කථානායන ඡන්ද විමසීම අවසන්ව සභාගැබෙන් පිටතට පැමිණි ඩිලාන්ට අනුර කුමාර දිසානායක මුණගැසුණේය.

“යන යන තැන බෙදෙනවා නේද?” අනුර ඩිලාන්ගෙන් ඇසුවේ නක්‌කලේටය.

“මම සිංහල වෙදෙක්‌ වගේ. සිංහල වෙද්දුත් කැඩණු කකුල් හොඳටම කඩලයි ආපහු හොඳ කරන්නේ. මමත් එහෙම තමයි” කියමින් ඩිලාන් යන්නට ගියේය.

එදින සවස ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායකයන්ගේ රැස්‌වීමක්‌ පැවැත්වීමට නියමිතව තිබුණ ද පාර්ලිමේන්තු කටයුතු අවසන් වන විට රෑ බෝවී තිබුණු නිසා එය නොපැවැත්විණි. ඒ වන විටත් මහින්දගේ නිවසට පැමිණ සිටි වෙල්ගම, ප්‍රසන්න, රෝහිත, ජොන්ස්‌ටන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්‌ කතාබහ කරමින් සිටියහ.

“හරි නම් නියෝජ්‍ය කථානායක ධුරය අයිති වෙන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට. එහෙම තමයි දෙගොලෝලෝ ජාතික ආණ්‌ඩුව හදනකොට එකඟතාවකට ආවේ. හැබැයි එක්‌සත් ජාතික පක්‌ෂයෙනුත් අපේක්‌ෂකයෙක්‌ දාලා නිදහස්‌ පක්‌ෂයට අයිති නියෝජ්‍ය කථානායක ධුරය මංකොල්ල කෑවා. එහෙම බලනකොට දැන් පක්‌ෂ දෙක අතර තිබුණු එකඟතාව ඉවරයි” වෙල්ගම පෙන්වා දුන්නේය.

“මම හිතන්නේ රනිල් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ඔය පොඩි ටොක්‌කක්‌ ඇනලා පෙන්නුවා කියලයි. රනිල් සද්ද නැතුව හිටියා නම් සුදර්ශනී නිකම්ම නියෝජ්‍ය කථානායක වෙනවා. හැබැයි ජනාධිපතිවරයා පහුගිය දවස්‌වල කරපුවා හින්දා රනිල් ටොක්‌කක්‌ ඇනලා පෙන්නුවා වැඩිය දඟලන්න එපා කියලා” රෝහිත පැවසීය.

‘මම නම් ඔය වැඩේට මුල ඉඳන්ම කැමැති වුණේ නැහැ. මේවා නිසා ඇති වෙන්නේ අනවශ්‍ය දේවල්. අපි දැන් ජයග්‍රාහී මාවතට ඇවිත් ඉන්න වෙලාවේ ගොඩක්‌ අය කැමැතියි අපේ කරේ එල්ලිලා ගොඩයන්න. ඒවට ඉඩ තියන්න හොඳ නැහැ” ප්‍රසන්න පැවසීය.

“සුදර්ශනීව යෝජනා කළේ අපි නෙමේ ජනාධිපතිවරයාමයි. හැබැයි ජනාධිපතිවරයාගේම යටතේ ඇමැතිකම් දරන නිදහස්‌ පක්‌ෂ ඇමැතිවරුනුත් සුදර්ශනීට සහයෝගය දෙන්නේ නැතුව කරඇරියා. දැන් බලාගෙන යනකොට ජනාධිපතිවරයගේම පක්‌ෂයේ ඇමැතිවරුනුත් ජනාධිපති කියන දේ අහන්නේ නැහැ වගෙයි” ජොන්ස්‌ටන් පැවසීය.

“ජනාධිපතිවරයාගේම ආණ්‌ඩුව නියෝජනය කරන එක්‌සත් ජාතික පක්‌ෂය වගේම නිදහස්‌ පක්‌ෂයේ අයත් ජනාධිපතිවරයාගේම යෝජනාවට විරුද්ධව වැඩ කරනවා නම් ඒ ජනාධිපතිකමෙන් ඇති පලේ මොකක්‌ද?” ප්‍රසන්න ඇසුවේය.

“ඕකම තමයි පහුගිය විශ්වාසභංගයේදීත් වුණේ. විශ්වාසභංගය ගේන්න මුල් වුණේ ජනාධිපතිවරයා. අන්තිමට දුමින්දලා සේරම ජනාධිපතිට කොකා පෙන්නලා කර ඇරියා” රෝහිත පැවසුවේය.

දෙපැත්තෙම මන්ත්‍රීලට පාරෙ බැස යන්න බෑලු…

පසුගිය සතියේ මහින්ද රාජපක්‌ෂගේ විඡේරාම මාවතේ පිහිටි නිවසේදී රටේ පවතින දේශපාලන තත්වය ගැන විශේෂ සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්විණි. වරින් වර පැවැති මේ සාකච්ඡාවලට ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු, 16 දෙනාගේ කණ්‌ඩායමේ උදවිය, බහුජන සංවිධාන හා විදේශ නියෝජිතයෝ ද පැමිණ සිටීම විශේෂත්වයකි.

විටින් විට පැවැති මේ සාකච්ඡාත් පසුගිය සතියේ තිබූ අධික වැඩ රාජකාරි සියල්ලත් නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ සිටියේ බොහෝ ලෙස අවිවේකීව ය. මෙවන් එක්‌ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සමඟ අනෙකුත් නියෝජිතයෝ කතා කළේ ආණ්‌ඩුවේ අද තිබෙන තත්ත්වය ගැන ය.

එකම ආණ්‌ඩුව ඇතුළේ කණ්‌ඩායම් දෙකක්‌ පාලනය කරන්න පටන් අරන්. කට්‌ටියක්‌ ආර්ථිකය පාලනය කරන්න හදනවා කට්‌ටියක්‌ පරිපාලනය කරන්න හදනවා. මේ දෙපැත්තම මොන තරම් අසාර්ථකද කියලා බලාගෙන ඉන්න අපිට පේනවා. දෙගොල්ලගේම ආගම අද වෛරය වෙලා. වෛරයෙන් විතරක්‌ රටක්‌ පාලනය කරන්න බැරි බව ආණ්‌ඩුව අද ඔප්පු කරමින් පවතිනවා. ජනමතයට පයින් ගහල යන ගමනේ අනාගතයක්‌ නෑ කියලා ජනතාව දැන් ආණ්‌ඩුවට කියලා දෙන්න පටන් අරන්….. මහින්ද රාජපක්‌ෂ කීවේය …

මහජන මතය මේ රජය අද තුට්‌ටුවකට වත් ගණන් ගන්නේ නෑ… මේ තත්ත්වය තවදුරටත් මේ විදියටම ගියොත් ජනතාවගේ නැගිටීම නවත්වන්න නම් බැරිවෙයි ආණ්‌ඩුවට. ගාමිණී ලොකුගේ එසේ කීවේය. ඉන්පසුව කුමාරසිරි හෙට්‌ටිගේ කතා කරමින් මෙසේ කීවේය. අපේ සමාජයේ මිනිස්‌සු ආණ්‌ඩුව එක්‌ක තියන කෝපය කොච්චරද කියලා දැනගන්නනම් sදජස්‌ක පැdස්‌ එක බලන්ඩ ඕනා. එකේ ඉන්න සමහර පුද්ගලයන් මේ රටේ නායකයන්ව අමතන විදිය දැක්‌කම පුදුම හිතෙනවා රටට මේ කරන විනාශය ගැන සමහර නායකයන් පිළිබඳ තියන කලකිරීම අද සමහර පුද්ගලයෝ පළකරන්නේ ඒගොල්ලන්ගේ අම්මා තාත්තා පරම්පරාවන් ගැනත් මතක්‌ කරලායිs.

ඒ හැම වැදගත් තැනක්‌ම පිරිහිලා හැම තැනම එකම අවුල් ජාලාවක්‌ වෙලා. ඔබතුමාගේ නායකත්වයෙන් හැදෙන ජන බලවේගයකට රට භාර දෙන්න ජනතාව දැන් පුල පුලා බලා ඉන්න බවයි මට සමහර අය කිව්වේ. විදේශීය නියෝජිතයෝ කිහිප දෙනකුත් මාත් එක්‌ක මේ ගැන කතා කළා… ජී. එල්. පීරිස්‌ කීවේය.

දැන් රටේ මන්ත්‍රීවරුන්ට මොකද වෙලා තියෙන්නෙ…. හොඳ එකාටයි නරක එකාටයි දෙන්නටම අද පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක්‌ ඇති වෙලා…. අපට හොරු හොරු කිය කිය මඩ ගහ ගහ හිටපු එවුන්ට අද දිට්‌ඨධම්මවේදනීය කර්මය පල දීලා. පහුගිය කාලේ වංචා දූෂණ හොරකම් අල්ලස්‌ ගැන කතාකරපු එවුන් දැන් සද්දයක්‌ නෑ… මොකද අරක්‌කු සමාගමකින් මිලියන ගණන් අල්ලස්‌ මුදල් ගනිපු ලැයිස්‌තුවක්‌ අද ජනතාව අතේ තියා ගෙන ඉන්නවා. දැන් අර සාන්තුවරු සද්දයක්‌ නෑ. ඒ ගොල්ලන්ගේ නමුත් මේකට ගෑවිලා හින්දා…

අනිත් එක අද කොහොමද පුංචි මිනිහෙක්‌ සාධාරණ ව්‍යාපාරයක්‌ කරන්නේ… මේ විදියට ව්‍යාපාරවලටයි රස්‌සාවල් කරන මිනිසුන්ටයි බදු ගහන්න ගියාම රටක්‌ ඉතුරු වෙයිද කියලයි මිනිස්‌සු අහන්නේ…. ව්‍යාපාරිකයෙක්‌ගෙන් බද්දක්‌ අය කරනවා නම් ඒ මිනිහත් තැනකට ආවට පස්‌සෙයි ගන්ඩ ඕන….. මහින්ද රාජපක්‌ෂ නැවතත් කියන්නට පටන් ගත්තේ ය.

ඕවා ඔහොම තමයි සර් සිහි විකල් වෙච්ච පිරිසක්‌ රටක්‌ පාලනය කරන කොට ඔය වගේ විකාර කතා අහන්න දකින්න ලැබෙනවා….. අවසානයේ මහින්ද යාපා අබේවර්ධන කීවේ එම සාකච්ඡාව නිම වී වෙනත් සාකච්ඡාවකට යැමට මහින්ද රාජපක්‌ෂ සූදානම් වන මොහොතේය…

ටී එන් එල් තරවටුව එකට එක කිරීමක්‌ද?

පසුගිය සතියේ අපේ දේශපාලන ලෝකයේ කා අතරත් කැපී පෙනෙන තවත් කාරණාවක්‌ වුණේ ටී. එන්. එල්. රූපවාහිනියට අදාළ පොල්ගහවෙල විකාශනාගාරය සීල් තැබීමේ සිද්ධියයි. එය සමහර දේශපාලන විශ්ලේෂකයන් විස්‌තර කළේ ජනාධිපතිවරයා එකට එක කිරීමක්‌ හැටියටය.

එනම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා සෝභිත හිමි සමරු උත්සවයට සහභාගි වෙමින් යහපාලන ආණ්‌ඩුවේ වැඩ ගැන කරනු ලැබූ විවේචනාත්මක කතාව ටී. එන්. එල්. රූපවාහිනියේ බරපතළ විවේචනයට ලක්‌විය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ක්‍රියා කලාපය හා කරන කියන දේවල් දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමින් ටී. එන්. එල්. ආයතනය කරනු ලැබූ විවේචනය අන් කිසිදු ජනමාධ්‍යයක පළ නොවූ තරම් දරුණු ගනයේ විවේචනයක්‌ විය. මේ නිසා විදුලි සංදේශ නියාමන කොමිසම ටී. එන්. එල්. එකට තරවටු කළේ යෑයි සමහරු හේතු දැක්‌වූයේ ඒ නිසාමය.

පසුගිය බ්‍රහස්‌පතින්දා අගමැති හමුවන්නට ආ ඇමැතිවරු පිරිසක්‌ මේ ගැන අගමැතිවරයාගෙන් ප්‍රශ්න කරන්නට වූහ.

විදුලි සංදේශ නියාමන කොමිසම දැන් යහපාලන ආණ්‌ඩුවේ ජනමාධ්‍ය ප්‍රතිපත්තියට අභියෝග කරන වැඩ කරනවා. පළමුව ලංකා ඊ. නිවුස්‌ වාරණය කළා. දැන් ටී. එන්. එල්. එකට පොලිසියත් එක්‌ක බලෙන් ඇතුළු වුණා. මේ ගැන ජනාධිපතිගෙන් ඔබතුමා අහන්න ඕන…කිරිඇල්ල කීවේය.

පවුලේ දේවල්වලට මැදිහත්වෙන්න මම කැමති නෑ…රනිල් කීවේය.

ශාන් ඔබතුමාට මේ ගැන පැමිණිලි කළේවත් නැද්ද…දයා ගමගේ ඇසුවේය.

ශාන් මට විස්‌තරේ කිව්වා. ඒත් මම මේවට මැදිහත් වෙන්නේ නැහැ කියල එයා දන්නවා…රනිල් කීවේය.

හැබැයි විදුලි සංදේශ නියාමන කොමිසම මේ කරපු වැඩේ අපකීර්තිය යන්නේ ජනාධිපතිතුමාට. මිනිස්‌සු කියන්නේ ටී. එන්. එල්. එක ජනාධිපතිතුමාගේ කතාව විවේචනය කරපු නිසා මෙහෙම වැඩක්‌ ජනාධිපතිතුමා කෙරෙව්වා කියලයි. ඒක එතුමාට නරකයි. එතුමා ඒ ගැන හිතන්න ඕන. නවීන් දුරදිග බලා හොඳ විග්‍රහයක්‌ කළේය.

ඉන්පසුව මැති ඇමැතිවරු කතාබහ කරන්නට වුණේ ආණ්‌ඩුව අධීක්‍ෂණ මන්ත්‍රීවරු පත් කිරීම ගැනය. සංවර්ධනය වේගවත් කරන්නට මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ගැනීමටයි මේ වගේ පත් කිරීම් අපි කළේ. ඒකාබද්ෙ කල්ලියම ඊට කැමති නෑ. ශ්‍රී ලංකා එකෙත් මත දෙකක්‌ තියෙනවා. දුමින්ද මේගැන වරදක්‌ දකින්නේ නැහැ. අමරවීර විරෝධය පෙන්නලා කතා කරනවා. විජයදාස රාජපක්‍ෂ කීවේය.

මහින්දගේ කාලෙත් මේ වගේ පත්වීම් ගණනාවක්‌ තිබුණා. ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී හැටියට දුමින්ද සිල්වා පත්කර තිබීමනේ එදා හොඳම විහිළුව වුණේ…රන්ජන් රාමනායක පෙන්වා දුන්නේය.

ඉන්පසුව මෙම මැති ඇමැතිවරු අගමැතිවරයා සමඟ කතා කරන්නට පටන් ගත්තේ 118 දෙනාගේ ලැයිස්‌තුව පිළිබඳවය.

දයාසිරි එයාගේ නිරුවත වහගන්න අනුන්ගේ ඇඳුම් ගලවා උදුරාගන්න හදනවා යෑයි ඇමැතිවරු කියන්නට වූහ.

යොවුන් පෙරමුණෙන් නවීන් පටන් ගනියි

එක්‌සත් ජාතික පක්‍ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස පත් වූ නවීන් දිසානායක පසුගියදා එම තනතුරේ වැඩ ආරම්භ කළේ පියවර ගණනාවක්‌ ඔස්‌සේය. ඒ අනුව ඔහු පක්‍ෂයේ බලවේග වෙන වෙනම හමු වී සංවිධාන ශක්‌තිය වේගවත් කරන්නට වැඩපිළිවෙළක්‌ සකස්‌ කළේය.

එම වැඩපිළිවෙළට අනුව සිකුරාදා සිරිකොත මන්දිරයට එක්‌සත් ජාතික පක්‍ෂයේ යොවුන් පෙරමුණේ නියෝජිත කණ්‌ඩායම පැමිණ සිටියහ. මෙම නියෝජිත පිරිස සමඟ කතාබහ කරමින් නවීන් කරන ලද විශේෂ කතාව තරුණයන් කා අතරත් විශේෂ අවධානය දිනාගන්නා එකක්‌ විය. විශේෂයෙන්ම නවීන් පක්‍ෂයේ ඉදිරි ජයග්‍රහණ සඳහා තරුණ පරපුර වෙත තබන ලද විශ්වාසය ඔවුන්ගේ හිත සුව පිණිස වඩාත් හේතු විය.

පසුගිය සතියේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ විහාරස්‌ථානයක පැවති පිංකමක්‌ පිළිබඳව මෙම තීරයේ තොරතුරු පළ විය.

එම ලිපියේ පළ වූ ආකාරයට චන්දිම වීරක්‌කොඩි හිටපු ඇමැතිවරයා අපහසුතාවට ලක්‌වන පරිදි කිසිදු සිදුවීමක්‌ වූයේ නැතැයි එම විහාරස්‌ථ දායක සභාව පවසයි. එම සිදුවීම ප්‍රදේශයේ තරගකාරී දේශපාලන කණ්‌ඩායමක්‌ විසින් සිතාමතා එක්‌ කරන ලද ප්‍රබන්ධ කතාවක්‌ බව ඔවුහූ වැඩිදුරටත් කියා සිටිති.

කලාකරුවෝ එකමුතුව ආණ්‌ඩුව වටලෑම…

පසුගිය සතිය බදු ගැන ලොකු කතාබහක්‌ ඇති වූ සතියක්‌ ලෙස සැලකිය හැකිය. නව බදු පනත අනුව බෙලහීන බවට පත්වන මේ රටේ කලාකරුවන් පිරිසක්‌ සංවිධානාත්මකව පසුගිය සතියේ ගොස්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී මේ ගැන සාකච්ඡා කර ඔහු දැනුවත් කරන්නට පටන් ගත්තේ මෙසේය…

මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ලෙස පත් වූවාට පසු රටට හඳුන්වා දෙනු ලැබූ නව බදු ප්‍රතිසංස්‌කරණවලට අනුව මේ රටේ සාහිත්‍යකරුවන් කලාකරුවන් කලා ශිල්පීන් මෙන්ම සාහිත්‍ය කලාවන්ට පහසුකම් සලසන ආයතන හා පුද්ගලයන් රැසක්‌ ද නව බදු සීමාවන්ට ඇතුළත් විය. මෙමගින් සමහර ඉහළ ආදායම් නොමැති අසරණ කලාකරුවන් බහුතරයක්‌ පවා සීයට දාහතරක සීයට දහයක සීයට පහක ප්‍රමාණවලින් බදු ගෙවීම්වලට ඇතුළත්ව සිටියහ. කලාකරුවෝ සංවිධානගතව ජනාධිපති හමුවන්නට ගියේ මේ දුක ජනාධිපතිවරයාට කියන්නටය…

නිදහස්‌ කලා සන්ධානය, ටෙලි නාට්‍ය නිර්මාණකරුවන්ගේ සංසදය ඇතුළු සංවිධාන රැසක්‌ මේ සඳහා සහභාගී වූ අතර පුද්ගලයන් හැටියට ටෙලිනාට්‍ය කරණයේ යෙදී සිටින ජනප්‍රිය නළු නිළියන් නිෂ්පාදකවරුන් හා අධ්‍යක්‌ෂවරුන් පිරිසක්‌ ද මෙතැන සිටියහ. නාලන් මෙන්ඩිස්‌, දීපානි සිල්වා, දමිතා අබේරත්න, සමන්තිකා ප්‍රියදර්ශනී සෝමරත්න දිසානායක, ඩග්ලස්‌ සිරිවර්ධන, චාන්දනී සෙනවිරත්න, බෙනට්‌ රත්නායක ආදී ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන නළුවන් හා අධ්‍යක්‌ෂකවරුන් මෙන්ම ශිල්පීන් ගණනාවක්‌ ම මෙහි සිටීම විශේෂත්වයක්‌ විය.

පසුගිය 6 වැනි බදාදා උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්‌වීමට ජනාධිපතිවරයා සහභාගි වූයේ ම ප්‍රශ්න කීපයක්‌ අසාගෙනය…. කෝ මේ ඇමැතිවරු…. ඇමැතිවරු ඉන්න එපායෑ මේවා ගැන සාකච්ඡා කරන කොට… ඒගොල්ලොනේ මේවට උත්තර දෙන්න ඕන.. ඇමැතිවරු ඉන්න ඕන.. ඊට අදාළ නිලධාරීන් ඉන්න ඕන… ඔයගොල්ල ඒගොල්ලන්ට දන්වන්නේ නැතුවද මේ රැස්‌වීම් ලෑස්‌ති කළේ….

රැස්‌වීමේ වැඩකටයුතු පටන් ගන්නට පෙර ජනාධිපති ජනාධිපතිවරයා පැමිණ සිටින ශිල්පීන් හා කලාකරුවන් හඳුනා ගනිමින් සිටියදී මංගල සමරවීර, ලසන්ත අලගියවන්න, විජයදාස රාජපක්‌ෂ ඇතුළු ඇමැතිවරු කිහිපදෙනෙක්‌ ද එම අමාත්‍යාංශවලට අදාළ නිලධාරීන් පිරිසක්‌ද පැමිණ අසුන් ගත්හ…

බදු පනත ගැන කතා කරන්නට පැමිණ සිටි කලාකරුවන් අතරින් සමහරු කතා කළේ ටෙලිනාට්‍ය ප්‍රදර්ශනයේදී රූපවාහිනී ආයතන මගින් රඳවා ගනු ලබන මුදලක්‌ සම්බන්ධයෙන්යෙනි. ටෙලිනාට්‍යයක්‌ නිර්මාණකරුවා විසින් රූපවාහිනි චැනලයකට විකුණන විට මෙම මුදල නව බදු පනත අනුව අයකරන බව කලාකරුවන් පෙන්වා දුන්හ.

ඉන්පසුව බදු අය කිරීම නිසා අගතියට පත්වන කලාකරුවන් හා ශිල්පීන් ගැන කතා කළේ සෝමරත්න දිසානායක, ඩග්ලස්‌ සිරිවර්ධන ඇතුළු පිරිසකි. කලාකරුවන් එම බදුවලින් නිදහස්‌ කළ යුතු බව සංගමයන් විසින් පෙන්වා දෙනු ලැබූහ. ඒ අවස්‌ථාවේදී ඊට උත්තර දෙමින් මංගල සමරවීර අමාත්‍යවරයා කතා කළේය.

ඔයගොල්ල ලංකාවේ මේ බදු ගැන කතා කරනවා. ඒ වුණාට මේ ලෝකෙ තවත් රටවල් තිබෙනවා විශාල වශයෙන් කලාකරුවන්ගෙන් බදු අයකරන…. අපි කරපු හැදෑරීම්වලට අනුව ලංකාව තමයි ලෝකෙන්ම කලාකරුවන්ගෙන් ඉතාමත්ම අඩු බදු ප්‍රතිශතයක්‌ අය කරන රට… බදු අය කරන්නේ නැතිව බෑ. කලාකරුවෝ හොඳට හම්බ කරනවා.

ඔබතුමා කිව්වනේ ලංකාව තමයි කලාකරුවන්ගෙන් ලෝකයේ අඩුම බද්දක්‌ අයකරන රට කියලා… එහෙම නම් ඔබතුමා මේකත් පිළිගන්න… මේ මුළු ලෝකයෙන්ම ගත්තත් කලාකරුවන්ට ඉතාමත්ම අඩු මුදලක්‌ ගෙවන රටත් ලංකාව කියලත් පිළිගන්න… ඩග්ලස්‌ සිරිවර්ධන එසේ කියන විට කලාකරුවන් එය අනුමත කරමින් ජනාධිපතිවරයාට විවිධ සංඥා කරන්නට වූහ.. ..

කෝ මෙතන ඉන්නවද ආදායම් බදු කොමසාරිස්‌…ඔබතුමා කියන්න බලන්න මේ විදිහට බදු අය කරලා හා ආණ්‌ඩුව අවුරුද්දකට කොච්චර විතර මුදලක්‌ බලාපොරොත්තු වෙනවාද… මේ වන විට කොයිතරම් මුදලක්‌ එකතු කරලා තියෙනවද කියලා…. ජනාධිපති ඇසීය.

ඒක නම් කියන්න අමාරුයි සර්… කොහොම වෙතත් ඒ තරං ලොකු මුදලක්‌ අපට මේ තුළින් අපේක්‌ෂා කර කරන්න බැහැ…. කොමසාරිස්‌වරයා කීවේය…

රටේ මහජනතාව සතුටින් සන්තෝෂෙන් තියන්න ඉවහල්වන, රටේ ජනතාවගේ විනෝදාස්‌වාදය සලස්‌සන මේ කලාකරුවන් අසතුටට පත් කරලා මේ විදිහට මිරිකලා මිරිකලා බදු අරගෙනත් ඒ තරම් ලොකු මුදලක්‌ අපේක්‌ෂා කරන්න බැරි නම් මොකද මේ බද්දෙන් ඇති වැඩේ. ජනාධිපතිවරයා එසේ කීවේ අවඥාව මුසු සිනහවකින් නිලධාරීන්ට හා ඇමැතිවරුන්ට එක්‌තරා අන්දමේ සංග්‍රහයක්‌ කරමින් තම නොසතුට පළ කරමිනි….

කලාකරුවන්ගෙන් බදු අය අය කිරීම සම්බන්ධයෙන් සතුටුදායක අවසන් තීන්දුවක්‌ නොමැතිව සභාවේ වැඩකටයුතු අවසන් කෙරිණි. කලක්‌ මේ රටේ රැඩිකල් ජනතාවාදී කලාකරුවකුව සිටී, එක්‌ අවස්‌ථාවක ලංකා දුම්කොළ සමාගම විසින් දෙනු ලැබූ මුදල් ත්‍යාගයක්‌ පවා එපා කියමින් ප්‍රතික්‌ෂේප කළ, පසුගිය කාලයේ දිගින් දිගටම සිවිල් සංවිධාන සමඟ කටයුතු කරමින් මහින්දගේ ආණ්‌ඩුව පෙරළා දමන්නට කටයුතු කළ ධර්මසිරි බණ්‌ඩාරනායක වැනි කලාකරුවන්ද මෙතැන සිටියත් ඔහු කලාකරුවන් වෙනුවෙන් වචනයක්‌වත් කතා කළේ නැත. පසුගිය ආණ්‌ඩුවෙත් මේ ආණ්‌ඩුවෙත් දෙකේම ජනාධිපති උපදේශකයකු ලෙස කටයුතු කරන සෝමරත්න දිසානායක ගෙන් ද සෙසු කලාකරුවෝ මීට වඩා දායකත්වයක්‌ මෙම සටන සඳහා බලාපොරොත්තු වුවත් එම බලාපොරොත්තු ඉටු වූ බවක්‌ දක්‌නට ලැබුණේ ද නැත…. අවසානයේ කලාකරුවෝ සියලු දෙදෙනාම විසිර ගියේ තවත් එක්‌ සාමාන්‍ය වැඩකට නැති රැස්‌වීමක්‌ සඳහා කාලය කා දමන්නට ආ ගමනක්‌ ලෙස එම පැයක කාලය ඉතිහාසයට එක්‌ කරමිනි.

මහින්දගේ කැමත්ත එස්‌ බී පවරා ගනියි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නියෝජනය කරන 16 කණ්‌ඩායම ආණ්‌ඩුවේ ඇමැති ධුරවලින් ඉවත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයේ පුරප්පාඩුවක්‌ ඇති විය. එක්‌සත් ජාතික පක්‌ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජාතික ආණ්‌ඩුව සඳහා ඇතිකරගත් එකඟතා අනුව පාර්ලිමේන්තුවේ කථානායක ධුරය එ. ජා. පයටත් නියෝජ්‍ය කථානායක ධුරය නිදහස්‌ පක්‌ෂයටත් ලබා දිය යුතුව තිබුණි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පාර්ශවයෙන් මෙම තනතුර සඳහා මුලින් යෝජනා කෙරුණේ යාපනය දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයාය.

එහෙත් අංගජන් පත්කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දැඩි විරෝධයක්‌ පළ කිරීම නිසා මෛත්‍රිපාල ජනාධිපතිවරයාට සිදුවූයේ විකල්ප නමක්‌ සොයා ගැනීමටය. පසුගිය දිනක නිදහස්‌ පක්‌ෂයේ 16 කණ්‌ඩායම සමඟ පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඒ සඳහා සුදුසු බවය.

එහෙත් සුදර්ශනී පත්කර ගැනීම සඳහා මහින්ද පාර්ශ්වයේ ද සහයෝගය අවශ්‍ය බව ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ ඒ වන විටත් එක්‌සත් ජාතික පක්‌ෂය ද අපේක්‌ෂකයකු නම් කිරීමට නියමිතව බව දැනගන්නට ලැබුණු නිසාය. මෛත්‍රී කීවේ සුදර්ශනී ඉදිරිපත් කරන්නේ නම් ඒකාබද්ධයේ සහයෝගය ද ලබාගත යුතු බවය.

එම වගකීම බාරගත්තේ එස්‌. බීය. “මම මහින්ද මහත්තයට කතා කරලා සහයෝගය ගන්නම්” එස්‌. බී මෛත්‍රීට කීවේය. ඒ අනුව මහින්ද ඇමතූ එස්‌. බී මෛත්‍රීගේ දැනුම් දීම පරිදි සුදර්ශනී නියෝජ්‍ය කථානායක ධුරයට පත්කර ගැනීම සඳහා සහෝයගය ඉල්ලා සිටියේය.

“මට ඒ ගැන තනි තීන්දුවක්‌ ගන්න බැහැ. අපි වැඩ කරන්නේ කණ්‌ඩායමක්‌ විදියට. ඒ නිසා මම මේක අපේ මන්ත්‍රී කණ්‌ඩායමට දාලා තීන්දුවක්‌ අරගෙන කියන්නම්. හැබැයි මගේ මතය නම් අපි එක්‌සත් ජාතික පක්‌ෂයට එකම ජයග්‍රහණයක්‌වත් හිමිකරගන්න ඉඩ දිය යුතු නැහැ කියන එකයි” මහින්ද පැවසුවේය.

බුලිත ප්‍රදීප් කුමාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහා නායක පදවි දෙකෙන් සුද්දෝ රට කැඩුවා – කිරම හිමි (Video)

මේ දිනවල භික්ෂූන් වහන්සේලා සිදු කරන විවිධ ප්‍රකාශ දේශපාලන කරළිය උණුසුම් කරන්නට සමත් වී ඇත විශේෂයෙන් ම අස්ගිරි අනු නා හිමියන් ගංගාරාමයේ පො...


Read More

“මාතර පාතාල කල්ලි නායකයා මරා දැමීම අනුමත කරන්න බෑ, මේ යහපාලනය” මිය ගිය පාතාලයා වෙනුවෙන් ඇමති මංගල පෙරට!

මාතර ස්වර්ණාභරණ අලෙවි සැලක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් පිරිසක් හා පොලීසිය අතර සිදුවූ වෙඩි තැබීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මියයාමේ සිද්ධිය...


Read More

‘‘හිරු බලය‘‘ උණුසුම් වෙයි…එජාපය අසරණවෙයි… හිට්ලර් සහ මිල්ටරි පාලනයට දිලුම් කන පැලෙන උත්තර දෙයි

පසුගිය (21) වනදා හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් සහභාගී වූයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමෙ...


Read More