පුරවැසි කොලම

සෞඛ්‍ය සේවාවන් සහ වෛද්‍ය වෘතිකයින් වර්ගවාදි උවමනාවන් සඳහා යොදා ගැනීම පිළිබඳව ඉතිහාසයෙන් බොහෝ සාක්ෂි සොයා ගත හැක. ඒ පිළිබඳව ඉතාම බරපතල සහ කෘරතම සාක්ෂි ඉදිරිපත් වන්නේ ජර්මනියේ හිට්ලර්ගේ පාලන සමය තුළය. එහිදී වෛද්‍යවරුන් යොදවා යුදෙව් කාන්තාවන් ව්‍යන්ධිකරනයට ලක් කිරිම සඳහා නීතිමය ආවරණයක්ද ලබාදී තිබුණි. මෑත කාලීනව කැනඩාවේ ආදිවාසික මව්වරුන් ව්‍යන්ධිකරණයට ලක් කිරීම සඳහා සෞඛ්‍ය සේවාව නිළ වශයෙන් යොදාගැනිම පිළිබඳව බරපතල චෝදනා එල්ල විය. ශ්‍රී ලංකාව වැනි රටවල ජනගහන පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදි පවතින දුර්වලතා හේතුවෙන් යම් ආගමික හෝ වර්ගවාදී අන්තවාදි මනසකින් පීඩාවට පත්ව සිටින හෝ සමාජ විරෝධී පෞර්ෂ හෝ මානසික ආබාධ වලින් පෙළෙන වෛද්‍යවරුන් සුළු පිරිසකට සැලසුම් සහගතව වර්ගසංහාර ක්‍රියාවලියක් සෞඛ්‍ය පද්ධතියට අනුගතව හෙවත් ක්‍රමාණුකූලව පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.

කුරුණෑගල රෝහලේදී අනාවරණය වූ තුවාලසිදුවන ආකාරයට හෝ බලහත්කාරයෙන් හෝ කැමැත්තෙන් තොරව දරු ප්‍රසූතියෙන් පසුව මව්වරුන් ව්‍යන්ධිකරණයට ලක්කිරීමට අදාළ සිදුවිම් මාළාවට පෙර කළුතර , දඹුල්ල සහ පේරාදෙණිය රෝහල් වල එවැනි සිදුවීම් වාර්ථා වු නමුත් ඊට අදාළව විධිමත් පරීක්ෂණ සිදු නොවුණි. එසේම කුරුණෑගල රෝහලේදීම බාහිර රෝගී අංශයේ දී , යම් වෛද්‍යවරයෙකු විසින් ශරීර අභ්‍යන්තරයේ තැන්පත් කරන “ ජඩෙල් ” නම් වූ හෝමෝන නිදහස් කරන උපත්පාලන මෙවලම් මව්වරුන්ගේ අකමැත්ත තිබියදී තැන්පත් කිරීම සහ ඉවත් නොකර සිටීම පිළිබඳව වාර්ථා විය. නමුත් අදාළ වෛද්‍යවරයා එම අංශයෙන් මාරුකිරීම හැර ක්‍රියාවලියේ තිබෙන ගැටළු සමික්ෂණයකර නිවැරදි කිරීමට පියවර ගැනුනේ නැත. කෙසේවෙතත් අප රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය කුමන පරිපාලන දුර්වලතා තිබුණාවුවත් තාක්ෂණිකව එම පද්ධතිය තුළ අන්තර්ගතවන දියුණු ලක්ෂණ සහ සමාජ අරමුණු අනුව එය ලෝකයේ ඉහළම මට්ටමක පවතින බවට විවාදයක් නැත. එම පරිපාලන දුර්වලතා සමනය වී පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන්නේ ඉතා උසස් ගුණයෙන් යුතු වෛද්‍යවරුන් ඒ තුළ සේවය කරන බැවිනි. ඉන් අදහස් වන්නේ එසේ නොවන පිරිසක්ද සිටින බවය. එම ගැටළුව පාලනය වන්නේ හීලා අලීන් ලවා වල් අලි දමනය කරන්නා සේ හොඳ මිනිසුන් විසින් ඇති කරන පීඩනය මඟිනි.

‘’සමසුරු පීඩනය’’ ලෙස තාක්ෂණිකව හැදින්වෙන එම ක්‍රියාවලිය දැනුම්වත්ව සහ විධිමත්ව ලෝකයේ සෞඛ්‍ය පද්ධතියක අන්තර්ගත කොටසක් ලෙස ඇතුල් කෙරෙන්නේ 1995 දී පමණ බ්‍රිතාන්‍යයේදී ය. ඊට මුල් වන්නේ බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් රාජකීය රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියකගේ පුද්ගලික නිර්භීතකම සහ හෘද සාක්ෂියයි. උපදේශක නොවන විශේෂඥවරියක් වූ ඇයට එම රෝහලේ ළමා හෘද ශල්‍ය ඒකකයේ සිදුවන ළමා මරණ ප්‍රමාණය පිළිබඳව යම් සැකයක් ඇතිවීම නිසා ඇය විසින් පුද්ගලිකව ඊට අදාළව යම් සමීක්ෂණයක් සිදු කරන්නට යෙදුණි. එම අංශයේ වසර 4 ක කාලය තුළ මිය යාමට තරම් රෝගී තත්වයන් නොතිබූ දරුවන් 35 දෙනෙකුගේ මරණ පිළිබඳව ඇය කළ සමීක්ෂණය අනුව ඊට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ වෘත්තිමය නොසැලකිලිමත් භාවය බව ප්‍රකට විය. ඒ අනුව ඇය විසින් එම සොයාගැනීම පිළිබඳ දෙවරක් නොසිතා අදාළ වගකිව යුතු ආයතනවලට විශේෂයෙන්ම වෛද්‍යසභාවට පැමිණිලි කරනු ලැබීය. එහි ප්‍රථිපලයක් ලෙස ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වෘතිය බලපත්‍ර අහෝසි කෙරුණු අතර ඔවුන්ගේ නම් විශේෂඥ වෛද්‍ය නාමලේඛනයෙන් මකාදමනු ලැබීය.

එම සිදුවීම් මාලාවට පසුව ඒ පිළිබඳ කම්පනයට පත්වූ වෛද්‍යවරුන් , විශේෂයෙන් පරිපාලකයන් අතර ඇතිවු සංවාදයක් තුළින් ඉතා වැදගත් ක්‍රියාවලියක් එම රටේ සෞඛ්‍ය පද්ධතියට ඇතුල් කෙරිණි. එය හඳුන්වන්නේ “ සායනික පාලනය ” හෙවත් “ Clinical Governance ” ලෙසය. ඊට අනුව වෛද්‍යවරුන් සහ ආයතන රෝගීන්ට සේවා සැපයීමේදී අඛණ්ඩව සේවාවල ගුණාත්මක භාවය දියුණු කිරීම මෙන්ම රෝගීන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් රැකීම සඳහා වගවන බව සහතික කළ යුතු අතර ඊට පහසුකම් සලසන ක්‍රමවේද , උපාංග සහ ආයතන සංස්කෘතිය හඳුන්වා දීමට බැඳී සිටියි. නමුත් අවාසනාවකට අප රටේ පරිපාලකයින් සායනික පාලනය යන වචනය හෝ කථාකරන බවක් අසන්නට නැත. ඒ නිසා ඉහත සඳහන් කළ ආකාරයට සායනික පාලනයේදී යොදාගන්නා ප්‍රධාන මූලධර්මය වන “ තුල්‍ය පීඩනය ” හෙවත් සමසුරු පීඩනය ( Peer Pressure ) යොදාගැනීමට අදාළ සංස්කෘතියක් අප රටේ සෞඛ්‍යය සේවාව තුළ බිහිවී නැත. ඊට පහසුකම් සැලසීම සඳහා දියුණු රටවල බොහෝ උපාංග යොදාගන්නා අතර විවිධ සමාජ සංස්කෘතික පසුබිම අනුව නිර්මාණශීලී නව උපාංග උත්පාදනය කළ හැක.

ඒ අනුව කුරුණෑගල රොහලේ නාරිවේද සහ ප්‍රසව ශල්‍ය ඒකකයේ වසර 8 ක පමණ කාලයක් තිස්සේ සිදු වූ දේ සිදුවන්නේ සායනික පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීම නිසා බව සහතික කොට කිව හැක. එම නිසා එල්ල වී ඇති චෝදනා වලින් අදාළ වෛද්‍යවරයා නිදහස් වුවත් නැතත් සෞඛ්‍ය පද්ධතියට සිදු වී ඇති අනර්ථය සහ වින්දිතයන්ගේ සහ පොදුවේ සමස්ථ සමාජය තුළ වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී මනෝභාවය සුවපත් කිරීම පහසු නැත. ඒ බව කුඩා ළමයෙකුට වුවද වටහාගත හැක. නමුත් අද වන තුරු ප්‍රශ්ණයට අදාළ බැඳියාව සහිත ප්‍රධාන ආයතන සහ ඒවා තුළ නිළ වගකීම් දරණ පිරිස් එම අවම මානව යුතුකම සහ සමාජ වගකීම ඉටු කිරීමට අසමත් වී ඇත. එවැනි තත්වයක් තුළ දිවයින මාධ්‍යවේදීන්ගේ හෘද සාක්ෂිය සහ නිර්භීතකම නොවන්නට අද වන විට සාෆි සහබිදීන් සංසිද්ධිය සම්පූර්ණයෙන්ම වළ දමා තිබිය හැක.

එම ආයතන අතුරින් වෛද්‍ය සංගමය , රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය , නාරි සහ ප්‍රසව විශේෂඥ වෙද්‍යවරුන්ගේ විද්‍යාලය , මහජන සෞඛ්‍ය විශේෂඥ වෙද්‍යවරුන්ගේ විද්‍යාලය , වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යාල යන ආයතන වලට අදාළ ගැටුම සමනය කිරීම සඳහා සදාචාරමය බැඳීමක් ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා වෛද්‍යසභාවට සදාචාර බැඳීමට අමතරව නීතිමය බැඳීමක්ද ඇත. නමුත් ඒ සියළු ආයතන සහ පුද්ගලයෝ මහජන ඇස් ඉදිරියේ තම ලැජ්ජා බය සහ හෘද සාක්ෂිය අභියෝගයකට ලක් කරති. එම පසුගාමී තත්වය තුළ අධිකරණ ක්‍රියාවලියටද බලපෑමක් සිදුවේ. අධිකරණය තින්දු ගනු ලබන්නේ ඊට ඉදිරිපත් වන කරුණු මතය. නිසි කරුණු අදාළ පාර්ශව වලින් අධිකරණයට සහ රටට ඉදිරිපත් නොවන්නේ නම් අදාල තීන්දු අසම්පූර්ණ වීම වැළැක්විය නොහැක. එහිදී එක් පැත්තකින් රහස් පොලීසිය තමාට විශේෂඥ දැනුම නොමැති කරුණු පිළිබඳව තොරතුරු පමණක් නොව නිගමනද අධිකරණයට සහ රටට ඉදිරිපත් කරති. ඊට ඉහළින් වගකීම සහිත නීතිපති දෙපාර්තමෙන්තුවද අධිකරණයට සහ පොලීසියට නිසි උපදෙස් දෙන බවක් පෙනෙන්නට නැත. ඊට ප්‍රධාන හේතුව අදාළ විශේෂඥ ඥානය සහිත ආයතන සහ පුද්ගලයින් විසින් ඔවුන්ගේ භූමිකාව අත් හැරීමය.

මෙම සියලු පිරිස් සත්‍යය හෙළිදරව් වීම පිළිබඳව බියක් දක්වන බව පෙනේ. ඊට හේතුව යම් ආකාරයකට සාෆි සහබ්දීන් සංසිද්ධියේ මූල හේතු එළිදරව් වුවහොත් ඔවුන් දෙසටත් ඇඟිල්ල දිගු වේ යැයි බියට පත් වීම විය හැක. මෙම දුර්වලතාවයන් නිසා දැනට පැමිණිලි ඉදිරිපත් කොට ඇති 700 කට අධික මව්වරුන් අතුරින් යම් පිරිසක් තව දුරටත් අපයෝජනයට ලක් වන තත්වයක් මතු වී ඇත. එනම් ඔවුන් වෛද්‍ය පරීක්ෂණ වලට ලක්කොට ඔවුන් තව දුරටත් ශාරීරික සහ මානසික පීඩනයට ලක්කිරීමේ ක්‍රියාවලියක් නිර්දේශ වි ඇත. එය මෙවැනි මහා පරිමාණ ලෙස වින්දිතයන් පිරිසකට බලපාන අපරාධයකදී පළමු වටයේදි යොදා නොගත යුතු පරීක්ෂණ ක්‍රමවේදයකි.මෙම සංසිද්ධියට අදාළව වෛද්‍යවරයා නීතිය හමුවේ අපරාධ වරදකට වැරදිකාරයෙකු හෝ නිවැරදිකාරයෙකු විය හැකි වුවත් බැලූ බැල්මට අපරාධ වරදක් සිදු වී ඇති බව පිළිගැනීමට සිදුවේ. ඒ අනුව ජන සමූහයකට බලපාන අපරාධයකදී පළමුව සිදු විය යුත්තේ වසංගත රෝග සමීක්ෂණ මූල ධර්ම අනුව අදාළ සමස්ථ වින්දිත ජනගහනය සමීක්ෂණයකට ලක් කිරීමය. එහිදී නියැදි පරීක්ෂණ පවා වලංගු නොවේ. ඒ අනුව සියල්ලටම ප්‍රථම සාෆි සහබ්දින් වෛද්‍යවරයා විසින් ශල්‍යකර්ම වලට භාජනය කළ 4000 කට අධික මව්වරුන්ගෙන් ළඟාවිය හැකි පිරිස සමීක්ෂණයකට ලක් කළ යුතුය. ඒ සඳහා ඉහත සඳහන් කළ විද්වත් ආයතන වලට මූලික සදාචාරමය බැඳීමක් ඇත. ඉහත සඳහන් කළ ආකාරයට වෛද්‍යසභාවට ඊට අදාළව නීතිමය බැඳීමක් ද ඇත. කෙසේ වෙතත් එවැන්නක් සඳහා නියෝග කිරීමේ බලය අධිකරණයට ඇත.

ඊට අමතරව එම ක්‍රියාවලිය තුළ පූර්වනිගමනවල සිට කටයුතු කිරීමද සුදුසු නොවේ. උදාහරණයක් ලෙස අදාළ වෛද්‍යවරයාට ශල්‍යකර්ම ක්‍රියාවලිය තුළ සිතා මතා මව්වරුන් වඳ භාවයට පත් කිරිමේ උවමනාව තිබුණේ නම් පැලෝපීය නාලය ගැටගැසිමට හෝ ඊට තුවාල කිරීමට අමතරව තව බොහෝ දේ කළ හැක. ඒ නිසා පැලෝපීය නාලය නිරුපද්‍රිතව තිබීම මඟින් අපරාධයක් සිදුවී නැති බව තහවුරු කළ නොහැක. ඒ අනුව ඩිම්බකෝෂ වලට තුවාල සිදු කිරීම , ඊට රුධිර සපයන නාල අවහිර කිරීම , නොසැලකිලිමත් ලෙස ඉතා කෙටි වේලාවකදී සමස්ථ අවයව පද්ධතියට හානිකර වන ලෙස ශල්‍යකර්මය සිදු කිරීම , ගර්භාෂයට මැහුම් දැමීමේදී අනාගතයේදී සංකූලතා ඇතිවන ආකාරයට එය සිදු කිරීම , මවගෙන් අවසරය ගත් බවට හුවා දක්වා අවසරය නොමැතිව පැලෝපීය නාලය ගැට ගැසීම , මව නිසි පරිදි දැනුවත් නොකර කලබලකාරි අවස්ථාවක් ඒ සඳහා අවසර ගැනීම , මව තනිකොට බලය පෙන්වා අවසර ලබා ගැනිම ආදී බොහෝ ක්‍රමවේද ව්‍යන්ධිකරණ අරමුණ සඳහා යොදා ගැනීමේ හැකියාව ඇත.
එම නිසා පළමුව වින්දිතයින් ලෙස සැළකෙන සමස්ථ මව්වරුන්ගේ ජනගහණය සමීක්ෂණයකට ලක් කොට ඔවුන්ගේ මඳ සරුභාවය සහ ශල්‍යකර්ම හෝ සංකූලතා වලට අදාළ තොරතුරු ලබා ගත යුතු ය. එසේම පාලක පරීක්ෂණයක් ලෙස එම කාලය තුළ සෙසු වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයට භාජනය කල මව්වරුන් සමීක්ෂණය කිරීමට ද සිදු විය හැක ඉන් පසුව අදාළ සංකූලතා පිළිබඳ ජන වර්ග පිළිබඳ වෙනස්කම් තිබේදැයි සලකා බැලිය හැකි අතර ඒ සඳහා අදාළ සංකූලතා පිළිබඳ ජාතික මට්ටමේ දත්ත පද්ධතියක් තිබේනම් ඒවා සමඟ ඉහත සඳහන් සමීක්ෂණ දත්ත සංසන්ධනය කිරීමේ හැකියාවද ඇත. එවැනි පුළුල් අධ්‍යනයක් 2017 දී කැනඩාවේදී සිදු කෙරිණි. ඊට හේතු වූයේ කැනඩාවේ එක් ප්‍රාන්තයක සෞඛ්‍ය සේවා බලප්‍රදේශයක ආදිවාසී කාන්තාවන් වඳභාවයට පත් කිරීම පිළිබඳ සෞඛ්‍ය බළධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වීමය. එම අධ්‍යනය මඟින් 2010 සිට 2016 දක්වා සිදුකළ වසන්ධිකරන සැත්කම් වලට භාජනය වූ ආදීවාසි කාන්තාවන් සමීක්ෂණයකට ලක් විය. ඊට මව්වරුන් 1468 ක් අයත් විය. එම සමීක්ෂණ වාර්ථාව මඟින් අදාළ මව්වරුන් භෞතිකව මුහුණදුන් තත්වයට වඩා ප්‍රභල මානසික සංකූලතා වලට මුහුණදුන් බවට හෙළිදරව් විය. එම සමීක්ෂණ වාර්ථාවේ නිර්දේශ අනුව අදාළ සෞඛ්‍ය කොට්ඨාශයේ පමණක් නොව සමස්ථයක් ලෙස සෞඛ්‍ය පද්ධතියේම බොහෝ වෙනස්කම් සිදුකෙරිණි. එහිදී විශේෂයෙන්ම සිසේරියන් සැත්කම් වලට මෙන්ම පැලෝපීය නාලය ගැටගැසීමේ සැත්කම් වලට අදාළව ප්‍රමිතීන් සහ නිර්ණායක පැණවිනි.

ඊට අමතරව එම අධ්‍යනය නිසා පවුල් සැලසුම් කිරිමේ නාමයෙන් කෙරෙන අවිධිමත් සහ වර්ගවාදී ජනගහන පාලනයට යම් විරෝධාකල්ප මතුවිය. බොහෝ විට පුළුල් සමීක්ෂණයක් සිදුකිරීම මඟින් එවැනි නිර්දේශ ඉදිරිපත් විය හැකි බවට බියක් ශ්‍රී ලංකාවේ ඉහත සඳහන් කළ ආයතන වලට තිබිය හැක. ඊට හේතුව සාෆි සහබ්දීන් සංසිද්ධිය නිසා එවැනි තත්වයක් ඇතිවුවහොත් එම ආයතන වල සාමාජිකයින්ට අද හැසිරෙන ආකාරයට නිදහස් සහ නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීමට නොහැකි වීමට ඉඩ තිබීමය. එහෙත් අද ජීවත්වන වෘතීමය බලවතුන් අතලොස්සකගේ පහසුව සඳහා සමස්ථ සමාජයක් හෝ ජන වර්ගයක් අනතුරට ලක්කිරීමට රට කරවන පාලකයින්ට හෝ සියල්ල දෙස උකටලිව බලා සිටින සෙසු වෘතිකයන්ටද අයිතියක් නැත.

සාෆි සහබ්දීන් වෛද්‍යවරයා අපරාධකරුවකුද නැත්ද යන්න තීරණය කළ යුත්තේ අධිකරණය විසිනි. නමුත් එම තීන්දුව කාර්යක්ෂමව ,ප්‍රතිඵල දායක ලෙස සහ සාධාරණව ගැනීම සඳහා මඟ පෙන්වීම ලබා දීම ඉහත සඳහන් කළ වෘතීය විද්වත් ආයතන වල වගකීමකි. කෙසේ වෙතත් වෛද්‍යවරයා විසින් දැනුවත්ව අපරාධයක් සිදු කළ බව ඔප්පු කිරීමට නොහැකි වුවද එමඟින් අපරාධයක් සිදු වී නොමැති බව තහවුරු කළ නොහැක. මහජන ඇස් ඉදිරියේ බැලූ බැල්මට අපරාධයක් සිදු වි ඇති බවට යම් සාක්ෂි ඉදිරිපත් වී ඇති බැවින් දැන් පළමුව කළ යුත්තේ අපරාධය සිදු වී ඇත්ද නැත්ද යන්න තහවුරු කිරීමය. වැරදිකරුවාට දඬුවම් කිරීම හෝ නිදහස් කිරීම සහ වැරදි නිවැරදි කිරීම සඳහා පියවර ගැනිම යනු ඉන් පසුව කළ යුතු දෙයකි.

එහිදී විවිධ ආකාරයේ අපරාධ චෝදනා වෛද්‍යවරයාට එරෙහිව එල්ලවිය හැක. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතල තුවාල සිදු කිරීම මෙන්ම අපරාධකාරී වෘතීය නොසැලකිලිමත් භාවය පිළිබඳවද චෝදනා එල්ල විය හැක. විනාඩි 15 කින් සිසේරියන් ශල්‍යකර්මයක් අවසන් කිරීම , ගර්භාෂය ස්ථර දෙකකින් මැසීම වෙනුවට එක් ස්ථරයක් ලෙස මැසීම , අවසර නොමැතිව හෝ කැමැත්ත ලබානොගෙන හෝ බලහත්කාරයෙන් ලබාගෙන පැලෝපීය නාල ගැටගැසීම සහ ඉන්ද්‍රිය පද්ධතියට තුවාල සිදුවන ආකාරයට ශල්‍යකර්මය නොසැලකීමත් ලෙස සිදු කිරීම ආදි වශයෙන් වන වෘතීය නොසැලකිලිමත්භාවයට අදාළ බරපතල චෝදනා සහ ඊට අදාළ සාක්ෂි දැනටමත් ඉදිරිපත් වී ඇත. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ යම් ක්‍රියාමාර්ග හේතුවෙන් සාක්ෂිකරුවන් ඉදිරිපත් නොවන තත්වයක් මතුවී ඇති බැවින් අධිකරණයට ඊට මැදිහත්වීමට සිදුවිය හැක. කෙසේවෙතත් වෘතීමය නොසැලකිලිමත් භාවය පිළිබඳ කථා කිරීම , ඒවා නිවැරදි කිරීමට පියවර යෝජනා කිරිම සහ නීතියට අනුව එම කරුණු එළිදරව්කිරීමට සිදු වේ නම් ඊට එකඟ වීම යනු ‘’සායනික පාලන’’ මූලධර්මයට අනුව වෘතිකයන්ගේ මූලික යුතුකමක් සහ වගකීමක් වේ. මෙම සිදුවීමේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු වේ නම් අනාගතයේදී සායනික පාලනය නම් වු සංකල්පය සෞඛ්‍ය පද්ධතියට නිසි ලෙස ඇතුල් කිරීමට සිදුවනු ඇත. සමහර විට ඊට අදාළව නව නීති පැනවීමද සිදු විය හැක.

කෙසේවෙතත් කාන්තාවන් නිසි අවසරයෙන් තොරව හෝ බලහත්කාරයෙන් ව්‍යන්ධිකරණයට ලක් කිරීම යනු “ කාන්තාවන්ට එරෙහි සියළුම ආකාරයේ අකටයුතුකම් අහෝසි කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට ” අනුව අපරාධ වරදකි. ශ්‍රී ලංකාව එම සම්මුතියට අත්සන් කොට ඇතත් ඊට අදාළව දේශීයව නීතියක් පනවා නැත. නමුත් ඊට අදාළව පිහිටුවා ඇති ජාත්‍යන්තර කමිටුවට පැමිණිලි කිරීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම අවසර නොමැතිව ව්‍යන්ධිකරණයට ලකළ බවට පැහැදිළිව ඔප්පු වී ඇති මව්වරුන් 12 දෙනාට ඒ සඳහා පැමිණිලි කිරීමේ අවස්ථාවක් ඇත. ඊට අමතරව ජන සංහාරය වැළැක්වීමට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්පත්තිය යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි කිරීමේ හැකියාවද ඇත. ඒ සියල්ල අප රටේ හෘද සාක්ෂිය සහිත උගත් නීතිඥවරුන්ගේ තරම පරීක්ෂා කිරීමේ සාධක ලෙසද සැළකිය හැක.

කෙසේ වෙතත් ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය අනුව වධහිංසා කිරීම , නින්දා සහගත ලෙස සැළකීම , කෘර ලෙස සැලකීම යනු මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. මවකට මව් පදවිය අහිමි කිරිම තරම් කෘරත්වයක් ලෝකයේ තවත් තිබිය හැකිද? ඒ අනුව ඉහත සඳහන් කළ ප්‍රභල සාක්ෂි සහිත මව්වරුන් 12 දෙනාට සෞඛ්‍ය බලධාරින්ව සහ අදාළ වෛද්‍යවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පවරා වන්දි ලබා ගැනීමේ හැකියාව ඇත. එහිදී සාෆි සහබ්දින් වෛද්‍යවරයා පමණක් නොව ඔහුගේ ප්‍රතිකාර වල ගුණාත්මකභාවය තහවුරු කිරිම සඳහා බැඳීම සහිත සෙසු වෛද්‍යවරුන්ද වගඋත්තරනරුවන් බවට පත් වීම වැළැක්විය නොහැක. එසේම මේ වන විට වෛද්‍යසභාව වෙත දිවුරුම් ප්‍රකාශ මඟින් සිදුකොට ඇති පැමිණිලි පිළිබඳව එම සභාව නිසි පියවර නොගන්නේ නම් ඔවුන්ට එරෙහිව අභියාචනා අධිකරණයට පැමිණිලි කිරීමේ හැකියාවද ඇත.

අවසාන වශයෙන් කෘර ලෙස සහ නින්දා සහගත ලෙස සැත්කම කිරීම මඟින් ජිවිතයේ ඉතිරි කාලය තුළ වදභාවයට පත් කළ මව්වරුන්ට සාධාරණය ඉටුකළ හැක්කේ සාෆි සහබ්දින් නම් වු පුද්ගලයාට දඬුවම් කිරිමෙන් පමණක් නොවේ. අප රට විසින් විශේෂයෙන්ම යම් වෛද්‍යවරුන්ගේ දැනුම්වත් මැදිහත්වීමෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවල, මෙන්ම ජාත්‍යන්තර ආධාර සංවිධාන වල අනුග්‍රහය මත පවත්වාගෙන යන නොසැලකිලිමත් සහ තාක්ෂණිකව ඉතා දුප්පත් ජනගහන පාලන ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කිරීමද අත්‍යවශ්‍ය වේ. එසේම ප්‍රසව සහ මාතෘ සේවා වලට අදාළ ප්‍රමිතින් ශක්තිමත්කොට ඒවා ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේද පාලනය කිරිම සදහා ක්‍රියාකිරීමද සෞඛ්‍ය බලධාරීන්ගේ මුලික වගකීමක් බවට පත් වේ. “ දරු උපත් ‘’වෛද්‍යකරණය’’ නොකරනු යනුවෙන් ප්‍රභල සටනක් පවතින ඇමරිකාවේ සමස්ථ දරු උපත් වලින් සිසේරියන් දරු උපත් ප්‍රමාණය 30% කි. අප රටේ එය 39% කි. ඒ අනුව සෞඛ්‍ය සේවා වෙළඳපලකරණය කිරීම මඟින් සිදුවන අනර්ථය පැහැදිළි වේ. ඒ සියල්ල වෙනස් කිරිම සඳහා ඉස්ලාම් අන්තවාදයට පමණක් නොව වෘතික අන්තවාදයටද විරුද්ධ විමට කොන්ද පණ ඇති ආණ්ඩුවක් අවශ්‍ය වේ.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර –



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමේ කටයුතුවල නිරතවීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ...


Read More

නව දැක්මකින් යන ගමනට ජනපතිට ඕස්ට්‍රේලියානු රජයෙන් පූර්ණ සහාය

ශ‍්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි  මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා  හමුවිය. ...


Read More

අයහපත් කාලගුණයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක...


Read More