අදුර විනිවිද

එස්‌. කේ. ජයවර්ධන
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ

vesaka135බෞද්ධයන්ගේ වැදගත්ම ආගමික උත්සවය වෙසක්‌ උළෙලයි. වෙසක්‌ උළෙලේ ආරම්භය හා විකාශනය මෙහි කෙටියෙන් දැක්‌වෙයි. බෝසත් චරිතයේ වූ වැදගත් සිද්ධි තුන බෝසත් උපත – බුදුබව ලැබීම – බුද්ධ පරිනිර්වාණය වෙසක්‌ පසළොස්‌වකදාක සිදු විය. මීට අමතරව ලාංකිකයන්ට වෙසක්‌ පෝය වැදගත් වන සිද්ධි කිහිපයකි. විජය කුමරු ඇතුළු මුල් ආර්ය පිරිවර ලංකාවට පැමිණ ලංකාව ජනාවාස කිරීම – පෑතිස්‌ රජු කල (ක්‍රි.පූ. 250-210) රාජාභිෂේක ක්‍රමය දීම – දුටුගැමුණු රජු රුවන්වැලිසෑයට මුල්ගල තැබීම වෙසක්‌ පසළොස්‌වකදා සිදුවී ඇත. වෙසක්‌ පෝයෙන් බුද්ධ වර්ෂ ව්‍යවහාරය අවුරුද්දේ වඩාත් චමත්කාර පරිසරය – ප්‍රසන්න දේශගුණය වෙසක්‌ මස උදාවෙයි. ගස්‌ වැල් මල් බර වෙයි. ශ්‍රී පාද වන්දනා සමය කෙළවර වනුයේ වෙසක්‌ පසළොස්‌වකිනි. (නිකාය සංග්‍රහය අනුව බෝසත් උපත, බුදුවීම පිරිනිවන විසා නැකතින් උදාවිය. (මේ අනුව විසා නැකතින් වෙසක්‌ පෝය උදාවීම ඉතා සුබ ලෙස එදා සිංහලයෝ සැලකුව බව” ශාස්‌ත්‍රීය ලිපි හා කතා ග්‍රන්ථයේදී චාල්ස්‌ ගොඩකුඹුරේ පෙන්වා දෙයි. එහෙත් හැම විටම විසා නැකතින් වෙසක්‌ උදා නොවේ. බුදුහිමි තුන්වෙනි වර ලංකාවට වැඩියේද වෙසක්‌ පුර පසළොස්‌වකදායි.

මහාවංශය අනුව දඹදිව අශෝක රජුගේ අනුග්‍රහය ඇතිව දෙවන පෑතිස්‌ රජු පළමු රාජ්‍ය අභිෂේකය වෙසක්‌ පසළොස්‌වකදා ලැබුවේය. මේ අනුව සිංහල රජුන්ගේ රාජාභිෂේක ක්‍රමය වෙසක්‌ පෝයදාක ආරම්භ විය. ඒ සිහිකිරීමට අවුරුදු පතා වෙසක්‌ පසළොස්‌වකදා රජවරු ඔටුන්න ගලවා නැවත අභිෂේකය ලැබීමේ චාරිත්‍රයක්‌ ලංකාවේ සිදු විය. මේ චාරිත්‍රය අනුව රජවරුන්ගේ ඔටුනු දැරූ කාලසීමාව එදා ගණන් බලා ඇති බව පරණවිතාන මහතා කියයි. උදාහරණ ලෙස “අලකේශ්වර යුද්ධය වංශ කතාව හා ඔරුවල සන්නස අනුව කෝට්‌ටේ හයවැනි පරාක්‍රමබාහු රජු (1412-1467) ඔටුනු පනස්‌ පහක්‌ දැරූ බව කියයි. මේ අනුව වෙසක්‌ උත්සව පනස්‌ පහකදී මේ රජු නැවත නැවත අභිෂේකය ලබා ඇත.

වෙසක්‌ උළෙලේ ආරම්භය දඹදිව සිදුවුණු බව පෙනෙයි. අශෝක රජුගේ හතරවැනි ගිරි ලිපියේ ඒ පිළිබඳව ඉඟියක්‌ එයි. එම ගිරි ලිපිය අනුව රජු රට වැසියන්ට විමාන – ඇතුන් – දිව්‍යමය රූප ප්‍රදර්ශනය කරවා ඇත. පස්‌වන සියවස ඉන්දියාවට ආ චීන ජාතික හිමි මොටාං නුවරදී අවුරුද්දේ දෙවැනි මාසයේ හෙවත් වෙසක්‌ මස පිළිම පෙරහැරක්‌ දුටු බව කියයි. මේ අනුව පාහියන් හිමි දුටුවේ වෙසක්‌ උත්සවයක්‌ බව පෙනී යයි. අශෝක රජුටත් පෙර දඹදිව ඇරඹුණු වෙසක්‌ උත්සවය පෑතිස්‌ රජු කල ලංකාවට පැමිණි බව පෙනී යයි.

මහාවංශය ඇතුළු ලාංකික වංශකතා වල පළමුවරට වෙසක්‌ උත්සවයක්‌ ගැන සඳහන් වනුයේ දුටුගැමුණු (ක්‍රි.පූ.161-137) රජු කලයි. වෙසක්‌ උළෙල රාජ්‍ය අනුග්‍රහය ඇතිව පළමුවරට සකස්‌ වූයේ දුටුගැමුණු රජු කල බව සිතිය හැක. මහාවංශය හා “පූජාවලිය” අනුව දුටුගැමුණු රජු වෙසක්‌ උත්සව විසි හතරක්‌ පවත්වා ඇත. මහාවංශය හා මහාවංශ ටීකාව අනුව භාතිකාභය රජු (ක්‍රි.පූ.19-ක්‍රි.ව.01) වෙසක්‌ උළෙල පවත්වමින් කිරිබත් පූජාව මහාදානදීම් කර ඇත. වසභ රජු (67-111) වෙසක්‌ උත්සව හතළිස්‌ හතරක්‌ පැවැත්වූ අතර ඒ පිංකම් හේතුවෙන් වසභ රජුගේ ආයුෂද වැඩිවිය. වෝහාරික තිස්‌ස රජු (214-236) අවුරුදු පතා තුන්සිවුරු පූජා කළ වෙසක්‌ උළෙල පැවැත්වූ බව මහාවංශය කියයි. ගෝඨාභය රජු (256-286) මහා වෙසක්‌ පූජා කළ අතර ජෙට්‌ඨ තිස්‌ස රජු මහා විහාර හා මහ පෙරහැර කොට වෙසක්‌ උත්සවය කළ බව මහාවංශය කියයි. චූලවංශය අනුව දල මුගලන් හෙවත් තුන්වැනි මුගලන් රජු (618-623) බොහෝ වෙසක්‌ චාරිත්‍ර ඉටුකර ඇත. තුන්වන සේන රජු (853-887) දුප්පත් රටවැසියා හා එක්‌ව බත් – වස්‌ත්‍ර දන් දුන් බව චූලවංශය කියයි. පොලොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජු (1153-1187) වෙසක්‌ උත්සව පැවැත්වූ බව “පූජාවලිය” කියයි.

චූලවංශයේ වෙසක්‌ උත්සව ගැන සටහන් වලදී “වෙසඟ කෙලි” (වෙසාඛ ලි) යෑයි සඳහන් වේ. මේ අනුව මුලදී ආගමික කටයුතුවලට සීමාවූ වෙසක්‌ උළෙල පසුකල වන විට මහායානයේ පැතිරීම, හින්දු භක්‌තිවාදය පැතිර යාම නිසා ආගමික මුහුණුවර ඉක්‌මවා ගොස්‌ සැණකෙළියක මුහුණුවර ගත් උත්සවයක්‌ විය.

“ශාස්‌ත්‍රීය ලිපි හා කතා ග්‍රන්ථයේ” චාල්ස්‌ ගොඩකුඹුරේ කියන පරිදි නවවැනි සියවසට පමණ පසු වෙසක්‌ උළෙල ජාතික සැණකෙළියක්‌ වී ඇත. පූජාවලිය හා සුළු රාජාවලිය අනුව පොළොන්නරුව කල වන විට වෙසක්‌ උළෙලට දිය කෙළියක්‌ද එකතුවී ඇත. එදා වෙසක්‌ උත්සව වලදී සිල්වතුන්ට හා දුගී මගීන්ට කිරිබත් පිදීම, භික්‍ෂූන්ට තුන් සිවුරු පිදීම, මහ විහාර පහේ පෙරහැර පැවැත්වීම, රට වැසියන්ට හා දුගී මගීන්ට බත් – වස්‌ත්‍ර පූජාව, පන්සල් යාම, සිල් සමාදන් වීම, ධර්ම දේශනා, දන්සල් දීම, වන්දනා ගමන් යාම සිදුවිය. ශ්‍රී පාද වන්දනා සමය වෙසක්‌ මහෙන් නිම වෙයි.

“මන්දාරම් පුර පුවත” ඉතිහාස කාව්‍ය අනුව දෙවැනි රාජසිංහ රජු (1636-1687) වෙසක්‌දා රට වැසියා හා එක්‌ව මහනුවර දළදා මැදුරේ පුද පූජා පවත්වා ඇත. මුං කොටුවේ රාළ ලියූ “සඟරාජවත” ග්‍රන්ථය අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1782) වෙසක්‌දා සිරකරුවන් නිදහස්‌ කර ඇත. මුල් කාලවල පහන් වැට දැල්වීම තොරණ බැඳීම ගැන සටහනක්‌ නැත. රොබට්‌ නොක්‌ස්‌ගේ ලංකා විස්‌තරය අනුව පහන් වැට දැල්වූයේ ඉල් මස කාර්තික උළෙලටයි. පොළොන්නරු යුගයට පසු වංශ කතාවල වෙසක්‌ උළෙල ගැන සොයා ගැනීම අසීරුය. රොබට්‌ නොක්‌ස්‌ හා ඩේවි වෙසක්‌ ගැන සඳහන් නොකිරීමෙන් මේ වන විට ලංකාවේ වෙසක්‌ උළෙල යටපත්ව තිබූ බව චාල්ස්‌ ගොඩකුඹුරේ කියයි. මේ අදහස මුළුමනින්ම නිවැරදි නැත. හේතුව වංශකතා වල වෙසක්‌ උළෙල ගැන අඩුවෙන් සඳහන් වීමයි. “මන්දාරම් පුර පුවත” දෙවෙනි රාජසිංහ රජු මහජනයා හා එක්‌ව දළදා පිදූබව “සඟරාජවත” අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු වෙසක්‌ දා සිරකරුවන් නිදහස්‌ කිරීම සඳහන් වේ. සෙංකඩගල කල ලියවුණු “නරේන්ද්‍ර චරිතාවලෝකන ප්‍රදීපිකාව” අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු වෙසක්‌ උත්සව දහ අටක්‌ පවත්වා ඇත. රාජාධිරාජසිංහ රජු (1782-1798) වෙසක්‌ උත්සව ඉටුකළ බව සුළු රාජාවලිය කියයි. “නරේන්ද්‍ර චරිතාවලෝකන ප්‍රදීපිකාව” ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1798-1815) වෙසක්‌ උත්සව කළ බව කියෑවෙයි.

පෘතුගීසි හා ඕලන්ද යුගවල වෙසක්‌ උළෙල පහතරටින් යටපත්ව ඇත. 1815 න් පසු උඩරට ද එය යටපත් විය. එයට හේතුව ක්‍රිස්‌තියානි පැතිර යැමයි. ඉන්පසු පානදුරාවාදයෙන් පසු ඇතිවූ ප්‍රබෝධය 1885 ඕල්කට්‌තුමා පැමිණ පරම විඥනාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීම 1885 බෞද්ධ කොඩිය ආරම්භය මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි හා හික්‌කඩුවේ සුමංගල හිමිවරුන්ගේ කැපවීම, සරසවි සඳරැස වැනි පත්‍ර කළ සටන නිසා යළිත් ජාතික ප්‍රබෝධයක්‌ ඇතිවිය. වෙසක්‌ පෝය රජයේ නිවාඩුවක්‌ බවට පත්විය. 1894 ඇල්බට්‌ ද සිල්වා “වෙසක්‌ දූතයා” නව කතාව ලියා ඇත. ඕල්කට්‌තුමාගේ පැමිණීම, පිටරට වෙළෙඳ සමාගම්වල පැතිර යාම, නත්තල් උළෙලේ බලපෑම නිසා 1890 පමණ පසු වෙසක්‌ උළෙලට එකතු විය. 1885 අධි වෙසක්‌ පසළොස්‌වකදාක පළමුවරට ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය උත්සවාකාරයෙන් එසවීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජනාධිපතිවරණයට තරග කරන්න මම සූදානම්…බැසිල් රාජපක්ෂත් මට උදවු කරනවා – ගෝඨාභය (Video)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තීරණය කළ හොත් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට තමා සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම...


Read More

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ඒකාබද්ධයේ සහයට …විපක්‍ෂයේ පුළුල්ම සන්ධානය බිහිවේ…(Video)

ඒකාබද්ධ විපක්ෂය සමග සහයෝගයෙන් ඉදිරියේදී විපක්ෂයේ කටයුතු කරගෙන යෑමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග 16 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම අද (...


Read More

සුදු වෑන් සංස්කෘතිය එජාපයේ සංකල්පයක්… මංගල ගෝඨා ගැන කළ ප‍්‍රකාශයට සිවිල් සිංවිධාන වලින් කනේ පහරක්

පසුගිය කාලයේ මාධ්‍යවේදීන් බිය ගැන්වීම් ඇතුළු බොහෝමයක් අපරාධ සිදු කිරීමට හමුදා බුද්ධිඅංශ හා සෙසු නිලධාරින්ට නියෝග ලබා දුන්නේ ගෝඨාභය රාජපක්...


Read More