Notice Board

”කැප්පෙටිපොළ උරුමය මතු පරපුරට” යන තේමාව පෙරටු කොටගත් කැප්පෙටිපොළ හා මඩුගල්ලේ 200 වන විරුවන් ඇතුළු එදා මෙදාතුර රට දැය සමය වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර විරුවන් අනුස්මරණය හා මියගිය සියලුම ලාංකීය රටවැසියන්ට පිංපෙත් අනුමෝදන් කිරීමේ සැමරුම් උත්සවය 2018 නොවැම්බර් 25 වන දින සවස 4.30 සිට 7.00 දක්වා කොළඹ, නිදහස් චතුරස්‍ර මන්දිරයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දේශමාමක දෑ හිතකාමීන්ගේ ගෞරවනීය සහභාගිත්වයෙන් සිදු කෙරේ.

සැමරුම් උත්සවයේ සජීවී විකාශය www.lankaleadnews.com අප වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තුවන්න…

ස්වකීය මාතෘ භූමිය වෙනුවෙන් දිවි පූජා කල 1818 විමුක්ති අරගලයේ අසහාය විරුවෙකු වන මඩුගල්ලේ උඩ ගබඩා නිළමේ..!

බ්‍රිතාන්‍යයන් මෙරටින් එළවා දමා යළි ලක්දිව නිදහස් රාජ්‍යයක් බවට පත් කර ලීමේ අරමුණෙන් 1817-1818 තුළ ඇති වු නිදහස් සටනේ එක් ප්‍රධාන නායකයකු වූයේ මඩුගල්ලේ නිලමේය. ඉංග්‍රීසින් ප්‍රකාශ කර ඇත්තේ කැරැල්ලේ තෙවැනි ප්‍රධාන නායකයා මඩුගල්ලේ නිලමේ බවය. සටන් බිමේදී දැක් වු ශූර වීරකම් නිසා දේශීය වැසියන් බොහොමයක් නිලමේට සෙනෙහසක් මෙන්ම ගෞරවයක් දක්වා ඇත.

බි්‍රතාන්‍යයෝ සටන මර්දනය කිරීමට යුද්ධ නීතිය පනවා සිංහල ජනයා මරා දැම්මේ ඉවක් බවක් නැතිවය. උන්හිටි තැන් අහිමි කරවනු ලැබුවේ ගෙවල් දොරවල් කඩා බිඳ ගිනි තබා විනාශ කරලමිනි. වැව් අමුණු ඇළ දොළවල් කඩා බිඳ වතුපිටි කෙත් යායවල් විනාශ කර දැම්මේ බඩගින්නේ තබා මරා දැමීමටය. ඉංග්‍රීසීන් මෙන්ම ඔවුන්ට උදව් උපකාර කරන්නන් ගවයන් මරා ඔවුන්ගේ මස් අනුභව කළේ ගැමියන්ට ගවයන්ගෙන් ලබා ගත හැකි ප්‍රයෝජනද අහිමි කරලමිනි.

ඉංග්‍රීසි පාලකයන් නිලධාරීන්ට භටයන් හා ඔවුන්ට උදව් උපකාර කරන්නන්ට මත් පැන් ලබා දී ඇත්තේ නිර්ලෝභීවය. මතින් මත් වූ ඔවුහු කුඩා දැරියන් යුවතියන් දූෂණය කොට මරා දැම්මෝය. කාන්තාවන්ට අතවර කර මරා දැමූහ. තම උපන් බිමේදීම පරදේශක්කාරයන්ගේ තාඩන පීඩනවලට ලක්ව මිය යන්නට තරම් දැරියෝ යුවතියෝ කාන්තාවෝ අවාසනාවන්ත වී සිටියෝය.

මර්දනය අතරේම සටන් මෙහෙය වු නායකයන් අල්ලා ගන්නට බි්‍රතාන්‍යයෝ විවිධ උපක්‍රම යොදන්නට වූහ. තමන්ට ඒ කාර්යය කරන්නට නොහැකි වු තැන අනුන් ලවා එය ඉෂ්ට කර ගන්නට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නට ඔවුහු නොපසුබට වූහ. නායකයන් අල්ලා දෙන්නන්ට ඉතා ඉහළ අගයකින් යුත් තෑගි මුදල් ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

ඉංග්‍රීසි ආණ්ඩුකාර හා සේනාපති රොබට් බ්‍රවුන්රිග් 1818 මාර්තු 19 දා ප්‍රකාශනයක් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර එම ප්‍රකාශනයේ එක් කොටසක සඳහන් ව ඇත්තේ කැරැල්ලට සම්බන්ධ නායකයන් පිරිසකගේ නම් මෙන්ම ඔවුන් අල්ලා දෙන්නන්ට දීමට නියමිත තෑගි මුදල් ප්‍රමණයන්ය.

ඌවේ හිටපු දිසාව වන කැප්පෙටිපොළ ඇල්ලීමට:- තාරකා පගෝදි දෙදාහක්.
සත් කෝරලේ හිටපු දිසාව වන පිළිමතලාවේ ඇල්ලීමට:- තාරකා පගෝදි දාහක්.
හිටපු උඩ ගබඩා නිලමේ වන මඩුගලලේ ඇල්ලීමට:- තාරකා පගෝදි දාහක්.
වලපනේ හිටපු මොහොට්ටාල වන කිවුලේ ගෙදර ඇල්ලීමට:- තාරකා පගෝදි පන්සීයක්.
හිටපු අදිකාරම් වන ඇල්ලේපොල ඇල්ලීම:- රික්ස් ඩොලර් දාහක්.

සටනට හවුල් නායකයන් අල්ලා දී ඉංග්‍රීසීන්ගෙන් තෑගි මුදල් ලබා ගන්නට ඇතමුන් කෑදර සිත් ඇති කර ගන්නට ඇති. එහෙත් නායකයන් අල්ලා දෙන්නට කිසිවෙකුටත් හැකියාවක් හෝ අවස්ථාවක් ලැබී නැත.

ඉංග්‍රීසීන්ගේ මිනිසුන් 70කින් යුත් කණ්ඩායමක් 1818 සැප්තැම්බර් 22 දා උදේ දුම්බර පළාතේ තෙල්දෙණිය ආක්‍රමණය කළෝය. ඒ වන විට තෙල්දෙණියේ බලය පැවතී තිබී ඇත්තේ මඩුගල්ලේ නිලමේ යටතේය. මඩුගල්ලේ නිලමේගේ බලය නිසා තෙල්දෙණියේ වැසියන් ඉංග්‍රීසීන්ගේ කණ්ඩායමට පක්ෂපාතිත්වයක් දක්වා නැත. එහෙත් දින පහක් පමණ ගත වන විට ඇතැම් වැසියන් කෙමෙන් ඉංග්‍රීසීන්ට පක්ෂපාතිත්වය දරන්නට පටන් ගෙන ඇත. එම පක්ෂපාතිත්වය කෙතරම්ද යත් මඩුගල්ලේ නිලමේට සේවය කළ විදානේවරයෙක් මඩුගල්ලේ නිලමේ ඉංග්‍රීසීන්ට අල්ලා දෙන්නට කැමැත්ත පළ කර ඇත.

විදානේවරයාගේ උදව් උපකාර ඇතිව ඉංග්‍රීසින්ගේ භට පිරිසක් සැප්තැම්බර් 27 දා රාත්‍රී ඉතාම හොර රහසේ ඉතාමත්ම අපහසුවෙන් මඩුගල්ලේ නිලමේගේ වලව්ව පිහිටි උඩදුම්බර මඩුගල්ල ගම්මානය කරා ගමන් කර ඇත. පිරිස මඩුගල්ල ගම්මානයට පිවිස ඇත්තේ 28 දා පාන්දරය. පිරිස විදානේවරයාගේ නිවෙස තුළට පිවිස එහි සැඟවුණේ එදින රාත්‍රියෙහි මඩුගල්ලේ නිලමේ කොටු කර ගන්නටය.

මඩුගල්ල ගම්මානයට ගිය භට පිරිස පිළිබඳ කිසිදු තොරතුරක් නොලද නිසා තෙල්දෙණිය අණදෙන නිලධාරී කපිතන් ඩොබින් මහතා කලබලයට පත්ව සිටියේය. ඒ අතර මඩුගල්ල ගම්මානය දෙසින් නිකුත් වු වෙඩි ශබ්දයක් පිළිබඳ තොරතුරක් ද ඩොමින්ට ලැබුණේය. තම භට පිරිසට කුමන හෝ ආකාරයේ කරදරයක් පැමිණෙන්නට ඇතැයි සිතූ ඩොබින් ආධාර පිණිස බළ ඇණියක් වහා මඩුගල්ල ගම්මානයට පිටත් කර ඇරියේය. එම භට කණ්ඩායමේ පැමිණීම මඩුගල්ලේ නිලමේට දැන ගන්නට ලැබුණේය. හේ වහා පලා ගියේය.

නිලමේ අල්ලා ගන්නට නොහැකි වුවත් නිලමේගේ පිරිස් විසින් 1818 මාර්තු මාසයේදී අල්ලාගෙන රඳවාගෙන සිටි ලංසි මිනිසුන් දෙදෙනෙකු මුදා ගන්නට ඉංග්‍රීසීන්ගේ භටයනට හැකි විය. 1818 සැප්තැම්බර් 29 වැනි දින ලෙෆ්ටිනන් කර්නල් හාඩි යටතේ හමුදාවේ පිරිසක් දුම්බර බලා ගමන් ගත්හ.

ඔක්තෝබර් 1 වැනිදා කර්නල් හාඩි මඩුගල්ලේ නිලමේ අල්ලා ගන්නට උත්සාහ කළේය. නිලමේ පසුපස ලුහු බැඳ ගිය මුත් අල්ලා ගැනීමට නොහැකි විය. නිලමේ බිම්තැන්න දෙසට පලා ගියේය. නිලමේ අල්ලා ගන්නට නොහැකි වුවත් නිලමේට ආරක්ෂාව සැලසු අය අල්ලා ගන්නට යුද්ධ උපකරණ තොගයක් අත්පත් කර ගන්නටත් ඔවුනට හැකි විය.
පසුව සිටින තැනක් පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා ගන්නට හැකි වී නැත. ඒත් නායකයන් සිටින තැන් පිළිබඳව සෙවුම් බැලුම් වැඩි කරන්නට පියවර ගෙන තිබිණ.

ඒ 1818 ඔක්තෝබර් 28 දාය. ලෙෆ්ටිනන්ට් විලියම් ඔනීල් ගල් තුවක්කුවක් අතැතිව සිටි අයෙකුට පහර දී මෙල්ල කර ගෙන ඔහුගෙන් ඉතා සුවිශේෂී තොරතුරක් ලබා ගෙන ඇත. ලැබු තොරතුරු මත හවස 3.00 ට පමණ තිහකගෙන් පමණ සමන්විත තම භට කණ්ඩායම යොදවා පරවහගම අසල වලව්වක් වටලා ඇත.

වලව්වට ඇතුළුවීමෙන් පසුව එහි සිටි කැප්පෙටිපොල පිළිමතලාවේ දිසාවේවරු තම භාරයට ගන්නට ඔනීල්ට හැකි වූයේය. එහි සිටි මඩුගල්ලේ නිලමේ ඇතුළු පිරිසක් පලා ගියහ. එසේ පලා ගොස් ඇත්තේ නිලමේ ඇතුළු දහනව දෙනෙකුගෙන් යුක් කණ්ඩායමකි.
පසුව නිලමේ සැඟ වී සිටින ස්ථානය පිළිබඳ තොරතුරක් ගම්වැසියන් පිරිසකට දැන ගන්නට ලැබිණ. ගම්වැසියෝ එම තොරතුරු ඉංග්‍රීසීන්ගේ කනේ තැබූහ. 1818 නොවැම්බර් 2 දා පෙරවරුවේ හැත්තෑතුන්වෙනි රෙජිමේන්තුවේ එන්සයින් සූට්බ්රේඞ් මාතලේ උඩුගොඩ කෝරළේ නිකවැල්ල, පුබ්බිලිය හා කෝන්ගහවෙල ගම්වැසියනගේ උපකාර ඇතිව මාතලේ කයිකාවල මුරපොළේ භට කණ්ඩායමක් කැටුව ගොස් මඩුගල්ලේ නිලමේ අල්ලා ගත්තේය. නිලමේ අසු වුයේ ඇළහැරට නුදුරු ස්ථානයකදීය. නිලමේ අල්ලා දුන් ගම්වැසියන්ට කෘත ගුණ සලකන්නට ද ඉංග්‍රීසිහු අමතක නොකළෝය. පහසු අයබදු ක්‍රමයක් ඔවුනට හිමි කර දෙන්නට පියවර ගත්හ.

මහනුවර යුද්ධාධිකරණයේදී නඩුවක් පැවරුණේ යුද වැදීමේ චෝදනාව යටතේය. 1818 නොවැම්බර් 16 දා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ හිස ගසා මරා දැමීමට නියෝග කරමිනි. ඒ අනුව 1818 නොවැම්බර් 26 දා හිස ගසා මරා දැම්මේ මහනුවර බෝගම්බර වැව අසල තිබු වධක භූමියේදීය.

නිලමේට අයිතිව තිබු ගෙවල් දොරවල් වතුපිටි රාජසන්තක කොට දැම්මේ මරා දැමීමෙන් නිහඬ නොවෙමිනි. නිලමේගේ බිරිඳ හා පුතුන් හතර දෙනා කළුතරට ද මව හා සොහොයුරිය කොළඹට ද යැවුවේ ඥාතීන්ගෙන්ද පළි ගනිමිනි.

හුන්නස්ගිරියේ පදිංචි 60 වැනි වියේ පසුවන හිටපු චිත්‍රපටි කාර්මික ශිල්පියකු වූ කරුණාතිලක ජයසුන්දර වීරසේකර රාජපක්ෂ වාසල නායක නිසි මුදියන්සේ රාලහාමිලාගේ මඩුගල්ලේ වලව්වේ ඩ්‍රේක් මඩුගල්ලේ මහතා නිලමේ පරපුරේ අයෙකි. නිලමේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේදී ඔහු පැවසු දෙය මෙසේය.

ඉංග්‍රීසීන් පන්නා දමා සිංහල රජෙක් සිංහාසනාරූඪ කරවීම පිණිස 1816 වර්ෂයේ මැද භාගයේ මඩුගල්ලේ නිලමේත් තවත් පිරිසකුත් කුමන්ත්‍රණයක් කළා. නමුත් ඉංග්‍රීසීන්ට ගැති නිලමේවරයෙක් කුමන්ත්‍රණයේ තොරතුරු ඉංග්‍රීසීන්ට ලබා දීමට පියවර ගත්තා.

ඉංග්‍රීසි ආණ්ඩුව පෙරළා දමන්න කුමන්ත්‍රණය කළාට හිර දඬුවම් ලබා දුන්නා. 1816 සැප්තැම්බර් මාසයේ සිට 1817 අගෝස්තු මාසය දක්වා යාපනයේ හිර ගෙදර හිර දඬුවම් වින්දා. ඔහුට 1817 අගෝස්තු මාසේ මැද දී නිදහස ලැබුණා. ඉංග්‍රීසී ආණ්ඩුව පෙරළන්නට ගොස් සිර දඬුවම් විඳි පළමු පුද්ගලයා ලෙසින් මඩුගල්ලේ නිලමේ ඉතිහාස ගත වී තිබෙනවා.

ඔහු දැරූ උඩ ගබඩා ධුරයෙන් හා වැලතේ ගම්පතිකමින් නෙරපා දමන්නට ද ඉංග්‍රීසින් කටයුතු කර තිබෙනවා. නිදහස ලැබූ මඩුගල්ලේ නිලමේ නැවතත් 1817 හා 1818 දී ඉංග්‍රීසීන් ලක්දිවෙන් පන්නා දැමීමට සටන් කළා.

හැමෝටම දැනගන්න SHARE කරන්න
බන්ඩාර ජයතිලක



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාප නායකත්වයෙන් නව සන්ධානයක්… ලකුණ දියමන්තිය

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ...


Read More

TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන – මහින්ද (Video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවස...


Read More

මෛත්‍රී – මහින්ද සමගියට ගැහුවොත් අපිත් ගහනවා – ජාතික සංවිධාන

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිවයින පුවත්පතට සහපාය තිබූ ලිපියක් පිළිබඳ අදහස් විමසීමේදී ඒ මහතා එසේ සදහන් ක...


Read More