මුහුණු පොතෙන්

ශ්‍රී ලාංකික නූල් රූකඩ නාට්‍ය කලාව ලෝක මානව අස්පර්ෂ සංස්කෘතික උරුමයක් ලෙස 2018 වසරේ දී යුනෙස්කෝ නියෝජිත ලේඛනයෙහි සටහන් වූ අතර 2020 වසරේ දී ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්වේ. මාර්තු 06 දින කොළඹ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්වෙන ජාතික රූකඩ උත්සවය නිමිත්තෙන් මේ ලිපිය පළ කෙරේ.

කතන්දර කීමේ කලාව ඈත අතීතයේ සිට ආදි මානව කණ්ඩායම් සිය දෛනික අත්දැකීම් අනෙකාට ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළ ප්‍රකාශන මාධ්‍යයකි. ගිනිමැලයක් වටා ඒකරාශී වූ මානවයා කතන්දර කීමට අති දක්ෂයෙකි. ආරම්භයේ කථනය ද මුහුණේ ප්‍රකාශන ද අත් සහ සිරුරේ හැඩතල ද සිය කථාව අසන්නාට විශ්වසනීය ව අවබෝධ කර දීම සඳහා යොදාගන්නට ඇත.

පසු කලෙක ප්‍රාසාංගිකත්වය ඔපවත් කිරීම උදෙසා සංගීතය – නර්ථනය – පැතළි වෙස්මුහුණු – වර්ණ ගීත සහ විවිධ මෙවලම් යොදාගත්තේය. කතන්දරය සඳහා චරිත ඉදිරිපත් කිරීමේ දී නව සොයායාම් – අත්හදාබැලීම් හේතු කොට ගෙන නාට්‍යමය ලක්ෂණ බිහි විය. එම සෞන්දර්ය චාරිකාවේ විචිත්‍ර ප්‍රකාශනයක් ලෙස රූකඩ කලාව බිහි විය. කතන්දර කීම ප්‍රාසාංගික කලාවක් ලෙස ක්‍රි. පූර්ව යුගයේ සිට 21 වන සියවස දක්වා ම විවිධ වෙනස්කම් සහ අනන්‍යතා යටතේ ලොව පුරා බොහෝ රාජ්‍යයන් හි දක්නට ලැබෙන ජන කලාවකි. මානවයා විසින් හසුරවන සත්ත්ව – මානව රූප හෝ වෙනත් මෙවලම් රූකඩ කලාවේ දී නාට්‍යමය ස්වරූපයෙන් භාවිත වෙයි. නූතන යුගයේ තාක්ෂණය සමඟ මුසු කොට ටෙලිවිෂනය යොදා ගත් ඇතැම් රූකඩ චරිත (මෆට් – කාර්ටූන්) ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන ඇත.

රූකඩ කලාවේ ඉතිහාසය

බොහෝ ජන සංස්කෘතිවල රූකඩ කලාවේ ඉතිහාසය වසර 5.000 කට වඩා ඈතට විහිදෙයි. ඇතැම් මානව විද්‍යා පර්යේෂකයන්ගේ විමසුමට අනුව මානව සිරුර රංගනයට භාවිතය ආරම්භවීමත් සමඟ රූකඩ කතන්දර කීමේ ප්‍රාසාංගික කලාව සඳහා යොදා ගෙන ඇත. ඊජිප්තුවේ ඉතා පැරණි සොහොන් ගර්භවලින් ඇත් දළින් සහ මැටිවලින් නිමැයූ රූකඩ සොයා ගෙන ඇත. ග්‍රීක සම්භාව්‍ය යුගයේ ක්‍රි. පූර්ව 422 දී (5 සියවස) ග්‍රීක ඉතිහාසඥ ෂෙනෝෆොන් – දාර්ශනික ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් රචිත ලේඛන මත එකල පැවැති රූකඩ කලාව ගැන මුල් සටහන් හමුවෙයි. ලෝකයේ විවිධ කලාපවල තවමත් අඛණ්ඩ ව පාරම්පරික රූකඩ කලාව ප්‍රකාශන මාධ්‍යයක් ලෙස භාවිත කරයි. චීනය – ජපානය – ඉන්දියාව – ජාවා – තුර්කිය – යුරෝපය අතීතයේ සිට තවමත් රූකඩ කලාව සෞන්දර්ය ප්‍රකාශනයක් ලෙස භාවිත කරයි. ජපානයේ බුන්රකු ඉමබර්නම රූකඩ කලාව ෂින්ටෝ ආගමික ස්ථානයන් හි චාරිත්‍ර ඉටුකිරීම සඳහා යොදා ගනී. වියට්නාමය ජාත්‍යන්තර අවධානයට යොමු වූ ජල රූකඩ කලාව සඳහා ලීයෙන් තැනූ රූප යොදාගනී.

වසර සිය ගණනකට පෙර, දියෙන් පිරී ගිය කුඹුරුවල ජල රූකඩ සංදර්ශන ඉදිරිපත් කළේය. එමෙන් ම චීනයේ සහ ඉන්දුනීසියාවේ දූපත්වල සෙවණැලි රූකඩ කලාව – උතුරු අමෙරිකාවේ ස්වදේශික රතු අමෙරිකානු රූකඩ කලාව ද ඉතා පැරණිය. අප්‍රිකාවේ ආගමික උත්සව සඳහා රූකඩ සහ වෙස්මුහුණු යොදා ගැනීම ඈත අතීතයේ සිට දක්නට ලැබෙයි. මධ්‍යතන යුගයේ ඉතාලියේ ක්‍රිස්තියානි දේවස්ථානවල අතින් හසුරවන නූල් රූකඩ (marionette) යොදා ගෙන ඇත. 16 වන සියවසේ විලියම් ශේක්ෂ්පියර් සිය නාට්‍ය නිෂ්පාදන සඳහා රූකඩ සහ වෙස්මුහුණු යොදා ගත්තේය.

ලෝකය පුරා විවිධ රූකඩ නිර්මාණ දක්නට ලැබෙයි. නූල් රූකඩ (string puppet) අත් රූකඩ (hand and glove puppet), සෙවණැලි රූකඩ (shadow puppet) දඬු රූකඩ (rod puppet) යෝධ රූකඩ (giant puppet), වෙස්මුහුණු රූකඩ, (mask puppet), ඇඟිලි රූකඩ (finger puppet), ජල රූකඩ (water puppet) වශයෙන් එම නිර්මාණ වර්ග කළ හැක.

වර්තමානයේ ටෙලිවිෂනය සහ අන්තර්ජාලය සඳහා Animation muppet මෆට් ඉතා උසස් ලෙස භාවිත කරයි.

ලෝක සංස්කෘතික උරුමයක් කිසියම් සංස්කෘතියක ඈත අතීතයේ සිට අඛණ්ඩ ව රැකගත් ස්පර්ශ කළ නොහැකි මානව නිර්මාණ අංගයන් අස්පර්ෂ සංස්කෘතික උරුමයන් Intangible cultural heritage යැයි හැඳින්වෙයි. සමාජ වටිනාකම් සහ අර්ථකථන මෙම සංකල්පයට අයත්වෙයි. එමෙන් ම සමාජ අගයන් වූ සම්ප්‍රදාය සහ චාරිත්‍ර – සමාජ භාවිතයන් ලෙස සෞන්දර්යය සහ ආත්මීය විශ්වාස – කලාත්මක ප්‍රකාශන වූ භාෂාව සහ මානව හැසිරීම් රටා අයත් සමස්ත සමාජ ජීවිතය එමගින් නිරූපණය වෙයි. අස්පර්ෂ කලා උරුමයන් ලෙස ජන කලා – වාචික ඉතිහාසය සහ ජන භාෂා සංරක්ෂණය මෙහි මූලික පර්මාර්ථයයි.

1972 වසරේ යුනෙස්කෝ මහ සභාව ලෝක සංස්කෘතික සහ ස්වභාවික උරුමයන් සංරක්ෂණය සඳහා නීති සම්පාදනය කළේය. ඉන්පසු 2011 එය ක්‍රියාවට නඟමින් ලෝක උරුම 936ක් ප්‍රකාශයට පත් කළේය. රාජ්‍යයන් 153 කට අයත් භූ කලාපවල සංස්කෘතික උරුමයන් 725 ක්, ස්වභාවික උරුමයන් 183 ක් සහ මිශ්‍ර ස්ථාන 28 ක් ලෝක උරුමයන් යැයි නම් කළේය. තවද යුනෙස්කෝ භූගත සංස්කෘතික උරුමයන් රැකගැනීම වෙනුවෙන් ද නව නීති පනවා ඇත.

මානව කණ්ඩායම් ඈත අතීතයේ සිට අඛණ්ඩව වාචික ව රැක ගත් උසස් නිර්මාණ මානව සංස්කෘතියේ අග්‍රඵලයක් යැයි හඳුනාගෙන ඇත. සෑම සංස්කෘතික උරුමයක් ම මූලික මානව අයිතීන් මගින් ආරක්ෂා වෙයි. අස්පර්ෂ සංකෘතික උරුමයන් ලෙස අසල්වැසි ඉන්දියාවේ ජන කලා සමූහයක් යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලේඛනයට ඇතුළත් කර ඇත.

ඉන්දියානු රාජස්තාන ප්‍රාන්තයේ කල්බෙලියා Kalbelia ගොත්‍රික ජන කණ්ඩායම නයි නටවන්නන් යැයි හැඳින්වූ ව ද ඔවූහු කල්බේලියා සංගීතයේ සහ මට්කු නර්ථනයේ අති දක්ෂයෝය. ඔඩිසාව – ජාර්කාන්ද් සහ බටහිර බෙන්ගාලයේ පායිකු paiku නිර්ත්‍ය හෙවත් ගෝත්‍රික යුද නර්ථනය (chhau) චාවු චයිත්‍රා පර්වා (chaitra parva) උත්සව සමයේ රඟ දැක්වෙයි. එය ශිව දෙවියන් උදෙසා කෙරෙන තාණ්ඩව හැඩයෙන් යුත් උපහාර නර්ථනයකි. ලඩාක් සහ කෂ්මීරයේ මහායාන සහ වජ‍්‍රයාන සංගායනා ඉදිරිපත් කරන ලාමා භික්ෂුව සහ අසන්නා ද බුද්ධියේ අග්‍රඵලය වෙත ළඟාවේ යැයි විශ්වාස කරයි. කණ්ඩායම් විසින් සජ්ඣායනය සහ නර්ථනය ඉදිරිපත් කරනු ලබයි.

මනිපූර් හි වෛෂාණව ජනයා 15 වන සියවසේ ආරම්භ කළ සංකීර්තානා (sankirtana) බෙර නාද සහ නර්ථනය මුසු ආගමික ගායනා ලෝක සංස්කෘතික උරුමයකි. හින්දු ආගමික සම්ප්‍රදායයට අයත් වේද සජ්ඣායනයෙ හි හිංදු දර්ශනය – පුරා කථා – කාව්‍ය සහ සංවාද ඇතුළත් වෙයි. වේදයේ කොටස් හතර වූ සෘග් – යජුර් – සාම – ආතර්ව සූත්‍ර ගායනා මෙම උරුමයට අතුළත්ය. කේරළ ප්‍රාන්තයේ කුටියාට්ටම් (kuttiyattam) සංස්කෘතික නාට්‍යය සහ මුඩියෙට්ටු (Mudiyettu) ආගමික නාට්‍ය පැරණි ජන කලාවන්ය. යුනෙස්කෝ සංවිධානය විසින් ඉහත දැක්වූ සියලු ඉන්දියානු ජන කලා සම්ප්‍රදායයන් ලෝක අස්පර්ෂ සංස්කෘතික උරුම ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ රුකඩ නාට්‍ය කලාව වසර සිය ගණනක ඉතිහාසයක් ඇති ජන කලා උරුමයකි.

ශ්‍රී ලාංකික නූල් රූකඩ නාට්‍ය කලාව ලෝක මානව අස්පර්ෂ සංස්කෘතික උරුමයක් ලෙස 2018 වසරේ යුනෙස්කෝ නියෝජිත ලේඛනයේ සටහන් ව ඇති අතර 2020 වසරේ එය ලෝක සංස්කෘතික උරුමයක් යැයි ප්‍රකාශයට පත් වෙයි. රූකඩ ලීයෙන් (කදුරු) සාදා වර්ණවත් කර නූල් භාවිතයෙන් සහ කලාකරුවකුගේ හැසිරවීමෙන් ප්‍රාසාංගික ව මානව මෙන් ම සත්ත්ව හැසිරීම් ඉදිරිපත් කරන ජන කලාවකි. ග්‍රාමීය ජනයාට එකට හිඳ විනෝදාස්වාදය ලැබීම සහ උපදේශන ලබාදීම මෙම නාට්‍ය කලාවේ පරමාර්ථයයි.

රූකඩ නාට්‍ය මිරිස්ස – අම්බලන්ගොඩ – බලපිටිය වැනි දකුණු වෙරළබඩ පාරම්පරික පවුල් කණ්ඩායම් විසින් ජන කථා – බෞද්ධ ජාතක කථා – ඓතිහාසික කථන සහ සමකාලීන ජන ජීවිතයේ හාස්‍යමය අවස්ථා නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කරන නාඩගම් ලෙස පරිවර්තනය වුයේය. යටත්විජිත යුගයේ මුල් කාලයේ ඇතැම් ලේඛනවල රූකඩ කලාව ගැන සඳහන් වෙයි. 19 වන සියවසේ දි අම්බලන්ගොඩ පොඩිසිරිනා කලාකරුවාගේ මෙහෙයවිම යටතේ දක්ෂිණලංකා රූකඩ සංගමය නව ජවයක් ලැබ රූකඩ නාට්‍ය ශිල්පය සංවර්ධනය කළේය. ඉන්පසු පරම්පරා කීපයක කලාකරුවෝ රූකඩ නාට්‍ය කලාව පෝෂණය කරමින් ඉතා උසස් ජන කලාවක් ලෙස ජනප්‍රිය කළහ. වර්තමානයේ එම පරම්පරාවට අයත් ගම්වාරි ප්‍රේමින් කලාකරුවා නූල් රූකඩ නාට්‍ය කලාවට දේශීය සහ අන්තර්ජාතික අවධානය ලබාගැනීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියාකරයි.

ලීයෙන් තැනූ රූප නූල් යොදා ගනිමින් රූකඩ ශිල්පීයා විසින් එහි චලන අවශ්‍යතාව මත හසුරවයි. පිළිගත් නියමයන්ට අනුව සමස්ත හැඩතල සිරස් ව සහ තිරස් ව හැසිරවීමට නූල් නමයක් යොදා ගැනේ. ආරම්භයේ රූකඩ හැසිරවීම සංකීරණ ගැටලුවක් වූ අතර 19 වන සියවසේ දී මානව හැසිරීම් රටා අනුකරණය සඳහා නව තාක්ෂණික ක්‍රමවේද සංවර්ධනය කර බ්‍රිතාන්‍ය රූකඩ නිර්මාණකරුවකු වූ තෝමස් හොල්ඩන් ඉතා පහසු ක්‍රම හඳුන්වා දුන්නේය. 20 සියවසේ දී බොහෝ මානව සහ සත්ත්ව ක්‍රියාකාරකම් අනුකරණය කිරීමේ හැකියාව නූල් රූකඩ කලාව අත්පත් කරගත්තේය. මානව කලා නිර්මාණයක් වූ අජීවී රූකඩයක් සජීවීකරණය කොට එයට ජීවමාන ස්වරූපයක් ආලේපනය කිරීමට ශිල්පීයාට විශේෂ පුහුණුවක් සහ මනා ශික්ෂණයක් සහිත අත්දැකීම් අවශ්‍ය වෙයි. මනස සහ දෑත් යන්ත්‍රයක් මෙන් කාලයේ රිද්මයට අනුව ක්‍රියාකරමින් වේදිකාව මත චරිතාංගයක් නිර්මාණය කරයි. එම චරිත රංගනය අපූර්ව රිද්මයකට අනුව හැඩගැසීමෙන් ප්‍රේක්ෂකයාගේ රසවින්දනය ප්‍රබෝධ කරයි.

රූකඩ චරිතාංග

කාලය සහ අවකාශය අතර සිදුවන පොදු එකඟතාව නිසා රූප චලනය සහ රිද්මය මානව පරිකල්පනයේ සෞන්දර්යාත්මක ප්‍රකාශනයකි. රූකඩය ස්වභාවිකත්වය අනුකරණය කිරීමට වෙහෙස දැරූව ද එය කිසිවිටක ස්වභාවිකත්වයට සමාන නොවෙයි. එහෙත් ස්වභාවිකත්වය ඉක්මවා යමින් සිය හැසිරීම සාධාරණය කිරීමට වෙහෙසෙයි. රූකඩ චරිතාංග හැසිරීම් ස්වභාවිකත්වයට අනුකූල නොවූව ද චරිතාංගවලට විශේෂ වූ රිද්ම රටා සහ විචිත්‍රත්වය ප්‍රෙක්ෂකයාගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වෙයි. නූල් රූකඩ මෙන් ම වර්මානයේ ශ්‍රී ලංකාවේ අත් රූකඩ සුලෝචනා දිසානායක, යෝධ රූකඩ අමරදාස හීනුක්වැව, ඇඟිලි රූකඩ විජයසිංහ කංකානම්ගේ සහ සෙවණැලි රූකඩ කෝසල ප්‍රියංම්කර යන නිර්මාණකරුවන්ගේ කැපවීම මත පවත්වාගෙන යාම අගය කළ යුතු කාර්යයකි.

බෙල්ජියමේ රූකඩවල අත් සහ පාද, මෙහෙයවන්නාගේ ක්‍රියාකාරකම් මත නියාමනය නොවෙයි. එය නිදැල්ලේ චලනය වීමෙන් අපූර්ව රිද්මයක් බිහි වෙයි. රාජස්තාන රූකඩවල පාද නොමැත. දිගු ඇඳුම් මගින් පාද ආවරණය වෙයි. බොහෝ රූකඩ හසුරවන්නන් සැඟව සිය මෙහෙවර ඉටු කළ ද ප්‍රේක්ෂකයා එය අවබෝධ කර ගෙන සිටියි. යෝධ රූකඩ හසුරවන්නා ප්‍රේක්ෂකයාට පෙනෙන පරිදි සිය කාර්යය ඉටුකරන අතර ඔහු විසින් මවන චරිතාංගයේ අපූර්වත්වය නිසා ප්‍රේක්ෂකයා එම මායාව වින්දනය කරයි. රූකඩ ජන නාට්‍ය කලාවකි. වෙනස්කම් මත කාලාන­ුරූපීව වැඩීයමින් ජන රසාස්වාදය ප්‍රබෝධනය කරන රූකඩ කලාව මානව උරුමයක් ලෙස රැකගැනීම ඉතා උසස් සමාජ සංස්කෘතික මෙහෙවරකි.

ආචාර්ය සුනිල් රණසිංහ
(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More