පුරවැසි කොලම

20 වැනි වතාවටත් සංශෝධනය වූ 1978 ව්‍යවස්ථාව වෙනුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කතාබහක් ඇතිවූ වෙලාවක් මේ?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙනවා කියන එක අරුම පුදුම දෙයක් නෙවෙයි. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැත්තෑ වතාවක් විතර සංශෝධනය වෙලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විය යුතුයි. සංශෝධනය විය යුත්තේ රටේ ජාතික අභිලාෂවලට අනුකූලව මිස දේශපාලන පක්ෂවල බල අභිලාෂවලට අනුව නෙවෙයි. තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට හරි, විරුද්ධවාදීන්ට දඬුවම් කිරීමට ප්‍රතිපාදන හැදීමට හෝ විරුද්ධවාදීන් දේශපාලනිකව අඩපණ කරන්න හරි ඔවුන්ගේ දේශපාලන අයිතිය ව්‍යවස්ථානුකූලව නැති කිරීම වැනි පටු අභිලාෂවලින් සංශෝධනය කිරීම තමයි ගැටලුව. ව්‍යවස්ථා සංශෝධන විය යුත්තේ ඇයිද කියන කාරණය පැහැදිලි කර ගනිමු.

ලෝකයේ මේ වන විට ඉතා වේගයෙන් ආර්ථිකය වෙනස් වෙනවා. සෝවියට් ආකෘතිය කඩා වැටුණට පසුව ආර්ථික වෙනස්කම් වෙන්නේ බොහොම වේගයකින්. ඒකට සාපේක්ෂව දේශපාලන වෙනස්කම් වෙන්නෙත් බොහොම වේගයකින්. මිනිසුන්ගේ පරිභෝජන රටාව, ආකල්ප, අයිතීන් පිළිබඳව සාකච්ඡාව මේ සියලු දේ වේගයෙන් වෙනස් වෙනවා. වෙනස්වීමට සාපේක්ෂව ව්‍යවස්ථාවේ නොගැළපෙන තැන්, සංශෝධනය කිරීම සහ අලුත් කොටස් එකතු කිරීම කියන එක භාර ගන්න පුළුවන් කාරණයක්.

අපේ රට තුළ ඔය කියන කාරණා ව්‍යවස්ථා සංශෝධනයට බලපානවාද?

බොහෝ දුරට අපි වගේ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සිදුවෙන්නේ, ඔය කියන කාරණාවලට එහා ගිය සහ එතරම් පුළුල් නැති හරයාත්මක වශයෙන් ගැඹුරක් නැති, බල දේශපාලන අරමුණු එක්ක. තමාගේ දේශපාලන කර්මාන්තය රැක ගැනීම, බලයට පත්වන දුර්වල ආණ්ඩුවල බලය ස්ථාවර කර ගැනීම වැනි අරමුණු ඔස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ මුළුමනින්ම පරිච්ඡින්න කිරීම කියන කාරණා ආචාරධර්මානුකූලව ඒ තරම්ම අගය කළ හැකි දෙයක් නෙවෙයි. 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවටත් ඒක අදාළයි එතකොට.

මේ මොහොතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අවශ්‍ය නැහැ කියලද ඔබ කියන්නේ?

මම එහෙම කියන්නේ නැහැ. හොඳ ව්‍යවස්ථාවක් හදාගන්න ඕනෑ. 1978 ව්‍යවස්ථාව කියන්නේ හදිසියේ සම්පාදනය කර හදිසියේ සම්මත කරගත් ව්‍යවස්ථාවක්. 78 සම්මත කරගන්නෙම හදිසි නීති රෙගුලාසි යටතේ. ව්‍යවස්ථාව හදිසි නීතිය රෙගුලාසි යටතේ සම්මත කරගන්නවා නම් ඒ ව්‍යවස්ථාවේ ජනසම්මතවාදය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. 78 ව්‍යවස්ථාවේ යුක්ති යුක්තතාව තියෙන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ අතීත කාමය සහ අනාගත බලාපොරොත්තු මතයි.

ජයවර්ධන ජනාධිපති කියන්නේ දේශපාලනය මුල් කරගත් කෙනකු නෙවෙයි. ආර්ථිකය මුල් කරගත් අයෙක්. ඔහු හැම වෙලාවෙම රට දිහා බැලුවේ ආර්ථිකය මුල් කරගෙනයි. ඔහුට අවශ්‍ය වුණේ ආර්ථිකයට කරදර නොකරන දේශපාලන ක්‍රමයක්. 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ගේන්නේ ආර්ථිකය ස්ථාවර වුණොත් දේශපාලනය ස්ථාවර වනවා කියන සමීකරණය මත හිඳගෙන මිස දේශපාලනය ස්ථාවර කරන්න නම් ආර්ථිකය ස්ථාවර කළ යුතුයි කියන ස්ථාවරයේ සිට නෙවෙයි. ආර්ථිකය මුල් කරගත් ව්‍යවස්ථාවකදී දේශපාලන ප්‍රතිමාන, වටිනාකම්, දේශපාලන ආචාර ධර්ම, නියෝජනය, ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්ත යනාදී කරුණු ද්විතීයිකයි. එතකොට ජනාධිපති ආණ්ඩුක්‍රමයේ නෙවෙයි ප්‍රශ්නය තියෙන්නේ. ජනාධිපති ආණ්ඩුක්‍රමය ස්ථාපනය කළේ කවර අරමුණකින්ද කියන එකයි. අරමුණ ජයවර්ධනගේ නව ලිබරල්වාදී ආර්ථික අරමුණයි. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ගැටලු තියෙනවා.

එසේ නම් කළ යුතු වන්නේ කුමක් කියලද ඔබ හිතන්නේ?

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් ජනාධිපතිවරයාගේ බලතල වැඩි නම් ජනාධිපතිවරයාට මුක්තිය තිබෙනවා නම් ආයතන ස්වාධීන නැත්නම් ඒ සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මිස අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින්ම කළ යුතුයි කියලා මම හිතන්නේ නැහැ.
1978 ව්‍යවස්ථාව මුළුමනින්ම අයින් කර නව ව්‍යවස්ථාවක් හදනවා නම් එය දේශපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය අරමුණු කරගත් එකක් විය යුතුයි.
රටේ මූලික ආර්ථික, සමාජයීය, දේශපාලන ගැටලු සඳහා වන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන තිබිය යුතුයි. දේශපාලන රාමුවේදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව රජයේ ස්වභාවය පිළිබඳව බලය අභ්‍යාස කිරීම පිළිබඳව රටක සියලු ජනයා සම්බන්ධ කර ගැනීම පිළිබඳ වැඩපිළිවෙළවල් යනාදිය තිබිය යුතුයි. මේවා සහිතව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී ජනාධිපති ආණ්ඩුක්‍රමය කියන එක සාතන් කෙනකු නැතිනම් යක්ෂයකු නෙවෙයි. ප්‍රංශයේ, ඇමෙරිකාවේ තියෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රම.

එසේ නම් ගැටලුව තියෙන්නේ කොහේද?

මෑත කාලීන උදාහරණ ටිකක් ගත්තොත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කාලයේ පැවැති මහා භීෂණය, බටලන්ද, වවුල්කැලේ සිදුවීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නෙවෙයි. රතුපස්වල, කටුනායක, මීගමුව සිදුවීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක්ද? මේ ආණ්ඩු කාලයේ මීතොටමුල්ල, සාලාව, සාමසර කන්ද සිදුවීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක්ද?
මේ සියලු දේ වැසීමේ කැලෑ ඇඳුමක් විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතිකාවතක් මතු කරලා තියෙනවා බලෙන්. හැබැයි මිනිසුන්ට ඒක වදින්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව හරි අසරණයි. මාධ්‍යවලින් මේ ගැන බරපතළ සාකච්ඡා නැහැ. ජනතාවගේත් දෛනික සාකච්ඡාවල ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡාවක් නැහැ. මූලික වශයෙන් මේ ආණ්ඩුව උත්සාහ කරනවා මේ සාකච්ඡාව ලංකාවේ අංක එකේ සාකච්ඡාව බවට පත් කරන්න.

ජනාධිපති ක්‍රමය ගැනත් විශාල කතාබහක් ඇති වෙලා තියෙන්නේ?

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගෙන එන බරපතළ විවේචය වනාහීි මේ රට පාලනය කරපු සහ පාලනය කරන අයට පහසුකම් සපයන බල ලෝභී බුද්ධිමතුන්ගේ ව්‍යාජ මවාපෑමක්. ඔවුන් කියනවා හැම ප්‍රශ්නයකටම මුල විධායක ජනාධිපති ක්‍රමය කියලා. අපේ ව්‍යවස්ථාවේ ‘විධායක ජනාධිපති’ ධුරය කියලා ධුරයක් කොහේවත් නැහැ. තියෙන්නේ ජනාධිපතිගේ බලතල කියලයි. මම විශ්වාස කරන්නේ මේ රටට ගැළපෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියන එක.

පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයක් ලෙසයි සැලකෙන්නේ?

පාර්ලිමේන්තුව පිළිබඳ සංකේතාත්මකව එහි ගන්නා තීරණ උත්තරීතරයි කියන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවේ ගුණාත්මක බව පිළිබඳ ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන්ද? පසුගිය කාලයේ මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පාර්ලිමේන්තුව විසින් ගත් තීන්දු තීරණ මොනවාද? ඒකෙන් පේන්නේ අපේ පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති සම්පාදන ආයතනයක් විදියට දුප්පත් කියන එකයි. ඒ නිසා විය යුතු නිවැරැදි දේ ව්‍යවස්ථා සම්පාදක බලය පාර්ලිමේන්තුවට නොදී ඉන්න එක. ව්‍යවස්ථාවක් ජනතාව විසින් ඉන් පිටතදී සම්පාදනය කරගත යුතුයි. පාර්ලිමේන්තුවට ක්‍රියාත්මක කිරීමේ බලය දිය යුතුයි. පාර්ලිමේන්තුව ගුණාත්මක කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය අනිසි විදියට ක්‍රියාත්මක වනවා නම් ඒවා නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි.

මේ මොහොතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවෙන්නේ ඔය කාරණා මත කියලා ඔබ කීවාට විපක්ෂය කියන්නේ මේ හදන්නෙ රට බෙදන ව්‍යවස්ථාවක් ගේන්නෙ කියලයි. මෙතන තියෙන්නේ බල වුවමනාවක් නේද?

ඔබ හරි. මේ අවස්ථාවේ බල දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්න අය ව්‍යවස්ථා සම්පාදනය හෝ එසේ නොකිරීම සම්බන්ධ කරන කතා අනිවාර්යයෙන්ම තමන්ගේ බල දේශපාලන වුවමනා වෙනුවෙන් කරන කතායි. එදා සොල්බරි ව්‍යවස්ථාවෙන් යෝජනා කළ උත්තරීතර මන්ත්‍රි මණ්ඩලය අහෝසි කළ අය අද උත්තර මන්ත්‍රී මණ්ඩලය අවශ්‍යයි කියනවා ජනාධිපතිගේ බලය අඩු කරන්න කියලා. ඒ දෙකම කියන්නේ එකම කට්ටිය. ජනාධිපතිගේ බලය අඩු කිරීමට ගෙනාපු පැකේජය පාර්ලිමේන්තුවේදී ගිනි තියනවා. ගිනි තියපු අය අද බලය බෙදීම ගැන සාකච්ඡාවක් ගෙනාවා. විපක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ආණ්ඩුව සියලු දෙනාම ගහන්නේ එකම බෙරයට. එන්නෙත් එකම හඬ. ඔවුන් සියලු දෙනාගේ අරමුණ එකයි. උණසන්නිපාතයට බේත උණසන්නිපාතය නෙවෙයි. වාර්ගික ප්‍රශ්නයට දෙන්න හදන්නේ වාර්ගික උත්තරයක්. ඒකෙන් දෙමළ ජාතිකවාදය එක මට්ටමකට සැනසෙන කොට සිංහල, මුස්ලිම් ජාතිකවාදය ඇවිස්සෙන්න පටන් ගන්නවා. සිංහල ජාතිකවාදය සැනසෙන්න පටන් ගත්තොත් අනිත් ජාතිකවාදය ඇවිස්සෙනවා. වාර්ගික ගැටුම විරසකය නැති කරන්න නම් වාර්ගික නොවන විසඳුමක් අවශ්‍යයි කියලා අපි පිළිගන්න ඕනෑ. මේ අර්බුදයේ මූලයන් සොයාගෙන ගියොත් ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය, සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න තියනවා. උතුරේ දෙමළ ජනයාගේ ඇත්ත ප්‍රශ්නය තුල පීඩනය ඒ ප්‍රශ්න සංස්කෘතිකයි. ඒකීය, ෆෙඩරල් කියන එක අමතකර කර මේ සාධක තුනට උත්තර දෙන්න අවශ්‍යයි.

හාමුදුරුවරු කියන කාරණය අපේ සමාජයේ මඟ හරින්න බැරි සාධකයක්. දේශපාලනික වශයෙන් ජන බලයද සඟ ඔවදනද වඩා වැදගත් වන්නේ?

ඔය කියන කාරණය සම්මිශ්‍රිතයි. සංස්කෘතිය කියන්නේ දේවල්වල එකතුවක් මිස එකින් එක ගලවා වෙන් කරපු එකක් නෙවෙයි. ආගම කියන එක දේශපාලනයට සම්බන්ධ වෙන එක ඓතිහාසික ක්‍රියාවලියක්. සියලු දේශපාලන පක්ෂ භික්ෂුන් වහන්සේ තම සහායක බලවේගයක් විදිහට යොදා ගන්නවා.
හින්දු මුස්ලිම් පූජකයන් දේශපාලනයට සම්බන්ධ වෙන ප්‍රමාණය අඩුයි. මේ රටේ දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී මේ සංස්කෘතික සාධකය නොසලකා හරින්න බැහැ. ආගම්වාදය ප්‍රතික්ෂේප කරනවා නම් ඇයි ජාතිවාදය ප්‍රතික්ෂේප කරන්න බැරි? මේ දෙකම එකම කාසියේ දෙපැත්තනේ.

බුද්ධාගමට මුල් තැන දිය යුතුයි කියන එකත් එක පාර්ශ්වයක ජනප්‍රිය මාතෘකාවක් වෙලා?

බුද්ධාගමට මුල් තැන දිය යුතුයි කියන තැන මාත් ඉන්නවා. එයින් අදහස් වෙන්නේ නැහැ භික්ෂුන්ට මුල්තැන දිය යුතුයි කියලා. බෞද්ධ රටක් නිසා බුදු දහමට මුල් තැන දිය යුතුයි කියන තැන හිඳිමින් නෙවෙයි කියන්නේ. ලෝකයේ මෙතෙක් බිහිවූ දැවැන්තම විමුක්තිවාදී දර්ශනය බෞද්ධ දර්ශනය කියන තැන හිඳිමිනුයි.

අවසාන වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඔබ කියන්නේ මොකද්ද?

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවාදය අතිශයින්ම පටු දේශපාලන දඬු අඬුවක හිරවෙලා තියෙන්නේ. ඒකට මෛත්‍රිපාලට සහාය දුන් බුද්ධිමතුන් වගකිව යුතුයි. ඒකට හේතුව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පුළුල් බුද්ධිමය කතිකාවතක් බවට පත් කරන්නට ඔවුන් අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසා ව්‍යවස්ථා විවාදයට ඉතාමත්ම ගැඹුරු බුද්ධිමය මැදිහත්වීමක් මේ මොහොතේ අවශ්‍යයි.

රසිකා හේමමාලි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨා ජනාධිපති වුණොත් බයවන පිරිසක් – ඩලස් (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ...


Read More

කෝටි 5000 ක බිල් අමාත්‍යාංශයේ හිරවෙයි.. ගෙවන්න සල්ලි නෑ… සජිත්ගේ මැතිවරණ පොරොන්දු පුස්සක් වෙයි

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත්...


Read More

ප්ලොට්-ටෙලෝ දැඩි තීරණයක සජිත් නිසා දෙමළ සන්ධානය දෙකඩ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍ර...


Read More