දේශීය පුවත්

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අමතා යවන ලද ලිපියක් මගින් මහින්ද රාජපක්ෂ මහතා බෙදුම්වාදී මර උගුලකට තල්ලු නොකරන ලෙස ඉල්ලා ඇත.

දකුණේ ජනතාවගේ කැමැත්ත ඇතිව උතුරට දේශපාලන විසඳුමක් ලබාදිය හැක්කේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයට එරෙහිව එම ලිපිය යවා ඇත.

ගරු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා,
ජනමාධ්‍ය අමාත්‍යාංශය,
ගරු අමාත්‍ය තුමනි,

දකුණේ ජනතාවගේ කැමැත්තෙන් උතුරේ ප්‍රශ්නයට විසඳුමක් දිය හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාවරයා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මාධ්‍ය වෙත කරුණු ලැබූ ඉහත සඳහන් ප්‍රකාශය මතුපිටින් අහිංසක සාමාන්‍ය දේශපාලන කතාවක් ලෙස පෙනේ. එහෙත් එම ප්‍රකාශය පිටුපස ගැබ්වන අර්ථය හේතු කිහිපයක් නිසා ඉතා භයානක වේ. ඒවා මෙසේ සංක්ෂිප්තව දැක්විය හැක.

01. උතුරේ ප්‍රශ්නය විසඳීම ලෙස යුද්ධය පැවති කාලයේ දී පමණක් නොව ඊට පසුව ද ර්අ ථ ගැන්වෙන්නේ සැබෑ ලෙසම ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳීම නොවේ. ඒ මගින් අවධාරණය කෙරෙන්නේ ඊනියා දේශපාලන විසඳුමක් හෙවත් ව්‍යවස්ථාමය විසඳුමක් පිළිබඳවය. ඒ විසඳුම අන් කිසිවක් නොව බෙදුම්වාදී දේශපාලනඥයන්ගේ ප්‍රධානතම ඉල්ලීම වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීමයි. එය උතුරේ පොදු ජනතාවගේ ඉල්ලීමක් හෝ උවමනාවක් නොව බෙදුම්වාදී බලවේග විසින් ඒ ජනතාව මත පටවන්නකි. ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව ප්‍රමුඛ සියලු දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග විසින් පසුගිය රජයට බල කරනු ලැබුවේ එම විසඳුම ලබා දෙන ලෙසට ය. එම බලපෑම මැතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා වෙතද එල්ල වන බවට සැකයක් නැත.

02. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ සිටම බෙදුම් වාදී රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන උපායමාර් ගික ප්‍රවේශයක් වූයේ උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඉදිරිපත් කරන ව්‍යවස්ථාමය විසඳුමට දකුණේ ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට නම් එම විසඳුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂයක් මඟින් ඉදිරිපත් කළ යුතු බවය. ඔවුන් එදා චන්ද්‍රිකා මැතිනිය කෙරෙහි විශ්වාසය තැබුවේ එම පදනමිනි. දැන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් දකුණේ ජනතාවගේ සහාය ලබාගෙන උතුරට දේශපාලන විසඳුම ලබා දිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් යැයි පවසන විට අපට සිහිවන්නේ බෙදුම්වාදීන්ගේ එම උපාය මාර් ගික ප්‍රවේශය මිස වෙන කුමක්ද?

03. මීට පෙර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඒකාබද්ධ විපක්ෂයේ නමින් කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන යෝජනාවක් මගින් 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීමට එරෙහිව පවතින ප්‍රධාන බාධකයක් වන සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කළ යුතු බවට ඉල්ලා සිටින ලදි. එම ඉල්ලීම බෙදුම්වාදී බලවේග වල ප්‍රධාන ඉල්ලීමකි.

04. 2015 අගෝස්තු පාර් ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශයට සූක්ෂමව 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කරන බවට පොරොන්දුවක් ඇතුල් කිරීමට යම් බලවේග සමත් විය. ඒ තුළින් පවා ප්‍රකට වන්නේ මහින්ද රාජපක්ෂ මහතා එම උගුලට තල්ලු කිරීම සඳහා යම් බල බලවේගයක් සූක්ෂමව ක්‍රියාත්මක වන බවය.

මෙම කරුණු අධ්‍යයනය කිරීමේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම්වත්ව හෝ එසේ නොමැතිව කරන ලද ප්‍රකාශයේ බරපතළකම වටහා ගැනීම අපහසු නැත. බොහෝ විට උතුරේ ජනතාවගේ ඡන්ද ලබාගැනීමේ උවමනාව මත බෙදුම්වාදී බලවේග සතුටු කිරීම සඳහා දකුණේ දේශපාලනඥයින් විසින් එවැනි ප්‍රකාශ කිරීමට පෙලඹෙන බවට වාදයක් නැත. එහෙත් උතුරේ බෙදුම්වාදී දේශපාලකයන් ඉල්ලන දේ සහ ජනතාවගේ අපේක්ෂා අතර බරපතළ ගැටුමක් තිබෙන බවද දකුණේ දේශපාලකයන් තේරුම් ගන්නේ නැත.
පසුගිය ප පළාත් පාලන මැතිවරණයේදී ටී.එන්ඒ පක්ෂයේ බෙදුම්වාදී ප්‍රතිපත්ති වලට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ උතුරේ ජනතාවගෙන් 34% පමණි. එනම් 66%ක් ඔවුන්ගේ මතය හෝ ඉල්ලීම් පිළිගන්නේ නැත. එහෙත් දකුණේ දේශපාලනඥයින් කල්පනා කරන්නේ බෙදුම්වාදී දේශපාලනඥයින් නැමැති ‘කපුවා’ සතුටු කිරීමෙන් තොරව ජනතාව නැමති ‘දෙවියා’ ආමන්ත්‍රණය කළ නොහැකි බවය. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාද එසේ කල්පනා කරන්නෙකු බවට උපකල්පනය කිරීමේ වරදක් නැත. ඒ නිසා අප එතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ වැරදි මතවාද මත පිහිටා බෙදුම්වාදී මර උගුලකට මහින්ද රාජපක්ෂ මහතා තල්ලු නොකරන ලෙසය. එසේම අවසාන වශයෙන් කිව යුත්තේ උතුරේ ජනතාවට හෝ වෙනත් කුමන හෝ සුළු ජනකොටසකට සමාන අයිතිවාසිකම් ලබාදීමට මේ රටේ මහාසංඝ රත්නය හෝ ජාතික බලවේගය විරුද්ධ නොවන බවය. ඔබතුමා බෙදුම්වාදී දේශපාලනඥයන්ට කප්පම් දීම වෙනුවට ජනතාවට සමානාත්මතා පදනමින් අයිතිවාසිකම් පිළිබඳ කතා කරන්නේ නම් අපි ඔබතුමා සමඟ අත්වැල් බැඳ ගන්නා බවද සඳහන් කරමු.

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැදවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව.

පිටපත් – අතිගරු ජනාධිපතිතුමා
– අතිගරු අගමැතිතුමා
– සියලු මාධ්‍ය ආයතන



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාප නායකත්වයෙන් නව සන්ධානයක්… ලකුණ දියමන්තිය

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ...


Read More

TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන – මහින්ද (Video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවස...


Read More

මෛත්‍රී – මහින්ද සමගියට ගැහුවොත් අපිත් ගහනවා – ජාතික සංවිධාන

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිවයින පුවත්පතට සහපාය තිබූ ලිපියක් පිළිබඳ අදහස් විමසීමේදී ඒ මහතා එසේ සදහන් ක...


Read More