මුහුණු පොතෙන්

අම්පාර, පොතුවිල, පානම මාර්ගයේ පානමට සැතපුම් කීපයක් මෙපිටින් මෙම බොදු පුදබිම පිහිටා ඇත. පොතුවිල නගරයේ සිට පානම දක්වා වැටෙන මාර්ගයේ ශාස්ත්‍රවෙල පොලිස් විශේෂ කාර්‍යබලකා කඳවුරට පිවිසෙන ස්ථානයේ සිට කඳවුර පසුකොට මුහුද දෙසට කි.මී. 1 ක් පමණ ගිය විට මෙම පුද බිම වෙත ලඟාවිය හැක. විහාරයට උතුරින් හා ඊසාන දිශාවට වන්නට හැඩඔය නැගෙනහිර මුහුදට පිවිසෙන අතර එම ස්ථානයේ දර්ශනීය පර්වතයක් ද, මෝය ට උතුරට වන්නට ඉතා මනරම් වෙරළතීරයක් ද මෙහි වෙයි.

මෙම ස්ථානයේ ඇති පූජනීය ස්මාරක කොටස් 3 කට බෙදා දැක්විය හැක. ඒ,
1. මුහුදට ආසන්නව පිහිටි පව්වේ නටඹුන්
2. කන්දේ නටඹුන් හා
3. පර්වතය පාමුල පිහිටි නටඹුන් යනුවෙනි.

මෙහි මුහුදට යාවී පිහිටි ප්‍රධාන පර්වතයේ (කන්දේ සිට ) කි.මි. 0.5 ක් පමණ දුරින් පිහිටි පව්ව පළමුව සලකා බැලීම වටී. ලංකාවේ ඇති දර්ශණීයම ස්ථාන වලින් එකක් ලෙසට මෙය හැඳින්විය හැක. පව්ව පාමුල මුහුද ඉතා ගැඹුරු වෙයි. ගල් කුළු බහුල මෙම ස්ථානයේ පිහිටි උස්ම වූ ගල් කුළ මත තවත් ගල් කුළක් පිහිටා ඇත. මේය ඇසුරුකරගෙන උතුරු දිශාවට පිහිටන ලෙස සෑදුන ලෙණක් වෙයි. එය කටාරම් කොටවා ඇතූතයේදී බිත්තිද බැඳ තිබී ඇත. ඒවායෙහි ගඩොළු ලෙණ තුලත් පහලින් පිහිටි වෙරල තීරයේත් විසිරී ඇත. ස්වාභාවික දේශගුණික විපර්යාස නිසා කටාරමට යටින් පිහිටි ලිපිය විනාශවී ගොස් ඇත. මේ ලෙණේ සිට පර්වතය මුදුනට නැගීමට පටු කපොල්ලකින් රිංගා යායුතු වෙයි. එහි පර්වතයේම නෙලනා ලද කුඩා පියගැට 4 කි. මෙහි රිංගා යාම පහසු වීම සඳහා අතීතයේදීම කරවා ඇත. එය “ගල් උගුල” නමින් හැඳින්වෙයි. එයින් ගොස් පර්වතය මතට නැගුන විට හාත්පස ගොඩබිමත් සමුද්‍රයත් මනස්කාන්ත ලෙස දර්ශනය වෙයි. පර්වතය මුදුනේ වට අඩි 30 ක් පමණ වන අඩි 8 ක් පමණ උස් වූ ගඩොළු ගොඩැල්ලකි. නිසැකවම ස්ථූපයක ශේෂයන් වෙයි. මෙතැන සිට තවත් මීටර 250ක් පමණ උතුරට ගිය විට ගැඩඔයෙහි තවත් අත්තක් වන සින්නඩි කෝසුව මුහුදට පිවිසෙන ස්ථානය හමුවෙයි. මෙය මුදුනේද ගොඩනැගිළි දෙකක හා ජල කෙමක ශේෂ වෙයි. එහිද මුහුදට හා කෝසුවට යාව මිටි ගල්තලාවක් වෙයි. පර්වතයේ සිට කෝසුවට බැසීමට කළ පුළුල් පියගැටපෙළකි. පියගැටයක දිග අඩි 3 ක් පමණ වෙයි. දැනට මෙහි පියගැට 50 ක් පමණ වෙයි. පියගැට පෙළ සඳහා කරවා තිබූ අත්වැටක කණු සිටවූ තව් වල ශේෂ තවමත් දක්නට ලැබෙයි. මේ ස්ථාන 2 ම විහාර මහා දේවිය ගොඩබට ලංකා විහාරය ලෙසට හඳුන්වනු ලබයි.

කන්දේ පිහිටි නටඹුන් සලකා බලන විට, මෙහි පිහිටි දිගටි කඳු වැටිය පහන් කන්ද, පහන් කන්ද හෙළ යන නම් වලින් හඳුන්වනු ලබයි. කන්ද එක් අන්තයකින් දෙකට බෙදී පටු නිම්නයක් ඇතිවී ඇත. එහි මුදනත්, නැගෙනහිර බෑවුමත් ඇසුරුකරගෙන මුළුමුනින්ම නටඹුන් පිහිටා ඇත. කන්දේ ගල්ලෙණ් 10 ක් පමණ ඇත. මේවා කටාරම් කොටවා ඇත. ඉන් එක් ලෙණක් බුදුමැදුරක් බවට පත්කොට ඇත. ලෙණ ඉදිරිපසින් බැම්ම බැඳ පියස්සක් සවිකොට තිබූ බව බැම්මේ ශේෂ හා ගල්කණු හතරින් තහවුරු වෙයි. ලෙණ් විහාරයේ ප්‍රධාන බුදු පිළිමය සම්පූර්ණයෙන්ම ගඩොළු සැකිල්ලකි. දැනටත් එය ඔත්පිළිමයක සැලසුමකට පිහිටා නොවිසරී තිබීම පුදුමයකි. එහි සායම් හෝ කපරාරු කිසිත් දක්නට නොමැත. එහෙන් ලෙණ් වහල බිතේ අඳනා ලද පැරණි චිත්‍රවල රේඛා සටහන් තවමත් ශේෂ වී ඇත. මේ අතරින් තවමත් යන්තමින් හඳුනාගත හැකි දේවතා රූප වෙයි. විහාර ලෙණට යාව තවත් ලෙණකි. එහි පැරණි බිත්තියක ශේෂ වූ 6’4” x 5’3” ප්‍රමාණ කොටසක් දැනට ඇත. වනසතුන්ගේ නවාතැන්වීම නිසා මේ ශේෂද සීඝ්‍රව විනාශ වෙමින් පවතී. මෙහි කන්දේ ඇති සෑම ගල් කුළක් මතම ස්ථූප දක්නට ලැබෙන අතර දැනට ස්ථූප් 22 ක් පමණ හඳුනාගෙන ඇත. සියල්ලම හාරා විනාශකොට ඇතත් ශේෂ ස්ථූප ආකාර පෙන්වයි. කන්දේ ස්ථාන කීපයකම විශාල බැම්මවල් බැඳීමෙන් සකසන ලද අංගන වල හා ගොඩනැගිළිවල ශේෂ දක්නට ලැබෙයි. මෙහි යටත් පිරිසෙන් ගොඩනැගිළි 18 ක් වත් තිබූ බව පෙනේ. මින් එක් ගොඩනැගිල්ලකට අයත් වන කැටයම් සහිත කුළුණු කීපයක් ම වෙයි. එහි පාදම් බැම්ම ගැලවී ඇති බැවින් ගොඩනැගිල්ලට අයත් කොටස් පර්වතය බෑවුමට පෙරලී ඇත. මෙහි කැසිකිළි ගලක් ද දක්නට ලැබෙන අතර ගොඩනැගිල්ල පධානඝරයක් හෝ උපෝසථාගාරයක් විය යුතු බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මත පල කරයි. කන්ද මුදුනම කොටසේ පිහිටි විශාල පර්වතයක් ඇසුරු කර ඇති විශාල ලෙණකි. එය අඩි 160 ක් පමණ දිගය. මෙහිද ඉදිරිපස බැම්මක් බැඳ අංගණය සාදා ලෙණ කටාරම් කොටා බිත්ති බැඳ මනාව සකස්කොට තිබූ බව පෙනේ. මෙහි ක්‍රි. ව. 1 වන සියවසට අයත් සෙල්ලිපියක් ද දක්නට ලැබෙයි. කන්ද මුදුනට යාමට අතීතයේදී සකසන ලද මාර්ගයක් තිබී ඇත. පැති බැමි බඳිමින් පස් පුරවා සකසා තිබූ එම මග දැන් සේදී ගොස් ඇත. තැන තැන පර්වත වල නෙලනා ලද පියගැට 20 ක් පමණ මෙහි වෙයි. කන්දේ බටහිර පැත්තේ බෑවුම් කොටසේ තිබූ විශාල මගක ශේෂද තවමත් දක්නට ලැබෙයි. එම මහ අසල විශාල ස්ථුප ගොඩැල්ලකි. මෙය අඩි 60 ක් පමණ උස්වන අතර වට අඩි 501 ක් පමණ වෙයි. එය මැදින් වලක් කැන ඇත. කුඩා කඳු ගැටයස් සේ දිස්වන මෙම ස්ථූපය මේ ප්‍රදේශයේ දී හමුවන ස්ථූප අතරින් නීලඟිරි සෑයටම පමනක් දෙවැනි වෙයි. ශ්‍රාස්ත්‍රවෙල කන්දේ තද බෑවුම නැගෙනහිර හා ඊසාන දිශාවට බරව පිහිටයි. මේ බෑවුමේ සිට මුහුද තෙක් විහිදෙනුයේ තැනිතලාවකි. එහෙත් කන්ද පාමුල සිට මුහුද තෙක්ම කුඩා පර්වත රාශියක් ම පිහිටයි.

මෑත යුගයේ තනන ලද ආවාස කුටිය හා ධර්ම ශාලාව ඉතස සඳහන් කළ කොටසේ ගල් තලාවක් පාමුල ඉදිකොට ඇත. මෙහි ප්‍රධාන ගල් තලාව මුදුනේ කිසියම් ගොනැගිල්ලකට අයත් සුළු ශේෂයන් ස්වල්පයක් දැකිය හැක. ඒවා අතර අටැස් කුළුණු මුල්ගල් 2 කි. මෙහි වූ ගොඩනැගිල්ල තුල ආසනයක් වූ බව පෙනෙයි. එතැන සිට පහතට බැසීමට නෙලන ලද පියගැට පෙළ දෙකකි. ඉන් දිගම පියගැටපෙළෙහි පියගැට 49 කි. මෙම ස්ථානයාරියවංශ සූත්‍ර දේශණාව පැවැත්වූ තැනක් හැටියට සැලකීමට පුළුවන. ඉහත කී ගල් තලාව කෙලවරට වන්නට ගරා වැටුණ විශාල ස්ථූපයක මුදුනේ ගස් වැවී ශේෂ වූ කොටස් ද පුපුරා ගොස් ඇත. මෙම සෑයද නිදන් හොරුන් සාරා විනාශ කොට ඇත. මෙහි ගඩොළු 10” x 20” x 3” පමණ වෙයි. එක් පසෙක පමණක් මලසුන් ගෙයක් නිබූ බවට ලකුණු දක්නට ලැබෙයි. ස්ථූපයට පහල පර්වතයේ ගල් කෙමක් දක්නට ලැබෙයි. මේ හැර හඳුනානොගත් ස්මාරකවල ශේෂ මෙහි සෑම තැනම විසිරී ඇත. මෙහි සෙල්ලිපි 3 කි. එකක් ලෙන් ලිපියකි. එය පුරාවිද්‍යා චක්‍රවර්ථී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් සොයගන්නා ලදි. එයින් කියැවෙන්නෙ බුධරඛිත තෙර, නගය, උපාසික බගුය, දෙව පුත, තිණිඛිත, සපතික, යන අය මහා සංඝයාට ලෙණක් පූජාකළ බවයි. අනෙක් ලිපි දෙක පර්වත ලිපි වෙයි. මින් එකක් හඳුනාගත නොහැකි තරමටම ගෙවීගොස්ය. අනෙක් ලිපියේ වචන කීපයක් හැර සෙසු කොටස කියවිය හැක. එහි දෙවන ගමිණි නගරජු (මහා සිළු මහතිස්) ගේ මුණුපුරු පුඩකණ ගමිණි අභයගේ (කුටකණ්ණ තිස්ස ) පුත්‍ර ‘නක මහ රජ’ (මහාදාඨික මහානාග ) විසින් ‘බොහොගිරි නක පවතෙහි’ (බෝධිගිරි නාග පබ්බතයේ) තම විහාරයෙහි සංඝයාට කරන ලද ඉඩම් හා ආධායම් පූජාවක් පිළිඹඳ සඳහන් වෙයි.

මේ පුදබිම ශ්‍රාස්ත්‍රවෙල ලෙස හැඳින්වෙතත් එය මෑත යෙදුන ව්‍යවහාරයක් බව පෙනේ. මේ නටඹුන් පෙදෙසටම සම්භන්ධ විශාල වෙල්යායක් වෙයි. එය ශ්‍රාස්ත්‍රවෙල, රාත්‍රවෙල යන නම් වලින් හැඳින්වෙයි. මෙම වෙල කෙලවර වන්නේ හැඩඔය ඉවුරෙනි. විහාරයේ වැඩවිසූ රහතන් වහන්සේලා මෙම ඔයෙන් පැන් සැනහීමට නිතර පැමිණෙන බැවින් රහතුන් යන වෙල නමින් රහත් වෙල විය. එය ව්‍යවහාරයේදී රාත්‍රවෙල, ශ්‍රාස්ත්‍රවෙල වූයේ යැ‍යි කියණු ලැබේ. මෙහි ඇති පර්වත ලිපියේ “බොහොගිරි නක පවතහි විහරහි” යන යෙදුම අනුව ස්ථානයේ ඓතිහාසික නාමය “බෝධිගිරි නාග පබ්බත විහාරය” බව පෙනේ. මෙබඳු විහාරයක් ගැන කෙලින්ම වංශකතා වල සඳහන් වී නොමැත. එහෙත් මහා දාඨික මහානාග රජු කාලායතන කණ්ණිකාවේ මනිනාග පබ්බත නම් විහාරයක් කරවූ බව මහාවංශයේ සඳහන් වෙයි. මේ ගැන තවත් විස්තර කරන මහාවංශ ටීකාව, කාළායණ කණ්ණිකාව රෝහණයේ පිහිටි බව පවසයි. පහන්කන්ද හෙළේ පුරාවස්තු පිළිඹඳ තොරතුරු මුළින්ම ඉදිරිපත් කළ සී. ඩබ්. නිකලස් මහතා මෙකී මණිනාග පබ්බත විහාර ශ්‍රාස්ත්‍රවෙල විහාරයම විය යුතු බව පැහැදිළි කලේය. පර්වත ලිපියේ ‘බොහොගිරි නග පවත’ නම සඳහන් වෙයි. එය පෙළබසින් බොධිගිරි නාග පබ්බත යන්න බව පැහැදිළිය.

බෝධිගිරි යන්න ඇතිවූයේ මන්දැයි යන්න අපැහැදිළිය. මුලින් එම නමින් හඳුන්වන ලදුව මහාදාඨික මහානාග රජුගේ කර්මාණ්තවලින් පසු නාග පබ්බත යන්න එක්කරන ලදැයි සැලකීමටද පුළුවන. මෙහි ඇති ලෙන කර්මාණ්ත හා සමහර ස්ථූප 1 වන සියවසට වඩා පැරණි වෙයි. එයින් පෙනීයන්නෙ මෙම ස්ථානයේ ආරම්භකයා දාඨික මහානාග රජු නොවන බවයි. කෙසේ වෙතත් මහාවංශයේ සඳහන් වන නාමයේත් සෙල්ලිපියේ සඳහන් වන නාමයේත් වෙනසක් තිබේ. “මණිනාග පබ්බත”, “බෝධිගිරි පබ්බත” යන දෙක එක කොට බලන විට එය පැහැදිළිවෙයි. පළමු වැන්නෙ “මණි” යන කොටස දෙවැන්නේ “ගිරි” වෙනුවට යෙදුණි දැයි විමසිය යුත්තකි. මණි සඳ පෙළ බසින් මහ කලුගල් අරුත් හි ද වැටෙයි. එවිට සාමාන‍යයෙන් “මණි” “ගිරි” දෙ සද සම අරුත් දැනවෙයි. මෙලෙස විනි නම් එහි තවත් අරුතක් ඇත. ශ්‍රාස්ත්‍රවෙලට කි.මී. 15 ක් පමණ දුරින් යාල වනයේ පුදබිමක් “නග පවත” නමින් හඳුන්වා ඇත. එය මහානාග යුව රජු විසින් ඉදිකරවූ නාග පබ්බත විහාරය බව ඇතැමුන් පවසයි. මෙසේ හෙයින් මෙම පුදබිම් දෙක වෙන්කොට හඳුනාගැනීමට “මණි” යන යෙදුම් යෙදුවා වන්නටද ඉඩක් ඇත. ශ්‍රාස්ත්‍රවෙල විහාරයේ නටඹුන් යුග කීපයකට අයත් වන බව පෙනේ. ලෙන් කර්මාණ්තය මුලින් ද, ඒ අතරම ස්ථූප කීපයක් ද කරවා ඇත. පසුව බුදුමැදුරු ලෙණ සකස් වන්නට ඇත. චිත්‍රද ඒ අතර ඇඳුණු අතර එම චිත්‍ර මත නැවත චිත්‍ර ඇඳුණු බවක් පෙනේ. බොහෝවිට කලාත්මක ගොඩනැගිලි එයට පසුව ඉදිකෙරෙන්නට ඇත. සමස්ථ වශයෙන් මෙහි ඉතා දියුණු ආරාමික සංකීර්ණයක් පැවත ඇත. සියවස් ගණනක් වල් බිහිව පැවති මේ පුදබිම 1970 දී පමණ භික්ෂු වාසයක් වුවද ත්‍රස්ථ ක්‍රියාකාරකම් නිසා අතැර දමන ලදි. දැන් නැවතත් භික්ෂූන් වහන්සේලා මෙහි වැඩවසයි.

උපුටා ගැනීම් –
නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම: බැසිල් ඉස්සර වීම ගැන අමරවීරගේ නිවසේ සාකච්ඡාවක්

බැසිල් රාජපක්ෂ මහතාගේ බල කිරීම මත අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සාමාජිකත්වය ලබා ලබාගැනීම පිළිබ...


Read More

මැතිවරණ කොමිසම අවුල් කිරීමේ එජාප අන්තිම තුරුම්පුවට සැරසේ

මැතිවරණ කොමිසන් සභාව සාමාජිකයන් තිදෙනෙකකුගෙන් සමන්විත වන අතර ව්‍යවස්ථාදායක සභාව විසින් එහි නියෝජිතයන් පත් කරනු ලබයි. මෙකි තත්වය තුළ ය...


Read More

රනිල් – සජිත් ගල උඩ සටන ඇරඹෙයි..

හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ...


Read More