පුරවැසි කොලම

”විනයෝනාම ශාසනස්ස ආයු” විනය යනු ශාසනයේ ආයුෂයයි යන්න බුද්ධ වචනයක් නොවුණත් එය සත්‍යයකි. ඒ නිසාම ඉතිහාසය පුරාම ථෙරවාදී භික්ෂූන් වහන්සේ බුද්ධ විනයට අනුගතව ක‍්‍රියා කිරීමට උත්සාහ දැරූහ. බුද්ධ වචනය පිරිසුදුව සුරක්ෂිත වීමට අදාළ වූ ප‍්‍රථම ධර්ම සංගයනා මෙන්ම දෙවැනි හා තුන්වැනි ධර්ම සංගායනා පවත්වා ඇත්තේ විනය කරුණු පදනම් කරගෙනයි. මහාවග්ග පාළි, චුල්ලවග්ගපාළි, පාරාජිකාපාළි, පාචිත්තියපාළි, හා පරවාරපාළි යනුවෙන් විනය පිටකයට අයත් ග‍්‍රන්ථ පහකි. එම ග‍්‍රන්ථ පහේම ඇතුළත් සියලූම විනය ශික්ෂා පද එනම් මාතෘකා සංග‍්‍රහ කොට ප‍්‍රාතිමෝක්ෂය නමැති කෘතිය සකස් කර ඇත. වර්තමානයේ ථෙරවාදී භික්ෂූන් වහන්සේලා විනය කර්ම කිරීමේදී එනම් බුද්ධ විනයට අනුව කටයුතු කිරීමේදී භාවිතා කරනුයේ එම ප‍්‍රාතිමෝක්ෂයයි. කංඛාවිකරණී නමින් බුද්ධඝෝස අටුවාචාර්යයන් විසින් එම ප‍්‍රාතිමෝක්ෂයට අටුවාවක්ද රචනාකර ඇත. පොළොන්නරු යුගයේ වැඩවිසූ මහපඬිවරයකු වන සාරිපුත්ත සංඝරාජයන් විසින් විනයෙහි සඳහන් සැක ඇතිවිය හැකි තැන් විස්තර කරමින් ”පාලි මුත්තක විනය විණිච්ඡ්ය සංග‍්‍රහ” නමින් ඉතා වැදගත් ග‍්‍රන්ථයයක් රචනා කරනු ලැබ ඇත. එම සංඝරාජයන්ගේ ශිෂ්‍ය වූ වාචිස්සර මහාසාමී හිමියන් විසින් විනය විනිච්ඡ්ය සංග‍්‍රහ කෘතියට ටීකාවක්ද ලියා ඇත.

ඉහතින් දැක්වූ විනය ග‍්‍රන්ථ පරිශීලනය කරමින් වර්තමානයට ගැලපෙන සංඝාධිකරණ පනතක් හෝ භික්ෂු කතිකාවතක් සකස් කර ගැනීම ධර්ම විනයධර භික්ෂූන් වහන්සේලා විසින් කළයුතු හා කළ හැකි දෙයකි. භික්ෂූන් වහන්සේ පාලනය කිරීම සඳහා කතිකාවතක් හෝ නීති සකස් කිරීමට ආණ්ඩුවට හෝ ගිහියන්ට බාර නොදිය යුතුය. උගත් ගිහියන් මෙන්ම ආණ්ඩුවද හැම විටම උත්සාහ දරන්නේ භික්ෂු සංඝයාගේ යහපැවැත්ම හා ආරක්ෂාව සැලසීමට නොව උන්වහන්සේ පාලනය කිරීම සඳහා කටයුතු කිරීමටයි. කිසියම් උගත්කමක් තිබුණත් ශ‍්‍රද්ධාව නොමැතිකම නිසා උගතුන්ගෙන් මෙන්ම දේශපාලකයන්ගෙන්ද භික්ෂු සංඝයාගේ යහපැවැත්ම හා ආරක්ෂාව සැලසීම උදෙසා කටයුතු යෙදීමක් අපේක්ෂා කළ නොහැක. රට හෝ ජනතාව ගැන නොසිතා බලය හා ධනය ගැන සිතා කටයුතු කරන දේශපාලකයන්ට භික්ෂූන් වහන්සේ බෙදී දුර්වල වී සිටි තරමට ඔවුන්ගේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට හැකිය. උපාධි ලබා රැකියා කිරීමට මිස ස්වකීය ජීවිත ධර්මානුකූලව හැඩගස්වා ගැනීමට බුදුදහම යොදා නොගන්නා අශ‍්‍රද්ධාවන්ත ගිහි උගතුන්ගෙන්ද භික්ෂු සංඝයාගේ යහපැවැත්ම හා ආරක්ෂාව උදෙසා කිසිවක් බලාපොරොත්තු විය නොහැක. ඒ බව භික්ෂූන් වහන්සේද මැනවින් වටහා ගත යුතුව ඇත. එසේ වටහා නොගන්නා විට තමන්ගේ තරම නොදන්නා භික්ෂූන් වහන්සේද පාලකයන්ට හා උගතුන්ට ගැතිකම් කිරීම නිරායාසයෙන් සිදුවන්නකි.

පෙර සැදැහැවත් හා ධර්මය දැන සිටි රජවරු භික්ෂු සංඝයාගේ සමගිය හා යහපත පිණිස කටයුතු කර ඇත. පොළොන්නරු යුගයේ විසූ මහ පැරකුම්බාවන් හා දඹදෙණි යුගයේ විසු දෙවැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු යන රජවරුන්ගේ ක‍්‍රියාකලාපයන් ඊට නිදසුන්ය පෙළොන්නරු කතිකාවත හා දඹදෙණි කතිකාවත සැකසීමට එම රජවරුන්ගේ පූර්ණ අනුග‍්‍රහය ලැබුණි. මහ පැරකුම්බා රජුගේ කාලය වන විට භික්ෂු සංඝයා මහා විහාරික, අභයගිරික හා ජේතවනික යනුවෙන් නිකාය තුනකට බෙදී සිටියහ. එම

අසමගිය නැති කොට භික්ෂූ සංඝයා සමගි කිරීමට රජතුමාට බලවත් ඕනෑකමක් තිබුණි. එතුමා භික්ෂූන් වහන්සේට පවා විනය ඉගැන්වීමට තරම් විනය දැනුමක් තිබුණ කෙනෙකි. ශ‍්‍රද්ධාව මුල්කර ගත් ශාසනමාමක හැඟීම් ද එතුමන් තුළ තිබුණි. භික්ෂු සමගිය ඇති කිරීම සඳහා එවකට සියලූ භික්ෂූන්ගේ ගෞරවයට පාත‍්‍රව වැඩසිටි දිඹුලාගල කාශ්‍යප මහ ස්වාමීන්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් ධර්ම විනයධර භික්ෂූන්ගේ සාකච්ඡා සභාවක් පිහිටවූ රජතුමා කටයුතු නිසියාකාරව සිදුවෙනවා දැයි අධීක්ෂණය කිරීමට වෙස්වලා ගෙන එම සාකච්ඡා මණ්ඩපය තුළ උපස්ථායකයකු ලෙස ක‍්‍රියාකළේය. එම වැඩපිළිවෙළේ අවසාන ප‍්‍රතිඵලය වූයේ පොළොන්නරු කතිකාවත සකස් වීම හා තුන්නිකා එක්නිකා කොට එකම මහාවිහාරික භික්ෂු සම්ප‍්‍රදායක් තහවරුවීමයි.

භික්ෂු සංඝයාගේ සමගිය හා යහපත පිණිස එදා රජුන් ක‍්‍රියාකළා සේ අදත් පාලකයන් ක‍්‍රියාකළ යුතු යැයි කවුරුන් හෝ සිතතොත් එය බරපතළ වරදකි. කුමක් හෙයින් ද යත් එදා රජුන්ට මෙන් ශ‍්‍රද්ධාවක් හෝ ධර්ම විනය දැනුමක් අද පාලකයන්ට නොමැති අතර ඔවුන්ට අවශ්‍යව ඇත්තේ රට දැය සමය සුරැකීම නොව හුදු බලය පමණක් රැක ගැනීම නිසයි. මෙම සත්‍යය අන් කවරකුටත් වඩා හොඳින් භික්ෂූන් වහන්සේ විශේෂයෙන් භික්ෂු නායකත්වය වටහාගත යුතුය. එසේ නොමැති විට පාලකයන් භික්ෂූන් හමුවට ගොස් කපටි කෛරාටික වචන පාවිච්චි කර භික්ෂූන් රවටා තම අභිමතය අනුව භික්ෂූන් පාලනය කිරීමට අවශ්‍ය මග හදා ගැනීමට අවශ්‍ය ක‍්‍රියා කරනු ඇත. ලැබෙන ආරංචි අනුව දැනටමත් එය සිදුවෙමින් පවතී. ඒ නිසා කිසිදු භික්ෂුවක් දේශපාලකයන්ගේ රැවටිලි බස්වලට අසු නොවීමට වග බලා ගත යුතුය. මිනිසුන්ගේ පමණක් නොව දෙවියන්ගේද වැඳුම් ලබන භික්ෂුව දේශපාලකයන් හා උගතුන් ඉදිරියේ නොසැලී තම අභිමානය රැකගෙන ක‍්‍රියාකිරීම භික්ෂු සංඝයාගේ යහ පැවැත්ම හා ආරක්ෂාව සඳහා මහත්සේ උපකාරී වන්නකි.

පසුගිය වසරේද රජය විසින් සම්පාදනය කළ භික්ෂු කතිකාවතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට උත්සාහ ගත් අවස්ථාවෙහි අධිකරණමය ක‍්‍රියාමාර්ගයක් මගින් එය වළක්වා ගැනීමට හැකි විය. මෙවර භික්ෂු නායකත්වයේ ද අනුමැතිය ඇතිව යළිත් වරක් භික්ෂූන් පාලනය කිරීම සඳහා කතිකාවතක් සම්මත කර ගැනීමට උත්සාහයක යෙදෙන බවට කරුණු වාර්තාවෙයි. ඊට ඉඩදී බලා සිටිය හොත් භික්ෂු සංඝයාගේ යහ පැවැත්ම හා ආරක්ෂාව කෙසේ වෙතත් පාලකයන්ට අවශ්‍ය පරිදි භික්ෂූන් දඩයම් කිරීමට මග හදාගනු ඇත. වර්තමාන භික්ෂු නායකත්වය එවැන්නකට ඉඩ දී බලා සිටිය හොත් උන්වහන්සේලා වර්තමාන මෙන්ම අනාගත භික්ෂු සංඝයාගේ දෝශ දර්ශනයට මෙන්ම සාපයට ද ලක් වනු ඇත.

බුදුදහමෙහි උගන්වන මූලික සිද්ධාන්තය නම් අතහැරීම පුරුදු කිරීමයි. දානය හෙවත් දන්දීම කරනුයේ ද ඒ සඳහාය බුදු දහමෙන් අපේක්ෂිත නිවන අවබෝධ කර ගැනීම සඳහා සියල්ල අත්හළ යුතුය. සියලූම බෞද්ධයන් විසින් එම පිළිවෙත අනුගමනය කළ යුතුය. භික්ෂූන් ගැන කියනුම කවරේද. දැනට පවතින විහාර දේවාලගම් ආඥා පනතට අනුව භික්ෂූන් වහන්සේ නමක් අපවත්වූ විට උන්වහන්සේ සතුව පැවැති පෞද්ගලික දේපළ ද විහාරස්ථානයට අයිතිවේ. අපට ලැබෙන තොරතුරුවලට අනුව ඇතැම් භික්ෂූන් වහන්සේලා ඊට එරෙහිව තමන් සතු දේපළ තමන්ට අභිමත කෙනකුට අයිති වීමට ඉඩ සැලසිය යුතු බව ප‍්‍රකාශකර ඇත. එය භික්ෂූත්වයට නෙහොබිනා දෙයකි. භික්ෂූන් වහන්සේ කෙනකු ලෙස තමන් සතුව පවතින දේ පිළිබඳව ආදාහනග‍්‍රාහී නොවී සිතීමට උවහන්සේට හැකිවිය යුතුය. ඇතැම් විට දැන උගත්කම් ඇති භික්ෂූන් භික්ෂූත්වයේ ස්වභාවය හා වැදගත්කම නොදැන ක‍්‍රියාකිරීම නිසා එවන් භික්ෂූන්ගේ ක‍්‍රියා කලාපයන් උන්වහන්සේට පමණක් නොව භික්ෂූ ශාසනයටද අහිතකරවනු ඇත.

”සුඛා සංඝස්ස සාමග්ගි” සංඝයාගේ සමඟිය සැපදායකයි යන බුද්ධ වචනයට අනුව සංඝයා නිකාය වශයෙන් නොබෙදී එකම සඟ පිරිසක් ලෙස’’ කටයුතු කරන්නේ නම් එම සමඟිය මහත් බලයක් වේ. එය සංඝයාට මෙන්ම ජනතාවටද සැපදායක වන්නකි වර්තමානයේ ශ‍්‍රී ලංකාව තුළ පවතින නිකාය භේදය බුද්ධ වචනයටද අනුගත නොවන වැදගැම්මකට නැති දෙයකි එයින් සිදුවන එකම දෙය නම් භික්ෂූන් බෙදී සිටිමයි. ඒ ඒ නිකාය හා පාර්ශවයන් තුළ ලබාගත හැකි මහානායක, අනුනායක, අධිකරණ නායක හා නායක පදවි ලබා ගැනීමේ අපේක්ෂාව මත බොහෝ භික්ෂූන් බෙදී සිටීමට කැමැති වෙති. තනතුරු අපේක්ෂාවෙන් තොරව සංඝයාගේ සමඟිය හා බලය ගැන සිතතොත් සියලූ දෙනා වහන්සේට නිකාය බේදයකින් තොරව එකම සඟ පිරිසක් ලෙස ක‍්‍රියා කළ හැකිය. එය රටට හා සමාජයට ද මහත් ආශීර්වාදයක් වනු ඇත. එසේ එක්විය නොහැකි නම් සියලූ දෙනා වහන්සේට ආදාළව එකම භික්ෂු කතිකාවතක් සකස්කර ගැනීමට හෝ භික්ෂූන් වහන්සේලා ක‍්‍රියාකළ යුතුව ඇත. එය ද ගිහියන්ට නොපවරා ධර්ම විනයධර භික්ෂූන් වහන්සේලා විසින්ම කළ යුතු දෙයකි. එය භික්ෂූ සංඝයාගේ යහ පැවැත්ම හා අනාගත ආරක්ෂාව සැලසීම පිණිසද හේතුවනු ඇත.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම්
ජාතික හිමිකම් සංවිධානයේ සභාපති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

2020 දී සජිත්ද? කරුද? එජාප ප්‍රබලයන් අතර කසුකුසු

2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සඳහා එජාපයේ ප්‍රබලයන් පිරිසක් සාකච්...


Read More

යහපාලන දීගය ගැන වාර්තාවක් ලබන සතියේ මෛත්‍රි අතට

යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කළ කමිටුවේ වාර්තාව එළැඹෙන සති අන්තයේදී...


Read More

භාරකාර ආණ්ඩුව පසෙකට..අය-වැය පරාජය කොට මැතිවරණයකට යාම සදහා මෛත්‍රී-මහින්ද නිල හමුවක්

නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දෙසතිය තුළ මහින්ද රාජපක්ෂ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග...


Read More