පුරවැසි කොලම

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ වහාම ඇඟිල්ල දිගු වූයේ රටේ බුද්ධි අංශ වෙතය. ආණ්ඩුවේම මැති අැමැතිවරුන් පවා කිසිදු වග විභාගයක් සේම ලැජ්ජාවක්ද නොමැතිව බුද්ධි අංශ වෙත චෝදනා කළහ. බුද්ධි අංශ එම චෝදනාවන්ට පිළිතුරු දීමට ඉදිරිපත් නොවුණද, විපක්ෂය මේ චෝදනාවට පිළිතුරු දුන්නේය. බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගැනීම, සිරගත කිරීම නිසා බුද්ධි අංශ කඩා වැටුණු බව විපක්ෂයේ මතය විය. ආණ්ඩුවේ පිළිතුරු වූයේ බුද්ධි අංශ කඩාවැටී නොමැති බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධි අංශ නිලධාරින් හය හත් දෙනකු බවත්, එවැනි සුළු පිරිසක් නොමැති වීම නිසා බුද්ධි අංශ කඩා වැටුණා යැයි කීම විහිළුවක් බවත් ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වූ තර්කය විය. එසේම ආණ්ඩුව වැඩි දුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධකරුවන් කිහිප දෙනකු මිස බුද්ධි අංශ නිලධාරීන් නොවන බවය.

බැලූ බැල්මට ආණ්ඩුවේ තර්කය සාධාරණ හා නිවැරදි බව පෙනී ගියද එය සත්‍ය නොවන බව දන්නේ බුද්ධි අංශ ගැන දන්නා, ඒ හා සම්බන්ධ පිිරිස් පමණකි.
වසර 30 ක් පුරා ජීවිතද, දේපොළද විනාශ කරමින් ඇදී ගිය යුද්ධය නතර කිරීමට බුද්ධි අංශවලින් සිදු වූ මෙහෙය ඉතා වැදගත්ය. කොටි සංවිධානයේ සන්නද්ධ අංශ නායකයාව සිටි කරුණා අම්මාන් එම සංවිධානයෙන් බිඳී යෑම කොටි සංවිධානයේ පරාජයට ප්‍රධාන හේතුවක් බව කවුරුත් පිළිගන්නා නමුත් එහිදී බුද්ධි අංශ කළ කාර්යභාරය බොහෝ දෙනකු දන්නේ නැත.

කරුණා අම්මාන් වෙන්කරන හමුදා බුද්ධි මෙහෙයුමේදී හමුදා බුද්ධි අංශය ක්‍රියාත්මක වූයේ රටේ ආරක්ෂාව ගැන සිතාය. එවකට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එම බුද්ධි මෙහෙයුම් නවත්වන්නට නියෝග කරද්දී එවකට හමුදාපතිව සිටි ජෙනරාල් ලයනල් බලගල්ල බුද්ධි අංශ පැත්ත ගත්තේ මෙය ජාතික අවශ්‍යතාව වෙනුවෙන් කෙරෙන මෙහෙයුමක් නිසාය. එවකට එම මෙහෙයුම් නවත්වන්නට යුද හමුදාපතිවරයා කටයුතු නොකරන නිසා, නැගෙනහිර ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති ලෙස සිටි වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාව ජනාධිපතිනිය විසින් නැගෙනහිරට පිටත් කළේය. මෙම රහසිගත මෙහෙයුම නැවැත්වීමට නොහැකි එකක් බවට පෙන්වා දෙමින් හමුදා බුද්ධි බළකාය එදා කරුණා අම්මාන්ව එල්ටීටීඊයෙන් වෙන්කරගෙන ගල්කිස්සේ ආරක්ෂිත නිවස්නයක් වෙත රැගෙන විත් ලන්ඩනයට රැගෙන යන්නේත් රට වෙනුවෙන් කළ යුතු දෙයක් වූ නිසාය.

එහෙත් අද එලෙස රාජකාරියට මුල්තැන දී සැණින් ඍජු තීන්දු තීරණ ගන්නට හැකියාව ඇති බුද්ධි නිලධාරීන් නැත. පළපුරුදු බුද්ධි අංශ නිලධාරින් සියලු දෙනා එම මෙහෙයුම්වලින් ඉවත්කොට සීසීකඩ යවා ඇත්තේය. බුද්ධි අංශ සම්බන්ධයෙන් ආණ්ඩුව රටට සඟවන සත්‍යය වන්නේ එයයි.

බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බුද්ධි ක්‍රියාකාරීන්ගේ කැපවීම මෙන්ම ඔවුන්ට නිසි නායකත්වයක්ද අවශ්‍යය. ඍජු අණදීමක්ද අවශ්‍යය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව (CHOGM) 2013 දී කොළඹ දී පැවැත් වෙද්දී යුද හමුදාව වෙනම ම බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාවටය. යුද්ධයේදී අාබාධිත තත්ත්වයට පත් වූ සුවිශේෂී අත්දැකීම් ඇති තුන්සියයක් බුද්ධි මෙහෙයුම් සඳහා වෙනම ම තෝරා ගත්තේ අනෙකුත් බුද්ධි අංශවලට අමතරවය. එවකට චෝගම් සමුළුවේ ආරක්ෂාව භාරව පත් කළ මේජර් ජනරාල් සුමේධ පෙරේරා මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවීය.

මාස හතකට කලින් හැදූ මෙම ඒකකයේ සෙබළුන් සූපවේදීන්, ආරක්ෂකයන් උද්‍යාන අලංකාර කරන්නන්, කාමර පිරිසුදු කරන්නන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අදාළව හෝටල් තුළ සේවයට යොදවා තිබුණේ රහසිගතවය. මොවුන් බුද්ධි මෙහෙයුම් සඳහා යෙදවූවන් බව දැන ගත්තේ කිහිප දෙනකු පමණය. එය සාර්ථක වූයේ හෝටල් තුළ සිදුවන සියලු දෑ ගැන එක් තැනකට තොරතුරු රැස් කළ හැකි වූ නිසාය.

එම මෙහෙයුමෙන් පසුවත් ඊට එක් වූ බුද්ධි මෙහෙයුම්වල නිරතවූවන් කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන සොයන්නට යොදා සාර්ථක ප්‍රතිඵල නෙලූවත් වත්මන් රජය පත්වීමත් සමග ඒ සියලු දෙනා යළි මව් රෙජිමේන්තුවලට යවා ඇත. අප රටේ බුද්ධි මෙහෙයුම් සිදුවන්නේ ඒ ආකාරයටය.

බුද්ධි අංශ සම්බන්ධයෙන් දැනට ඇති අනෙක් ප්‍රධාන දුර්වලතාව වන්නේ බුද්ධි අංශ අතර මනා සම්බන්ධීකරණයක් නොවීමය. සියලු බුද්ධි අංශ රහස්‍ය තොරතුරු හුවමාරු කර ගනිමින් ඒකාබද්ධ මෙහෙයුම් කරනු වෙනුවට දැන් ඇත්තේ තනි තනිවම ලකුණු දමා ගැනීමේ මෙහෙයුම් පමණය. ඊට හේතු වී ඇත්තේද අන් කිසිවක් නොව, එවැනි ඒකාබද්ධ වැඩසටහනක් සඳහා වූ සංයුක්ත සැලැස්මක් නොමැති වීමය. එවැනි සැලසුම් සකස් වන්නේ ආණ්ඩුව එවැන්නක් සඳහා ප්‍රමුඛතාව ලබා දී අවශ්‍ය පහසුකම් සලසන්නේ නම් පමණකි. බුද්ධි අංශ නිලධාරීන් හත් දෙනකු අත්අඩංගුවට ගත්තාට බුද්ධි අංශ බිඳ නොවැටුණාට එවැනි සංයුක්ත වැඩපිළිවෙළක් නොමැති වීමෙන්ද බුද්ධි අංශ මෙහෙයුම් බිඳ වැටෙන්නේය.

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය අයිඑස් ත්‍රස්තයන් පිළිබඳ තොරතුරු එක් රැස්කර ගන්නට පටන් ගත්තේ 2013 වසරේ සිටය. එම තොරතුරු ලැබුණේ අයි.එස්. ත්‍රස්තයන්ගේ සංවිධාන ජාලය තුළට රිංගා සිටි බුද්ධි බළකා ක්‍රියාකාරීන් කිහිප දෙනකු මගිනි. ඔවුන්ට සිය මෙහෙයුම් සාර්ථක කරගත හැකි වන්නේ දෙමළ භාෂාව පමණක් නොව අරාබි භාෂාව පවා හැසිරවීමට ඔවුන් සතු වූ හැකියාවය.

එහෙත් බුද්ධි අංශ අතර මනා සම්බන්ධීකරණයක් නොවීම, එවැන්නක් සඳහා ආණ්ඩුවට අවශ්‍යතාවක් නොවීම කරණකොටගෙන බුද්ධි අංශ නිලධාරින් තමන්ගේ ‘ඇඟේ අමාරුවට’ හෝ සොයාගත් තොරතුරු විශ්ලේෂණය කොට අවශ්‍ය පියවර ගන්නට කිසිවකුට අවශ්‍යතාවක් තිබුණේ නැත.

රාජ්‍ය ඔත්තු සේවා ප්‍රධානියා වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඉස්ලාම් අන්තවාදීන් ගැන දුන් බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා වෙත ලබා දී තිබුණද ඉන්පසු සිදුව තිබුණේ තැපැල් කාර්යාලයක කටයුත්ත පමණි. ලිපි හුවමාරුව පමණකි.

2015 න් පසු බුද්ධි අංශයන්ට සිදුව තිබුණේ ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු සම්පාදනයට වඩා දේශපාලනයට අදාළ තොරතුරු සම්පාදනය කරන්නටය. කොටින්ම විරුද්ධ පක්ෂයේ දේශපාලකයන් ගැන ඔත්තු බලන්නටය. බුද්ධි අංශ නිලධාරින් පවසන්නේ රාජ්‍ය ආරක්ෂාවට අදාළ තොරතුරු ඉදිරිපත් කරන විට පවා ආණ්ඩුවේ ප්‍රධානීන් උනන්දු වූයේ එවාට සවන් දීමට නොව තමන්ට විරුද්ධ දේශපාලකයන් ගැන තොරතුරු දැන ගන්නට බවය.

බලවතුන් තම විරුද්ධවාදීන්ගේ පළිකණු වෙත බුද්ධි අංශ යොමු කරමින් සිටියදී ඉස්ලාම් අන්තවාදීන් තම ගේ මුල්ලේම හැදී වැඩුණු බව මේ නායකයන් තවමත් පිළිගන්නට සූදානම් නැත. නැතිනම් ඒ බව නොදන්නා සේ සිටින්නේය.

දවටගහ පල්ලිය කේන්ද්‍ර කරගත් රිල්වාන් සාලි වහබ්වාදය ගැන මෙන්ම මුස්ලිම් අන්තවාදය ගැන බොදුබල සේනාව ඇතුළු සිංහල සංවිධානවලට තොරතුරු දෙමින් දේශපාලනික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව දැන් අනාවරණය වන්නේය.

රිල්වාන් සාලි යනු බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිගේ සොයුරාය. මොවුන්ගේ දවටගහ පල්ලිය කේන්ද්‍ර කරගත් නිකායට තව්හිද් ජමාද් කණ්ඩායම තර්ජනයක් වෙද්දී ඒ ගැන තොරතුරු මුදාහැර තිබුණේය. බෞද්ධ අන්තවාදයක් ඇති බවට පෙන්වා දෙමින් මහනුවරට ගොස් ඡන්ද ගොඩ රැස්කරගන්නට අසාද් සාලිට හැකි වන්නේ සොහොයුරා මගින් වහබ්වාදය ගැන හෙළිකර ගෙන ගිය සූක්ෂ්ම වැඩපිළිවෙළ නිසාය.

2013 දී ඉන්දියාවේ සම්මේලනයකට ගොස් මුස්ලිම් ජනතාව ආයුධ ගත යුතු බවට එරට මාධ්‍යයට ප්‍රකාශ කර අත්අඩංගුවට පත් වූ පසුව වීරයකු වන්නේද මුස්ලිම් ඡන්ද ටික එකතු කරගන්නා සැලසුම් ප්‍රකාරවය.

තමන් අදහන සුෆි නිකායට තර්ජනයක් වූ තව්හිත් ජමාද් ගැන සොයුරා ලවා සිංහල සංවිධානවලට තොරතුරු දෙමින් මුස්ලිම් විරෝධී සටනක් ඇතිකර මුස්ලිම් ජනයාගේ වීරයකු වන්නට කරන සටන ඔහු තවමත් අත්හැර නොමැත.

දැන් සියල්ල හෙළිදරව් වී රට මහා අගාධයකට යමින් සිටියදීත් තවමත් බුද්ධි අංශ හා ආරක්ෂක අංශ නිසි ඉලක්කයක් ඔස්සේ ක්‍රමවත් වැඩපිළිවෙළකින් මෙහෙයවන බවක් දක්නට නැත.

යුද හමුදාවට අත්අඩංගුවට ගැනීමේ බලය ඇතත් ප්‍රශ්න කිරීමේ බලය නැත. මේ නිසා අත්අඩංගුවට ගන්නා සියලු දෙනා භාරදෙන්නට සිදුවන්නේ පොලිසියටය. අරාබි භාෂාව තබා දෙමළ භාෂාවවත් හැසිරවීමට නොහැකි නිසා පොලිසිය කරන්නේ සැක කටයුතු පුද්ගලයන් සේ ඔවුන් ප්‍රශ්න කර මුදාහැරීමය. නැතිනම් කරන්නේ වැල්ලම්පිටිය තඹ කම්හලේ සිද්ධිය මෙන් නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට ලිස්සා යන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමය.

දැන් මේ රටේ බොහෝ දෙනකු කියන්නේ ‘කොටි කොළඹත් බෝම්බ පිපිරෙව්වා. ඒත් මෙහෙම බයක් තිබුණේ නැහැ’’ යනුවෙනි. දෙමාපියන් සති තුනක් තිස්සේ දරුවන් පාසල් එවීමෙන් වැළකී සිටින්නේ මේ බිය නිසාය. ජනතාව එවැනි බියකින් පසුවන්නේ රටේ බුද්ධි අංශ හා ආරක්ෂක අංශ භාරව සිටින මේ අන්දමන්ද තත්ත්වය දන්නා බැවිනි. එම තත්ත්වය වෙනස් නොකර රූපවාහිනී කැමරාව ඉදිරියට පැමිණ ‘‘ආරක්ෂාව තියෙනවා’’ යැයි කී පමණින් සියල්ල යථා තත්ත්වයට පත්වන්නේ නැත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“අපේක්ෂාවේ අපේක්ෂකයා” ප්‍රකාශයට පත් කිරීම අද (18) ගෝල්ෆේස් පිටියේදී

ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුර වන ජාත...


Read More

රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා සමඟ සන්ධානගතවීමට සිහින දකින්නන්ගේ සිහින බිඳීම සිංහලයාගේ පරම යුතුකමක් – ජාතික සංවිධාන කියයි.

ජාතික පුවත්පත් වලට ලිපියක් සපයමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා වැනි වහබ්බාදීන් සමඟ සංධානගතවී ඡන...


Read More

ශ්‍රීලනිප බලය චන්ද්‍රිකා අතට – මූලස්ථානයේ කාමරයකුත් වෙන්කර ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කොට යළි ගොඩනැඟීමේ වගකීම තමන් භාර ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක කුමාරතුංග මහත්මිය පක්ෂ...


Read More