පුරවැසි කොලම

පසු ගිය දිනවල පුංචි ඡන්ද වේදිකාවේ රඟදැක්වූ ප්‍රධාන නාඩගම බවට පත්වූයේ බැදුම්කර මගඩියයි. ඒ මඟින් රටේ ජනතාව මුහුණ දෙන සෙසු බරපතළ ගැටලු පිළිබඳ සංවාදය යටපත් වූ බව පැහැදිලි ව පෙනුනි. බැඳුම්කර සංවාදයට ප්‍රධාන දායකත්වය සැපවූයේ එම මගඩියට වගකිව යුතු පාර්ශ්ව විසිනි. එනම් ආණ්ඩුවේ පාර්ශව දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයයි. ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් යම් පමණකට ඝෝෂා නැගූවද ඔවුන් විසින් රඟ දැක්වූයේ ප්‍රේක්ෂකයාගේ භූමිකාව පමණි. වේදිකාවට නැග ප්‍රබල භූමිකාවක්වක් අත්පත් කරගැනීමට ඔවුන් උනන්දුව දැකිවූයේ නැත. පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලීම් හැර වෙනත් ප්‍රභල විරෝධයක් ඔවුන් විසින් දැක්වූයේ නැත.

වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අසුන් ගන්නා විනිසුරුවරුන් දෙදෙනෙකු විසින් ලබාදුන් වාර්තාවක් පිළිබඳව තවදුරටත් පාර්ලිමේන්තුවේදී විවාද කිරීමේ අවශ්‍යතාවක් තිබේද? විමර්ශන කොමිෂන් සභා නීතිය අනුව ඊට ඉදිරි ඉදිරිපත් වන සාක්ෂි මත සෘජුව නඩු පැවරීමේ හැකියාව ඇත. දැන් සිදුවිය යුත්තේ මහජන ඇස් ඉදිරියේ වැරදිකරුවන් වී ඇති බැදුම්කර මගඩියේ මහ මොළකරැවන්ට විරුද්ධව නඩු පැවරීමය. නමුත් සිදුවන්නේ ඊට ප්‍රති විරුද්ධ දෙයකි එනම් කොමිසමේ සාක්ෂි මෙහෙය වූ දක්ෂ නිලධාරීන් නඩු පැවරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීම සහ මෝරැන් නිදැල්ලේ සිටියදී හාල් මැස්සන්ට එරෙහිව නඩු පැවරීමය.

එසේ වුවත් ඒකාබද්ධ විපක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ පාර්ශව දෙක විසින් රග දැක්වූ ව්‍යාජ රංගනයට එරෙහිව ප්‍රේක්ෂකාගාරයේ සිට රටට දැනෙන විරෝධයක් පළ කළේ නැත. මැතිවරණයට ඉදිරිපත් වන 9000ක් වන අපේක්ෂකයින් තවත් එක් සගයෙක් සමග කොළඹට කැඳවුවත් ආණ්ඩුවේ ව්‍යාජ ඝෝෂාව යටපත් වන විරෝධතාවයක් පලකිරීමේ හැකියාව තිබුණි. පළමු වටයේදීම බැඳුම්කර වංචාව යටපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවාහැර ඩිව් ගුණසේකර වාර්තාව නිශේධනය කළ ජනාධිපතිවරයාට එම වරද නිවැරදි කිරීමට සමාජයෙන් බලපෑමක් එල්ල වූයේ නැත. ඒ වෙනුවට එතුමාට වීරයාගේ චරිතය රඟපෑමට අවස්ථාව උදාවී ඇත. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තාවකාලිකව හෝ වගකීම් වලින් නිදහස් කිරීමෙන් තොරව ජනාධිපතිවරයා කියන ආකාරයට ඔහුගේ උදව් ලබාගෙන වැරදිකරැවන්ට දඬුවම් දිය නොහැකි බව කුඩා ළමයකුට වුව ද වටහා ගත හැක. නමුත් විපක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තම වගකීමෙන් නිදහස් වීමට පමණක් නොව වීරයාගේ චරිතයට ඇදීමටද අවස්තාව ලබා දුනි.

ඒ ආකාරයට විපක්ෂය ප්‍රේක්ෂක භූමිකාව වෙනුවට වීදියේ හෝ වේදිකාවේ භූමිකාව අත්පත් කර ගැනීමට උනන්දු වූයේ නැත. වීදියේ භූමිකාව ඇඟට අමාරු නම් වේදිකාවේ භූමිකාව සඳහා තවත් ඕනෑතරම් ‘‘කතා වස්තු‘‘ තිබුණි. නමුත් නාඩගමේ පිටපත වෙනස්කොට වේදිකාව අත්පත් කර ගැනීම සදහා ඒවා යොදා ගැනීමට ඔවුන් අසමත් විය. විපක්ෂයේ මොළය පෑදීම සඳහා සහ හුදී ජන පහන් සංවේගය උදෙසා එවැනි එක් කතාවස්තුවක් මෙසේ ඉදිරිපත් කළ හැක. ඇත්ත වශයෙන්ම එම ‘‘මගඩි කතාව“ බැදුම්කර මගඩියටත් වඩා බරපතල එකකි. කෙසේ වෙතත් එම කතාවද ගොඩනැඟෙන්නේ හිටපු මුදල් අමාත්‍යවරයා මුල්කරගෙන ය. අවශ්‍ය නම් එය ‘‘පාන් පිටි කිරිපිටි නාඩගම්“ ලෙස නම් කල හැක. බැඳුම්කර වංචා කරුවන් විසින් උපයාගත් ලාභය ලෙස සැලකෙන්නේ රුපියල් මිලියන 26,000 කි. ඒ අනුව රජයට සිදු වූ සමස්ත සෘජු අලාභය දළ වශයෙන් ඊට සමාන බවසැළකිය හැක. එසේම බැඳුම්කර මගඩිය නිසා වසර 30 ක කාලය තුළ රටට සිදුවන වක්‍ර පාඩුව රුපියල් මිලියන ලක්ෂ 10 ක් හෙවත් බිලියන 1000ක් හෙවත් ට්‍රිලියන එකක් බවට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වේ. බැදුකර මගඩිය නිසා රටේ පොලී අනුපාතය 3% කින් පමණ ඉහළ ගිය බැවින් දේශීය ණය සදහා රජය විසින් ගෙවිය යුතු පොලිය පසුගිය වසර සදහා පමණක් රුපියල් බිලියන 125 කින් ඉහළ ගියේය.

පාන් පිටි කිරිපිටි බදු මගඩිය හෙවත් හිටපු මුදල් අමාත්‍යවරයාගේ බදු සහන කර්මාන්තය නිසා එක් වසරකදී රටට සිදුවන පාඩුව රුපියල් මිලිය52,000කි. එනම් බැඳුම්කර මගඩියේ සමස්ත සෘජු පාඩුව මෙන් දෙගුනයකි. ඒ අනුව වසර 30 කදී එම බදු මගඩියෙන් රටට සිදුවන සමස්ත සෘජු පාඩුව රුපියල් බිලියන 1560 කි. එනම් බැදුම්කර මගඩි නිසා සිදුවන සමස්ත සෘජු පාඩුවටත් වඩා වැඩි පාඩුවකි. එම බදු මගඩිය නිසා වී ගොවිතැන සහ කිරි ගොවිතැන කඩා වැටීම මගින් දීර්ඝකාලීනව රටට සිදුවන වක්‍ර පාඩුව බැඳුම්කර මගඩිය නිසා සිදුවනන වක්‍ර පාඩුව මෙන් සිය ගුණයක් විය හැක. ඒ මඟින් ආහාර සුරක්ෂිතතාවට, මහජන සෞඛ්‍යයට සහ දීර්ඝකාලීනව ග්‍රාමීය ආර්ථිකයට, ජන ජීවිතයට සහ පරිසරයට සිදුවන අලාභය ගණන් බැලීම පහසු නැත. මෙවැනි විශාල අනර්ථයක් රටට සිදු කොට අදාල ඇමතිවරුන් විසින් කොපමණ කොමිස් මුදලක් ලබා ගන්නේ ද යන්න සිතාගත නොහැක. එහෙත් විදේශීය සමාගම් වලට ලබාදෙන බදු සහනය වන මිලියන 52,000 න් 50 %ක් කොමිස් ලෙස එම සමාගම විසින් ලබා දුන්නායැයි සැලකුවහොත් එම ප්‍රමාණය බැඳුම්කර මගඩිකරුවන්ගේ ලාභයට සමාන වේ. නමුත් එම ලාභය බැදුම්කර ලාභය මෙන් එක් වරකට පමණක් සීමා නොවේ. එම අයුතු ලාභය සෑම වසරකදීම වංචා කරැවන් අතට ලැබේ.

මෙම බදු වංචා මංඩිය පිළිබඳව අද වන තුරු පාර්ලිමේන්තුවේදී විවාදයක් ඉල්ලීම්ට විපක්ෂය අසමත් වී ඇත. අදාල සමාගම එය වැලැක්වීම සඳහා මැදිහත් වනවාද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් මැතිවරණ වේදිකාවේ දී මෙම මගඩිය ගැන එළිදරව් කිරීමට විපක්ෂය අසමත් වුවත් ඉන් පසුව හෝ එම සංවාදය මතු කිරීම සඳහා ඊට අදාල නිදාන කථාව ඔවුන් විසින් දැන ගත යුතුයි. වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පත් වී දින සීයේ සටහන තුළ පළමු සහනය ලබා දුන්නේ විදේශීය පාන්පිටි සමාගම්වලට ය. ඒ අනුව ආනයනික තිරිගුපිටිවලට පනවා තිබූ විශේෂ බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 10 ක ප්‍රමාණයකින් අඩු කරනු ලැබීය. ඒ සඳහා එම සමාගම් විසින් හෝ මහජනයා විසින් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නොතිබූ අතර ආණ්ඩුව විසින් මහජනයාට එවැනි පොරොන්දුවක් ලබාදී තිබුනේද නැත.

ඒ වන විට රට තුළට තිරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක් ආනයන කළ බැවින් එම වසරේ දී රජයට දරන්නට සිදුවූ පාඩුව සහ සමාගම්වලට ලැබුනු වාසිය රුපියල් මිලියන 13000 කි. නමුත් අදාළ සමාගම් එම වාසියෙන් කොටසක් හෝ පාරිභෝගිකයාට ලබාදුන්නේ නැත. ඒ වෙනුවට පාරිභෝගිකයාට සිදු වූයේ කෙටි කෑම සඳහා වැඩි මිලක් ගෙවීමට ය. නමුත් එම සමාගම තමාට ලැබුණු අමතර ලාභය යොදාගනිමින් තිරිගුපිටි පරිභෝජනය වැඩි කිරීම සඳහා මහා පරිමාණ තිරිඟු පිටි සහ බේකරි නිෂ්පාදන අලෙවිකරුවන් යොදා ගනිමින් දැවැන්ත ප්‍රචාරණ වැඩ පිළිවෙළක් දියත් කරනු ලැබීය. මහජනයාට සෘජු ව දැකගත නොහැකි එම ක්‍රියාමාර්ග මගින් එම වසර අවසාන වන විට රටේ තිරිඟු පිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 17 දක්වා වැඩි කිරීමට අදාළ සමාගම් සමත් විය. ඒ පිළිබඳව බෝනොවන රෝග වැළැක්වීම ගැන බොහෝ කතා කියන පිරිස් විසින් හෝ අවධානයක් යොමු කළේ නැත.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර ලෙස ‘‘කළුහාමිගේ ප්‍රතිපත්තිය‘‘ අනුගමනය කරමින් එනම් එක් පොල් බෑයක් රැගෙන දුවන බල්ලට අනෙක් බෑයෙන් දමා ගැසීමට ආණ්ඩුවේ නිලධාරීන් ක්‍රියා කළහ. ඒ අනුව ඔවුන් 2016 වස්රේදී තිරිඟු සදහා පනවා තිබූ විශේෂ බද්ද තවත් රුපියල් 10 කින් අඩු කළේය. ඒ මඟින් ආණ්ඩුවට වසරක දී සිදුවන පාඩුව සහ සමාගම්වලට ලැබෙන වාසිය රුපියල් මිලියන 34,000 දක්වා ඉහළ ගියේය. මේ වනවිට සහල් මිල සීග්‍රයෙන් ඉහළ යාම නිසා තිරිඟු පිටි පරිභෝජනය තවදුරටත් ඉහළ ගොස් ඇත්නම් ආණ්ඩුවට සිදුවන අලාභය තව දුරටත් ඉහල යනු ඇත. පසුගිය කාලය තුළ නායයෑම් සහ ගංවතුර නිසා වී ගොවිතැනට සිදුවූ අනර්ථයට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් වී ගොවිතැන අධෛර්යමත් කිරීමේ ප්‍රතිපත්තියක සිටින බැවින් තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇති බවට සැකයක් නැත. ඊට අමතරව අඩු මිලට ප්‍රතාපන කරන ආනයනික තිරිගු පිටි නිසා දේශීය සහල් සහ සහල් පිටි කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටී ඇත. සහල් සහ සහල් පිටි මෝල් හිමියන්ගේ සංගම්වල දත්ත අනුව මේ වනවිට කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත 5,000 ක් පමණ වැසී ගොස් ඇත.

කිරි ආර්ථිකයේ කතාව ද ඊට දෙවැනි නැත. යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට පසුගිය රජය විසින් ආනයනික කිරිපිටි සඳහා කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 225ක විශේෂ ආනයන බද්දක් පනවා තිබුණි. එය සාධාරණීයකරණය කරනු ලැබුවේ දේශීය කිරි ගොවිතැන නංවාලීමේ නාමයෙනි. එම කාලය තුළ කිරි ගොවියාට ලැබුණු මිල ක්‍රමයෙන් ඉහළ ගිය අතර දිනකට කිරි ලීටර් එක්ලක්ෂ පනස්දාහක් සකස් කළ හැකි පෞද්ගලික කර්මාන්ත ශාලාවක්ද බහිවිය. වසර දෙකක් ඇතුළත එම සමාගමට තම ධාරිතාව දෙගුණ කිරීම සඳහා නව යන්ත්‍ර සූත්‍ර සවි කිරීමට සිදුවිය. ඊට අමතරව එම පුද්ගලික සමාගම විසින් තවත් කර්මාන්ත ශාලා දෙකක් ආරම්භ කිරීම සඳහා කන්තලේ සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් රජයේ ඉඩම් බදු පදනමින් ලබාගැනීම සඳහා ඉල්ලූම් කොට තිබුණි.කිරි ආර්ථිකයේ එවැනි වර්ධනයකට මූලිකව හේතු වූයේ ආනයන බදු පනවා විදේශ කිරි පිටි ආනයනය අධෛර්යමත් කිරීමය.

නමුත් යහපාලන රජයේ බදු සහන කර්මාන්තය දේශීය කිරිපිටි කර්මාන්තයට වඩා සීඝ්‍රයෙන් වර්ධනය වූ බැවින් අවස්ථා හතරකදී ආනයනික කිරිපිටි වලට බදු සහන ලබා දුනි. ඒ මඟින් කිලෝග්‍රෑම් එකකට රුපියල් 225 වූ විශේෂ බද්ද රුපියල් 2 දක්වා රැපියල් 223කින් අඩුකරනු ලැබීය. ඒ අනුව දැන් රටට ආනයනය කරන කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80,000දක්වා ඉහළ ගොස් ඇති අතර විදේශීය කිරිපිටි සමාගම් වලට වසරකට ලබාදෙන බදු සහනය රුපියල් මිලියන 18,000 දක්වා ඉහල ගොස් ඇත. එනම් කිරි ගොවිතැන් දියුණු කිරීම් සහ කිරි ගොවිතැන්ට සහන ලබාදීම සඳහා යෙදවිය හැකිව තිබූ මිලියන 18,000 සමාගම් වල සාක්කුවට වැටී ඇත. එහෙත් ගෙවෙමින් තිබූ මුදලක් නතරවීම නිසා එම මුදල සමාගමේ ශුද්ධ ලාභයට එකතුවේ. ආණ්ඩුව විදේශීය සමාගම් වලට ඒ ආකාරයට බදු සහන ලබා දෙන්නේ ලෝක වෙළදපලේ කිරි පිටි මිල පහත වැටී තිබෙන තත්වයක් තුළය. නමුත් අනෙක් රටවල් එවැනි තත්වයකදී කරන්නේ සමාගම විසින් අයුතු ලාභ ලබා ගැනීම වැලැක්වීම සදහා ආනයන බදු වැඩි කිරීමය. ඒ නිසා එම සමාගම තමාට ඒ උදව්ව කරන පුද්ගලයාට නිර්ලෝභීව සලකන බව නොතේරෙන්නේ කාටද?

සමහර විට පුවත්පත්වල මෙම ලිපිය පළ වුවහොත් අඩුම තරමින් ජනාධිපතිතුමා හෝ මේ විනාශය පිළිබඳ දැනුවත් වනු ඇත. එක් පැත්තකින් කිරි ගොවියාට ගෙවන ඉහළ මිල මට්ටම් පවත්වාගෙන යමින් දිගින් දිගට විදේශීය කිරිපිටි සමාගම් සමග තරග කිරීමට දේශීය කිරිපිටි සමාගම් වලට හැකියාවක් නැත. අනෙක් පැත්තෙන් විදේශීය සමාගම් විසින් තම අධික ලාභය යොදාගනිමින් ආක්‍රමණශීලී ප්‍රචාරණ ක්‍රමවේද යොදා ගන්නා බැවින් දේශීය සමාගම් තවදුරටත් අසරණ වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ දේශීය කිරිපිටි සමාගම් ඇත්තේ දෙකක් පමණි. එකක් රජයට අයත් වේ. රජයේ සමාගම පසුගිය කාලයේදී තම ධාරිතාව ඉහළ නැංවීමට අසමත් වීම නිසා ඔවුන්ගේ අතිරික්ත කිරි ලබා දීමට සිදු වන්නේ පෞද්ගලික සමාගමටය. වෙළෙඳපොළ තුළ පවතින අසාධාරණ තරගකාරීත්වය ට මුහුණ දීමේ දුෂ්කරතාවය නිසා එම සමාගම විසින් කන්තලේ සහ කුරුණෑගල ඉදිකිරීමට සැළසුම් කළ කර්මාන්තශාලා අත්හිටුවා ඇත.

එම පෞද්ගලික සමාගම් හිමිකරැවා අදාල කිරි කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්නේ ඔහුගේ වෙනත් ව්‍යාපාර වල අරමුදල්වලින් බව කියැවේ. ඔහු තම කර්මාන්ත ශාලාව වසා නොදමන්නේ තමාගේ ගෞරවයට වඩා කිරි ගොවියාට තිබෙන අනුකම්පාව නිසා බවට කිරි ගොවියෝ පවසති. යම් අවස්ථාවක එම ව්‍යාපාරික මහතා ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියහොත් දිනකට කිරි ලීටර් ලක්ෂ තුනක් පමණ මහ පාරේ හැලීමට සිදු වනු ඇත. ඒ නිසා ඔහුට ඉවසීමක් ලබා දුන් ඔහුගේ දෙමාපියන්ට ආණ්ඩුවේ කෘෂිකර්ම සහ පශුසම්පත් බලධාරීන් උදේ හවස මල් තබා වැඳුම් පිදුම් කළ යුතුය. නමුත් ඒ මඟින් රටට කරනු ලබන අනර්ථයට නම් කිසිදා සමාව ලබාගත නොහැක. දැන් ජනාධිපතිතුමා බැඳුම්කර හොරුන්ගේ නහය ළඟට දිගු කර ආපසු නවන කඩුව පාන් පිටි කිරිපිටි බදු හොරුන්ට එරෙහිවව දිගු කරනවාදැයි විමසන්නේ කවුද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක...


Read More

ජුනි03 වැනිදායින් පසු මහින්ද ඉවතට.

ජුනි 03 වැනිදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූ...


Read More

ශ්‍රී.ල.නි.ප.ය කුණු වෙනවා කියා ‍මෛත්‍රී කියද්දී චන්ද්‍රිකා නැගිට යයි.

තවදුරටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටියහොත් පක්ෂය කුණුවී දියවී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.එම නිසා...


Read More