පුරවැසි කොලම

පසුගිය දිනවල ජාතික සංවිධාන නායකයින් තම දුරකථන වලට උත්තර දීමට බියක් දැක් වූ බව සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ. ඊට හේතුව බොහෝ ක්‍රියාකාරිකයින් බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉන්දියාවේ හින්දු පුවතට ලබා දුන් බව කියන සම්මුඛ සාකච්ඡාවකින් මතු වූ බලය බෙදීමේ කථාව පිළිබඳ ප්‍රශ්ණ කිරීමය. ජනමාධ්‍ය, විශේෂයෙන්ම ඉන්දියානු මාධ්‍ය මේ අවස්ථාවේදී ඔවුන් විසින් තොරාගත් අපේක්ෂකයින් අමාරුවේ දැමීම සඳහා විවිධ ප්‍රශ්ණ ඇසීමේ හෙවත් උත්තර කටට දිමේ හැකියාවක් තිබෙන බවට විවාදයක් නැත. මේ වන තුරු බැසිල් රාජපක්ෂ මහතා විසින් තමා ප්‍රකාශ කලා යැයි හින්දු පුවත්පත අණාවරණය කරන කරුණු පිළිබඳව තම ස්වාධීන මතය ප්‍රකාශ කොට නැත. මීට පෙර ඉන්දියාවේ හිටපු විදේශ ලේකම්වරයා සහ පසුව ආරක්ෂක උපදේශක වරයා වූ ශිවසන්කර් මෙනන් මහතා සහබාගි වූ රැස්වීමකදී එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සඳහන් කළ කරුණක් පිළිබඳ ජනමාධ්‍ය විසින් විශාල සංවාදයක් ඇතිකරණු ලැබීය.

පසුව අණාවරණය වූ කරුණු අනුව එම සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් සඳහන් කොට ඇත්තේ දෙවන මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කළ හැකි බවය. ඊට පිළිතුරු ලෙස ශිවසන්කර් මෙනන් මහතා සඳහන් කොට ඇත්තේ ‘’ඒ කියන්නේ දහතුන ඉක්මවා යන විසඳුමක්, ඒ කියන්නේ 13+ ” යනුවෙනි. ජනමාධ්‍ය විසින් එම ප්‍රකාශය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් බවට හුවා දැක්වීම සමඟ බෙදුම්වාදී එන්.ජී.සී කුලී හමුදාව උද්යෝගයට පත්ව ඒ මත තවදුරටත් කථා නිර්මාණය කරමින් මහින්ද රාජපක්ෂ මහතා 13+ දීමට එකඟ වූ බව සමාජගත කරනු ලැබීය. ඒ ආකාරයට බැසිල් රාජපක්ෂ මහතාගේ වචනද යම් ආකාරයට ජනමාධ්‍ය විසින් අවභාවිතා කිරීමට ඉඩ ඇතත් එම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වැදගත් විය හැක. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා විසින් ටී.එන්.ඒ පක්ෂයේ අසාධාරණ ඉල්ලීම් ඉවත දැමූ බවට එම පක්ෂය උරණ වී සිටින තත්වයකදී සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇතිකරගත් බව කියන ගිවිසුම අනුවද එම සාකච්ඡාව ඉතා වැදගත් වේ. දැන් බෙදුම්වාදී පක්ෂ විසින් ඉදිරිපත් කරන යෝජනා 13 අනුවද එය ඉතා වැදගත්වේ.

පුවත්වල පළවූ වාර්ථා අනුව සජිත් ප්‍රේමදාස තම අපේක්ෂකත්වය තහවුරු කර ගැනීම සඳහා ටී.එන්.ඒ පක්ෂයේ ඉල්ලීම් අනුව බලය බෙදීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවට රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇත. මහින්ද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවැනි පොරොන්දුවක් බෙදුම්වාදී පක්ෂ වලට ලබා දී නැති බව ටී.එන්.ඒ පක්ෂයේ මන්ත්‍රීවරු ද්වේශයෙන් යුතුව සඳහන් කල කරුණු වලින් පැහැදිලි වේ. මේ නිශ්චිත මොහොතේ යම් කිසිවෙකු තමා බලය බෙදීමට කැපවෙනවා යැයි කියන්නේ නම් එය රටේ අනාගතය පිළිබඳ බරපතල ප්‍රකාශයකි. එවැනි ප්‍රකාශයක් 1977 ට පෙර සිදු කළා නම් එය එතරම් බරපතල ප්‍රකාශයක් ලෙස සාකච්ඡාවට ලක් නොවීමට ඉඩ තිබුණි. එහෙත් එදා ජේ.ආර්. ජයවර්ධන මහතා පවා එවැනි ප්‍රකාශයක් සිදු කළේ නැත. ඔහු ඉන්දියාවේ බලපෑමට යටත් වූ පාලකයෙක් මිස පලාත්සභාවලට දේශපාලන බලය බෙදීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බවට පූර්ව ප්‍රකාශ සිදු කොට නැත. මේ අවස්ථාවේදී බලය බෙදීමක් ගැන යමෙකු කථා කරන්නේ නම් එය 13 වැනි සංශෝධනයට එහා යෑමක් හෝ එය සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රකාශයකි. ඊට හේතුව මේ වන විට 13 වැනි සංශෝධනය මඟින් ඉන්දියාවටත් වඩා එහා යන ආකාරයකට පළාත් වලට දේශපාලන බලය  බෙදීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රියාකොට තිබිමය.

උදාහරණයක් ලෙස ඉන්දියාවේ ව්‍යවස්ථාව අනුව ප්‍රාන්ත ආණ්ඩු විෂයකට අදාළව මධ්‍යම රජය විසින් නීතියක් සම්මත කිරීම සඳහා අවශ්‍ය වන්නේ පාර්ලිමෙන්තුවේ හෙවත් ලෝක් සභාවේ සාමාන්‍ය බහුතර කැමැත්ත පමණි. නමුත් ශ්‍රී ලංකාවේදී ඒ සඳහා තුනෙන් දෙකක විශේෂ බහුතර කැමැත්ත හෙවත් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍යවන බලය අවශ්‍ය වේ. ඊට අමතරව ඉන්දියාවේ ජනාධිපතිවරයාට හේතු දැක්වීමකින් තොරව ප්‍රාන්ත නීතියක් අහෝසි කිරීමේ නිශේධ බලය ඇත. නමුත් ශ්‍රී ලංකාවේ පළාත් නීතියක් සම්මත කිරීමේදි ඊට අදාළව ශේෂ්ඨාධිකරණයේ මතය විමසීමටවත් මහජනයාට බලයක් නැත. එය කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණි. ආණ්ඩුකාර බලතල අනුව කළ හැක්කේ ප්‍රඥප්තියක් නැවත සභාවට ඉදිරිපත් කරන ලෙසට ආපසු හරවා යැවිම පමණි. එවැනි බරපතල බලය බෙදිමක් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදුකළද ඊට යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක්, මූලික වශයෙන් 05 ක් පැනවීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියා කලේය. එම රැහැන් පට හෝ  අඬ ගලවා දැමුවහොත් රට බෙදී වෙන්වීයෑම සඳහා ගතවන්නේ ඉතා සුළු කාලයකි.

ජාත්‍යන්තර අධිකරණය විසින් ලබාදුන් ‘‘ඔස්ට්‍රේලියාවට එරෙහිව පෘතුගාලය‘‘ නඩු තීන්දුව අනුව ස්වයං පාලන බලතල ලබා දි ඇති ප්‍රාන්ත ආණ්ඩුවකට එම බලතල ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ ලබා නොදෙන්නේ නම් එම ජනතාවට වෙන්වී යෑමේ අයිතිය ඇත. ඒ ආකාරයට සම්බන්ධන් මහතා සඳහන් කරන ඊනිසා ස්වයං පාලනය යනු 13 වැනි සංශෝධනයට එරෙහිව පනවා ඇති ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීමය. ටී.එන්.ඒ පක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටින්නේ එපමණකි. ඔවුන් 13 න් එහාට යන විසඳුමක් ලෙස සහ පසුගිය කාලයේදී දයාන් ජයතිලක වැනි පුද්ගලයින් විසින් නිර්දේශ කළ ආකාරයට 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරිම ලෙස ඉල්ලා සිටින්නේ එකම විසඳුමකි. එනම් ඉහත සඳහන් කළ ආකාරයට කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයකට මුවා වී “ අඬ පහ ” ගැලවීමය. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමෙන්තුව ලෝකයට ලබා දුන් ආදර්ශය අනුව ඒ සඳහා අවශ්‍ය වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හෝ 19 වැනි සංශෝධනයේ වැරදි නිවැරදි කිරීම වැනි ලේබලයක් සහිත ව්‍යවස්ථා සංශෝධන පිටකවරයක් සහිත හිස් කෙටුම්පතක් පමණි. පැය 2 කදී කාරකසභා අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ගොනාට අන්දවා 40 කට වැඩි සංශෝධන ප්‍රමාණයක් 19 වැනි සංශෝධනයට ඇතුල් කොට ගිනස් වාර්ථා තැබූ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වැන්නෙකුට එම අඬ  පහ ගැලවීම යනු කජු කන්නා වැනි වැඩකි.

ඉතා සරලව සඳහන් කරන්නේ නම් එම අඬ හෙවත් ව්‍යවස්ථාමය බාධක මේ ආකාරයට ගැලවිය හැක. පළමුවැන්න මහඇමතිවරයා විමසා ආණ්ඩුකාරවරයා පත් කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨයකට යටත්කොට මහ ඇමතිවරයාට අවනත ආණ්ඩුකතාරවරයෙක් පත් කරන තත්වය නිර්මාණය කිරීමය. දෙවැන්න සමගාමී ලැයිස්තුව ඉවත්කොට පලාත් විශය ලැයිස්තුව බලවත් කිරීමය. ගැටුම් වැළැක්විම හෝ වැඩ කිරීමේ කාර්යක්ෂමතාවය වැනි හේතු දක්වා එවැන්නක් සාධාරණිකරණය කිරීමේ ඉඩක් ඇත. තුන්වැන්න ඉඩම් අන්සතු කිරීමේ බලය ජනාධිපතිවරයා යටතේ තිබියදී ඉඩම් භාවිතා කිරීමේ බලය පලාත් සභා වලට ලබා ගැනීමය. එවිට පළාත් ඉඩම් ප්‍රතිපත්තියක් යටතේ බලපත්‍ර මඟින් භුක්තිය ලබාදුන් පසුව පරම අයිතිය ලබාදීම ඊළාම් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇත. ඒනිසා වර්ත.මාන ව්‍යවස්ථාවේ ඉඩම් පිළිබදව ජනාධිපතිවරයාට තිබෙන බලය බෙදුම්වාදීන්ට ගැටළුවක් නොවන අතර අවශ්‍ය වන්නේ ඉතා සුළු සංශෝධනයකි. හතරවැන්න ජාතික ප්‍රතිපත්ති සෑදීමේ බලය මධ්‍යම ආණ්ඩුව යටතේ තිබියදී ඉන් පරිභාහිරව ජාතික ප්‍රතිපත්ති ලෙස සැලකිය හැකි පලාත් ප්‍රතිපත්ති සෑදීමේ බලය පලාත් විශය ලැයිස්තුවට ඇතුල් කිරීමය. එවිට පලාත්ට අවශ්‍ය ඉඩම් ප්‍රතිපත්තිය සකස් කිරීමේ බලය පළාතට ලැබේ.  පස්වැන්න පළාත් භාණ්ඩාගාරයක් පිහිටුවීම සදහා  මූල්‍ය බලය ලබා ගැනිමය.

ඒ අනුව මෙම නිශ්චිත මොහොතේදී බලය බෙදීමට යමෙකු කැපවන බව කියන්නේ නම් ඒ ඉහත සදහන්කළ සංශෝධන සිදු කිරීම මිස අන්යමක් නොවේ. වර්ථමාන ආණ්ඩුව බලයට පත් කිරීම සදහා එනම් ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජොන්කෙරී මහතාගේ වචන වලින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සදහා ටී.එන්.ඒ පක්ෂය කැපවන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එම අඬ ගැලවීම සදහා කැපවීම බලාපොරොත්තු වෙනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියට අදාළව ජොන් කෙරී මහතා පමණක් නොව ඉන්දියාවේ රෝ ඔත්තු සේවාවේ ප්‍රධානී අශෝක් මේතා විසින් සිදුකළ ප්‍රකාශ විපක්ෂයේ නායකයින් විසින් කියවා නැති බව පෙනේ.   රනිල් වික්‍රමසිංහ මහතා විසින් ටී.එන්.ඒ පක්ෂයේ අපේක්ෂා ඉටු කිරීමට විවිධ ආකාරයට කැපවීම් කළත් මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේග ඊට ඉඩ නොදුන් බව රහසක් නොවේ. විපක්ෂයත් පටලවාගෙන නව ව්‍යවස්ථාවක් හරහා එම කැපවීම සිදු කිරීමට ගත් උත්සහාය මෙන්ම කොන්ත්‍රාත්කරුවන් ලවා 20 වැනි සංශෝධනය ගෙන ඒම සඳහා කරනු ලැබූ කැපකිරීම් ද දැන් නිෂේධ කොට ඇත. ඒ නිසා දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග වලට තම අරමුණ ඉටුකර ගැනීම සඳහා එක් පැත්තක් වෙනුවට දෙපැත්තක් බැලීමට සිදුවී ඇත. කැමැත්තෙන් සහ එකගතාවෙන් බෙදුම්වාදීන්ගේ අපේක්ෂා  ඉටු කරන අපේක්ෂකයාගේ ජයග්‍රහනය  සැක සහිත බැවින් ජාතික බලවේග වල විශ්වාසය දිනාගෙන සිටින අපේක්ෂකයාට මුට්ටියක් දමා බැලීම මහා විශ්වකර්ම වැඩක් නොවේ. නමුත් මුට්ටියට කරන්නේ කුමක්ද යන්න මත මෙතෙක් දිවිපුදා රැකගත් රටේ අනාගත ඉරණම තීන්දු වීම වැළැක්විය නොහැක.

 

දැන් සතුරු බලවේග තම උපක්‍රම වෙනස් කරන බව පැහැදිලිව පෙනෙයි. මෙතෙක් කාලයක් නව ව්‍යවස්ථාවක් මගින් තම අරමුණු ඉටුකර ගැනීමට සැලසුම් කළ ජෙහාන් පෙරේරා වැනි එන්ජීඕ ගෝඩ් ෆාදර්ලා දැන් කියන්නේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවය. ඊට හේතුව ජාතික බලවේග විසින් එම සටන් පාඨය උදුරාගෙන 13 වැනි සංශෝධනයක් නැති නව ව්‍යවස්ථාවක් මගින් 13 අහෝසි කිරීමේ සටන් පාඨයක් ඉදිරිපත් කිරීමයි. ඒ නිසා දැන් ඔවුනට අවශ්‍ය වන්නේ පවතින ව්‍යවස්ථාවට‘‘ටින්කරින්‘‘ කිරීම මඟින් ඉහත සඳහන් කළ අඬ ගැලවීමය. එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මහා සටන් පාඨයේ ආවරණය වෙනුවට වෙනත් නව සටන්පාඨයක ආවරණය යටතේ සටන  ජයග්‍රහණය කිරීමය. ඒ සඳහා ඔවුන් මීට පෙර යොදාගත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨයට ප්‍රතිවිරුද්ධ සටන්පාඨය යොදා ගත්තද අප පුදුම නොවියයුතුය. උදාහරණයක් ලෙස 19 වැනි සංශෝධනය මගින් රට අරාජික වී ඇති නිසා එම වැරදි නිවැරදි කිරීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම මගින් ස්ථාවර ආණ්ඩුවක් හැදීම වැනි සටන්පාඨවල ආවරණය යටතේ ව්‍යවස්ථා සංශෝධන මර උගුලක් ඇටවීම ඉඩ ඇත.

එවැනි උගුලක් ඇටවීමට ඉදිරියේදී දේශපාලන වාතාවරණයක් සකස් වීමේ පැහැදිලි ඉඩක් ඇත විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බවට බෙදුම්වාදී බලවේග වලට තක්සේරුවක් තිබිය හැකි තත්ත්වයක් යටතේ එය සිදුවිය හැක. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් හැදිය යුතු බවට විපක්ෂයේ යම් පාර්ශව වල අපේක්ෂාවක් තිබෙන බවට පළවන අදහස් අනුව එම තත්ත්වය පහැදිලි වේ. නව ජනාධිපතිවරයාට දහනමවැනි සංශෝධනය නිසා වර්තමාන අගමැතිවරයා ඉවත් කිරීමේ බලයක් නැත යන උපකල්පනයේ පිහිටා  දේශපාලන උපක්‍රම තේරීම් නිසා එවැනි අනතුරක් මතුවේ . නව ජනාධිපතිවරයා යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවා නව අගමැතිවරයකු පත් කිරීමේ උවමනාව ව්‍යාජ ව්‍යවස්ථාමය හේතු මත සාධාරණීකරණය කිරීමට ඉඩ ඇත. ඊට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසුව වර්තමාන අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය ලෙස සැලකේ. අගමැතිවරයාට ධූරය දැරිය හැක්කේ අමාත්‍ය මණ්ඩලය පවතින තෙක් පමණි. එවිට නව අගමැතිවරයෙකු පත් කළ හැක නමුත් ව්‍යවස්ථාවට අනුව එය සාධාරණීකරණය කළ හැකි වුවද දේශපාලනිකව එය මර උගුලකි.

විශේෂයෙන්ම ව්‍යවස්ථාවට අනුව සිදු කළ හැකි  සහ දේශපාලනිකව සාධාරණීකරණය කළ හැකි විසඳුමක් තිබිය දී උගුලකට පය දැමීම බරපතල වරදකි. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා හා පත්කිරීම් බලධාරියා නිසා ඔහුගේ ධූරකාලයඅවසන්වන විට අමාත්‍ය මණ්ඩලය අහෝසි වේ. එවිට අගමැතිවරයාගේ ධූරයද අහෝසි වන බැවින් නව අගමැතිවරයෙකු පත්කිරීමේ බාධාවක් නැත. පෙබරවාරි දක්වා මාස 3ක් සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ කිසිදු බාදාවක් නැත. රනිල් වික්‍රමසිංහ මහතා එවැනි ආණ්ඩුවක් මාස 7ක් පවත්වාගෙන ගියා පමණක් නොව විශේෂ බහුතර බලයක් පෙන්වා ව්‍යවස්ථා සංශෝධනයක්ද සම්මත කලේය. කෙසේ වෙතත් බලය බෙදීමේ කතා සහ ජාතික ආණ්ඩු අපේක්ෂා එකට බැදී පවතින බවට සැකයක් නැත.

බෙදුම්වාදී පක්ෂ විසින් ඉදිරිපත්කොට ඇති යෝජනා 13ට කිසිදු අපේක්ෂකයෙකුට විවෘතව එකඟවිය නොහැකි බව පැහැදිලිය. ඔවුන් බලාපොරොත්තු වන්නේ ඒ මහා කොපුව නොව ඒ තුල ඇති ඉහත සදහන් කළ ‘’සුළු ව්‍යවස්ථා සංශෝධන’’ නම් වූ කඩුව පමණකි. එනම් සජිත් ප්‍රේමදාස මහතා කියන ආකාරයට ඒකීය රාජ්‍යයක් තුළ උපරිමයෙන් බලය බෙදීමය. සේනාධිරාජාට එරෙහිව චන්ද්‍රසෝම නඩුවේ තීන්දුව අනුව ඒකීය වචනය ව්‍යවස්ථාවේ එසේම තිබියදී ෆෙඩරල් හෙවත් සන්ධීය මූලධර්ම යටතේ බලය බෙදිය හැක. ඒ නිසා බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහෝසි කිරීම හෝ ඒකීය යන වචනය වෙනස් කිරීම වැනි ඉල්ලීම් මහජනයා නොමග යැවීම සදහා සහ රහසින් එකගතාවන් ඇති කරගන්නා අපේක්ෂකයා බේරා ගැනීම සදහා ඉදිරිපත් කරන බවට සැකයක් නැත. එදා 2005 දී උතුරේ ඊනියා ඡන්ද වර්ජනය තුළ රනිල් වික්‍රමසිංහ මහතා එම දිස්ත්‍රික්ක 5න් ඊට පෙර මැතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍රමානයට වඩා ඡන්ද ලබා ගැනීමට සමත් විය. ඒ නිසා ව්‍යාජ මධ්‍යස්ථභාවයක් තුළ හෝ ඊනියා ඡන්ද වර්ජනයක් තුළ දෙපාර්ශවයම කළමණාකරනය කිරීමේ උපායමාර්ගයක් බෙදුම්වාදී පක්ෂ විසින් තෝරනවා විය හැක.  ඒ අනුව අවසාන වශයෙන් ජාතික ආණ්ඩු යෝජනාව ද බලය බෙදීමට කැපවීම තරම්ටම  දේශපාලන සියදිවි නසා ගැනීම සඳහා යොදාග ගත හැකි කඹයක් බව කිව යුතුය. විශේෂයෙන්ම ජාතික ආණ්ඩුවක් තුළට රිෂාඩ්, හකීම් වැනි පිරිස් ඇතුළු වුවහොත් සිය දිවි නසා ගැනීමට සිදුවන්නේ සෝසුසුම් මැද නොව හූ හඬ සහ නින්දා අපහාස මැදය. කෙසේ වෙතත් රට අමාරුවේ දැමීමට කැපවන පුද්ගලයන්ට එරෙහිව රට බේරා ගැනීමට කැපවන මහා  සංඝරත්නය සහ ජාතික බලවේග ජීවිත පමණක් නොව තවත් බොහෝ දේ කැප කරනු ඇත. එසේ කිව හැක්කේ පසුගිය වසර 30ක ඉතිහාසය ඊට සාක්ෂි දරණ බැවිනි.

 

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

 

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොටි හුරතල් ඉවරයි …උතුරු – නැනෙහිර සුසාන භූමිවල සැමරුම් බෑ – ආරක්‍ෂක අංශ තදින් සිටියි

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මා...


Read More

මහින්ද අගමැති ලෙස අද දිවුරුයි…කැබිනට්ටුවට නම් 15ක්… පොහොට්ටුවට 12යි – ශ‍්‍රීලනිපයට 3යි…ඇමතිකම් බෙදෙන හැටි මෙන්න

අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් පැවැති රජය අහෝසි වීම නිසා භාරකාර රජයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. නව ඇම...


Read More

විපක්ෂනායක පුටුවට රනිල් – සජිත් සටනක – රනිල් පන්නන්න සජිත් පිල සිරිකොත වටලයි

අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. භාරකාර රජයේ විපක්ෂ නායක ධුරයට සජිත...


Read More