පුරවැසි කොලම

පුරවැසිභාවය යනු යම්කිසි රාජ්‍යක සාමාජිකයෙකු වීම නිසා කෙනෙකුට ලැබෙන දේශපාලනික තත්ත්වයයි. එනම්, එම දේශපාලන ප‍්‍රජාවේ සාමාජිකයෙකු වීමයි. පුරවැසියා යන්න යම් කිසි රාජ්‍යයක සාමාජිකයෙකි. ලොව ඕනෑම කෙනෙක් කිසියම් රාජ්‍යක සාමාජිකයෙකි. 18 වන සියවසේ ජීවත් වූ දේශපාලන චින්තකයෙකු වූ රූසෝ විසින් ඔහුගේ සමාජ ගිවිසුම (social contract) කෘතියට අනුව පුරවැසියා යනු, ‘රාජ්‍යයේ පරමාධිපත්‍ය බලයේ හිමිකරුවා ජනතාව හෙවත් පුරවැසියා වන බව’ සඳහන් කරයි. සමාජ ගිවිසුමක් මගින් ජනතාව දේශපාලන ප‍්‍රජාව බවට පත්වී ඇති බවත්, ඒ අනුව පරමාධිපත්‍ය බලයේ හිමිකරුවා ජනතාව වන බවත්, ජනතාව සතු එම බලය අන්සතු කළ නොහැකි බවත් සඳහන්ය. ජනතාව සතු පරම බලය ආණ්ඩුවකට, ව්‍යවස්ථාදායකයකට හෝ විධායකයට පැවැරීම ජනතාවට කළ නොහැකිය. ඒ හැම ආයතනයක්ම ජනබලයට දෙවැනි වන බව රූසෝගේ චින්තනයයි. ඒ අනුව මහජන පරමාධිපත්‍යයේ දේශපාලන දාර්ශනිකයා රූසෝ වන අතර, ජනතාවට දේශපාලන විෂයේදී අසමසම වූ පරම බලයක් හිමි වන බව මෙහිදී පැහැදිලි වේ. ජනතාවට සෘජුවම ආණ්ඩුකරණයට සහභාගි විය නොහැකි නිසා ජනබලයෙන් ජනතාව තෝරාගනු ලබන නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවමින් නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරහා ජනතාව පාලනයට හවුල් වෙයි. අදටත් මැතිවරණයට පෙර ඒ ඒ පක්ෂ විසින් ‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක්’ ඉදිරිපත් කර ජනතාවගේ අනුමැතිය ලබාගනිමින් බලයට පත් වන්නේ, රූසෝගේ සමාජ ගිවිසුම නමැති න්‍යාය පදනම් කරගෙනය.

පුරවැසියන් අයත් වන්නේ යම්කිසි රාජ්‍යකටය. එබැවින් රාජ්‍යයක් යන්න පැහැදිලි කරගැනීම වැදගත්ය. රූසෝගේ නිර්වචනයට අනුව, පොදු ජනතාව විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක කරන, අර්ථගන්වන නිදහස් මිනිසුන් ජීවත්වන කුඩා ඒකකයක් රාජ්‍යක් වේ. පුද්ගල නිදහස තෘප්තිය පමණක් නොව සමස්ත ප‍්‍රජාවගේ සුබසාධන හා පොදු යහපත පිළිබඳ වූ එකිනෙකා සමඟ බෙදා ගන්නා වගකීම් ද රාජ්‍ය තුළ පැවැතිය යුතුය. රාජ්‍ය යන්න තවත් විදියකට පැහැදිලි කරන්නේ නම්, නිශ්චිත භූමි ප‍්‍රමාණයක්, ජනගහනයක්, ආණ්ඩුවක් හා ජනතාවගේ ස්වාධිපත්‍ය ක‍්‍රියාත්මක වන බල සංවිධානයක් රාජ්‍යයක් වෙයි. රාජ්‍ය නමැති සංවිධානයේ බලය ක‍්‍රියාවට නගන්නේ ආණ්ඩුව විසිනි.

රටක පුරවැසියාට නිදහසේ යහපත් ජීවිතයක් ගත කළ හැක්කේ, වඩාත් පුළුල් ලෙස මානව හිමිකම් පූර්ණ වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පරිසරයකය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනුවෙන් ප‍්‍රකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන නායකයෙකු වූ ඒබ‍්‍රහම් ලින්කන් සරලව හඳුන්වන ලද්දේ, මහජනතාවගේ යහපත උදෙසා මහජනතාව විසින් ඇති කරගත් පාලන ක‍්‍රමයක් වශයෙනි. ‘නූතන රාජ්‍ය සංකල්පය’ හා ‘පොදු මනුෂ්‍යභාවය’ වැනි අගනා සංකල්ප ඉදිරියට පැමිණීමත් හා මහජන බලපෑම් ගණනාවක ඵලයක් ලෙස මානව හිමිකම් කරළියට පැමිණීමත් සමග 1948දී එලේනා රූස්වෙල්ට් මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රකාශනය එළි දක්වන ලදී. අද ලොව පුරා මහජනයාගේ මානව අයිතීන් සුරකිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති කිරීමට එම මානව හිමිකම් ප‍්‍රකාශනයද හේතුපාදක වී ඇත. ප‍්‍රකාශන වල, ප‍්‍රතිපත්ති වල, මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික වූවාට ප‍්‍රමාණවත් නැත. ඒවා සක‍්‍රිය කිරීමට සක‍්‍රීය පුරවැසි ව්‍යාපාරවල සහය අවශ්‍යය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්ථයෙන් පුරවැසිභාවය විමසීමේදී මූලික වශයෙන් ත‍්‍රිවිධාකාරයක පුරවැසිභාවය කැපීපෙනෙන අතර, මෙහිදි මෙම ආකාර තුන පිළිබඳව කෙටි විමසුමක් සිදුකිරීම වැදගත්ය. සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තව තවත් පුළුල් කිරීම හා ගැඹුරු කිරීම රැුඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරවැසිභාවයයි.

මානව අයිතිවාසිකම්, සාමානාත්මතාවය සහ බහුත්ව වාදය සඳහා දේශපාලන වශයෙන් සක‍්‍රීය වීමක් මින් අදහස් වන අතර පන්තිය, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය, ජාතිකත්වය, පවුල, ලිංගික නැඹුරුව යනාදී ක්ෂේත‍්‍ර වෙතට ප‍්‍රජාතාන්ත‍්‍රවාදී අරගලය ගෙනයෑම අපේක්ෂා කරයි.

තනි තනිව අයිතිවාසිකම් බුක්ති විඳින, දේශපාලන ප‍්‍රජාවත් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය නැති තම ආර්ථික හා අනෙක් අභිලාෂයන් (interests) සඳහා පමණක් අනෙත් පුරුවැසියන් සමග එකතුවීමට කැමැති තනි පුද්ගල පිරිස් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරවැසියන් වේ. මෙම පුරවැසියන් ස්වකීය වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින අභිලාෂ කණ්ඩායම් විනා දේශපාලන ප‍්‍රජාවන් ලෙස පුළුල් අර්ථයෙන් සැලකිය නොහැකිය.

යම් කිසි රාජ්‍යයක පුරවැසියන් නිද්‍රාශිලීව සිටින්නේ නැතිව, අවදියෙන් සිටිමින් රටේ ලෝකයේ සිදුවන දේ ගැන උනන්දු වෙමින් තමන්ගේ සිය අයිතිවාසිකම් රැුකගැනීමට ක‍්‍රියාකිරීම සක‍්‍රීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරවැසිභාවයයි. සක‍්‍රීය පුරවැසිභාවය පිළිබඳව හරායාත්මක දෙසුම් ඉදිරිපත් කළ ප‍්‍රමුඛ දේශපාලන චින්තකයෙකු වූයේ, ඇරිස්ටෝටල්ය. ඔහුට අනුව, පුරවැසියා රාජ්‍යයක නීති සම්පාදනයට නැතහොත් අධිකරණ ක‍්‍රියාවලියට සම්බන්ධ වීමට බලය ඇති ක‍්‍රියාකාරි පුද්ගලයෙකි. ලෝකයේ ප‍්‍රායෝගික දේශපාලන ස්වභාවයන් නිරීක්ෂණය කරන විට, විශේෂයෙන් තුන්වන ලොව රටවල ආණ්ඩු බලයේ සිටින දේශපාලඥයන්, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අංශ සාමාන්‍යයෙන් පුරවැසියන් සක‍්‍රීය පුරවැසියන් ලෙස ගොඩනැගීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. එයට හේතුව එසේ පුරවැසියන් සක‍්‍රීය වීම ඔවුන්ට හා එම ආයතන වල පැවැත්මට කරදරක් හෝ තර්ජනයක් වේ යැයි සිතන බැවිනි. නමුත් දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය වල එවැනි ආයතන ඒ ආකාර පසුගාමී අදහස් හා ආකල්ප දරන්නේ නැත. කෙසේ වෙතත්, අප වැනි රාජ්‍යවල එකී ආයතන කැමැති වන්නේ, සමාජය තුළ නිෂ්ක‍්‍රීය පුරවැසිභාවයටය. එනම්, නිදා සිටින නිද්‍රාශීලි පුරවැසියන්ටය. නිදහසින් පසු අදටත්, නිසියාකාර ලෙස රට ගොඩනැගීමට පාලකයන් මෙහෙයවීමට හැකියාවක් නොලැබී ඇත්තේත්, පාලකයන් අවස්ථාවාදී සංදර්ශන වල යෙදෙන්නේත්, පුරවැසියන්ගේ නිද්‍රාශීලි ස්වභාවය නිසාමය. ඉන් පැහැදිලි වන්නේ අපේ සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්ථයෙන් තව බොහෝ දුරක් යා යුතු බවය. සමස්ත සමාජයේ පොදු යහපත උදෙසා දේශපාලන වශයෙන් ක‍්‍රියාකාරී , සක‍්‍රීය පුරවැසිභාවයේ අර්ථපූර්ණභාවය රූසෝ නම්, චින්තකයා මැනවින් විග‍්‍රහ කරනු ලැබ ඇත. මානව නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් දේශපාලන බලය පරිස්සමෙන් හා වගකීමෙන් පාවිච්චි කරමින් සක‍්‍රීය පුරවැසියෙකු ලෙස ජීවත්වීම පුරවැසියෙකුගේ වගකීමක් හා නිසි කාර්යයක් බවත්, එය ප‍්‍රජාතාන්ත‍්‍රවාදී සමාජයක පුරවැසියෙකු අපේක්ෂා කරන උතුම් දෙයක් බවත් රූසෝගේ මතවාදයයි.

සක‍්‍රිය පුරවැසිභාවයේ මෑතකාලීන ප‍්‍රවණතා

1980 ගණන් වලින් පසුව සක‍්‍රීය පුරවැසිභාවයේ ප‍්‍රධාන ප‍්‍රවණතා කිහිපයක් හඳුනාගත හැකිය. එනම්, නව ලිබරල්වාදී නැගීමත්, සිවිල් සමාජ දේශපාලනයේ මතුවීමත් හා පුරවැසි සමූහාණ්ඩුවාදී ප‍්‍රවේශයක් බිහිවීමත්, යනාදියයි. ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් ප‍්‍රීඞ්මන් මෙම නව ලිබරල්වාදය ගොඩනැගීමට පණදුන් ප‍්‍රමුඛ ආර්ථික විද්‍යාඥයෙකි. එවකට ඇමෙරිකානු ජනාධිපති රෝනල්ඞ් රේගන් හා බි‍්‍රතාන්‍ය අගමැති මාග‍්‍රට් තැචර්ගේ සහාය ද ඊට නොඅඩුව ලැබුණි. නව ලිබරල්වාදී ප‍්‍රවේශයෙන් සිදුවූයේ, රාජ්‍යයේ සුබසාධනශීලීත්වය බිඳදැමීමත්, හා රාජ්‍යයේ වෙළෙඳපොළ මැදිහත්භාවය අවම කිරීමත්ය. රාජ්‍ය; ආර්ථික හා සමාජ ක්ෂේත‍්‍ර වලින් ඈත් කොට වෙළෙඳපොළ ආර්ථික හා සමාජ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම මෙහිදී සිදුවිය. මෙහිදී රාජ්‍ය හා පුරවැසියන් අතර, සම්බන්ධය නැවත සකස්වීමකට භාජන වූ අතර, එහිදී පුද්ගල ස්වාධිපත්‍ය ඉදිරියට ආවේ ‘පුරවැසියා’ ‘පාරිභෝගිකයා’ බවට පත්කිරීමෙනි. මෙම ප‍්‍රවණතාව නව ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරණ වලින් සිදුවූ ප‍්‍රධානතම පරිවර්තනයයි. නව ලිබරල්වාදය තුළ පුරවැසියා යනු, තම පාරිභෝගික අයිතීන් ගැන උනන්දුවන, පාරිභෝගික

අයීතීන් සඳහා කටයුතු කරන පාරිභෝගිකයෙකි. මෙහිදී සක‍්‍රීය පුරවැසියා සක‍්‍රීය පාරිභෝගිකයෙකු ද වේ.

1970 හා 1980 ගණන් වලදී සිදුවූයේ රාජ්‍යයෙන් ස්වාධීන වූ දේශපාලන ක‍්‍රියාකාරීත්වයේ නිෂ්චිත පරිමණ්ඩලයක් ලෙස ‘සිවිල් සමාජය’ සංකල්පගත කිරීමය. නැගෙනහිර යුරෝපයේ පශ්චාත් විප්ලවීය රාජ්‍යවල අධිකාරීවාදයටත්, තෙවන ලෝකයේ අධිරාජ්‍යවාදී රාජ්‍යවලටත් එරෙහිව ප‍්‍රබල සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයක් ගොඩනැගුණු අතර, එම ක‍්‍රියාකාරිත්වය ජයග‍්‍රහණය කරමින් ඒ ඒ රාජ්‍ය වල සුබවාදී පරිවර්තනයන් සිදුකෙරිණි. අනතුරුව රාජ්‍ය පරිවර්තනයන් සඳහා යොමු වූ දේශපාලන ව්‍යාපාර බවට සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වය අර්ථ ගැන් වූ අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව අයිතිවාසිකම් රැුකගැනීම මෙම ව්‍යාපාර වල කේන්ද්‍රිය තේමාව වූ නිසා එම ව්‍යාපාර වත්මන් ප‍්‍රජාතාන්ත‍්‍රවාදී ශිෂ්ට සමාජ වල ප‍්‍රශංසාවටත්, පිළිගැනීමටත් ලක්ව තිබේ.

සක‍්‍රීය පුරවැසිභාවයේ තෙවැනි ප‍්‍රවණතාව වන්නේ, පුරවැසි සමූහාණ්ඩුවාදී ප‍්‍රවේශයයි. මෙය යුරෝපයේ රාජාණ්ඩුවලට විකල්පයක් ලෙස මුලදී ගොඩනැගුණු ප‍්‍රවණතාවකි. දේශපාලන ජීවිතයට, එනම්, මහජන ජීවිතයට කැපවී සිටීම හා තම ආණ්ඩුවේ යහපත උදෙසා වැඩකිරීම සිය ජීවිතයේ පරම යුතුකම ලෙස සැලකීම සමූහාණ්ඩුවාදී පුරවැසියාගේ ප‍්‍රධානතම ගති ලක්ෂණයයි. දේශපාලන ක‍්‍රියාවලියේදී පුරවැසියාගේ සක‍්‍රීය සහභාගිත්වය පැවැතිය යුතු බවට මෙම සංකල්පය තුළින් ද අවධාරණය කරයි.

සිවිල් සමාජ දේශපාලනය

සක‍්‍රීය පුරවැසිභාවයේ ප‍්‍රවනතා අතර ලිබරල්වාදී නැගීමටත්, පුරවැසි සමූහාණ්ඩුවාදී ප‍්‍රවේශයටත් වඩා සිවිල් සමාජ ව්‍යාපාරය පිළිබඳව මඳක් සාකච්ඡුා කිරීම සමකාලීනව වැදගත් වනු ඇත. මෙම සිවිල් සමාජ ව්‍යාපාර පුළුල් සමාජ කොටස් ඒකරාශි කරගනිමින් ප‍්‍රබල විරෝධතා ලෙස මතුවීම නිසා සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති වලට වඩා වෙනස් ආකාරයක සමාජ ඉඩප‍්‍රස්ථාවන් සකසා ගත්හ. එවකට පෝලන්තයේ සහ චෙකොස්ලෝවැකියාවේ ආණ්ඩු පරිවර්තනයට නායකත්වය දෙන ලද්දේ සිවිල් සමාජ ව්‍යාපාර වලිනි. අදටත් ලෝකයේ දේශපාලන, ආර්ථික, සමාජ හා පාරිසරික ගැටලූ විසඳාගැනීමට මැදිහත් වූ ප‍්‍රබල සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයක් හඳුනාගත හැකිය. ලංකාවේ මෑතකාලීන උදාහරණයක් ලෙස 2015 යහපාලන ආණ්ඩුව ගොඩනගා ගැනීමට සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වය ඉමහත් අනුග‍්‍රහයක් ලබාදුන් බව සිහිපත් කළ යුතුය.

එසේ නමුත්, දියුණු යුරෝපා රටවල නොමැති ලංකාවේ සිවිල් සමාජ ව්‍යාපාරයේ දැකිය හැකි පසුගාමී ලක්ෂණයක් වන්නේ, ඒවා පටු අර්ථ ඇතිව සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ආදී පක්ෂ වලට වෙන වෙනම පක්ෂපාතීත්වය දනවන ලෙස බෙදී වෙන්ව පැවැතීමයි. අදවන විට සිවිල් සමාජය අතුරින් පුද්ගල කල්ලිවාදයක් ද බිහිවී ඇත. එය අනතුරුදායකය. ඒ අනුව මෙරට සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වය ඇරිස්ටොටල් හෝ රූසෝ යන සම්භාව්‍ය දේශපාලන චින්තකයන් අදහස් කළ සක‍්‍රීය පුරවැසි ක‍්‍රියාකාරීත්වයට වෙනස් එකක් බව කිව යුතුය.

ප‍්‍රජා පීඩක, ¥ෂිත හෝ අකාර්යක්ෂම පාලන තන්ත‍්‍රවලට එරෙහිව කටයුතු කිරීමට එවැනි මහජන ව්‍යාපාර වලට ශක්‍යතාවක් ඇතත්, අනතුරුව බිහිවන විකල්ප පාලනය හරහා ප‍්‍රජාතන්ත‍්‍රීයව ගනුදෙනු කර ඉදිරි සමාජ සුබ සිද්ධිය උදෙසා ප‍්‍රතිසංස්කරණ වලට යෑමට අවශ්‍ය පීඩනය විකල්ප ආණ්ඩුවට සිදුකිරීමට එම සිවිල් ව්‍යාපාර වලට හැකියාවක් නැත. උදාහරණයක් ලෙස 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමට උරදුන් සිවිල් සමාජ ව්‍යාපර වල අරමුණු වලට පිටින් ආණ්ඩුව කටයුතු කිරීමේ දී ඒවා පාලනය කිරීමට කිසිම හැකියාවක් සිවිල් සමාජ ව්‍යාපාර වලට නොතිබූ අතර, ඔවුන් සමාජයේ අක‍්‍රීය ජනයාගේ මට්ටමට වැටී එම සිවිල් සමාජ ව්‍යාපාරය ද කැඞී බිඳී වෙන් වී ගියේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්ථයෙන් සිවිල් සමාජ ව්‍යාපාරයට හිමි මහජන ගෞරවය ද මේ නිසා අහිමි වීම ද ශෝකජනක තත්ත්වයක් බව කිව යුතුය. මෙවැනි පසුගාමී තත්ත්වයන් සිවිල් සමාජ ව්‍යාපාරයකට ගැළපෙන්නේ නැත. පාට වලින්, කල්ලි වලින්, පටු අරමුණු වලින්, විවිධාකාර භේදවලින් තොරව සමාජ දේහය තුළින් වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හරයාත්මක ලෙස සිවිල් සමාජ ව්‍යාපාර පැනනගින්නේ නම්, එවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ඇති නොවනු ඇත.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය තුළ 1980 දශකයේ සිට පැතුරුණු යම් ආකාරයක සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයේ සාධනීය අංශයන් ද ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, නිදහස් හා සාධාරණ මැතිවරණ, ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීම, සුළුජන අයිතීන්, කාන්තා අයිතීන්, ළමා අයිතිවාසිකම්, කොමිෂන් සභා ස්ථාපනය ආදිය පළ දරා ගැනීම සම්බන්ධයෙන් සිවිල් සමාජය විසින් කළ බලපෑම ඉතා වැදගත් වූ අතර, එය ඇතැම් සුබවාදී ප‍්‍රතිසංස්කරණ වලට ද හේතුවිය. එපමණක් නොව පුරවැසියන් දැනුවත් කිරීම, විධිමත් අධ්‍යාපනය ලබාදීමට සහාය වීම, පුරවැසියන් අතරේ කාලීන සමාජ දේශපාලන හා පාරිසරික ගැටලූ පිළිබඳව සාකච්ජා පැවැත්වීම, පුරවැසියන් බලසතු කිරීම, පුරවැසි ක‍්‍රියාකාරීත්වය ගොඩනැගීම ආදිය සම්බන්ධයෙන්ද සමාජයට මෙහෙයක් සිදුව තිබේ. එහෙත් තව තවත් සමාජයට සාධනීය ප‍්‍රතිලාභ අත්කරදීම සඳහා පුරවැසි ව්‍යාපාර වල ඉදිරි ක‍්‍රියාකාරීත්වය අවශ්‍යය. කෙසේවෙතත් ලංකාවේ පුරවැසි ව්‍යාපාර කටයුතු කළ යුත්තේ, ආණ්ඩු පෙරළීමට පුරවැසියන් යොදා ගන්නවාට වඩා සැබෑ දේශපාලන පරිවර්තනයක් උදෙසා පොදුජනතාව සක‍්‍රීය කර්තෘකයන් බවට පත්කිරීමයි. එසේම ආණ්ඩු නිසි මගට හැරවිය හැකි ඊට බලපෑම් කළ හැකි සක‍්‍රීය පුරවැසි බලයක් ගොඩනැගීමයි.

දීපාල් ද සිල්වා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More

ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.
Read More