දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මොරටුව, කටුබැද්ද ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට සහභාගි වෙමින් මෙසේ අදහස් පළ කළේය.

මුළු ලෝකයෙන්ම ගත්තොත් ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හොඳ ඉතිහාසයක් තිබෙන රටක්. අපට නිදහස ලැබෙන්නටත් කලින් තමයි අපි රාජ්‍ය මන්ත්‍රණ සභාවට අපේ පාලකයන් මහජන ඡන්දයෙන් පත්කර ගත්තේ. ඉතිහාසයේ අපි කැරළි දෙකකට මුහුණ දුන්නා. වසර 30 කට ආසන්න කාලයක් ලෝකයේ තිබුණු දරුණුම ත්‍රස්තවාදයක් පැවතුණා.

නමුත් මේ සියලු බාධක මැද්දේ අපිට ස්ථාවර රජයක් තිබුණා. රට සංවර්ධනය කරා ගෙන ගියා. අපිට නිදහස ලැබෙනවාත් සමගම ව්‍යවස්ථාවක් ලැබුණා. 1972 ජනරජයක් බවට පත්වුණු අපේ රටට 1978 විධායක ජනාධිපතිවරයෙකු හඳුන්වා දුන්නා. මේ සියලු දේ ඔස්සේ අපි ස්ථාවර රටක් ලෙස ඉදිරියට ආවා. නමුත් එදා රනිල් වික්‍රමසිංහ පාලනය කඩිමුඩියේ ගෙනාව 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා අද රට කොපමණ අස්ථාවර වෙලාද කියලා අපි කවුරුත් දන්නවා.

පටු පරමාර්ථ මුදුන්පත් කරගැනීමට ගෙනාව ඒ ව්‍යවස්ථා සංශෝධනය නිසා අගමැතිවරයෙක් නැති, කැබිනෙට්ටුවක් නැති කිසිදු තීරණයක් නිවැරදිව ගන්නට බැරි තරමට රට අස්ථාවර වෙලා. විවිධ විධායක ජනාධිපතිවරු යටතේ, රජයන් යටතේ ඇදි ඇදී ගිය ත්‍රස්තවාදය අවසාන කරලා කිසිවෙක් නොසිතපු ආකාරයේ සංවර්ධනයක් ගෙනාව මහින්ද රාජපක්ෂ රජය බොරු ප්‍රචාර ජාතිවාදය හරහා පරාජය කරමින් දේශීය විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ ග්‍රහණයට නතු කරගත්තා. එදා සිට තමයි මේ අස්ථාවරත්වය රටට ඇතිවුණේ.

යහපාලනය යැයි කියා ගත් රජය බලයට පැමිණි දවසේ සිට ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්නට ක්‍රියා කළා මිස රටේ සංවර්ධනයක්, ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමක් සිදුකළේ නෑ. ඒ වගේම ව්‍යවස්ථා සංශෝධන හරහා රට අස්ථාවරත්වයට ඇද දැම්මා. එතැනින් නොනැවතී කිසිදා පහසුවෙන් සංශෝධනය කරන්නට නොහැකි වන සේ සකස් කළ නව ව්‍යවස්ථාවක් පවා ගෙන එන්නට කටයුතු සූදානම් කොට තිබූ බව නොරහසක්. ඒ හරහා නාමික ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව මගින් පත්කොට, පළාත් සභා වලට වැඩි බලයක් දෙන හා පාර්ලිමේන්තුව දෙවන සභාවකට යටත් කොට එහිද බලය ශුන්‍ය කරන සැලසුමක් ඔවුන් සකස්කොට තිබුණා. මේ විදියට මධ්‍යම රජය අකර්මණ්‍ය කරලා දැනට පවතින පළාත් සභා 09ට සියලුම බලතල (පොලිස් සහ ඉඩම් ඇතුළුව) ලබාදෙන්නට ද සැලසුම් සකස්කොට තිබුණා.

මේ විදියට පළාත් සභා වලට බලය ලබාදෙන අතරතුර ඔවුන් යෝජනා කර තිබෙනවා පළාත් සභා දෙකක් හෝ තුනක් එකට එක්කර එක මහඇමතිවරයෙක් යටතට පත්කරන්නට. දුර්වල මධ්‍යම රාජ්‍යක් යටතේ උතුරු නැගෙනහිර එක මහඇමතිවරයෙක් යටතට පත්කරලා යුද්ධයෙන් ඔවුන්ට සාක්ෂාත් කරගැනීමට නොහැකි වූ අරමුණු සඵල කරගැනීම ඔවුන්ගේ එකම යටි පරමාර්ථය බව ඉතා පැහැදිලියි.

අපි දියුණු වෙමින් තිබෙන රටක්, වසර තිහක් ත්‍රස්තවාදයකින් පෙළුණු රටක්, ඉතාම වැදගත් සාධකය රටේ ආරක්ෂාව, අද බොහෝ අයට අමතකයි රටේ කොපමණ මාර්ග බාධක තිබුණු ද, කොළඹ නගරයේ බංකර් කොපමණ තිබුණ ද, රාජ්‍ය ආයතන වටා කොපමණ කටු කම්බි තිබුණ ද ? අපි මේ සියල්ල සමාජයෙන් ඉවත් කරලා ඒ නිදහසම උතුරු නැගෙනහිර ජනතාවටත් ලබාදෙන්නට කටයුතු කරන අතර ත්‍රස්තවාදයට නැවත කිසිදිනෙක හිස ඔසවන්නට නොහැකි ආකාරයේ ආරක්ෂක සැලසුමකුත් ක්‍රියාත්මක කරලා තිබුණා. ඒ එහි වැදගත්කම පිළිබඳව අපට අවබෝධයක් තිබුණා.

නමුත් මේ රජය බලයට පැමිණි මොහොතේ සිට ඒ සියල්ල අඩපණ කරලා බුද්ධි අංශ නිලධාරීන් තානාපති සේවයට යවලා බහුතරයක් සිරගත කළා. මඩකලපුව වවුනතිව් ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම වැනි සිදුවීම් මේවායේ ප්‍රතිඵල ලෙස දකින්නට පුළුවන්. එසේම මේවා සුළුකොට තැකිය හැකි කාරණා නොවෙයි. මෙවැනි සිදුවීම් අතරතුර තමයි නව ව්‍යවස්ථාවක් ඔස්සේ රට තව තවත් අගාධයට ඇද දමන්නට මොවුන් කටයුතු කළේ, තවමත් බලාගෙන ඉන්නේ.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලතල අනුව පසුගිය සමයේ රටේ ඇතිවූ විවිධ අස්ථාවරභාවයන් හේතුකොට ගෙන නව අගමැතිවරයෙක් සහ කැබිනෙට්ටුවක් පත්කරන්නට ජනාධිපතිවරයා ක්‍රියාකළා. ඒ සමගම අපි දැක්කා විදේශ තානාපතිවරුන්ගේ හැසිරීම, නමුත් තානාපතිවරුන්ගේ වගකීම වන්නේ ඒ රජයක් යටතේ වැඩකිරීම මිසක් ඒ අයට අවශ්‍ය පුද්ගලයන් අගමැතිධුරයට හෝ කැබිනෙට්ටුවට පත්කිරීම නොවෙයි.

එදා 1989 භීෂණ යුගයේ මැතිවරණයක් තිබුණා. ඡන්ද දැමීම තහනම් කරලා තිබුණා. මාතර ඡන්ද පොළක ඡන්ද දෙකයි තිබුණේ එයිනුත් එක් අයෙක් මරා දැම්මා. ඡන්ද මගඩි හරහා එදා පත්වුණු එක්සත් ජාතික පක්ෂ රජය 1994 වනතෙක් රට පාලනය කළා. නමුත් එදා කවුරුවත් සම්භාධක දැම්මෙත් නෑ, රජය පිළිගන්න බෑ කිව්වෙත් නෑ. හැබැයි අද ඒ තත්ත්වය වෙනස් වෙලා. ඒකෙන්ම අපට පේනවා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කවුරුන් විසින් පත්කළා ද, කවුරුන්ගේ අවශ්‍යතාවන් ඉටුකරා ද, කුමන අරමුණක් සඳහා ඔවුන් ක්‍රියාකළා ද යන වග.

රටට කිව නොහැකි තරම් සේවයක් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඡන්දයෙන් පරාජය වූ විගස, අවසාන ප්‍රතිඵලය කියන්නටත් ප්‍රථම අරලියගහ මන්දිරයෙන් පිටව ගියා. එදා සියලුම මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස නියමිත කාලවේලාවට පැවැත්වූවා. එයයි ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම කියන්නේ.

අද අපි දකිනවා එදා 2014 සමාජ ජාල, වෙබ් අඩවි ඔස්සේ ජනතාව මුළා කළ පිරිස නැවතත් කරළිය පැමිණෙමින් සිටිනවා. රාජපක්ෂවරුන් පිළිබඳ ජනතාවට කියූ බොරු නැවතත් පවසනවා. මම හිතන්නේ සිදුවන දේ ගැන අපේ ජනතාව මනා අවබෝධයකින් සිටිය යුතුම කාලයක් මේක යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවා.

– එළිය මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More